Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුන්දර නුවරඑළියේ මුල් කාලීන ඉතිහාසය

නුවරඑළිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්කයකි. මෙය මහනුවර, බදුල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට මැදි ව පිහිටා ඇත. මෙය පිදුරුතලාගල හා අවට කඳුවලින් වට වූ ඉලිප්සාකාර භූමියකි.

නුවරඑළිය අතීතයේදී මායා රටට අයත් යැයි සැලකිණි. පැරණි ශ්‍රීලංකාවේ  භූගෝලීය සීමා පිළිබඳ ලියැවුණු කඩයිම් පොත්වල මෙම ප්‍රදේශය පිළිබඳ කරුණු සඳහන් වෙතත් “නුවරඑළිය ” යන නමින් ම හැඳින්වෙන ස්ථානයක් පිළිබඳ කරුණු සඳහන් නොවේ.

නුවරඑළිය ප්‍රදේශය අයත් වන මායා රට පිළිබඳ ව මායා රටට අයත් කඩයිම් පොත, උඩ හේවාහැට කඩයිම් පොත (කවි) හා මන්දාරම් පුවත ආදී ග්‍රන්ථවල කරුණු සඳහන් වේ.

නුවරඑළියෙහි පැරණි සිතියමක්
නුවරඑළියෙහි පැරණි සිතියමක් – Perry – Castaneda Library  Map Collection

 

මන්දාරම් පුවත නම් ග්‍රන්ථයේ රුහුණු ,මායා හා පිහිටි ලෙස ත්‍රි සිංහලය බෙදී තිබුණු ආකාරය දක්වා ඇත.

සොලී රටත් බෙංගාලය දඹදිවි                න
දකුණෙන් මුහුදු හිමි මෙම ලක සිව්     දිගින
සිදු සහ දැදුරු ඔය සමඟින් කළු     ගඟි  න
මායා පුරය ඉම්කර  ඇති බව දන්           න
                                   -මන්දාරම් පුවත

මෙම මායිම් විස්තරයේ ද ” නුවරඑළිය ” නමින් ගමක් හෝ ප්‍රදේශයක් පිළිබඳ සඳහන් නොවේ.

උඩහේවාහැට කඩයිම් කවිවල මධ්‍යම  ප්‍රදේශය පිළිබඳ කරුණු කවියෙන් සඳහන් කර ඇත. එහි එක් කවියක ” සීතා කඳු මුදුන”  නමින් ස්ථානයක් ගැන සඳහනක් ඇති අතර එය නුවරඑළිය ප්‍රදේශය විය  හැකි ය.

නුවරඑළිය පිළිබඳ පැරණි ම ප්‍රබන්ධය

නුවරඑළිය පිළිබඳ පැරණි ම  මිථ්‍යා ප්‍රබන්ධය රාවණා රජු හා සම්බන්ධ වේ.  මෙම ප්‍රබන්ධයට අනුව  රාවණා රජු පැහැර ගෙන ආ සීතාවන් සඟවා තබා ඇත්තේ නුවරඑළියට ආසන්න පරණගම, ස්ත්‍රීපුර ගල් ගුහාවේ බව සඳහන් වේ. එම නිසා මේ ප්‍රදේශය ” සීතා එළිය ” නමින් ව්‍යවහාර විය.

ජේම්ස් රත්නම් රචිත Ancient Nuwara Eliya නම් ග්‍රන්ථයේ ද මෙම රාවණ පුරාවෘත්තය සඳහන් කර තිබේ. එසේම  ඔහු පෙර සිංහල රජවරුන් නුවරඑළියෙහි ආරක්ෂාව පතා පැමිණ ඇති බව දුටුගැමුණු කතාව උපුටා දක්වමින් සඳහන් කර ඇත. මීට සමාන කාරණයක් James Holman, Voyage Round the World from 1827 to 1832 නම් ග්‍රන්ථයේ සඳහන් කරයි. ඔහුට අනුව රජවරුන් ගිමන් නිවා ගැනීමට හෝ තාවකාලික පදිංචිය  සඳහා නුවරඑළිය ප්‍රදේශට පැමිණ ඇත.

නුවරඑළිය පිළිබඳ සඳහනක් ඉන් පසුව දක්නට ලැබෙන්නේ පෘතුගීසි යුගයේ ය. බලන සටනින් අසාර්ථක ව සිටි පෘතුගීසීහු නැවත වරක් සෙංකඩගල ප්‍රදේශය ආක්‍රමණය කිරීමට සැලසුම් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස විමලධර්මසූරිය රජුගේ බිසව වූ දෝන කතිරිනා හා ඇගේ දරුවන් 1628 දී සිය ආරක්ෂාව පතා නුවරඑළියට පැමිණි බව සර් චාල්ස් සීර් සඳහන් කරයි.

කුසුමාසන දේවිය
    කුසුමාසන දේවිය – Amazing lanka 

 

1818  කැරැල්ලේදී ද නුවරඑළියට වැදගත් ස්ථානයක් හිමි වී ඇති බව පැහැදිලි ය. 1818 කැරැල්ල සමයේ කැරැල්ල මෙහෙයවූවන් තම පවුල් සමඟ ආරක්ෂාව පතා නුවරඑළියට පැමිණ එහි නැවතී සිටි බව සඳහන් වේ. දන්ගමුවේ, මත්තෙමගොඩ ආදී කැරලි නායකයන් දෙදෙනා පසුපස ලුහුබැඳ ගිය ඉංග්‍රීසීන්ට ඔවුන් නුවරඑළියෙහි සැඟ වී සිටින බවට ඔත්තුකරුවන්ගෙන් දැන ගන්නට ලැබී ඇත.

කැප්පෙටිපොළ මහ නිලමේ සිය සටන් ව්‍යාපාරය මෙහෙයවමින් වරක් නුවරඑළිය හරහා ඌවට ගිය ගමනක් ගැන කැරලි සමයේ ඉංග්‍රීසීන් තබා ඇති වාර්තාවක සඳහන් වේ. එහි උඩු නුවර කවිකාර මඩුවේ මුදියන්සේ නමැත්තෙක් ඉංග්‍රීසීන් අල්ලා ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී පහත සඳහන් විස්තරය හෙළි කර ඇත. එහිදී නුවරඑළියෙහි ඔවුන් නැවතුණු බව සඳහන් කර තිබේ.

උඩ පළාතේ කැරැල්ල

” උඩ පළාතේ කැරැල්ල පැතිර යන වගක් උඩුනුවර දෙසට හාර පන්සියයක් පමණ කැරලිකරුවන් ගමන් කරන කරන බවත් ඇසූ මම මගේ පවුලේ ඇත්තනුත් කැටුව? උඩුවිල කෝරලේ නෑයෙකු සොයාගෙන ගියෙමි…….  පසුදින අපි කොත්මලයට පිටත්ව ගොස් එහි පුසුල්පිටිය විහාරයේ විවේක ගතිමු. ඊලඟ දවසේ කිකිලියාමාන පතනේද දෙදිනක් නුවරඑළියෙහි ද , තවත් දින දෙකක් හෝ තුනක් පේර වැල්ලේද ගත කොට ඇලවල් දෙකක් එක්තැන් වන තැනක දින තුනක් ගත  කළෙමු…” -ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව 5/104- 1818

ඉංග්‍රීසීන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1818 දී අල්ලා ගත් අවස්ථාවේ ඊට දෙදිනකට පෙර ඇහැලේපොළ මහ නිලමේ හොර රහසේ ම රජතුමාගේ ඔටුන්න සහ රන් කඩුව, සඟවා තැබීම සඳහා සට්ටම්බ් කෙනකු භාරයේ උඩරට කඳුකරයට පිටත් කොට යැවූ බව සඳහන් වේ. මෙම භාණ්ඩ සඟවා තබා ඇත්තේ ඌවටත් කොත්මලේටත් අතර මහා වනයේ ගුහාවක යැයි සඳහන් වේ. එම ප්‍රදේශය බොහෝ විට නුවරඑළිය වීමට ඉඩ තිබේ.

1818 වෙල්ලස්ස කැරැල්ල පැතිරී ගිය ආකාරය
1818 නිදහස් සටන – prasanna weerakkody paintings

1818 නිදහස් සටන

කැප්පෙටිපොළ නිලමේ, රජුගේ මෙම ආභරණ තැන්පත් කළ පෙට්ටගම මහනුවරට  ගෙනවිත් ජෝන් ඩොයිලිට භාර දී ඇත. 1816 නොවැම්බර් දෙවන දා ඩොයිලි මේ පිළිබඳ ආණ්ඩුකාරතුමන්ට ලියා යවමින් මෙසේ සඳහන් කර ඇත.

” මෙම රාජකීය භාණ්ඩ ඌවටත්, කොත්මලේටත් අතර වනාන්තරයේ ගුහාවක සඟවා තිබී සොයා ගත් බව ( මේවා ගෙන ආ) ඌවේ දිසාව කියා සිටියි. මෙම භාණ්ඩ භාරව සිටි අගල කුඹුරේ සට්ටම්බ් ඒවා ආපසු භාර දීමට අදිමදි කළ බවත්, සඟවා තිබූ ස්ථානය පිළිබඳ තොරතුරු පවා වෙනත් අයෙක් මාර්ගයෙන් දැනගත් බවත් ඔහු තවදුරටත් කියයි….” -බණ්ඩාර මනතුංග – මගේ උපන් ගම ගැන  

1818 නිදහස් සටනේදී ද නුවරඑළිය ප්‍රදේශය වැදගත් වූ ආකාරය මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මෙසේ සඳහන් කර ඇත.

” 1818 දී පැවති මහ කැරැල්ලේ එක්තරා අවස්ථාවකදී නුවරඑළිය, කැප්පෙටිපොළ දිසාවගේ මූලස්ථානය වශයෙන් පැවති බව පැවසීම අසන්නට ලැබීමෙන් සමහරු පුදුම වනු ඇත. එකල  මෙම ප්‍රදේශයේ බෙහෙවින් සිංහල ජනයාගෙන් ජනාකීර්ණ වූ ගම්වලින් යුක්ත විය. නුවරඑළිය අසබඩ කැප්පෙටිපොළ ගැවසුණු අනෙක් නැවතුම් පොළවල් නම් කිකිලියාමාන පතන, පේරවෙල,හොරගුරු , ඉදල්ගස්හින්න, කඳපොළ, අඹේවෙල හා කඩදොර, හග්ගල්ගොඩ, කඩවත ඒ කාලයේදී නුවරඑළිය සීමාව විය. ” – තෙන්නකෝන් විමලානන්ද – උඩරට මහ කැරැල්ල

උඩරට මහ කැරැල්ල – තෙන්නකෝන් විමලානන්ද –  slbooks.lk 

මහනුවර රාජධානි සමයෙහි රාජකීය තැන්න හෙවත් “එළිමහන් බිම” (City of Light) යන අරුතින් නුවරඑළිය නමින් හැඳින්වූ මෙහි මෑත කාලීන ජනාවාසකරණය යුරෝපීය ජාතික දඩයම්කරුවන්ගෙන් ආරම්භ වේ.

ජෝන් ඩේවි

නුවරඑළිය පිළිබඳ මෑත කාලීන වාර්තාකරු ජෝන් ඩේවි ය. උඩරට අල්ලා ගත් මුල් අවධියේ ම (1819) දඩයම් කණ්ඩායමක මූලිකයා ලෙස ඩේවි අහම්බෙන් නුවරඑළියට පැමිණ ඇත. ඩේවි ශල්‍ය වෛද්‍යවරයකු ලෙස යුද හමුදාවට බැඳී කටයුතු කර ඇත. ඔහු  ” ලංකාවේ අභ්‍යන්තරය,එහි ජනතාව හා ඒ දිවයිනේ චාරිකා ” නමැති ග්‍රන්ථයේ නුවරඑළියට ගිය චාරිකාව පිළිබඳ සඳහන් කර ඇත.

ඩේවි නුවරඑළියට පැමිණෙන විට එය ජන ශූන්‍ය ප්‍රදේශයක් බව සඳහන් කර ඇත. එසේම මෙම ප්‍රදේශය එවකට වන අලින් විශාල සංඛ්‍යාවක් ගැවසෙන භූමියක් වූයෙන් ඩේවි ඇතුළු පිරිස නුවරඑළිය ප්‍රදේශය Elephant Plain ලෙස නම් කර ඇත. මෙම ප්‍රදේශයේ දී පමණක් අලින්  හාරසියයකට වඩා මරා දමා ඇති බව වාර්තා වේ.

අලින්, ගෝනුන් හා වල් ඌරන් දඩයම විනෝදාංශයක් වූ මොවුන් දෙදෙනකුගේ සොහොන් නුවරඑළිය ගොල්ෆ් පිටිය අසල පිහිටා ඇත. ජෝන් ඩේවි එවක මෙරට ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් (1824 – 1831)ට නුවරඑළිය ප්‍රදේශය පිළිබඳ කළ වාර්තකරණයෙන් පසු එහි ජනාවාසයක් පිහිටු වීමට තීරණය විය.

සර් එඩ්වඩ් බාන්ස්
එඩ්වඩ් බාන්ස් – historyofceylontea.com 

 

1829 දී එඩ්වඩ් බාන්ස් එංගලන්තයට යැවූ ලිපියක, නුවරඑළියෙහි හමුදා කඳවුරක් පිහිටු වීමට අවසර ඉල්ලා ඇත. නුවරඑළියෙහි දේශගුණික තත්ත්වය අනුව නිවාඩු පිණිස එංගලන්තයට යන බ්‍රිතාන්‍ය නිලධාරීන් එංගලන්තයට යාමේ දී විශාල මුදලක් රජයට දැරීමට සිදුවන හෙයින් නුවරඑළිය නගරයක් ලෙස සංවර්ධනය කිරීමෙන් එලෙස එංගලන්තයට යන නිලධාරීන් හා වැයවන අධික මුදල ඉතිරි කර ගත හැකි බව බාන්ස් වැඩිදුරටත් පවසා ඇත.

1824 -1831 දක්වා බාන්ස් ආණ්ඩුකාර ධූරය දැරූ අතර ඔහු නුවරඑළියෙහි සිය පෞද්ගලික වියදමින් පවුම් 8000ක් වැය කර නිවාඩු නිකේතනයක් ගොඩ නංවා ඇත. එය “බාන්ස් හෝල්” නමින් හැඳින්විණි. මෙලෙස නුවරඑළිය සංවර්ධනයට මුලින් ම දායකත්වය දැක්වූ හෙයින් බාන්ස් ” නුවරඑළියෙහි පියා” නමින් හඳුන්වයි.

Credit: Getty Images/Hulton Archive
සැමුවෙල් බේකර් – t0.gstatic.com

 

වර්ෂ 1846 දී සැමුවෙල් බේකර් හා ඔහුගේ සොහොයුරා වූ ජෝන් බේකර් නුවරඑළියට පැමිණ ඇත. ඔහු මුලින් ම නුවරඑළියට පැමිණ ඇත්තේ තමන්ට වැලඳුණු කැලෑ උණ හේතුවෙන් හීන වී ගිය ශරීර ශක්තිය වඩවා ගැනීම සඳහා ය. ඒ සඳහා ඔහු සති දෙකක පමණ කාලයක් නුවරඑළියෙහි නවාතැන් ගෙන සිට ඇත. එහිදී ඔහු නවාතැන් ගත් තානායම ඉතා අපිරිසුදු බවත් එය ” හාමතේ පාරාදීසයක් ” බවත් බේකර් සඳහන් කර ඇත.

“…එහිදී නවාතැන් ගත් තානායම අපිරිසුදුකමත් අයහපත් සෞඛ්‍ය තත්ත්වයත් අතින් ඉහළ තැනක් ගත්තේය… – Baker, S.W, Eight Years in Ceylon 

නුවරඑළිය ප්‍රදේශයේ දේශගුණයට වසඟ වූ බේකර් එහි කුඩා ඉංග්‍රීසි ජනපදයක් බිහි කිරීමට කටයුතු කර ඇත. ඒ සඳහා බේකර්, අක්කරය සිලිං විස්ස බැගින් වැය කර ඉඩමක්  මිලදී ගෙන ඇත. මෙම ඉඩම සඳහා ජනපදිකයන් ලෙස එංගලන්තයෙන් දස දෙනකු ඇතුළත් පිරිසක් ද ගෙන්වා ගෙන ඇත.

මීට අමතර ව එළවළු බීජ, ගොවි උපකරණ, දෙමුහුන් ගවයෙක්, ඩර්හැම් වර්ගයේ එළදෙනක්, බැටලුවන් තිදෙනෙක්, ශක්තිමත් අශ්වයෙක් හා අශ්ව කරත්තයක්, ෆොක්ස් හවුන්ඩ් වර්ගයේ කුඩා බලු රංචුවක් හා ග්‍රේ හවුන්ඩ් වර්ගයේ දඩ බල්ලෙක් ද ලංකාවට ගෙන්වා ඇත.

බේකර්ස් ෆාම්
බේකර්ස් ෆාම් – pinterest.com

 

මෙම සතුන් හා  අනිකුත් අමුද්‍රව්‍ය නුවරඑළියට ගෙන යන අතරතුර සිදු වූ අනතුරකින් විනාශයට පත් වූ බව සඳහන් වේ. කෙසේ හෝ මෙම දුෂ්කරතා මැඩ ගනිමින් බේකර්, මාගස්තොට ප්‍රදේශයේ කෘෂි ගම්මානයක් ඇති කර තිබේ. එය ” බේකර්ස්  ෆාම්” නමින් හඳුන්වා ඇත. වර්තමානයේ එය රජයේ අර්තාපල් ගොවිපළක් ලෙස පවත්වා ගෙන යයි.

ශීත දේශගුණය හේතුවෙන් ඊට සරිලන පරිදි නුවරඑළිය ප්‍රදේශයේ නිවාස සැලසුම් කර ඇත. ක්‍රීඩා පිටි, උද්‍යාන නිර්මාණය කිරීමත්, ස්ථාන නාම අලුතින් යෙදීමත් හේතුවෙන් නුවරඑළිය සමකාලීන එංගලන්තයේ නගරයක් මෙන් විය. සිය මවු රටින් බැහැර ව සිටි බ්‍රිතාන්‍යයන්ට එය තම මවු රාජ්‍යයේ ජීවත් වීමක් හා සමාන විය.

කවරයේ ඡායාරූපය - නුවරඑළිය වැව එදා - lakpura.com

මූලාශ්‍ර:

1. අභයවර්ධන, එච්.ඒ.පී. කඩයිම් පොත් විමර්ශය කොළඹ : ශ්‍රීලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ,1978.

2. බණ්ඩාර, මනතුංග. මගේ උපන් ගම ගැන සීදූව: චමාලි ප්‍රකාශකයෝ,1998.

3. මාරඹේ, ඒ.ජේ.ඩබ්ලිව්. ත්‍රී සිංහලේ කඩයිම් හා විත්ති මහනුවර : ලංකා ප්‍රදීප යන්ත්‍රාලය,1928.

4.ලංකානන්ද, ලබුගම.(සංස්.). මන්දාරම් පුවත කොළඹ : අනුලා මුද්‍රණාලය , 1956.

5. විමලානන්ද, තෙන්නකෝන්. උඩරට මහ කැරැල්ල, කොළඹ: ගුණසේන සහ සමාගම, 1962.

6. සීර්, චාල්ස්. ලංකාව සහ සිංහලයෝ පරිවර්තක. ප්‍රේමචන්ද්‍ර අල්විස්. කොළඹ: සූරිය ප්‍රකාශකයෝ.

7.හෙකල්, අර්නස්ට්, ලංකාවට ගමනක් පරිවර්තක.චානක සේනානායක. කොළඹ :සූරිය ප්‍රකාශන, 2005.

8. Baker, S.W. Eight Years in Ceylon

London: Longmans Green and co,1898.

Related Articles