විනාඩියෙන් කඩා වැටුනු සිංගප්පුරුවේ හොටෙල් නිව් වර්ල්ඩ් ගොඩනැගිල්ල

සිංගප්පූරුව කී සැනින් අපට සිහියට නැගෙන්නේ එකිනෙක පරයමින් අහස උසට නැගෙන ගොඩනැගිලියි. මේ විසල් ගොඩනැගිලි සිංගප්පූරුවේ සේවා ආර්ථිකයේ ඉතා වැදගත් අංගයක්. ‘හොටෙල් නිව් වර්ල්ඩ්’ එවැනි ගොඩනැගිල්ලක්.

එහෙත් 1986 දී මුළු සිංගප්පූරුවම භීතියට පත් කරමින් සය මහල් ගොඩනැගිල්ලක් වූ හොටේල් නිව් වර්ල්ඩ් විනාඩියකටත් වඩා අඩු කාලයක දී මුළුමනින්ම බිමට සමතලා වුණා.

කඩා වැටීම/ Seconds from the Disaster

දිනය 1986 මාර්තු 15 වෙනිදා යි. සිංගප්පූරුවේ, ලිට්ල් ඉන්දියා පෙදෙසෙහි සෙරන්ගූන් හා ඔව්න්ස් මාර්ග දෙකට යාබදව ඉදිකරන ලද හොටෙල් නිව් වර්ල්ඩ් ගොඩනැගිල්ලට තවත් එක් දිනයක් වුණා. 1967-71 කාලය තුල ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ලේ 1975 දී සිදුවූ කාබන් මොනොක්සයිඩ් කාන්දුවීමක් නිසා 30 දෙනෙකු පමණ රෝහල්ගත කෙරුණු නමුත්, ඔවුන්ගේ කිසිවකු මරණයට හෝ වෙනත් අතුරු ආබාධවලට ලක් වූයේ නැහැ. මේ සිද්ධිය හැරෙන්නට වෙනත් කිසිදු සැලකිය යුතු සිද්ධියක් මෙම ගොඩනැගිල්ල ආශ්‍රිතව වාර්තා වී තිබුනේ නැහැ. මෙම ගොඩනැගිල්ල අවන්හලක්, රාත්‍රී සමාජ ශාලාවක්, බැංකු ශාඛාවක්, හෝටල් කාමර කිහිපයක් මෙන්ම පහළම මහලේ වාහන අංගනයකින් සමන්විත වූවා. 

ඒ භයංකාර දින එම කඩා වැටීමට පැයකට පමණ පෙර, ගොඩනැගිල්ලේ රථගාලට සුන්බුන් විශාල වශයෙන් කඩා වැටෙන්නට පටන්ගෙන තිබුණා. ගොඩනැගිල්ලේ අයිතිකරු ඒවා සාමාන්‍ය සිද්ධියක් බව එහි සිටි අයට පවසා සිටියා. ඔහු සේවකයන් දෙදෙනෙකු යෙදවූයේ ඒවා මතුපිටින් වසා දැමීම සඳහා යි.

ගොඩනැගිල්ලේ කඩා වැටීම හා බේරාගැනීමේ කටයුතු

Image result for singapore building collapse
ගලවාගැනීමේ කටයුතු/ The Straits Times

හොටෙල් නිව් වර්ල්ඩ් එදින පෙරවරු 11.25ට දූවිලි වලාවක් නංවමින් විනාඩියක් යන්නටත් මත්තෙන් බිමටම සමතලා වුනා. මුල දී 200ක් පමණ ගොඩනැගිල්ලට යටවී ඇතැ යි සිතු නමුත්, පසුව ඒ ගණන 50-60ක් වනු ඇතැ යි උපකල්පනය කරා. සිංගප්පූරුව කිසි විටකත් මෙවැනි ඛේදවාචකයකට සූදානම්ව සිටියේ නැහැ. 1978 ස්පයිරෝයි ඛේදවාචකයින් පසු සිද්ධ වූ මේ ඛේදවාචකය, ඒ වනවිටත් මුළු සිංගප්පූරුව කැළඹීමට පත් කර තිබුණා. එවකට සිංගප්පූරු අගමැතිවරයා සිටි ලී කුවාන් යූ ඇතුළු අමාත්‍යය මණ්ඩලයේ කිහිපදෙනෙකුම සිද්ධිය වූ ස්ථානයට පැමිණ බේරාගැනීමේ කටයුතුවලට රාජ්‍ය අනුග්‍රහය සෘජුවම ලබා දුන්නා.

සිංගප්පූරුවේ, ගලවාගැනීමේ හා ගිනි නිවීමේ භටයන්ගේ නුපුහුණු තත්ත්වය මත, කඩා වැටුනු ගොඩනැගිල්ල ආසන්නයේ භූගත දුම්රිය ස්ථානයක ඉදිකිරීමේ කටයුතුවල නියුතුව සිටි අයර්ලන්ත, එංගලන්ත හා ජපාන පිරිසක් බේරාගැනීමේ කටයුතුවලට ස්වේඡාවෙන්ම ඉදිරිපත් වීම කාගේත් පැසසුමට ලක් වුනා. සිංගප්පූරු කණ්ඩායම බර යාන්ත්‍රික වාහන භාවිතා කිරීම ඒ වනවිටත් ගොඩනැගිලි සුන්බුන්වලට පණපිටින් යටවී සිටි අයගේ ජිවිත අනතුරේ හෙලීමක් බව මේ විදේශිකයින් පෙන්වා දුන්නා. ඔවුන් යෝජනා කළේ ගොඩනැගිලි සුන්බුන්වලට යටින් උමඟක් සැදීම යි. එහෙත් එය සිතූ තරම් ලෙහෙසි පහසු කාර්යයක් වුයේ නැහැ. මුලින්ම සුන්බුන් උමඟ හාරන අයගේ හිස මතට කඩා වැටීමේ අවදානමක් තිබුනා. ඒ අවදානමත් සමග ක්‍රියාත්මක වූ උමඟ හාරන අය දුටුවේ, රථගාලේ වූ වාහන පොඩි පට්ටම් වී ඉන්ධන පිටතට වහනයව තිබූ බව යි. උමඟ හෑරීමේ යන්ත්‍ර මඟින් සුළු හෝ පුළිඟුවක් නිකුත් වූවොත් මුළු ප්‍රදේශයම පුපුරා යෑමේ අවදානමක් තිබුනා. එනිසා ඔවුන් තම ජීවිත අවදානම ද නොතකා ගොඩනැගිලි සුන්බුන් යට තිබූ පෙට්‍රල් හා ජලය සුන්බුන් අතරින් එළියට පොම්ප කරා. බේරාගැනීමේ කටයුතු නැවත ආරම්භ කෙරුනේ ඉන් පසුව යි.  

බේරාගැනීමේ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස සිද්ධියෙන් දින දෙකකට පසුවත් දෙදෙනෙකු පණපිටින් මුදා ගනු ලැබුවා. එක අයකුට සුළු තුවාල පමණක් තිබිම ආශ්චර්යයක් වූ අතර අනෙකා එක් ඇසක අනතුරක් පමණක් සහිතව දිවි බේරාගත්තා. ගොඩනැගිල්ල කඩා වැටීමෙන් දින දෙකකට අනතුරුව, එම ඛේදවාචකයෙන් 33 දෙනෙකු මිය ගිය බවත්, තවත් 17 දෙනෙකු බේරාගත් බවත් වාර්තා කරමින් ගොඩනැගිල්ලේ ගලවාගැනීමේ කටයුතු අවසන් කෙරුනා.

 

1301550784849
ගලවාගැනීමේ කටයුතු/ https://mustsharenews.com/hotel-new-world-collapse/

 

වරද කාගෙද?

ගොඩනැගිල්ලේ බේරාගැනීමේ කටයුතු නිමවුවත්, එම සිදුවීම සිංගප්පූරු රජය කම්පනයට පත් කර තිබුනා. එම විනාශයට හේතු සොයා නොගත්තොත් සිංගප්පූරු ආර්ථිකය ද නිව් වර්ල්ඩ් ගොඩනැගිල්ල මෙන් කඩා වැටීමේ අවදානමකට ලක්වීම වැලැක්විය නොහැකි බව රජය අවබෝධ කරගත්තා. ඇතැම් ආයෝජකයින් සිංගප්පූරුව හැරයාමේ අවදානමක් ද මතුව තිබුනා. ඒ අනුව රජය මේ ගොඩනැගිල්ල කඩාවැටිමේ හේතු සෙවීමට තාක්ෂණික කමිටුවක් පත්කළා.

කමිටුවේ අවධානය මුලින්ම යොමු වූයේ සිදුවීම කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ ගෑස් කාන්දුවකින් සිදුවූ පිපීරීමක් ද යන්න යි. මීට පෙර සිදුවු ගෑස් කාන්දුවත්, ගොඩනැගිල්ල කඩා වැටෙන විට පිපිරීම් ශබ්දයක් ඇසුනු බවට ලද සාක්ෂ්‍ය ද මේ උපකල්පනයට හේතු වූවා. එහෙත් ගොඩනැගිල්ලක් පිපිරී යන්නේ නම් වීදුරු කැබලි විසිරී යායුතු හෙයින්, එසේ සිදු වී නොමැති නිසා එම මතය මුළුමුනින්ම බැහැර කෙරුනා.

ඊළගට කමිටුවේ අවධානය යොමුවූයේ ගොඩනැගිල්ල තිබූ ප්‍රදේශය අවට පාංශු පරික්ෂාවකට යි. පාංශු පරික්ෂාවන් කිහිපයකින් අනතුරුව ගොඩනැගිල්ල ගිලා බැසි බවට වූ මතය ඉවත දැමුනා.

කමිටුවේ ඊළඟ අවධානය යොමුවූයේ ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ ප්‍රමිතිය පිළිබඳව යි. ඒ පිළිබඳ ඉතා වැදගත් තොරතුරු දෙකක් ලැබී තිබුනා. ගොඩනැගිල්ල ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් දුන් සාක්ෂ්‍යයේ, ගොඩනැගිල්ලේ අයිතිකරු ඉදිකිරීම කඩිනම් කිරීමට ප්‍රමිති නිර්දේශයන් නොසලකා හැරි අවස්ථා වූ බව සඳහන් වුණා. ගොඩනැගිල්ලේ සුන්බුන් හරහා උමඟක් තැනූ විදේශිකයින්, ගොඩනැගිලි සුන්බුන් කඩා ඉවත් කිරීමේ දී සමහර සුන්බුන් චීස් පෙත්තක් මෙන් පහසුවෙන් කපා ඉවත්කළ හැකි වූ බවට කළ ප්‍රකාශය කොන්ත්‍රාත්කරුවන්ගේ සාක්ෂ්‍යය තහවුරු කිරීමට හේතුවූවා. ඒ අනුව ගොඩනැගිල්ලේ සුන්බුන් පරික්ෂාවට ලක්කෙරුනා. නමුත් ගොඩනැගිල්ලේ කඩා වැටීමෙන් මේ සුන්බුන් දුර්වල තත්ත්වයට පත්වූවා වියහැකි බව හැරෙන්නට, ප්‍රමිතියට හානි වූ බවක් සොයාගැනීමට ලැබුනේ නැහැ. ගොඩනැගිල්ලේ අයිතිකරු ද අනතුරෙන් මිය ගොස් සිටීම නිසා වැඩිදුර තොරතුරු සොයාගැනීමට හැකිවූයේත් නැහැ. 

ඊළඟට එම කමිටුවේ ඇස යොමුවූයේ එම ගොඩනැගිල්ලට යාර 100කට පමණ මෙපිටින් ඉදිකරමින් තිබූ උමං දුම්රිය මාර්ගය වෙත යි. ඊට ප්‍රධානවම හේතුවූයේ ඊට ටික කලකට පෙර මෙවැනිම ආකාරයෙන් කඩා වැටුණු දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක් අසලින් ඉදිකෙරුනු උමං මඟක් තිබීම යි. ඒ වනතුරු ගලවාගැනීමේ මෙහෙයුමේ නිර්භීතව යෙදී සිටි උමං මාර්ගයේ වැඩකරුවන් වෙත, මෙම මතයත් සමගම යොමුවුණේ ජනතා අප්‍රසාදයක්. මේ මතය සනාත වූයේ නම් සිංගප්පූරුවේ ගොඩනැගිලි හා දුම්රිය උමං මාර්ග තැනීමේ ව්‍යාපෘති ගණනාවක් නවතාදැමීමේ වීමේ අනතුරක් තිබුනා. ඒ අනුව කඩිනමින් කරන ලද පරීක්ෂණයට අනුව, උමං මාර්ගය කඩාවැටුණු ගොඩනැගිල්ලට යාර 100කට පමණ එහායින් තිබූ නිසා ඉන් ඇතිවිය හැකි බලපෑම ඉතා අවම බව තීරණය වූවා. ඉන් වඩාත්ම සැනසීමට පත්වූයේ උමං මාර්ග සේවකයින් බව නම් ඉතා පැහැදිලියි.

කෙසේ වෙතත් කමිටුව මේ වනවිට හෝඩුවාවන් අතින් අවසානයකට පැමිණ සිටි නිසා ඔවුන් ගොඩනැගිල්ලේ ඊට පෙර රාත්‍රියේ සිටි අයගෙන් සාක්ෂ්‍ය විමසීම ඇරඹුවා. එහිදී ඉතා වැදගත් සාක්ෂ්‍ය දෙකක් කෙරෙහි කමිටුවෙහි අවධානය යොමුවුනා. රාත්‍රී සමාජ ශාලාවේ සිටි සේවිකාවකගේ සාක්ෂ්‍යයට අනුව, පෙරදා රාත්‍රියේ සමාජ ශාලවේ රංගන ප්‍රදේශයේ ඉරිතැලීමක් සිදූවු බවත්, එය පිළිසකර කෙරුණු බවත් ඇය දන්වා සිටියා. එම සමාජ ශාලාවේම නාට්‍යාංගනාවක් ප්‍රකාශ කළේ ඇය එදින රාත්‍රීයේ නැටුම් සඳහා රූපලාවන්‍ය කටයුතු කරමින් සිටියදී එතැන තිබූ බිත්තියට සවිකළ මුහුණ බලන කණ්නාඩිය පුපුරා ගිය බව යි. මේ සාක්ෂ්‍ය මත ඉදිරියට ගිය කමිටුව ගොඩනැගිල්ලේ සැලැස්ම විමර්ශන කිරීමේ දී පෙරදින රාත්‍රීයේ බිදවැටුනු ස්ථාන දෙකත්, ගොඩනැගිල්ල කඩා වැටීමට මොහතකට පෙර කඩා වැටුනු ස්ථානයක් සෘජුවම ගොඩනැගිල්ලේ කුලුණු තුනකට සම්බන්ධ බව සොයාගැනීම මෙම පරීක්ෂණය කිසියම් හෝ ඉලක්කයක් වෙත ඇදීයන බව පෙන්නුම් කළා.

ඉන්පසු කමිටුව ගොඩනැගිල්ලේ සැලසුම්කරු වෙත යොමුවුනා. එහිදී අනාවරණය වූයේ සැලසුම්කරුවා කුළුණු නිර්මාණය කිරීමේ දී ගණනය කිරීමේ මූලික වරදක් කර තිබූ බව යි. ඔහු ගණනය කර තිබුනේ ‘live load’, එසේත් නැත්නම් මෙම ගොඩනැගිල්ල පරිහරණය කෙරෙන බර (එනම් ගොඩනැගිල්ලේ මිනිසුන්, ගෘහ භාණ්ඩ ආදිය) පමණක් වන අතර, ඔහු ‘dead load’ (ගොඩනැගිල්ලේ බර) මුළුමනින්ම අමතක කර තිබුනා. එමෙන්ම, ගොඩනැගිල්ලට මෑත කාලීනව, ටයිල්, වායු සමීකරණ කුළුනක් හා බැංකුවට සේප්පු යනාදිය එකතු කර තිබුනා. ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ කුළුණු කෙසේවත් එම බර දරාගැනීමට සුදුසු තත්ත්වයක නොවූ බව තීරණය කෙරුනා. ගොඩනැගිල්ල කඩාවැටීමේ සුලමුල එසේ සොයා ගනු ලැබුවේ සමස්ත සිංගප්පූරුව කදුළු මැදින් සැනසුම් සුසුම් හෙළමින්.

ඒ කෙසේ වෙතත් සිංගප්පූරු රජය වහා ක්‍රියාත්මක වුනා. ගොඩනැගිලි ඉදිකිරීම් නිති-රීති දැඩි කෙරුණා පමණක් නොව, ඒ වනවිට ඉදිකරමින් තිබූ සියළු ගොඩනැගිලි නැවත ඇගයීමට කටයුතු කර, එයින් ගොඩනැගිලි කිහිපයක් භාවිතයට නුසුදුසු බව ප්‍රකාශ කෙරුනා. එමෙන්ම තම ජීවිත පරදුවට තබමින් වෙනත් රටක මිනිසුන් බේරා ගැනීමට ඉදිරිපත් වූ ඒ උමං දුම්රිය මඟ කම්කරුවන් සම්මානයෙන් පුදනු ලැබුවා.

ඛේදවාචක යනු මිනිසුන්ගේ ඇස් අරවන්නට සොබාදහම විසින් කරනු ලබන සිහිකැඳවීම් බව කිවහැකියි. එම සිහිකැඳවීම් නිසි පරිදි අවබෝධ කර නොගත්තේ නම් සිංගප්පූරුව කඩා වැටෙන්නේ 1986 දී විය හැකිව තිබුනා. එහෙත් ඛේදවාචකයක් රිදී රේඛාවක් කරගත් සිංගප්පූරුව අපට කියා දෙන්නේ, අප සිංගප්පූරුවක් වීමට තව බොහෝ දුර යායුතු බව යි.

Related Articles