නාඋරු දෙව්ලොවෙන් නරකයට වැටුනේ කොහොමද?

පෙර ලිපියෙන් නාඋරුවලට විදේශ බලපෑම ඇරඹුණු තැන සිට ෆොස්ෆේට් සම්පත සොයා ගැනීම සහ එහි කැණීම් කටයුතු ආරම්භ වුණ හැටි අපි විස්තර කළා. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ, නිදහසෙන් පසු නාඋරු රාජ්‍යයේ වූ සිදුවීම් ඔස්සේ ඔබව චාරිකාවක් රැගෙන යාමට යි.

නිදහසෙන් පසු ආ ධනවත්කම

1968 වන විට නාඋරු භූමියෙන් තුනෙන් එකක් පමණ ෆොස්ෆේට් සඳහා කැණීම්කොට තිබූ අතර, දූපත් වැසියන් ජීවත් වුණේ කඩතොලු ගහණ, රේසර් තල වැනි තියුණු කොරල් සහ හුණුගල් කුළුණු ගහණ වූ සානුවක. දෙවන ලෝක යුද්ධය අතරතුර සහ එම යුද්ධයෙන් පසුව නාඋරු ඉඩම් හිමියන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රාජකීයන් වෙතින් මුදල් ත්‍යාග ලැබුණු අතර කුඩා අරමුදල් ද පිහිටුවනු ලැබුවා.

නාඋරු පොළෝ ගැබේ ෆොස්ෆේට් කැණීම සම්පූර්ණයෙන්ම සොරකමක් නොවුණත්, එම කැණීම් කළ ඉඩම් ප්‍රතිස්ථාපනය කිරීම, පාරිසරික හානිය, සහ පිරිවැය සැලකිල්ලට ගත් විට, ෆොස්ෆේට්වලින් නාඋරු වාසීන්ට ලැබුණේ ඉතා කුඩා ලාභයක්. නිදහසින් පසු ජනරජයක් බවට පත් වූ නාඋරු පාලනය එහි ඉතිරි ෆොස්ෆේට්වලින් මුදල් ලබා ගැනීමට තීරණය කළ අතර, පරම්පරාවක් හෝ දෙකක් තුළ සැපයුම් අවසන් වන බව දැන සිටිය ද අපනයන වැඩි කිරීමට නාඋරු රජය තීරණය කළා.

නිදහස ලබාගත් පසුව එළඹුණු දශක දෙක ඇතුළත නාඋරු දූපත ධනවත් දේශයක් බවට පත් වුණා. 1975 දී රාජකීය නාඋරු ෆොස්ෆේට් භාරකාර අරමුදලට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියනයකට වඩා වැඩි වත්කම් තිබුණු අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අතින් නාඋරු දෙවැනි වුණේ සෞදි අරාබියට පමණ යි. කෙසේ නමුත් බොහෝ නාඋරු වැසියන් ගත කළේ සුඛෝපභෝගී ජීවිත නොවේ. එහෙත් ආදායම් බදු අය නොකිරීම, නොමිලේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා සැපයීම, සහ නාඋරු වැසියන්ගේ ප්‍රධාන සේවා යෝජකයා බවට පත් වෙමින් නාඋරු රජය තම පුරවැසියන්ට බොහෝ පහසුකම් සැලසුවා. ඒ නිසා පුරවැසියන් ළඟ ඇති තරම් මුදල් ඉතුරු වුණා. එම ධනය සැපයූ ෆොස්ෆේට් කැණීම සිදුකළේ සංක්‍රමණිකයන් විසින්.

ෆොස්ෆේට් කර්මාන්තය නිසා විනාශ වූ භූමිය/theguardian.com

එවකට නාඋරු රජය ගුවන් යානා සහ විදේශීය හෝටල් ද මිල දී ගත් අතර දේශපාලකයින් සාප්පු සවාරි හා විදේශගත වීම සඳහා ගුවන් යානා කුලියට ලබා ගත්තා. කුතුහලය දනවන කරුණ නම්, මේ කාලය තුළ ක්‍රීඩා මාදිලියේ මෝටර් රථ හිමිකර ගැනීම නාඋරුවල සුඛෝපභෝගී අංගයක් බවට පත්වීම යි. නමුත් හාස්‍යජනකම කරුණ වූයේ මෙවැනි වාහනයක් මඟින් මෙම කුඩා දිවයින වටා විනෝදයෙන් රිය පැදවීමට ගත වන්නේ මිනිත්තු විස්සක කාලයක් පමණක් වීම යි. එක් පොලිස් ප්‍රධානියෙක් ලැම්බෝගිනි වර්ගයේ වාහනයක් ආනයනය කළ ද, එයට නැඟගත් විට රෝද තරමක් මිරිකෙන තරමට ඔහුගේ ශරීර බර වැඩියැ යි තේරුම් ගත් බව සඳහන්. ඒ වගේම ඇතැම් මිනිසුන් සාප්පුවලට ගොස් රසකැවිලි ස්වල්පයක් මිල දී ගෙන ඩොලර් පනහක් ලබා දෙන්නේ ඉතිරි මුදල ද නැවත ලබා නොගෙන යි. සරලවම ඔවුන් මුදල් නෝට්ටුවලට සැලකුවේ “ටොයිලට් පේපර්” හා සමාන ලෙස යි. දූපතේ මේ සීමිත ධනවත් සමය තුළ එහි වැසියන් මෙලෙස අමනෝඥ ලෙස හැසිරුණා.

මෙම කාලය තුළ නාඋරු රජය 1967 ජූලි මාසයට පෙර පතල් කැණීමෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලා සිටීමට මඟක් සොයමින් සිටියා. නිදහසට පෙර නාඋරු දිවයිනේ පරිපාලනය භාරව සිටි රාජ්‍යය වශයෙන්, මෙම පතල් කැණීම නාඋරු දූපත විනාශය කරා රැගෙන යන බව ඕස්ට්‍රේලියාව හොඳින්ම දැන සිටියා. එයට හිලව්වක් වශයෙන් 1960 දශකයේ මුල් භාගය වන විට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළට ඔබ්බෙන් වූ කර්ටිස් දූපතේ පුරවැසිභාවය සහ සීමිත ස්වයං පාලනයක් ලබා දෙමින් නාඋරු වාසීන්ව නැවත පදිංචි කිරීමට ඕස්ට්‍රේලියාව යෝජනාවක් පවා කළේ, අනාගත අවදානම ගැන ඔවුන්ට අවබෝධයක් තිබෙන්නට ඇති නිසා යි. නමුත් නිදහසින් පසු ඕස්ට්‍රේලියාව නාඋරුවරුන්ට වන්දි ගෙවීම පිළිබඳ සලකාබැලීමට අකමැති වූ අතර දශක ගණනාවක ප්‍රමාදය හා උදාසීනත්වය හේතුවෙන් 1989 දී නාඋරු රජය ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර අධිකරණය වෙත රැගෙන ගියා..!

නාඋරු පරිපාලනයට මෙම නඩුව පැත්තෙන් ප්‍රබල සාධක සහ වාසි තිබෙන බව ඕස්ට්‍රේලියාව අවබෝධ කර ගත්‍තා. ඒ අනුව 1994 දී ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 57ක් සහ ඉදිරි වසර 20 තුළ තවත් ඩොලර් මිලියන 50ක් ගෙවීමට එකඟ වුණා (පසුව එක්සත් රාජධානිය සහ නවසීලන්තය, ඕස්ට්‍රේලියාවේ මූල්‍යමය බර අඩු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12ක් බැගින් ලබා දුන්නා). මෙම විසඳුම යම් දුරකට නාඋරු වැසියන්ට සදාචාරාත්මක හා නීතිමය ජයග්‍රහණයක් වුණත්, දශක ගණනාවක් තිස්සේ සිදුවූ හානිය සලකා බැලීමේ දී මෙම වන්දිය මූල්‍යමය වශයෙන් සුළු මුදලක්.

නාඋරු ගැන නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පළකෙරූ පැරණි ලිපියක්. එහි සිරස්තලය වන්නේ “ලොව ධනවත්ම කුඩා දූව” යන්න යි /nytimes.com

අසාර්ථක වූ ආර්ථික ප්‍රතිසංස්කරණ

ෆොස්ෆේට් සැපයුම් අවසන් වීමට පෙර ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට උත්සාහ කළ නාඋරු රජය, වර්ෂ 1990න් ඇරඹුණු දශකයේ මුල් භාගය වන විට විදේශීය බැංකු 400කට පමණ බලපත්‍ර ලබා දෙමින් අක්වෙරළ බැංකුකරණය වෙත යොමු වුණා. 1991 දී මෙම බැංකු බලපත්‍ර භාරව සිටි ටෝනි ඕඩෝවා තම රජය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පුවත්පතකට මෙසේ පැහැදිලි කළා.

 “පොස්පේට් කර්මාන්තය අවසන් වූ පසු, සෑම වසරකම වෙනත් තිරසාර හා  පුනර්ජනනීය ක්ෂේත්‍ර කරා අප යා යුතු ය.”

මෙයට “නීති විරෝධී” යන වචනය භාවිතා කළ යුතු වූ නමුත් එසේ කිරීමට නොහැකි නිසා, නාඋරු රජය “තිරසාර” හෝ “පුනර්ජනනීය” යන වචන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණයේ දී යොදා ගත් බවකුයි පෙනෙන්න තිබෙන්නේ.

මෙම බැංකුකරණය යටතේ කිසිවෙකුටත් බැංකුවක් හෝ ශාඛාවක් හෝ විවෘත කිරීම සඳහා දිවයිනට පැමිණීම අවශ්‍ය වුණේ නැහැ. බැංකු වාර්තා තබාගැනීමත් අත්‍යවශ්‍ය නොවුණ බව කියැවෙනවා. 1990 දශකයේ මැදභාගය වන විට නාඋරු දේශයේ ආර්ථික පුරවැසිභාවය ද ලබා දුන්නේ විදේශ ගමන් බලපත්‍රය සුළු පරික්ෂා කිරීමකින් පසුව වීමත් විශේෂත්වයක්. මෙමඟින් නාඋරු රජය ඩොලර් මිලියන ගණනක් ගාස්තු වශයෙන් උපයා ගත් අතර මෙම ක්‍රියාකරකම් හේතුවෙන් බදු පැහැරහැරීම් සහ මුදල් විශුද්ධිකරණය ආදියට නාඋරු දේශය තෝතැන්නක් බවට පත් වුණා. වරෙක එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය, නාඋරු දේශයේ මෙම අවිධිමත් බැංකුකරණය ගැන මෙසේ අදහස් දක්වූවා.

“නාඋරු රජය එම භූමියේ හෝ වෙනත් රටක භෞතික පැවැත්මක් නොමැති බැංකු පිහිටුවීමට අවසර දීම සම්බන්ධයෙන් කූප්‍රකට වූ තැනක්”.

ඔවුන් පවසන පරිදි මෙම බැංකු නාඋරු හෝ වෙනත් අධිකරණ බලයක් සමාලෝචනය කළ හැකි බැංකු වාර්තා කිසිවක් පවත්වාගෙන යන්නේ නැත. සාක්ෂ්‍යවලින් පෙනී ගිය ආකාරයට මෙම බැංකු බලපත්‍ර ලබා ගන්නා ආයතන, රටේ නිලධාරීන්ගේ ප්‍රමාණවත් සමාලෝචනයට භාජනය නොවන අතර විශ්වාසනීය ලෙස කරගෙන යන අඛණ්ඩ අධීක්ෂණයක් ද නොමැති වූ බව යි පැවසෙන්නේ.

නාඋරු ෆොස්ෆේට් නිෂ්පාදනයේ ක්‍රමික අඩුවීම ප්‍රස්තාරයකින්/seekingalpha.com

නාඋරු අනවසර සංක්‍රමණිකයින්ට කඳවුරක් වෙයි

කෙසේ නමුත් මෙම අක්වෙරළ බැංකුකරණය හෝ විදේශ ගමන් බලපත්‍ර විකිණීම මඟින් නාඋරු රාජ්‍යයේ ආර්ථික දුෂ්කරතා විසඳීමට නොහැකි වුණා. 2001 දී, මේ කරුණු කාරණා අතරවාරයේ තමයි, හොඳ ආදායමක් සහිත රැකියා බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණි අනවසර සංක්‍රමණිකයින් රඳවා තැබීමේ ස්ථානයක් ලෙස ඕස්ට්‍රේලියාවේ අවධානය නාඋරු වෙත යොමු වන්නේ. ඒ අනුව අනවසර සංක්‍රමණිකයන් සඳහා නාඋරු දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඕස්ට්‍රේලියාව සහ නාඋරු රජයන් අතර එකඟතාවයක් ඇති වුණා. 2002 වන විට සරණාගතයින් 1,000ක් පමණ නාඋරු වෙත ගෙන එනු ලබන අතර එම සංක්‍රමණිකයන් ගෙන් වැඩි පිරිසක් ඇෆ්ගනිස්ථාන හා ඉරාක ජාතිකයන් වූවා. මෙම සංක්‍රමණිකයන් රඳවා තබාගැනීම වෙනුවෙන් වසර කිහිපයක් තිස්සේ ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන ගණනින් නාඋරු භාණ්ඩාගාරයට ලබා දුන් අතර, එවැනි පසුබිමක වුණත් නාඋරු රජයට තම ආර්ථිකයේ වූ හිඩැස් වසා දැමීමට නොහැකි වුණා. 

1990 දශකයේ පටන් නාඋරු දේශයේ ෆොස්ෆේට් අපනයනය අඛණ්ඩව පහත වැටෙමින් තිබුණා. 2000 වර්ෂයේ දී ෆොස්ෆේට් අපනයන මෙට්‍රික් ටොන් 500,000ක පමණ අගයක් ගත් අතර 2004 වර්ෂය වන විට නාඋරු පොළෝ ගැබේ ෆොස්ෆේට් සංචිතය අවසන් අඩියට පැමිණුනා. එම වර්ෂයේ දී නාඋරු අපනයනය කළේ ෆොස්ෆේට් මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණයක් පමණ යි.

ඒ වන විට නාඋරු රාජ්‍යයේ ආර්ථිකය කෙමෙන් කෙමෙන් දුර්වල අඩියකට වැටෙන්න පටන් ගත්තා. ඒ වනවිටත් ආදායම් බදු එකතු කර නොතිබූ රජය, බොහෝ දුරට නාඋරු ජාතිකයන්ගේ ප්‍රධාන සේවා යෝජකයා වුණා. රාජ්‍ය ආයෝජන ව්‍යාකූල වීම සහ වසර ගණනාවක පුනරාවර්තන හිඟයන් සමග රජයට නාඋරුහි ස්වෛරී ධන අරමුදලෙන් විශාල වශයෙන් ණය ලබා ගැනීමට සිදුවුණා. රාජ්‍ය සේවා වැටුප් ගෙවීමේ ගැටළු සහ ණය පැහැරහැරීම් නිසා, 2004 දී නාඋරු රජයට රටේ මූල්‍ය කළමනාකරණය සිදු කිරීම සඳහා ඕස්ට්‍රේලියාව වෙත ආපසු හැරෙන්න සිදු වුණා. 

2005 දී ෆොස්ෆේට් අපනයනය වාර්තාගත අවමයක් දක්වමින් මෙට්‍රික් ටොන් 8,000 දක්වා පහත වැටුණ අතර, එම වසරේම නාඋරු රාජ්‍යයේ  බැංකුවකට බලපත්‍ර ලබාදීම සඳහා “භෞතිකව පෙනී සිටීම” අවශ්‍ය කරුණක් බවට පත් වුණා. මුදල් විශුද්ධිකරණය නැවැත්වීම සහ ආර්ථික පුරවැසිභාවය ලබා දීම සම්බන්ධයෙන් නාඋරු දැඩි ජාත්‍යන්තර පීඩනයකට ලක්ව සිටි නිසා මෙම අක්වෙරළ බැංකුකරණයට තිත තබන්න සිදු වුණා. එක්සත් ජනපද රජය විසින් 2001 වර්ෂයේ දී බලාත්මක කළ “දේශප්‍රේමී පනත” භාවිතා කර ‘rogue state’ ලෙස නම් කර ඇති රාජ්‍යයන් සමග ඇමරිකානු බැංකු ගණුදෙනු කිරීම වැලැක්වූ අතර, එමඟින් ආර්ථික පුරවැසිභාවය ලබාදීම උදෙසා විදේශ ගමන් බලපත්‍ර විකිණීම පැත්තෙනුත් නාඋරු රාජ්‍යයට මං ඇහිරුණා.

නාඋරු රැඳවුම් මධ්‍යස්ථානයක දර්ශනයක්/worldbulletin.net

සරණාගතයන් ගෙන් ආර්ථිකය ගොඩදැමීම

කලක් “ප්‍රසන්න දූපත” ලෙස ශාන්තිකර සාගරයේ සාමයෙන් කල් ගතකළ නාඋරු දිවයින මෙවැනි දරුණු ආර්ථික අවපාතයකට ලක්වීමට හේතු වූ කාරණා සලකාබැලීමේ දී, එහි තනි චෝදනාව දූපතේ අවිධිමත් දේශපාලනයට පමණක් පැවරිය නොහැකියි. සියවස් කිහිපයක සිට පැසිෆික් සාගරය පුරා සම්පත් සපිරි දූපත් රාජ්‍යයන් දඩයම් කරන මීනි මෝරුන් පිහිනමින් සිටියා. නමුත් නිදහසෙන් පසු නාඋරු රාජ්‍යයට දෙවන අවස්ථාවක් උදා කරමින් ෆොස්ෆේට් සම්පතේ තනි අයිතියත්, ඉතිහාසය පුරා බටහිර ජාතීන් ඔවුන්ට කළ විනාශය වෙනුවෙන් සැළකිය යුතු වන්දි මුදල් ද හිමි වුණා. ප්‍රතිඵලය වුණේ කෙටි කාලයකට නාඋරු දූපත ලෝකයේ ධනවත්ම පුංචිම ජනරජය බවට පත්වීම යි. නමුත් ඔවුන් එලෙස හිටි හැටියේම ධනවත් වී අද සරණාගතයන් රඳවන කොලනියක් බවට පත් වීමට තරම්, ඔවුන්ගේ පරිපාලනයේ සහ මූල්‍ය කලමණාකාරීත්වයේ දුර්වල බවේ තරම පාඨක ඔබට වැටහෙනවා ඇති. නාඋරු රාජ්‍යය තවමත් සිටින්නේ ලෝක ආර්ථිකය තුළ තමාගේ ස්ථානය සොයමිනුයි.

 2007 දී ඕස්ට්‍රේලියාව නාඋරු දූපතේ රැඳවුම් කඳවුර වසා දැමුවත්, නැවත එය 2012 දී  විවෘත කරනු ලැබුවා. එවකට ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරය හෙබවූ ටෝනි ඇබට් විසින් වරෙක මෙම සරණාගත කඳවුරු කිසිසේත්ම ජීවත් වීම උදෙසා අප්‍රසන්න ස්ථාන නොවන බව ප්‍රකාශ කෙරුණු බව සඳහන්. නාඋරු දූපතේ මෙම සරණාගත කඳවුරු තවත් සරණාගතයින් 15,000ක් දක්වා රඳවා තබා ගැනීමට තරම් පුළුල් කිරීමේ උත්සාහයක් ගැන ද ඔහු සාකච්ඡා කළ බව කියවෙනවා. ඕස්ට්‍රේලියානු පරිපාලනය මෙම කරුණු කාරණා කතා කළේ දූපත තුළ ස්වාභාවික ජල සැපයුමක් පවා නොමැති තත්ත්වයක් තුළ යි.

2014 වර්ෂය වන විට සරණාගතයින් 1,200කට වැඩි පිරිසක් නාඋරු රැඳවුම් කඳවුරුවලට පැමිණියා. වරින් වර සරණාගත තත්ත්වයෙන් එම කඳවුරුවල රඳවන මිනිසුන් අතර ඇෆ්ගනිස්ථාන, ශ්‍රී ලාංකික, පාකිස්ථාන, ඉරාක, ඉරාන වැසියන් සිටින බව සඳහන්. එම කඳවුරු බොහෝ විට දූපතේ “ටොප්සයිඩ්” ලෙස හඳුන්වන කොටසේ ඉඳිකළ කූඩාරම්. වියළි කාලවල දී උෂ්ණයෙන් සහ පතල් කැණීම්වල ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන සිහින් දූවිල්ලෙන් පීඩා විඳින මෙම කඳවුරු, වර්ෂා කාලවල දී මඩ ගොහොරු බවට පත් වෙනවා.

 

 

සරණාගතයන් පිළිබඳව තම රජයේ ක්‍රියාකලාපයට විරුද්ධ වෙන ඕස්ට්‍රේලියානුවන්/ bbc.com

අතීතය සුන්දර සිහිනයක් පමණ යි…

1999 දී අවුරුදු 88 ක ආයුෂ විඳ අභාවප්‍රාප්ත වූ, නාඋරු සභා දේවස්ථානයේ දේවගැතිවරයෙකු වූ ජේම්ස් එයින්ජිමියා, සිය ජීවිතයේ අවසාන කාලය තුළ නැවතත් නාඋරුවල වූ ඒ සුන්දර අතීතය වෙත යාමට සිහින මැව්වා. 1995 දී නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පිලිප් ෂෙනන් සමග තම අදහස් දක්වමින් ඔහු මෙසේ සංවේදී වුණා.  

“මම හිතනවා අපි කවදාවත් ඒ ෆොස්ෆේට් සොයා නොගත්ත නම් කියලා. නාඋරු පෙර තිබුණු තත්ත්වයෙන්ම තිබුණා නම් කොච්චර හොඳ ද කියලා මට හිතෙනවා. මගේ ළමාවියේ දී ඒ දූපත ඒ තරම්ම ලස්සන යි. දූපත ගස්වලින් පිරිලා තිබුණා, හැමතැනම කොළ පාට යි. අපිට ආහාර සඳහා නැවුම් පොල්, දෙල් වගේ දේවල් ඕනෑ තරම් තිබුණා. නමුත් බලන්න දැන් නාඋරුවලට වෙලා තියෙන දේ, මට හඬන්නට ඕනෑ!”

නමුත් ඔහුගේ පැතුම කවදාවත් ඉටු නොවනු ඇති. ඒ වනවිටත් ඔහු කල්පනා කරමින් සිටියේ දිවයින අතහැර දැමීමට කාලය පැමිණ තිබේ ද යන්න යි. 

“අපේ නිජභූමිය හැර යාමට සිදුවීම ඉතා කණගාටුදායක යි. ඒත් අපි වෙන මොනවා කරන්න ද? අපේ මුතුන්මිත්තන්ගේ දේශය විනාශ වී ගිහින්.”

ජේම්ස් එයින්ජිමියා දේවගැති තැන තවදුරටත් එලෙස පවසා තිබුණා.

තවත් කීමට බොහෝ කරුණු තිබෙන නමුත්, නාඋරුවල පිහිටි සරණාගත කඳවුරුවල වර්තමාන තත්ත්වය සහ වර්තමාන ජන ජීවිතය ගැන වැඩිදුර කරුණු සොයා බැලීමට පාඨක ඔබේ සිත් තුළ උනන්දුවක් ඇති කිරීම යි මෙම ලිපියේ අරමුණ වුණේ.

මක් නිසාද යත්, මම, ඔබ, අපි සැවෝම ඉපදුණේ නාඋරුවලටත් වඩා සම්පත් සපිරි, “ඉන්දියන් සාගරයේ මුතු ඇටය” ලෙස පවා විරුදාවලි ලත් දිවයිනක යි. නාඋරුවලට තරම් ඛේදනීය ඉරණමක් අපට තවමත් අත් වී නොතිබුණත්, දිනෙන් දින සිද්ධ වෙන සම්පත් අවභාවිතය, වන විනාශය හා දූෂණය තුළින් අපත් මන්දගාමී ලෙස ගමන් කරන්නේ මෙවැනිම තත්ත්වයක් සහිත අනාගතයක් කරා නොවේ යැයි කිව හැකි කාට ද?

ඉතින්, කොටස් දෙකක් පුරා “ශෝකාන්තයක් වූ පාරාදීසයේ කතාව” කියවූ ඔබට සිතෙන්නේ කුමක් ද? දේශපාලනමය, සමාජීය වශයෙන් ආකල්පමය වෙනසක ඇති වැදගත්කම ඔබට වැටහෙනවා ද?

Related Articles