Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවය පැවතිය හැකි අලුත් ග්‍රහලෝක කාණ්ඩයක්?

ජීවයට සුදුසු වෙනත් ග්‍රහලෝක සෙවීමේදී අපගේ සූර්යයා වැනි තාරකා වටා භ්‍රමණය වන පෘථිවිය ආකාරයේ ග්‍රහලෝකවල පැවැත්ම ගැන වැඩි අවධානයක් යොමු කිරීමට විද්‍යාඥයන් උත්සහ කරනවා. එවැනි පාෂාණමය ග්‍රහලෝකවලට පෘථිවියට ආසන්න අරයක්, ස්කන්ධයක් සහ මතුපිට දියර ජලය පැවතීමට තරම් උණුසුමකුත් පැවතිය යුතු යි.

 ඉහත කරුණු සහ තවත් හිතකර සාධක ඇති බවට සැක කෙරෙන ග්‍රහලෝක කිහිපයක් හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන් පසුගිය කාලයේ සමත් වුණා. Trappist-1d, Proxima Centauri b, එවැනි ග්‍රහලෝක සඳහා උදාහරණ ලෙස දැක්විය හැකි යි. මේ සියල්ල ම අප අයත් වන සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහලෝක වෙනවා. ඒවා ඔවුන්ට අයත් තාරකා වටා “Habitable Zone” යන ප්‍රදේශය තුළ කක්ෂගත වී තිබෙනවා. 

නික්කු මදුසුධන් – www.kicc.cam.ac.uk 

වාසයට සුදුසු කලාපය

 Habitable zone, එහෙමත් නැත්නම් “වාසයට සුදුසු කලාපය” ලෙස සලකන්නේ තාරකාවකට ජීවය සඳහා ආධාර කළ හැකි කක්ෂීය දු‍රෙන් ආවරණය වන කලාපය යි. එම කලාපය තුළ පිහිටන ග්‍රහලෝකයකට ජලය ද්‍රව අවස්ථාවේ පවත්වා ගෙන යෑමට හැකියාව තිබෙනවා. පෘථිවිය තුළ ජීවය පවත්වා ගෙන යෑම සඳහා ද්‍රව ජලය අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියා කරනවා. එසේ නම්, පිටස්තර ග්‍රහලෝකත් ජීවය පවත්වා ගැනීම සඳහා ද්‍රව ජලය අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස සලකන බවට වූ උපකල්පනය මත Habitable zone නමැති ප්‍රදේශය අර්ථ දක්වනවා.

 Habitable zone කියන්නේ ගතානුගතික එහෙත්, නිරීක්ෂණය සඳහා ප්‍රයෝජනවත් වන අර්ථ දැක්වීමක්. ග්‍රහලෝකයක මතුපිට උෂ්ණත්වය සඳහා තම කක්ෂීය චලිතය දක්වන තාරකාවට පවතින දුර එකම සාධකය ලෙස පවතින්නේ නැහැ. වායුගෝලීය හරිතාගාර වායුන්, පරාවර්තනය, වායුගෝලීය හෝ සාගර සංසරණය, අභ්‍යන්තර ශක්ති ප්‍රභව වැනි බොහෝ සාධක හමුවේ ග්‍රහලෝකයක මතුපිට උෂ්ණත්වය, ද්‍රව මට්ටමෙන් ජලය පවත්වා ගැනීම සඳහා උපකාරී විය හැකි යි. විශේෂයෙන් ම අභ්‍යන්තර ශක්ති ප්‍රභවයන්ට ජලාශවල ජීවය පවත්වා ගෙන යාමට හැකියාව තිබෙන නිසා ජීවයක් හටගන්න habitable zone එක තුළ ම ග්‍රහයෙක් පිහිටිය යුතු නැහැ.

නික්කුගේ අනාවරණය

 පෘථිවියට සමාන ග්‍රහලෝක සෙවීම පහසු කාරණයක් නොවෙයි. ඒවා හමුවීමේ සම්භාවිතාවත් අවම වෙන්න පුළුවන්. පිටස්තර ග්‍රහලොවක ද්‍රව ජලය පැවතීම පමණින් එය පෘථිවියට සමාන ග්‍රහලෝකයක් ලෙස හැඳින්විය නොහැකි යි. ද්‍රව ජලය ඇතුළු ව ජීවයට ඉවහල් වන තවත් බොහෝ සාධක පෘථිවිය සපුරා තිබෙනවා. එහෙත්, පෘථිවියට සර්වසම නොවූ පමණින් පිටස්තර ග්‍රහලෝකවල ජීවය පවතින්නේ නැති බව කියන්නත් බැහැ. මූලික සාධක සපුරා ඇත්නම් ජීවයේ ගිනිසිළු යන්තමින් හෝ එවැනි ග්‍රහලෝකවල දැල්වෙමින් තිබෙන්න පුළුවන්.

 ඒ අනුව ජීවයට සුදුසු ග්‍රහලෝක සොයා ගෙන යාමේ චාරිකාවේ දී දැඩි කොන්දේසි පනවා ගැනීමෙන් අධ්‍යයන වපසරිය සීමා වීමේ ඉඩක් තිබෙනවා. සමහරවිට අපි සොයන ජීවය නොදැනීම මඟ හැරෙන්න පුළුවන්. නික්කු මදුසුධන් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම ඒ සඳහා අපූරු විසඳුමක් විද්‍යාවේ දැනුම් පද්ධතියට එකතු කර තිබෙනවා.

 නික්කු මදුසුධන් දැනට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට අයත් තාරකා විද්‍යා ආයතනයේ තාරකා භෞතික විද්‍යාව සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් පරිබාහිර ග්‍රහයන් පිළිබඳ ව හදාරමින් සිටිනවා. ඔහු ඇතුළු කණ්ඩායම ජීවය පැවතිය හැකි බවට සැක කෙරෙන අලුත් ග්‍රහලෝක කාණ්ඩයක් හඳුනා ගෙන තිබෙනවා. ඒවා පෘථිවියට සමාන බාහිර ග්‍රහලෝකවලට වඩා සුලබ බවත්, අධ්‍යයනය කිරීම සඳහා පහසු විය හැකි බවත්, ඔවුන් විශ්වාස කරනවා. 

අපේ ග්‍රහ පද්ධතියෙන් එපිට ජීවය පැවතිය හැකි බවට සැක කෙරෙන ග්‍රහලෝක කිහිපයක්. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් ඇත්තේ ප්‍රමාණය සැසඳීමට යි – interestingengineering.com 

හයිසියන් ලෝක

 අලුත් ග්‍රහලෝක කාණ්ඩය පෘථිවියට වඩා විශාල, එහෙත්, නෙප්චූන් ග්‍රහයාට වඩා කුඩා ග්‍රහලෝක ලෙස සැලකෙනවා. ඒවා සමුද්‍රීය ග්‍රහලෝක වන අතර, හයිඩ්‍රජන් වායුවෙන් පොහොසත් වායුගෝලයක් පවතිනවා. ද්‍රව ජලය පවතින හෙයින්, ජීවයට හිතකර උෂ්ණත්ව පරාසයක් මේ සමුද්‍රීය ග්‍රහයන් සතු යි. නික්කු මදුසුධන් ඇතුළු කණ්ඩායම, “හයිසියන් ලෝක” වශයෙන් මේ ග්‍රහලෝක කාණ්ඩය නම් කර තිබෙනවා. හයිඩ්‍රජන් සහ සාගරය යන අර්ථ දෙක ම “හයිසියන්” යන වචනය තුළ අන්තර්ගත යි.

  ඔවුන් පවසන පරිදි මේ ග්‍රහලෝකවල විශාලත්වය පෘථිවිය මෙන් දස ගුණයක් පමණ විය හැකි යි. ඒ අනුව, මීට පෙරාතු ව ජීවයට සුදුසු ස්ථාන ලෙස සැක කළ ඕනෑම ග්‍රහලෝකයකට වඩා හයිසියන් ලෝක විශාල යි. පර්යේෂකයන් හයිසියන් ග්‍රහලෝක වල “Habitable zone” එක ගැනත් අධ්‍යනය කරමින් සිටිනවා. එහිදී හයිසියන් ග්‍රහලෝකවල “Habitable zone” හි පරාසය භෞමික ලෝකවලට වඩා විශාල බව අනාවරණය කර ගෙන තිබෙනවා. 

ට්‍රැපිස්ට්-1 සහ අපගේ සූර්යයා වටා ජීවයට සුදුසු කලාපය පැතිරී ඇති අන්දම. ට්‍රැපිස්ට්-1 ගේ එම කලාපය වටා ග්‍රහලෝක වැඩි ගණනක් කක්ෂගතව පවතිනවා – exoplanets.nasa.gov 

හයිසියන් ග්‍රහයන්ගේ විවිධත්වය

 හයිසියන් ග්‍රහලෝකවල සමතුලිතතා උෂ්ණත්වය සෙල්සියස් අංශක 227 ක් තරම් ඉහළ විය හැකි අතර, එය භෞමික ග්‍රහලෝකවලට වඩා බෙහෙවින් ඉහළ උෂ්ණත්වයක් ද වෙනවා. එමෙන් ම, මව් තාරකාවේ සිට කක්ෂගතව ඇති දුර ප්‍රමාණය අනුව හයිසින් ග්‍රහලෝකවල ගතිගුණ වෙනස් වෙන්න පුළුවන්. සමහර හයිසින් ග්‍රහලෝක තම තාරකාවට ඉතා ආසන්න ව කක්ෂගත වී ඇති අතර, එවැනි ග්‍රහලෝකවල එක පැත්තකට සැමදා දැවෙන උණුසුමක් සහිත දහවලකුත්, අනෙක් පැත්තට සදාකාලික අඳුරකුත් හිමි වෙනවා. තාරකාවට මුහුණ ලා ඇති පැත්තේ සමුද්‍රය ඉතා උණුසුම් හෙයින්, ජීවය පැවතීම උගහට යි. නමුත්, අනෙක් පස සාපේක්ෂව සෞම්‍ය පරිසරයක් පවතින නිසා ජීවය ගැන බලාපොරොත්තුවක් තබාගත හැකි යි.

 මව් තාරකාවෙන් දුරස්ථ ව කක්ෂගත වී ඇති ග්‍රහලෝකවලට අදාළ තාරකාවෙන් පිටවන විකිරණ ළඟා වෙන්නේ අඩුවෙන්. එවැනි ආන්තික පරිසරයක් සහිත හයිසියන් ග්‍රහලෝකවල පවා ජීවය පැවතිය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මේවා වඩාත් ශීතල හයිසියන් ග්‍රහලෝක ලෙස හඳුන්වන්න පුළුවන්.

 මව් තාරකාවෙන් වඩාත් ඈතින් පිහිටි හයිසියන් ග්‍රහලෝකවලට ද්‍රව තත්ත්වයෙන් ජලය පවත්වා ගැනීම සඳහා අභ්‍යන්තර තාප ප්‍රභව උපකාරී වන බව සිතිය හැකි යි. ජීවයට සුදුසුකම් ලැබීම සඳහා මව් තාරකාවේ සිට සුදුසු දුරකින් පැවතිය යුතුයි කියන අවශ්‍යතාවත් එතන දී බිඳ වැටෙනවා.

මැනිය හැකි ජෛව සංසිද්ධි

 ජීවයේ පැවැත්ම පෙන්නුම් කරන මැනිය හැකි ඕනෑම සංසිද්ධියක් බයෝසිග්නේචරයක් ලෙස හඳුන්වනවා. එය මූලද්‍රව්‍යයක්, සමස්ථානිකයක්, අණුවක් හෝ ක්‍රියාවලියක් වන්න පුළුවන්. නික්කු මදුසුධන් ඇතුළු කණ්ඩායමේ ඊළඟ අරමුණ වන්නේ හයිසියන් ග්‍රහලෝකවල එලෙස මැනිය හැකි ජෛවීය සංසිද්ධියක් පවතිනවා ද යන්න සොයා ගැනීම යි. එවිට අනාගත ගවේෂණවලදී හයිසියන් ග්‍රහයකුගේ ජීවි අජීවි බව දුර තියා ම හඳුන ගන්න පුළුවන්. පෘථිවිය සැලකීමේදී ඔක්සිජන්, මීතේන් වායු බයෝසිග්නේචරයන් ලෙස ක්‍රියා කළත්, එම වායුන් හයිසියන් ලෝකවලදී අජීවි ක්‍රියාවලි හරහා නිපදවෙන පසුබිමක් තිබෙනවා. ඒ නිසා පෘථිවියේ සලකන ඇතැම් බයෝසිග්නේචරයන් හයිසියන් ලෝකවලට වලංගු වන්නේ නැහැ.

 කෙසේ වෙතත්, පෘථිවියේ ජීවින් අතර පවතින පරිවෘත්තීය ක්‍රියාවලීන් මඟින් ද්විතියික සංයෝග ගණනාවක් නිපදවන අතර, ඒවා හයිඩ්‍රජන් පොහොසත් වායුගෝලය තුළ පහසුවෙන් හඳුනාගත හැකි යි. ඩයිමෙතිල්සල්ෆයිඩ් (DMS), ඩයිමෙතිල්ඩිසල්ෆයිඩ් (DMDS), මෙතේනෙතියෝල් (CH3SH), කාබොනිල්සල්ෆයිඩ්, ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකි යි.  හයිසියන් ලෝක සඳහාත්, පිළිගත හැකි බයෝසිග්නේචරයන් ලෙස ඉහත රසායනික සංයෝග යොදා ගන්න පුළුවන්.

K2-18 b, හයිසියන් ග්‍රහලෝකයක් ලෙස සලකනවා. ( කල්පිත නිර්මාණයකි) – earthsky.org 

K2-18 b

හයිසියන් කාණ්ඩයේ සාමාජිකයන් කිහිපදෙනකු දැනටමත් තාරකා විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබෙනවා. රතු වාමනයකු වටා කක්ෂගත ව සිටින K2-18 b යන ග්‍රහලෝකය එවැන්නකට උදාහරණයක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙනවා. K2-18 b, පෘථිවියට වඩා අට ගුණයක ස්කන්ධයකින් හෙබි විශාල ග්‍රහලොවක් වන අතර, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් ඈතින් පිහිටා තිබෙනවා.

ජීවය නැති, ජීවයට සුදුසු ග්‍රහයෝ

 ජලය ද්‍රව අවස්ථාවේ පවත්වා ගැනීමට සුදුසු උෂ්ණත්වයක් සහ පීඩනයක් හැරුණු කොට ජීවය සඳහා තවත් බොහෝ කාරණා ග්‍රහලෝක සැපිරිය යුතු වෙනවා. ප්‍රමාණවත් ශක්ති ප්‍රභවයක්, සුදුසු කාබනික තැනුම් ඒකක, පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිචක්‍රීකරණය වීමේ යාන්ත්‍රණ, ඒ අතරින් ප්‍රධාන යි. මේ සාධක සියල්ල සපුරා තිබුණත්, ජීවයක් ඇති නොවුණු ග්‍රහලෝක විශ්වයේ තිබෙන්න පුළුවන්. සියළු පහසුකම් ඇති, එහෙත්, මිනිසුන් පදිංචි නොවුණු නිවසකට එම ග්‍රහලෝක සමාන කළ හැකි යි.

ග්‍රහලෝකයක් එවැනි තත්ත්වයකට පත්විය හැකි උපකල්පිත අවස්ථා හතරක් තාරකා විද්‍යාවේදී අපිට හමු වෙනවා.

පළමුවැන්න

වාසය සඳහා හිතකර තත්ත්වයක් ඇතත්, ජීවය ආරම්භ වීම සඳහා තවමත් තරුණ වැඩි ග්‍රහලෝක.

දෙවැන්න

ජීවයක් ආරම්භ වීමට සුදුසු තත්ත්වවල අසාමාන්‍ය සංයෝජනයක් අවශ්‍ය වන අවස්ථාවලදී ඒවා එකට එකතු කිරීමට ග්‍රහලෝකය අසමත් නම්, හිතකර පරිසරයක් හමුවේ පවා එවැනි ග්‍රහලෝකවල ජීවය හට ගන්නේ නැහැ.

තෙවැන්න

 ජීවය ඇතිවීම සඳහා නියත පාරිසරික විවිධත්වයක් හෝ නිශ්චිත පරිසරයක් තිබිය යුතුයැ යි මොහොතකට උපකල්පනය කරමු. නමුත්, ආරම්භයේදීම එම අවශ්‍යතාව සම්පූර්ණ කළේ නැති ග්‍රහලෝකත් ජීවයෙන් තොර වෙන්න පුළුවන්. පහත උදාහරණයෙන් එය පැහැදිලි කර ගනිමු.

 ජීවයේ ආරම්භය සඳහා ගොඩබිම පදනම් වූ ගිනිකඳු සහිත භූතාපජ පරිසරයක් අවශ්‍ය නම්, මුළුමනින් ම සාගරයකින් වැසී ඇති ග්‍රහලෝකයක් තුළින් ජීවයේ සම්භවය බලාපොරොත්තු වෙන්න බැහැ. එවැනි ග්‍රහලෝකයක වර්තමාන තත්ත්වය හිතකර වුණත්, ජීවය බිහිවීමට “අවශ්‍ය ආරම්භය” ලබා නොගත් නිසා ජීවයෙන් තොර වෙන්න පුළුවන්. නමුත්, පිටතින් පැමිණෙන ජීවයක් සඳහා එම ග්‍රහලොව සහාය දක්වන්න හැකියාව තිබෙනවා.

සිව්වැන්න

 අස්ථායී පාරිසරික සාධක ඇති ග්‍රහලෝකයක් ගැන සිතමු. එම ග්‍රහලෝකයේ ඉතිහාසය තුළ වාසයට සුදුසු තත්ත්ව වරින් වර ඇති වී නැති වී යන්න පුළුවන්. තමාගේ හිතකර තත්ත්වය ජීවයක් ආරම්භ වීමට තරම් දීර්ඝ කාලයක් පවත්වා ගන්නේ නැති නිසා එවැනි ග්‍රහලෝකත් ජීවයෙන් තොර වීමේ හැකියාවක් තිබෙනවා.

 ජීවය නැති එහෙත්, ජීවයට සුදුසු ග්‍රහලෝක පිළිබඳ සංකල්පය දෙස බැලීමේදී “ජීවය” යන්න කොතරම් දුර්ලභ දෙයක්දැ යි ඔබට වැටහෙනවා ඇති. නික්කු මදුසුධන් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ උත්සාහය නිසා පිටසක්වළ ජීවය හෝ ජීවත් වීමට සුදුසු පිටස්තර ග්‍රහලෝක ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා. ජීවයක් පැවතීමේ දුර්ලභ බව මේ අනාවරණ හමුවේ බිඳකින්වත් අඩු වෙන්නේ නැහැ. ග්‍රහලෝක අතර පෘථිවිය තවමත් අපට ස්වර්ගයක් බඳු වටිනා තැනක් බව සිතිය යුත්තේ ඒ නිසා යි. 

කවරයේ ඡායාරූපය: හයිසියන් ලෝකයක පරිසරය ගැන කල්පිත චිත්‍රයක් :edition.cnn.com

මූලාශ්‍ර:

www.britannica.com

www.discovermagazine.com

 theconversation.com

www.airspacemag.com

 www.ncbi.nlm.nih.gov 

Related Articles