තරුපිරි රාත්‍රී අහස රකිනා නියුඒ වැසියෝ

පසුගිය වසරේ දෙසැම්බරයේ දී ශ්‍රී ලංකා වාසීන්ට රාත්‍රී අහසේ අපූරු දර්ශනයක් දකින්නට ලැබුණා. වාර්ෂිකව සිදුවන “ජෙමිනිඩ්ස්” නම් උල්කා වර්ෂාව එම මාසයේ දී ශ්‍රී ලංකාවට ඉතා පැහැදිලිව දර්ශනය වුණා. මෙවැනි සංසිද්ධියක් පැහැදිලිව දැකබලා ගැනීමට නම් එම කාලය තුළ ‍පැහැදිලි අහසක් තිබීම අත්‍යාවශ්‍ය යි. නමුත් පැහැදිලි අහසක් තිබිය දී පවා ඇතැම් ප්‍රදේශවලට මේ උල්කා වර්ෂාව නැරඹීමේ අපහසුතා ඇති වුණා. බොහෝවිට එම ප්‍රදේශයන් නගරාශ්‍රිත පෙදෙස් වූ අතර, නගර ආශ්‍රිතව තිබෙන ආලෝක දූෂණය මෙයට හේතු වුණා.

ඔබ ළමා කාලයේ අත්දුටු රාත්‍රී අහසේ සහ වැඩිහිටියෙක් ලෙස ඔබ අද දකින රාත්‍රී අහසේ යම් වෙනසක් දකිනවා ද?

ආලෝක දූෂණය කියන්නේත් අද වන විට ලෝකයේ අවධානයට පාත්‍ර වන කාලීන ගැටලුවක්/theverge.com/

කලකට ඉහත තරු පිරි අහසේ චමත්කාරය දැන් තරමක් දුරකට වියැකී ගොස් තිබෙනවා. විශේෂයෙන්ම නගරබදව වෙසෙන කෙනෙකුට දැන් දකින්න ලැබෙන්නේ කළු පසුබිම මත විසිරී ගිය දහස් ගණනක් වූ තරු වෙනුවට, තරමක් තැඹිලි හෝ අවපැහැයක් ගැන්වුණු තරු අවම රාත්‍රී අහසක්. අද වන විට ජල දූෂණය, වායු දූෂණය වැනි කාලීන ගැටළු ගැන වැඩියෙන් කතාබහ වුණත්, ආලෝක දූෂණය ගැන අවධානය යොමුවන්නේ අඩුවෙන්. 

ලංකාවේ තත්ත්වය එසේ නමුත්, ශාන්තිකර සාගරයේ එක්තරා පුංචි දූපතක වෙසෙන වැසියන් පිරිසකට ඔවුන් කුඩාකල සිට අත්විඳි ඒ චමත්කාරජනක රාත්‍රී අහස මතු පරපුර වෙනුවෙනුත් රැකීමට අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් ඔවුන් ජාතියක් ලෙස එකට අත්වැල් බැඳ ගත්තා. පසුකලෙක ලෝකයේ ස්වභාවික රාත්‍රී අහස ඒ අයුරින්ම රැකගත් පළමු ජාතිය ලෙස මේ පුංචි දූපතේ වැසියන් ලෝකය හමුවේ ගෞරවාදරයට පාත්‍ර වුණා.

නියුඒ ගැන දැනගනිමු

ආලෝක දූෂණයට වැට බැඳීමට දූපත්වාසීන් පිරිසක් දියත් කළ අපූරු ක්‍රියාන්විතය ගැන කියන්නට පෙරාතුව, මෙම දූපතේ භූගෝලීය පසුබිම ඉතා කෙටියෙන් දැක්වීම වැදගත්. මේ දූපත හඳුන්වන්නේ “නියුඒ” නමින්. නියුඒ, මුහුදෙන් ඉහළට එසවූ කොරල් සහිත පර්වතවලින් සුසැදි රාජ්‍යයක්. මේ භූවිෂමතාවය නිසා නියුඒ දූපත “පොලිනීසියාවේ පර්වතය” ලෙස විරුදාවලි ලබා තිබෙනවා. නියුඒ දූපත, ටොංගා, සැමෝවා, සහ කුක් දූපත් යන පැසිෆික් දූපත් රාජ්‍යයන් තුනට මැදිව, නවසීලන්තයට කිලෝමීටර් 2400ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබෙනවා.

නියුඒ දූපතේ පිහිටීම/whereig.com/

නියුඒ දූපත් ස්වයංව පාලනය වන භූමියක් වුවත්, නවසීලන්තය තවමත් නියුඒ දූපත් වැසියන් සම්බන්ධයෙන් යම් වගකීමක් දරනවා. දූපතේ විශාලතම ජනාවාසය සහ අගනුවර “අලෝෆි” නමින් හඳුන්වන අතර, වර්ග කිලෝමීටර 260ක් පමණ විශාල වූ දූපතේ ජනගහනය 1613ක් පමණ වෙනවා. 

ආලෝක දූෂණයේ අයහපත් ප්‍රතිඵල

අධ්‍යයනයන්ට අනුව ලෝක ජනගහනයෙන් 80%කට වැඩි පිරිසක් ජීවත්වන්නේ ස්වභාවික රාත්‍රී ආලෝක මට්ටමේ නොවෙයි. කෘත්‍රිම ආලෝකය නිසා ස්වභාවික පරිසරය බොහෝ සෙයින් වෙනස්වී තිබෙනවා. 2012 සහ 2016 අතර කාල පරාසයේ සිට, කෘත්‍රිමව ආලෝකමත් කළ ප්‍රදේශ වසරකට 2%ක පමණ ශීඝ්‍රතාවයකින් වර්ධනය වී තිබෙනවා. වර්තමානය වන විට ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට අපගේ මන්දාකිණිය වන ක්ෂීරපථය රාත්‍රියේ දී දර්ශනය වන්නේ නැහැ.

සොබාදහමෙන් අපට ලැබුණු අනගි දායාදයක් වන රාත්‍රී අහස කෘත්‍රිම ආලෝකය නිසා අපට අහිමිවීම හැරුණුකොට, ආලෝක දූෂණය අද වන විට පුළුල් පරාසයකින් පෘථිවියට බලපාලා තිබෙනවා. සතුන්ගේ සංක්‍රමණික රටාවන්, ආහාර පුරුදු, ප්‍රජනනය ආශ්‍රිත චර්යා රටා සහ ශාකවල වර්ධන රටාවන්ට ආලෝක දූෂණය ඍජුවම බලපෑම් එල්ලකර තිබෙනවා.

ලෝකයේ වෙරළාශ්‍රිත පරිසරයෙන් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් රාත්‍රියේ දී කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වන හෙයින්, සමුද්‍රීය පරිසර පද්ධතියට ඇති වන හානියත් අති විශාල යි. රාත්‍රියට කෘත්‍රිම ආලෝකයෙන් දීප්තිමත් වන ප්‍රදේශවල සිටින කැස්බෑවුන්ට සාගරය සොයා යෑමේ දී බාධා මතුවන බව සමුද්‍ර ජීව විද්‍යාඥයින් නිරීක්ෂණයකොට තිබෙනවා. ක්ලෝන්ෆිෂ් වැනි ඇතැම් මත්ස්‍ය විශේෂ ආලෝක දූෂණය හමුවේ බිත්තර දැමීමෙන් වැළකී සිටිනවා. කොරල් වර්ධනයටත් අහිතකර බලපෑම් එල්ලවෙනවා. එමෙන්ම පක්ෂීන් පියාසර කරන අතරතුරේ දී කෘත්‍රිම ආලෝකයෙන් එල්ලවන බාධා නිසා නොමඟ යනවා. 

පමණට වඩා ආලෝකය විහිදුවන ආලෝක උපාංග සහ අනවශ්‍ය ලෙස භාවිතා කරන කෘත්‍රිම ආලෝකයෙන් සිදුවන බලශක්ති නාස්තියත් සුළුපටු නැහැ. ඇමරිකා එක්සත් ජනපදය පමණක් එළිමහන් ආලෝකකරණය සඳහා වසරකට ටෙරාවොට් පැය 120ක ශක්තියක් වැය කරන අතර, පුරා වසර දෙකක් නිව් යෝර්ක් නගරයේ මුළු විදුලි අවශ්‍යතාවය සපුරාලීමට එම ශක්තිය ප්‍රමාණවත්!

ජනාකීර්ණත්වයත් සමග ආලෝක දූෂණයෙන් රාත්‍රී අහසට වන බලපෑම විචලනය වන අයුරු/ourplnt.com/

ආලෝක දූෂණය අවම කරලීමට ක්‍රියා කරන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වූ International Dark-Sky Association (IDA)හි ඇස්තමේන්තු අනුව එක්සත් ජනපදයේ එළිමහන් ආලෝකකරණයට භාවිතා වන බලශක්තියෙන් 30%ක් අපතේ යනවා. එමඟින් සිදුවන මූල්‍යමය පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 3.3ක් වන අතර, වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 21ක් පමණ මේ නාස්තියෙන් වායුගෝලයට මුදා හැරෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් නැවත උකහා ගැනීමට නම් වාර්ෂිකව ගස් මිලියන 875ක් පමණ සිටුවන්න සිදුවෙනවා. ආලෝක දූෂණය අවම කිරිමෙහි ලා නියුඒ දූපත් වාසීන්ගේ ක්‍රියාන්විතයට සෘජුවම අනුග්‍රහය දක්වනු ලැබුවෙත් මේ IDA ආයතනයම යි.

නියුඒ වැසියන්ට ස්වභාවික රාත්‍රී අහස වැදගත් වුණේ ඇයි?

නියුඒ දූපත ආවේණික ජීවි විශේෂ රාශියකට නිවහන සපයන භූමියක්. එනිසා ආලෝක දූෂණය හැකිතාක් පාලනයකර තබා ගැනීම ඉතා වැදගත්. විශේෂයෙන්ම නිශාචර දිවියක් ගත කරන “පෙකා” නම් වවුලන් විශේෂය සහ “කොකනට් ක්‍රැබ්” නම් කකුළු විශේෂය කෘත්‍රිම ආලෝකයට ඉතා සංවේදී යි. දිවයිනේ ශාක බීජ ව්‍යාප්තිය සඳහා පෙකා වවුලන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන අතර කොකනට් ක්‍රැබ් ආහාරයක් වශයෙන් දූපත්වාසීන්ට ඉතා වැදගත් වෙනවා.

පාරිසරික වැදගත්කම හැරුණුකොට සමාජීය වශයෙන් පැන නැගුණු කරුණු නිසා ස්වභාවික රාත්‍රී අහස රැක ගැනීමේ අවශ්‍යතාවයක් නියුඒ දූපත් වාසීන්ට තිබුණා. ඔවුන්ගේ සංස්කෘතිය තරු පිරි රාත්‍රී අහස සමග බැඳී පවතිනවා. මේ ස්වදේශිකයන්ට තරුවල පිහිටීම මඟින් දිශාව අවබෝධ කරගෙන සයුරේ යාත්‍රා කිරීම ගැන පාරම්පරික දැනුමක් තිබෙන අතර, චන්ද්‍ර දින දර්ශනය අනුව මොවුන්ගේ ආදිතමයන් තම ජීවන රටාව සකස්කර ගෙන තිබුණා. ආලෝක දූෂණය අවම කිරීමෙන් රැකෙන ස්වභාවික රාත්‍රී අහස නිසා මේ පාරම්පරික දැනුම සහ ඔවුන්ගේ ඉතිහාසය ඉගෙනගැනීමට වත්මන් තරුණ පරපුර තුළ උනන්දුවක් ඇතිවේයැ යි දූපතේ වැඩිහිටියන් අපේක්ෂා කළා.

ආලෝක දූෂණයට එරෙහිව නියුඒ වැසියෝ

නියුඒ රාත්‍රී අහසේ සුන්දරත්වය/lonelyplanet.com/

නියුඒ දූපතේ මේ පරිසර හිතකාමී ක්‍රියාන්විතය ආරම්භ වුණේ තරමක අහම්බයකින්. 2017 වර්ෂයේ දී ආධුනික තාරකා විද්‍යාඥ දෙපළක් වූ රිචඩ් සමර්විල්-රයන් සහ ජෙන්ඩි සමර්විල්-රයන්, නවසීලන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මහා බාධක පරය ආශ්‍රිතව පිහිටි දූපතක් ස්වභාවික රාත්‍රී අහස රැකුණු අභය භූමියක් බවට පත් කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටියා. එම කර්තව්‍ය නිම කිරීමෙන් පසු මෙම විද්‍යාඥ දෙපළ විවේකයක් ලබා ගැනීම සඳහා තම සංචාරක නියෝජිතයාව සම්බන්ධකර ගත්තා. මෙහි ප්‍රතිඵල වශයෙන් ඔවුන් නිවාඩුව ගත කිරීම සඳහා නියුඒ දූපතට යැවුනා.

ඉතා කුඩා ජනගහනයක් සහ සරල ඉදිකිරීම් කිහිපයක් පමණක් තිබූ නියුඒ දූපතේ ඒ වනවිටත් රාත්‍රී අහස ඉතා ආකර්ෂණීය මට්ටමෙන් තිබෙන බව ඔවුන් දුටුවා. නියුඒ දූපතේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රජයේ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක වූ ෆෙලිසිටි බොලන් සමග තම අත්දැකීම බෙදා ගැනීමට මේ විද්‍යාඥ දෙපළට අවස්ථාව උදා වුණා. විද්‍යාඥයින්ගේ ව්‍යාපෘතිය ගැන විස්තර ඇසීමෙන් පැහැදුණු ෆෙලිසිටි බොලන්, නියුඒ දූපත සඳහාත් ස්වභාවික රාත්‍රී අහස රැකෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකිදැ යි විමසා සිටියා. ඒ අනුව මේ තිදෙනා ආලෝක දූෂණයෙන් තොරවූ පෙදෙසක් බවට පිළිගැනීමේ සහතිකයක් ලබා දෙන International Dark-Sky Association ආයතනයට අයදුම් කිරීම අරඹයා මාස 18ක ව්‍යාපෘතියක් ආරම්භ කළා. මෙහිදී ස්වදේශික වැඩිහිටි ජනයාගේ සහයෝගය ඇතිව දිවයින පුරා විවිධ ස්ථානවල ආලෝක මට්ටම් නිරීක්ෂණය කිරීම, ප්‍රජා අධ්‍යාපන වැඩමුළු පැවැත්වීම, නියුඒ රජය සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධ වෙමින් දූපතේ ගෘහස්ථ සහ පොදු ස්ථානවල භාවිතා වන දීප්තිමත් LED විදුලි පහන් වෙනුවට තරමක් දීප්තිය අඩු, තැඹිලි පැහැයට හුරු LED බල්බ ආදේශ කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළා.

“නියුඒ වැනි කුඩා ස්ථානයක මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීම පහසු යි. විදුලි බුබුළු ගොන්නක් අරගෙන හැමෝගෙම නිවෙස්වලට ගිහින් ඔවුන් භාවිත කළ ඒවා වෙනුවට අපේ විදුලි පහන් ලබා දුන්න එක තම‍යි මූලිකවම සිදු කළේ.”

රිචඩ් සමර්විල්-රයන් වරෙක එසේ තම අදහස් ප්‍රකාශකර තිබුණා. එය එතරම් වැදගත් පියවරක් සේ පෙනෙන්නට නොතිබුණ ද, සමුද්‍ර විද්‍යාව පිළිබඳව විද්‍යාඥයෙකු වන මේයර් පින්ටෝට අනුව දීප්තිය වැඩි, උණුසුම් තරංග නිකුත් වන ආලෝක ප්‍රභව වෙනුවට දීප්තිය තරමක් අඩු LED බල්බ යොදා ගැනීම ආලෝක දූෂණය අවම කිරීම උදෙසා ගත හැකි ඉතා වැදගත් පියවරක්. එමඟින් වන ජීවින්ට සිදුවන බාධා අවමකර ගැනීමට හැකි වෙනවා.

නියුඒ රාත්‍රී අහස රැකීමට මුලපිරූ විද්‍යාඥයින් දෙපළ, ජෙන්ඩි සහ රිචඩ් සමර්විල්-රයන්/silverkris.com/

ආරම්භයේ දී මේ ව්‍යාපෘතියට මිනිසුන්ගෙන් සහයෝගය ලබා ගැනීම පහසු වුණේ නැහැ. දූපත් වැසියන් සමග මේ ක්‍රියාන්විතය ගැන මුලින් සාකච්ඡා කරන විට, ඔවුන් මේ ව්‍යාපෘතිය උදෙසා මුල් වූ පිරිස දෙස බැලුවේ අමුතු ලෙසට යි. දූපතේ වැසියන් එකවරම මේ කර්තව්‍යට දායක නොවුණ අතර, ඔවුන්ට ස්වභාවික රාත්‍රී අහස රැක ගැනීමේ වැදගත්කමක් දැණුනේ නැහැ. කෙසේ වෙතත්, ව්‍යාපෘති කණ්ඩායම ඕක්ලන්ඩ් වැනි අතිශය ජනාකීර්ණ නගරවල තරු අවම රාත්‍රී අහසේ දර්ශන පෙන්වන විට තවමත් සාධනීය මට්ටමෙන් රැකී ඇති නියුඒ රාත්‍රී අහසේ වටිනාකම මේ දූපත්වාසින්ට දැනෙන්න පටන්ගත්තා. එතැන් පටන් IDA ආයතනය හරහා ආලෝක දූෂණයෙන් තොර වූ පළමු රාජ්‍යය බවට නියුඒ දූපත පත්වෙන තුරු මේ අසිරිමත් පුරවැසියන් තම උත්සාහය අත්හැරියේ නැහැ.

සංචාරක ව්‍යාපාරයේ නව මානයක් කරා

ව්‍යාපෘතියට මූලිකත්වය ගත් පිරිස, දූපතට පැමිණෙන සංචාරකයන් උදෙසා දුරේක්ෂ ක්‍රියාත්මක කිරීමට පුහුණුව ඇති, බටහිර සහ ස්වදේශික දෘෂ්ඨිකෝණයන්ගෙන් තාරකා විද්‍යා දැනුම බෙදා ගැනීමට හැකියාව ඇති ස්වදේශිකයන් පිරිසක් “අඳුරු අහස පිළිබඳ තනාපතිවරුන්” නමින් දැන් පුහුණුකර තිබෙනවා.

IDA ආයතනයෙන් අදාළ සහතිකය ලැබීමත් සමග නියුඒ දූපතට රාත්‍රී අහසේ අසිරිය විඳ ගැනීම සඳහා සංචාරකයන් දැන් වැඩි වශයෙන් පැමිණෙනවා. මේ නිසා දූපත්වැසියන්ගේ ආදායම ද සරුවී තිබෙනවා. පුහුණුවලත් නියුඒ ප්‍රජා සාමාජිකයන් සංචාරකයන් වෙනුවෙන් තාරකා සංචාරයන් පවා සංවිධානය කිරීමටත් දැන් උත්සුක වෙලා. තරු දහස් ගණනකින් ආලෝකමත් වූ රාත්‍රී අහස දැක සංචාරකයන් පුදුම වන අතරේ ක්ෂීරපථය, කුඩා මැගලන් වළාව, ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවාටය වැනි ආකාශ වස්තු පවා ඔවුන්ට නියුඒ දූපතේ සිට පහසුවෙන් නරඹන්නට දැන් හැකියාව ලැබිලා.

නියුඒ දූපතේ දහවලට පෙනෙන සොබා සුන්දරත්වය රාත්‍රියේ දී වෙනස්ම ආකාරයකින් රැක ගැනීමට එහි වැසියන් සමත් වුණා/southpacificspecialist.org/

“අතීත පොලිනිසීයානුවන් දූපත් අතර යාත්‍රා කිරීමේ දී තාරකාවල පිහිටීම් හරහා මඟ සොයා ගැනීමෙහි ලා ප්‍රසිද්ධව සිටියා. එමෙන්ම වගා කටයුතු සඳහා ඔවුන් චන්ද්‍රයාගේ පිහිට ලබා ගත්තා. ඒ ක්‍රියාවන් ඉතිහාසයත් සමග අපෙන් ඈත් වුණා. නමුත් අපේ මුතුන් මිත්තන් මේ රටේ යහපත වෙනුවෙන් සොබාදහම භාවිතා කළ ආකාරය නැවත මිනිසුන්ට මතක් කිරීමට හැකිවීම ඇත්තෙන්ම සතුටක්.”

නියුඒ දූපතේ ස්වභාවික රාත්‍රී පරිසරය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට පෙරට ආ ෆෙලිසිටි බොලන් බොහොම සතුටෙන් පවසනවා.

Cover photo: wallpapercave.com/

මූලාශ්‍රයයන්: darksky.org/

edition.cnn.com/

news.mongabay.com/

britannica.com/

dailynews.lk/

Related Articles