Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනාගතය වෙනුවෙන් මිනිසුන් සොයන පිට්කෙයන් දූපත

අප ජීවත්වෙන තරගකාරී ජීවන රටාවෙන් මිදී, කොහේ හෝ හුදෙකලා දූපතක ජීවත්වෙන්න කැමති ද? අවශ්‍යතාවයන් හැකිතාක් අවම කරගෙන, සමාජීය ගැටුම් ඉතා අවම මිනිසුන් කණ්ඩායමක් සමග ස‍රලව ජීවත් වෙන්න ඔබ කැමති ද? සබඳතා සහ අවශ්‍යතා වැඩිවත්ම ජීවිතය තරමක් සංකීර්ණ වෙන එක වළක්වන්න ටිකක් අමාරු යි. නමුත් බොහෝ දෙනා එය ජීවිතයේ ස්වභාවයක් ලෙස බාරගෙන මැදහත්ව මේ ජීවිතය ගත කරන්න උත්සහ කරනවා. නමුත් තරගකාරී ජීවන රටාවෙන් මිදී, තමන්ටම අනන්‍ය වූ ජීවන රටාවක් ගෙනියන මිනිසුන් නැතුවාම නොවේ. ඔවුන් බොහෝ විට පෘථිවියේ ළඟාවීමට අපහසු, සහ ආසන්නතම ජනාවාසවලින් සැතපුම් දහස් ගණනකින් ඈත් වූ හුදෙකලා භූමිභාගවල ජීවත් වෙනවා. මේ අයුරින්ම හුදෙකලා වූ මිනිසුන් පිරිසක් ජීවත් වෙන දූපතක් ගැන ලිපියක් “හුදෙකලාවේ නවාතැන, ට්‍රිස්ටන් ඩා කුන්හා” නමින් අප ඔබ වෙත ගෙන ආවා. ට්‍රිස්ටන් ඩා කුන්හා දූපතේ වගේම මේ දූපතේ ජීවත් වන්නේත් බ්‍රිතාන්‍ය පුරවැසිකම හිමි මිනිසුන්. නමුත් මේ දූපත අද යම් ගැටලුවකට මුහුණ දෙමින් සිටිනවා.

පිට්කෙයන් දූපතේ පිහිටීම/pinterest.com/pin/599330662887370651/

පිට්කෙයන් වෙත සාදරයෙන් පිළි ගනිමු

පිට්කෙයන් දූපත්, බ්‍රිතාන්‍යයට අයත් සයුරෙන් එතෙර පිහිටි බල ප්‍රදේශයක්. බ්‍රිතාන්‍යයට අයත් කුඩා දූපත් රාශියක් ලෝකය පුරා විසිරී තිබෙනවා. පිට්කෙයන් දූපතේ පරිපාලන කටයුතු සම්බන්ධ වගකීම දරන්නේ තවමත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ තිබෙන නවසීලන්තය මඟින්. නමුත් පිට්කෙයන් දූපත් පිහිටා තිබෙන්නේ නවසීලන්තයේ සිට සැතපුම් 3300ක් පමණ ඈතින්.  

පිට්කෙයන් දූපතට ආසන්නතම මිනිස් ජනාවාසය ලෙස පවතින්නේ දූපතෙන් සැතපුම් 1350ක් පමණ ඈතින් පිහිටි ටාහිටි දූපත් පෙළ යි. පිට්කෙයන් දූපතට අමතරව හෙන්ඩසන්, ඩුසී, ඔයිනෝ යනුවෙන් තවත් කුඩා දූපත් කිහිපයක් තිබුණත්, මිනිසුන් ජීවත්වන්නේ ප්‍රධාන දූපත ලෙස සැලකෙන පිට්කෙයන් දූපතේ පමණ යි. පිට්කෙයන් ඇතුළු අනෙක් දූපත් ත්‍රිත්වය සමග පොදුවේ මෙම ප්‍රදේශය “පිට්කෙයන්” ලෙස හඳුන්වනවා. ගිනිකඳු දූපතක් වන ප්‍රධාන දූපතේ වපසරිය වර්ග කිලෝමීටර පහක් පමණ වන අතර, දූපත මුහුදු මට්ටමෙන් මීටර් 340ක් පමණ ඉහළට නැගුණු රළු, අර්ධ ආවාටයක් ආකාරයෙන් පිහිටනවා. මෙම භූවිෂමතාවය නිසා දූපතේ වෙරළබඩ ප්‍රදේශය බොහෝ දුරට කඳු බෑවුම්වලින් වටවී තිබෙනවා. එම නිසා මුහුදෙන් පැමිණ දූපතට ගොඩබැසීමත් තරමක අසීරු කාර්යයක්. ප්‍රමාණවත් වර්ෂාපතනයක් සහිත උපනිවර්තන දේශගුණයක් පවතින මෙම දූපත සාරවත් පසකින් ද සමන්විත වෙනවා. මිනිස් පහස නොලද හෙන්ඩර්සන් දූපතේ ජෛව සංවේදී බව නිසා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

දූපතේ ඉතිහාසය

දූපතේ සොබා අසිරිය/cntraveler.com/

යුරෝපීය ගවේශකයන් විසින් පිට්කෙයන් දූපත ලෝකයට අනාවරණයකර ගැනීමට පෙර එය පොලිනීසියානුවන් හමුවේ කලක් ජනාවාසව පැවතුණු බව සිතිය හැකි පුරාවස්තු දූපත පුරා විසිරී තිබෙනවා. නමුත් ඔවුන්ගේ ආරම්භය සහ අවසානය ගැන පැහැදිලි සාක්ෂ්‍යයක් ඉතිහාසය තුළ සඳහන් වී නැහැ. 1767 වර්ෂයේ “HMS Swallow” නම්  බ්‍රිතාන්‍ය නෞකාව මෙම දූපත ප්‍රථම වතාවට නූතන ශිෂ්ඨාචාරයට අනාවරණය කරනවා. එහි කපිතාන් වූ පිලිප් කාටරට්, දූපත මුලින්ම දුටු නාවිකයාට ගෞරව පිණිස දූපත “පිට්කෙයන්” ලෙස නම් කරනවා.

අතීත ශිෂ්ඨාචාරයක් පිළිබඳ මතකයන් පමණක් රඳවා ගෙන හුදෙකලාව සිටි පිට්කෙයන් දූපත, නැවත මිනිස් පහස ලැබීම පිටුපස තිබෙන්නේ ‍රසවත් ඉතිහාසගත කතාවක්.

බෙතියා නම්  එක්තරා වෙළෙන්දෙක්, බටහිර ඉන්දීය කොදෙව්වේ සිටි වහලුන්ගේ කෑමට වගා කිරීම පිණිස දෙල් පැළ සෙවීමට නෞකාවක් පිටත් කර හැරියා. ඒ අනුව 1787 වර්ෂයේ දෙසැම්බර් මස 23 වැනිදා බවුන්ටි ලෙස නම් කළ නෞකාව විලියම් බ්ලයිගේ අණ යටතේ “ස්පිට්හෙඩ්” නම් ප්‍රදේශයෙන් ඉංග්‍රීසි ඕඩයට අවතීර්ණ වුණා. 1788 ඔක්තෝබර් මස 26 වැනිදා දුෂ්කර ගමනකින් පසු නෞකාව පැසිපික් සාගරයේ පිහිටි ටාහිටි දූපත් වෙත පැමිණියා. බවුන්ටි නෞකාව ටාහිටියෙන් පිටත්වී සති තුනක් පමණ ඉක්ම යන තැන, එනම්, 1789 අප්‍රියෙල් 28 වන දින නෞකාව තුළ අනපේක්ෂිත ගැටුමක් ඇති වෙනවා. නෞකා කාර්ය මණ්ඩලයේ සිටි ෆ්ලෙචර් ක්‍රිස්ටියන් නමැත්තෙක් කාර්ය මණ්ඩලයේ කොටසක සහයෝගය ද ඇතිව විලියම් බ්ලයි සහ ඔහුට හිතවත් සාමාජිකයන් 18 දෙනෙකුට විරුද්ධව නෞකාව තුළ කැරැල්ලක් දියත් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විලියම් බ්ලයි සහ ඔහුට පක්ෂපාත සාමාජිකයන්ට කුඩා බෝට්ටුවක නැඟී බවුන්ටි නෞකාවෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

බවුන්ටි නෞකාවේ ඉතිරිව සිටි බොහෝ නාවිකයන්ට නැවත ටාහිටි වෙත යාමට අවශ්‍ය වූ නමුත්, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ කැරැල්ල පිළිබඳ තතු සෙවීමට බ්‍රිතාන්‍යයෙන් පිරිසක් පැමිණියහොත් ටාහිටි වෙත පැමිණීමේ අවදානමක් පවතින නිසා ඔවුන් ටුබුඅයි දූපත් වෙත පැමිණියා. නමුත් ටුබුඅයි ස්වදේශිකයන් ඔවුන්ට එතරම් මිත්‍රශීලි වුණේ නැහැ. එවිට බවුන්ටි නෞකාව ටාහිටි බලා පිටත් වූ අතර, ඔවුන් ටාහිටියේ සිට අවශ්‍ය පශු සම්පත් සහ පොලිනීසියානු ජාතිකයන් කිහිපදෙනෙක් සමග නැවත ටුබුඅයි වෙත පෙරළා පැමිණ, ටුබුඅයි දූපත්වාසීන්ට ප්‍රජාවක් පිහිටුවා ගැනීමට උදව් කළා. නමුත් අඛණ්ඩව ඇතිවූ ගැටුම් හේතුවෙන් මාස තුනක් ඇතුළත ෆ්ලෙචර් ක්‍රිස්ටියන්ට නැවත ටාහිටි වෙත පැමිණීමට සිදු වුණා. ඒ වන විට ෆ්ලෙචර් ක්‍රිස්ටියන් සමග සිටි පිරිසෙන් කොටසක් ටාහිටියේ නැවතීමට තීරණය කළා. ඉතිරි පිරිස ෆ්ලෙචර් සමග ඔවුන් නෞකාව තුළ කළ කැරැල්ල නිසා ලෝකයෙන් වසන්වීම පිණිස පාළුවට ගිය දූපතක් සෙවීමේ උත්සාහයේ දිගටම නිරත වෙන්න තීරණය කළා.

ෆ්ලෙචර් ක්‍රිස්ටියන් බවුන්ටි නෞකාව තුළ කළ කැරැල්ල නොවන්නට පිට්කෙයන් දූපත ජනවාස නොවීමට ඉඩ තිබුණා/history.com/

ඒ අනුව ෆ්ලෙචර් ඇතුළු ඔහුගේ සහචරයන් සහ පොලිනීසියානු ජාතිකයන් කිහිප දෙනෙකු සමග පිට්කෙයන් දූපතට පැමිණි අතර, ඔවුන් ගැන කිසිදු තොරතුරක් හෙළි නොවීම පිණිස බවුන්ටි නෞකාව ගිනිබත්කර දැමුවා. ඉන්පසු පිට්කෙයන් දූපතේ ජනගහනය කෙමෙන් කෙමෙන් වර්ධනය වුණා. කෙසේ නමුත්, පිට්කෙයන් දූපතට තිබෙන්නේ සමාජීය ගැටලු සහ ගැටුම්වලින් ගහණ වූ ඉතිහාසයක්. ඒ නිසා පිට්කෙයන් වාසීන්ට වරින් වර දූපත අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වන්නට සිදුවුණා. ඉතිහාසය පුරා ඔවුන්ගේ ජනගහනයේ අඩු වැඩි වීම් සිදුවී තිබෙන අතර, වර්තමාන ජනගහනය දැක්වෙන්නේ පුද්ගලයන් 49ක් ලෙසින්.

ජන ජීවිතය

පිට්කෙයන් දූපත සතුව මේ වන විට මූලික අවශ්‍යතා සඳහා සතුටුදායක මට්ටමේ පහසුකම් ඇතිකර තිබෙනවා. කුඩා වෙළඳසැලක්, කෞතුකාගාරයක්, සංස්කෘතික, සහ සංචාරක මධ්‍යස්ථානයක්, පුස්තකාලයක්, පාසලක් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් මූලික ගොඩනැඟිලි කිහිපයක් දූපතේ පිහිටා තිබෙනවා. එමෙන්ම අන්තර්ජාල පහසුකම් පවා දූපතේ දැන් ඇතිකර තිබෙනවා. කෙසේ නමුත්, තවම මේ දූපතට ගුවන්තොටුපලක් නම් ලැබී නැහැ. පිට්කෙයන් දූපතට ළඟාවීමට හැකි එකම මාර්ගය වන්නේ නෞකාවකින් පැමිණීම යි. ඒ නිසා යම්තාක් දුරකට සංචාරක ආකර්ෂණය දිනා ගන්න අපහසු වී තිබෙනවා.

බොහෝ දූපත්වාසීන් ජීවත් වන්නේ දූපතේ ආරම්භක වැසියන් පදිංචිව සිටි ඇඩම්ස්ටවුන් නම් ජනාවාසයේ යි. නමුත් සමහරුන් ආකර්ෂණීය දර්ශනයක් සඳහා දිවයිනේ උස්බිම්වල නිවාස සාදා ගෙන තිබෙනවා. ‍යුරෝපීය කැරලිකරුවන් සහ ටාහිටි ස්වදේශිකයන් මුහු වීමෙන් සෑදුණු ජන කොට්ඨාශයක් ලෙස  ඔවුන්ටම අනන්‍ය වූ උරුමයක් තිබෙනවා.

ජීවත්වීමට අවශ්‍ය මූලික සාධක සමග ඔවුන්ටම ආවේණික වූ ක්ෂුද්‍ර ආර්ථිකයක් මත පදනම්ව ගෙවන ජීවත රටාව බොහොම නිදහස් සහ සාමකාමී යි. පිට්කෙයන් වාසීන්ට තිබෙන්නේ පමණට වඩා බාහිර ලෝකයත් සමග නොබැඳුණු එහෙත් සම්පූර්ණයෙන්ම වෙන් නොවුණු අපූරු සමාජ ක්‍රමයක්. 

පිට්කෙයන් දූපතට නාවිකයන් පැමිණීමට පෙර ඈත අතීතයේ පටන්ම ජනාවාසව පැවතුණු බවට සාක්ෂ්‍ය තිබෙනවා/marinmagazine.com/

වසර ගණනාවක් පුරා පිට්කෙයන් දූපත මුද්දර සහ කාසි අලෙවියෙන් සැලකිය යුතු ආදායමක් ලැබුවා. නමුත් එම ක්‍රියාකාරකම්වල ආදායම පහත වැටීමත් සමග පෞද්ගලික ව්‍යවසායන් හරහා විකල්ප ආදායම් මාර්ග සොයන අතරේ එක්සත් රාජධානියේ ආධාර සහ සහයෝගයත් ඔවුන්ට ලැබෙනවා. ඔවුන් මේ වන විට සංචාරක කර්මාන්තය කෙරෙහි වඩාත් අවධානය යොමු කරමින් සිටින අතර ඔවුන්ටම ආවේණික, ත්‍යාග පවා දිනූ මී පැණි විශේෂයක් අලෙවි කිරීමෙන් ද ආදායම් උපයනවා. සාරවත් පස නිසා වගා කටයුතු මඟින් අවශ්‍ය ආහාර පාන සපයා ගැනීමත් ඔවුන්ට අපහසු නැහැ. එම ආහාර පාන සහ අනෙකුත් නඩත්තු සේවා දූපත නැරඹීමට එන යාත්‍රාවලට සැපයීමත් ඔවුන් සිදු කරනවා.

මිනිසුන් සොයනා පිට්කෙයන් වැසියෝ

වර්ෂ 1937 දී පිට්කෙයන් දූපතේ ජනගහනය 233ක උපරිම අගයකට ළඟා වුණා. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසු දූපතේ ජනගහනය වේගයෙන් පහළ වැටීම ඇරඹුණා. ඔවුන් විශාල වශයෙන් නවසීලන්තයට සංක්‍රමණය වූ අතර, තරුණ පරම්පරාවට නවසීලන්තය තුළ ස්ථාවර වීමට අවස්ථාව ලැබුණු නිසා නැවත දූපතට පැමිණියේ නැහැ. අදටත් පිට්කෙයන් දරුවන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 13 දී ද්විතීක අධ්‍යාපනය සඳහා නවසීලන්තයට සංක්‍රමණය වෙනවා. එලෙස පිටත්ව යන බොහෝ යෞවනයන් නැවත දූපත වෙත පැමිණෙන්නේ නැහැ.

මේ වන විට පිට්කෙයන් දූපතේ ජනගහනය වයසට යමින් පවතිනවා. ශ්‍රම බලකායට දායක විය හැකි මිනිසුන් කෙමෙන් කෙමෙන් අඩුවන ගැටලුවකට ඔවුන් මුහුණ දෙනවා. 49ක් වූ ස්ථිර පදිංචිකරුවන් අතරින් වර්තමානයේ සිටින්නේ දරුවන් අතළොස්සක් සහ වයස අවුරුදු 40ට අඩු වැඩිහිටියන් අතළොස්සක් පමණ යි.  නමුත් දූපත අතහැර දැමීමට මහා බ්‍රිතාන්‍ය ඇතුළු පිට්කෙයන් පරිපාලනයට කිසිදු අදහසක් නැහැ. ඒ අනුව පිට්කෙයන් වෙත සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් මේ වන විට දියත් කොට තිබෙනවා. දූපතට පැමිණීමට කැමති සංක්‍රමණිකයන් දිරි ගැන්වීම සඳහා දූපත් පරිපාලනය විසින් නීති සහ ප්‍රතිපත්ති මේ වන විට සම්පාදනය කර තිබෙනවා. දූපතේ ඉඩම් ලබා ගැනීම පහසු කිරීම, රජයේ රැකියා සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම, සංක්‍රමණික තොරතුරු බෙදා හරින මාධ්‍ය හරහා අනාගත පදිංචිකරුවන්ට තොරතුරු සැපයිම, වැනි වැඩසටහන් දැන් ක්‍රියාත්මක වෙනවා.

දූපතේ ප්‍රධාන ජනාවාසය වන ඇඩම්ස්ටවුන්හි චමත්කාරජනක දර්ශනයක්/cruisemapper.com/

පිට්කෙයන් දූපතේ සංක්‍රමණික තොරතුරු පළකර තිබෙන වෙබ් අඩවිවලට අනුව එහි ජීවිතය සෑම කෙනෙකුටම ගැලපේවි කියා සහතික වෙන්න බැහැ. එය පොහොසත්වීම සඳහා වෙන් වූ ස්ථානයක් නොවේ. දිවයිනේ හුදෙකලාව සහ කුඩා ඉඩ ප්‍රමාණය නිසා කාලයත් සමග භෞතිකව මෙන්ම මානසිකවත් මිනිසෙකුට අභියෝගාත්මක විය හැකියි. එමෙන්ම ඔවුන්ට වඩාත් අවශ්‍ය වන්නේ අභියෝගයන්ට මුහුණ දීමට උනන්දුවක් දක්වන, අනුවර්තනය විය හැකි, දූපතේ පොදු කටයුතුවලට සක්‍රීයව දායක වීමට කැමැත්තක් දක්වන, සංස්කෘතික වශයෙන් සංවේදී වූ තරුණ මිනිසුන් සහ දරුවන් සිටින තරුණ විවාහකයන් බව සඳහන් වෙනවා. නව පදිංචිකරුවන් එහි වැසියන් සමග එක්ව දූපත ගොඩනැංවීම සඳහා පුළුල් පරාසයක වූ කාර්යයන් වෙත සහය දැක්වීමට හැකි විය යුතු අතර, දුෂ්කරතා සමග කටයුතු කිරීමට ප්‍රායෝගික හා නිර්මාණශීලි හැකියාව තිබිය යුතු යි. ඒ අනුව පිට්කෙයන් වෙත පදිංචියට යන කෙනෙකුට එක්තරා අන්දමක “රොබින්සන් කෲසෝ” කෙනෙකු වෙන්න සිදු වෙනවා.

පිට්කෙයන්, වෙනස් විදිහට හිතන මිනිසුන් වෙනුවෙනු යි.

පිට්කෙයන් වැසියන් බොහෝ දෙනෙක් ජීවිත කාලයෙන් වැඩි හරියක් මෙම හුදෙකලා දිවයිනේ ගෙවා දැමූ නිසා ඔවුන් නිහඩ ජීවන රටාව බොහෝ සෙයින් අගයනවා. දූපතේ සාප්පු සංකීර්ණ, විසිතුරු අවන්හල්, හෝ සුපිරි වේගවත් අන්තර්ජාල පහසුකම් නොමැති අතර, සාමාන්‍ය නැව් කාලසටහනට පිටින් දිවයිනෙන් පිටවීමට අවස්ථා කිහිපයක් පමණක් තිබෙනවා. වෙනත් රටක සොයා ගැනීමට අපහසු එහෙත් සුවිශේෂී වූ ජීවන රටාවක් පිට්කෙයන් වෙත සංක්‍රමණය වන කෙනෙකුට ලැබෙන්න පුළුවන්. නමුත් පිට්කෙයන් දූපත වෙත සංක්‍රමණිකයන් ගෙන්වා දූපතේ පහසුකම් වර්ධනයට දායක වෙමින් යහපත් අනාගතයක් කරා යෑමේ වැඩපිළිවෙල එතරම් සාර්ථක වෙලා නැහැ. එයට හේතුව වන්නේ මිනිසෙක් වෙනත් රටකට සංක්‍රමණය වන හේතූන්වලින් බැහැරව වෙනස්ම අරමුණුවලින් යුක්ත සංක්‍රමණික වැඩපිළිවෙලක් ඔවුන්ට තිබෙන නිසා යි.

නවසීලන්ත ඩොලර් 500ක් පමණ වියදම් වන මාර්ගගත යෙදුමකින් පිට්කෙයන් සංක්‍රමණික වැඩසටහනට අයදුම් කිරීමේ හැකියාව කෙනෙකුට තිබෙනවා. ඔවුන් එම අයදුම්පත පිළිගත් පසු මාස හයක කාලයක් දූපතේ රැඳී සිටිය යුතු වෙනවා. එම කාලය තුළ අදාල සංක්‍රමණිකයා කොතෙක් දුරට දූපතේ ජීවිතයට හුරු වෙනවා ද යන්න පරිපාලනය නිරීක්ෂණය කරනවා. අදාල තැනැත්තා එයින් සමත්වීමෙන් පසු දූපතෙන් ඉඩමක් එම සංක්‍රමණිකයාට ලැබෙනවා. ඉන්පසු නිවසක් තනා ගැනීම සඳහා අදාල මූල්‍ය සහ ද්‍රව්‍යමය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙලක් ද තිබෙනවා.

පිට්කෙයන් දූපතේ උරුමකරුවන්/naturelovers2.weebly.com/

පිට්කෙයන් යනු බ්‍රිතාන්‍යට අයත් විදේශීය බල ප්‍රදේශයක් නිසා පිට්කෙයන් වැසියන් බ්‍රිතාන්‍ය පුරවැසියන් ලෙස සැලකෙනවා. එහෙත් බ්‍රිතාන්‍යයේ උපත ලැබූ කෙනෙකුට ලැබෙන අයිතිවාසිකම් හා සමාන අයිතිවාසිකම් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. පිට්කෙයන් වෙත සංක්‍රමණය වී කලක් එහි වාසය කරන කෙනෙකුට බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වශයෙන් බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතින අතර, එක්සත් රාජධානියේ සියලුම කොන්සල් කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රික තනතුරුවලින් ආධාර සහ ආරක්ෂාව ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් එවැන්නෙක් එක්සත් රාජධානියට ඇතුළුවන විට සංක්‍රමණ නීතිවලට යටත්වන අතර එහි පදිංචිවීමට හෝ රැකියාවක් කිරීමට ස්වයංක්‍රීයව අයිතියක් ලැබෙන්නේ නැහැ.

තරගකාරී ජීවන රටාවක් මැද මූල්‍යමය වශයෙන් ස්ථාවර වී ලෞකික සම්පත් රැස් කර ගැනීමට කැමති කෙනෙකුට පිට්කෙයන් දූපතේ ජීවිතයත් සමග ගැලපෙන්න අමාරු යි. එහි ජීවිතය බොහෝවිට ගැලපෙන්නේ අවශ්‍යතා හැකිතාක් අවම කරගත්, ජීවිතය දෙස වෙනස්ම කෝණයකින් බලන පුද්ගලයන්ට පමණ යි. පිට්කෙයන් දූපතේ සංක්‍රමණික තොරතුරු වැඩිදුරටත් ඔබට මෙතනින් ලබාගත හැකියි.

Cover photo:  escape.com.au/

මූලාශ්‍රයයන්: immigration.gov.pn/

nomadcapitalist.com/

insider.com/

britannica.com/

Related Articles