Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක්ෂ 2කට දිවි අහිමි කළ චීනයේ ටැන්ෂාන් භූමිකම්පාව

ලෝකයට බලපාන ස්වභාවික විපත් අතරින් වැඩි ම හානියක් සිදු කරන ස්වභාවික විපත්වලට භූමිකම්පා ද අයත්. ශ්‍රී ලාංකිකයන් වන අපට භූමිකම්පා සම්බන්ධයෙන් වැඩි අත්දැකීමක් නැතත්, චීනය, ජපානය වැනි නැගෙනහිර ආසියානු රටවල ජීවත්වන ජනතාව ඒවාට නිතර ම මුහුණ දෙනවා. 

චීනයේ ටැන්ෂාන් ප්‍රදේශයේ වැසියන්ටත් එවැනි බිහිසුණු අත්දැකීමකට මුහුණදීමට 1976 ජූලි 28 වැනිදා  සිදු වුණා. එදාමෙදා තුර සිදුවුණු භූමිකම්පා අතුරින් වැඩි ම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණු භූමිකම්පා කිහිපය අතරට මෙය ද අයත් වුණා. මෙතැන් සිට ඔබ හමුවේ දිගහැරෙන්නේ එම භූමිකම්පාව පිළිබඳ මතකය යි. 

 භූමිකම්පාවක් ඇතිවන්නේ කෙසේද?

පෘථිවිය ප්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදා වෙන්කෙරෙනවා. ඒවා කබොල, ප්‍රාවරණය, පිටත හරය, සහ අභ්‍යන්තර හරය යන නම්වලින් හඳුන්වනවා. කබොල යනුවෙන් හැඳින්වෙන පෘථිවිය මතුපිට ස්ථරය සහ ඉහළ ප්‍රාවරණය, “භූ තැටි” නමින් හැඳින්වෙන වෙන් වෙන් කොටස්වලින් සමන්විත යි. මෙම භූ තැටි, අර්ධ ඝණ මට්ටමේ පවතින පෘථිවි අභ්‍යන්තරය මත පාවෙමින් තිබෙනවා.

භූ තැටි පාවෙමින් පවතින අතරතුර කුඩා ගැටුම් සිදුවනවා. භූමිකම්පා යනුවෙන් සරලව ම හඳුන්වන්නේ භූ තැටි දෙකක් එකිනෙක ගැටීම නිසා හෝ ඇතිල්ලීම නිසා සිදුවන කම්පනය යි. එහි දී භූ තැටි ගැටෙන හෝ ඇතිල්ලෙන ප්‍රබලතාව වැඩිවන විට භූමිකම්පාව මඟින් සිදුවන විනාශය ද වැඩි වනවා.

භූමිකම්පාවක් ඇති වුණු අවස්ථාවක් – zurich.com

 

ටැන්ෂාන් භූමිකම්පාව පිළිබඳ අනතුරු ඇඟවීම

චීනය නිතර ම ස්වභාවික විපත්වලට මුහුණ දෙන රටක්. එනිසා එරට බලධාරීන් ස්වභාවික විපත් පිළිබඳ ව වඩාත් උනන්දුවෙන් පසුවනවා. ඒවා ඇතිවීමට පෙර හඳුනා ගැනීමට වඩාත් දියුණු උපක්‍රම භාවිත කරනවා. චීන රාජ්‍ය භූ කම්පන කාර්යාංශය 1976 ජූලි මාසයේ දෙවන සතියේ දී දරුණු භූමිකාවක් පිළිබඳ ව අනතුරු ඇඟවීමක් කළා. එහි දී ඔවුන් පවසා සිටියේ ජූලි 22-අගෝස්තු 5 අතර කාලයේ දී ටැන්ෂාන් ප්‍රදේශයේ වඩාත් දරුණු භූමිකම්පාවක් ඇතිවීමට විශාල ඉඩකඩක් පවතින බව යි.

එම අනතුරු ඇඟවීම පිළිබඳ සමහර ප්‍රාන්තවල ඉහළ බලධාරීන් වැඩි තැකීමක් කළේ නැහැ. ඇතැම් ප්‍රාන්තවල බලධාරීන් වහාම ක්‍රියාත්මක වෙමින් එහි සිටි ජනතාව ආරක්ෂිත ස්ථානවලට යැවීමට කටයුතු කළා. ඒ අයුරින් සමහර බලධාරීන් භූමිකම්පා අනතුරු ඇඟවීම පිළිබඳ ව සුළුවෙන් තකද්දී ස්වභාවධර්මයෙන් ද මිනිසුන්ට යම් යම් අනතුරු ඇඟවීම් සිදු කළා. 

1556 දී චීනයේ සිදුවුණු ෂාන්ක්සි භූමිකම්පාව – alchetron.com

 

ස්වභාවධර්මයත් අනතුරු අඟවයි 

ටැන්ෂාන් භූමිකම්පාව ඇතිවීමට පෙර මී රංචු පිටින් එහා මෙහා දිව යාම, පක්ෂීන් අසාමාන්‍ය ලෙස හඬ නගමින් පියඹා යාම වැනි සිදුවීම් වාර්තා වුණා. ඒ වාගේම සමහර ප්‍රදේශවල ළිංවල ජල මට්ටම් අසාමාන්‍ය ලෙස ඉහළ යාම, ළිං ආශ්‍රිත ව ඉරි තැලීම් ඇති වීම වැනි සිදුවීම් වාර්තා වුණා. භූමිකම්පාව සිදුවීමට දින 4-5කට පමණ වාර්තා වුණු එම අසාමාන්‍ය සිදුවීම් පිළිබඳ වැඩි දෙනකුගේ අවධානය යොමු වුණේ නැහැ.

භූමිකම්පාව ඇතිවීමට පැය කිහිපයකට පෙර එනම් 1976 ජූලි 27 වැනිදා සවස් යාමයේ ස්වභාවධර්මය තවත් අනතුරු ඇඟවීමක් සිදු කළා. එහි දී ටැන්ෂාන් ප්‍රදේශය ආශ්‍රිත අහසේ අමුතු ආලෝක දිස් වුණු බව බොහෝ දෙනකු වාර්තා කර තිබුණා. ඒ වාගේම විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බවට ද ඇතැම් පිරිස් වාර්තා කර තිබුණා. එලෙස අනතුරු පිළිබඳ ව ලැබුණු ඉඟිවල අරුත වටහා ගැනීමට නොහැකි වුණු බොහෝ මිනිසුන් ජූලි 27 වැනිදා රාත්‍රී සුව සේ නින්දට ගියා.

ටැන්ෂාන් භූමිකම්පාව ඇතිවීමෙන් පසුව – semanticscholar.org

පළමු භූමිකම්පාව

1976 ජූලි 28 වැනිදා පාන්දර 3.42කට දකුණු ටැන්ෂාන් හි කිලෝ මීටර් 12ක් ගැඹුරින් භූමිකම්පාව සිදුවුණා. එය තත්පර 14-16 අතර කාලයක් පැවතුණා. සාමාන්‍යයෙන් කිලෝ මීටර් 0-70 අතර ගැඹුරකින් සිදුවන භූමිකම්පා නොගැඹුරු භූමිකම්පා යන නමින් හඳුන්වනවා. ඒවා නොගැඹුරු ප්‍රදේශයක දී ඇති වන නිසා භූමිකම්පාවේ ශක්තියෙන් වැඩි කොටසක් පොළොව මතුපිට සෙලවීම සඳහා වැයවෙනවා.

එනිසා නොගැඹුරු භුමිකම්පා මඟින් විශාල හානියක් සිදුවෙනවා. මෙම භූමිකම්පාව කිලෝ මීටර් 12ක් ගැඹුරින් ඇති වුණු නිසා බලාපොරොත්තු වුණාටත් වැඩි හානියක් සිදුවුණා. එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණයට අනුව 7.6ක් ලෙසින් සටහන් වුණා. 

විපතට පත්වුණු අය බේරා ගැනීම සඳහා සේවයට එක්ව සිටි පිරිස් – apjjf.org

 

ඉතාමත් කෙටි කාලයක් තුළ සිදුවුණු කම්පනයෙන් පසු ව නගරය සුන්බුන් ගොඩක් බවට පත් ව තිබුණා. මිය ගිය අයගේ සිරුරු තැනින් තැන වැටී තිබුණා. සුන්බුන්වලට යට වී සිටි පිරිස් උදව් ඉල්ලා කෑගසන හඬ අසන්නට ලැබුණා. ඒ අතරතුර භූමිකම්පාවෙන් විපතට පත්වුණු පිරිස් බේරා ගැනීම සඳහා විවිධ කණ්ඩායම් මහත් පරිශ්‍රමයක් දැරුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුන්බුන්වලට යට වී සිටි සැලකිය යුතු තරම් පිරිසක් බේරාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමට හැකිවුණා. 

නොසිතූ මොහොතක තවත් භූමිකම්පාවක් 

භූමිකම්පාව සිදුවී පැය කිහිපයක් ගතවන තුරු විපතට පත්වුණු පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදුවුණු නිසා විනාශ වුණු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ප්‍රමාද වී ආරම්භ වුණා. එදින සවස් වරුවේ නගරයට පැමිණි හමුදා භට කණ්ඩායම් ලහි ලහියේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවල නිරත වුණේ ඉතාමත් ඉක්මනින් එම ප්‍රදේශයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා යි. 

සේවයේ නිරතව සිටි භට පිරිස් – en.people.cn

 

ටැන්ෂාන් ප්‍රදේශයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට එලෙස පත්වෙමින් තිබිය දී බලාපොරොත්තු නොවුණු ආකාරයේ සිදුවීමක් වාර්තා වුණා. ඒ සවස 6.45ට පොළොව මට්ටමේ සිට කිලෝ මීටර් 16ක් තරම් ගැඹුරකින් තවත් භූමිකපාවක් ඇතිවීම යි. එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණයට අනුව 7ක් ලෙසින් සටහන් වුණා. නොසිතූ මොහොතක ඇතිවුණු එම භූමිකම්පාව හේතුවෙන් සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටි බොහෝ පිරිස්වලට මරණය උරුම වුණා.

පළමු භූමිකම්පාවෙන් ජීවිතය බේරාගත් ඇතැම් උදවියටත් ඉන් ජීවිතය අහිමි වුණා. එලෙස එක ම දිනයක භූමිකම්පා දෙකක් සිදුවීමෙන් පසුව ටැන්ෂාන් ප්‍රදේශය සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණා. 

සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණු ටැන්ෂාන් නගරය – thatsmags.com

 

මරණ 242,769ක්

ලෝක ඉතිහාසයේ වාර්තා වුණු වඩාත් ම විනාශකාරි භූමිකම්පාවක් ලෙසින් සැලකෙන ටැන්ෂාන් භූමිකම්පාව හේතුවෙන් ජීවිත 242,769ක් අහිමි වුණා. 700,000ක  පිරිසක් තුවාල ලැබුවා. චීන රාජ්‍ය භූ කම්පන දෙපාර්තමේන්තුවේ නිල දත්තවල එසේ සඳහන් ව තිබුණත් ඇත්ත වශයෙන් ම මරණයට පත්වුණු ප්‍රමාණය සහ තුවාල ලැබූ ප්‍රමාණය ඊට වඩා වැඩි විය හැක් බව බොහෝ දෙනකුගේ මතය වුණා. එදා මෙදා තුර චීනයට බලපෑ දරුණුත ම භූමිකම්පා ද්විත්වය අතුරින් එකක් වන මෙය ලෝක ඉතිහාසයේ වැඩි ම මිනිසුන් ප්‍රමාණයක් මිය ගිය භූමිකම්පා පහ අතරට ද අයත්. පහතින් දක්වා තිබෙන්නේ ලෝක ඉතිහාසයේ වැඩි ම මිනිසුන් ප්‍රමාණයක් මිය ගිය භූමිකම්පා පහ පිළිබඳව යි.

1) ෂාන්ක්සි (චීනය)- ක්‍රි. ව. 1556 (රිච්ටර් පරිමාණ ඒකක-8)- මරණ 830,000

2) පෝට් ප්‍රින්ස් (හයිටි)- 2010 (රිච්ටර් පරිමාණ ඒකක-7)- මරණ 316,000

3) අන්ටක්යා (තුර්කිය)- ක්‍රි.ව. 115 (රිච්ටර් පරිමාණ ඒකක-7.5)- මරණ 260,000

4) අන්ටක්යා (තුර්කිය)- ක්‍රි.ව. 525 (රිච්ටර් පරිමාණ ඒකක-7)- මරණ 250,000    

5) ටැන්ෂාන්  (චීනය)- 1976 (රිච්ටර් පරිමාණ ඒකක-7.5)- මරණ 242,769

කඩා වැටුණු පාලමක් – en.people.cn

මරණ ප්‍රමාණය ඉහළ යාමට හේතුව 

ටැන්ෂාන් භූමිකම්පාව නිසා වාර්තා වුණු මරණ ප්‍රමාණය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වුණු පළමු භූමිකම්පාවෙන් පසු ව තවත් දරුණු භූමිකාවක් ඇතිවීම යි. ඒ වාගේම ටැංෂාන් ප්‍රදේශයේ ඉදිකර තිබුණු බොහෝ ගොඩනැඟිලි භූමිකම්පාවලට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය කර තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් බිමට සමතලා වුණා. 

එම ගොඩනැඟිලිවල සුන්බුන්වලට යට වුණු බොහෝ පිරිස් මරණයට පත්වුණා. භූමිකම්පාව පාන්දර 3.42ට සිදුවුණු නිසා සැලකිය යුතු තරම් පිරිසක් සුව නින්දේ පසු වුණා. එනිසා වැඩි පිරිසකට සිය ජීවිත බේරාගැනීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ. භූමිකම්පාව පාන්දර සිදු වුණු නිසා ගළවා ගැනීමේ කණ්ඩායම් අදාළ ප්‍රදේශවලට ළඟා වුණේ තරමක ප්‍රමාදයකින් පසුව යි. ඔවුන් නිසි වේලාවට එම ප්‍රදේශවලට ළඟා වුණා නම් සුන්බුන් අතර හිර වී සිටි තවත් බොහෝ දෙනකු බේරා ගැනීමට අවස්ථාව තිබුණා. 

කඩා වැටුණු ගොඩනැගිලි – en.people.cn

 

භූමිකම්පාවෙන් පසුව 

මෙතරම් විශාල භූමිකම්පාවකට මුහුණ දීම සඳහා චීන රජය එදා සූදානම් ව සිටියේ නැහැ. එනිසා විපතට පත්වුණු ජනතාවට අවශ්‍ය වුණු ඖෂධ සහ ආහාර ලබා දීමට තරමක් ප්‍රමාද වුණා. මෙම භූමිකම්පාව සිදුවී පැය 24ක් ගත වන්නට පෙර බොහෝ රටවල් චීනයට ආධාර ලබා දීමට ඉදිරිපත් වුණා.

චීන රජය එම ආධාර සියල්ල ප්‍රතික්ෂේප කළා. ඔවුන් එයට ප්‍රතිචාර ලෙස දක්වා සිටියේ ආර්ථික අතින් ශක්තිමත් ව සිටි චීනයට විදෙස් ආධාර අවශ්‍ය නොවන බව යි. ඒ අයුරින් විදෙස් ආධාර ප්‍රතිකේෂ්ප කළ චීන රජයට භූමිකම්පාවෙන් තුවාල ලබා සිටි ඇතැම් අයගේ ජීවිත බේරාගැනීමට හැකිවුණේ නැහැ.

ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් – en.people.cn

භූමිකම්පාව අවසන් වී පළමු සතිය ගෙවීයද්දී  නිසි පරිදි ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සැලකිය යුතු තරම් පිරිසක් මිය ගියා. වුවමනා පරිදි ආහාර නොමැති ව තවත් පිරිසක් පීඩාවට පත්වුණා. විපතට පත්වුණු ප්‍රදේශවල ජීවත් වුණු ජනතාව සතුව මුදල් හිඟ වුණු නිසා එම ප්‍රදේශවල කොල්ලකෑම් බහුල ව සිදුවන්නට පටන් ගත්තා.  ටැන්ෂාන් භූමිකම්පාවෙන් පසුව ප්‍රදේශයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සැලකිය යුතු තරම් කාලයක් ගත වුණා.

කවරයේ ඡායාරූපය- ටැන්ෂාන් භූමිකම්පාවෙන් පසු - sixthtone.com 

මූලාශ්‍ර:

thoughtco.com 

history.com 

indiatvnews.com 

Related Articles