Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නයිල් නදියෙන් නැගෙන ගිනිදැල්

ජලය යනු මිනිසාට අත්‍යාවශ්‍යය සම්පතක් බව අප ඉගෙන ගත්තේ කුඩා කාලයේ දී ය. ජලය මඟින් මානව වර්ගයාගේ පැවැත්ම සනිටුහන් කරයි. ශිෂ්ටාරයන් තනයි. ජල සම්පත අරභයා මිනිසුන් අතර ගැටුම් ඇතිවූයේ අද ඊයේක ද නොවේ. 

බුදුන් දවසේ ද රෝහිණි ගංගාවේ ජලය බෙදා ගැනීම උදෙසා ශාක්‍ය – කෝලිය වංශිකයන් අතර යුද්ධයක් ඇති වූ බවත්, ගෞතම බුදුන්වහන්සේගේ මැදහත්වීමෙන් එම යුද්ධය සංසිඳුන බවත් බෞද්ධ ග්‍රන්ථයන්වල සඳහන් වේ. ජලය බෙදා ගැනීම සඳහා අදට ද ඉන්දියාවේ නිරන්තර සටන් ඇවිලී යයි. හර්යානා, පන්ජාබ්, හා රාජස්ථාන් ප්‍රාන්ත අතර ඇති වූ ජල අර්බුදයක් සදහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේ ගිය වසරේ මැද භාගයේ දී ය. ඊශ්‍රාලය හා ජෝර්දානය අතර ද ජෝර්දාන් නදිය සඳහා නිරන්තර ගැටුම් පවතී. 

මේ කියන්නට යන්නේ ඒ ගැන නොව, මේ දිනවල නයිල් නදිය හරහා ඉතියෝපියාවේ ඉදිවෙන රෙනසෝන්ස් වේල්ල, එහෙමත් නැති නම් “ඉතියෝපියානු මහා පුනුරුද වේල්ල” හේතුවෙන් ඉතියෝපියාව, ඊජිප්තුව, හා සුඩානය අතර ඇතිවී ඇති අර්බුදය සම්බන්ධව ය. මෙම මස දී (2020 – ජූලි) මෙම ව්‍යාපෘතියේ ජලයේ පිරිවීමට නියමිත අතර, ඒ අනුව මෙම ජලාශය ආප්‍රිකාවේ විශාලම ජල ව්‍යාපෘතිය බවට පත් වීමට නියමිතව ඇත. මෙම ජලාශය වර්ග කිලෝමීටර 1,700ක පමණ ප්‍රදේශයක පැතිරී ඇත. මෙම ජලාශය, ලංකාවේ නුවරඑළිය දිස්තික්කය තරම් වූ වපසරියක පැතිරෙන අතර කොළඹ දිස්ත්‍රික්කය මෙන් තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයක පැතිර පවතී.

නයිල් ගඟ සහ නව වේල්ල/ BBC

මේ අර්බුදය ගැන විමසීමට පෙර නයිල් ගංගා ද්‍රෝණිය පිළිබඳ විමසීමක් කරමු. 

ලොව විශාලම නදිය ලෙස සැලකෙන නයිල් නදිය අප්‍රිකානු මහද්වීපයේ රටවල් 11ක් හරහා ගමන් කරයි. ටැන්සානියාව, උගන්ඩාව, රුවන්ඩාව, බුරුන්ඩි, කොන්ගෝ රාජ්‍යය, කෙන්යාව, එතියෝපියාව, එරිත්‍රියාව, දකුණු සුඩානය, සුඩානය, හා ඊජිත්තුව යන රටවල් හරහා යන නයිල් ගඟ කිලෝ මීටර් 6,650ක දිගින් යුක්ත වේ. උදාහරණ සහිතව කිවහොත්, නයිල් න

දිය ලංකාවේ වට ප්‍රමාණය මෙන් 5 ගුණයක් තරම් විශාල ය. නයිල් ගංගාශ්‍රිතව මිනිසුන් මිලියන 280ක් පමණ ජීවත් වීම විශේෂයකි. නයිල් ගඟ නිල් නයිල් සහ සුදු නයිල් යනුවෙන් ප්‍රධාන අතු ගංගා දෙකකින් සමන්විත වෙන අතර, ඊජිප්තුවේ දැවැන්ත ජලාශයක් වන අස්වාන් වේල්ල ද නයිල් ගංගාව හරහා ඉදිකර තිබේ.

ඉහත සිතියමේ දක්වන පරිදි, සුදු නයිල් ගඟ අප්‍රිකාවේ විශාලම විල වන වික්ටෝරියා විල සිට ආරම්භ වන අතර නිල් නයිල් නදිය ඉතියෝපියාවේ ටාන විලෙන් ආරම්භ වනවා. මේ ගංගා දෙක සුඩානයේ අගනුවර වන  කාර්ටුම් හිදි එකතුවනවා. මේ අතු ගංඟා

දෙකෙන් දිග වැඩිම ගඟ සුදු නයිල් ගඟ වුවද, නයිල් ගංඟාවේ සමස්ත ජල ධාරිතාවයෙන් 80% ජලය සපයන්නේ ඉතියෝපියාවෙන් ආරම්භ ඉතියෝපියාවෙන් ආරම්භ නිල් නයිල් නදිය වීම මේ අර්බුදයට ප්‍රධාන හේතුවක් වෙනවා.

 

නව පුනරුද වේල්ල ඉදිකෙරෙන්නේ ඉතියෝපියා – සුඩාන මායිමේ වන අතර මේ සදහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වේ. එය ලංකාවේ ඉදිවන වරාය නගරය වියදම මෙන් තුන් ගුණයකට වඩා වැඩි ය.

වේල්ලේ ඉදිකිරීම්/ Getty Images

මෙම වේල්ලේ නම පරිදිම, මෙම ව්‍යාපෘතිය ඉතියෝපියාව නව පුනුරුදයකට ගෙනයාමේ ශක්‍යතාව ඇත්තකි. දැනට ඉතියෝපියානු ජනගහනයේ තුනෙන් දෙකක්, එනම් මිලියන 75 පමන වන පිරිසකට ස්ථීර ලෙස විදුලිය ලැබෙන්නේ නැත. දැනට ඉතියෝපියාව ජනනය කරනු ලබන්නේ මෙගා වොට් 4,000ක් පමණ ධාරිතාවක් පමණක් වන අතර, ඉදිරි වසර හතේ දී මෙම ජලාශය හරහා තවත් මෙගා වොට් 6,000ක පමණ විදුලි ධාරිතාවක් නිපදවන්නට නියමිත ය. ඉතියෝපියානු ආර්ථික හා ඉංජිනේරු පුරෝකථනයන්ට අනුව මෙම ජලාශය හරහා ජනනය කරන විදුලිය අසල්වාසී රටවලට විකිණීමේ හැකියාව පවා පවතියි. ඒ ඉතියෝපියාවේ සුන්දර කතාව යි. 

නමුත් නයිල් ගඟේ වැඩි හිමිකාරීත්වයක් ඇති ඊජිප්තුවට නම් පුනරුදයේ වේල්ල රුදුරු සිහිනයකි. නයිල් ගඟ යනු ඊජිප්තුවේ ආර්ථික මර්මස්ථානයක් පමණක් නොවේ. නයිල් ගඟ, ඊජිප්තුවේ ඉතිහාසය සහ සංස්කෘතිය සමග අවියෝජනීය ලෙස බැඳී ඇත. අද පවා ඊජිප්තුවේ ප්‍රවාහනය හා කෘෂිකර්මාන්තය නයිල් ගඟ සමග තදින් බැඳී ඇත. ඊජිප්තුවේ සමස්ත ජල අවශ්‍යතාවය සපුරාගැනීම බොහෝ දුරට රඳා පවතින්නේ නයිල් ගඟ මත ය. ඒ අනුව නයිල් ගඟේ සිදුවන කිසියම් හෝ ව්‍යාපෘතියක් ඊජිප්තුවට සෘජුව සහ දැඩිව බලපාන බව ඉතා පැහැදිලි ය.

 

ඊජිප්තුවේ මූලික ගැටළුව නම් ඉතියෝපියාව පුනරුද ජලාශය පෙරවීමට ගන්නා කාලය යි. මෙම විශාල ජලාශය වසර දහයක දී පිරවුවහොත් නයිල් ගඟේ ජල සැපයුමෙන් 14%ක් ඊජිප්තුවට අහිමි වන අතර, ඊජිප්තුවේ 18% පමණ වන කෘෂිබිම් අහිමි වීමේ අවදානමක් පවතියි. එය වසර 7කින් පිරවීමට ඉතියෝපියාව කඩිනම් කළහොත් 22%ක ජල ධාරිතාවක් හා තුනෙන් එකක පමණ වන කෘෂිබිම් ප්‍රමාණයක් අහිමි වෙන අතර, එය වසර 5ක් දක්වා වේගවත් වුවහොත් කෘෂි බිම්වලින් අර්ධයක් ඊජිප්තුවට අහිමි වනු ඇතැ යි ගණන් බලා තිබේ. එමෙන්ම ඉජිප්ප්තුව තුළ දැනටමත් උෂ්ණත්වය ඉහළ යාම නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා ජල පාරිභෝජයේ ඉහළයාමක් දක්නට ලැබෙනවා. පුනරුද ව්‍යාපෘතියේ වඩා වාසි ගැනීමට ඉතියෝපියාවට මෙම ජලාශය වේගයෙන් පිරිවීමට අවශ්‍ය වුව ද එය ඊජිප්තුවේ පරිහානියට හේතු වීම වැලැක්විය නොහැකියි. 

මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුනේ 2011 දී ඊජිප්තුවේ අරාබි වසන්තය අතරතුරේ වූ අතර, එවක පටන් ඊජිප්තුවේ විවිධ තරාතිරමේ නායකයින් මෙම ව්‍යාපෘතියට මඟ අවහිර කරන්නට විවිධ අයුරින් කටයුතු කළ බවට ඉතියෝපියාව චෝදනා කළේ ය. එසේම ඊජිප්තුව විසින් ඉතියෝපියාව අඩපණ කිරීමට ඉරිත්‍රියාවේ ත්‍රස්තයින් සංවිධානය කළ බවට ද ඉතියෝපියාව තවදුරටත් චෝදනා කළේ ය. 2018 දී මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියා මහ දවල් ඝාතනය කෙරිණි. ඒ පිළිබඳ සැක පලවුණත් එය සිය දිවිනසා ගැනීමක්යැ යි ඉතියෝපියානු රජය විසින් ප්‍රකාශ කෙරුණි. 2019 දී ඉතියෝපියානු අගමැතිවරයා වූ අබී අහමඩ් ප්‍රකාශ කළ සිටියේ කුමන ජාත්‍යයන්තර බලවේගයන් එරෙහි වුව ද මෙම ජලාශ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත්, ඒ සදහා මිසයිල ප්‍රහාරවලට වුව ද මුහුණ දීමට සුදානම් බවත් ය. 

පුනරුද වේල්ල/ waterpowermagazine.com

 

නයිල් නදියේ අර්බුදය මූලිකවම බ්‍රිතාන්‍ය පාලනය සමයේ රටවල් අතර අර්බුද මතු කර ගෙන ඉදිරියට යාමේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. 1929 දී නයිල් ගඟ ආශ්‍රිත රටවල් බ්‍රිතාන්‍යයේ මැදිහත්වීම මත ඇන්ග්ලෝ – ඊජිප්තු ගිවිසුම අත්සන් තැබීය. ඒ ගිවිසුමෙන් නයිල් ගඟ ඉහළ රටවලින් නයිල් ගඟේ ජලයට බලපෑම් වන අයුරින් කෙරෙන ඉදිකිරීම් පිළිබඳ තීරණ ගැනීමේ නිශේධ බලය ඊජිප්තුවට ලැබුනත් එම ගිවිසුමට ඉතියෝපියාව අත්සන් තැබුවේ නැත. ඊජිප්තුවේ තර්කය වන්නේ ඉතියෝපියාව මෙම ගිවිසුමට ගරු කළ යුතු බව යි. එහෙත් තමන් ඊට අත්සන් නොකළ නිසාත්, එම ගිවිසුම් අත්සන් කළ සමය අප්‍රිකානු රටවල් බ්‍රිතාන්‍යයේ යටත්විජිත ලෙස පැවති සමය නිසාත් ඉතියෝපියාව මත එම ගිවිසුම බලෙන් පැටවිය නොහැකි බව ය. 1999 දී ඊජිප්තුව හා ඉතියෝපියාව සමගින් නයිල් ද්‍රෝණි සම්මුතියට අත්සන් තැබූ නමුත් 2010 එම සම්මුතිය සංශෝධනය කරන්නට යෙදුනි. එහෙත් ඉන් ඊජිප්තුව ඉවත්වූයේ තමන්ගේ නයිල් නදියේ ඓතිහාසික උරුමයට හානිවන බවට පවසමිනි.

 

මේ සියල්ල අතර සුඩානය උභතෝකෝටියකට මුහුණ දී තිබේ. සුඩානය යනු ඊජිප්තුවේ මිත්‍ර රටකි. එහෙත් ඔවුන් නිල් නයිල් ගඟ හේතුවෙන් ඇතිවන ජලගැලීම්වලින් නිරන්තරයෙන් පීඩා විඳියි. නව පුනරුද ව්‍යාපෘතිය එම ජලගැලීම් පාලනය කරන අතර, සුඩානයට ඉතාම වාසිදායක මිලට විදුලිය ගැනීමේ හැකියාව ද මෙම ව්‍යාපෘතිය මඟින් ලබා දේ.

මේ සියලු කලබල මැද ඉතියෝපියාව මෙම මස (2020-ජුලි) දී මෙම ජලාශයට ජලය පිරවීමට නියමිතව තිබුණත්, එය හරස්කරමින් ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර උද්ඝෝෂණ පැවැත්වෙන්නේ එරට ප්‍රසිද්ධ තරුණ ගායකයෙකු ඝාතනය කිරීම හේතුවෙනි. කෙසේ නමුත් ඉතියෝපියාව චෝදනා කරන්නේ, මෙම ඝාතනය පිටුපස සිටින්නේ මෙම ජලාශ ව්‍යාපෘතිය විවෘත කෙරෙනවාට එරෙහි විදේශ බලවේගයන් බව යි.

Related Articles