ඇන්ටාර්ක්ටිකාවේ සිදුවූ ආන්දෝලනාත්මක මරණය

ඇන්ටාර්ක්ටිකාව, ලොව මිනිස් පහස අඩුවෙන්ම ලැබුණු මහද්වීපයක් ලෙස හැඳින්විය හැකියි. තවමත් මේ මහද්වීපය ගැන අනාවරණය කරගෙන තිබෙන්නේ තොරතුරු ස්වල්පයක් පමණ යි. ඒ නිසා විවිධාකාර වූ විෂය ක්ෂේත්‍ර අධ්‍යයනය කරන විද්‍යාඥයින් ඇන්ටාර්ක්ටිකා කලාපය තුළ කඳවුරු බැඳගෙන දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ පවත්වමින් සිටිනවා. දැනට ඇන්ටාර්ක්ටිකාව තුළ විද්‍යාත්මක පර්යේෂණ අරමුණු කොටගත් කඳවුරු 66ක් පමණ ඇති අතර, ඉන් 37ක් පමණ වසර පුරා විවෘතව පවතිනවා. ඉතිරි කඳවුරු ශීත සෘතුව දැඩි වන කාලවල දී වසා දැමෙනවා. ඒ අනුව සාපේක්ෂව යහපත් උෂ්ණත්වයක් පවතින කාලවල දී ඇන්ටාර්ක්ටිකාව තුළ හාරදහසක පමණ තාවකාලික ජනගහණයක් පවතිනවා. 

මේ ලිපියෙන් අවධානය යොමුවෙන්නේ, එවැනි එක්තරා කඳවුරක සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් දෙසට යි. මේ සිදුවීමට මුහුණ දෙන්නේ රොඩ්නි මාක්ස් නමැති තාරකා භෞතික විද්‍යාඥයෙක්. ඔහුගේ අවාසනාවන්ත මරණය, ඔහුගේ මව්බිම වූ ඕස්ට්‍රේලියාවෙන් බොහෝ දුර බැහැරව පිහිටි ඇන්ටාර්ක්ටිකාවේ දී සිදුවෙනවා. නමුත් මේ මරණය ස්වභාවිකව සිදුවූ එකක් ද, නැතිනම් මිනීමැරුමක් ද යන සැකය අදටත් පවතිනවා.

නිදි නොලද රාත්‍රිය

වේදනාත්මක මතකයක් ඇන්ටාර්ක්ටිකාවේ ඉතිරි කළ රොඩ්නි මාක්ස්/boredomtherapy.com

 

රොඩ්නි මාක්ස් සේවය කළේ අමුන්ඩ්සෙන්-ස්කොට් නම් පර්යේෂණ මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක යි. එක් තීරණාත්මක දවසක, එම ගොඩනැගිල්ලේ සිට ප්‍රධාන කඳවුරට ඇවිදගෙන එන අතරතුර ඔහුට යම් අමුත්තක් දැනෙන්න පටන් ගන්නවා. සෙල්සියස් අංශක -62ක දැඩි ශීතලක් මැද පැය විසිහතර පුරා ඇන්ටාර්ක්ටිකාවේ ජීවත්වන මේ විද්‍යාඥයින්ට වරින් වර දැනෙන ශාරීරික අපහසුකම් ආගන්තුක වුණේ නැහැ. නමුත් එවකට 32 හැවිරිදි වියේ සිටි රොඩ්නි මාක්ස්ට මෙවර දැනුණ අපහසුකම ටිකක් අමුතු එකක් බව හැඟෙන්නට ඇති. හුස්මගැනීමේ අපහසුතාවයකින් පෙළෙමින් සිටි ඔහුගේ පෙනීමත් එන්න එන්නම දුර්වල වෙන්න පටන් ගත්තා. දැඩි වෙහෙසට පත්ව සිටි රොඩ්නි මාක්ස්, තමා පීඩා විඳින රෝගය කුමන අකාරයේ එකක් වුණත්, එයින් මිදීමේ බලාපොරොත්තුව ඇතිව ඉක්මණින් නින්දට ගියා.

කෙසේ නමුත් නින්ද මේ අපහසුතාවයෙන් මිදීමට රුකුලක් වුණේ නැහැ. ඒ වෙනුවට තත්ත්වය නරක අතට හැරුණා. 2000 මැයි 12 වන දින අලුයම 5.30ට රොඩ්නි අවධිවුණේ රුධිරය වමනය කරමින්.  මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිටි රොබට් තොම්සන් වෙත ඔහු එදින තුන් වතාවක් ගිය බව සඳහන් වෙනවා. ඒ සෑම වෛද්‍ය හමුවක දීම ඔහුගේ රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරුණා. සන්ධිවල සහ උදර ප්‍රදේශයේ වේදනාවෙන් ඔහු බොහෝසෙයින් පීඩාවට පත්වී සිටියා. රොඩ්නිගේ දෑස් පවා සංවේදී වෙන්න පටන් ගත්තා. සති කිහිපයකින් මධ්‍යස්ථානය ආශ්‍රිතව හිරු නැඟීමක් සිදු නොවුණත්, ඔහු අව් කණ්ණාඩි පැළඳ සිටියා. ශාරීරික තත්ත්වයත් සමග රොඩ්නිගේ මානසික තත්ත්වයත් වේගයෙන් පිරිහුණ නිසා, ඔහුගේ මෙම රෝග ලක්ෂණවලට හේතුව කාංසාව විය හැකිදැ යි වෛද්‍යවරයා කල්පනා කළා.

එදින තෙවන හා අවසාන වතාවට වෛද්‍යවරයා හමුවට ගිය විට රොඩ්නි මාක්ස් අසාමාන්‍ය ලෙස වේගයෙන් සහ ගැඹුරින් හුස්මගනිමින් සිටි නිසා, ඔහු සන්සුන් කිරීමේ අටියෙන් වෛද්‍යවරයා ඔහුට ප්‍රති-මනෝව්‍යාධික එන්නතක් ලබා දුන්නා. ඔහුගේ හුස්මගැනීමේ වේගය මන්දගාමී වීම හේතුවෙන්, රොඩ්නිගේ තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බව වෛද්‍යවරයා නිගමනය කළා. නමුත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරමින් එන්නත ලබා ටික වේලාවකට පසු රොඩ්නි මාක්ස් හෘදයාබාධයකට ලක්වුණා. මිනිත්තු 45ක අසාර්ථක ප්‍රයත්නයකින් පසු එදින සවස 6.45ට රොඩ්නි මාක්ස් මියගිය බව වෛද්‍යවරයා තහවුරු කළා.

රොඩ්නි මාක්ස් සේවය කළ අමුන්ඩ්සෙන්-ස්කොට් පර්යේෂණ මධ්‍යස්ථානය/alchetron.com

ඔහුගේ ජීවිතය බේරාගැනීමේ සටන අසාර්ථක වූ තැන කඳවුරේ ජීවත් වන 49 දෙනා අළුත් ගැටළුවකට මුහුණදෙන්න පටන්ගත්තා. ඔවුන් සිටියේ පෘථිවියේ ඕනෑම මිනිස් ජනාවාසයකින් වඩාත් ඈත්ව පිහිටි හුදෙකලා ප්‍රදේශයක යි. ගුවන්යානයක් පවා ගොඩබෑමට නුසුදුසු අධික ශීතල කාලයක් තමයි ඔවුන් ගත කරමින් සිටියේ. ඔහුගේ මෘතදේහය රැගෙන යාමට ගුවන්යානයක් පැමිණීමට මාස කිහිපයක් ඒ අනුව ගත වුණා. එයිනුත් වසර කිහිපයකට පසුව රොඩ්නි මාක්ස්ගේ මරණය මිනීමැරුමක් වීමට ඇති හැකියාව ගැනත් සැක පහළ වීමට පටන් ගත්තා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ගැටළු රැසක්

පර්යේක්ෂකයෙක් ලෙස ඇන්ටාර්ක්ටිකාවේ පිහිට වූ පර්යේෂණ මධ්‍යස්ථානයක වැඩ කිරීමේ ආතතිය ගැන රොඩ්නි මාක්ස් හොඳාකාරවම දැන සිටියා. ඒ වගේම ඔහුගේ බොහීමියානු විලාසිතාව සහ මිත්‍රශීලී පෞරුෂය නිසා සගයන් අතර නොමඳ ආකර්ශනය ලබා සිටි පුද්ගලයෙකු ද වුණා. කඳවුරේ සේවය කළ තවත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු සහ රොඩ්නිගේ මිත්‍රයෙකු ද වූ ඩැරීන් ෂ්නයිඩර් ඔහුගේ බ්ලොග් සටහනක මෙසේ දක්වා තිබුණා.

“ඔහුගේ බුද්ධි මහිමය ඇතැම් වේලාවට අනෙක් අය වැරදියට වටහාගන්නවා. මේ වැරදි වැටහීම් බොහෝවාර ගණනක් ඔහු විසින්ම නිරාකරණය කරන අයුරු මම දැක තිබෙනවා. කෙනෙකුගේ අමාරු අවස්ථාවන්වල දී, ඔහු කරුණාවෙන් යුතුව, වචනයෙන් හෝ ක්‍රියාවෙන් යමක් ඔවුන් වෙනුවෙන් සිදුකරන්න සූදානමෙන් සිටියා.”

රොඩ්නි මාක්ස්ගේ චරිතය සම්බන්ධයෙන් එවැනි ධනාත්මක ආකල්ප ඔහුගේ සගයන් සතුව පැවතුණත්, මධ්‍යස්ථානයේ පර්යේෂකයන් සහ සගයින් සිටියේ යම් කම්පනයකින්. වෛද්‍ය රොබට් තොම්සන් පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කරන්නන්ට පවසා තිබුණේ රොඩ්නි මාක්ස් ස්වභාවික නමුත් නොදන්නා හේතුවකින් මියගොස් ඇති බව යි. රෝගීන්ට ප්‍රතිකාර කරනවා හැර මරණ පරීක්ෂණ සිදුකිරීම ගැන කිසිවක් වෛද්‍ය රොබට් තොම්සන් නොදන්නා නිසා, රොඩ්නිගේ මරණය ගැන වැඩිදුර විස්තර දැනගැනීමට තවත් සැළකිය යුතු කාලයක් ඔවුනට බලා සිටීමට සිදුවුණා.

මාස ගණනාවක් තිස්සේ පවතින නොනවතින අන්ධකාරය සහ භයානක සීතල නිසා පර්යේෂණ මධ්‍යස්ථානය අසලට ගුවන්යානයක් ගොඩ බෑමේ සුදුසුම මාසය ඔක්තෝබර් බව තීරණය වුණා. ඒ අතරතුර කාලයේ දී මධ්‍යස්ථානයේ සේවය කළ පිරිස තම දවසෙන් වැඩි කාලයක් වෙන්කරමින් ගුවන්යානය එනතෙක් රොඩ්නි මාක්ස්ගේ මෘත දේහය ආරක්ෂිතව තබාගැනීමට කටයුතු සූදානම් කළා.

රොඩ්නි මාක්ස් කියන්නේ බොහොම මිත්‍රශීලි පුද්ගලයෙක් බව කියවෙනවා/boredomtherapy.com

ඔක්තෝබර් 30 වැනිදා ගුවන්යානයකින් රොඩ්නිගේ මළ සිරුර නසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් වෙත ප්‍රවාහනය කළ අතර, එහිදී අධිකරණ වෛද්‍ය විද්‍යාඥ මාටින් සේජ් හට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට හැකිවුණා. අවසානයේ රොඩ්නි මාක්ස්ගේ මරණයට හේතුව සොයාගත්තත්, මරණයට හේතුව තවත් විවාදයට තුඩු දෙන කාරණයක් බවට පත් වුණා. රොඩ්නි මරණයට පත්ව තිබුණේ මෙතනෝල් විෂ වීමකින් බව අනාවරණය වුණා. ඒ අනුව ඔහුගේ ශරීරයෙන් මෙතනෝල් මිලිලීටර් 150ක ප්‍රමාණයක් සොයාගත් අතර දළ වශයෙන් එය වයින් වීදුරුවක ප්‍රමාණයට සමාන යි. මෙතනෝල් යනු ඇන්ටාක්ටිකාවේ විද්‍යාත්මක උපකරණ පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන මධ්‍යසාර වර්ගයක්. එය සියුම් පැණි රසක් ගෙන දෙන, අවර්ණ, ඉතා සුළු ප්‍රමාණයක් පවා විෂ වන රසායනිකයක් වෙනවා. මෙයින් අදහස් වන්නේ, කිසිවෙකුට දැනුමකින් පවා තොරව මාරාන්තික මෙතනෝල් මාත්‍රාවක් වුණත් පානය කිරීමේ හැකියාවක් පවතින බව යි.

මේ අනුව රොඩ්නි මාක්ස්ගේ මරණය පිටුපස වූ හේතූන් සම්බන්ධයෙන් සීමිත විකල්ප ප්‍රමාණයක් ඉතිරි වුණා. අවසන් පැය දක්වා මාක්ස් සමග ජීවත්වූ සහ වැඩකළ පුද්ගලයින් ඔහු සියදිවි නසාගනීවියැ යි විශ්වාස කළේ නැහැ. කර්කෂ පරිසරයක් වුණත්, ඇන්ටාර්ක්ටිකාව සුන්දර ස්ථානයක් බව රොඩ්නි අගය කළා. ඔහු තම නිදහස් වේලාවන්වල තම මිතුරන්, සහ විවාහවීමට සැලසුම් කර තිබූ පෙම්වතිය සමග යහපත් සමාජ ආශ්‍රයක් පවත්වාගෙන ගියා. නමුත් රොඩ්නි විසින්ම වස පානය නොකළේ නම් යන සාධාරණ බය ඔහුගේ සගයන්ට ඉතිරිවුණා. ඔවුන් වසර භාගයකට වඩා වැඩි කාලයක් තමන්ගේ වාසස්ථානය මිනීමරුවෙකු සමග බෙදාගෙන තිබුණා යන බය ඔවුන්ට ඉතිරිවුණා!

අවිනිශ්චිත පසු විමසුම

ඇන්ටාක්ටිකාව පාලනය වන්නේ රටවල් 54ක් අත්සන් කරන ලද ගිවිසුමක් අනුව නිසා, ඇන්ටාර්ක්ටිකාවේ සිදුවන අපරාධයක් හැසිරවීම හිසරදයක් බවට පත්වෙන කාරණාවක්. රොඩ්නි මාක්ස් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් වුණාට ඔහු සේවය කළේ ඇමරිකානු මධ්‍යස්ථානයක යි. ඔහු මරණයට පත්වුණේ නවසීලන්තයේ පරිපාලනය යටතේ පවතින ඇන්ටාර්ක්ටිකා භූමි ප්‍රදේශයක යි. නමුත් අවසානයේ දී සිද්ධිය ගැන විමර්ශනය කිරීමේ කාර්යය නවසීලන්තය බාරගෙන තිබුණා.

ඒ අනුව ක්‍රයිස්ට්චර්ච්හි හදිසි මරණ පරීක්ෂකවරයා මේ පිළිබඳ මූලික පරීක්ෂණයක් 2000 දී ආරම්භ කළ අතර, විමර්ශනය අවසන් කිරීමට වසර ගණනාවක් ගත වුණා. රහස් පරීක්ෂකයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨ සැරයන්වරයෙකු වූ ග්‍රාන්ට් වර්මල්ඩ් රොඩ්නිගේ මරණය සිදුවිය හැකි හේතූන් හතරක් ගැන සොයා බැලුවා.  අහම්බෙන් මෙතනෝල් පානය කිරීම, විනෝදය සඳහා මෙතනෝල් පානය කිරීම, සියදිවි නසාගැනීම සඳහා මෙතනෝල් පානය කිරීම, සහ කිසිවෙකු ඔහුට මෙතනෝල් පානය කිරීමට සැලැස්වීම යනුවෙන් මෙම හේතු හතර දැක්විය හැකියි. නමුත් 2006 දී වර්මල්ඩ් ප්‍රකාශ කළේ රොඩ්නි මාක්ස්ගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය සහ මානව සබඳතා සැලකිල්ලට ගත්විට, ඔහු සියදිවි නසාගත්තායැ යි කියන සැකය අවම බව යි.

ඇන්ටාර්ක්ටිකාව තුළ අධිකරණ සීමාවන් ආශ්‍රිත කාරණා තරමක් සංකීර්ණ යි/extracuriosity.com

ඒ අනුව වඩාත්ම පිළිගත හැකි හේතුව ලෙස අහම්බයෙන් අධික ලෙස මෙතනෝල් ලබාගැනීම බව දැක්වුණා. රොඩ්නිට පාලනය කළ නොහැකි පුනරාවර්තන චලනයන් හා සම්බන්ධ ආබාධයක් වූ ටුරට්ස් නම් සින්ඩ්‍රෝමයක් තිබුණ නිසා ඔහු අධික ලෙස මත්පැන් පානය කළ අයෙකු වුණා. එමඟින් ඔහුට සහනයක් ලැබුණ බව සඳහන් වෙනවා. නමුත් මේ සැකයත් බිඳවැටුණේ ඔහුගේ මත්පැන් ලෝලීත්වය නිසාම යි. මධ්‍යස්ථනය තුළ ඇති තරම් මත්පැන් තිබුණ අතර, අවශ්‍ය නම් රොඩ්නිට ඒවා ලබාගැනීමටත් හැකියාව තිබුණා. ඒ වෙනුවෙන් ඔහු විෂ සහිත මෙතනෝල් මධ්‍යසාරය වෙත යොමුවීම පිළිගැනීමට අපහසු කාරණයක් වුණා. ඔහු මෙතනෝල් පානය කළේ නම්, අසනීප වූ මොහොතේ ඔහුට විෂක් ශරීරගත වී ඇතැ යි නොදැන වික්ෂිප්ත වූවෙකු මෙන් හැසිරීම ගැටළුකාරී තත්ත්වයක් වුණා. 

“මගේ මතය අනුව බොහෝ විට රොඩ්නි මාක්ස් නොදැනුවත්වම මෙතනෝල් පානය කරන්නට ඇති. නමුත් හරියටම මෙතනෝල් මාක්ස්ගේ ශරීරයට ඇතුළුවුණේ කොහොම ද, අහම්බයක් නොවේ නම් එය ඔහුට ලබාදුන්නේ කවුද කියන එක නම් තාම අභිරහසක්”

ග්‍රාන්ට් වර්මල්ඩ් දරන්නේ එවැනි මතයක්.

වෛද්‍යවරයා දෙසට සැකය යොමුවෙයි

රොඩ්නි මාක්ස්ගේ අවසාන පැය කිහිපය තුළ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය රොබට් තොම්සන්ගේ ක්‍රියාකලාපය ගැන පසුකලෙක සමහර ප්‍රවීණයන්ගේ විවේචනයට ලක්වුණා. ඇන්ටාර්ක්ටික් කඳවුරකම වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන විලියම් සිල්වා රොබට්ගේ වෛද්‍ය සටහන් සමාලෝචනය කළ අතර, රෝගියා වෙත ඔහු දැක්වූ අවධානය ගැන ප්‍රශ්නාර්ථයක් මතු කළා. “එක්ටාකෙම්” නමැති රුධිර විශ්ලේෂකය භාවිතා කරමින්, රොඩ්නිට කිසියම් විෂක් ශරීරගත වී ඇත් ද යන්න සොයාගැනීමේ හැකියාව වෛද්‍ය රොබට්ට තිබුණු බවත්, ඒ අනුව ප්‍රතිකාර කිරීමට හැකියාව තිබුණ බවත් ප්‍රකාශ වුණා. 

රොබට් තොම්සන් පසුව සාක්කි දෙමින් කියා සිටියේ රොඩ්නි මාක්ස්ව රැකබලාගැනීම සඳහා ඔහු කාර්යබහුල වී සිටි බව යි. යන්ත්‍රය භාවිතා කිරීම හා නඩත්තු කිරීම අසීරු බව ඔහු පවසා තිබුණා. නමුත් වෛද්‍ය සිල්වා එක්ටාකෙම් යනු සරල උපකරණයක් බවත්, වෛද්‍ය තොම්සන් හට අවශ්‍ය නම් නිෂ්පාදකයා හරහා නොමිලේ තාක්ෂණික ආධාර දුරකථන මාර්ගයෙන් ලබාගැනීමට හැකියාව තිබුණ බවත් පැවසුවා. නමුත් තොම්සන් කිසි විටෙකත් සිල්වාගේ සාක්ෂියට ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. මරණ පරීක්‍ෂණයෙන් පසු අවධියේ දී ඔහුව සම්බන්ධ කරගැනීමටත් හැකිවුණේ නැහැ. ඒ වගේම කිසි විටෙකත්, කිසිදු වැරැද්දක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවුණෙත් නැහැ.

රොඩ්නි මාක්ස් වෙනුවෙන් ඉදිකළ සිහිවටන ඵලකයක්/mysteriousfacts.com

ජාතික විද්‍යා පදනම ග්‍රාන්ට් මඟහරියි

අමුන්ඩ්සෙන්-ස්කොට් මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය, එක්සත් ජනපදයට අයත් සංවිධානයක් වන ජාතික විද්‍යා පදනම රොඩ්නි මාක්ස්ගේ මරණය සම්බන්ධයෙන් එතරම් දෙයක් නොකළ බව සඳහන් වෙනවා. ග්‍රාන්ට් වර්මල්ඩ් විසින් රොඩ්නිගේ මරණය සම්බන්ධයෙන් වූ වාර්තා ජාතික විද්‍යා පදනමෙන් ඉල්ලා සිටියත්, ඔවුන් රොඩ්නිගේ මරණය ගැන සිදුකළ විමර්ශන පිළිබඳ කිසිදු වාර්තාවක් තමන් සතුව නොමැති බව ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම රොඩ්නි මාක්ස්ග කාමරය සහ සේවා ස්ථානය පිරිසිදු කිරීමට පෙර ලබා ගත් සුළු සාක්ෂ්‍ය මත පදනම්ව සිදුකළ විද්‍යාගාර පරීක්ෂණවල ප්‍රතිඵල ඉල්ලූ විට පදනම ග්‍රාන්ට්ව නොසළකාහැර තිබුණා. 

රොඩ්නි මාක්ස්ගේ මරණය සම්බන්ධයෙන් ජාතික විද්‍යා පදනමේ වැඩි සහයෝගයක් නොමැතිවීම සහ ශක්තිමත් නායකත්වයක් නොමැතිවීම යන කාරණා නිසා විමර්ශන ඉදිරියට කරගෙන යෑමේ දුෂ්කරතා මතුවුණා.

2008 දී හදිසි මරණ පරීක්ෂක රිචඩ් මැක්එල්රියා රොඩ්නි මාර්ක්ස්ගේ විෂ වීම සම්බන්ධයෙන් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරවලින් නිගමනවලට එළඹිය නොහැකි බවට වාර්තාවක් නිකුත් කළ නිසා, තවදුරටත් විමර්ශන කරගෙන යෑම නිශ්ඵල වුණා. ඒ අනුව නොවිසඳුන අභිරහසක් ලෙස ඇන්ටාර්ක්ටිකාවේ සිදුවුණ මේ මරණය ඉතිහාසයට එක් වුණා.

Cover photo: extracuriosity.com

මූලාශ්‍රයයන්: mentalfloss.com

coolantarctica.com

nzherald.co.nz

Related Articles