Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිමාලය ආශ්‍රිත ජන ජීවිතයේ අසිරිය

ඉන්දියාව හා නේපාලය ප්‍රමුඛව විහිදෙන හිමාල කඳුවැටිය ලොව වෙනත් ස්ථානවල දැකිය නොහැකි තරමේ විවිධත්වයක් දක්වන ස්ථානයක්. දේශගුණය අතින් වුණත්, ජෛව විවිධත්වය අතින් වුණත් ඉතා විශාල පරාසයක විවිධත්වයකට උරුමකම් කියන හිමාලයේ, ඉතා සුවිශේෂ වූ මිනිසුන් පිරිසක් ද දකින්න ලැබෙනවා.     

හිමාලය කඳුවැටිය (freepic.com)
හිමාල කඳුවැටිය/aljazeera.com

හිමාල කඳුකරයේ මොන්ගොලොයිඩ් ජන වර්ගයට අයත් ගෝත්‍රික කණ්ඩායම් විශාල ප්‍රමාණයක ජනතාව වාසය කරනවා. මෙවැනි ගෝත්‍රික කණ්ඩායම් අතරින් භූටියා, ඛසා, දරඩ්, ලෙප්චා, ෂෙර්පා වගේ ජන කණ්ඩායම් ඉතා ප්‍රසිද්ධ යි. මේ ගෝත්‍ර එකිනෙක අතර වෙනස්කම් තිබුණත්, පොදුවේ ගත්කල ඔවුන් පරිසරයට ආදරය කරන, ඉතා නිශ්ශබ්ද හා ස්වයංපෝෂිත ජීවිත ගතකරන පිරිසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔවුන්ගේ ජීවන රටාව තුළ හිමාලයටම ආවේණික වූ විශේෂ ලක්ෂණ රාශියක් දකින්න පුළුවන්.

ශාක, සතුන් මෙන්ම මිනිසුන් ද ජීවත් වන පරිසරයට ගැළපෙන පරිදි අනුවර්තනය වෙනවා. හිමාල කඳුකරයේ ජීවත් වන ජනතාවගේ ජීවන රටාව තුළ පමණක් නොව ඔවුන්ගේ ශරීර ස්වභාවයෙන් ද ඔවුන් ඒ සුන්දර කඳුකරයට හැඩගැසී ඇති ආකාරයක් දක්නට පුළුවන්. පොළව මට්ටමෙන් ඉහළට යන්න යන්න ඔක්සිජන් ඝනත්වය අඩුවෙනවා. මේ මිනිසුන්ගේ පෙනහැලිත් කඳු නගිමින් ඉහළට යන විට ඇති වන අඩු ඔක්සිජන් වායු පරිමාවෙන් ජීවත්වීමට හැකි පරිදි සකස්වෙලා තියෙනවා. ඒ විතරක් නොවේ;  කඳු නැගීම පහසුවීමට ඔවුන්ට පුළුල්, පැතලි පතුල් සහිත පාද  හිමිවෙලා තිබෙනවා. තව ද, බර උසුලන්නන්ගේ කාර්යය පහසු කිරීමට මෙන් ඔවුන්ට ස්වභාවයෙන් දැඩි බාහු ශක්තියක් හිමිවෙලා තියෙනවා.

මොන්ගොලොයිඩ් ජනතාව ( pinterest.com)
හිමාල කඳුකරාශ්‍රිත මොන්ගොලොයිඩ් ජනයා/freepik.com

අර්ථ ක්‍රමය

මේ ගෝත්‍රික කණ්ඩායම් බොහොමයක් තමන්ගේ ජීවනෝපාය ලෙස තෝරාගෙන සිටින්නේ කෘෂිකාර්මික කටයුතු. හෙල්මලු ආශ්‍රිත වගා ක්‍රම භාවිත කරමින් සහල්, බාර්ලි, තිරිඟු, මිලට් වැනි බෝග වගා කිරීමට ඔවුන් පෙළඹී සිටිනවා. ඒ පමණක් නොවෙයි, තමන්ගේ ආහාරවලට අවශ්‍ය එළවළු හා පලතුරු වර්ගත් ඔවුන් විසින්ම  වගා කරනවා. සත්ත්ව පාලනය ද ගෝත්‍රික ජනයා පරම්පරාවෙන්ම කර ගෙන එන එක් ජීවනෝපාය මාර්ගයක්. මේ යටතේ ඔවුන් බැටළුවන්, එළුවන්, හා ගවයන් වැනි සතුන් ඇති කරනවා. මීට අමතරව, බොහෝ ගෝත්‍රික ජනතාව මේ වන විට විනෝදයට කඳු නගින්නන් සඳහා උපදේශකවරුන් වශයෙන් වන සේවා කටයුතුවලත් නිරත වනවා. ඔවුන්ගේ ජීවිතවලට එක් වී ඇති බටහිරකරණයත් සමග, ඔවුන් සංචාරක කර්මාන්තය ආශ්‍රිත භාණ්ඩ අලෙවිකරණ හා වෙළෙඳපොළ සේවා, සංචාරක මඟපෙන්වන්නන් වැනි සේවා සපයමින් සිය දෛනික ජීවිතය ගෙනයනවා. ගෝත්‍රික ස්ත්‍රීන් බොහෝ විට රෙදි විවීම, නූල් ගෙතීම ආදී ස්වයං-රැකියාවල නිරත වන ආකාරයක් දැකගත හැකියි. 

 

ආහාර රටාව 

කෘෂිකාර්මික වගා භූමි(tibetdiscovery.com)
කෘෂිකාර්මික වගා භූමි/pinterest.com

හිමාල කඳුවැටිය ආශ්‍රිත ගෝත්‍රික ප්‍රජාවට ඔවුන්ටම ආවේණික වූ ආහාර රටාවක් තිබෙනවා. එහි ප්‍රධාන ආහාරය බත් වර්ග යි. ඊට අමතරව ශක්තිය වඩවන ආහාර ලෙස ඔවුන් තිරිඟු, බාර්ලි, මිලට් ආදී ධාන්‍ය වර්ග සිය ආහාරයට එකතු කර ගන්නවා. නැවුම් එළවළු හා පලතුරු වර්ග ද ඔවුන් සිය ගොවිබිමෙන්ම ලබා ගන්නවා. එපමණක් නොවේ, මස් වර්ග ද ඔවුන්ගේ ආහාර වේල්වල ඉතා සුලබව දක්නට ලැබෙනවා. තේ, කෝපි වැනි අපරදිග බීම වර්ග ද මේ ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය අතර ඔවුන් විසින්ම නිෂ්පාදනය කර ගන්නා ස්වභාවික මධ්‍යසාර වර්ග ද භාවිතා කරනවා. 

ඇඳුම් පැළඳුම් හා ආභරණ 

මේ ප්‍රදේශයේ එක් එක් ගෝත්‍රික කණ්ඩායම්වලටම ආවේණික වූ විවිධ ඇඳුම් ආයිත්තම් වර්ග හඳුනාගත හැක. පොදුවේ ගත්කල, මුලු ශරීරයම ආවරණය වන ලෙස ලොම්වලින් කරන ලද, සීතලට ඔරොත්තු දෙන ආකාරයේ ඇඳුම් පැළඳුම් ඔවුන් ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා. හිසට උණ හා වේවැල් තොප්පි පළඳිනවා. සමහර ගෝත්‍රවල ජනතාව ආභරණ නොපළඳින අතර සමහර ගෝත්‍රවල ජනතාව 100% පිරිසිදු රන් ආභරණ පළඳිනවා. තවත් විටෙක ඔවුන් සිය භූමි ප්‍රදේශයෙන්ම සොයා ගන්නා අයස්කාන්ත පාෂාණ වර්ග ද සිය ආභරණ සඳහා යොදා ගන්නවා.

 

ගෝත්‍රික කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම්/DailyMail

වාසස්ථාන හා ගෘහ භාණ්ඩ 

මේ ජන සමාජයේ ගෝත්‍රය අනුව ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් මුහුණුවරක් ගන්නවා. ගෝත්‍රයෙන් ගෝත්‍රයට ඔවුන්ගේ නිවාසවල හැඩය, ඒවා නිමවීමට ගන්නා ද්‍රව්‍ය යනාදිය වෙනස් වෙනවා. බොහෝ විට නිවාස සෑදීමට කඳුකර පරිසර පද්ධතිවලින් සොයාගත හැකි ගල්, ලී කුඩු, මැටි, ලී දඬු යොදා ගන්නවා. නිවසේ වහල සෙවිලි කිරීමට විශේෂ තෘණ වර්ග භාවිත කෙරෙනවා. නිවසට අවශ්‍ය සියලුම ගෘහ භාණ්ඩ ඔවුන් විසින්ම තනාගැනෙන අතර ඒවා පරිසර හිතකාමී නිමවුම්. මුලුතැන්ගෙයි පිසීමේ සිට ආහාර පිළිගන්වන බඳුන දක්වාම ඔවුන් භාවිතා කරන්නේ සිය ප්‍රදේශයෙන් සොයාගන්නා ශාක කොටස්. සෑම නිවසකම පූජාසන දැකගත හැකි අතර ඒවා ගලින් නිමවූ ඒවා වීම විශේෂත්වයක්.

ආගම හා සංස්කෘතිය

හිමාල කඳුකරාශ්‍රිත ගෝත්‍රික ජනයාගේ බහුතරයක් බෞද්ධ දර්ශනය අදහන්නන්. හින්දු දර්ශනය හා සීක් දර්ශනය ද යම් තරමකට ඔවුන් අතර ප්‍රකට ඇදහිලි විශ්වාසයන් වෙනවා. මෙම ප්‍රජාව ඉතාමත් ඉහළ අන්දමින් උත්සව සමරනවා. ඒ අතරින් නව අවුරුදු උදාව ඉතා විශේෂ යි. ගින්දර ආශ්‍රිත නර්තන ද ඔවුන්ගේ සංස්කෘතිය තුළ වැදගත් ස්ථානයක් ගන්නවා. එපමණක් නොවේ, බොහෝ ගෝත්‍රවලට පූජනීය වූ විලක් හා ගිරි හිසක් ද එම භූමියෙන්ම වෙන් කරගෙන තිබෙනවා. ඔවුන්ගේ උත්සව වඩාත් හැඩවන්නේ ඔවුන්ගේම සංගීතයෙන් හා නර්තනයෙන්. උතුරු ඉන්දියානු සංගීතයේ ආභාෂය ලබමින් දියුණුවූ ඔවුන්ගේ සංගීතය තුළ විවිධ වර්ගයේ බෙර වර්ග, බටනලා වර්ග මෙන්ම තත් වාද්‍ය භාණ්ඩ ද දක්නට ලැබෙනවා. තමන්ගේ ගෝත්‍රයටම ආවේණික වූ ජනප්‍රවාද හා ජනකතාවලින් රසගැන්වුනු හර පද්ධතියක් ද ඔවුන් සතු යි. මෙම කඳුකර ජනාවාස පද්ධතිය තුළ මනා වූ නීති පද්ධතියක් ක්‍රියාත්මක වන අතර ඒ තුළ කාන්තාවට බොහොම ඉහළ ස්ථානයක් ලැබෙනවා. භූටියා, ටිබෙට්, හින්දි, නේපාලි, ඛසා, දරඩ්, ලෙප්චා, ෂෙර්පා වැනි භාෂා කිහිපයක් මෙසේ එකම බිමක ව්‍යවහාර වීම දකින්නට ලස්සන දර්ශනයක්.

ගෝත්‍රික ජනයාගේ වාසස්ථාන (aljazeera.com)
ගෝත්‍රික වාසස්ථාන/tibetdiscovery.com

මේ බිමෙන් ලොව ජයගත් විශිෂ්ටයින් රැසක් බිහිවී තිබෙනවා. ටෙන්සින් නොර්ගේ එයින් එක් අයෙක්. ඔහු මුලින්ම එවරස්ට් තරණය කළ එඩ්මන්ඩ් හිලරි සමග ගිය ෂෙර්පාවරයා යි. එපමණක් නොව, බොලිවුඩය ජයගත් නලු නිළියන් හා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ද මේ සමාජය තුළින් බිහිවූ බව කීමට සතුටු යි. ලොවෙන් හුදකලා නොකර මෙතෙක් කලක් පැවතී ආ මේ අරුමැසි පාරාදීසය ජීවිතය තුළ කවදා හෝ දැකගත යුත්තක්. 

කවරයේ පින්තූරය-adventurenation.com

මූලාශ්‍රයයන්:

හිමාලය-ඊ.ඩී.ඩග්ලස්

Wild Himalaya-Stephen Alter

Related Articles