හුදෙකලාවේ නවාතැන.. “ට්‍රිස්ටන් ඩා කුන්හා”

අප අවට පවත්නා තරගකාරී ජීවන රටාවෙන් මොහොතකට මිදී මඳ ඉසිඹුවක් ලබන්න අපි කවුරුත් කැමතියි. බොහෝ විට ඒ ඉසිඹුලන කාලය විනෝද චාරිකාවක් වෙනුවෙන් හෝ, විනෝදාංශයක් වෙනුවෙන් හෝ, නෑදෑ හිතමිතුරන් වෙනුවෙන් හෝ, අප සතුටු වෙන වෙනයම් කාරණාවක් වෙනුවෙන් හෝ කැප කරන්න අපි කැමතියි. නමුත් අපි නිතර වෙලේ දකින සහ අපි වෙසෙන මේ ආකෘතික ජීවන රටාවෙන් යම්තාක් දුරකට හෝ ගැලවුණු සමාජ ක්‍රමයන් මේ ලෝකය තුළ පවතිනවා. ඉතින් මේ කියන්න යන්නේ එවැනි සමාජයක් ජීවත් වෙන අපූරු දිවයිනක් ගැන. ඔවුන්ගේ ජීවන රටාව ගොඩනැඟී තිබෙන්නේ හුදකලාව නිසාම ගොඩනැගුණු සාමකාමීත්වයේ පදනමක් මත යි. ඇතැම් විට මේ ලිපිය අවසානයේ දී ඔබට වුණත් මේ තරගකාරී පරිසරයෙන් ඈත්ව එවැනි තැනක මොහොතකට හරි තනිවෙන්න හිතේවි.

ට්‍රිස්ටන් ඩා කුන්හා කියන්නේ ලෝකයේ සියළුම ප්‍රධාන ජනාවාසවලින් ඈත්ව පවතින ලෝකයේ වඩාත්ම හුදෙකලා මිනිස් වාසස්ථානය යි. නමුත් මෙම දිවයිනේ වෙසෙන්නේ ශිෂ්ඨාචාරයෙන් ඈත් වූ ගෝත්‍රිකයින් පිරිසක් නම් නෙවෙයි. සැබැවින්ම ට්‍රිස්ටන් වැසියන් කියන්නේ බ්‍රිතාන්‍ය පුරවැසියන්. ඉතින් මේ ලිපිය වෙන් වන්නේ ඔවුන්ගේ ජීවන රටාව, දූපතේ පිහිටීම, සහ එහි සෞන්දර්යාත්මක කරුණු වෙනුවෙනුයි.

ට්‍රිස්ටන් ඩා කුන්හා ලොව වඩාත්ම හුදකලාව පිහිටි මිනිස් ජනාවාසයයි.
ට්‍රිස්ටන් ඩා කුන්හා ලොව වඩාත්ම හුදකලාව පිහිටි මිනිස් ජනාවාසය යි/dailymail.co.uk

භූගෝලීය තතු

ට්‍රිස්ටාන් ඩා කුන්හා, දකුණු අප්‍රිකාවේ සිට කිලෝමීටර් 2,816ක් සහ දකුණු ඇමරිකාවේ සිට කිලෝමීටර් 3,360ක් ඈතින්, දකුණු අත්ලාන්තික් සාගරයේ මැදට වන්නට පිහිටා තිබෙනවා. ට්‍රිස්ටන් ඩා කුන්හාවට ආසන්නතම මිනිස් ජනාවාසය වන්නේ ශාන්ත හෙලේනා දූපත් සමූහය යි. නමුත් ශාන්ත හෙලේනාවත් පවතින්නේ ට්‍රිස්ටන් සිට කිලෝමීටර් 2,430ක් පමණ ඈතිනුයි. මෙම දුර ප්‍රමාණවලින්ම ට්‍රිස්ටන් ඩා කුන්හාව කොතරම් හුදෙකලාව පවතින බිම්කඩක් ද යන්න සිතා ගත හැකියි.

ට්‍රිස්ටන් ඩා කුන්හා දූපත් සමූහයේ ප්‍රධාන දූපත ගිනිකන්දක් මඟින් සෑදුනු දිවයිනක්. ක්වීන් මේරි නැමැති ඒ ගිනිකන්ද මීටර් 2060ක් පමණ උසකින් යුතු යි. කඳු මුදුන සාමාන්‍යයෙන් පවතින්නේ වළාකුළුවලින් වැසිලයි. මෙම ප්‍රධාන දූපත දළ වශයෙන් රවුම් හැඩයක් ගන්නා අතර එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 98ක් පමණ වෙනවා. මිනිස් වාසය පවතින මෙම ප්‍රධාන දූපත හැරෙන්නට ජනශූන්‍ය වූ තවත් කුඩා දූපත් කිහිපයක් ඒ අවට පිහිටා තිබෙනවා. ඒ දූපත් අතුරින් ගෆ් දූපත, ඉනැක්සෙසිබල් දූපත, සහ නයිටිංගේල් දූපත් ප්‍රමුඛ වෙනවා. ගෆ් සහ ඉනැක්සෙසිබල් දූපත්වල පවතින ආවේණික හා සුවිශේෂී ජෛව විවිධත්වය නිසා ඒවා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. මෙම කලාපයේ තිබෙන්නේ තෙත්, මෘදු, සහ සුළං සහිත දේශගුණයක්. වාර්ෂික වර්ෂාපතනය මි.මි. 1675ක් පමණ වෙනවා.

ඉතිහාසය සහ පරිපාලනමය කරුණු

ට්‍රිස්ටන් ඩා කුන්හා භූමි භාගය ජනාවාසීකරණය වුයේ කෙසේ ද යන්න සොයා බැලීමේ දී දූපතේ ඉතිහාසගත කරුණු විමසීම නිතැතින්ම සිදු වන්නක්.

ක්‍රිස්තු වර්ෂ 1506 දී පෘතුගීසි අද්මිරාල්වරයෙකු වන ට්‍රිස්ටෝ ඩා කුන්හා මෙම දූපත් සමූහය ලොවට අනාවරණය කරගත්තා. ඔහුගේ නම ආශ්‍රයෙන්, ඔහුට ගෞරව පිණිස පසු කාලීනව මෙම දූපත් සමූහය ට්‍රිස්ටන් ඩා කුන්හා ලෙස නම් කෙරුනා. ඒ වනවිටත් මේ දූපත් සමූහය පැවතියේ ජන ශූන්‍යව යි. මෙහි මුල් පදිංචිකරුවන් ගැන කිසිදු සාක්ෂ්‍යයක් නොතිබුණු අතර මෙම කුඩා දූපත් සමූහය දුරාතීතය පටන්ම හුදෙකලාවටම නතු වී තිබුණු බවක් පෙනුනා.

17 වන ශතවර්ෂයේ දී මෙහි ප්‍රධාන දූපත ජනාවාස කිරීම සඳහා අවස්ථා දෙකක දී ප්‍රයත්න දැරුවත්, එය අසාර්ථක වුණා. ක්‍රිස්තු වර්ෂ 1810 දී බ්‍රිතාන්‍යයේ හමුදා කඳවුරක් ට්‍රිස්ටන් ඩා කුන්හාවේ ස්ථාපිත කෙරුණු අතර, වර්ෂ 1816 දී  එක්සත් රාජධානිය මෙම දූපත් සමූහය නිල වශයෙන් තමන්ට අයත් භූමියක් ලෙස ඈදා ගතතා. 

1817 දී මෙහි ස්ථාපිත කරන ලද හමුදා කඳවුර ඉවත් කර ගන්නා විට, එහි සේවය කළ කෝප්‍රල් විලියම් ග්ලාස් ඇතුළු සාමාජිකයන් තිදෙනෙක් දූපතේ නැවතීමට තීරණය කළා. දූපතේ සුවිශේෂී පුද්ගල චරිත ගැන කතා කිරීමේ දී විලියම් ග්ලාස්ගේ නම ඉහළින්ම කියවෙන්නේ දූපත් සමූහයේ එකම මිනිස් ජනාවාසය වන “එඩින්බරෝ ඔෆ් ද සෙවන් සීස්” හි නිර්මාතෘ ලෙස ඔහු ගෞරවාදරයට පාත්‍ර වන නිසයි.

සයුරේ සිට එඩින්බර්ග් ඔෆ් ද සෙවන් සීස් සහ දූපත පෙනෙන අයුරු
සයුරේ සිට එඩින්බර්ග් ඔෆ් ද සෙවන් සීස් සහ දූපත පෙනෙන අයුරු/dailymail.co.uk

වර්තමානයේ නාවුක ගමනාගමනයේ වැදගත් මෙහෙයක් ඉටු කරන සූවස් ඇළ නොතිබුණු අතීතයේ දී යුරෝපාකරයේ නැව් ඉන්දියන් සාගරයට ඇතුළු වුණේ දකුණු අප්‍රිකාව වටා යාත්‍රා කරමින්. ට්‍රිස්ටන් ඩා කුන්හාව එම පැරණි ප්‍රධාන නාවුක මාර්ගයේ යන අතරතුර හමුවෙන දූපතක් නිසා පසුකාලීනව අනතුරට පත් නැව්වලින් දිවි බේරා ගත් නැවියන්, ස්වෙච්ඡාවෙන් දූපතේ පදිංචි වීමට ඉදිරිපත් වූ යුරෝපීයයන්, සහ ශාන්ත හෙලේනාවේ සිට පැමිණි කාන්තාවක් ද ඇතුළුව වර්ෂ 1886 වන විට දූපතේ ජනගහනය 97ක් දක්වා වර්ධනය වුණා. නමුත් නාවුක ගමනාගමනයේ හැරවුම් ලක්ෂ්‍යයන් වූ සූවස් ඇළ සහ පැනමා ඇළ නිර්මාණය වීමෙන් පසු මේ මිනිසුන් සමගම ට්‍රිස්ටන් ඩා කුන්හාව අතීතයේ පටන්ම තමන්ට හුරු පුරුදු වූ හුදෙකලාව නැවතත් වැළඳ ගත්තා.

වර්තමානයේ ට්‍රිස්ටන් ඩා කුන්හාවේ ජනගහනය 249 ලෙස ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් වෙනවා. එයින් 245ක් දූපත්වාසීන් වන අතර, ඔවුන් ග්ලාස්, කොලින්ස්, ග්‍රීන්, හාගන්, ලැවරෙලෝ, රිපෙටෝ වැනි මුල් පදිංචිකරුවන්ගේ පෙළපත්වලින් පැවත ගෙන එන අය යි.

ට්‍රිස්ටන් ඩා කුන්හා යනු තවමත් බ්‍රිතාන්‍යයෙන් නිදහස අපේක්ෂා නොකරන, බ්‍රිතාන්‍යට අයත් විදේශීය බලප්‍රදේශයන්ගෙන් එකක්. ඔවුන් තවමත් එක්සත් රාජධානිය සමග බැඳී සිටීමට කැමතියි. ඒ නිසා බ්‍රිතාන්‍යයට තවමත් ඔවුන්ගේ මව් භූමියේ සිට කිලෝමීටර් 9000ත් වඩා ඈතින් තමන්ගේම කියා පුරවැසියන් පිරිසක් හිමි වී තිබෙනවා. එය කොතරම් දුරකට ට්‍රිස්ටන් ඩා කුන්හාවේ වැසියන්ට වැදගත් ද යන්න වග මෙම ලිපිය අවසානය දක්වා කියවා ගෙන යන ඔබට මනාව වැටහේවි. බ්‍රිතාන්‍යයේ මහ රැජිණ පත් කරන ලද කලාපීය ආණ්ඩුකාරවරයා මෙම දූපත් සමූහයේ බාහිර සබඳතා, අභ්‍යන්තර ආරක්ෂාව, සහ රාජ්‍ය සේවා පිළිබඳ වගකීම දරනවා.

දූපතේ පිහිටීම
දූපතේ පිහිටීම/dailymail.co.uk

ජන ජීවිතය

ලෝකයේ සියළුම ප්‍රධාන ජනාවාසවලින් ඈත්ව, ළඟා වීමට ඉතා අපහසු ස්ථානයක පදිංචිව සිටින මේ මිනිසුන්ගේ ජන ජීවිතය කෙබඳු ද? සත්‍ය වශයෙන්ම එය දුෂ්කර ජීවිතයක් වන්නට ඉඩ තිබුණා. නමුත් මේ ට්‍රිස්ටන් ඩා වාසීන් කියන්නේ බොහොම බුද්ධිමත් මිනිසුන්. අතිශයින් හුදෙකලා ස්ථානයක් නිසාම ඔවුන් තමන්ගේ ලොකුම සම්පත ලෙස සලකන්නේ තමන් වටා සිටින මිනිසුන්ම යි. ඔවුන් අවම භෞතික​ සම්පත්වලින් උපරිම ඵල නෙළා ගන්නා අතරම, තම අවශ්‍යතා අවම ලෙස පවත්වා ගනිමින් සරල දිවි පෙවෙතකට අවුරුදු සිය ගණනක් මුළුල්ලේ හොඳින් අනුවර්තනය වී තිබෙනවා. බාහිර ලෝකය සමග මනා ලෙස සබඳතා පවත්වා ගෙන ගියත්, බාහිර ලෝකයේ තරගකාරීත්වය මේ පුංචි බිම්කඩට ඇතුල් වෙන්න ඔවුන් කිසිම අයුරකින් ඉඩ දෙන්නේ නැහැ.

දූපතට ගුවන්තොටුපලක් නොමැති අතර ට්‍රිස්ටන් ඩා කුන්හාවට ළඟා විය හැකි එකම ක්‍රමය වන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට ක්‍රියාත්මක වන නෞකා සේවයන් ඔස්සේ පමණ යි. එම සමුදුරු ගමනටත් දින හයක් පමණ ගත වෙනවා. මෙම නෞකා සේවයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක නොවන අතර, සැලසුම් කරගත් නෞකා ගමන්වාර ගැන විස්තර ලබා ගැනීමට නම් දූපත වෙනුවෙන්ම පිහිටවූ නිල වෙබ් අඩවියට පිවිසීමට සිදු වෙනවා.

දූපත්වාසීන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් හැකිතාක් දුරට පහසුකම් සැපයීමට මේ වනවිට බ්‍රිතාන්‍ය රජය සමත් වී තිබෙනවා. දූපතේ එකම ජනාවාසය වන “එඩින්බරෝ ඔෆ් ද සෙවන් සීස්”හි මෙම සියළුම පහසුකම් කේන්ද්‍රගත වී තිබෙනවා.

එඩින්බරෝ ඔෆ් ද සෙවන් සීස්/dailymail.co.uk

දූපතේ පැරණිතම ගොඩනැගිලි අතර ශාන්ත මරියා ඇන්ග්ලිකානු දෙව් මැදුර සුවිශේෂත්වයක්උසුලනවා. ඒ වගේම රෝහලක්, කුඩා පාසලක්, ප්‍රාථමික මට්‍ටමෙන් පවත්වා ගෙන යන වෙළෙඳසලක්, තැපැල් කාර්යාලයක්, පරිපාලන කටයුතු උදෙසා වූ ගොඩනැගිල්ලක්, කුඩා කෞතුකාගාරයක්, එක් පොලිස් නිළධාරියෙක් සහිත පොලිස් ස්ථානයක් සහ දූපත් වැසියන්ගේ ආර්ථිකයට මනා ශක්තියක් වන පොකිරිස්සන් ටින් කරන කම්හලක් මෙහි පිහිටා තිබෙනවා. කෙසේ නමුත් සපයා ඇති පහසුකම් අතර අන්තර්ජාල පහසුකම තවමත් මෙහි තිබෙන්නේ හදිසි පණිවිඩයක් යවා ගැනීමට තරම් සෑහෙන දුර්වල සහ සීමිත මට්ටමක. ඉතින් මෙම දූපත තුළ දී ඔබගේ ජංගම දුරකථනය බොහෝ විට ඵල රහිත උපාංගයක් වේවි.

දූපත් වාසීන්ට අවශ්‍ය ද්‍රව්‍ය රැගත් නෞකාවන් අවුරුද්දේ විවිධ කාලවල “එඩින්බර්ග් ඔෆ් ද සෙවන් සීස් ” බලා කේප් ටවුන් වරායෙන් පිටත් වන අතර, දූපත්වාසීන්ගේ නිෂ්පාදන ලබාදීම සිදු කරන්නේ ද මෙම නෞකා සේවයන් හරහාම යි. එම නිෂ්පාදන අතර Tristan rock lobster නමැති පොකිරිස්සන් විශේෂය මෙහි වැසියන්ට යම් අනන්‍යතාවයක් එක් කරනවා. මීට අමතරව ඔවුන් වැඩි වශයෙන් අර්තාපල් වගා කරන අතර ක්වීන් මේරී ගිනි කන්දෙන් ගලා ගෙන ආ ලාවාවලින් සාරවත් වූ පස නිසා මෙහි කෘෂිකර්මය ඉතා සාර්ථක යි. අර්තාපල් මේ වැසියන්ගේ ප්‍රධාන ආහාරය වන අතර එවායින් ඔවුන් විවිධාකාරයේ කෑම සාදා ගන්නවා. මීට අමතරව ධීවර කර්මාන්තය සහ දැඩි පාලන ක්‍රමවේද යටතේ ගවයන්, බැටළුවන් වැනි සතුන් ඇති කරනවා. කුඩා බිම්කඩක් නිසාත්, බාහිර උපද්‍රව නොමැති නිසාත් මෙම සතුන් පාලනයකින් තොරව බෝ වීමට ඇති ඉඩකඩ නිසා දූපත්වාසීන් මේ සත්ත්ව පාලනය කරන්නේ දැඩි කලමණාකරණයක් යටතේ යි.

කොහොම නමුත් මේ ට්‍රිස්ටන් ඩා වාසීන්ගේ සරල, නිවහල් ජීවන රටාවට ගැටළු ඇති වෙන තැන් ද නැතුවා නොවේ. එයින් ලොකුම ගැටළුව වන්නේ ඔවුන් ඉදිරියේ ප්‍රතාපවත් ලෙස නැඟී සිටින ක්වීන් මේරී ගිනි කන්ද යි. මෙම ගිනිකන්ද වර්ෂ 1961 දී විදාරණය වුණේ භූමිකම්පාවක් සහ නාය යෑමක් ද සමගින්. එහිදී වහා ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය රජය ට්‍රිස්ටන් වැසියන් වසර දෙකකට එංගලන්තයට රැගෙන ගියා. පසුව කළ නිරීක්ෂණ අනුව ගිනිකඳු විදාරණයෙන් දූපත්වාසීන්ගේ සියලු සම්පත් පිහිටි “එඩින්බරෝ ඔෆ් ද සෙවන් සීස්” ජනාවාසයට හානියක් නොවූ බව සොයා ගත්තා.

බ්‍රිතාන්‍ය රජය ඔවුන්ව දිගටම තබා ගැනීමට කැමති වුණත්, දූපතේ සරල ජීවන රටාවට හුරු වී සිටි ඔවුන්ට තමන්ගේ මහගෙදර වන් බ්‍රිතාන්‍යයේ ජීවන රටාව රිස්සුවේ නැහැ. වර්ෂ 1963 දී ඔවුන් නැවත දූපත කරා පෙරළා පැමිණියේ බ්‍රිතාන්‍යයේ දී ඔවුන් සමග යෑමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ තවත් අළුත් සාමාජිකයන් කිහිප දෙනෙකු ද කැටුව යි.

දූපතේ සොබාදහම​
දූපතේ සොබාදහම​/nationalgeographic

මීට අමතරව නිරන්තරයෙන් රළු වන සමුද්‍ර කලාපයක දූපත් සමූහය පිහිටන නිසා නාවික ගමනාගමනයට ඇති වන ගැටළු, සහ සෞඛ්‍යමය පැත්තෙන් ඔවුන් මුහුණදෙන යම් යම් ගැටළු නිසා පීඩාවට පත් වෙනවා. දීර්ඝ කාලයක් බාහිර ලෝකයෙන් වෙන්ව සිටින නිසා ඔවුන්ට බොහෝ රෝගවලට ඔරොත්තු දීමට ද හැකියාවක් නැහැ. රෝහලක් දූපත තුළ පිහිටිය ද, බරපතල අසනිපයක දී සෞඛ්‍ය පහසුකම් පතා හෙලිකොප්ටරයකින් කේප් ටවුන් නගරය කරා පියාසර කරන්න ඔවුන්ට සිදු වෙනවා.

මෙම අවදානම දැනසිටි නිසා කලින්ම ක්‍රියාත්මක වූ ට්‍රිස්ටන් වැසියන්ට, වර්තමාන ගෝලීය COVID-19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ තවමත් එම වෛරසයේ බලපෑමට හසු නොවූ අල්පතර භූමීන් අතර තම භූමිය ද රඳවාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. බාහිර සබඳතා පැත්තෙන් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය ඔවුන්ට වැදගත් නිසා දකුණු අප්‍රිකාවේ COVID-19 තත්ත්වය ගැන දූපතේ පරිපාලනය දැඩි අවධානයෙන් සිටිනවා.

දූපත අපට ද දැකගත හැකියි

දැන් සංචාරකයන් සඳහා ද ට්‍රිස්ටන් ඩා කුන්හාව විවෘතව පවතිනවා. නමුත් ළඟා වීමේ අපහසුතා නිසා වාර්ෂිකව මෙම දූපතට පැමිණෙන්නේ සීමිත සංචාරක පිරිසක්. මෙම සංචාරක අත්දැකීම් ඔවුන් යූ ටියුබ් වැනි මාධ්‍ය ඔස්සේ ලෝකය සමග බෙදා හදාගෙන තිබෙනවා.ට්‍ රිස්ටන් ඩා කුන්හාවට සංචාරය කිරීමේ දී දැනුම්වත් විය යුතු කරුණු ගැන ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.tristandc.com හරහා ලබා ගත හැකියි.

ඉතින් ඔබ සංචාරකයෙක් ලෙස ලෝකයේ වැඩිපුර කතාබහ වෙන්නේ නැති, අප්‍රකට ස්ථානවලට යන්න කැමති කෙනෙක් නම්, ඔබගේ ලැයිස්තුවට ට්‍රිස්ටන් ඩා කුන්හා දිවයිනත් ඇතුළත් කරගන්න උත්සාහ කරන එක වටිනවා.

දූපතේ සිට ලෝකයේ ස්ථාන කිහිපයකට දුර සැතපුම්වලින්/ dailymail.co.uk

Related Articles