Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක වාර්තා පිහිටුවන ඇලස්කාවේ යෝධ එළවළු

අමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ පිහිටි පාමර් ප්‍රදේශයේ වාර්ෂික ව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වේ. එහිදී ඇලස්කාවේ විවිධ ප්‍රදේශවල, විශේෂයෙන්ම එහි දකුණු ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මතානුස්කා නම් නිම්නයක එළවළු වගා කරන ගොවීහු සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කරති.

මෙම ප්‍රදර්ශනය සඳහා තබා ඇත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ එළවළු නම් නොවේ. ඒවා ඉතා විශාල ප්‍රමාණයේ එළවළු වන අතර සමහරුන්ට ඒවා සැබෑ එළවළු බව විශ්වාස කිරීම පවා අපහසු ය. මෙම ලිපිය මේ යෝධ එළවළු සහ සුවිශේෂී ප්‍රදර්ශනය පිළිබඳව ය.

ප්‍රදර්ශනයට තබා ඇති යෝධ එළවළු – www.amusingplanet.com

ඇලස්කාව

ඇලස්කාව උතුරු අමෙරිකා මහාද්වීපයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටි, එක්සත් ජනපදයට අයත් එක් ජනපදයකි. ඇලස්කාවට නැගෙනහිරින් කැනේඩියානු පළාතක් වන බ්‍රිටිෂ් කොළොම්බියාව ද, උතුරින් ආක්ටික් සාගරය ද, බටහිරින් සහ දකුණින් පැසිෆික් සාගරය ද පිහිට යි. බටහිරින් පිහිටි රුසියාව සහ ඇලස්කාව වෙන් වන්නේ බේරින් සමුද්‍ර සන්ධිය මගිනි.

භූමි ප්‍රමාණය අනුව එක්සත් ජනපද අතරින් විශාලත ම ජනපදය ලෙස සැලකෙන්නේ ඇලස්කාව යි.  එක්සත් ජනපද 50 අතුරින් සිව් වන අවම ජනගහනයක් සහිත ජනපදය වන්නේ ද ඇලස්කාවයි. ඇලස්කාවේ ජනගහනයෙන් හරි අඩක් පමණ දල වශයෙන් ජීවත් වන්නේ ඇන්කරේජ් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ බව කියැවේ.

ඇල්ස්කාවේ පිහිටීම දැක්වෙන සිතියමක් – www.fisheries.noaa.gov

ඇලස්කාවේ කෘෂිකාර්මික කටයුතු

අමෙරිකා එක්සත් ජනපදයේ අනිකුත් ප්‍රදේශ සමඟ සසඳා බලන විට ඇලස්කාවේ වගා කටයුතු සිදු කළ හැකි කාල සීමාව, වගා කන්නය, දින 105ක් වැනි ඉතාමත් කෙටි කාලයකි. කෙසේ වෙතත් කැලිෆෝනියා ප්‍රාන්තයේ වගා කන්නය දින 300ක් පමණ වේ. ඇලස්කාවේ ගොවීන් බෝග වගා කරන කාල සීමාව තුළ දිගු රාත්‍රීන් නොමැත.

උත්තර ධ්‍රැවයට ආසන්න ව පිහිටීම නිසා ඇලස්කාවට දිනකට පැය 19ක් වැනි කාලයක් හිරුඑළිය ලැබේ (ග්‍රීස්ම සෘතුව තුළ). ඒ අයුරින් අමතර ව ලැබෙන හිරු එළිය නිසා ඇලස්කාවේ වගා කරන බෝග වර්ග අසාමාන්‍ය ලෙස වර්ධනය වේ. ඒ නිසාම ඉතා කෙටි කාල සීමාවක් තුළ ලොව අන් කිසිදු ප්‍රදේශයක දැකිය නොහැකි ආකාරයේ යෝධ එළවළු අස්වැන්නක් ලබා ගැනීමට ඇලස්කාවේ ගොවීන්ට හැකි වේ.

ඇලස්කාවේ වගාබිමක් – www.akfoodpolicycouncil.org

ඉතිහාසය

ඇලස්කාවේ යෝධ එළවළු සඳහා වඩාත් ප්‍රසිද්ධ වන්නේ එහි දකුණු දිග ප්‍රදේශයේ පිහිටි මතානුස්කා නිම්නය යි. එහි එළවළු වගාව මුල් වරට ආරම්භ වූයේ 1930 දශකයේ දී බව කියැ වේ. විශේෂ කරුණක් වන්නේ ඒ ආකාරයෙන් කෘෂිකාර්මික කටයුතු ආරම්භ වී ඇත්තේ එරට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා වන වැඩසටහනක් යටතේ, අත්හදා බැලීමක් ලෙස වීම යි. ඒ අනුව එළවළු වගාව සඳහා අක්කර 240,000ක් වෙන් කළ අතර ඒවායේ වගා කටයුතු සඳහා විස්කොන්සින් සහ මිචිගන් වැනි විවිධ ප්‍රන්තවලින් ගොවීන් පැමිණි බව කියැවේ. ඔවුහු පවුල්වල සාමාජිකයන් ද සමඟ පැමිණ මේ ප්‍රදේශයේ ම පදිංචි වූහ.

මතානුස්කා නිම්නය – www.earthjustice.org

යටිතල පහසුකම්වල හිඟය

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ පැවති යටිතල පහසුකම්වල හිඟය නිසා 1940 වන විට එහි පදිංචි වී සිටි ජනගහනයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් වෙනත් ප්‍රදේශවල පදිංචියට ගොස් තිබේ. 1965 වන විට මෙම ප්‍රදේශයේ ඉතිරි වූ පවුල් ගණන 20කි. එතැන් පටන් එහි ජනගහනය සැලකිය යුතු ලෙස වැඩි නොවී ය.

කෙසේ වෙතත් කෘෂිකර්මාන්තය සහ සත්ත්ව පාලනය වැනි ක්ෂේත්‍ර අතින් අනිකුත් ප්‍රදේශවලට වඩා සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගැනීමට මෙම ප්‍රදේශයට හැකි විය. ඒ නිසා ම ඇලස්කාවේ කෘෂිකාර්මික නිෂ්පාදනවල කේන්ද්‍රස්ථානය බවට මතානුස්කා නිම්නය පත් විය.

ගෝවා වගාවක් – www.amusingplanet.com

වගා කරන බෝග වර්ග

ඇලස්කාවේ කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන බොහෝ දෙනෙක් එළවළු වගාව සිදු කරති. ඔවුන් වැඩියෙන් ම වගා කරන බෝග අතර කැරට්, වට්ටක්කා සහ ගෝවා ප්‍රධාන තැනක් ගනී. ඊට අමතර ව බ්‍රොකොලි, රාබු, ගෝවාමල්, අර්තාපල්, බීට්, නිවිති සහ ලෙටුස් වැනි එළවළු ද ඇලස්කාවේ බහුල ව දැකිය හැකි ය.

එළවළු වගාව සඳහා ඉතා සුදුසු දේශගුණයක් සහ අනිකුත් සාධක පැවතීම නිසා ඉහත එළවළු වර්ගවල විවිධ ප්‍රභේදයන් ඇලස්කාවේ වගා කෙරේ. ඇලස්කාවේ වගා කරන එළවළු තරමක් වැඩි පැණි රසයකින් යුක්ත වේ.

යෝධ එළවලු අතැතිව සිටින කාන්තාවක් – www.amusingplanet.com

ඇලස්කාවේ රාජ්‍ය එළවළු ප්‍රදර්ශනයේ ආරම්භය

යෝධ එළවළු ප්‍රදර්ශනය සඳහා තබන ඇලස්කාවේ රාජ්‍ය එළවළු පොළ මුල් වරට පැවැත්වූයේ 1936 දී වන අතර එය සැප්තැම්බර් 4 සිට 7 දක්වා දින දින තුනක් පුරාවට පැවැත්විණි. එය සංවිධානය කළේ මතානුස්කා නිම්නයේ එළවළු වගා කරන ගොවීන්ගෙන් සමන්විත සංවිධානයකි.

ඒ වන විට මතානුස්කා නිම්නයේ එළවළු වගාව සඳහා රාජ්‍ය අනුග්‍රහය විශාල වශයෙන් ලැබුණු අතර ඒ හරහා එම ප්‍රදේශයේ එළවළු නිෂ්පාදනය වැඩි කර, ඇලස්කාවට ආහාර ආනයනය කිරීම අවම කිරීමට සැලසුම් කර තිබිණි.

රාජ්‍ය එළවලු ප්‍රදර්ශනය – www.rove.me

පළමු ප්‍රදර්ශනය

1936 වසරේ පැවැත්වුණු පළමු රාජ්‍ය එළවළු ප්‍රදර්ශනය පැවැත්වුණේ මතානුස්කා නිම්නයේ පිහිටි ප්‍රජා ශාලාවක ය. එහි කුඩා දරුවන්ගේ සංදර්ශනයක්, බොක්සින් තරග, තුරඟ තරග, නැටුම් ගැයුම් සහ බේස්බෝල් වැනි විවිධ ක්‍රීඩා තරග ද පැවැත්විණි. ප්‍රධාන වශයෙන් එහි ප්‍රදර්ශනයට තබා තිබුණේ ගෝවා, කැරට්, ළූණු, සැල්දිරි වැනි යෝධ එළවළු වර්ග ය.

දෙවැනි ලෝක සංග්‍රාමය සිදු වූ කාල සීමාව තුළ, එනම් 1942 සිට 1946 දක්වා මෙම ප්‍රදර්ශනය නොපැවැත්විණි. නැවත එය ආරම්භ වූයේ 1947 දී ය. 1956 දී ප්‍රදර්ශනය සංවිධානය කළ සංවිධායක මණ්ඩලය එය රාජ්‍ය ප්‍රදර්ශනයක් ලෙස නම් කිරීමට අවසර ඉල්ලා සිටි අතර අදාළ ආයතන ඒ සඳහා අවසරය ලබා දීමත් සමඟ එය රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රදර්ශනයක් බවට පත් විය. 1960 දී පැවති 25 වැනි ප්‍රදර්ශනය නැරඹීමට එවකට අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ද සහභාගී විය.

ඇලස්කාවේ ගොවීන් සිය නිෂ්පාදන සමඟ – www.amusingplanet.com

ලෝක වාර්තා

මෙම ප්‍රදර්ශනය සඳහා තබන බොහෝ එළවළු වරින් වර ලෝක වාර්තා අතරට එක් වී ඇත. උදාහරණයක් ලෙස 2010 වසරේ දී ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ  මීටර් 14ක පමණ උසින් යුතු ලබු ගෙඩියක් ලෝක වාර්තා අතරට එක් විය. ඊට අමතර ව අඟල් 39ක දිගින් යුතු බෝංචි කරලක් සහ කිලෝග්‍රෑම් 500ක බරින් යුතු වට්ටක්කා ගෙඩියක් ද මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලෝක වාර්තා අතරට එක් විය. 1941 දී මෙම ප්‍රදර්ශනයට සමගාමී ව විශාලත ම ගෝවා තේරීමේ තරගාවලියක් පැවැත්වූ අතර එහි දී කිලෝග්‍රෑම් 10ක බරින් යුතු ගෝවා ගෙඩියක් ජයග්‍රහණය අත්කරගෙන තිබේ. කෙසේ වෙතත් එම වාර්තාව බිඳ හෙලමින් 2012 වසරේ පැවති එම තරගාවලියට කිලෝග්‍රෑම් 63ක බරින් යුතු ගෝවා ගෙඩියක් ඉදිරිපත් කර තිබිණි.

කවරයේ ඡායාරූපය- යෝධ වට්ටක්කා ගෙඩියක් අසල සිටින ඇලස්කානු ගොවියෙක් - www.amusingplanet.com

මූලාශ්‍ර:

www.amusingplanet.com

www.gvgo.ca

www.cbc.ca

www.canadasown.com

Related Articles