විද්‍යා ප්‍රබන්ධ සිනමාවේ අරුමය, 2001: A Space Odyssey

විද්‍යාඥයෙකු ලෙස, විද්‍යා ප්‍රබන්ධකරණයේ යෙදුණු තැනැත්තෙකු ලෙස, සහ විද්‍යාත්මක සංකල්ප මත පිහිටමින් අනාවැකි පළ කිරීමට සමත් වූ තැනැත්තෙකු යෝජනා කරන්නයැ යි පැවසුවහොත්, ආතර් සී. ක්ලාක් අපගේ සිහියට නැඟෙන්නේ නිතැතින්ම යි. ඔහු තම කීර්තිය ශ්‍රී ලංකාව කේන්ද්‍රකොට ගනිමින් ලෝකය පුරා විදහා දැක්වූ නිසා අපගේ රටත් විද්‍යා ක්ෂේත්‍රය තුළ අවධානයට ලක්වූ බිම්කඩක් බවට පත්වුණා. එහෙත් මෙවැනි මාහැඟි පුද්ගලයෙකුගෙන් අපි එතරම් සේවයක් ලබා ගත්තදැ යි යන්න නම් සැක සහිත යි.

කෙසේ නමුත්, තම විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථ අප රටේ දක්ෂ පරිවර්තන කතුවරුන්ගේ දායකත්වයෙන් සිංහල බසට පෙරළීමට ඔහුගේත් සක්‍රීය සහභාගීත්වයක් තිබුණු නිසා, තර්කානුකූල සහ ලෝක පූජිත බවට පත්වූ විද්‍යා ප්‍රබන්ධ කෘති රාශියක් කුඩා කාලයේ පටන් මව් බසින් කියවීමට අපට අවස්ථාව ලැබුණා. ඒ අතරින් 2001, 2010, 2061, 3001 ලෙසින් සිව් ඈදුණු කතා මාලාවක් ලෙස පාඨකයා හමුවට ආ “අභ්‍යවකාශ වීර චාරිකාව” නම් විද්‍යා ප්‍රබන්ධ කෘතීන්, ආතර් සී. ක්ලාක් මහතාගේ ග්‍රන්ථකරණයේ සුවිශේෂීම සන්ධිස්ථානයක් ලෙස සැළකුවහොත් වරදක් නැහැ. එම කතා මාලාව සුවිශේෂීවීම පිටුපස හේතූන් රාශියක් තිබුණත්, ආකර්ෂණීයම කරුණ වන්නේ මෙයින් කෘති දෙකක් සිනමාවටත් නැඟීම යි. ඒවා පිළිවෙලින් 2001: A Space Odyssey සහ 2010: The Year We Make Contact වෙනවා.

ස්ටැන්ලි කුබ්‍රික් සහ ආතර් සී. ක්ලාක්/fotografia.folha.uol.com.br/

මේ සිනමා නිර්මාණ ද්විත්වය අතරින් 2001: A Space Odyssey නිර්මාණය බොහෝ සුවිශේෂී එකක් බව වර්තමානයේ පවා පිළිගැනෙනවා. නවීන තාක්ෂණය යොදා ගනිමින් සහ සංකීර්ණ විද්‍යාත්මක සංකල්ප පදනම් කරගෙන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි අද කොතෙක් ගොඩනැඟුණත්, මේ සියල්ලේම තිඹිරිගෙය හෝ ආභාෂය ලබාගත් සිනමා නිර්මාණය බවට 2001: A Space Odyssey චිත්‍රපටය බොහෝ දුරට පත්වී තිබෙනවා.

කුබ්‍රික්-ක්ලාක් සුසංයෝගය ඇරඹුණ හැටි

ස්ටැන්ලි කුබ්‍රික් කියන්නේ ලෝක සිනමාව තුළ තමාටම අනන්‍ය වූ සිනමාත්මක රටාවක් නිර්මාණය කරගත් අධ්‍යක්ෂකවරයෙක්. නමුත් එයින් නොනැවතී ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ තිර රචකයෙකු ලෙසත් තම හැකියාව ලෝකයට පෙන්වා දී තිබෙනවා. වර්ෂ 1964 වන විට කුබ්‍රික්ගේ වයස අවුරුදු 36ක් පමණ යි. නමුත් ඔහු ඒ වන විට Dr. Strangelove, Lolita, Paths of Glory වැනි සිනමා නිර්මාණවලින් වයසට සාපේක්ෂව විශාල වූ පරිණතභාවයක් ලෝක සිනමාව තුළ පෙන්වමින් සිටියා. එම පරිණතභාවය තවත් පුළුල් කරමින් ස්ටැන්ලි කුබ්‍රික් වෙනස්ම වැඩක් සිනමාව තුළ සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටියා. ඔහුගේ ඊළඟ ප්‍රයත්නය වූයේ විද්‍යා ප්‍රබන්ධ සිනමා කෘතිකයක් ප්‍රේක්ෂකයාට දායාද කිරීම යි. නමුත් එය සාම්ප්‍රදායික විද්‍යා ප්‍රබන්ධ කතා රාමුවෙන් ගැලැවුණු, වඩාත් තර්කානුකූල සහ වඩාත් යථාර්තවාදී නිර්මාණ කටයුත්තක් විය යුතු බව ඔහු තීරණය කොට තිබුණා.

ඒ අනුව එකල සීලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාවේ සිටි ආතර් සී. ක්ලාක් ශ්‍රීමතාණන්ට ස්ටැන්ලි කුබ්‍රික් ඓතිහාසික ලිපියක් ලියනවා. එම ලිපිය තුළින් ඔහු ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධකරණ සාහිත්‍යය අගය කොට තිබුණා. එමෙන්ම විද්‍යා ප්‍රබන්ධ සිනමා සිත්තමක් තැනීමේ දී ඔහුගේ සිතැඟීන් ආකාර තුනකින් ආතර් සී. ක්ලාක් වෙත ඔහු එම ලිපිය තුළින් දන්වා තිබුණා. ඒවා පිළිවෙලින් මෙසේ දැක්විය හැකියි.

ස්ටැන්ලි කුබ්‍රික් තම අභිලාෂය ආතර් සී. ක්ලාක්ට ලිපියකින් පැහැදිලි කළ හැටි/bfi.org.uk/

පෘථිවියෙන් එපිට ඉතා බුද්ධිමත් ජීවින් කොට්ඨාශයක් සිටීමට විශ්වාස කළ යුතු හේතූන්, එවැනි සොයාගැනීම් නුදුරු අනාගතයේ දී පෘථිවියට බලපාන අන්දම, සඳ සහ අඟහරු මත ගොඩබැස ගවේශනය කිරීමට සුදුසු අභව්‍යකාශ යානයක් යන කාරණා තුන දෙසට ස්ටැන්ලි කුබ්‍රික්, ආතර් සී. ක්ලාක්ගේ අවධානය යොමුකිරීමට උත්සාහ දරා තිබෙනවා. පාඨක ඔබට කියවීම සඳහා ලිපියේ පිටපතක් පහත අමුණා තිබෙනවා.

ආතර් සී. ක්ලාක් පවසා තිබෙන අන්දමට, ඔහු තුළත් ස්ටැන්ලි කුබ්‍රික්ගේ අභිලාෂය ගැන උනන්දුවක් ඇතිවූ අතර, කෙසේ හෝ ලෝක සිනමා ඉතිහාසයේ එක් වැදගත් හමුවීමක් මේ ලිපිය නිසා නිව් යෝර්ක් නගරයේ දී සිදුවෙනවා.

පොතට කලින් ආ චිත්‍රපටය

2001: A Space Odyssey ලෙස චිත්‍රපටය නම් කොට තිබුණත්, ඒ වන විට 2001: A Space Odyssey යන නාමයෙන් ග්‍රන්ථයක් ආතර් සී. ක්ලාක් අතින් බිහිව තිබුණේ නැහැ. තවත් පැහැදිලි කරනවා නම්, චිත්‍රපටය වෙනුවෙන් කුබ්‍රික් සහ ක්ලාක් යන දෙපළ සහයෝගයෙන් යුතුව තිර රචනය ලියාගෙන යන අතරතුරේ දී තමයි ආතර් සී. ක්ලාක් 2001: A Space Odyssey යනුවෙන් ග්‍රන්ථයක් ලියාගෙන ගොස් තිබෙන්නේ. එමෙන්ම මෙම චිත්‍රපටයේ කුඩා කොටසක් ආතර් සී. ක්ලාක්ගේ කෙටි කතාවක් වූ ” The Sentinel” මත පදනම්වී තිබෙන බව සඳහන්.

මේ දෙපළ ඔවුන්ගේ චිත්‍රපටය සඳහා නමක් නිර්මාණය කිරීමේ දීත් යම් වෙහෙසක් දරා තිබෙනවා. එහිදී ඔවුන් තේරීම් කිහිපයකට පසු “Journey Beyond the Star” ලෙස තම චිත්‍රපටය නම්කළ අතර, එයින් මාස දෙකකට පසු ස්ටැන්ලි කුබ්‍රික් “2001: A Space Odyssey” යන නාමය නිල සහ අවසාන නාමය වශයෙන් චිත්‍රපටය උදෙසා තෝරාගත්තා. පසුව ආතර් සී. ක්ලාක්ගේ ග්‍රන්ථයත් එන්නේ ඒ නාමයෙන්ම යි.

චිත්‍රපටයේ නිල ප්‍රචාරක දැන්වීමක්/imdb.com/

චිත්‍රපටයේ සුවිශේෂීතා

2001: A Space Odyssey චිත්‍රපටය ලෝක සිනමාව තුළ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකීම පිටුපස හේතූන් රාශියක් තිබෙනවා. ඒ පිළිබඳ කරුණු කිහිපයක් සැකෙවින් විස්තර කිරීමට යි මේ සූදානම් වන්නේ.

මෙම චිත්‍රපටය අදටත් විද්‍යා ප්‍රබන්ධ සිනමා නිර්මාණ රාශියකට ආභාෂය ලබාදුන් නිර්මාණයක් ලෙස සැලකෙනවා. චිත්‍රපටය නිකුත්වන්නේ වර්ෂ 1968 තරම් ඈත කලක දී වුවත්, තාක්ෂණය, සිනමාත්මකභාවය සහ විද්‍යාත්මක සංකල්ප අතින් එය බොහෝ ඉදිරියෙන් තිබෙන නිර්මාණයක්.

චිත්‍රපටය කොතරම් පැරණි වුවත්, The Fountain (2006), Sunshine (2007), Interstellar (2014) ඇතුළුව මෑත කාලයේ දී බිහිවූ බොහෝ විශිෂ්ඨ චිත්‍රපට පිටුපස සිටින නිර්මාණකරුවන්, 2001: A Space Odyssey තම අත්පොත ලෙස භාවිතා කර තිබෙනවා. කුබ්‍රික්-ක්ලාක් සුසංයෝගයෙන් බිහිවූ මේ සිනමා නිර්මාණය නරඹන ඕනෑම කෙනෙකුට මෙය වර්ෂ 1968 දී නිපදවූවක්යැ යි අනුමාන කළ නොහැකි තරම් වූ දියුණු සිනමාත්මක බවක් මෙහි ගැබ් වී තිබෙනවා. 

මානවයාගේ පරිණාමය සැකෙවින් එහෙත් සවිස්තරාත්මකව ප්‍රේක්ෂකයා ඉදිරියේ සංවේදනයක් ඇතිවෙන ආකාරයෙන් දිගහළ සාර්ථක ප්‍රයත්නයක් ලෙස මෙම චිත්‍රපටය දැක්විය හැකියි. ඈත අතීතයේ ප්‍රාථමික වානර ජීවියාගේ සිට අනාගතයේ තාරකාවන් අතර සැරිසරන දියුණු මානවයා දක්වා වූ විකාශනය, විශ්වය තුළ මිනිසාට හිමි ස්ථානය, කෘතිම බුද්ධිය වැනි ගැඹුරු කාරණා පිළිබඳ යථාර්තවාදී ලෙස සිනමාව තුළ දිගහැරීමට 2001: A Space Odyssey චිත්‍රපටය සමත් වුණා.

2001: A Space Odyssey චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුර/ft.com/

පිටසක්වල ජීවින් පිළිබඳ සිනමාව හරහා අප තුළ ඇති කළ ආකල්ප සම්පූර්ණයෙන්ම කණපිට හැරවූ අතළොස්සක් වූ නිර්මාණ අතරින් සාර්ථකම මූලාරම්භය 2001: A Space Odyssey චිත්‍රපටයෙන් ඇතිවූ බව සැලකිය හැකියි. එහිදී පිටසක්වල ජීවීන් ආක්‍රමණිකයන්, විලෝපිකයන් හෝ පරපෝෂිතයන් යන කෝණවලින් නොබලා, ඇතැම් පාරභෞමික ජීවින් අප විශ්වය සංවේදනය කරන පරාසයෙන් ඔබ්බට ගිය, විශ්වීය මට්ටමෙන් ශක්තිය පරිභෝජනය කළ හැකි බුද්ධිමත් ජීවින් විය හැකියි යන හැඟීම මේ සිනමා නිර්මාණයෙන් අප තුළ ඇති කරනවා. එමෙන්ම ස්ටැන්ලි කුබ්‍රික් මෙම චිත්‍රපටය හරහා පිටසක්වල ජීවින්ව දෘෂ්‍යමාන කිරීමට උත්සහ ගන්නේත් නැහැ. අනෙකුත් බොහෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මෙන් 2001: A Space Odyssey හරහා සාකච්ඡාවට බඳුන් කරන දියුණු ජීවින්, මිනිසා හමුවේ දුෂ්ඨ වන්නේ නැහැ. ඔවුන් මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන්ම මිනිසාට මෘදු ලෙස මඟපෙන්වූ ජීවින් කොට්ඨාශයක් ලෙස හැඳින්වෙනවා.

ඇතැම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට තුළ කැපී පෙනෙන, බිය උපදවන හෝ ප්‍රේක්ෂකයාට අමතක නොවෙන රූප රාමු නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් කොතෙක් උත්සහ කළත්, කුබ්‍රික්ට අවශ්‍ය වුණේ  මුළුමනින්ම දෘෂ්‍යමය බලය යොදාගෙන තම කතාව අන් සියල්ලටම වඩා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට යි. ඒ නිසාම චිත්‍රපටයේ සම්පූර්ණ ධාවන කාලයෙන් දෙබස් සඳහා වෙන්වී ඇත්තේ විනාඩි 20ක් වැනි කාලයක් පමණ යි. චිත්‍රපටය පුරාම තිබෙන නිහඬ සහ ගුප්තබව, අභ්‍යවකාශගාමීන්ගේ මුහුණුවලින් ප්‍රකාශ වන හැඟීම් වැනි සංකේතාත්මක කරුණුවලින් තමයි කුබ්‍රික් අපට චිත්‍රපටය තුළින් දිග හරින කතාව තේරුම් ගැනීමට ඉඩ සලස්වන්නේ. එම සුවිශේෂී ගුණාංගයේ ප්‍රබලතම උදාහරණය ලෙස, චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ඩේව් බෝමන් අවසානයේ දී මුහුණ දෙන සංසිද්ධිය දැක්විය හැකියි. මේ හේතුව නිසා ඇතැම් අයට කතාව තේරුම් ගැනීමටත් අපහසු වී තිබෙනවා. කෙසේ නමුත්, ස්ටැන්ලි කුබ්‍රික්ට සාම්ප්‍රදායික නොවන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූ නිසා එවැනි වෙනස්කම් අපේක්ෂා කළ හැකියි.

චිත්‍රපටයේ එන තාරකා දොරටුව; එකල නවීන තාක්ෂණය යොදා ගනිමින් කළ සාර්ථක දෘෂ්‍ය ප්‍රයෝගයක්/nofilmschool.com/

නව මානයක් ඇතිකළ චිත්‍රපටයේ දෘෂ්‍ය ප්‍රයෝග

ස්ටැන්ලි කුබ්‍රික්, ඔහුට අවශ්‍ය දර්ශන ලබාගැනීම සඳහා විශේෂ ප්‍රයෝග සිදුකිරීමේ නව ක්‍රමවේදයන් නිර්මාණය කිරීමට හා භාවිතා කිරීමට උත්සහ කළා. උදාහරණ ලෙස, පරිණාමයේ මුල් අවධියේ සිටි මානවයාගේ දර්ශනයන් සහ සඳ මත ගොඩබසින දර්ශනයන් එවකට භාවිතා කළ පසුපස ප්‍රක්ෂේපණ තාක්ෂණයන් වෙනුවට ඉදිරිපස ප්‍රක්ෂේපණයන් භාවිත කොට නිමැවූ බව සඳහන් වෙනවා. චිත්‍රපටයේ එන සඳ මත දර්ශනය, මෙතෙක් ලෝක සිනමාවේ බිහිවූ හොඳම දර්ශනවලින් එකක් ලෙසත් පිළිගැනෙනවා. එමෙන්ම කතාවේ උච්චතම අවස්ථාව ලෙස සැළකෙන, තාරකා දොරටුවට ඩේව් බෝමන් ඇතුළුවන සිදුවීම ස්ලිට්-ස්කෑන් ඡායාරූපකරණය සහ නෙගටිව් ෆිල්ටර ක්‍රම භාවිතයෙන් රූගත කළ බව සඳහන් වෙනවා. 1968 තරම් ඈත කාලයක දී වුවත්, මෙම චිත්‍රපටයේ තිබෙන දෘෂ්‍ය ප්‍රයෝගවල තිබෙන ස්වභාවික ගතිය සැබැවින්ම කෙනෙක්ව පුදුමයට පත් කරන්න සමත්වෙනවා. 

ප්‍රේක්ෂකයාගේ බුද්ධියට ගරු කළ කුබ්‍රික්

අවම දෙබස් භාවිතය සහ චිත්‍රපටයේ එන බොහෝ අදහස් සහ දර්ශන, නරඹන්නාට අර්ථ නිරූපණය උදෙසා විවෘතව තැබීමට ස්ටැන්ලි කුබ්‍රික් හිතාමතාම කටයුතු කළා. නිර්මාණකරුවා චිත්‍රපටය තුළින් කිසිදු කාරණාවක් හිතමතාම ප්‍රේක්ෂයාට පැහැදිලි කිරීමට උත්සහ ගන්නේ නැහැ. මේ හේතුව නිසා පුද්ගලයාගේ විචාර බුද්ධිය අනුව කෙනෙකු චිත්‍රපටය තේරුම් ගන්නා පරාසය වෙනස්විය හැකියි. මෙම ගුණාංගය වර්තමානයේ දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ක්‍රිස්ටෝෆර් නෝලන් තුළින් ද දැකගත හැකියි. අනෙක් අතට ස්ටැන්ලි කුබ්‍රික් කියන්නේ ප්‍රේක්ෂකයාට තම නිර්මාණ හරහා පැහැදිලි කිරීම් සහ අභිප්‍රේරණයන් ලබාදීමට අකමැති පුද්ගලයෙක්. මුල දී මෙම චිත්‍රපටය උක්ත සඳහන් හේතූන් නිසාම විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් එතරම් වැළඳ නොගත්තත්, කාලයත් සමග සෙමෙන් සෙමෙන් මේ අග්‍රගණ්‍ය සිනමා කටයුත්තේ වැදගත්කම ලෝකයා අවබෝධ කර ගත්තා. සමහර විට ආතර් සී. ක්ලාක් විසින් රචනා කළ  2001: A Space Odyssey ග්‍රන්ථය තුළින් කරුණු කාරණා චිත්‍රපටය වඩා සවිස්තරාත්මක වූ නිසාත්, ලෝකය පුරා පිළිගැනීමට ලක්වූ නිසාත්, එම අවධානය චිත්‍රපටය වෙතටත් යොමු වන්නට ඇති. 

චිත්‍රපටයේ එන සඳ මත දර්ශන ලෝක සිනමාවේ මෙතෙක් බිහිවූ හොඳම දර්ශනයක්/youtube.com/watch?v=b75EpoF1W88

සමස්ථයක් ලෙස ගත්කල, ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධකරණය තුළ මානව සංහතියේ පැවැත්ම ගැන සුභවාදී ආකල්පයක් ගොඩනඟා තිබුණා. කවදා හෝ අපි තාරකා අතර සැරිසරාවි, අපි අපගේ වර්තමාන පැවැත්ම, පවත්නා සීමාවලින් ඔබ්බට ගෙනයාමට සමත්වේවි, විශ්වය තුළ සිටින අනෙකුත් ජාතීන් අප හමුවේවි යන සුභවාදී ආකල්ප ආතර් සී. ක්ලාක්ගේ කෘති තුළ අන්තර්ගතවී තිබෙනවා. පෘථිවියෙන් ඔබ්බට ගොස් තරු අතර මානවයාගේ පැවැත්ම තහවුරු කර ගැනීම මානව පරිණාමයේ ඊළඟ පියවර විය හැකි බව ආතර් සී. ක්ලාක් තම කෘතීන් හරහා උපකල්පනයක් ලෙස අප හමුවේ තැබූබව සැළකිය හැකියි. මෑත කාලයේ බිහිවූ විශිෂ්ඨතම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙස සැලකෙන Interstellar චිත්‍රපටය පාදක වුණේත් මේ උපකල්පනය ආශ්‍රය කර ගෙන යි.

“මිනිස් වර්ගයා පෘථිවියේ බිහි වුව ද, එහිම මියැදිය යුතු යි කියා නියමයක් නොමැත.”

Interstellar චිත්‍රපටයේ කතාව විහිදී යන්නේ එම නියමය මත යි.

Cover photo: nytimes.com/

මූලාශ්‍රයයන්: openculture.com

vulture.com/

vanityfair.com

syfy.com/

Related Articles