Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෞම්‍ය සඳරුවන් සමග කතාබහක්

නූතන පරපුරේ සම්මානනීය කවියකු වන සෞම්‍ය සඳරුවන් ලියනගේගේ නවතම කාව්‍ය කෘතිය එළඹෙන සැප්තැම්බර් 03 වැනි දින සවස 03.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිතය. ‟නුඹ නො ඒ නම් කියන්න…” ඔහුගේ නවතම කෘතියයි.

2013 වසරේ සෞම්‍ය සඳරුවන් විසින් ‘හැටේ වත්තේ මග්දලේනා’ කාව්‍ය කෘතිය රචනා කළ අතර ඊට එම වසරේ දී රාජ්‍ය සම්මානය හිමිවිය. ඔහුගේ නව කෘතිය සහ තවත් කාරණා කිහිපයක් අළලා මෙම සාකච්ඡාව සෞම්‍ය සඳරුවන් ලියනගේ සමගින් සිදු කළෙමු…

කලාවට රාජ්‍ය මැදිහත් වීමක් නොතිබුණාට කමක් නෑ…

-කිවිවර සෞම්‍ය සඳරුවන් ලියනගේ

ඔබගේ අලුත් පොත ‟නුඹ නො ඒ නම් කියන්න…” සාහිත්‍ය මාසය ඉලක්ක කරගත් එකක් ද ?

සැප්තැම්බර් මාසයේ එළිදැක්වීම නිසා කෙනෙකුට එහෙම හිතෙන්න පුලුවනි. ඒත් මට ඕන වුණේ නැහැ සාහිත්‍ය මාසය එක්ක සම්බන්ධ කරගෙන කවිපොත එළිදක්වන්න. ඇත්තටම සාහිත්‍ය මාසෙ පොතක් එළිදැක්වීම ඇතුළෙ වාණිජ අරමුණු ටිකක් හොඳින් සාර්ථක කරගැනීමේ හැකියාවක් නැහැයි කියල මම කියන්නෙත් නෑ. ඒත් ලිවීම කියන කාරණයෙ දි සාහිත්‍ය මාසය කියන්නෙ එච්චර එල්ලෙමින් යන්න ඕන දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නෙ.

මගේ පොත සම්බන්ධයෙන් ගත්තොත්… මුල්ම කවිපොත මුද්‍රණය වෙලා අවුරුදු තුනකට පස්සෙයි මේ දෙවෙනි කවිපොත එන්නෙ. මම කාලසටහන් හදාගෙන සැප්තැම්බර් මාසෙ කවිපොත එළිදක්වන්න සැලසුම් කලේ නැහැ. මට ඕන වුණේ කරමින් හිටපු දේ මට දැනෙන තැනකින් ඉවර කරන්න විතරයි. ඒක අගෝස්තුව වුණත්, දෙසැම්බර් හෝ ජනවාරිය වුණත් මට කරන්න දෙයක් නෑ. මට අදාල එකම දේ, ප්‍රකාශනය ඇතුළෙ මට කොයිතරම් නිදහස් වෙන්න පුලුවන්ද කියන එක විතරයි.

නවතම කවි පොත

නවතම කවි පොත

නමුත්  එහෙම ඉලක්ක කරගෙනත් පොත් එළිදක්වනවා නේද?

ඇත්තටම ඔය ප්‍රශ්නය වැඩිපුරම අදාල වෙන්නෙ නවකතා වගේ දේවල් වලට නේද? සාහිත්‍ය මාසය ඉලක්ක කරගෙන, එහෙමත් නැත්නම් ජනප්‍රිය සම්මාන උළෙලවල් ඉලක්ක කරගෙන ලියවෙන්නෙ ගොඩක් වෙලාවට නවකතානෙ. ඒත් කවිය තාම එතනට වැටිල නෑ වාසනාවකට. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා… සාහිත්‍ය මාසය ඉලක්ක කරගෙන කවිපොතක් එළිදැක්වීම ඇතුලෙ මම ලොකු වරදක් දකින්නෙත් නෑ. මොකද හැමදේම වෙළඳ භාණ්ඩ බවට පත්වුණු වටපිටාවක කවි පොතක් විතරක් එතනින් මිදිය යුතුයි කියන තැන මම නැහැ. සාහිත්‍ය මාසය ඉලක්ක කරගෙන පොත් මුද්‍රණය වීම ඇතුළෙ හරි සිද්ධ වෙන්නෙ නරකක් නෙමෙයි කියන තැනයි මම ඉන්නෙ. මොකද ඒක දෙසැම්බර් මාසෙ කිට්ටු වෙද්දි නත්තල් ගස් විකුණන්න තියෙනව වගේ දෙයක් නෙමෙයි. ඊට වඩා වෙනස් දෙයක් මම හිතන විදියට. මේ විකිණෙන්නෙ පොත් මිසක් ගඩොල් නෙමෙයිනෙ.

‟නුඹ නො ඒ නම් කියන්න…” කාව්‍ය කෘතියේ අන්තර්ගතය කොයි වගේද?

සාපේක්ෂව බැලුවොත් ‘හැටේ වත්තේ මග්දලේනා’ කවිපොතට වැඩිය වෙනසක් තියෙනවා. ‘නුඹ නො ඒ නම් කියන්න…’ කවිපොතට ප්‍රේමය සම්බන්ධ අත්දැකීම් ටිකක් වැඩියෙන් එකතු වුණා. හැටේ වත්තේ මග්දලේනා පොත හරහා මට ඕන වුණේ ඒ මොහොතේ මම අත්විඳිමින් හිටපු සමාජ වටපිටාව ඇතුළෙ මට මුණගැහුණු, පහුවුණු ජීවිත ගැන සටහන් කරන්න. ඒත් පස්සෙ මටම ඒ ගැන යම් ස්වයං විවේචනයක් ඇතිවෙනවා, ඒ ජීවිත ගැන මගේ වගකීම එතනින් කෙළවර වීම සම්බන්ධයෙන්. ඒකත් එක්කයි මේ අලුත් පොතට ප්‍රේමය ගැන අත්දැකීම් ටිකක් වැඩියෙන් එකතු වෙන්නෙ.

ඔබ ‟හැටේ වත්තේ මග්දලේනා” කාව්‍ය කෘතියට දෙදහස් දහතුන වසරේ රාජ්‍ය සම්මාන ලැබනවා.  රාජ්‍ය සම්මාන දිනූ පොතට වඩා අලුත් කවි පොත සෑහෙන්න වෙනස්. ඇයි ඒ ?

ඔව්… වෙනස්. ඇත්තටම රාජ්‍ය සම්මානයක් ලැබීම කියන්නෙ කෙනෙක් එක තීරුවකට කොටු කරන බැඳීමක් නොවිය යුතුයි කියලයි මම හිතන්නෙ. සම්මානයක් කියන්නෙ නොවටිනා දෙයක් නෙමෙයි. ඒක සුවිශේෂී වටිනාකම් ගොඩක් එක්ක බැඳුණු දෙයක්. ඒත් ඒ දේවල් තියෙන්නෙ කවියෙන් එළියෙ මම හිතන විදියට. කවිය කියන්නෙ ඊට වඩා මිනිස්සුන්ගෙ අභ්‍යන්තරය එක්ක ගනුදෙනු කරන, ගැටෙන ප්‍රකාශනයක්. එතනදි සම්මාන අදාල කරගන්නවා කියන්නෙම කවියෙ අවංකභාවය ගැන ගැටලුවක් එනවා කියන එක. මට ඕන වුණේ නෑ කිසිම වෙලාවක හැටේ වත්තේ මග්දලේනා පොතට රාජ්‍ය සම්මාන ලැබීම නිසා දෙවෙනි පොතත් ඒ වගේම ලියන්න. එහෙම දේවල් නඩත්තු කරන්න ගියොත් මම හිතන්නෙ නෑ එතන අවංකකමක් ඉතුරුවෙයි කියලා. කොටින්ම මම හරි බයයි දේවල් ඒකාකාරී වෙනවට. එහෙම වෙද්දි හරි ඉක්මණට ඕනම දෙයක් අතෑරෙනවා. මට ඕන වුණේ මගේ අභ්‍යන්තර ගැටුම් ටික; විඳීම් සහ විඳවීම් කිහිපය එළියට දාල නිදහස් වෙන්න. එතනදි සම්මාන අදාළ නෑ.

හැටේ වත්තේ මද්ගලේනා

හැටේ වත්තේ මද්ගලේනා

ප්‍රේමය සම්බන්ධයෙන්  කවි ලිවීම හරහා කවියෙක් ලෙස ඔබේ බලාපොරොත්තුව මොකක්ද ?

ඇත්තටම කවි ලිවීම හරහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන එක තේරුමක් නැති දෙයක්. කවිය කියන්නෙ එක්තරා සීමාවක් ඇතුලෙ යම් යම් දේවල් කරන්න, බලපෑම් කරන්න පාවිච්චි කරන්න පුලුවන් දෙයක් බව මම පිළිගන්නවා. ඒත් ඊට වඩා කවිය වැඩකරන්නෙ කවියාගේ නිදහස් වීම වෙනුවෙන්. ප්‍රේමය සම්බන්ධ අත්දැකීම් කවි විදියට පිටකිරීම හරහා මට ලැබෙන්නෙත් ඒ දේම තමයි. මට අවශ්‍ය වෙනවා කාලාන්තරයක් තිස්සෙ මට කියන්න ඕන වෙලා තිබුණු දේවල් ටිකක් කියල නිදහස් වෙන්න. අපි හැමෝටම අපේ ජීවිතවල විඳීම් සහ විඳවීම් තියෙනවා. ඒ වගේම බැඳීම්, මිදීම් සහ හුදෙකලාවීම් තියෙනවා. ඒ හැම දෙයක් ගැනම ඉතුරු වුණු ස්මරණ කිහිපයක් තමයි මේ විදියට සටහන් වෙන්නෙ.

නූතන කවිය ගැන ඔබේ අදහස ?

ඇත්තටම පහුගිය අවුරුදු කීපය ඇතුළෙ කවියෙ කාලයක් තිස්සෙ නොවුණු වර්ධනයක් තිබුණු බව පිළිගන්න වෙනවා හැමෝටම. ඒක නවකතාවට හෝ වෙනත් කලා මාධ්‍යයකට සාපේක්ෂව බලනවට වැඩිය, කලින් කවිය තිබුණු තැනත් එක්ක සංසන්දනය කරලා බලන එකයි වැදගත්. ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒත් නූතන කවිය ටිකක් බර හුස්මක් ගත්ත අවුරුදු කිහිපයක් විදියට පහුගිය අවුරුදු කිහිපය හඳුන්වන්න පුලුවන්. ඒ ගැන සතුටක් තියෙනවා. හැබැයි ඒ සතුටත් එක්කම තවත් දෙයක් කියන්න ඕන. නූතන කවිය ඇතුළෙ කාලයක් තිස්සෙ අපි දකින සමහර පිස්සු විකාර අවම කරගැනීමත් මේ එක්කම වෙන්න ඕන. එහෙම නොවුණොත් ඒක අපරාදයක්.

උදාහරණයක් විදියට ගත්තොත්, කවිය ඇතුළෙ මේ වෙනකොට තදින්ම ක්‍රියාත්මක වෙනවා කල්ලිවාදයක්. මේක ටිකක් සැර කතාවක් වෙන්න පුලුවන්. ඒත් ඒ ඇත්ත අපට බාරගන්න සිද්ධ වෙනවා. එක එක මට්ටම් වලින් ක්‍රියාත්මක වෙන මේ කවි කල්ලි නූතන කවිය එපාකරපු තැනකට ඇදල දාන්න කලින් අපි අපිම ඒ දේවල් විසඳගන්න වෙනවා. ඒ වගේම අද බහුතරයක් කවියො තමුන්ගෙම හෘද සාක්ෂියටවත් අවංක ද කියන ප්‍රශ්නය තියෙනවා. මානව දයාව, පරාර්ථකාමය වගේ දේවල් ඉස්සරහට දාන තරමටම ඒක ඇතුලෙ හැංගිලා තියෙන කුණු වුණ, ගඳ ගහන ආත්මාර්ථකාමී ගතිය එලියට පනින්න දඟලන හැටිත් අපි හඳුනගන්න ඕන. මේ කතාවට ගොඩක් අය එකඟ නොවෙන්න ඉඩ තියෙනවා. ගොඩාක් අයගෙ හිත් රිදෙන්නත් ඉඩ තියෙනවා. ඒත් මේක තමයි ඇත්ත. රටේ නැති මානව ප්‍රේමයක් ගැන කතා කරන ගොඩ දෙනෙක් ඇතුළෙන් වැඩ කරමින් ඉන්නෙ තමන්ගෙම ආත්මාර්ථය වෙනුවෙන් විතරයි. සම්මාන වගේ මාතෘකා කරළියට එද්දී මේ තත්ත්වය තව තවත් පිස්සු නටන්න ගන්නවා.

කලාවට, සාහිත්‍යයට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බව ඔබ හිතනවාද?

කිසිසේත්ම නැහැ. කවියට විතරක් නෙමෙයි, වෙන කිසිම කලා මාධ්‍යයකට රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය නැහැ මම හිතන විදියට. ඔබ රාජ්‍ය මැදිහත්වීමක් විදියට අදහස් කරන්නෙ ආණ්ඩුවෙන් කරන සම්මාන දීම වගේ දේවල් නම්, මට කියන්න තියෙන්නෙ ඒ දේවල් හරහා ආයෙ ආයෙත් කරන්නෙ කවියාගේ නිදහස සීමා කිරීම බවයි. රාජ්‍ය මැදිහත් වීමක් විදියට සිද්ධවෙන්න ඕන එකම දේ, කවියෙකුට තමුන්ගෙ කවිය යටින් තමුන්ගෙ නම ලියන්න තියෙන අයිතිය නැති නොකර ඉන්න එක විතරයි. ඒ හොඳටම ඇති. පහුගිය කාලෙ අපි දැක්කා එහෙම කරන්න බැරිවුණු අවස්ථා. නිදහසේ ලියන්න, කතාකරන්න පුලුවන් වටපිටාවක්  නිර්මාණය කර දීම හැර වෙන රාජ්‍ය මැදිහත්වීමක් නම් කලාවට නොතිබුණාට කමක් නෑ. රාජ්‍ය මැදිහත්වීම කියන්නෙ වයසට ගිය කලාකාරයින්ට විශ්‍රාම වැටුප් ගෙවන එකවත්, නොමිලේ බෙහෙත් ගන්න හැඳුනුම්පත් දෙන එකවත් නෙමෙයි. මිනිස්සුන්ට බයෙන් තොරව ජීවත් වෙන්න පුලුවන් වටපිටාවක් හදල දෙන එක.

කොටින්ම සාහිත්‍යය, කවිය වගේ දේකට වෙන රාජ්‍ය මැදිහත්වීමක් එනව කියන්නෙම ඒක  අවුල් වෙන එක. මිනිස්සු ඊට වැඩිය නිදහසේ තමුන්ව ප්‍රකාශ කරගන්න ඕන.

කවියට මේ මොහොතේ ලාංකීය සමාජය තුළ හිමිව ඇති ආස්ථානය සම්බන්ධයෙන් ඔබගේ අදහස මොකක්ද?

සාපේක්ෂව බලද්දී මීට අවුරුදු කීපයකට කළින් තිබුණු තත්ත්වයට වඩා වෙනස්, වර්ධනීය තැනකට ඇවිත් තියෙනවා ඒ ගණුදෙනුව. පොත් ප්‍රදර්ශනය පවා ඒකට හොඳ උදාහරණයක්. ප්‍රමාණාත්මකව දැවැන්ත සංඛ්‍යාවකින් කවිය ඇසුරු කරන පිරිස වැඩි වෙලා නැහැ. විශේෂයෙන්ම නවකතාව වගේ දෙයක් එක්ක බලද්දි. ඒත් කවිය සහ ජනතාව අතරෙ සම්බන්ධය තිබුණු තැනට වඩා ගව් ගාණක් මේ වෙද්දි ඉස්සරහට ගිහින් තියෙන බව කියන්න ඕන. කවිය මිනිස්සු අතරෙ තිබිය යුතු දෙයක් බවයි මම විශ්වාස කරන්නෙ. ඒ ගනුදෙනුව හරහායි කවියට මේ සමාජය ඇතුළෙ ලැබෙන තැන තීරණය වෙන්නෙ.

අපි දකිනවා බොහෝ විට කවිය  නූතන සහ පැරණි ලෙස වෙන් කර දක්වනවා. කවිය එසේ වෙන් කළ හැකිද?

මම හිතන්නෙ, ඔය වගේ විකාර බෙදීම්වලින් සිද්ධවෙන්නෙ දේවල් අවුල් වෙන එක විතරයි. නූතන, පැරණි කවි කියල දෙයක් මම දකින්නෙ නෑ. මට කවි කියන පොදු අදහස විතරයි අදාල වෙන්නෙ. කවි සහ කවි නොවන දේවල් ගැන මම විශ්වාස කරනවා. මම හිතන විදියට කවියකින් සිද්ධවෙන්න ඕන ප්‍රධානම දේ, යළි යළිත් ජීවිතය යෝජනා කිරීම. මොකද අප ගතකරමින් ඉන්නෙ මරණීය හුදෙකලාවක් පිරුණු, එකිනෙකා නොපෙනෙන, නොදැනෙන මොහොතක්.

තමුන්ට අයිති වැඩේ වෙනුවට වෙන වෙන දේවල්, වෙන වෙන න්‍යාය පත්‍ර, මෙහෙයුම් වෙනුවෙන් වැඩ කරන දේවල් තමයි මම කවි නොවන දේවල් විදියට හඳුන්වන්නෙ. ඒ හැර වෙන බෙදීමක් මට දැනෙන්නෙ නෑ කවිය ඇතුළෙ. කවි කියන්නෙ කවි.

 

සෞම්‍ය සඳරුවන්

සෞම්‍ය සඳරුවන්

කවිය සමාජය වෙනුවෙන් කළ දෙයක් තියෙනවා ද ? එහෙම දෙයක් කරන්න පුළුවන් ද ?

ඔව්… කවියට සමාජයීය වගකීමක් තියෙනවා. ප්‍රධානම දේ, කවිය කියන්නෙ ඉතිහාසය සටහන් කරතැබීමේ ඉතාම හොඳ මාධ්‍යයක්. කලාවෙන් පොදුවෙ සිද්ධවිය යුතු ප්‍රධානම මෙහෙවර තමයි මේ අපි ගතකරමින් ඉන්න මොහොත සටහන් කර තැබීම. එතනදි කවිය වගේ මාධ්‍යයක් මගහරින්න බැහැ. විශේෂයෙන්ම මේ වගේ මොහොතක.

හැබැයි එක දෙයක්… සමහර අය අතරෙ මතයක් තියෙනවා හැම දේම කවියෙන් විසඳගන්න පුලුවන් වගේ එකක්. මම ඒ පිස්සු අදහස එක්ක නම් එකඟ නෑ. සමාජ ප්‍රගමනයට කවියෙන් දායකත්වයක් දෙන්න පුලුවනි. ඒත් ඒ හැකියාව මේ වගේ වටපිටාවක ඉතාමත් අල්පයි.

අපේ රටේ කවිපොත් අලෙවිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා නේද? පුද්ගලිකව ඔබට එය දැනෙනවා ඇති?

ඒ ප්‍රශ්නයටත් දෙන්න තියෙන්නෙ සාපේක්ෂ පිළිතුරක්. මේ වනවිට කලින් තිබුණාට වඩා හොඳ තැනකට ඇවිත් තියෙනවා කවිපොත් අලෙවිය. හැම දේකම වෙළඳ වටිනාකම් එක්ක කරන ගනුදෙනුවක දී කවි පොතකට එයින් මිදෙන්න බැහැ, මම මුලින් කිව්ව වගේම. කවුරුවත් කවිපොත් නොමිලේ මුද්‍රණය කරන්නෙ නැහැනෙ. විකුණද්දී වුණත් අනිත් හැම පොතකටම අය කරන කොමිස් මුදල අය කරනවනෙ පොත් කඩවල් වලින්. ඉතින් එහෙම තත්ත්වයක් ඇතුලෙ තවදුරටත් කවිපොතකට නිෂ්පාදන භාණ්ඩයක් කියන තැනින් මිදෙන්න බැහැ. පහුගිය අවුරුදු කීපය ඇතුළෙ අපි හොඳටම දැකපු දෙයක් තමයි, කවිපොත් අලෙවියේ සැලකිය යුතු වර්ධනයක් ඇතිවීම. විශේෂයෙන්ම පොත් ප්‍රදර්ශනය ආශ්‍රිතව. අනිත් පොත්වලට සාපේක්ෂව බලද්දි ඒක ප්‍රමාණාත්මකව දැවැන්ත වර්ධනයක් නොවෙන්න පුලුවනි. ඒත් වැදගත්ම දේ තමයි, තිබුණු තත්ත්වය වෙනස් වෙන්න පටන් අරගෙන තිබීම.

ඒ වගේම තවත් දෙයක් තමයි, කවි පොත් විකිණෙනවයි කියන කාරණය ඇතුළෙ කියවෙන්නෙ නෑ කවියෙ කිසිම ප්‍රශ්නයක් නැති බව. වෙනම විසඳගන්න ඕන ප්‍රශ්න ගොඩක් කවිය ඇතුලෙ තියෙනවා. පොත් විකිණෙන එකෙන් හෝ නොවිකිණෙන එකෙන් අපිට සියල්ල ගැන තීරණය කරන්න බෑ. මොකද කවිපොත් විකිණීම ඇතුළෙ කවිය සම්බන්ධ සියල්ල විසඳෙන්නෙ නෑ.

 

Related Articles