Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“කිරිපිටි ප්‍රශ්නය” ගැන නිරීක්ෂණ කිහිපයක්

මෙතෙක් කතාව 

කිරිපිටිවල ගුණාත්මකභාවය සහ ඉන් ශරීර සෞඛ්‍යයට වන බලපෑම පිළිබඳව කතිකාවතක් ඇරඹෙන්නේ පසුගිය පෙබරවාරියේ එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් සිදුකෙරුණු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමගිනි. ඉන් කියැවුණේ ආනයනික කිරිපිටිවල කිරි මේදය වෙනුවට වෙනත් මේද වර්ගවලින් පිරවීම කර ඇති බවත් ඒවා සෞඛ්‍යට හානිකර බවත් ය. ඉනික්බිති විවිධ පාර්ශවයන් විසින් මේ සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව කරුණු දක්වන්නට පටන්ගැනීමත් සමග පාර්ලිමේන්තුවේ අවධානය ද මේ වෙත යොමුවිය. කථානායකවරයා විසින් මේ ගැන පරික්ෂාකර වාර්තා කිරීම පිණිස පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියට උපදෙස් ලබාදුන් අතර, ඒ අනුව විශේෂ කමිටුවක් මඟින් පවතින තත්ත්වය අධ්‍යයනය කරන ලදී. “ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු පිළිබඳව අතුරු වාර්තාව” 2019 ජූලි 18 දින ඉදිරිපත් කෙරුනේ එම විමර්ශනයේ ප්‍රතිපලයක් ලෙසිනි. එම වාර්තාවේ සඳහන් නිගමනවල සාරාංශයක් ලෙස, 

  • කිරිපිටිවල කිරි මේදය හැර වෙනත් මේද නැති බව ඇතැම් පරීක්ෂණ වාර්තාවලට අනුව බැලූ බැල්මට පමණක් පෙනී යන බව සහ ඒ පිළිබඳව තවදුරටත් පරික්ෂා කළ යුතු බව
  • කිරිපිටි ආනයන කරන රටවලින්ම තත්ත්ව වාර්තා ලබාගැනීම විශ්වාසනීයත්වයට තර්ජනයක් බැවින් එම පරීක්ෂණ ස්වාධීනව සිදුකළ යුතු බව
  • කිරිපිටිවල තත්ත්වය බාලකිරීම් හඳුනාගැනීමට අවශ්‍ය පහසුකම් සහිත විද්‍යාගාරයක් මෙරට ස්ථාපනය කළයුතු බව

සහ

  • දැනට පවතින විද්‍යාගාරවල තත්ත්වය 40% ට අඩු මට්ටමෙන් සිදුවිය හැකි ඇතැම් බාලකිරීම් හඳුනාගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් ඒවා වැඩිදියුණු කළ යුතු බව   

සඳහන් කළ හැකිය.

මිට අමතරව කිරිපිටි සමාගම් විසින් පාරිභෝගිකයින් නොමඟ යවන අවස්ථාවන්  සහ සදාචාර විරෝධිව හැසිරෙන අවස්ථාවන් රැසක් පිළිබඳව මෙහි කරුණු ඇතුළත්. 

  • ව්‍යාජ ලෙස පෝෂ්‍ය ගුණයන් අඩංගු බව සඳහන් කිරීම 
  • අසාමාන්‍ය ලෙස උකු බවට ව්‍යාජ ප්‍රචාරයන් ගෙනයෑම 
  • එකම කිරිපිටි වෙනස් නම්වලින් ද අලෙවි කරමින් සදාචාර විරෝධී ලෙස කටයුතු කිරීම 
  • දේශීය බව ව්‍යාජ ලෙස සඳහන් කිරීම 
  • තානාපති කාර්යයාල හරහා රාජතාන්ත්‍රික මට්ටමෙන් විවිධ බලපෑම් කිරීම 
  • කිරි පිටි පැකට්ටුවට සමාන ඇසුරුමක දෙමළ සහ ඉංගිරීසි භාෂාවලින් පමණක් ලේබල් කර කිරිපිටි නොවන නිෂ්පාදනයක් අලෙවි කිරීම 
  • විශ්‍රාමලත් සෞඛ්‍ය බලධාරීන් කිරිපිටි සමාගම්වල ඉහළ තනතුරු දැරීම හරහා වෘත්තිය සදාචාරය කඩකිරීම 

ආදිය ඒ අතරින් සුවිශේෂ යි. 

මේ වාර්තාව නිකුත්වන සමය වන විට මේ ගැන බොහෝ අයගේ උනන්දුව හීන වී තිබූ  බවක් පෙනුන අතර පුවත් පත් වාර්තාවන් එකක දෙකක පමණක් මේ ගැන කෙටි ලිපි දක්නට ලැබිණ. 

තවමත් නිශ්චිත අවසානයක් පෙනෙන්නට නැතිමුත් වරින් වර සහේතුකව මෙන්ම අහේතුකව ද මතුවෙමින් යට යන මේ ගැටලුව විද්‍යාත්මකව විසඳාගැනීමේ දී,  කිරිපිටි සමාගම්වල මෙන්ම කිරිපිටි විරෝධී ව්‍යාපාරයේ හැසිරීමත්, පවතින සාධකවල විද්‍යාත්මක වලංගුභාවයත් පිළිබඳවත් හැකිතාක් මැදිහත්ව විමසාබැලීම ඉතා වැදගත් බව පෙනේ. පහත නිරීක්ෂණ කිහිපය කිරිපිටි විරෝධී කඳවුර පිළිබඳව ය.

වෙනස්වෙනසුලු  සටන්පාඨ

කිරිපිටි විරෝධීන් වරෙක කිරි නිෂ්පාදන සියල්ලටම විරුද්ධ වෙති. “අනෙක් සතෙකුගේ කිරි බොන එකම සත්ත්වයා මිනිසා ය” යන ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් අරඹෙනා මේ කතා, සත්ත්ව පාලනයෙන් ඇතිවන පරිසර හානි හරහා ඇදී ගොස් කෙළවර වෙන්නේ කිරි හා කිරි නිෂ්පාදන නිසා ඇතිවෙන බව කියන භයානක ලෙඩ රෝග ලයිස්තුවකිනි. තවත් විටෙක මේ විරෝධය එල්ලවෙන්නේ කිරි පිටිවලට ය. එවිට, දියර කිරි හා අනෙකුත් කිරි නිෂ්පාදනයන් ගැන කතාවක් නැත. කිරිපිටිවලින් සෑදෙන රෝග ව්‍යාධි පමණක් මේ වර්ගයේ ලියැවිලිවල අඩංගු වෙන අතර, තවත් අවස්ථාවන්වල ඊටත් වඩා සටන් පාඨය ලඝු වෙමින්, ආනයනික කිරිපිටි පමණක් සතුරා ලෙස හඳුනාගනු ලැබී ඇති බව පෙනෙන්නට තිබේ. මේ අදහස දරන ඇතැමුන් ඇසුරු කිරීමෙන් ආනයනික කිරිපිටිවල නරක ගැන පමණක් නොව දේශීය කිරිපිටිවල ඇති ගුණාත්මක බව ගැන ද නොයෙක් කරුණු දැන ඉගෙනගැනීමට හැකියාව තිබේ. 

කිරිපිටිවලට එල්ලවන විරෝධය දියර කිරිවලට එල්ල නොකෙරේ./ The Ready Store

මුල්ම අවධියේ කිරිපිටිවලට මුසු කර තිබෙන්නේ ඌරු තෙල් බව කියැවුණත්, ඌරු තෙල්වල මිලාධික බව පිළිබඳව ඉදිරිපත් වූ අදහස් සමග ඒ කතාව යටපත් වෙන්නට ඉඩහරින ලද අතර පාම් ඔයිල් ගැන පමණක් සඳහන් කිරීමට ප්‍රවේශම් වනු දක්නට ලැබිණ. ඉදිරියේ දී මේ විරෝධය තවත් පටුවෙමින් “අසවල් රටෙන් ආනයනය කළ, අසවල් කොම්පැනියේ  කිරිපිටි වර්ගයට” පමණක් සිමා වුවහොත් අප පුදුම විය යුතු නැත. 

විද්‍යාත්මක සාධක?

කිරිපිටි විරෝධී පාර්ශවය වරින්වර සාධක ලෙස ඉදිරිපත් කරන ලියකියවිලි එකකවත් ලංකාවේ වෙළඳපොලේ පවතින සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල (Full cream milk powder) කිරි හැර වෙනත් යමක් අඩංගු බවට නිශ්චිත සාධකයක් මෙතෙක් දකින්නට ලැබී නැත (එසේ හමුවුණේ නම් කළ යුත්තේ වාද විවාද කරමින් සිටීම නොව වහාම ආහාර පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ය). කිරිපිටිවල භයානකබව තහවුරු කිරීමට එකී පාර්ශවයෙන් ඉදිරිපත් වූ  “විද්‍යාත්මක සාධක” කිහිපයක් පහත විමසා බැලේ. 

අ. ළදරු කිරිපිටි (Infant Formula) පිළිබඳව පෝස්ටරය

පිටිකිරිවලින් හානි 21ක් යන මාතෘකාව යටතේ සමාජ මාධ්‍යයන්හි බෙදාහරින ලද මේ දැන්වීමේ දැක්වෙන මූලාශ්‍රය ඔස්සේ ගිය විට හමුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් යටතේ 2012 වසරේ ප්‍රකාශිත පත්‍රිකාවකි. මෙහි සිංහල පරිවර්තනය බොහෝ නවජන්ම වාට්ටුවල සහ සූතිකාගාරවල ප්‍රදර්ශනය වන්නේ කලෙක සිට ය. ඒ අතිශයින් භයානක ක්‍රියාවක් ලෙස යළි යළිත් තහවුරු වන, මව් කිරි වෙනුවට ළදරු කිරිපිටි භාවිතයේ අනිටු විපාක ගැන දැනුවත් කිරීමේ අරමුණෙනි. මෙහි සිංහල පරිවර්තනයේ ළදරු කිරිපිටි වෙනුවට “කිරිපිටි” ලෙස යොදා ඇතත් සාමාන්‍ය කිරිපිටි භාවිතය ගැන මේ දැන්වීමේ මුල් පිටපතේ කිසිවක් කියා නැත. එනමුත් තවමත් කිරිපිටි විරොධී අත්පත්රිකාවල මෙහි කොටස් දකින්නට ලැබේ. 

මූලාශ්‍රය:-

https://www.waba.org.my/whatwedo/advocacy/pdf/21dangers.pdf

ආ. මේදය පිරවූ කිරි නිශ්පාදන පිළිබඳ වෙබ් අඩවිය

මෙහි දැක්වෙන්නේ මේද පිරවූ, අඩු මිල කිරි පිටි නිශ්පාදන අලෙවි කරන නවසීලන්ත සමාගමක වෙබ් අඩවියකින් ලබාගත් උපුටනයන් ය. එය ලංකාවට කිරිපිටි ගෙන්වන සමාගමකට සම්බන්ධ බවත්, එනයින් ලංකාවට ගෙනෙන්නේත් මේදය පිරවූ කිරිපිටි බවත් මේ තර්කයේ සාරාංශය යි. මෙය හුදෙක් සැකය මත පමණක් පදනම්ව ඉදිරිපත් කළ කරුණක් බව පෙනෙන අතර, ලංකාවේ අලෙවි වන සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල මෙවැනි දෑ අඩංගු බවට නිශ්චිත සාධකයක් නොවන බව පෙනේ.

මූලාශ්‍රය:-

https://www.nzmp.com/global/en/ingredients/types/powders/instant-milk-powder/fat-filled-milk-powder.html

මව් කිරි වෙනුවට ළදරු කිරිපිටි භාවිතයේ අනිටු විපාක තිබේ/ wajibbaca.com

ඇ. ශිෂ්‍ය සංගමයේ ලිපිය 

2013 අගෝස්තු 8 වන දින, කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ලිපි ශීර්ෂයකින් නිකුත් කර ඇති, අත්සනක් රහිත මේ ලිපියෙන් දැක්වෙන්නේ කාර්මික තාක්ෂණ ආයතනය විසින් නිකුත් කළ බව කියන රහස්‍ය වර්තාවක් අනුව ලංකාවට ආනයනය කරන ලද කිරිපිටි වර්ග කිහිපයකම DCD නමැති රසායනිකය හානිකර ප්‍රමාණවලින් අඩංගු බව ය. මේ පරීක්ෂණයෙන් පසුව අදාළ කිරිපිටි තොග වෙළඳපොලෙන් ඉවත් කරගැනීමට නියෝග කෙරුණ අතර, ඉන් පසුව සිදුකළ කිසිදු පරීක්ෂණයකින් කිරිපිටිවල DCD අඩංගු බව සොයාගැනීමට හැකිවී නැත. 

කිරිපිටි ගැන කතාබහත් සමගම මේ ලිපිය යළිත් සංසරණය වෙන්නට පටන්ගත්ත ද එය වර්තමානයේ කිරිපිටිවල තත්ත්වය සම්බන්ධයෙන් වලංගු සාධකයක් බව නොපෙනේ. 

මූලාශ්‍රය:-

https://srilanka.factcrescendo.com/english/fact-check-dcd-levels-on-milk-powder/?fbclid=IwAR1V4NnF_TODjOkVHrordmU8cc7KNEf8MlH7S1TRy4iylbXd-vsICYgeExQ

ඈ. කිරිපිටිවලින් පිළිකා ඇතිවන බව පැවසෙන පර්යේෂණ පත්‍රිකාව 

පිළිකා සහ කිරිපිටි අතර සම්බන්ධයක් පවතින බව කියමින් බෙදාහරින ලද මේ පර්‍යේෂණ පත්‍රිකාව කිරිපිටිවලට සුවිශේෂී එකක් නොව සියලු එළකිරි නිශ්පාදනවලට අදාළ බව පෙනේ. එනම් මේ කියන අවදානම විදේශීය කිරි නිශ්පාදනවලට මෙන්ම දේශීය දියරකිරි/ දේශීය කිරිපිටිවලට ද එකසේ අදාළ ය. එමෙන්ම අඩු ආදායම් පරිසරයක පෝෂණය සඳහා කිරි නිශ්පාදනවල වැදගත්කම එම පර්‍යේෂණ පත්‍රිකාවේම අවධාරණය කර තිබේ.

මූලාශ්‍රයයන්:-

https://drive.google.com/file/d/1iQgbf3QalUPdNuz67fGPV-9Wv71ebAIM/view

https://www.nejm.org/doi/full/10.1056/NEJMra1903547 

අවසාන වශයෙන් කීමට තිබෙන්නේ කිරිපිටි සමාගම් පාරිභෝගිකයින් නොයෙක් අන්දමින් මුලා කරමින් කරන සදාචාර විරෝධී වෙළඳ කටයුතු තරමටම, කිරිපිටි විරෝධී පාර්ශවයන් විසින් විද්‍යාත්මක සාධක විකෘති කරමින් සහ අර්ධ සත්‍යයන් යොදාගනිමින් කරන ප්‍රචාරණ කටයුත්ත ද පිළිකුල් සහගත බව ය. ඇතැම්විට ඔවුන් මේ කටයුත්තේ යෙදෙන්නේ දේශීය කර්මාන්තයන් නඟා සිටුවීම/ ආනයනය අඩු කිරීම වැනි අවංක අරමුණකින් විය හැකිය. එසේ වුවත් මෙවැනි ගැටළුවකට පිළිතුරු සෙවීමේ දී නිසි ක්‍රමවේදය යොදාගැනීමට සෑමවිටම ප්‍රවේශම් විය යුතු ය.

තර්කයට මුල්තැන දෙන විද්‍යාත්මක සංස්කෘතියක් හා දැනුවත් පුරවැසියෙකු බිහිකරගැනීමට අපට හැකිවන දිනය තව තවත් අපෙන් දුරස් කරන්නට මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් හේතුවනු ඇති බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව තිබේ . 

වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ

දැනුම්දීම: මෙය, බාලකිරීමේ අධි අවධානමක් සහිත ආහාර ද්‍රව්‍යයක් වන කිරිපිටි (දේශීය/ විදේශීය) භාවිතය පිළිබඳව අවසාන නිගමනයකට එළඹෙනු පිණිස සිදුකළ අධ්‍යයනයක් නොවේ. මේ නිරීක්ෂණයන් සියල්ලම වත්මන් කතිකාව සිදුවන ආකාරය සහ එය කොතෙක් විද්‍යාත්මක පසුබිමක සිදුවන්නේ ද යන්න පිළිබඳව ය. 

Cover image: INLIFE Healthcare

 

Related Articles