ආනන්දයේ 130  වසරක අභිමානය

1815 දි උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ට අයිති වුණාට පස්සේ, අපේ රටේ බොහෝ දේවල් වෙනස් වෙන්න පටන් ගත්තා. එතැන් පටන් අපේ රටේ සියලුම දේවල් සිද්ධ උනේ ඉංග්‍රීසි පාලකයින්ට උවමනා විදිහට. එනිසා අධ්‍යාපන කටයුතු පවා සිද්ධ කෙරුනේ එංගලන්තයේ පිළිවෙළටයි. කිතු දහම මෙරට ප්‍රචාරය කිරීමත්, ඒ ආගමට මෙරට ජනතාව යොමු කරවා ගැනීමත් බ්‍රිතාන්‍ය පාලකයින්ගේ මූලික අරමුණක් වුණා. අන්න ඒ නිසා තමයි මිෂනාරි පාසල් මෙරට ආරම්භ කෙරුණේ. මිෂනාරි පාසලක ඉගෙනීම කරන්න නම් සෑම ළමයෙක්ම ක්‍රිස්තියානි දහමට ඇතුළත් වීම අනිවාර්යය දෙයක්. උසස් අධ්‍යාපනය ලැබීමට ඇති ආශාවත්, සමාජයේ පිළිගත් පුද්ගලයකු ලෙස උසස් රැකියාවක් කිරීමේ උවමනාවත් නිසා එදා අපේ රටේ බොහෝ දෙනා කිතුදහම වැළඳ ගත්තා. මේ නිසා වසර දෙදහස් ගණනක් පැරණි හෙළ සංස්කෘතියත්, බුද්ධාගමත් ක්‍රමයෙන් ජනතාව වෙතින් දුරස් වන්නට පටන් ගත්තා.

මේ තත්ත්වයට පිලියමක් කඩිනමින් යෙදුවේ නැත්නම් අනාගතයේ සිංහල ජාතියත්, බුද්ධාගමත් නැත්තටම නැතිවී යන බව එදා සිටි ගිහි – පැවිදිට හෙළ විද්වතුන්ට වැටහුණා. ඉතා ඉක්මනින් බෞද්ධ අධ්‍යාපනය නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ඔවුන් වටහා ගත්තා. මිෂනාරි අධ්‍යාපනයට අභියෝගයක් හා තරඟයක් දීමට නම් ඉංග්‍රීසි බෞද්ධ පාසල ආරම්භ කළ යුතු බවයි එකල විද්වතුන්ගේ පිළිගැනීම වුනේ.

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා

ඕල්කට් තුමා.

ඕල්කට් තුමා.

බෞද්ධ අධ්‍යාපනය මෙරට පිහිටුවීම සඳහා පුරෝගාමී මෙහෙවරක් සිදු කල ආයතනයක් තමයි පරම විඥානාර්ථ සමාගම. මේ සමාගමේ මූලිකත්වය ගෙන කටයුතු කළ අය අතර ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඉදිරියෙන්ම ඉන්නවා. හෙලේනා පෙට්ට්‍රොව්නා බ්ලැවැට්ස්කි මැතිණිය, මියුසියස් හිගින්ස් මැතිණිය, අනගාරික ධර්මපාලතුමා, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා වගේ උදවිය මේ කාර්යයේදී ඕල්කට් තුමාට උපකාර කල අනෙක් වියතුන්. රටපුරා ඉංග්‍රීසි බෞද්ධ පාසල් ආරම්භ කිරීම සඳහා පරම විඥානාර්ථ සමාගම විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නේ ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන්.

ඒ අනුව ඉංග්‍රීසි පාලකයින්ගේ මිෂනාරි අධ්‍යාපනයට එරෙහිව නැඟුණු බෞද්ධ අධ්‍යාපනයේ පළමු වෙඩි මුරය තමයි, කොළඹ ආනන්ද විද්‍යාලය.  ආනන්ද විද්‍යාලය ආරම්භ කරන්නේ 1886 නොවැම්බර් 01 දා. ඒ කියන්නේ මිට අවුරුදු 130 ඉහත දී. ආනන්ද විදුහලේ ආදීකතෘ ලෙස සැලකෙන්නේ ඕල්කට් තුමායි.

පරණ වාඩියේ  ඉතිහාසය

මුල්ලේරියා සටන

මුල්ලේරියා සටන

ආනන්ද විද්‍යාලය පිහිටා තිබෙන ප්‍රදේශය හඳුන්වන්නේ පරණ වාඩිය කියලයි. මේ නම පිටුපස ලොකු ඓතිහාසික කතා පුවතක් තියෙනවා. ඉතිහාස පොතේ දැක්වෙන ඒ කතාව කෙටියෙන් මෙහෙමයි :

1562 දි පෘතුගීසින්ට එරෙහිව කෝට්ටේ රාජධානිය බේරාගැනීමේ මහා සටන පැවැත්වෙනවා. මේ සටන ඉතිහාස ගත වුණේ “ මුල්ලේරියා සටන”  නමින්.  එවකට සීතාවක රජකළ මායාදුන්නේ මහ රජතුමාගේ අධීක්ෂණය යටතේ, එතුමානන්ගේ පුත්‍රයා වන ටිකිරි බණ්ඩාර කුමාරයාගේ නායකත්වයෙන් තමයි මේ සටන පැවතිලා තියෙන්නේ. ටිකිරි බණ්ඩාර කුමාරයා මේ සටන මෙහෙය වන්නේ අවුරුදු 11ක් තරම් කුඩා වයසක දී කියල තමයි ඓතිහාසික මූලාශ්‍ර වල සඳහන් වෙන්නේ.

ටිකිරි බණ්ඩාර කුමාරයා ඇතුළු සිංහල හමුදාව කෝට්ටෙ රාජධානියට පහරදෙන්නට යන අතරමග දී එක්තරා ස්ථානයක නැවතිලා තාවකාලික කඳවුරක් නිර්මාණය කර ගන්නවා. හමුදා ප්‍රධානියෝ ආක්‍රමණයට අදාළ සැලසුම් සහ පිඹුරුපත් නිර්මාණය කරලා තියෙන්නේ මේ ස්ථානයේ දී යි. ඒ නිසාම හමුදාව ගිමන් හැරි ප්‍රදේශය හැඳින්වුයේ “පරණ වාඩිය” කියලා. පරණ වාඩියෙ ඉදලා තමයි මුල්ලේරියා සටනට හමුදාව පිටත් වන්නේ.

තුරුණු වියට එළඹෙන ටිකිරි බණ්ඩාර කුමරු, “ 1 වෙනි රාජසිංහ ” නමින් සීතාවක රාජ්‍යත්වයට පත් වෙනවා. නැවත වරක් 1 වෙනි රාජසිංහ රජතුමා කෝට්ටෙ රාජධානිය දිහාවට හැරෙන්නෙ 1587 දි. මේ දෙවන මෙහෙයුමට යන අතරතුරේ දී ත් සිංහල හමුදාව කඳවුරු බැන්දේ, මුල්ලේරියා සටනට යනකොට කඳවුරු ගහපු භූමියේම යි. ඒ කියන්නෙ පරණ වාඩියේ. මෙතන ඉදන් තමයි කොළඹ කොටුව වැටලීමේ මෙහෙයුම් කටයුතු සිද්ධ වුණේ. මේ සියලු සටන් වලින් සිංහල හමුදාවට විශිෂ්ඨ ලෙස ජයග්‍රහණ අත්කරගන්නට සමත් වෙනවා.

දෛවයේ හාස්කමකට දෝ ආනන්ද විද්‍යාලය ආරම්භ වෙන්නේත් මේ භූමියේ මයි..

ආනන්ද විදුහල ඇරඹීම

ආනන්ද විද්‍යාලය

ආනන්ද විද්‍යාලය

1886 නොවැම්බර් 01 දා පරණ වාඩියේ ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් ඇරඹෙන නව පාසල මුලින් නම් කෙරෙන්නේ “ඉංග්‍රීසි බෞද්ධ පාසල” නමින්. මේ සඳහා පරණ වාඩියේ භූමිය පරිත්‍යාග කරලා තියෙන්නේ එවකට සිටි ප්‍රභූ ධානපතියෙකු වන ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා. පසු කලක “බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ” බවට පත්වන මෙම විදුහල “ ආනන්ද විදුහල ” කියල නම් කරන්නේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ. ඒ, 1895 අගෝස්තු 17 වෙනිදා. මේ නම යෝජනා කරමින් ගුණානන්ද හාමුදුරුවෝ මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා:

“බුදු හාමුදුරුවන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේගේ නම ආනන්ද යි. උන්වහන්සේ තමයි ධර්ම භාණ්ඩාගාරික වුණේ. අන්න ඒ වගේ මේ විද්‍යාලයත් කවදා හරි දවසක ධර්ම භාණ්ඩාගාරයක් බවට පත් වෙයි.”

ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණු පළවෙනි ශිෂ්‍යයා වුණේ “කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස” නැමැත්තා. මේ ජිනරාජදාස කියලා කියන්නෙ බොහෝම සුවිශේෂී චරිතයක්. ඒ ගැන බළංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක හිමියන් ගැන මතුගම මහින්ද විජේතිලකයන් විසින් රචිත, “ බළංගොඩ නා හිමි සබැදි කතා ” පොතේ දීර්ඝ විස්තරයක් සඳහන් වෙලා තියෙනවා. මේ දරුවා සමඟ 37 දෙනෙක් ආරම්භක ශිෂ්‍යයින් විධිහට ආනන්ද විදුහලට එදා එකතු වෙලා තියෙනවා. ඒ තමයි ආනන්ද විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම.

ආනන්ද විද්‍යාලයේ පළවෙනි විදුහල්පති ධූරය හොබවන්නෙ චාර්ල්ස් ලෙඩ්බීටර් මැතිතුමයි.

මෙතුමා සෙන්පති ඕල්කට් තුමාගේ හිතවතෙක්. ඒවගේම ඕල්කට් තුමාගේ බෞද්ධ වැඩකටයුතු වලට විශාල වශයෙන් උදව් කරපු බෞද්ධයෙක්. මෙතුමාගේ මඟපෙන්වීම යටතේ ආනන්ද විදුහල ක්‍රමයෙන් දියුණුව කරා ගමන් කරන්න පටන් ගත්තා. ඒ, ඉංග්‍රීසි පාලකයින්ගේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට එරෙහිව රටපුරා බෞද්ධ පුනර්ජීවනයක් ද ඇතිකරමින්.

ආනන්ද බුදු මැදුර සහ සුවිශේෂී ගොඩනැගිලි

ආනන්ද විදුහලේ සංකේතය තමයි ආනන්ද බුදු මැදුර. අහස උසට ඉඳිවුණු බුදු මැදුර දුටුවන් තුල සුවිශේෂී පහන් හැඟීමක් ඇති කරනවා. ලංකාවේ පාසැලක තිබෙන විශාලම බුදු මැදුර හැටියට වාර්තා වෙන්නේ ආනන්ද විදුහලේ බුදු මැදුරයි.

මේ බුද්ධ මන්දිරයේ සුවිශේෂ කරුණක් තියෙනවා.  බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු බුද්ධගයාවේ  නිර්මාණය කරලා තියෙන විහාරයේ ආකෘතියට අනුවයි මේ බුදු මදුර හදලා තියෙන්නේ. ඒ නිසා ආනන්ද බුදු මැදුරට කලාත්මක වටිනාකමක් ද ලැබිල තියෙනවා.

බුදු මැදුර ඇතුලත.මේ බුදු මැදුර ඇතුළේ වැඩ ඉන්න බුදු පිළිම වහන්සේ තමයි, ලංකාවේ පාසැලක වැඩ සිටින විශාලතම පිළිම වහන්සේ වෙන්නේ. සමාධි ඉරියව්වෙන් වැඩසිටින මේ බුදු පිළිම වහන්සේ, ලංකාවේ සිටි ප්‍රතිමා ඇඹීමට අති දක්ෂයෙක් වුණු මාපලගම විපුලසාර මහා නායක හිමියන් අතින් නිර්මාණය වුණු පිළිමයක්. 

බුදු මැදුර ඇතුලත.මේ බුදු මැදුර ඇතුළේ වැඩ ඉන්න බුදු පිළිම වහන්සේ තමයි, ලංකාවේ පාසැලක වැඩ සිටින විශාලතම පිළිම වහන්සේ වෙන්නේ. සමාධි ඉරියව්වෙන් වැඩසිටින මේ බුදු පිළිම වහන්සේ, ලංකාවේ සිටි ප්‍රතිමා ඇඹීමට අති දක්ෂයෙක් වුණු මාපලගම විපුලසාර මහා නායක හිමියන් අතින් නිර්මාණය වුණු පිළිමයක්.

මෑතකදී Asia Times කරපු සමීක්ෂණයකට අනුව ආසියාවේ එකම වේලාවක දී වැඩිම පිරිසක් වන්දනාමාන කරන බුදු පිළිමය විදිහටත් ආනන්ද විද්‍යාලයේ බුදු පිළිම වහන්සේ වාර්තාවන් අතරට එකතු වෙනවා.  බුදු මැදුර අසලින් ගමන් කරන කවර පුද්ගලයෙකු වුවත් මේ බුදු පිළිමයට නමස්කාර කරන්න අමතක කරන්නේ නෑ. කාගේවත් නියෝග කිරීමකින්, පෙළඹවීමකින් තොරව නිරායාසයෙන්ම සිදුවන මේ සිදුවීම ඇත්තෙන්ම ආශ්චර්යජනකයි.

ආනන්ද විද්‍යාලයේ ඇති අනෙක් ගොඩනැගිලි අතරින් “ මුවර් ගොඩනැගිල්ලට ” හිමි වෙන්නෙ සුවිශේෂී ස්ථානයක්. මුවර් ගොඩනැගිල්ල කියන්නෙ අපේ රටේ පරණම ගොඩනැගිලි වලින් එකක්. (විශේෂයෙන්ම කොළඹ යුගයේ) ඒ කාලයේ මේ වගේ ගොඩනැගිලි නිර්මාණය කළේ මධ්‍යම කදුකරයේ තේ කර්මාන්ත ශාලාවල විතරයි. කොළඹ පළාතේ මේ ආකෘතියෙන් නිර්මාණය වෙලා තියෙන පළවෙනි සහ එකම ගොඩනැගිල්ල තමයි, ආනන්ද විදුහලේ මුවර් ගොඩනැගිල්ල.

“ කුලරත්න ශාලාව ” ආනන්දය සතු තවත් සුවිශේෂී ගොඩනැගිල්ලක්. මේ ශාලාව නිර්මාණය කලේ ආනන්දයේ සිටි කීර්තිමත් විදුහල්පතිවරයකු වන පි. ද එස්. කුලරත්න මහතා සිහිවීම පිණිසයි. ආනන්දයේ පමණක් නොව වෙනත් පාසල් වල බොහෝ උත්සව ද, ජාතික වැදගත් කමකින් යුතු රැස්වීම ද නාට්‍ය, සංගීත ප්‍රසංග ආදිය සඳහා ද කුලරත්න ශාලාව එදා  සිටම කදිම තෝ තැන්නක් උනා. අද මේ ශාලාව නවීන පහසුකම් වලින් යුත් අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක් බවට පත් කර තිබෙන්නේ ජාතික වස්තුවක් සේ සලකායි.

ආනන්දය මෙහෙය වූ නියමුවෝ සහ සුවිශේෂී චරිත

ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ධූරය දරපු පළවෙනි සිංහල විදුහල්පති වුණේ ඩී.බී.ජයතිලක මැතිතුමා. ඊට අමතරව පී. ද එස්. කුලරත්න, ජී.පී. මලලසේකර, එල්. එච්. මෙත්තානන්ද, කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ, කර්නල් වී. එස්. කුඩලිගම වගේ විදුහල්පතිවරුන් විදුහල්පති ධූරය දරපු කාල වකවානු ආනන්ද විද්‍යාලයේ වැදගත් සංධිස්ථාන වෙනවා.

අද වන විට විදුහල්පතිවරුන් 23 දෙනෙක් ආනන්දයට නායකත්වය සපයා තිබෙනවා. මේ අතරින් ආනන්දයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ, කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ මැතිතුමාගේ කාලයයි. එයට හේතුව ඒ වකවානුවේ දී අධ්‍යාපනික අංශයෙන්, ක්‍රීඩා අංශයෙන්, විනය, විෂය බාහිර ක්‍රියාකාරකම් ආදී නොයෙකුත් අංශ වලින් දිවයිනේ සෙසු විදුහල් අභිබවා ආනන්දය පෙරට පැමිණි නිසයි.

ආනන්දය සුවිශේෂී පුද්ගලයින් ගණනාවක්ම පසුගිය සියවසක කාලය තුල ලක් මවට දායාද කළා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයින්, සරසවි ඇඳුරන්, කලාකරුවන්, මාධ්‍ය වේදීන්, ක්‍රීඩකයින්, දේශපාලඥයින්, හමුදා විරුවන් ගණන් අති විශාලයි. මේ සෑම කෙනෙකුම ශ්‍රේෂ්ඨ ලංකා පුතුන් වශයෙන් ඉතිහාස පොතට එකතු වෙනවා.

ආනන්දයේ සුවිශේෂතා

“ අප්පමාදෝ අමත පදං ” ආනන්දයේ ආදර්ශ පාඨයයි. එය තථාගතයන් වහන්සේගේ අවසන් වදන් ඇසුරු කරගෙන නිර්මාණය කර ගත්තක්. “ අප්‍රමාදව කටයුතු කරන්න ” යන්න එහි සරළ සිංහල තේරුමයි. ආනන්දයේ සිප් සතර හදාරන සෑම සිසුවෙක්ම හුරු කරන්නේ හැකි සෑම විටකම අප්‍රමාදව කටයුතු කරන්නයි. අනඳ පුතුන් පාසල් ජීවිතයේ දී පමණක් නොව, සමාජ ජීවිතයේ දීත් සුවිශේෂ ජයග්‍රහණ අත් කර ගන්නේ එබැවින්.

ආනන්ද විදුහලේ පාසල් කොඩියේ වර්ණ වන්නේ ලෝහිත සහ රන් වර්ණයන්. බෞද්ධ කොඩියේ එන ලෝහිත පැහැය ආනන්ද කොඩියට යොදා ගැනීම තුලින් ආනන්දයත් බුද්ධාගමත් අතර ඇති සමීප තාවය සංකේතවත් කෙරෙනවා. එබැවින් ආනන්ද පාසල් කොඩිය නෙත් ගැටෙන ඕනෑම කෙනෙකු තුළ, බෞද්ධාගමික හැඟීමක් ඇතිවීම නිරායාසයෙන්ම සිදුවන දෙයක්.

ලංකාවේ පළවෙනි නාවික ශිෂ්‍ය භට කණ්ඩායම නිර්මාණය වෙන්නෙ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. ඒ වගේම, ලංකාවේ පළවෙනි වතාවට යුද්ධ, ගුවන්, නාවික, පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායම් හතරක් එකවර, ලංකාවේ ජනාධිපතිවරයෙකුට (මහින්ද රාජපක්ෂ) උත්තමාචාර දැක්වූවා නම් ඒත් මේ ආනන්ද විද්‍යාලයෙන්ම වීම තවත් සුවිශේෂ කරුණක්. ඒ වගේම  පැසි පන්දු ක්‍රීඩාව පළමුවෙන්ම ආරම්භ කල ප්‍රථම පාසල වන්නේද ආනන්ද විදුහලයි. තවද 1994 වසරේදී එක්සත් ජාතින්ගේ ආදර්ශ සැසියක් පැවැත්වූ ප්‍රථම පාසල  ලෙස ද ආනන්දය ඉතිහාස ගත වෙනවා.

ආනන්දය අද සහ හෙට

ආනන්ද විදුහල අද අක්කර 20ක භූමි භාගයක් පුරා පැතිර පවතිනවා. 13 වසර දක්වා පංති පැවැත්වෙන අතර, සිසුන් 7000 කට වඩා සිප් සතර ලබා දෙනවා. සියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතික, ආගමික  කාරණාවල දී ත්, ජාතියට හා  ආගමට අභියෝග එල්ල වූ අවස්ථා වලදීත් ඒවා විසඳා ගැනීමට  ආනන්ද විදුහලෙන් ලැබුණු දායකත්වය අති විශාලයි. රටේ ජාතික නිදහස් අරගලයේ දී එදා සිටි විද්වතුන්, දේශප්‍රේමින් රැස්වී සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වුයේ මේ ආනන්ද භූමියේදීයි. ඒ නිසාම දෝ ආනන්ද බිමට පාතබන ඕනෑම කෙනෙකුගේ සිතට ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ඇතිවීම නිරායාසයෙන් සිදුවෙන්නක්.

ආනන්ද විද්‍යාලයේ රණවිරු ස්මාරකය.

ආනන්ද විද්‍යාලයේ රණවිරු ස්මාරකය.

රටට, ජාතියට පමණක් නොව මුළු මහත් මානව සංහතියටම වැඩදායක අභීත ලංකා පුතුන් රැසක් දායාද කල ජාතියේ තක්සලාවක් වන ආනන්ද විදුහල, තවත් සියවස් ගණනකට දැයේ පුතුන්ට සිප් සතර බෙදා දෙනු ඇති. ඒ නිසා, මේ තක්සලාව අනාගත පරපුර උදෙසා පවත්වාගෙන යාම ජාති, ආගම් භේදයකින් තොරව අප සැමගේ යුතුකමක් හා වගකීමක් ද ලෙස සැළකිය හැකියි.

මුලාශ්‍ර : විකිපීඩියා, ආනද විද්‍යාලිය වෙබ් අඩවිය, බළංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක හිමියන් ගැන මතුගම මහින්ද විජේතිලකයන් විසින් රචිත, “ බළංගොඩ නා හිමි සබැදි කතා ” පොත, ආනන්ද විද්‍යාලයේ FB පිටු වල පළවූ ලිපි, ආනන්ද ශත සෂ්වථ්සර සමරු ග්‍රන්ථය

ඡායාරූප : www.ananda.sch.lk, Wikipedia, Mr. Prasanna Weerakkody, Daily News Archives

කවරයේ පින්තුරය: nandaobauae.org

Related Articles