Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවිත පාඩම් රැසක් කියා දෙන කුඩා ගස – බොන්සායි

බොන්සායි ගැන මගේ උනන්දුවේ ආරම්භය “කරාතේ කිඩ්” චිත්‍ර‍පටයත් එක්කයි බැඳිල තියෙන්නේ. ඒ උනන්දුවත් එක්ක එදා ඉදන් මේ දක්වා සියුම්ව අධ්‍යයනය කළ බොන්සායි කලාව මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ සනිටුහන් කරන්න උදව් කළ වාර අනන්තයි.

ඉතින් මෙතෙක් කල් මා උගත් දේ ඔබත් එක්ක බෙදාගැනීමයි මේ ලිපියේ අරමුණ.

එවන් ජීවිත පාඩම් 10ක් සරලව මේ විදියට සාකච්ඡා කරමු.

අවසන් ප්‍ර‍තිඵලය පිළිබද පැහැදිලි දැක්ම

අවසන් නිර්මාණයට පෙර සහ පසු. (bonsaibark.com)

බොන්සායි ගසක් නිර්මාණය ආරම්භ කරන අවස්ථාවේදීම නිර්මාණකරුවාගේ හිතේ එහි අනාගත පෙනුම ගැන දැක්මක් තිබෙනවා. එහි පෙනුම සහ හැඩය මොන වගේ විය යුතුද, විශාලත්වය කෙතරම් විය යුතුද කියන කාරණාවන් නිර්මාණය ආරම්භයේදීම තීරණය කර අවසන්.

බොහෝ අවස්ථාවලදී අරමුණු, ඉලක්ක ඇතිකරගන්න අප සූදානම්. නමුත් එයින් ඔබ්බට ගිහින් අපේ අනාගත චිත්‍ර‍ය දකින්න අප උත්සාහ කළ යුතුයි. ඒ චිත්‍ර‍ය අනුව ශක්තිමත් පදනමක් දැමිය යුතුයි. බොන්සායි ගසක ලස්සන, සෞඛ්‍යමත් බව රඳා පවතින්නෙත් එහි පදනමේ පවත්නා ශක්තිමත්භාවය නිසාවෙන්.

නිවැරැදි උපකරණ සහ නිවැරැදි පරිසරය

බොන්සායි කලාව සදහා භාවිත කරන උපකරණ. (pinterest)

බොන්සායි ගසක් අලංකෘතව කප්පාදු කිරීමේදී ඒ ඒ අවස්ථාවේදී යොදාගන්නා උපකරණ එකිනෙකට වෙනස්. සූක්ෂමව අවස්ථාවට උචිතම උපකරණය යොදා ගනිමින් නිර්මාණකරුවා තමන්ගේ කාර්යයේ නියැලෙනවා. ඒ වගේම බොන්සායි ගසට උචිත පරිසරයක් අවශ්‍යයි. හොඳ පසක්, යෝග්‍ය සූර්යාලෝකයක්, රෝග පාලනයට ගත් නිවැරුදි පියවර, අවශ්‍ය පොහොර වගේ දේවල් සැපයීමට නිර්මාණකරුවා නිරන්තරයෙන් වගබලා ගන්නවා.

ඔබේ අනාගත දැක්මට, අරමුණට අනුව අවශ්‍ය අවස්ථාවලදී නිවැරැදි පියවර ගැනීමට සිදුවෙනවා. එකිනෙකට සමාන විකල්ප කිහිපයක් ඔබ හමුවේ පවත්නා අවස්ථාවන්හිදී ඒ අතරින් සුදුසුතම විකල්පය තෝරාගැනීමේ අභියෝගයට මුහුණදිය යුතුයි. ඒ වගේම ඔබේ අරමුණ පෝෂණය කිරීමට අවශ්‍ය වටපිටාව ඔබ විසින් සකස් කර ගත යුතුයි.

විශාල චිත්‍ර‍ය ළගා කර ගැනීමට කුඩා පියවර ගන්න

(Bonsaitreecare.info)

අලංකාර බොන්සායි ගසක් එක රැයකින් නිර්මාණය වන්නක් නොවේ. ඒ සදහා ගත යුතු පියවර රැසකි. කෙටියෙන්ම කියතොත් ගසක් තෝරා ගැනීමේ කාර්යයේ පටන් එකිනෙකට සම්බන්ධවූ විවිධාකර පියවර සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි, සිත් රැඳි බොන්සායි ගසේ චිත්‍ර‍ය යථාර්ථයක් බවට පත්වන්නේ.

බොන්සායි කලාකරුවා පඩිපෙළක් නගිනවා සේ කෙටි පියවර තැබීමෙන් තම බොන්සායි ගස නිර්මාණය කරන ආකාරයටම ගමන් කිරීමට අපට සිදුවෙනවා. උදාහරණ වශයෙන් ඔබට විභාග එකිනෙක සමත්වෙමින් අපේක්ෂිත රැකියාව වෙත යාමට සිදු වේවි. ව්‍යාපාරිකයෙකුට නම් කුඩා පරිමාණයෙන් ආරම්භ කර ක්‍ර‍මක්‍ර‍මයෙන් අපේක්ෂිත මහා පරිමාණ ව්‍යාපාරය ඇරඹීමට සිදුවේවි.

නිරන්තර අවධානය සහ විමර්ශනය පවත්වාගත යුතුය

(bonsaiempire.com)

බොන්සායි ගසක් දෙස නිසි අවධානය නොදැක්වුවහොත් අනවශ්‍ය අතු රිකිලි ලා වර්ධනය වෙන්න පටන් ගන්නවා. නැතිනම් ජලය, සූර්යාලෝකය ආදිය නිසි ලෙස නොලැබීමෙන් ගසෙහි සෞඛ්‍යමත්භාවය අඩපණ වෙනවා. සමහරවිට දිගුකලක් තිස්සේ අවධානය අහිමිවීමෙන් ගස නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි තරමටම විනාශය කරා ගොස් තිබෙන්නටත් පුළුවන්.

අපේ අනාගත දැක්මටත් මේ වගේම අවධානය අවශ්‍යයි. තමන්ගේ දෛනික චර්යාව තුළ කාලය බෙදාගැනීමේදී අනවශ්‍ය දේට කොපමණ කාලයක් වැය කරන්නේද, තමන් අනාගත චිත්‍ර‍ය උදෙසා නිවැරැදි ගමන් මාර්ගයේ ගමන් කරන්නේද, නොඑසේ නම් ඉන් බැහැරව සිටීද, යන්න පිළිබදව ස්වයං අධ්‍යයනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය වේ.

වැරදීම් යනු වර්ධනයේ සහ ඉගෙනීමේ බීජ පමණයි.

බොන්සායි නිර්මාණකරුවා කිසිවිටෙක වැරදීම්වලට බිය නොවෙයි. කුමක් හෝ වැරදීමක් සිදු වූ විට දී ඔහු එය යොදා ගන්නේ ගස තවදුරටත් අලංකාර කිරීමටයි. ඒ නිසා අවසානයේ නිර්මාණය වූ බොන්සායි ගස දෙස බලන්නෙකුට එහි වැරදීමක් නොපෙනේ.

මේ නිසා ඔබේ අනාගත අරමුණ දෙසට යන ගමනේදී සිදුවන වැරදීම් ඔබේ වර්ධනයට සහ ඉගෙනීමට පමණක් උදව් කරගන්න. අවසන් අරමුණ වඩාත් සුන්දරව සනිටුහන් කරන්න එය උපකාරී වනවා නියතයි. මන්ද ඔබ අතින් වැරදීම් සිදු වූවා යනු ඔබ ඔබේ අරමුණ වෙනුවෙන් දැඩි ලෙස උත්සාහ කළ බව පෙන්වන සලකුණු හෙයින්.

නෙපසුබටව උත්සාහ කිරීම

ඔබ සිතන්නේ බොන්සායි ගසක් නිර්මාණය කරන්නා පළමු උත්සාහයේදීම ඉතාමත් සාර්ථක බොන්සායි නිර්මාණයක් එළි දැක් වූ බවක්ද? මෙය එසේ නොවෙයි, ආධුනිකත්ව සමයේදී වැරදීම් සිදු කළ වාර අනන්තයි. සමහරවිටෙක ගස විනාශව ගිය අවස්ථා පවා තිබුණත් ඔවුන් අප්‍ර‍තිහත ධෛර්යයෙන් ක්‍රියාකිරීමෙන්ම අවසානයේ සාර්ථකත්වයට ළගාවනවා.

ඔබේ අරමුණ වෙත යාමේදී නොයෙකුත් හැලහැප්පීම් ඇති වේවි. ඇතැම් ඒවා ඔබේ බලපෑමෙනුත් තවත් දේ ඔබේ පාලනයෙන් තොරවත් සිදු වෙන්න පුලුවන්. කෙසේ වුවත් එවන් හැල හැප්පීම් හමුවේ නොසැලෙමින් ඔබේ අරමුණ වෙතම සිත යොමු කරන්න බොන්සායි කලාව අපට උගන්වනවා.

වෙනස්වීම්වලට හැඩගැහෙන්න

(bonsaiempire.com)

බොන්සායි ගස සිතේ ඇදගත් ආකාරයට නිර්මාණය කිරීමේදී කලාකරුවාට සිදු වෙනවා යම් යම් වෙනස් කිරීම් සිදුකරන්න. නිවැරැදිව අනවශ්‍ය අතුරිකිලි කප්පාදු කරන්න. ගසේ කොටස් ඉවත් කරන්න. සමහර වෙනස්කම් සුලු වෙනස්කම් වෙන්න පුලුවන් වගේම විශාල වෙනස්කම් වෙන්නත් පුලුවන්.

කෙසේ නමුත් අනාගත නිර්මාණයේ අලංකාරත්වයට සහ සෞඛ්‍ය සම්පන්න බවට අනුකූල වනතාක් දුරට එම වෙනස්කම් පිළිගත හැකියි. බොන්සායි කලාකරුවා සිය නිර්මාණය වෙනුවෙන් මේ වෙනස්කම් කිරීමට නිදහස් සේම ඔබද ඔබේ දැක්ම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් කිරීමට නිදහස්.

නිරන්තරයෙන් යමක් උගනියි

බොන්සායි කලාවේ පිළිගැනෙන ප්‍රධාන රීතියක් නම් එහි නිමාවක් නැති බවයි. එනම් සෑම විනාඩියකදීම යමක් අලුතින් උගනියි.

ඔබේ දැක්ම වෙත යන ගමනද එසේමයි. මෙතෙක් කල් අත් නෙදැකපු දේ ඉගෙනීමට ඔබට සිදුවේවි. අවසානයේ ඔබ ඔබේ ගමනාන්තය වෙත ළඟාවන විට ඊට ආනුශංගිකව ඉගෙන ගෙන ඇති දේ මිල කළ නොහැකියි.

අසම්පූර්ණ බව ද සම්පූර්ණත්වයකි

(Landscapingchennai.com)

කිසිම අවස්ථාවක බොන්සායි ගස් දෙකක් එකිනෙකට සමාන නැහැ. එක් එක් ගසට ඒවාට ආවේණික අසම්පූර්ණතා, ගුණාංග පවතී. එනයින්ම ඒ ගස අසාර්ථක යැයි කිසිවෙකුට කිව නොහැක. මන්ද ඒ ගසේ පරිපූර්ණතාවය පවතින්නේ එයට ආවේණික වූ එම අසම්පූර්ණතාවය තුළ වන නිසාය.

මේ නිසා ඔබ, ඔබව අන් අය සමග සන්සන්දනයෙන් වළකින්න. ඒ ඔබ ඔබටම  ආවේණික වූ සුන්දරත්වයකින් යුක්ත නිසා

ඉවසීම ප්‍ර‍ගුණ කරන්න

නිර්මාණකරුවාට හදිසි වූ පමණින් බොන්සායි ගස ප්‍ර‍තිචාර දක්වන්නේ නැහැ. එය එම අවස්ථාවට සූදානම් වූ විට ඇස් අදහාගත නොහැකි සුන්දරත්වය පිටතට පැමිණෙනු ඇත.

ඔබේ අනාගත දැක්මද රැය පහන් වන විට ඔබ හමුවේ නොතිබෙන්නට පුලුවන්. නමුත් සුදුසුතම අවස්ථාවේදී එම ප්‍රාතිහාර්ය අත්දකින්නට ඔබට වරම් ලැබේවි. එතෙක් බොන්සායි කලාකරුවා මෙන් ඔබේ දැක්මට අවශ්‍ය, පසුබිම අංගෝපාංග පියවරෙන් පියවර ඇති කරගන්න.

කවරයේ පින්තුරය: Millstätter See

Related Articles