Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිරිමි ඇඳුම් කට්ටල පිළිබඳව ඔබ කියවිය යුතුම ගයිඩ් එක

මුලින්ම කිව යුතුයි, මේක පිරිමි ලිපියක්. පුරුෂ පාර්ශවය එදිනෙදා ජීවිතයේ කාර්යාලයීය කටයුතු වලට, උත්සව කටයුතු වලට, ‍රැකියාවට අඳින පිරිමි ඇඳුම් කට්ටල, සරලවම කිව්වොත් ‘සූට්ස්’ ගැන ගයිඩ් එකක්. පිරිමි ලිපියක් කිව්වත් ඉතින් තමන්ගෙ දැනුම සඳහා කාන්තා, පිරිමි සියළු දෙනා කියෙව්වට පාඩු නැති ලිපියක්.

‍රැකියාවක නියැලෙන සෑම පුරුෂයෙකුම, අඩුම තරමේ සෑම තරුණයෙකුම ළඟ එකම එක සූට් එකක්වත් තිබිය යුතු බව ප්‍රසිද්ධ විශ්වාසයක්. හොඳ සූට් එකක් ඔබට වඩාත් වැදගත් සහ කඩවසම් පෙනුමක් ලබාදෙනවා. සියළුම සූට්ස් එක වගේ කියලා අපි හිතුවත්, එහි කබාය මසා ඇති මෝස්තරය, බොත්තම් ගණන, කබා පටිය, සහ හැඩය ආදී ලක්ෂණ අනුව ඒවා එකිනෙකට වෙනස් වෙනවා. මේ වෙනස්කම් සරලව ඔබට ඉදිරිපත් කිරීමයි මේ ලිපියේ අරමුණ.

කබා හැඩය

මූලික කබා හැඩයන් තුනකි. (realmenrealstyle.com)

මේ කියන්නෙ ඔබ සූට් එකක කබායක් මැසීමේදී සැලකිය යුතුම කරුණක් වන ‘සූට් ‍ෆිට්’, එහෙමත් නැත්නම්, ‘සූට් සිලුවට්’ එක ගැනයි. සූට් සිලුවට් වර්ග තුනයි.

1. සැක්

එල්ලා වැටෙන හැඩයක් ඇති කබාය මෙනමින් හඳුන්වනවා. ප‍ටු උරහිස් සහ පහත ප්‍රදේශය එල්ලා වටෙන මෙම කබා මගින් සිරුරේ හැඩය කැපී පෙනෙන්නේ නැහැ.

2. ස්ට්‍රක්චර්ඩ්

හමුදා නිල ඇඳුමෙන් අභාෂය ලබා ඇති මෙහි, උරහිස් පුම්බා ඇති අතර, ඉණ ප්‍රදේශය ප‍ටුව මසා තිබෙනවා. වඩාත්ම විධිමත් සහ චාරිත්‍රානුකූල කබාය වන්නේ මෙයයි.

3. ‍ෆිටඩ්

මෙය සිරුර මනා හැඩයකින් යුත් පුද්ගලයින්ට සුදුසුයි. අඩුවෙන් පුම්බා ඇතත්, සිරුරටම ඇලෙන සේ මසා තිබෙනවා.

ඉදිරිපස බොත්තම් පේළි ගණන

මේ කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ ‘සිංගල් බ්‍රෙස්ටඩ් සහ ඩබල් බ්‍රෙස්ටඩ්’ යනුවෙන් හැඳින්වෙන ලක්ෂණය ගැනයි. සූට්ස් වලට අයත් කබා වර්ග සියල්ලම සාමාන්‍යයෙන් ඔය කොටස් දෙකෙන් එකකට අයත් වෙනවා.

‘සිංගල් බ්‍රෙස්ටඩ්’ යනුවෙන් හැඳින්වෙන්නේ ඉදිරිපස තනි බොත්තම් පේළියක් සහිත කබා. මෙහි බොත්තම් ගණන 1 – 4 අතර සංඛ්‍යවක් විය හැකියි. සම්මත බොත්තම් ගණන 2 – 3 වනවා. මේවා බ්‍රිතාන්‍ය මෝස්තරයේ කබා ලෙස හඳුන්වනවා.

තනි බොත්තම් පේළියේ සහ බොත්තම් දෙපේළියේ කබා මෝස්තර. (realmenrealstyle.com)

‘ඩබල් බ්‍රෙස්ටඩ්’ යනුවෙන් හැඳින්වෙන්නේ ඉදිරිපස බොත්තම් දෙපේළියක් ඇති කබා. මේවායේ බොත්තම් 4ක්, 6ක්, හෝ 8ක් තිබිය හැකි නමුත් සම්මතය බොත්තම් 6 ලෙස පිළිගැනෙනවා. තනි බොත්තම් පේළියේ කබායන්ට වඩා මේවා විධිමත් සහ චාරිත්‍රානුකූලයි. මේවා ඉතාලි මෝස්තරයේ කබා ලෙස හඳුන්වනවා.

කබා බොත්තම්

බොහෝ විට මෙහිදී සලකා බැලෙන්නේ බොත්තම් 1 සිට 3 දක්වා ඇති කබායි.

බොත්තම් රීති. (realmenrealstyle.com)

1. තනි බොත්තමක් සහිත සිංගල් බ්‍රෙස්ටඩ් කබාය

මේවා සාමාන්‍යයෙන් ටක්සිඩෝ ලෙස භාවිතා කරන අතර, වඩාත් ගැලපෙන්නේ චාරිත්‍රානුකූල සැඳෑ සාදයන් (Black Tie Events), සම්භාව්‍ය උත්සව අවස්ථා සඳහායි. සිහින් සිරුරු වලට වඩාත් ගැලපෙනවා.

2. බොත්තම් දෙකක් සහිත සිංගල් බ්‍රෙස්ටඩ් කබාය

සියළුම සිරුරු හැඩයන්ට ගැලපෙන මෙහි මෝස්තරය නිසා හැඳ සිටින්නාගේ සිරුර වඩාත් දිගු බවක් මවා පෙන්වනවා. ව්‍යාපාර සහ සමාජ කටයුතු වලට උචිත මෙය වඩාත්ම සාම්ප්‍රදායික කබා මෝස්තරයන්ගෙන් එකක්.

3. බොත්තම් තුනක් සහිත සිංගල් බ්‍රෙස්ටඩ් කබාය

කොට යට කබායක (වේස්ට්කෝට්) පළඳින විට ඇඳීමට මෙම කබාය වඩා උචිතයි. සම්භාව්‍ය උත්සව අවස්ථා සඳහා පැළඳිය හැකි අතර උස සිරුරු ඇත්තන්ට වඩාත් ගැලපෙනවා.

මේ කුමන මෝස්තරයේ කබාය ඇන්දත්, බොත්තම් 2ක් හෝ 3ක් සහිත කබායක් පළඳින විට පහතම බොත්තම කිසි විටෙක පියවන්නේ නැහැ. තනි බොත්තමේ කබායක් පළඳින විටෙක අසුන්ගන්නා අවස්ථාවකදී, එම බොත්තමද ගලවා දැමිය යුතුයි.

කබා පටිය

කබා පටි මෝස්තර තුනකි. (Tailor Made London)

සාමාන්‍ය ව්‍යවහාරයේ දී පොදුවේ කබා කොලරය යනුවෙන් හැඳින්වෙන්නේ මේ කබා පටියයි (Lapel). මෙය කබායේ අනෙකුත් කොටස් වලට සමානුපාතික විය යුතු අතර, විශාල කබා පටියක් සහිත කබා වැඩුණු සිරුරු ඇත්තවුන්ටත් කුඩා කබා පටියක් සහිත කබා කුඩා සිරුරු ඇත්තවුන්ටත් වඩාත් ගැලපෙනවා. සාමාන්‍යයෙන් මෙහි ප්‍රධාන මෝස්තර තුනක් දක්නට ලැබෙනවා.

1. නොච්

කොලරයේ පහත කෙලවරත්, කබා පටියේ ඉහළ කෙලවරත් කත්තුවක ආකාරයෙන් එක් කර මසා තිබෙන නිසා මෙනමින් හැඳින්වෙනවා. ඉතාම සුලබ මෝස්තරය වන මෙය සිංගල් බ්‍රෙස්ටඩ් කබායකට සුදුසුයි.

2. පීක්

උරහිස් දෙසට එල්ල වුණු තුඩක් සහිතයි. ඩබල් බ්‍රෙස්ටඩ් කබා වල සෑමවිටම දක්නට හැකියි.

3. ශෝල්

තුඩු හෝ කත්තු රහිතව වක්‍රාකාර ලෙස මසා ඇති මෙවැනි කබා පටි සහිත කබා ටක්සිඩෝ වල පමණක් දැකිය හැකියි. සැඳෑ සාදයන්ට වඩාත් සුදුසුයි.

පොදුවේ ගත්කළ, කබා පටිය පැතිරිය යුත්තේ කොලරයත් උරහිසත් අතර මධ්‍ය ලක්ෂය සමීපයට පමණයි.

කබා උරහිස්

කබා උරහිස් මෝස්තර. (Articles of Style)

කබායක් මැසීමේදී හෝ මිළදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රධානම ලක්ෂණය මෙයයි. කබායක උරහිස් ඔබට නොගැළපෙන්නේ නම්, එම කබායේ ප්‍රමාණය වෙනස් කර මැසීමෙන් වුවද ඔබට ගැලපෙන ලෙස සකස්කරගැනීමට නොහැකියි.

කබා උරහිස් එය පළඳින්නාගේ සිරුරේ හැඩය සම්පූර්ණ කළ යුතුයි. පහතට එල්ලා වැටෙන ආකරයේ උරහිස් ඇත්තවුන් උරහිස් පුම්බා සකස් කළ කබා ඇඳීම සුදුසුයි. ප‍ටු උරහිස් ද, උදරය ආශ්‍රිතව පුළුල් ද වන සිරුරක් සහිත පුද්ගලයින් වඩා පුළුල් උරහිස් සහිත කබායක් ‍තෝරාගත යුතුයි. ‘V’ හැඩයේ සිරුරක් ඇත්තෙකුට නම් විශේෂයෙන් මසන ලද කබා උරහිස් අවශ්‍ය වන්නේ නැහැ.

මතක තබා ගත යුතු විශේෂ කරුණක් වන්නේ කබා උරහිස් කිසි විටෙක එල්ලා වැටෙන ආකාරයට මසා නොතිබිය යුතු බව සහ අත් පහසුවෙන් එහා මෙහා කිරීමට ඉඩ සැලසිය යුතු බවයි.

කබා සාක්කු මෝස්තරය

කබා පපුවේ වම් පැත්තේ පිහිටන සම්මත සාක්කුවට අමතරව, අනෙක් සාක්කු වලට සාමාන්‍යයෙන් සම්මත මෝස්තර පහක් තිබෙනවා.

1. ටිකට් සාක්කු

දුම්රිය ටිකට් දමාගැනීමට නිපදවූ නිසා මෙනමින් හැඳින්වෙනවා. චාරිත්‍රානුකූල (Formal) කබා වලට වඩා, සාමාන්‍ය කබා වල (Casual) මේවා නිරීක්ෂණය කළ හැකියි.

2. ආනත වූ සාක්කු

‘ඇන්ගල්ඩ් පොකට්ස්’ යනුවෙන් හඳුන්වන මේවා නමේ ආකාරයටම ආනතව මසා තිබෙන අතර සෑම විටම එල්ලෙන පෙත්තක් සහිතයි.

3. පැච් සාක්කු

ක්‍රීඩා කබා වල දක්නට හැකියි.

4. ෆ්ලැප් සාක්කු

උකුළ් ප්‍රදේශය තර බව පෙන්වීමට මේවා වඩා සුදුසුයි.

5. ජෙටඩ් සාක්කු

එල්ලෙන වැසුම් පෙත්තක් රහිතයි. ටක්සිඩෝ වැනි චාරිත්‍රානුකූල කබා වල දක්නට හැකියි.

සාක්කු වර්ග. (realmenrealstyles.com)

කබා අතෙහි බොත්තම් මෝස්තරය

කබා අතක බොත්තම් 1 සිට 4 දක්වා සංඛ්‍යාවක් පැවතිය හැකියි. සූට් කබායක අතෙහි සම්මත බොත්තම් ගණන වන්නේ 4 වන අතර, ක්‍රීඩා කබා (Sports jacket) සඳහා සම්මත බොත්තම් ගණන 2ක් වනවා. කබායේ පපුවෙහි ඇති බොත්තම් ගණනට සමාන ගණනක් කබා අතෙහි මැසීම සාමාන්‍ය පිළිවෙතයි.

බොත්තම් 1ක්, 2ක්, 3ක්, හෝ 4ක්. (realmenrealstyle.com)

ඊට අමතරව කබා අතට මසන ලද බොත්තම් අතර දුර ප්‍රමාණය අනුවද පහත පින්තූරයේ පරිදි මෝස්තර තුනකට බෙදෙනවා.

(Black Lapel)

කබායේ පි‍ටුපස පැල්ම

මෙම පැල්ම තිබීම හෝ නොතිබීම කබායේ මෝස්තරය අනුව තීරණය වනවා. ප්‍රධාන පැලුම් මෝස්තර තුනක් දක්නට ලැබෙනවා.

ඉතාලි, ඇමරිකානු, සහ බ්‍රිතාන්‍ය මෝස්තරය (Ties.com)

1. ඉතාලි මෝස්තරය

පැලුමක් රහිතයි. සිරුරට වඩාත් ඇලී තිබෙනවා. මෙම නිසා හිඳගැනීමේදී සිරුරට අපහසුවක් දැනීම අනිවාර්යයයි.

2. ඇමරිකානු මෝස්තරය

කබාය පි‍ටුපස තනි පැලුමක් දක්නට හැකියි. මිල අඩුම පැලුම් මෝස්තරය මෙය වන අතර, පළඳින්නාට පුළුල් ශරීරයක් ඇත්තාක් වැනි පෙනුමක් ලබාදෙනවා.

3. බ්‍රිතාන්‍ය මෝස්තරය

කබාය පි‍ටුපස පැලුම් දෙකක් ඇති නිසා අපහසුවකින් තොරව හිඳගැනීමට හැකි අතර, කබාය නැමුම් ඇතිවී පොඩිවීම වළකාලනවා.

බොත්තම් සිදුර

කෘත්‍රිම රතු කානේෂන් මලක් බොත්තම් සිදුරේ පළඳවා ඇත. (Gentleman’s Gazette)

මෙය කබා පටියේ ඉහළ කෙලවරේ දක්නට ලැබෙන, පළල අඟල් 1 – 1.5 පමණ වන විවරයයි. සාමාන්‍ය සිරිත ලෙස අවමඟුල් හැරුණුකොට අන් උත්සව අවස්ථාවන්හි දී මෙම සිදුරෙහි ‍තෝරාගත් වර්ගයක මලක් පැලඳිය හැකියි.

සම්භාව්‍ය උත්සව අවස්ථාවන්හි දී රතු හෝ සුදු පැහැති මලකුත්, අන් අවස්ථාවන්හි දී වඩාත් වර්ණවත් මල්ද පැළඳීම සිරිතයි. පළඳින මල සෑම විටම පළඳින්නාගේ අනෙකුත් ඇඳුම් පැළඳුම් සමඟ ගැලපීම සිදුවිය යුතුයි. සාමාන්‍යයෙන් රෝස, කානේශන්, ගාර්ඩිනියා, සහ ඕකිඩ් බොත්තම් සිදුරෙහි පළඳින සම්මත මල් වර්ග වනවා.  

කලිසම්

(Hugo Boss)

සාමාන්‍ය කබායකට ඊට ගැලපෙන කලිසම් අඩංගු නොවුණත්, සූට් එකක් නම් මසන්නේ එයටම ගැලපෙන කලිසම් ද සමඟයි. සාමාන්‍යයෙන් පැතලි, සහ ‍රැලි සහිත යනුවෙන් ආකාර දෙකක කලිසම් මෝස්තර දක්නට ලැබුණත්, වර්තමානයේ වඩාත් ප්‍රචලිත මෝස්තරය වන්නේ ‍රැලි රහිත, පැතලි කලිසම් මෝස්තරයයි. නමුත් ‍රැලි තිබීම මගින් ඉණ ප්‍රදේශයේ අමතර ඉඩක් ලබාදීම මගින් සිරුරට වඩාත් පහසුවක් ලබාදෙනවා.

සූට් එකක්, එහෙම නැතිනම් කබායක් මිළටගැනීම හෝ මැස්සවීම ටිකක් මිළ අධික කටයුත්තක්. මේ නිසා බොහෝවිට වරකට ඔබ ළඟ තිබෙනු ඇත්තේ මේවායින් එක කට්ටලයක් හෝ දෙකක් පමණයි. එනිසා තමා සූට් එකක් මිළට ගන්නා විට අප ඉහත සඳහන් කර ඇති කරුණු පිළිබඳව මනා අවධානයක් යොමු කළහොත්, කාලයට ගැලපෙන, අවස්ථානුකූල, සහ ඔබට වඩා කඩවසම් පෙනුමක් ලබාදෙන කබායක් ‍තෝරාගැනීම වඩාත් පහසු කටයුත්තක් වේවි.

මූලාශ්‍ර : realmenrealstyle.com, merino.com, menswearhouse.com

කවරයේ පින්තුරය: (Esquire)

Related Articles