Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආලෝකෝ උදපාදි – තවත් එක් රජ කතාවක් පමණද?

ලාංකීය සිනමාවට “රජ කතා” යනු අලුත් දෙයක් නොවෙයි. මීට වසර හැත්තෑවකට පෙර එහි ආරම්භයේ පටන්ම මේ වනතෙක්, මේ වර්ගයේ චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වී තිබෙනවා. පසුගිය වසර කිහිපයේද ශ්‍රී ලාංකීය සිනමාශාලාවල මේ තේමාවට අනුව නිපදවුණු චිත්‍රපටල අඩුවක්ද දක්නට නැහැ. කෙසේ නමුත් මේවායින් බහුතරයක් අතිදැවැන්ත නිර්මාණ ලෙස නොඅඩුව සඳහන් කර ඒවායේ නිර්මාපකයන් ප්‍රචාරණ කටයුතුවල යෙදුනත් චිත්‍රපටය නැරඹීමෙන් පසු බහුතරයක් සිනමා රසිකයන් ඒ පිළිබඳ ප්‍රශංසා කිරීමට වඩා කලකිරීමට පත්වී තිබූ බව පෙනෙන්නට තිබූ කරුණක්.

එලෙස ඉතිහාසයේ නම රැන්දූ රජතුමෙකුගේ දිවිය වටා ගෙතුණු සිනමා නිර්මාණ තවත් එක් ඒකාකාරී මාතෘකාවක් බවට පත්වී තිබූ යුගයක, සිංහල ඉතිහාස පොතේ දැවැන්ත චරිතයක් වන වළගම්බා රජුගේ රාජ්‍ය සමයේ සිදුවූ වැදගත් සිදුවීම් පිළිබඳව ගෙතුණු කතා වස්තුවකින් යුත් සිනමා නිර්මාණයක පුර්ව ප්‍රචාරක පටයක් මීට වසරකට පමණ පෙර YouTube වෙබ් අඩවිය වෙත එක්වී තිබුණා. නිතර අන්තර්ජාලය පරිහරණය කරන, විදේශීය සිනමාපට හා රූපවාහිනී වෘතාන්ත නැරඹීමට බොහෝ සෙයින් හුරුවී සිටින, පෙරකී රජ කතා නරඹා ඒවායින් බහුතරය පිළිබඳව අයහපත් ආකල්ප සහිතව සිටි තරුණ පරපුරේ පවා අවධානය දිනාගන්නට එය සමත්ව තිබුණා. ලිපිය කියවන ඔබ යම් හේතුවක් නිසා තවමත් මේ කුමක්දැයි සිතමින් සිටිනවා නම්, පහතින් ඔබට එය නැරඹිය හැකියි.

මෙම පුර්ව ප්‍රචාරක පටය නැරඹු ඔබ මෙතෙක් දැක තිබූ සාම්ප්‍රදායික රජ කතාවලට වඩා වැඩි යමක් එහි දකින්නට ඇති බව නොඅනුමානයි. බහුතරයක් මේ ගණයේ චිත්‍රපට නිෂ්පාදනයෙන් පසු ඒවායේ නිර්මාණකරුවන් චිත්‍රපටය ප්‍රචාරණයට මහත් වෙහෙසක් දරන බව රහසක් නොවෙයි. නමුත් මේ පුර්ව ප්‍රචාරක පටය සමාජ ජාලවල පරිශීලකයන් එකිනෙකා හා බෙදාගන්නට යෙදුණේ එවැනි මහා පරිමාණයේ ප්‍රචාරණ කටයුත්තක ප්‍රතිඵලයකට වඩා එහි අන්තරගතය පිළිබඳ ඔවුන් දැක්වූ යහපත් ප්‍රතිචාරයක් ලෙසින්.

එලෙස තිරගතවීමට පෙර සිටම ප්‍රේක්ෂක ආකර්ෂණය නොමදව දිනාගත් “ආලෝකෝ උදපාදි” පසුගිය 20 වනදා තිරගතවීම ඇරඹුවා. පුර්ව ප්‍රචාරක පටයේ දැක්වුණු පරිදිම එය ලාංකීය සිනමාවට නව අරුතක් එක්කළ හැකි සිනමා නිර්මාණයක්ද යන්න පිළිබඳව ඔබට කුතුහලයක් ඇති. මේ සටහන ඒ පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි.

සිංහල සිනමා පටයක මෙවැනි රූපරාමු දකින ප්‍රේක්ෂකයන් ඊට වසඟ වීම අරුමයක් නොවේ (alokoudapadi.com

ආලෝකෝ උදපාදි තවත් එක් රජ කතාවක් නොවන්නට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙය වළගම්බා රජතුමාගේ ජිවිත කතාවේ සිනමා ප්‍රතිනිර්මාණයක් නොවීමයි. මෙතෙක් කල් සිංහල සිනමා ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ලැබුණු සාම්ප්‍රදායික රජ කතා සියල්ලම පාහේ රජවරුන්ගේ ජිවිත කතා රැගත් ඒකාකාරී නිර්මාණ වීම ඔවුන් බොහෝ දෙනා යළි සිනමාශාලා වෙත නොඑන්නට තුඩුදුන් කරුණක් බව දක්නට ලැබුණා.

ක්‍රිස්‌තු පූර්ව 89 දී වළගම්බා රජසමයේ මෙරටට පැමිණි චෝල ආක්‍රමණිකයන් මෙරට සම්පත් අත්පත් කරගන්නා අටියෙන් හා රජකම පැහැරගන්නා චේතනාවෙන් රටවැසියන් හා මහා සංඝරත්නය සමූලඝාතනය කරමින් හා මංපහරමින් හැසිරුණ ආකාරය, එකල සිරිලක විසූ තීය බමුණා හා බැමිණිය ඔවුන්ට සහය වූ අයුරු, චෝලයන්ගෙන් රට නැවත ලබා ගැනීමට වළගම්බා රජතුමා සටනේ යෙදුනු අයුරු සහ ඒ අතරතුර මුළු රටම වෙලාගත් මහා සාගතය නිසා එතෙක් කල් මුඛ පරම්පරාවෙන් ත්‍රිපිටකය ඇතුළු දහම් කරුණු රැකගෙන ආ සංඝයා වහන්සේලා කෙමෙන් අපවත් වන්නට වූ හෙයින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්නට යෙදුණු ආකාරය මෙහි ඉතා ආකර්ශණිය ආකාරයෙන් සිනමාවට නැගීමට නිර්මාණකරුවන් සමත්වී තිබෙනවා.

අධ්‍යක්ෂක චත්‍ර වීරමන් රූගත කිරීම් අතරතුර. (lankadeepa.com)

ආලෝකෝ උදපාදි තරුණ අධ්‍යක්ෂක චත්‍ර වීරමන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම වැනි චිත්‍රපට නිර්මාණය කළ හා මෙම චිත්‍රපටයේ තිර රචක සහ උපදේශක ලෙස කටයුතු කළ නීතිඥ සමන් වීරමන්ගේ පුතණුවන් වන ඔහු සමග තවත් නවකයන් රැසකගේ සාමුහික ප්‍රයත්නයක් ලෙසයි මෙය නිර්මාණය වන්නේ. චත්‍ර සමග මැලේසියාවේ Multimedia University හි අධ්‍යාපනය හැදෑරූ භාරත හෙට්ටිආරච්චි සම අධ්‍යක්ෂණයෙන් එක්වන අතර චිත්‍රපටයේ නිෂ්පාදන බරපැණ දරන්නේ Kandy City Center අධිපති තුසිත විජයසේන මහතා වන අතර මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රපටයක් ලෙස සැලකෙනවා.

චිත්‍රපටයේ වඩාත් ආකර්ශණිය ලෙස දක්නට ලැබෙන අංගයක් වන කැමරා අධ්‍යක්ෂණය ක්ෂේත්‍රයේ පළපුරුදු චරිතයක් වන ප්‍රභාත් රෝෂන් විසින් වන අතර තරුණ සංගීතඥ මිලින්ද තෙන්නකෝන් තම ප්‍රථම සංගීත අධ්‍යක්ෂණයෙන් ආලෝකෝ උදපාදි සඳහා දායකව තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා වළගම්බා රජු ලෙස උද්දික පේ‍්‍රමරත්න, අනුලා දේවිය ලෙස දිල්හානි ඒකනායක, සෝමා දේවිය ලෙස නිරෝෂා තලගල, ප්‍රධාන සොළී නායකයන් ලෙස  නිහාල් ප‍්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, ක්ලීටස් මෙන්ඩිස්, තීය බමුණා සහ බැමිණිය ලෙස රොෂාන් රවින්ද්‍ර හා මේනකා පිරිස් ද, බුද්ධදාස විතානආරච්චි, ජනක් පේ‍්‍රමලාල්, ඩබ්ලිව් ජයසිරි හා ඩග්ලස් රණසිංහ ඇතුළු නළුනිළි පිරිසක් රංගනයෙන් එක්වනවා.

පූර්ව නිෂ්පාදන කටයුතු සහ රූගතකිරීම්

කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රෝෂන් රූගත කිරීම් අතරතුර. (facebook.com/prabath.roshan.3)

චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා අවශ්‍ය ස්ථාන සොයාගැනීම, පසුතල නිර්මාණය ඇතුළු පූර්ව නිෂ්පාදන කටයුතු සඳහා අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායමට මාස අටක් වැනි කාලයක් ගතවී තිබෙනවා. චිත්‍රපටය සඳහා පසුතල 20ක් හා දර්ශනතල 96ක් නිර්මාණය වී ඇති අතර ලාංකීය සිනමා නිර්මාණයක් සඳහා නිපදවුණු වැඩිම පසුතල ගණනද මෙය වනවා.

අධ්‍යක්ෂක චත්‍ර වීරමන් පවසන පරිදි චිත්‍රපටයේ පුර්ව නිෂ්පාදන අවදියේ සිට රූගත කිරීම්වල අවසානය දක්වාම මෙහි කථාවස්තුවේ ඓතිහාසික නිරවද්‍යතාව ආරක්ෂාවන පරිදි නිර්මාණය කිරීමට ඔහු පළපුරුදු ඉතිහාසඥයන්ගේ සහය ලබාගෙන තිබෙනවා.

ලාංකීය සිනමාවට මුල්වරට හඳුන්වාදෙන නිෂ්පාදන සැලසුම්කරණය

Production design නොඑසේ නම් නිෂ්පාදන සැලසුම්කරණය තවමත් අපේ සිනමාවට අලුත් සංකල්පයක්. සාම්ප්‍රදායික කලා අධ්‍යක්ෂණයෙන් ඔබ්බට ගිය කාර්යයක් වන මෙහි අරමුණ වන්නේ ප්‍රේක්ෂකයා නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ දකින රූපරාමුව පසුතල නිර්මාණය, රංගවස්ත්‍ර හා වේශ නිරූපණය, කැමරාකරණය, ආලෝකකරණය හා වර්ණ සංයෝජනය ඇතුළු නිර්මාණ කාර්යයන් සියල්ලම පාහේ ඇසුරින් කථාවස්තුවට ගැළපෙන ලෙස නිර්මාණය හා රූපරාමුවකින් තවත් රූපරාමුවකට ස්ථායි ලෙස ගලායන ආකාරයෙන් අවසන් නිෂ්පාදන ඵලය ලබාගැනීම සඳහා සියලුදෙනා යොමුකිරීමයි.

ආලෝකෝ උදපාදි හි අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් මේ සඳහා විශේෂයෙන් ක්‍රියාකර තිබෙනවා. මේ සඳහා ඔවුන් storyboarding, නැතහොත් චිත්‍රපටයේ එන රූපරාමු රූගත කිරීමට පෙර චිත්‍ර ලෙස නිර්මාණය කර එක් එක් කැමරා කෝණවලින් එක් එක් දර්ශනය නිර්මාණය විය යුතු ආකාරය කලින් සැලසුම් කර තිබෙනවා. ආලෝකෝ උදපාදී හි සියලු රූපරාමු මෙලෙස storyboards 700කට ආසන්න ප්‍රමාණයක් ඇසුරින් පෙර-සැලසුම් කර තිබෙනවා. රුපරාමුවක පසුතලය, නළුනිළියන් හා අනෙකුත් සියලු දෑ සකස්විය යුතු ආකාරය සැලසුම් කිරීම සඳහා තමන් mise-en-scène වැනි සිනමා සංකල්පයන් යොදාගත් බව අධ්‍යක්ෂකවරයා පවසනවා. ඔවුන්ට අනුව ශ්‍රී ලාංකීය සිනමා නිර්මාණයක් සඳහා මෙවැනි නිෂ්පාදන සැලසුම්කරණ ක්‍රියාවලියක් යොදාගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවූ ආකාරය ඔබට පහතින් නැරඹීමේ හැකියාව තිබෙනවා.

දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණකරණය

Visual effects/VFX නැතහොත් දෘශ්‍ය ප්‍රයෝග කියන්නේ නූතන සිනමා නිර්මාණයේ නැතුවම බැරි අංගයක්. සිංහල සිනමාවේත් දෘශ්‍ය ප්‍රයෝග භාවිතය පසුගිය වසර කිහිපයේ සිට සුලභ ලෙස දක්නට ලැබුණත් ඒ කාර්යයන් තාත්වික ලෙස ප්‍රේක්ෂකයාට දක්නට ලැබුණ අවස්ථා නම් ඉතාම දුලබයි. ආලෝකෝ උදපාදිහි අධ්‍යක්ෂකවරයා ත්‍රිමාණ සජිවිකරණය ඇතුළු මේ ආශ්‍රිත කාර්යයන් අධ්‍යයනය කළ අයෙකු වශයෙන් තමන් සතු හැකියාවන් දක්ෂ ලෙස තම ප්‍රථම සිනමා නිර්මාණයට එක් කර ඇති බව පෙනෙන්නට තිබෙනවා.

මෙහි ඇතුළත් දෘශ්‍ය ප්‍රයෝග ප්‍රධාන වශයෙන් set extensions, matte paintings, crowd multiplications සහ CGI (Computer-Generated Imagery) ආකාරයෙන් කොටස් හතරක් ලෙස දැක්විය හැකියි. Set extension යනු පරිගණකය ඇසුරෙන් පසුතල විශාලනයයි. සත්‍ය වශයෙන්ම ගොඩනැගීමට අපහසු හා විශාල පිරිවැයක් වැයවන පසුතල හැකි පමණින් සත්‍ය ලෙස නිර්මාණය කර ඉතිරිය පරිගණකය ඇසුරෙන් ගොඩනගනු ලබනවා. දැනට සත්‍ය වශයෙන් රූගත කර ඇති දර්ශනයකට කතාවස්තුව ඉදිරිපත් කිරීම සඳහා අමතරව එකතු විය යුතු කොටස් අමතර ස්ථරයක් ලෙස එම රූපරාමුවට ගැළපෙන ලෙස එක්කිරීමෙන් matte paintings දෘශ්‍ය ප්‍රයෝග ලෙස භාවිතා කෙරෙනවා. චිත්‍රපටයේ එන මහා නියඟය නිසා වැනසී ගිය පරිසරය හා එකල රුවන්වැලිසෑය දක්නට ලැබුණු ආකාරය නිර්මාණය කිරීමට මෙම ක්‍රමය යොදාගෙන තිබෙනවා. පහත රූපයේ උඩ කොටසේ සත්‍ය රූපරාමුවත් යට කොටසේ දෘශ්‍ය ප්‍රයෝග එක්කිරීමෙන් පසු එය පෙනෙන අයුරුත් දැකගත හැකියි.

Matte painting ඇසුරෙන් රුවන්වැලිසෑය ප්‍රතිනිර්මාණය (vesess.com)

මීට අමතරව crowd multiplication භාවිතයෙන් විශාල ජන සමූහයක් පෙන්වීමට අවහ්‍ය අවස්ථාවලදී එම දර්ශනයට වුවමනා ගණනට සාපේක්ෂව සුළු ප්‍රමාණයක ජනකායක් සත්‍යලෙස රූගත කර පරිගණකය ඇසුරෙන් ඔවුන් ගුණනය කරනු ලබනවා. CGI මගින් සිදුවන්නේ යම් දර්ශනයක් සම්පුර්ණයෙන්ම පාහේ හෝ වැඩි ප්‍රමාණයක් ත්‍රිමාණ සජිවීකරණයන් ඇසුරෙන් පරිගණකයෙන් නිපදවීමයි. පසුතල විශාලනයෙන් පමණක් නිර්මාණය කිරීමෙන් කතාවස්තුවට සාධාරණයක් ඉටු නොවන අවස්ථාවලදී හෝ එම දර්ශනය කිසිසේත්ම සත්‍ය ලෙස නිර්මාණය කිරීමට නොහැකි අවස්ථාවලදී මෙය උපකාරී වනවා. පහත දැක්වෙන්නේ හොඳම උදාහරණයක්. (රුපයේ උඩ කොටසින් දැක්වෙන්නේ CGI එක්කිරීමට පෙර දර්ශනයයි)

මෙහි දැක්වෙන නෞකා හා මිදුම ඇතුළු දෑ සම්පුර්ණයෙන්ම පරිගණකයෙන් නිර්මිතයි (vesess.com)

ආලෝකෝ උදපාදි හි සියලුම දෘශ්‍ය ප්‍රයෝග ආශ්‍රිත කටයුතු අධ්‍යක්ෂක චත්‍ර ද ඇතුළුව Autumn Lane Studio විසින් සිදුකර තිබෙනවා. මෙය එම ආයතනය විසින් මෙවැනි සිනමා නිර්මාණයක් සඳහා තම දායකත්වය දැක්වූ ප්‍රථම අවස්ථාව බව සඳහන්. මීට පෙර ඔවුන් නිර්මාණය කළ චත්‍ර වීරමන් විසින්ම අධ්‍යක්ෂණය කළ සම්පූර්ණයෙන්ම ත්‍රිමාණ සජිවිකරණයන් භාවිතයෙන් නිපදවුණු සම්මාන රැසකට පාත්‍ර වූ කෙටි චිත්‍රපටයක් පහත දැක්වෙනවා.

ඇත්තටම මේ චිත්‍රපටයේ කියන තරම් වෙනසක් තිබෙනවාද?

කුමන ආකාරයේ තාක්ෂණයක් යොදාගත්තත්, කෙතරම් විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කළත් අවසන් ප්‍රතිඵලය පිළිබඳව ප්‍රේක්ෂකයා සෑහීමට පත්නොවන්නේ නම් ඒ කිසිම දෙයකින් තේරුමක් නැහැ. පූර්ව ප්‍රචාරක පටයේ දුටුවාක් මෙන් ප්‍රේක්ෂකයා ඇදබැඳ තබාගන්නට මේ චිත්‍රපටය සමත්ද යන්න බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක්.

එමෙන්ම මේ ලිපිය කියවන බහුතරයක් දෙනා අප මුලින් සඳහන් කළාක් මෙන් දෙස් විදෙස් දැවැන්ත සිනමා හා රූපවාහිනී නිර්මාණ නරඹා ඇති, අපේ සිනමාව කවදා ඒ මට්ටමට ගෙන එන්නට හැකි වේදැයි මොහොතක් හෝ කල්පනා කරන්නට ඇති අය බව නොඅනුමානයි. ඒ සැමටත්, පොදුවේ සිනමා රසිකයන් සියලු දෙනාටත්, ආලෝකෝ උදපාදි යනු සත්‍ය වශයෙන්ම හුදෙක් රජ කතාවක් නොව නියම ඓතිහාසික සිනමා වීර කතාවක් බව ආඩම්බරයෙන් පැවසිය හැකි සිනමා නිර්මාණයක් බව සැකහැර කිවහැකියි. ශ්‍රී ලංකාවේ තිරගත වීමට ප්‍රථම ජාත්‍යන්තර සම්මාන රැසකට පාත්‍ර වී ඇති එය ඒ සියලු සම්මාන ලැබීමට සුදුසුකම් උපරිම ලෙසින් සපුරා ඇති බවද සඳහන් කළ යුතුයි.

මෙය 1960 වසරේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ශූරින්ගේ “සංදේශය” සිනමාපටයෙන් පසු ජාත්‍යන්තර සිනමා උළෙලක  නිල තෝරාගැනීමක් (Official Selection) ලෙස එම සිනමා උළෙල නියෝජනය කිරීමට සමත් වූ ඓතිහාසික කතා තේමාවක් රැගත් සිනමා නිර්මාණයක් වනවා. කෙසේ නමුත් “ජාත්‍යන්තර සම්මාන ලත්” කියන්නේ තම චිත්‍රපටයේ වෙළඳ ප්‍රචාරණය සඳහා නිෂ්පාදකයින් හිතුමතේ අවභාවිත කරන වැකියක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් ආලෝකෝ උදපාදි යනු, සැබෑ සිනමා රසිකයෙකු ලෙස රසවිඳින්නට හැකි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඓතිහාසික වීරකාව්‍යක (historical epic) සිනමාකරණයක් බව පැවසිය හැකියි. ඒ ඇයි? අපි සොයා බලමු.

මේ රූපරාමු සම්ප්‍රදායික සිනමාපටයකට එහා ගිය යමක් පෙන්වන බව ඔබ සිතුවානම් ඒ අනුමානය ඉතා නිවැරදියි. (facebook.com/shehanob)

මීට පෙර සඳහන් කළ පරිදි ආලෝකෝ උදපාදි යනු ලාංකීය සිනමාවේ ප්‍රථම වරට නිෂ්පාදන සැලසුම්කරණ (Production design) ක්‍රියාවලියක් සහිතව නිර්මාණයවූ චිත්‍රපටයක්. එහි ප්‍රතිඵල සිනමා නිර්මාණය පුරාවටම ඔබට දැකගත හැකියි. බහුතරයක් දැවැන්ත යැයි කියාගන්නා රජ කතාවල දක්නට ලැබෙන කරුණක් නම් ඒවා විශාල වියදමක් දරා අතිමහත් පිරිසකගේ සහය ඇතිව නිපදවා ඇති අරුමෝසම් රංගවස්ත්‍රවලින් සැරසුණු චලන රූප පමණක් පමණක් විනා ගුණාත්මක ලෙස නිර්මාණය වූ සිනමා කෘති නොවීමයි. ආලෝකෝ උදපාදි හි සෑම රූපරාමුවක්ම මේ සම්ප්‍රදාය අතික්‍රමණය කළ ප්‍රේක්ෂකයාට නියමාකාරයෙන් රසවිඳින්නට යමක් සහිත බව හොඳින් කියාපාන බව දැකිය හැකියි.

මෙහි කැමරා අධ්‍යක්ෂණය ඉතා ප්‍රශස්ත මට්ටමක තිබෙන බව ඔබට පූර්ව ප්‍රචාරක පටයේද දැකිය හැකි කරුණක්. චිත්‍රපටය නරඹන ඔබට එය තවත් හොඳින් අත්දැකිය හැකියි. බොහොමයක් සිංහල චිත්‍රපට සිනමාත්මක ලෙස ඉදිරිපත් කරනවාට වඩා පෙනෙන්නට තිබෙන්නේ වේදිකා නාට්‍යයක් වේදිකාව ඉදිරිපස සිට රූගත කර චිත්‍රපටයක් ලෙස එළිදක්වා ඇති බවක්. නමුත් මෙහි එන දර්ශන සියල්ලම පාහේ චිත්‍රපටයේ කතාවස්තුව ප්‍රේක්ෂකයාට දැනෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සමත්.

සාම්ප්‍රදායික සිංහල චිත්‍රපට අධ්‍යක්ෂකවරු (නවක හා ප්‍රවීණ) බහුතරයක් වැඩි අවධානයක් යොමු කරන බව පෙනෙන්නට නොමැති, නමුත් සිනමා නිර්මාණයක තාත්වික බව හා ඒ ඒ දර්ශනය ප්‍රේක්ෂකයාට දැනෙන ලෙස ඉදිරිපත් කිරීමට අත්‍යාවශ්‍ය කරුණක් ලෙස color grading නැතහොත් වර්ණ සංයෝජන ක්‍රියාවලිය දැක්විය හැකියි. රුපරාමුවක වර්ණ සංයෝජනය උචිත ලෙස භාවිතයෙන් රූගත කරන අවස්ථාවේ හිස් හෝ නීරස ලෙස පෙනෙන දර්ශනයක් ඊට සහමුලින්ම වෙනස් ආකාරයකින් දැක්විය හැකියි.

උදාහරණයක් ලෙස බොහොමයක් වාණිජ බොලිවුඩ් චිත්‍රපට ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය දිනාගන්නා දීප්තිමත් හා වෛවර්ණ බවකින් යුක්තයි. භයංකාර හා දුක්මුසු හැඟීම දනවන අවස්ථාවල රූපරාමු අඳුරු ලෙස හා දීප්තිමත් වර්ණ අඩුවෙන් භාවිතා කර ඉදිරිපත් කිරීම බොහොමයක් විදෙස් නිර්මාණවල දක්නට ලැබෙන කරුණක්. මෙමගින් ප්‍රේක්ෂකයාගේ හැඟීම් තමන්ට අවශ්‍ය අයුරින් මෙහෙයවන්නට අධ්‍යක්ෂකවරයාට හැකියි.  නමුත් සරලව කියනවා නම් අපේ චිත්‍රපට බොහොමයක දක්නට ඇත්තේ දහසක් දෙනා මියගිය දර්ශනයක් වුවත් පාට පාට මල් ලෙසින් ඉදිරිපත් කර ඇති බවක්. ආලෝකෝ උදපාදී වර්ණ සංයෝජනය ඉතා විශිෂ්ට ආකාරයෙන් තම කතාවස්තුවට ගැළපෙන ලෙස යොදාගත් සිනමා නිර්මාණයක් වන්නේ රංගවස්ත්‍ර, පසුතල හා ආලෝකකරණය ඇතුළු සියලුම අංග නිෂ්පාදන සැලසුම්කරණය දක්ෂ ලෙස භාවිතා කරමින් අවසන් ප්‍රතිඵලය ඉතා ආකර්ෂණිය ලෙස ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර තිබෙන නිසාවෙන්. වර්ණ සංයෝජනය සිනමා නිර්මාණයකට කෙතරම් වැදගත් ද යන්න ඔබට පහත video clip එක ඇසුරෙන් වැඩිදුරටත් උගත හැකියි.

මෙය තවත් එක් රජ කතාවත් නොවන්නට රංගන ශිල්පීන්ගෙන් හා වේශ නිරූපණයෙන් ලැබී ඇති දායකත්වය ගැනද සඳහන් කළ යුතුයි. වර්තමානයේ හතු පිපෙන්නාක් මෙන් නිෂ්පාදනය වන බොහෝ චිත්‍රපටවල අපට දක්නට ලැබෙන්නේ එකම නළුනිළි පිරිස එකම ආකාරයේ රංගවස්ත්‍රවලින් සැරසී, ඒකාකාරී පසුතල සහිත “රජ” යන වචනය හැර ඉතිරිය පමණක් වෙනස් වූ නමක් ඇති චිත්‍රපටයක රංගනයක් ඉදිරිපත් කරන අයුරුයි.

ආලෝකෝ උදපාදි හි ප්‍රධාන චරිත මෙන්ම අතිරේක නළුනිළි පිරිසද එහි කතා තේමාවට සරිලන ආකාරයෙන් ප්‍රශංසනීය රංගනයක් ඉදිරිපත් කර තිබෙනවා. බොහොමයක් දැවැන්ත ලෙස හුවා දක්වන චිත්‍රපටවල අතිරේක චරිත විශාල වශයෙන් යොදාගන්නා බව පෙනෙන්නට තිබුණත් ප්‍රේක්ෂකයාට අවසානයේ දක්නට ලැබෙන්නේ ඔවුන් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවාට වඩා රූගත කිරීම නැරඹීමට ආ පිරිසක් රංගවස්ත්‍රවලින් සැරසී ඔහේ හිටං බලා ඉන්නා බවක්. මෙමගින් චිත්‍රපටයක කතා තේමාව ඉදිරිපත් කිරීමේදී වන හානිය සුළුපටු නැහැ. සමස්තයක් ලෙස ගත්කළ ආලෝකෝ උදපාදි හි ප්‍රධාන මෙන්ම අතිරේක රංගනයන්ද සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනෙන්නට ඇති කරුණක්.

ලොකු කුඩා සෑම රංගනයක්ම පාහේ කතාවස්තුව ඉදිරිපත් කිරීමට දෙන සහය සුළුකොට තැකිය යුතු නැහැ. (alokoudapadi.com)

මෙහි ප්‍රධාන හා අතිරේක රංගනයන් සියල්ල සාපේක්ෂව තාත්විකව නිරුපණය කරන ලෙස රංගන ශිල්පීන් හා ශිල්පිනියන් හැසිරවීමට අධ්‍යක්ෂකවරයා සමත්ව තිබෙනවා. තමන් චිත්‍රපටයක් නරඹනවා යන්න ප්‍රේක්ෂකයාට අමතකව ගොස් එහි එන දර්ශනය සත්‍ය ලෙස රසවිඳීමට ඔහු/ඇය යොමු වීමට රංගනයේ තාත්වික බව ඉතා වැදගත්.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් නම් මෙහි එන සටන් හා යුධ ජවනිකා නිර්මාණයයි. චිත්‍රපටයේ ඉතා හොඳින් නිර්මාණය වී ඇති අංග රැසක් අතරේ මෙය කැපී පෙනන අංගයක්. ඔබ තවමත් චිත්‍රපටය නරඹා නැතිනම්, සිංහල සිනමා නිර්මාණයක ඔබ මෙතෙක් නුදුටු, දීර්ඝතම, තාත්විකම, හා ඉතා විශිෂ්ට කැමරා අධ්‍යක්ෂණයකින් යුතු සටනක් නැරඹීමේ අවස්ථාව ආලෝකෝ උදපාදි ඔබට උදා කර දෙනවා. මේ කියන්නේ විශේෂයෙන්ම The Lord of The Rings, Game of Thrones – The Battle of Bastards වැනි විදෙස් නිර්මාණ නරඹා ඇති රසිකයන්ට ඒ දර්ශනවලට අභියෝග කළ හැකි නිර්මාණ තැනීමට හැකියාවක් ඇත්තවුන් අපේ රටේද සිටින බවට හොඳම උදාහරණයක් මෙහි ඔබට දැකගත හැකි බවයි.

සටන් අධ්‍යක්ෂණය හා crowd multiplication වැනි දෘශ්‍ය ප්‍රයෝග භාවිතය මෙහිදී ඉතා උසස් අන්දමින් දැකගත හැකියි. මෙතෙක් ඔබ දැක ඇති සිංහල සිනමා නිර්මාණවල බොහෝ සටන් තාත්වික භාවය අතින් ගත් කළ ඇත්තේ පහළ මට්ටමක බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුයි. හැමදාම අසන්නට ලැබෙන ඩිෂුම් හඬවල් සහ පහරක් කෑමට පෙර අතාත්වික ලෙස හතර අතේ ඇදවැටෙන චරිත දුටුවිට ප්‍රේක්ෂකයන් සිනා පහළ කරනවා මිස සටනක් දෙස භීතියෙන් හෝ සටන් වදින්නන්ගේ රංගන හැකියාවන් දෙස මහත් ප්‍රසාදයෙන් බලා සිටින අවස්ථා ලාංකීය සිනමාවේ ඉතා විරලයි. ආලෝකෝ උදපාදි ඒ සම්ප්‍රදාය බිඳදමා අවසානයි.

සිංහල සිනමා සටන් ජවනිකාවල නවතම පෙරළිය (giphy.com)

නවක සංගීතඥ මිලින්ද තෙන්නකෝන්ගේ කුළුඳුල් සංගීත අධ්‍යක්ෂණය චිත්‍රපටයට එක් කර ඇති ගුණාත්මකභාවයද ඉතා ඉහළයි. චිත්‍රපටයක පසුබිම් සංගීතය එහි රුපරාමුවලින් කියවෙන කතාව ප්‍රේක්ෂකයාගේ හදවතට කාවදින ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අත්‍යාවශ්‍යම කරුණක්. මෙහිදී එහි ප්‍රතිඵල හොඳින්ම දැකගත හැකියි. පසුබිම් සංගීතයට අමතරව පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගේය පද රචනයෙන්, මිලින්ද තෙන්නකෝන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන්, සමන්ත පෙරේරා හා අමරසිරි පීරිස්ගේ හඬින් ගීතවත් වන මෙහි එන ගීතද ඉතා අලංකාර හා කන්කළු ලෙස චිත්‍රපටයේ තේමාව ප්‍රේක්ෂකයාට තවතවත් සමීප කරන්නට දායකවී තිබෙනවා. මෙහි එන එක් ගීතයක් ඔබට පහතින් නැරඹිය හැකියි.

එතකොට මේකෙ කිසිම වැරද්දක් ඇත්තෙම නැද්ද?

මේ බොහෝ දෙනා කතා කරන්නට අවශ්‍ය වුවත් යම්දෙයක දක්නට ඇති හොඳ ගුණාංග වැඩි අවස්ථාවලදී ඒ ගැන සලකාබලා නොසලකා හරින කාරණයක්. හොඳ වැඩි වුණ තරමට යමක් සර්වසම්පූර්ණ ලෙස සැලකිය යුතු නැහැ. අර්ථකාරි/පෝෂක  සිනමා විචාරයක් ලෙස මෙහිදීද එසේ නොසලකා හරින්නට කිසිම බලාපොරොත්තුවක්ද නැහැ. මෙතෙක් දක්නට ලැබුණු චිත්‍රපටවලට සාපේක්ෂව ඉතා විශිෂ්ට සිනමා කෘතියක් ලෙස හැඳින්විය හැකි වුවත් ආලෝකෝ උදපාදී හි වැරදි නැතැයි කියා ප්‍රේක්ෂකයන් මෙන්ම නිර්මාණකරුවන්ද නොමඟ යැවිය යුතු නැතැයි අප විශ්වාස කරනවා.

චිත්‍රපටයේ මුල් භාගයේ සමහර අවස්ථාවලදී එහි කතාවේ අඛණ්ඩ ගලායාමට බාධා වූ අවස්ථා සහ සමහරක් චරිත හඳුන්වාදීමේදී එම චරිතවල වැදගත්කමට අනුකූලව ඒ අවස්ථා ඊට වඩා ඉස්මතුකර දැක්විය යුතු බව පෙනෙන්නට තිබුණා. (උදා: සෝමා දේවිය හා අනුලා දේවිය) මීට අමතරව ඉතිහාසයේ වැදගත් අවස්ථා ලෙස සැලකෙන සමහර අවස්ථා මෙහි නිරූපණයේදී එතරම් ඉස්මතුවී තිබූ නැති බවක් හැඟුණු අවස්ථා කිහිපයක්ද තිබුණා. උදාහරණ ලෙස රජ මාළිගය ආක්‍රමණිකයන් විසිත් අත්පත් කරගත් අවස්ථාවේ වූ සටන සහ රජ පවුල අස්රියෙන් පලායන අවස්ථාවේදී චෝල ආක්‍රමණිකයන් ඔවුන් පසුපස හඹා ඒම වැලක්වීමට සෝමා දේවිය කළ කැපකිරීම වැනි දෑ දැක්විය හැකියි. බොහෝවිට මේ සඳහා නිෂ්පාදන පිරිවැය බලපෑ බව උපකල්පනය කළ හැකිමුත් ඒ නිසා චිත්‍රපටයේ කතාවස්තුවට යම් තරමක හානියක් වී ඇති බව පෙනෙන්නට ඇති කරුණක්.

තීය බැමිණිය හැරෙන්නට චිත්‍රපටයේ අනෙකුත් ප්‍රධාන කාන්තා චරිත කතාවේ ගලයාමට එතරම් බලපෑමක් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. සමහර අතිරේක කාන්තා චරිතවල (චෝල ආක්‍රමණිකයන් විසින් සංහාරයට ලක්වූ ගම්මුන් වැනි)  රංගනයන් ඔවුන්ට වඩා ඒ එක් එක් සිදුවීම්වල බිහිසුණු බව හා තාත්වික බව ප්‍රේක්ෂකයාට දැනෙන්නට උපකාරී වූ බවද දක්නට ලැබුණා. තවද ආරම්භක දර්ශනයේදී විශිෂ්ට රංගනයක් එක්කළ පුල්ළහත්ථි සෙනවියා වැනි චරිතවලට අත්වූ ඉරණම ප්‍රේක්ෂකයාට දකින්නට සලස්වා තිබුණානම් තවත් නිර්මාණාත්මකභාවය ඉහළ යාමට අවස්ථාව තිබුණා.

නිහාල් ප්‍රනාන්දු පුල්ළහත්ථි සෙනවි ලෙස. (facebook.com/shehanob)

චිත්‍රපටයේ set extensions, crowd multiplication හා CGI වැනි දෘශ්‍ය ප්‍රයෝග බහුලව යොදාගෙන තිබුණද බොහෝ දෙනෙක්ට ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවී ඇති  බවද දක්නට ලැබුණා. එය අධ්‍යක්ෂකවරයා ඇතුළු VFX නිර්මාණකරුවන්ගේ ජයග්‍රහණයක් බව සැලකිය යුතුයි. මන්දයත් මෙතෙක් දක්නට ලැබුණු බොහෝ චිත්‍රපටවල දෘශ්‍ය ප්‍රයෝග යොදාගත් බව හොඳින් පෙනෙන්නට තිබුණා. එය දෘශ්‍ය ප්‍රයෝග ක්ෂේත්‍රය අතින් සැලකුවිට ඔවුන් ලැබූ පරාජයක්. මෙහි එන චෝල ආක්‍රමණිකයන්ගේ නෞකාවල ආගමනය, වළගම්බා රජ මාළිගය වැනි දෑ අධ්‍යක්ෂකවරයා වැනි දක්ෂ නිර්මාණ ශිල්පියෙකුට තම හැකියාව මීට වඩා එළිදැක්විය හැකි අවස්ථා බව පෙනීයන කරුණක්. නමුත් මෙය ඔහුගේ ප්‍රථම නිර්මාණය හෙයින්, හැකියාව තිබුණද උවමනාවට වඩා දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණයෙන් වැළකී සිටි බව ඔහු පවසා තිබුණා.

පළපුරුදු අධ්‍යක්ෂකවරයෙකු වන සමන් වීරමන් මහතාගේ රචනයක් වුවද චිත්‍රපටයේ තිර රචනයේ සමහර තැන්වල වෙනදා දකින ඒකාකාරී බව මද වශයෙන් දක්නට තිබුණත් එය සිනමාත්මකව ඉදිරිපත් කිරීමේදී එවැනි අවස්ථා වුවත් කතාවස්තුවේ ගලායාමට බාධා නොවන ලෙස නිර්මාණය වී තිබූ බවද සඳහන් කළ යුතුයි.

අවසානයේදී සමස්ථයක් වශයෙන් ගත් කළ කිවයුත්තේ යම් අඩුපාඩු දක්නට තිබුණද ආලෝකෝ උදපාදි මේ වන විට හැත්තෑවසරක් සපුරන ලාංකීය සිනමාවේ සැබෑ හැරවුම් ලක්ෂයක් බවයි. වට්ටෝරු රජ කතා සම්ප්‍රදායෙන් බැහැරව, ඓතහාසික සිදුවීම් රජෙකුගේ සම්බන්ධතාවය ඇතිව සිදුවූ ආකාරය සිනමාවට නගා ඇති ආකාරය සැබවින්ම ප්‍රශංසනීයයි. ඉතිහාසය සිනමාගත කිරීමේදී ප්‍රවීණ ලෙස සැලකෙන බොහෝ අධ්‍යක්ෂකවරුන්ට මගහැරී ඇති සියුම් කරුණු දක්ෂ ලෙස හසුරවමින්, ඉතිහාසය ඇසුරෙන් හුදෙක් වාණිජමය පරමාර්ථයෙන්ම නිපදවුණු චලන රූප පෙළකට වඩා ආකර්ශණිය සැබෑ සිනමා කෘතියක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නට ආලෝකෝ උදපාදි නිර්මාණකරුවන් සමත්ව තිබෙනවා. රජ චරිතය මතම එල්බ නොසිට සතුරු ආක්‍රමණ, සාගතය, ජන සංහාර හා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම වැනි සිදුවීම් ඉතා හොඳින් ප්‍රතිනිර්මාණය කිරීමට ඔවුන් සමත්ව තිබෙනවා. චිත්‍රපටය අවසානයේදී  සටනින් රජුගේ ජයග්‍රහණය ඉස්මතුකර දක්වනවාට වඩා රජු එසේ යුද වැදීමට හේතුවූ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා රටවැසියන්ගේ සහජීවනය පෙන්වා ඇති ආකාරය මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකියි.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම (alokoudapadi.com)

පාඨක ඔබත් ආලෝකෝ උදපාදි නැරඹුවාද? නරඹන්නට අදහස් කර සිටිනවාද? මේ පිළිබඳ ඔබේ අදහස් මොනවාද? මේ සියලු දේ පහත comment මගින් සටහන් කරන්න. මේ ලිපිය ඔබේ සිත්ගත්තානම්, ඔබේ අදහසත් මේ හා සමාන නම් මිතුරන් සමග මෙය බෙදාගැනීමටත් අප ඔබට ආරාධනා කරනවා.

(සැ.යු.: චිත්‍රපටයේ ගුණදොස් විචාරය රචකයාගේ පෞද්ගලික අදහසක් පමණි)

මූලාශ්‍ර: Aloko Udapadi: The Making of an Epic, Sarasaviya.lk, Divaina.com, alokoudapadi.com

Related Articles