නාගයන්ට වන්දනාමාන කළ පුරාණ මිනිස්සු

ලංකාවේ අතීතයේ පටන් ම නාග කියන නම ජනප්‍රිය මෙන් ම ගෞරවයට ලක්වූත් නාමයක්.  නාග නමින් නාගයන් වගේ ම නාග ගෝත්‍රිකයනුත් හැඳින්වෙනවා. නාග සංකේත දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී තිබෙනවා.

නාගයන්ට වඳින දේවාල ගැනත් පම් පළාත්වලින් හිටපු ගමන් වාර්තා වෙනවා. කැලණියෙන්  පසුගිය දවස්වල නාගයකු මතුවූ බවටත් කතාවක් පතුරුවා හැරි බව අපට මතකයි. මේ නාග ඇදිහිල්ලේ අතීතය සොයා ගිය ගමනක්.

ඉන්දියාවේ නාගයන්ට වන්දනා කරන ස්ථානයක් – wordzz.com

නාග ගෝත්‍ර

ශ්‍රී ලංකාව, ඉන්දියාව මෙන් ම පුරාණ ඊජිප්තුව, මධ්‍යම අමෙරිකාව, කාම්බෝජය, චිනය, ජපානය, ඇතුළු රටවල් රාශියක පුරාණයේ නාග සහ සර්ප වන්දනාව පැතිර තිබුණා. ආසියානු ජනප්‍රවාද තුළ නාග යන වචනය තුන් තැනෙක යෙදෙන බව පේනවා. පළමුවැන්න තමයි බෞද්ධ, හින්දු සහ ජෛන ආගම් ආශ්‍රිත ව දැක්වෙන නාග සංකල්පය. දෙවැන්න ලෙස මහා භාරත කෘතියේ  එන නාග රාජධානිය දැක්විය හැකි යි. තුන්වැන්න ටිබෙට් සානුවෙන් පටන්ගෙන බුරුමය, ලා ඕසය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය යන රටවල් ආශ්‍රිතව ගලා බසින කිලෝමීටර් 4350 ක් දිග මීකොං ගංගාව ආශ්‍රයෙහි ජීවත් වූ බව සැලකෙන ඵයා නාග  නමැති අද්භූත සත්ත්ව විශේෂය යි.

 අනුරාධපුරයේ ෙපාකුණක නාග කැටයමක්- a2zsrilanka.com

 

මහින්දාගමනයට පෙර පැවති ඇදහිලි හා පුදසිරිත් ගැන සඳහන් කරන මහාවංස කතුවරයා නාගයන් ඇදහීම ගැන කිසිදු තොරතුරක් ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් එහි නාග ගෝත්‍රිකයන් ගැන විස්තර හමු වෙනවා. පුරාතන ලංකාවාසීහු නාග නමැති සංකල්පයක එන නාග දේව විශේෂයකට වැඳුම් පිදුම් කළ බව පේනවා.

ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ම ගෝත්‍ර හෝ කණ්ඩායම් වශයෙන් මෙරට ජන කොටස් ජීවත් වී තිබෙනවා. එම ගෝත්‍ර නාග, යක්ෂ, රාක්ෂ සහ දේව ලෙස හඳුන්වා ඇති බව ඓතිහාසික මූලාශ්‍ර අනු ව පැහැදිලි වෙනවා. නාගයන්ගේ ඉතිහාසය ගැන සඳහන් ග්‍රන්ථ අතර මහාභාරතය සහ වරාහ පුරාණය වැදගත් වෙනවා.

 නාගයන්ට වඳින පිරිසක් ඉන්දියාවේ අදත් ඉන්නවා – wordzz.com

ඉන්දියාවේ නාග වන්දනාව

නාග වංශිකයන් ඉන්දියාවේ අදටත් සිටින බව පැවසෙනවා. වෛදික ඇදහීම්වල නාගයාට වන්දනාමාන කරනු අදත් දැකගත හැකි යි. නාග් පංචාමි නමින් නාගයන්ට වන්දනා කරන වාර්ෂික උත්සවයක් ද ඉන්දියාවේ පැවැත්වෙනවා.  නාලන්දා නටබුන්වලින් හම්බවෙලා තියෙනවා ක්‍රි.පූ.6 වන සියවසට අයත් පෙන 9 ක නාග රූපයක්.

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල නාග ලෙස හඳුන්වන්නේ සැබෑ නාගයායි. දේවත්වයට පත්වූ නාගයන් ගැන පුරාණ වෛදික පොත්වල සඳහන්ව තිබෙනවා. හින්දු දේවකතාවල නාග රජ හැඳින්වෙන්නේ විසූකි යනුවෙන්.මේ ඇදහිලි දකුණු ඉන්දියාවේ ද පැතිර තිබූ අතර ඒ හරහා ලංකාවටද එන්නට ඇතැයි සැලකෙනවා. නාගයන්ගේ වාස භූමිය පොළොව යට සේ සැලකෙනවා. මුහුද යට යොදුන් 500ක් දුර වූ නාග ලෝකයක් ගැන මහාවංශය දක්වනවා.

නාග් පංචාමි වාර්ෂික උත්සවය – gettyimages.com

ලංකාවේ නාග ගෝත්‍ර

වංශකතාවල ලංකාවේ නාග නමින් මනුෂ්‍ය කොටසක් සිටි බව සඳහන් වෙනවා. බුදුන් වහන්සේ ප්‍රථම වරට මහියංගනයට වැඩම කරන්නේ යක්ෂයන් දමනය කිරිමට වුවත් එවකට ඒ අවට නාගයන් ද සිටි බව පැවසෙනවා.මහාවංශයට අනුව එවකට  මහියංගණයේ මහානාග නමැති සුවිශාල උද්‍යානයක් තිබුණා. බුදුන් වහන්සේ එම උද්‍යානනයේ සිටයි එවකට ලංකාවේ විසූ  යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීමට ධර්ම දේශනා කරන්නේ.

4 සේරුවිල බුද්ධ ප්‍රතිමාව-  researchgate.net

මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ලංකාවේ සතර දෙසින් පැමිණි යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් මහානාග උයන පිරී ගිය බව මහාවංශයේ පැවසෙනවා.ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට රාක්ෂ ගෝත්‍රිකයන්ද රහසින් පැමිණ සිටියා. ධර්ම දේශනාව අවසානයේදී යක්ෂ, රාක්ෂ ගෝත‍්‍රික සියලූ ජනයා බුදුදහම වැලඳගත් බව සඳහන් වෙනවා.  

මෙහිදී සිදුවූ තවත් දෙයක් නම් බුදුන් වහන්සේගේ ධර්මයට අභියෝග කිරීම සඳහා කැලණියේ සිට මහානාග උයනට පැමිණ සිටි මනිඅක්ඛිත නමැති නාග ගෝත්‍රික රජු සහ පිරිවර බණ අසා බුදුදහම වැලඳ ගැනීම යි.

රත්න ප්‍රාසාදයේ නාග රාජ මුරගල- a2zsrilanka.com

නාගදීපය

බුදුන් වහන්සේ දෙවැනි වර වැඩම කරන්නේ නාගදීපයට යි. ඒ නාග ගෝත්‍රික පිරිසකගේ ආරාවුලක් සංසිඳවීමට යි. නාගයන් අතර නාග රජවරුන් ද සිටි බව මහාවංශයේ දැක්වෙනවා. චූලෝදර, මහෝදර ලෙස ඒ නාග රජවරුන් සඳහන්. කැලණියේ විසූ මණිඅක්ඛික නා රජු  සමඟ නාගදීපයේ රජවරුන්ගේ ඥාති සම්බන්ධයක් තිබූ බව පැවසෙනවා.

 ඒ අනුව නාගදීපය සහ කැලණිය නාග ගෝත්‍රිකයන් ජීවත්වුණු ප්‍රධාන ප්‍රදේශ විදියටයි සැලකෙන්නේ. මීට අමතර ව මහියංගනය, රිදී මාලියැද්ද ප්‍රදේශයත් නාගදීප නමින් ගමක් තිබෙනවා.  ජාතක පොතේත් ලංකාවේ නාගයන් ගැන සඳහනක් ද තියෙනවා.

පුරාණ වැව් අමුණු, පොකුණු ආදී ජලයට සම්බන්ධ නොයෙක් ස්ථානවල නාග රූප දකින්නට පුළුවන්. නාගයා ජලයට අධිපති ලෙස සැලකූ බවට ඉඟියක් ඒවායින් සැපයෙනවා. කුට්ටම් පොකුණ, ඌරුසිටා වැව සොරොව්ව, මිහින්තලේ නාග පොකුණ ආදිය නාග සංකේත සහිත ස්ථානවලට උදාහරණ සපයනවා. සේරුවාවිල දාගබ අසලින් පෙන  9ක් තියෙන නාග රූපයකින් රැකවරණය ලබන බුදු පිළිමයක් හමු වී තිබෙනවා. අනුරාධපුර යුගයේ බොහෝ මුරගල්වල පෙන 5කින් යුත් නාගරාජ රූප දැකගත හැකි යි.

අනුරාධපුර-හොරොව්පතාන, පරංගි වාඩියට නුදුරින් වන මැද නැගෙනහිර පළාත් මායිම ආසන්නයේ පිහිටි තලපත්කුලම වැව අසල ගල් පර්වතයක කෙටූ  නයි පෙන හත සහිත නාග – නාගිනී රුව ඉතා දුලබ කැටයමක් ලෙස දැක්විය හැකි යි.  කුරුණෑගල පොල්පිතිගම ආසන්නයේ පිහිටි නයින්දනාව විහාරයේ ද ගල් පව්වක කෙටූ පෙන හතක් සහිත අලංකාර නාග රූපයක් දැකගත හැකි යි.

තලපත්කුලම වැවේ කැටයම -KapilaSenadhira, amazing lanka.com

නාගයන් සම්බන්ධ මහාවංශ පුවත්

දේවානම්පියතිස්‌ස රජු සමයෙහි රුහුණේ පාලකයා ලෙස කටයුතු කළේ යුවරජ මහානාග යි. එකල අශෝකාධිරාජයාගේ අනුග්‍රහයෙන් දඹදිව සිට ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩ ම කරවාගෙන එන අවස්‌ථාවේදී නාගයන්, එම බෝධි ශාඛා වහන්සේ නාලොව වෙත වැඩම කරවා ගෙන ගොස්‌ සත් දිනක්‌ පූජෝපාහාර සත්කාර පවත්වා ආපසු නාවික යාත්‍රාවට ගෙනවිත් බාරදුන් බව මහාවංශය සඳහන් කරනවා.

දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමේදී නාගයන්ගෙන්  බාධා වූ බවත් තාම්‍රලිප්ති තොටට පැමිණෙන තෙක්‌ රහත් තෙරුන් වහන්සේගේ පිහිටෙන් ඒවා අඩාල කිරීමට හැකි වූ බවත් මහාවංශය කියන තවත් කතාවක්.මේ කතාවලින් හෙළිවන්නේ නාග වන්දනා සංකල්පය අනුරාධපුර යුගයේදී ප්‍රබල ව පැවති බව යි.

 වල්ලිපුරම් රන්පත- archaeology.lk

වල්ලිපුරම් රන්පත

අනුරාධපුර රාජධානි කාලෙ යාපනය අර්ධද්වීපය හඳුන්වා ඇත්තේ   නාගදීපය ලෙස බව වල්ලිපුරම් රන්පතින් හෙළි ව තිබෙනවා. වසභ  රජු ගේ කාලයේ ඉසිගිරිය නම් ඇමතිවරයකු නකදිව නොහොත් නාග දීපය පාලනය කළ බව පැහැදිලි සිංහල බ්‍රාහ්මී අක්ෂරවලින් එහි කොටා තිබෙනවා. පසුකාලීනව නාගදීපය ලෙස යාපනයේ නයිනතිව් දූපතට පමණක් නාගදීප නම හිමි ව තිබෙනවා.

එවකට යාපනය උත්තර පස්ස යනුවෙන් වංශකතාවල දැක්වෙනවා. පාචීන පස්ස යනු නැගෙනහිර යි. කඩඉම් පොත්වලට අනුව නාගදීපය පමණක් නොව පාචීනපස්සයට අයත් කුරුඳු ගමු රට කනුකින්නියා රට, කොටසර ගන්තලා රට මෙන් ම මඩුවල්ලියාරට මෙන් ම මන්නාරම ද පිහිටි රටට අයත් ප්‍රදේශ වුණා. 

ඌරුසිටා වැව නාග පුවරුව- facebook

ඌරුසිටා වැව නාග සංකේත

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මහගම නම් ගමේ ඇති ඌරුසිටා වැවේ පුරාණ සොරොව්වේ අනුරාධපුර යුගයට අයත් විශාල නාග රූප කැටයමක් දැකගත හැකි යි.  එම පුවරුවෙහි උස අඩි 5 අඟල් 3ක් ද පළල අඩි 2 අඟල් 3ක් ද වෙනවා.  උන්නතව නෙළා ඇති පෙන හතක් අහිත දරණ ගැසූ නාග රුවක් එහි නිරූපණය කර තිබෙනවා.

එහි නාග පෙන කොටසෙහි පමණක් උස ඩි 2ක්. නාග රුව, සිංහ රූ සහ කුළුණු සහිත ආසනයක් මත සිටින සේ නිරූපණය කර තිබෙනවා.  නාග බඳ ඉතාමත් සියුම් සහ තාත්වික ආකාරයට නිර්මාණය කර තිබෙනවා. මෙය අපේ රටෙන් හමුවූ විශිෂ්ට කැටයමක් ලෙස සැලකෙනවා.

 නාග පොකුණේ නාග කැටයම- facebook.com

මිහින්තලේ නාග පොකුණ

පළමුවැනි අග්ගබෝධි (ක්‍රි. ව. 575 – 608) කාලයේ මිහින්තලා කඳු  බෑවුමේ නාග පොකුණ කළ බව චූලවංශයේ දැක්වෙනවා.දිග අඩි 36ක් පමණ හා පළල අඩි 15ක් පමණ වන නාග පොකුණ ආශ්‍රිත ගල් පර්වතයේ  නයි පෙන පහකින් යුත් නාගයකු නෙළා තිබෙනවා.  නාග රුව ජලයෙන් මතුවන පරිදි තමයි නිර්මාණය කර තිබෙන්නේ.

මේ කරුණුත් එක්ක කල්පනා කරද්දි පේන දෙයක් තමයි නාග ඇදහිල්ල  ලංකාව හා ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක ප්‍රබල විදිහට විහිදිලා තිබුණු දෙයක් බව.  අදටත් මේ නාග සංකල්පය අපේ ජීවිතයට බලපෑම් කරනවා.  නයකු දැක්කාම ‘නයි හාමි කරදර නොකර යන්න‘ කියා වඳින අය තවමත් ගම්වල ඉන්නවා. සමහරු නයින්ට පහර දුන්නොත් පැමිණ පළිගන්නා බව අදත් පිළිගන්නවා. මේ නිසා නාගයන් මරා දැමීමට ඉදිරිපත් වන පිරිස හිඟ යි.

නයින්දනාව නාග කැටයම- facebook

නාග නම සහිත රජවරු

ලංකාවේ රාජාවලියේ රජවරුන් කිහිප දෙනකු ම නාග නාමයෙන් හැඳින්වෙනවා. මේ රජවරුන් සියල්ල ම සිටියේ අනුරාධපුර යුගයේදි යි. ඉලනාග, සිරිනාග, ඛල්ලාඨනාග, මහාදාඨික මහානාග, මහල්ලක නාග වශයෙන් ඔවුන් නාග නාමය භාවිත කොට තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේදී ඉන්දියාවේ හරිසෙන්ර රචනා කළ ආර්යාවර්තයෙහි රජුන් ලෙස නාගසේන, නාගදත්ත, ගණපතිනාග, නන්දින් වශයෙන් සඳහන් වෙනවා.

 දීඝවාපියෙන් පසුගිය දා හමුවු කරඬුවක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියූ රන් සන්නසක් තිබුණා. 

සිධ මහනකරජ පුත මළිතිස රජහ සොවණ තුබෙ යනුවෙන් එහි කොටා තිබුණා. එහි අර්ථය යහපතක් වේවා, මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළතිස (කණිට්ඨතිස්ස) රජුගේ රන් කරඬුවයි යන්නයි.

කරඬුව පූජා කර තිබෙන්නේ මහල්ලක නාග රජුගේ පුත්‍රයා යි. මහල්ලක නාග රජු ක්‍රි.ව. 135-141 දක්වා අනුරාධපුරයේ රජකම් කළ නරපතියෙක්. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා භාතික තිස්ස (ක්‍රි.ව. 141-164) වන අතර බාල පුත්‍රයා කණිට්ඨතිස්ස (164-192) යි. භාතිකතිස්සගෙන් පසු රජකම හිමි වූ කණිට්ඨතිස්ස මළතිස යනුවෙන් ද හැඳින්වෙනවා.

කවරයේ ඡායාරූපය- ඉන්දීයාවේ නාගයන් කිරිවලින් නාවන අවස්ථාවක් - gettyimages.com

මූලාශ්‍ර:

නාග සංකල්පය සහ සිංහල සංස්කෘතිය - මාලිංග අමරසිංහ

wordzz.com

sreenivasaraos.com

Related Articles