Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 5,000 කට පෙර කෘතිම දූපත් සෑදු ස්කොට්වරු

තාක්ෂණික දියුණුවත් සමග කෘතිම දූපත් තැනීම වර්තමානයේ දී එතරම් පුදුමයට කරුණක් නෙමෙයි. මෑත කාලීන ව සංචාරක ආකර්ෂණයන් ලෙස ඩුබායි හි නිර්මාණය කරන ලද ‘Palm Jumeirah’ සහ බහරේනයේ ‘Amwaj Islands’ සම්පූර්ණයෙන් ම පාහේ වෙන් කර ඇත්තේ විනෝදාස්වාදය සැපයීම සඳහා යි. නමුත් වසර 5,000 කට පමණ පෙර තාක්ෂණය ඉතාමත් නොදියුණු ව පැවති කාලයේ දී විලක් මැද කෘතිම දූපතක් තනා ඒ මත නිවෙස් ගොඩ නැගීම විශ්මයජනක දෙයක්.

එවැනි අපූරු නිවෙස් බොහෝමයක් ස්කොට්ලන්තයේ දී සහ අයර්ලන්තයේ දී දැක ගැනීමට ලැබෙනවා. ‘ක්‍රෑනොග්’ ලෙස හඳුන්වන මෙම නිවෙස්වලින් ඇතැමෙක් වසර 5,000 ක් පමණ පැරණි බව පැවසෙනවා. මේ විල් මැද පිහිටි ‘ක්‍රෑනොග්’ නිවෙස් ගැන තොරතුරු කිහිපයක්.

(© John Malley) – වේල්සයේ පැරණි ‘ක්‍රෑනොග්’ නිවෙසක්

‘ක්‍රෑනොග්’ නිවෙසක මූලාරම්භය

ඉතිහාසඥයින් විශ්වාස කරන අන්දමට ‘ක්‍රෑනොග්’ නිවෙස් තැනීම ආරම්භ කර ඇත්තේ පුරාණ අයර්ලන්ත වැසියන්. සරල ව බැලුවොත් ‘ක්‍රෑනොග්’ යන වදන භාවිතා කරන්නේ වැවක් මැද පිහිටි කෘතිම දූපතක් හැඳින්වීම සඳහා යි. ඇතැම් අවස්ථාවල දී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් කෘතිම දූපත් පවා අයර්ලන්තයෙන් හමු වී තිබෙනවා.

එයට අමතර ව ස්කොට්ලන්තය, වේල්සය සහ ස්කැන්ඩිනේවියාව වැනි රටවල ද ‘ක්‍රෑනොග්’ නිවෙස් දැක ගැනීමට ලැබුණත් වැඩි වශයෙන් ඒවා ව්‍යාප්ත වී ඇත්තේ ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ යි. මේ විලක් මැද ගොඩ නංවන ලද ‘ක්‍රෑනොග්’ නිවෙස් බහුල වශයෙන් ම මිනිස් වාසස්ථාන සඳහා යොදාගෙන තිබුණ ද පුරාවිද්‍යඥයින් ගබඩා කාමර, කම්මල් සහ දඩයම් කුටි ලෙස භාවිතා කළ ‘ක්‍රෑනොග්’ නිවෙස් ද සොයා ගැනීමට සමත් වී තිබෙනවා. එසේ ම කලාතුරකින් පූජනීය වස්තූන් තැන්පත් කර තිබීමට ද මෙම නිවෙස් යොදාගෙන ඇති බව සඳහන්.

© Irish News And Analysis

ළපටි ගස් යොදා තැනූ නිවෙස හෙවත් ‘ක්‍රෑනොග්’

‘ක්‍රෑනොග්’ යන වදන පුරාණ අයර්ලන්ත බසින් බිඳී ආ එකක්. ලේඛනගත මූලාශ්‍රයන්ට අනුව එය භාවිතා කිරීම ආරම්භ කර ඇත්තේ 13 වැනි සියවස තරම් ඈත කාලයේ දී යි. පුරාණ අයර්ලන්ත බසින් ගස හැඳින්වීම සඳහා ‘ක්‍රෑන්’ යන වචනය භාවිතා කර ඇති අතර ‘ඔග්’ යන්නෙ හි අර්ථය වන්නේ ළපටි හෝ කුඩා යන්න යි. ඒ අනුව ‘ක්‍රෑනොග්’ යන වචනයට ලබා දිය හැකි අර්ථ නිරූපණයන් දෙආකාරය යි.

© Gary Thompson

භාවිතා කිරීමෙන් පසු ව අත්හැර දමන ලද ‘ක්‍රෑනොග්’ නිවෙස් සෑම එකක් ම පාහේ විනාශ නොකර තැබීමට පැරණි ස්කොට්වරු කටයුතු කර තිබෙනවා. මේ නිසා කෙටි කලකින් ම අදාළ නිවෙස් ළඳු කැලෑ බවට පත් වී ඇති අතර ඒ අරුතින් ‘ක්‍රෑනොග්’ ලෙස හැඳින්වීම ඇරඹෙන්නට ඇති බව ඇතැම් අය විශ්වාස කරනවා. තවත් කොටසක් පවසන්නේ විල් මැද කෘතිම දූපත් සෑදීම සඳහා දැව කඳන් එක මත එක තැන්පත් කිරීම සහ නිවෙස් තැනීම නිසා ළපටි ගස් යොදා ගැනීම හේතුවෙන් අදාළ දූපත් ‘ක්‍රෑනොග්’ ලෙස හඳුන්වන්නට ඇති බව යි.

ඇත්තට ම වසර 5,000 ක් පැරණි ද?

දැනට සොයාගෙන ඇති ‘ක්‍රෑනොග්’ නිවෙස් විවිධ කාලපරිච්ඡේදවලට අයත් ඒවා යි. බොහෝ විට සිදු වී ඇත්තේ මධ්‍යම ශිලා යුගයේ දී ගොඩ නංවන ලද ‘ක්‍රෑනොග්’ නිවෙස්, නව ශිලා යුගය, ලෝකඩ යුගය, යකඩ යුගය සහ මධ්‍යතන යුගයේ දී නොයෙක් ආකාරයේ ප්‍රතිසංස්කරණයන්ට ලක් වී තිබීම යි. පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරය අද දක්නට ලැබෙන ‘ක්‍රෑනොග්’ නිවෙස් බොහෝමයක් මධ්‍යතන යුගයට අයත් වෙනවා. එයින් නොනැවතී බොහෝමයක් ස්කොට් ජාතිකයන් 17 වැනි සියවස දක්වා ම ‘ක්‍රෑනොග්’ නිවෙස් තනා ඇති බවට සාක්ෂි පවතිනවා.

© Bob Price

දැනට සොයාගෙන ඇති පැරණිත ම ‘ක්‍රෑනොග්’ නිවස ස්කොට්ලන්තයේ පිහිටා ඇති අතර එය වසර 5,000 ක් පමණ පැරණි යි. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ‘ක්‍රෑනොග්’ නිවස නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ දැව කඳන්. ඒවා විල් ඉවුරේ සිට කෘතිම දූපත කරා දිව එන දැවමය ආධාරකයන් හෝ කඳන් මත සිටුවා තබන්නට ඇති බව විශ්වාස කළ හැකි යි.

ස්කොට්වරුන් ‘ක්‍රෑනොග්’ නිවෙස් ගොඩනැගුවේ ඇයි?

ඒ පැනය සඳහා ඉදිරිපත් වී පිළිතුරු විවිධාකාර යි. එක් මතයක් වන්නේ ඈත අතීතයේ දී අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ බොහෝ ප්‍රදේශ ඝන වනාන්තරයන්ගෙන් වැසී තිබුණු බැවින් ගස් කපා දැමීමට එතරම් කැමැත්තක් නොදැක් වූ පුරාණ වැසියන් ඒ වෙනුවට විල් මැද කෘතිම දූපත් තනා ඒ මත නිවෙස් ගොඩ නංවන්නට ඇති බව යි. එසේ ම තාරකා නිරීක්ෂණ සඳහා ආශාවක් දැක් වූ පුරාණ මිනිසුන්ට ‘ක්‍රෑනොග්’ නිවෙස් මනා පිටුවහලක් සපයන්නට ඇති බව ඉතිහාසඥයින් පෙන්වා දෙනවා.

(© Bran Corvine) – ‘ක්‍රෑනොග්’ නිවෙසක ඇතුළත

‘ක්‍රෑනොග්’ නිවෙස් ගොඩ නැංවීම ගැන ඇති තවත් මතයක් වන්නේ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්, ජලය ගලා යන ස්ථානයක වාසය කිරීමට ලැබීම වාසනාවක් ලෙස සලකා ඇති බව යි. එසේ ම සතුරු කරදරවලින් මිදීම සඳහා ද විලක් මධ්‍යයේ ගොඩ නංවන ලද කෘතිම දූපත වාසය කිරීම කදිම උපක්‍රමයක්.

‘ක්‍රෑනොග්’ නිවෙස් තනන අයුරු

මේ වන විට නොයෙක් උපක්‍රම යොදා ගනිමින් නිර්මාණය කර ඇති ‘ක්‍රෑනොග්’ නිවෙස් හඳුනාගෙන ඇති අතර ඒ අතරින් වඩාත් ජනප්‍රිය ක්‍රමවේදයන් ද්විත්වයක් පවතිනවා. ‘ගොඩැලි ක්‍රෑනොග්’ යන පළමු ක්‍රමයේ දී විශාල ගස් අතු, විලෙන් ම ලබා ගන්නා මඩ, විශාල දැව කඳන් වැනි කාබනික ද්‍රව්‍ය ගොඩැල්ලක් ලෙස පෙනෙන සේ එක මත එක අසුරමින් විල මැද කෘතිම දූපතක් නිර්මාණය කර තිබෙනවා. ළපටි ගස් අතු යොදා ගනිමින් රවුම් හැඩැති නිවෙස ගොඩ නඟා ඇත්තේ ඉන් අනතුරු ව යි.

© Jim Stuht

‘දාගැබ් ක්‍රෑනොග්’ ලෙස හඳුන්වන අනෙක් ක්‍රමයේ දී කෘතිම දූපත සැකසීම සිදු කරන්නේ එක මත එක සිටින සේ ගල් තට්ටු ඇතිරීම මගින්. මීට අමතර ව විල් ඉවුරේ කොටසක් ඉවත් කර කුඩා අර්ධද්වීපයක් තනා ඒ මත නිවෙස් ගොඩ නැංවීම ද සිදු කර ඇති අතර එහි දී විශාල දැව කඳන් සිරස් අතට සිටුවා නිවස තැනීමට හැකි වන සේ දැවමය වේදිකාවක් තනා තිබෙනවා.

‘ක්‍රෑනොග්’ නිවෙස් තැනීම ආරම්භ වූ සමයේ ප්‍රාග් ඓතිහාසික මිනිසා ඇට කැබලි, ගල් කැබලි, ලෝකඩ සහ සත්ත්ව අං වැනි සරල උපකරණ පමණක් භාවිතා කළ බැවින් එක් නිවෙසක් තැනීම සඳහා දීර්ඝ කාල වකවානුවක් ගත වන්නට ඇති බව සැලකෙනවා. මේ නිසා එක් නිවෙසක පවුල් කිහිපයක් ම හෝ සම්පූර්ණ ගෝත්‍රය ම වාසය කර තිබෙනවා.

කවරයේ පින්තූරය : © Ruth Hallam

Related Articles