Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශක්තිජනක පාන ඇත්තෙන්ම හිතකරද?

වත්මන් පරපුරේ ක්‍රීඩකයින් පමණක් නොවෙයි ගායකයින්, නර්ථන ශිල්පීන් හා නාට්‍ය කරුවන් වැනි අය තමන්ගේ ක්‍රියාකාරකම් කරන විට අවශ්‍ය අමතර  ‘ශක්තිය’ හා ප්‍රබෝධමත් ගතිය ඇති කර ගැනීමට ශක්තිජනක පානයන් පාවිච්චි කිරීමට හුරු වෙලා තිබෙනවා. දැන් දැන් කය පමණක් නොව මනස වෙහෙසා එදිනෙදා වැඩ කරන උදවියත් තමන්ගේ තෙහෙට්ටුව මඟ හරවා ගැනීමට මේවා පාවිච්චි කරනවා. වර්තමානයේ වෙළඳපොළේ තිබෙන ජනප්‍රිය ශක්තිජනක පාන බොහොමයක් කෘත්‍රීම ඒවා. මේවා මඟින් කෙටි කාලීනව ප්‍රබෝධමත් ගතියක් දැනුනාට දීර්ඝ කාලීනව ශරීරයට ඇති කරන බලපෑම් මොනවාදැයි සොයා බලන්නට බොහෝ දෙනා උත්සාහ කරන්නේ නැහැ. ඒ වාගේම මේ ශක්ති ජනක පාන වල අන්තර්ගතය ගැනත් බොහෝ දෙනෙක්ගේ දැනුම අල්ප මට්ටමක පවතිනවා. ඉතින් අපි තීරණය කළා ශක්තිජනක පාන පිළිබඳවත්, ඒවා දීර්ඝ කාලීනව පාවිච්චියෙන් ශරීරයට ඇති වන බලපෑම් ගැනත් කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට.

ශක්තිජනක පාන ගැන හැඳින්වීමක්

ශක්තිජනක පානයකින් සරලවම කෙරෙන්නේ ශරීරයට අවශ්‍ය වන අමතර ශක්තිය ක්ෂණිකව ලබා දීමයි. ශක්තිජනක පානයක මූලිකවම අඩංගු වන අමුද්‍රව්‍ය දෙකක් තිබෙනවා. එනම් සීනි හා කැෆේනුයි. සාමාන්‍ය ශක්තිජනක පානයක කැෆේන් කෝපි කෝප්පයක ප්‍රමාණයට හෙවත් මිලිග්‍රෑම් 80ක් පමණ අන්තර්ගත වෙනවා. මෙය සාමාන්‍ය සෝඩා එකකට වඩා වෙනස් වන්නේ කැෆේන් ප්‍රමාණය පමණක් නිසාම නොවේ. සාමාන්‍ය පැණි බීමක ඇත්තේ ජලය, සීනි හා රස කාරක පමණයි. ක්‍රීඩකයන් සඳහා නිපදවා ඇති පානයක් ක්‍රියාකරකම් වලදී අහිමි වුණු තරල නැවතත් ශරීරයට ලබා දීම සඳහා පෙර අමුද්‍රව්‍ය වලට අමතරව ඉලෙක්ට්‍රොලයිට (Electrolyte) අන්තර්ගත වෙනවා. මේ දෙකටම වඩා වෙනස් ‘ශක්ති ජනක පානයක්’ නිපදවා ඇත්තේ කාර්යක්ෂ්මතාවය හා ක්‍රියාශීලී බව ක්ෂණිකව වැඩි කර ගැනීමටයි. මේ සඳහා කැෆේන් අන්තර්ගත කොට තිබෙනවා.

කෝපි වල ප්‍රබෝධජනක භාවයට හේතුව කැෆේන්-medium.com

ශක්ති ජනක පාන පිළිබඳ ඉතිහාසය

අතීතයේ සිටම මිනිසුන් තමන්ගේ එදිනෙදා කටයුතු කිරීමට අවශ්‍ය වෙන අමතර ශක්තිය ලබා ගැනීමට විවිධ පාන වර්ග භාවිතා කළා. කොලොම්බස් ගොඩබැසීමට පෙර ඇමෙරිකාවේ ජීවත් වූ වැසියන් අමතර ශක්තිය ලබා ගැනීමට ඉතා වැඩි කැෆේන් සහිත ස්වභාවික පානයක් භාවිතා කළ බවට සාක්ෂි තිබෙනවා.

ඉතා ඈත අතීතයේ සිටම මිනිසුන් අමතර ශක්තියක් ලබා ගැනීමට තේ, කෝපි, කොකෝවා වැනි පාන භාවිතා කළා, කල් යාමේදී ඒවායෙන් සමහර කර්තව්‍ය කිරීමට අවශ්‍ය අමතර ශක්තිය ක්ෂණිකවම නොලැබෙන බව තේරුම් ගත් ඔවුන් ඒවාට වඩා බලවත් පානයන් සොයන්නට පටන් ගත්තා.

ලොව මුලින්ම කැෆේන් අඩංගු වූ වෙළඳපොළක් සඳහා කෘත්‍රිමව නිපදවන ලද පැණි බීම වන්නේ ‘කොකා කෝලා’ යි. ඉන් පසුව 1920 දශකයේ ග්ලූකොzසේඩ් නිපදවෙනවා. මින් පසු එක් එක් පාන වර්ග පැමිණියත් ‘ශක්තිජනක පානයක්’ ලෙස කෙලින්ම හඳුන්වන ලද පානයක් වෙළඳපොළට පැමිණියේ 1962 වසරේදී ඒ ජපානයෙන්. Lipovitan නමින් හැඳින්වුණු මෙය වර්ග දෙකකින් පැමිණි අතර එකක ටෝරීන් ද අනෙකේ කැෆේන්ද අන්තර්ගත වුණා. මෙහි ටෝරීන් අඩංගු වර්ගයේ විශාලම බෝතලයක් ටෝරීන් මිලිග්‍රෑම් 3000ක් අඩංගු වූ අතර දිනකට මිලිලීටර 100 කට වඩා පානය නොකරන ලෙස උපදෙස් සපයා තිබුණා.

Lipovitan-Ko Sasaki /The New York Times

1976 වසරේදී Krating Daeng නම් ශක්තිජනක පානයක් තායිලන්තයේ එළිදැක්වුණු අතර මෙහි ටෝරීන්, කැෆේන් හා විටමින් බී සංකීර්ණයේ සමහර විටමින්ද අන්තර්ගතව තිබුණා. මේ මඟින් දැන් වෙළඳපොළේ තිබෙන ජනප්‍රියම පානයක් වන රෙඩ් බුල් සඳහා අඩිතාලම වැටුණා.

Krating Daeng තායිලන්ත රෙඩ්බුල් යනුවෙනුත් හඳුන්වනවා -Thomas Fuller/The New York Times

ශක්තිජනක පානයක අන්තර්ගත අමුද්‍රව්‍ය

ශක්තිජනක පානයක ප්‍රධාන වශයේ කැෆේන් හා සීනි අන්තර්ගත වුණත් ඊට අමතරව තවත් අමුද්‍රව්‍ය කීපයක්ම අන්තර්ගත විය හැකියි.මේවා සුළු ප්‍රමාණ වලින් අන්තර්ගත වුණත් එයින් ලැබෙන බලපෑමනම් සැළකිය යුතු මට්ටමක තිබෙනවා.

  • එපඩ්‍රීන් -මධ්‍ය ස්නායු පද්ධතිය මත ක්‍රියා කරන උත්තේජකයක් වන අතර මෙමඟින් හෘද රෝග අවධානම ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇතැයි සැක කෙරෙනවා.
  • ටෝරීන්- ස්වභාවික ඇමයිනෝ අම්ලයක්. මෙමඟින් හෘද ස්පන්දනය හා මාංශ පේශි ක්‍රියාකාරීත්වය යාමනය සඳහා උදව් සැපයෙනවා.
  • ජින්සෙන්- ඖෂධීය ගුණයක් සහිත මුල් වර්ගයක්

ජින්සෙන් මුල්- ginseng4less.com

  • විටමින් බී – මෙමඟින් සීනි වර්ග බිඳ හෙලා ශක්තිය බවට පත් කිරීම උත්තේජනය කරන අතර මාංශ පේශි වර්ධනයද හා ක්‍රියාකාරීත්වයද උත්තේජනය කරනවා.
  • කානිටීන් – මේද අම්ල පරිවෘත්තිය උත්තේජනය කරන ඇමයිනෝ අම්ලයක්.
  • ගුවරානා ඇට – වෙනිසියුලාව හා බ්‍රසීලයේ වැවෙන මෙය උත්තේජකයක් වශයෙන් ක්‍රියා කරනවා.

ගුවරානා ඇට practo.com

  • ක්‍රියටීන් – මාංශ පේශී සංකෝචනය සඳහා අවශ්‍ය ශක්තිය සැපයීමට උදව් වෙන කාබනික අම්ලයක්.
  • ඉනොසිටෝල් – විටමින් බී සංකීර්ණයට අයත් මෙය අන්තර් සෛලීය පණිවිඩ හුවමාරුවට දායක වෙනවා.
  • ගින්කෝ බිබෝලා – මතකය වැඩි කර ගැනීමට භාවිතා කර තිබෙනවා.

ගින්කෝ බිබෝලා- wholehealthinsider.com

ඉහත අමුද්‍රව්‍ය සලකා බලන විට ශක්තිජනක පානයන් මඟින් ශරීරයට ක්ෂණික ශක්තිය මෙන්ම යම් පෝෂණයක්ද ලබා දෙනවා.

ශරීරය පුබුදුවාලීමේ ක්‍රියාකාරීත්වය

ශක්තිජනක පානයක් පානය කිරීමෙන් ඇති වෙන පුබුදුවාලීම ලැබෙන්නේ සීනි හා කැෆේන් මඟින් පමණක් බව විද්‍යාඥයින් පවසනවා. මෙයින් සීනි වලින් සාමාන්‍ය ආකාරයට ශරීරයට ශක්තිය සැපයෙන්නේ කාබොහයිඩ්‍රේට ලෙසයි.

කැෆේන් ශරීරයේ තිබෙන ‘ඇඩිනොසීන්’ වල ක්‍රියාකාරීත්වයට බාධා පමුණවනවා. ඇඩිනොසීන් මඟින් නින්ද යාම උත්තේජනය කරන අතර, එහි ක්‍රියාකාරීත්වය අවහිර වීම මිනිස් මොළය විසින් හදිසි තත්වයක් ඇති වී තිබෙන්නක් මෙන් ග්‍රහණය කර ගන්නවා. මේ නිසා පිටියුටරිය මඟින් ඇඩ්‍රිනලීන් ශ්‍රාවය කරනවා. මේ නිසා හද ගැස්ම ඉහළ යන අතර අක්ෂි වල කණීනිකාව විස්ථාරණය වෙනවා. මේ මඟින් අක්මාවේ ඇති සීනි වර්ග රුධිර වාහිනී වලට මුදා හැරීම සිදු වන අතර කැෆින් මඟින් ඩෝපමීන් ස්‍රාවයද පාලනය කරන නිසා වැඩි ශක්තියක් තමන්ට ඇති ලෙස හැඟෙනවා.

ශක්තිජනක පාන භාවිතයේ අවදානම

ශක්තිජනක පාන ඉඳහිට මඳ පමණින් පාවිච්චි කළාට ශරීරයට හානියක් වෙන්නේ නැහැ. නමුත් මෙහි අඩංගු කැෆේන් ඇබ්බැහිකාරකයක්. කැෆේන් නිතර වැඩි ප්‍රමාණ වලින් ශරීර ගත වීමෙන් හෘදයාබාධ, මානසික ආතතිය හා නින්ද නොයෑම වැනි රෝග වලට ගොදුරු විය හැකියි. ඒ වාගේම කැෆේන් මඟින් ශරීරයේ තරළ ඉවත් කිරීම උත්තේජනය කිර්‍රම නිසා විජලන තත්වයන් ඇති විය හැකියි.

කැෆේන් භාවිතය හා ක්‍රියාකාරීත්වය (Roar Media)

සමහරෙක් ශක්තිජනක පානයන් පාවිච්චි කරන්නේ ඇල්කොහොල් සමඟයි. ඇල්කොහොල් මානසික අවපීඩනය ඇති කරන අතර නිද්‍රාජනකයක්ද වෙනවා. මේ නිසා ඉතාම පහසුවෙන් පමණ ඉක්මවා ශක්ති ජනක පානයද ඇල්කොහොල් පානයද පාවිච්චි විය හැකියි. කැෆේන් හා ඇල්කොහොල යන දෙකම ශරීරය විජලනය කරන නිසා ඉතා භයානක තත්ත්ව පහසුවෙන් ඇති වෙනවා.

ශක්ත්ජනක පාන නිතරම පාවිච්චි වන විට වැඩි සීනි ප්‍රමාණයක් නිරතුරුව ශරීරගත වෙනවා. මෙය දියවැඩියාව වැනි රෝග වලට අත වැනීමක්. මීට අමතරව අනෙකුත් අමුද්‍රව්‍යත් උවමනාවට වඩා ශරීර ගත වීම ගැටළුවක් වෙනවා. පෙර සඳහන් කළ පරිදි එපඩ්‍රීන් හා හෘද රෝග ඇතිවීම අතර යම් සම්බන්ධයක් තිබෙනවා. ටෝරීන් වැනි දෑ වල දීර්ඝ කාලීන බලපෑම් පිළිබඳ අධ්‍යයන තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින නිසා තරුණ ළමුන්ට හා ගර්භණී කාන්තාවන්ට ශක්තිජනක පානයන් පාවිච්චි කිරීමෙන් වලකින ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙනවා.

ශක්තිජනක පාන ඇල්කොහොල සමඟ පාවිච්චි කිරීම ඉතාම අවදානම් – en.brilio.net

අවසානයේ පෙනී යන්නේ ශක්තිජනක පාන ඉඳහිට අත්‍යවශ්‍ය අවස්ථා වලදී පානය කිරීම හානිදායක නොවුණත් දීර්ඝ කාලීනව පුරුද්දක් වශයෙන් ඒවා පාවිච්චි කිරීමනම් සෞඛ්‍යට ඒ තරම් යහපත් දෙයක් නොවෙන බවයි. අතීතයේ මුතුන්මිත්තන් වැව් , දාගැබ් තනන්නට ඇත්තේ කෘත්‍රීම ශක්තිජනක පාන බොමින් නොවේ. ඒ වාගේම වර්තමානයේ බොහෝ කටයුතු වලට අවශ්‍ය මානසික පුබුදුවාලීම තේ කෝපි වැනි යමකින් ලබා ගැනීමට හැකිනම් රටේ තරුණ පරපුරෙ සෞඛ්‍ය රැකෙනු ඇති අතර, ඉඳහිට ශක්තිජනක පානයක් පාවිච්චි කිරීමේදී එහි අන්තර්ගතයේ බලපෑම උපරිම අයුරින් විඳීමටද හැකි වනු ඇති.

(කවරයේ පින්තූරය-Eduard stelmakh/Shuttestock)

Related Articles