Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විශිෂ්ට නිර්මාණ දායාද කළ අපේ ඇත්දළ කැටයම් කලාව

ශ්‍රී ලංකාව වසර දහස් ගණනක පටන් විශිෂ්ට කලා නිර්මාණ ලොවට දායාද කළ රටක් බව විශේෂයෙන් කිව යුතු නොවේ. ඒ අතරින් කැටයම් කලාව වසර දහස් ගණනක සිට මෙරට ප්‍රචලිත ව තිබූ බව තහවුරු කරන සාධක ගණනාවකි. ගල් කැටයම්, ලී කැටයම් සහ ඇත්දළ කැටයම් වැනි කැටයම් වර්ග ගණනාවක් මෙරට ප්‍රචලිත ව තිබී ඇති අතර ඉන් ඇත්දළ කැටයම් කලාව වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියයි. මෙරට ඇත්දළ කැටයම් කලාවේ ඉතිහාසය සහ එය කලින් කලට විකාශය වූ අයුරු අපි මෙම ලිපියෙන් විමසා බලමු .

ඇත්දළ – Facebook- Beyond the Yellow Press

ඇත්දළ කැටයම් කලාවේ ඉතිහාසය

ලෝකයේ ආදි මානව යුගයේ පටන් ආරම්භ වූ කලාවක් ලෙස ඇත්දළ කැටයම් කලාව හඳුන්වා දිය හැකි අතර එය තහවුරු කරමින් ‘මැමත්’ නම් ආදි කල්පිත ඇත් වර්ගයාගේ දළවලින් නිම වූ භාණ්‌ඩ රාශියක්‌ යුරෝපයේ හා ආසියාවේ පිහිටා තිබෙන ගුහාවලින් සොයා ගෙන තිබේ.

ඒ අතරින් ඉහළ පූර්ව ශිලා සමයට අයත් ඇත්දළ කැටයම් අතරෙන් ප්‍රංශයේ ග්‍රොට්‌ දූ පාප් නම් ස්‌ථානයෙන් සොයාගත් කුඩා ස්‌ත්‍රී හිස උසස්‌ කලාත්මක අගයකින් යුත් කැටයමක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතය යි. මානව සභ්‍යත්වය ආරම්භ වූ මුල් බිම් ලෙස සැලකෙන ශිෂ්චාටාරවලින් ද ඇත්දළ කැටයම් රාශියක්‌ හමුවී තිබේ. විශේෂයෙන්ම මිසරයෙන් හමු වූ ඇත්දළ පුරා වස්තු අතර ඇත්දත් පනා, කොණ්‌ඩා කටු, නග්න ස්‌ත්‍රී රූප හා වෙනත් ස්‌ත්‍රී රූප වේ.

අනුරාධපුර යුගයේ දී ඇත්දළ කැටයම් කලාව ආරම්භ වීම හා විකාශය

ශ්‍රී ලංකාවේ පැවැති කලා නිර්මාණ අතර ඇත්දළ කැටයම් කලාව වැදගත් ස්ථානයක් හිමි කර ගෙන සිටි බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යයි. මෙරට පළමු රාජධානිය වූ අනුරාධපුර රාජධානි සමයේ මෙම කලාව යම් දියුණු මට්ටමක තිබී ඇත.

“…මේ පළඟෙහි දන්තකර්මයෙන් නිමවන ලද අපාශ්‍රය සංඛ්‍යාත පිට අටුවන් ද ……පළඟෙහි තබන ලද ශෝභාමත් වූ දන්තමය විජිනිපත සිත්කළු විය,”

ලෙසින් මහාවංසයේ ලෝවාමහා ප්‍රාසාදය ගොඩනැංවීම සම්බන්ධයෙන් වන පරිච්ඡේදයක, දුටුගැමුණු රජතුමන් ලෝවාමහාපායට පූජා කළ ඇත්දළ අසුනක්‌ සහ විජිනිපතක්‌ පිළිබඳව සඳහන් වන අතර එමගින් අනුරාධපුර යුගයේ දී ඇත්දළ කැටයම් කලාව දියුණු මට්ටමක පැවැති බව තහවුරු වේ.

ඇත්දළින් නිම කර ඇති පනා – pinterest.com

ඇත්දළ කර්මාන්තය සම්බන්ධයෙන් පුරා විද්‍යාත්මක සාධක විමර්ශනය කිරීමේ දී අනුරාධපුර රුවන්වැලි සෑයේ දකුණු වාහල් කැණීමේ දී ඇත් දළින් කළ කුඩා ප්‍රමාණයේ ස්‌ත්‍රී රූපයක්‌ හමුවී ඇති අතර එහි එම කාන්තාව ඉණ මුතු වැලක්‌ පැළඳ සිටින ලෙස කැටයම් කර ඇත. මෙය දැනට ලංකාවෙන් ලැබී ඇති පැරැණිතම ඇත්දළ නිර්මාණය යි. එම කැටයමෙහි කලාත්මක විලාශය අධ්‍යයනය කිරීමේ දී එය ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසට අයත් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

අනුරාධපුර යුගයේ දී ඇත්දළ කැටයම් ශිල්පයෙහි හසළ රජ කුමාරයකු රජ වූ ප්‍රවෘත්තියක් ද මහාවංශයේ සදහන් වේ. ඒ අනුව ඔහු ජෙට්‌ඨතිස්‌ස රජු වන අතර මොහු මෙම කර්මාන්තය පිළිබඳ ප්‍රවීණයකු වූ නිසාම ඇත්දළ කැටයම් ශිල්පය ඉගැන්වීමට ශාස්‌ත්‍ර ශාලාවක්‌ කරවූ බව මහාවංශය සඳහන් කරයි. ඔහු ජීවමාන ප්‍රමාණයේ බෝධිසත්ව රූපයක්‌ ද, ඔබ්බවා අලංකාර කරන ලද විචිත්‍ර මණ්‌ඩපයක්‌ ද ඇත්දළින් කළ බව සඳහන් වේ.

අනෙකුත් රාජධානි සමයන්හි දී විකාශය වූ අයුරු

මහා පරාක්‍රමබාහු රජු කරවූ පොළොන්නරුවේ නන්දන උයනේ පිහිටි ස්‌නානාගාරවල ස්‌ථම්භ ඇත්දළින් කරවා තිබූ බවත්, එම ස්ථම්භ කැටයම් පුවරුවලින් අලංකාර කර තිබූ බවත් වංසකතා සඳහන් කරයි. එම මූලාශ්‍රයන්ට අනුව මෙම උයන වට කොට ඇත්දළ කැටයම් සහිත ස්‌ථම්භ සහිත වැටක්‌ ද තිබී ඇති අතර මහා පරාක්‍රමබාහු රජු කරවූ දූපත් උයනේ පිහිටි ගොඩනැඟිලිවල ද මෙවැනි කැටයම් නිර්මාණ තිබී ඇත.

කෝට්‌ටේ යුගයේ රචිත සංදේශ කෘතිවල ඉසුරුමත් මාලිගා ආදියේ විස්‌තර වර්ණනාවන්ගේ ඇත්දළ නිර්මාණ පිළිබඳ ව සඳහන් වේ. වර්ෂ 1540 දී පමණ කෝට්ටේ රාජධානි සමයේ සිටි රජකු පෘතුගාලයට ත්‍යාගයක් ලෙස ලබා දුන් මනරම් ඇත්දළ කැටයමින් යුතු පෙට්ටගමක් වර්තමානයේ ජර්මානු කෞතුකාගාරයක ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. එහි ඇත්දළින් කරන ලද මිනිස් රූප කැටයම් දැකිය හැකි අතර නිල් මැණික්, පද්මරාග සහ රන් ද ඔබ්බවා සාදන ලද්දකි.

ඇත්දළින් කළ පෙට්ටගමක් – Pinterest

සීතාවක රාජධානි සමයට අයත් ඇත්දළින් කළ කුඩා තරාදියක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති  අතර එය සීතාවක රාජසිංහ රාජ්‍ය කාලයට අයත් එකක් යැයි සැලකේ. එම තරාදිය රඳවනය අලංකාර වූ, ඉතා සියුම් ලියපත් මෝස්‌තරයෙන් සමන්විත වන අතර එය නිර්මාණ ශිල්පියා විසින් ආත්ම සංයමයකින් යුතුව කරවන ලද එකක් බව විද්වතුන්ගේ මතයයි.

මහනුවර යුගයේ දී ඇත්දළ කැටයම් කලාව දියුණුවට පත්වීම

ශ්‍රී ලංකාවේ ඇත්දළ කර්මාන්තයේ විශාල දියුණුවක්‌ දක්‌නට ලැබෙන්නේ මහනුවර යුගයේදී ය. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ද ලැබී තිබෙන බව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ උපදෙසින් ඇත්දළ නිර්මාණ විශාල ප්‍රමාණයක්‌ කරවා තිබීම හරහා පෙනී යයි. ඔහුගේ පාලන සමයේදී සිදු කළ විශාලතම ඇත්දළ නිර්මාණය ලෙස සැලකෙන්නේ වයඹ පළාතේ කුරුණෑගල පිහිටි රිදී විහාරයේ ඇති උළුවස්‌සකි. මෙය ශ්‍රී ලංකාවේ දැනට ඇති විශාලතම ඇත්දළ නිර්මාණය ලෙස සැලකෙන අතර සිංහල කැටයම්කරුවන්ගේ නිර්මාණ ශක්‌තිය විදහාපාන කැටයම් විශේෂයක්‌ වන ‘පංචනාරී ඝටය’ එහි කැටයම් කර ඇත. දේශීය සැරසිලි රටාවේ කදිම විකාශනයක්‌ ද මේ තුළින් නිරූපණය වේ.
මහනුවර යුගයේ ඇත්දළ කැටයම් අතර ඉතා සුලබව දක්‌නට ලැබෙන්නේ බුද්ධ ප්‍රතිමා වන අතර ඒ අතරින් වැඩි සංඛ්‍යාවක්‌ හිටි බුද්ධ ප්‍රතිමා වේ. ඒ අනුව මහනුවර අස්‌ගිරිය විජයසුන්දරාරාම රජමහා විහාරයේ මෙරට ඇත්දළින් නෙළු විශාලතම බුද්ධ ප්‍රතිමාව තැන්පත් කර තිබේ.

අප්‍රිකාවේ සහ ඉන්දියාවේ ගැහැනු පිරිමි දෙපක්‍ෂයටම අයත් ඇතුන්ට දළ ඇති මුත් ශ්‍රී ලංකාවේ දළ ඇතුන්ගේ සංඛ්‍යාව 1%කට වැඩි නොවේ. ඒවා ද පිරිමි සතුන්ට පමණක් සීමා වේ. සාමාන්‍යයෙන් දළ ඇතකුගේ දළෙහි බර රාත්තල් 50 – 60 පමණ වන අතර ඇත්දළෙහි පිටවැස්‌ම ස්‌වභාවයෙන්ම කාන්තිමත් ඔපයකින් යුක්‌තය. එය 1/16 – 1/8 දක්‌වා ඝනත්වයකින් යුක්‌ත වන අතර කැටයම් නිර්මාණවලදී දී මේ වැස්‌ම ඉවත් කරයි. ඇත්දළ මදය සෑදී තිබෙන ද්‍රව්‍යයේ සියුම් සිදුරු රැසක් වන අතර එම සිදුරුවල යම්කිසි ද්‍රව විශේෂයක්‌ තැන්පත්ව ඇත.

ඇත්දළ ලබාගැනීම සහ ඒවායේ විශේෂ ලක්ෂණ

ඇත්දළ, කැටයමට සුදුසු වන්නේත්, ඊට ආවේණික සියුම් ඔපය ගෙන දෙන්නේත් මේ ඉටි ගතිය ඇති ද්‍රවය හේතුවෙනි. වර්ෂ දහස්‌ ගණනක්‌ ගත වීමත් සමඟ මෙම ද්‍රව ගතිය වියළි ඉරි තැළීම් ඇති වුව ද ඇත්දළවල ඔපයට හෝ රමණීය ස්‌වභාවයට ඉන් හානියක්‌ සිදු නොවේ. විවිධ ලෝහවල මෙන් ඇත් දළේ මතුපිට ගොරෝසු වීමක් හෝ ගෙවී යාමක් සිදුවන්නේ ද නැත.

ශ්‍රි ලංකාවේ ඇතුන්ගෙන් ලබා ගන්නා දළ විශේෂ වන්නේ ඒවායේ ඇති ඝනත්වය, වයනය (මතුපිට ව්‍යූහය), වර්ණය සහ කෝමලත්වය නිසා වන අතර මේ ඇත්දළ ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. පෙර යුගයේ දී මැරුණු ඇතුන්ගේ දළ ලබා ගෙන මෙම කැටයම් සිදුකරන ලදැයි සැලකිය හැකිය.

ඇත්දළසමඟ සම්බන්ධ හස්තීන්ගේ පණ නසන ගජමුතු ගැන මේ ලිපියත් කියවන්න. 

ජාතික කෞතුකාගාරයේ තබා ඇති ඇත්දළින් කළ නිර්මාණ කිහිපයක් – විජය පුවත්පත

කැටයම් ශිල්පය සඳහා ඇත්දළ වැඩි වශයෙන් භාවිත වන්නට ඇත්තේ පහසුවෙන් ලබාගත හැකි දිස්‌නයකින් යුක්‌ත වීම, ඍතු විපර්යාසවලදී අනිකුත් බොහෝ අමුද්‍රව්‍යයන්හි මෙන් ඉරිතැලීම්, පිපිරීම් ආදිය ඇති නොවීම,  දිරායෑම හා මළ බැඳීම් ආදිය අවම මට්ටමක පැවතීම වැනි හේතු නිසා බව සැලකේ. ඇත්දළ යම්කිසි වාසනා ගුණයකින් යුතු බවට ජනසම්මතයේ පවතින අභිචාර විශ්වාස සහ ඇත්දළින් කරන ලද නිර්මාණ ළඟ තාබාගැනීමෙන් උසස් බව ප්‍රකට කිරීමට වීමත් ඇත්දළ කැටයම් සුලබ වීමට හේතු වන්නට ඇත.

ඇත්දළ කැටයම් සඳහා යොදාගන්නා මෝස්තර සහ අවශ්‍ය උපකරණ

ශ්‍රී ලංකාවේ ඇත්දළ කැටයම් නිර්මාණ ශිල්පීන් ස්‌වකීය නිර්මාණ අලංකාර කිරීම සඳහා යොදාගන්නා මෝස්‌තර රාශියකි. ඒ අතරින් මෙරට ඇත්දළ නිර්මාණ ශිල්පීන් බෙහෙවින් උපයෝගී කර ගන්නා චිත්‍ර ලක්‍ෂණ අතර භේරුණ්‌ඩ පක්‍ෂියා, හංස පූට්‌ටුව, පළාපෙති, කිඹිසි මුහුණ, මකර රුව, නෙලුම් මල, කුන්දිරික්‌කන්, අරිම්බුව, තිරිගිතලය, ආදිය ප්‍රධාන තැනක් ගනී.

එම මෝස්තර එක භාණ්‌ඩයකට පමණක්‌ සීමා නොවී ඇත්දළින් කැටයම් කරන සියලුම භාණ්‌ඩ සඳහා යොදා ගෙන ඇති බව පෙනේ. ඇත්දළ කැටයම් යෙදීම ඉතා තීක්‍ෂණව කළ යුතුය. එහිදී නිර්මාණ ශිල්පියාට අවශ්‍ය වනුයේ ඉතාමත් සීමිත ආයුධ ප්‍රමාණයකි. කියත, නියන, අතකොළුව, පීර ආදිය ඉන් ප්‍රධාන වේ. ඊට අමතරව රාස්‌කුව, පුල්ලෝරම, දඬුඅඬුව, බුරුමය, තොරපනය යනාදිය ද අවශ්‍ය වේ.

හුණුපිටිය ගංගාරාමයේ තබා ඇති ඇත්දළ කැටයම් එකතුව – exploresrilanka.lk

ඇත්දළින් කළ විවිධ නිර්මාණ

මහනුවර යුගය වන විට ඇත්දළ යොදාගෙන කළ නිර්මාණ ලෙස බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, කරඬු, පනා, කිණිසි මිට, හෙප්පු, පිහි මිට, මංජුසා, කන්හැඳි, මිනිස්‌ රූප ආදිය දක්නට හැකි වේ. භික්ෂූන් වහන්සේලා උදෙසා ඇත් දළ උපයෝගී කොට ගනිමින් විජිනිපත් නිර්මාණය වූ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු , වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් වෙත පූජා කළ එවැනි විජිනිපතක් වර්තමානයේ දී මල්වතු මහා විහාරයීය සංඝරාජ කෞතුකාගාරයේ දී දැක ගත හැක.

යුරෝපීයයන්ගේ පැමිණීම සමඟ ඇති වූ වෙනස්කම්

යුරෝපීය ජාතීන්ගේ පැමිණීමත් සමඟ ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ ද ඇත්දළ යොදාගෙන නිපදවූ අතර දුම්පයිප්ප, මුදු, මාල, වළලු, විවිධ අනූරූ ආදිය ඒ අනුව නිර්මාණය විය. එම යුගයේ දී නිර්මාණය වූ ඇත්දළ සුරුවම් ද දක්නට හැකි ය.

ඇත්දළින් කළ කරත්තයක් – explorestilanka.lk

 යුරෝපීයයන් ඇත්දළ නිර්මාණ සදහා වෙළෙඳපොළක් නිර්මාණය කළ අතර එම යුගයේ දී පහතරට ප්‍රදේශවල ද මෙම ශිල්පය ව්‍යාප්ත විය. ඒ අනුව ගාල්ල මූලික කොට ගෙන ඇත්දළ නිර්මාණ සිදු කරන පරම්පරා කිහිපයක් ද ගොඩ නැගී ති‌බේ. ගාල්ලේ විසූ දොන් ජුවන් විමලසුරේන්ද්‍ර නම් ශිල්පියා ඇත්දළින් පොල්මලක් නිපදවා ඇති අතර එය ස්වභාවික පොල්මලකට සෑම අතින් ම සමාන බව සදහන් වේ. රඳවනයෙන් පිටතට ගත් විට විහිදෙන ආකාරයට නිර්මාණය කර ඇති එය ඔහු වික්ටෝරියා රැජිනට පිළිගන්වා ඇති අතර ඉන් අනතුරුව ඇය සතුටට පත්ව ඔහුට මුහන්දිරම් තනතුරක් ලබා දී ති‌බේ.

වර්තමාන තත්වය 

80 දශකයේ දී ඇත්දළ වෙළෙඳාම තහනම් කිරීමත් සමග මෙම කර්මාන්තය ද අභාවයට පත් වූ අතර වර්තමානය වන විට මෙම ඇත්දළ කැටයම් අවසර නොමැතිව සන්තකයේ තබා ගැනීම පවා දඬුවමකට යටත් විය හැකි වරදක් වේ. ඒ හේතුවෙන් මෙම කැටයම් ‌බොහෝ විට විහාරස්ථාන හා කෞතුකාගාරවලදී පමණක් දැක ගත හැකි වේ. කොළඹ හුනුපිටිය ගංගාරාමය සතුව අගනා ඇත්දළ කැටයම් එකතුවක් පවතින අතර ඊට අමතරව කොළඹ ජාතික කෞතුකාගාරය, මහනුවර ජාතික කෞතුකාගාරය, ශ්‍රී දළඳා මාළිගාවේ පිහිටි කෞතුකාගාරය යන ස්ථානවල ද ඇත්දළින් කළ නිර්මාණ දැක ගත හැකි ය.

කවරයේ පින්තූරය- ඇත්දළින් කළ පෙට්ටගමක්/ - explorestilanka.lk

මූලාශ්‍ර-

ඇත්දළ කැටයම්කලාව - ඒ.කේ. රංගිකා මධුමාලි

මහාවංශය

 lankadeepa.lk 

 facebook.com 

Related Articles