Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බැට්මෑන් ද? සුපර්මෑන් ද? – “කැප්ටන්  ඇමෙරිකා!”

හොලිවුඩ් සිනමාව අතින් ගත්තම 2016 කියන්නේ සුපිරි වීරයන්ගේ අවුරුද්ද කිව්වොත් වරදක් නෑ කියලා මේ දිනවල තිරගතවන චිත්‍රපට දැක්කම ඔබට හිතාගන්න පුළුවන්. පසුගිය පෙබරවාරි මාසයේ Deadpool ගෙන් ඇරඹි මේ රැල්ල හෙට අනිද්දට ඉවරවෙන එකක් නම් නෙවෙයි. ඉතින් අපි කල්පනා කළා මේ වනවිට නිකුත්වී ඇති සුපිරි වීරයන්ගේ වික්‍රම රැගත් දැවැන්තම චිත්‍රපට දෙකක් වන Batman V Superman: Dawn of Justice සහ Captain America: Civil War ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට. ප්‍රතිවාදී සමාගම් දෙකකට අයත් චිත්‍රකතා (Comic) චරිත ඇතුළත් චිත්‍රපට දෙකක් වුණත් මේ සිනමා නිර්මාණ ද්විත්වයේ ඇති සමානතා හා තවත් රසවත් කරුණු රාශියක් අපි දැන් සොයා බලමු.

බැට්මෑනුයි සුපර්මෑනුයි හොරු ටික අල්ලගත්තද?

ලෝකේ ඕනෑම තැනක සුපිරි වීරයෝ කිව්වම මුලින්ම මතක්වෙන චරිත දෙකක් තමයි මේ. හැබැයි මේ දෙන්නම එකට ඉන්න පළමුවෙනි දැවැන්ත සිනමා නිර්මාණයේ කතාව නම් දෙන්නා එකතුවෙලා හොරු අල්ලන එක ගැන නම් නෙවෙයි. චිත්‍රපටයේ නම දැක්කම හිතාගන්න පුළුවන්නේ.

දිනන්නේ කවුද? (in.ign.com)

දිනන්නේ කවුද? (in.ign.com)

2013 වසරේ තිරගතවුණු Man of Steel චිත්‍රපටයේ අවසානයේ Superman සහ Zod අතර ඇතිවූ දැවැන්ත සටන නිසා Metropolis නගරයට සිදුවූ මහා විනාශය සහ ජිවිත හානිය දකින Bruce Wayne, නොඑසේ නම් Batman තීරණය කරනවා Superman කියන්නේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම තර්ජනයක් බව. ඉන්පසු ඔහුගේ ඒකායන අරමුණ වන්නේ Supermanගේ මෙම ක්‍රියාකලාපයට තිත තැබීම. Batman V Superman: Dawn of Justice හි කතාව ගෙතෙන්නේ මේ සංසිද්ධිය වටායි.

කැප්ටන් යුද්දෙට යාම

2- කණ්ඩායම් වශයෙන් ඇණකොටා ගැනීම (forgehd.com)

කණ්ඩායම් වශයෙන් ඇණකොටා ගැනීම (forgehd.com)

Captain America: Civil War චිත්‍රපටයේ කතාව නම් ඊට පෙර තිරගතවූ Avengers හා Avengers: Age of Ultron චිත්‍රපට දෙකේම ඇතුළත් සිද්ධිවලට සම්බන්ධයි. ඒවායේ පිටසක්වළ ජීවීන් හා මානව සංහතිය විනාශ කිරීම අරමුණු කරගත් කෘතීම බුද්ධියක් වැනි විවිධ දුෂ්ටයින්ට එරෙහිව Avengers කණ්ඩායම සිදුකල සටන්වලදී සිදුවූ අතිමහත් ජිවිත හා දේපල හානි පිළිබඳව ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයින් හා තවත් බලවතුන් තුළ ඇත්තේ අප්‍රසාදයක්. එහෙයින් ඔවුන් තීරණය කරනවා මෙතෙක් කිසිම නීතියකට යටත් නොවී ක්‍රියා කළ Avengers කණ්ඩායමට  නීතිමය රාමුවක් යටතේ ක්‍රියාත්මකවන ලෙස හැඩගැස්වීමට. Captain America මේ වැඩපිළිවෙලට කැමැත්තක් දක්වන්නේ නෑ. නමුත් Iron Man නැතහොත් Tony Stark මේ වැඩපිළිවෙලට එකඟතාව පළකරනවා. Captainගේ අදහට එකඟ Avengersලා හා එක් පසකටත් Iron Manගේ අදහසට එකඟ අය අනෙක් පසටත් බෙදීමෙන් තමයි Captain America: Civil Warහි කතාව ගොඩනැගෙන්නේ.

තිරය පිටුපස වැඩකිඩ

බැට්මෑන් වුණත් director කියන දේ අහන්න ඕනෙ (vox.com)

බැට්මෑන් වුණත් director කියන දේ අහන්න ඕනෙ (vox.com)

Man of Steel අධ්‍යක්ෂණය කළ Zack Snyder තමයි Batman V Superman: Dawn of Justice රිදී තිරයට ගෙන එන්නට මූලිකත්වය ගන්නෙත්. ඇ. ඩො. මිලියන 250ක වියදමක් දරා නිපදවූ මෙම චිත්‍රපටය DC Comicsහි චිත්‍රකතා චරිත ඇතුළත් DC Extended Universe හි දෙවැනි කථාංගය ලෙසයි එළිදැක්වෙන්නේ.

Batman Begins, The Dark Knight, The Dark Knight Rises යන ජනප්‍රිය Batman චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Christopher Nolan මෙහි විධායක නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. පෙරකී Batman චිත්‍රපට මෙන්ම මෙයත් Warner Bros. Pictures ඉදිරිපත් කිරීමක්.

සුවසේ ගුටිකෑම (collider.com)

සුවසේ ගුටිකෑම (collider.com)

Disney සමාගමට අයත් Marvel Studios හි නිපැයුමක් වන Captain America: Civil War අධ්‍යක්ෂණය කෙරෙන්නේ ඊට පෙර තිරගතවූ, විචාරකයින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ද නොමඳ පැසසුමට ලක්වූ Captain America: Winter Soldier හොලිවුඩ් සිනමාවට දායාද කළ Joe Russo සහ Anthony Russo සහෝදර දෙපල විසින්. Marvel Cinematic Universe හි තෙවන අදියරෙහි ආරම්භයද Captain America: Civil War මගින් සනිටුහන් කෙරෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු මෙතැනින්. ප්‍රතිවාදී DC පිළේ සමකාලීන දැවැන්තයා වන Batman V Superman මෙන්ම මෙහි නිෂ්පාදන වියදම ද ආසන්න වශයෙන් ඇ. ඩො. මිලියන 250ක්.

සුපුරුදු වීරයන්ගේ සහයට එන නුපුරුදු වීරයෝ  (සහ දුෂ්ටයෝ)

මේ ලිපිය කියවන සිනමා රසික ඔබ මෙම චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන චරිත හොඳින්ම නැතත් යම්තාක් දුරකට හෝ හඳුනනවා යැයි අප විශ්වාස කරනවා. ඒ නිසා අප තීරණය කළා මෙම චිත්‍රපට දෙකෙන් ප්‍රථම වතාවට සිනමාවට හඳුන්වාදෙන ප්‍රධානතම සුපිරි වීරයන් හා (සුපිරි) දුෂ්ටයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්නට. අපි මුලින්ම බලමු Batman V Superman සමග සිනමාවට ප්‍රවිෂ්ටවන අලුත් චරිත කවුදැයි කියා.

Lex Luthor

කට්ටියම මේ පැත්තට එන්න මං ගැන කියල දෙන්න (newsarama.com)

කට්ටියම මේ පැත්තට එන්න මං ගැන කියල දෙන්න (newsarama.com)

Lex Luthor කියන්නේ DC Comics චිත්‍රකතාවල එන ප්‍රධානම දුෂ්ට චරිතයක්. ඉතාම ඉහළ බුද්ධි මට්ටමකින් යුතු මොහු තරුණ කාලයේ සිටම තම තීක්ෂණ නුවණ භාවිතා කර හොඳින් හෝ නරකින් තමන්ට උවමනා දේ ලබාගැනීමට කුප්‍රකට දක්ෂතාවක් දක්වන්නෙක්. මේ මනුස්සයට Supermanවනම් පෙන්නන්නම බෑ. ඔහුට උවමනා වනවා Supermanට මෙන් ඔහුටත් ලෝකයාගෙන් ලැබෙන ගරු බුහුමන් ලබාගන්නට. මීට හොඳම ක්‍රමය ලෙස ඔහු දකින්නේ Superman විනාශකර ඒ තැන ඔහු ලබාගැනීමයි. Batman හා Supermanගේ විරසකයට ප්‍රධාන හේතුව අප මුලින්ම දැක්වූ කරුණ වුණත්, ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැම්මේ මෙයා තමයි. Superman විනාශ කිරීම සඳහා Doomsday නම් මෘගයා නිර්මාණය කරන්නේද ඔහු විසිනුයි. Lex ගැන තවත් තොරතුරු මේ සබැඳියෙන් බලන්න.

Wonder Woman

Supermanට වුණත් කරන්න බැරි වැඩ තියෙනවා. මෙයා නම් ඕනෙ දේකට ඔට්ටුයි (forbes.com)

Supermanට වුණත් කරන්න බැරි වැඩ තියෙනවා. මෙයා නම් ඕනෙ දේකට ඔට්ටුයි (forbes.com)

Batman V Superman සමග ප්‍රථම වතාවට සිනමාවට අවතීර්ණ වන Wonder Woman කියන්නෙ DC Comics නිර්මාණය කළ ප්‍රබලතම සුපිරි වීරවරියක් කිව්වොත් වරදක් නෑ. ග්‍රීක දේවකතාවන්හි එන ඇමසෝනියානු රණශූරයින්ගෙන් පැවත එන ඇය  Hippolyta රැජිණගේ හා සියුස් දෙවියන්ගේ දියණියක් ලෙස සැලකෙනවා. තම ප්‍රථම සිනමා සම්ප්‍රාප්තියෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයටත් වඩා ආකර්ෂණයක් ලබා ගන්නට ඇයට හැකිවුණ බව රසිකයින් බහුතරයකගේ අදහසයි. චිත්‍රපටයේ ඇය සටනට එන මුල්ම අවස්ථාව ඔබට පහතින් නරඹන්න පුළුවන්. (සැ. යු.: ඔබ මේ වනවිට චිත්‍රපටය නරඹා නැතිනම්, එය සම්පූර්ණයෙන් නරඹන තුරු එහි කතාව පිළිබඳ කුතුහලය රඳවා ගැනීමට කැමතිනම් මෙය නොබලා සිටීම වඩාත් සුදුසුයි.)

සිනමාශාලාවල ප්‍රේක්ෂකයින් හුනස්නෙන් නැගිට ප්‍රීතිඝෝෂා කිරීමට පවා පෙළඹවූ දසුන් පෙළක් තමයි මේ.

දැන් කියන්න යන්නේ Captain America: Civil War මුල්වරට රිදී තිරයට හඳුන්වා දුන් සුපිරි වීරයන් ගැන.

Black Panther

කොහොමද කික් එක (screenrant.com)

කොහොමද කික් එක (screenrant.com)

Marvel Comics විසින් නිර්මාණය කළ ප්‍රබලතම කළු ජාතික සුපිරි වීරයෙකු වන Black Panther නොහොත් T’Challa කියන්නේ Wakanda (නෑ නෑ වෑකන්ද නෙවෙයි) රාජ්‍යයයේ රජු වන T’Chakaගේ පුත්‍රයායි. Captain Americaගේ පළිහ සාදා ඇති ඉතා ශක්තිමත් Vibranuim ලෝහය ලබාගන්නා නිධි ඇත්තේ Wakanda රාජධානියේ වන අතර Black Pantherගේ මුළු ඇඳුමම Vibranium වලින් නිෂ්පාදිතයි. Marvel හා DC සියලුම සුපිරි වීරයන් අතරෙන් ධනවත්ම සුපිරි වීරයා (Iron Man හා Batman ටත් වඩා) මොහු ලෙස සැලකෙනවා. Vibranium – ඔන්න කරනවා නම් නියම බිස්නස් එක.

Spiderman – The හිච්චි කොල්ලා Edition

මම මේක පොඩ්ඩකට ගත්තට කමක් නෑ නේද Captain අයියා  (www.geek.com)

මම මේක පොඩ්ඩකට ගත්තට කමක් නෑ නේද Captain අයියා  (www.geek.com)

Spiderman කියන්නේ නම් ඉතින් නොදන්න කෙනෙක් නෙවෙයි වුණත් මේ චිත්‍රපයේ ඉන්නේ අපි දන්න කියන Spidermanට වඩා ටිකක් වෙනස් චරිතයක්. මෙහි එන Spiderman අපිට හුරුපුරුදු විදිහට කිව්වොත් O/L කරලා ගෙදර ඉන්න වයසේ කොලුගැටයෙක්. මෙතෙක් කල් Sony සමාගමට අයත්ව තිබූ Spiderman චිත්‍රපට නිෂ්පාදන අයිතිය Marvel Studios සතුවන්නේ ද මේ චිත්‍රපටය සමගයි. චිත්‍රකතා චරිතයට වඩාත්ම සාධාරණයක් ඉටුකළ චිත්‍රපට චරිතය Captain America: Civil War හි Spiderman බව Marvel සමාගම සඳහන් කරනවා.

ජනතා මනාපයෙන් සුපිරිතම චිත්‍රපටය ලෙස අභිෂේක ලබන්නේ කවුද?

ඔබේ මනාපය SMS කිරීම අවශ්‍ය නොවේ (moviepilot.com)

ඔබේ මනාපය SMS කිරීම අවශ්‍ය නොවේ (moviepilot.com)

බොහෝ දුරට සමාන එහෙත් වෙනස්කම් ද ඇතුළත් කතා තේමාවක් ඇතුළත් මෙම සිනමා නිර්මාණයන් ද්විත්වය ගැන විචාරකයන් හා රසිකයන් විවිධ අදහස් දක්වනවා. ආසන්න වශයෙන් එකම තරමේ නිෂ්පාදන වියදමක් දරා නිමවූවත් Captain America: Civil War මේ වනවිට ඇ. ඩො. බිලියනයක Box Office ආදායමක් ලබමින් තිරගත වෙද්දී එහි DC ප්‍රතිවාදියා ලබා ගත්තේ ඇ. ඩො. මිලියන 871ක් පමණයි.  නමුත් ආදායම කියන්නේ චිත්‍රපටයක සාර්ථකත්වය මනින එකම මිම්ම නොවෙයි. කැමරාකරණය හා පසුබිම් සංගීත නිර්මාණය අතින් Batman V Superman ඉදිරියෙන් සිටින බව බහුතරයකගේ අදහසයි. අධ්‍යක්ෂක Zack Snyderගේ අනෙකුත් නිර්මාණ වන 300, Sucker Punch ආදියද නරඹා ඇත්නම් ඔබත් මෙයට එකඟ වේවි. මහත් පැසසුමට ලක්වූ Chirstopher Nolanගේ Batman චිත්‍රපටවල පසුබිම් සංගීතය නිර්මාණය කළ Hans Zimmer  හා Deadpool, Mad Max: Fury Road වැනි චිත්‍රපටවල සංගීත නිර්මාණයෙන් දායක වූ Junkie XL මෙම චිත්‍රපටයට ද තම දායකත්වය දක්වා තිබෙනවා. මේ ඔවුන්ගේ දක්ෂතාවලට හොඳම උදාහරණයක්.

නමුත් උද්වේගකර සටන් ජවනිකා නිර්මාණයේදී Captain America: Civil War ඉදිරියෙන් සිටින බවට DC රසිකයන්ද එකඟවන අවස්ථා බොහොමයි. මෙම චිත්‍රපට දෙකම නව යොවුන් හා වැඩිහිටි ප්‍රේක්ෂකයන් උදෙසා නිර්මාණය කර තිබුණත් සමස්තයක් ලෙස වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගන්නට සමත්වුණේ Captain America: Civil War විසින්. Batman V Superman ඇතුළු DC චිත්‍රපට තම කතා වස්තූන් (අනවශ්‍ය ලෙස?) බැරෑරුම් ආකාරයෙන් ඉදිරිපත් කිරීම මෙයට හේතුවක් ලෙස බොහෝ දෙනා දක්වනවා. Civil War අධ්‍යක්ෂණය කළ Russo සහෝදරයන් තම ඉලක්කගත ප්‍රේක්ෂකයින්ට අවශ්‍ය දේ ආකර්ශණිය ලෙස ඉදිරිපත් කිරීම අතින් ඉදිරියෙන් ඉන්නා බවද මෙයින් පෙනීයනවා.

මේ, මාව මතකද? මම මෙතන හිටියා කියල කාටහරි කියල තිබ්බොත් ඉතින් sorry තමයි හොඳේ (michaelpiff.com)

මේ, මාව මතකද? මම මෙතන හිටියා කියල කාටහරි කියල තිබ්බොත් ඉතින් sorry තමයි හොඳේ (michaelpiff.com)

තත්ත්වය එසේ වුවත් Batman V Superman හි අවසානය, ප්‍රධාන චරිතයක් මියයාම හා ප්‍රධාන චරිත අතර ගැටුමටක් ඇතිවීමට හේතුව (ගැටුම අවසාන වූ හේතුව නොවේ) වඩාත් පරිණත ලෙස ඉදිරිපත් කර ඇති බවටත් සමහර විචාරකයින් අදහස් දක්වනවා. එසේම Russo සහෝදරයන් පවසන පරිදි Captain America: Civil War නිර්මාණය කිරීමට ඔවුන් අදහස් කර ඇත්තේද Batman V Superman නිර්මාණය කිරීමේ අදහස Warner Bros. Pictures විසින් මුල්වරට ප්‍රසිද්ධ කළ පසුවයි.

කෙසේ වෙතත් චිත්‍රපට රසවින්දන මට්ටම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඔබ මේ වනවිට මෙම චිත්‍රපට නරඹා ඇත්නම් මේ කරුණු පිළිබඳව මීට වඩා වෙනස් අදහස් ඔබට තියෙන්නට පුළුවන්. ඔබේ ඒ ප්‍රතිචාර පහත comment මගින් අපට දන්වන්න. තාමත් නැරඹීමට අවස්ථාවක් නොලැබුණා වුවත් නැරඹීමට අදහස් කරගෙන සිටින කෙනෙක්නම් ඔබත් මෙමගින් නොදන්නා කරුණු කිහිපයක් දැනගත්තා යැයි අපි සිතනවා. මිතුරන්ටත් මේ පිළිබඳ දැනගන්න මේ ලිපිය ඔවුන් සමගත් බෙදාගන්න. තවත් මෙවැනි දැවැන්ත සිනමා නිර්මාණ පිළිබඳ තොරතුරුත් සමග නුදුරු අනාගතයේ නැවත හමුවෙමු!

මූලාශ්‍ර: http://whatculture.com/film-tv/8-things-batman-v-superman-did-better-than-captain-america-civil-war

http://www.rollingstone.com/movies/news/civil-war-vs-batman-v-superman-what-marvel-is-getting-right-20160509

http://www.cinemablend.com/new/5-Batman-V-Superman-Mistakes-We-Really-Hope-Captain-America-Civil-War-Avoids-126267.html

කවරයේ  පින්තුරය: newsgate.it

Related Articles