Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

3 Idiots චිත්‍රපටයේ තිරය පිටුපස කතා රැසක්

මෙම ලිපියේ “ස්පොයිලර්ස්” අඩංගු විය හැකි බව සලකන්න.

රාජ්කුමාර් හිරානි නමැති ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරයා තරමක් වෙනස් විදිහට හිතන කලාකරුවෙක්. ඒ නිසා ම ඔහුගේ සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන්ට හැමදා ම මතක හිටින විදිහේ නිර්මාණ බවට පත් වෙනවා. හිරානි අධ්‍යක්ෂණය කළ “Munna Bhai M.B.B.S.” හි මුන්නා භායි චරිතය අදටත් ආදරයට පාත්‍ර වන රංගනයක්. ඉන් වසර 15 කට පසු “මුන්නා භායි” චරිතයට පණ පෙවූ සංජේ දත් නම් ප්‍රවීණ රංගන ශිල්පියාගේ ම ජීවිත කතාව පාදක කර ගනිමින් “Sanju” චිත්‍රපටය නිපදවීමටත් ඔහු සමත් වෙනවා.

බොලිවුඩය තුළ වර්තමානයේ පවත්නා චරිත කතා රැල්ලේ තවත් එක දිගුවක් ලෙස “Sanju” චිත්‍රපටය පෙනෙන්න තිබුණත්, තවමත් ජීවතුන් අතර සිටින, බොලිවුඩයේ ආන්දෝලනාත්මක ම චරිතයක් සිනමාවට නැඟීම පහසු කාරණයක් නොවෙ යි. වෙනස් විදිහට හිතන කෙනෙක් නිසා ම රාජ් කුමාර් හිරානිගේ අධ්‍යක්ෂණයෙන් නිමැවූ චිත්‍රපටයක් එනතුරු මඟ බලාගෙන සිටින රසික පදනමක් බොලිවුඩයේ තිබෙනවා. එය බොලිවුඩ් සංස්කෘතිය තුළ දක්නට ලැබෙන දුර්ලභ කාරණයක්.

රාජ්කුමාර් හිරානි – www.indiatoday.in 

 

හිරානිගේ වෘත්තිය ජීවිතය තුළ මෙතෙක් නිපදවූ ප්‍රබලත ම නිර්මාණය ලෙස සැලකිය හැක්කේ “3 Idiots” චිත්‍රපටය යි. එය ලෝකයේ ඕනෑම තැනක, ඕනෑම සංස්කෘතියක් තුළ සිටින මිනිසකුගේ හදවතට කිඳා බැසීමට තරම් සමත්කම් දක්වන සුන්දර සිනමා අත්දැකීමක්. විශ්ව විද්‍යාලය තුළ හමුවන මිතුරන් තිදෙනකුගේ ජීවිත කේන්ද්‍ර කර ගනිමින් දිවෙන “3 Idiots” කතා පුවත තුළින් විශ්ව විද්‍යාල ජීවිතයේ තිබෙන සුන්දරත්වය මනා ලෙස ගෙන හැර දක්වනවා. මිත්‍රත්වය, ජීවිතයේ එක් එක් අවධි හමුවේ මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වන හැටි, බලාපොරොත්තු, සිහින හඹා යෑම, උසස් අධ්‍යාපනය තුළ පවතින ගැටලු, තරගකාරීත්වය තුළ මනුෂ්‍යත්වය යටපත් වන හැටි, ආදී කරුණු ගණනාවක් ඔස්සේ මෙහි කතාව ගලා යනවා.

3 Idiots චිත්‍රපයට මූලිකව ම පාදක වී ඇත්තේ චේතන් භගත් ගේ “Five Point Someone” කෘතිය යි. චිත්‍රපටය වෙනුවෙන් ආමීර් ඛාන්, රංගනාදන් මාධවන්, ෂර්මන් ජෝෂි, කරීනා කපූර් ඛාන්, බෝමන් ඉරානි, ඔමි වෛද්‍යා  යන ප්‍රවීණ නළු නිළියන් රංගනයෙන් දායක වුණා. ඉතින් මේ ලිපිය වෙන් වන්නේ චිත්‍රපටයේ අප්‍රසිද්ධ කරුණු කිහිපයක් වෙනුවෙන්.

උසස් අධ්‍යාපනයේ ඉගෙනුම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් සිටින රැන්චෝ – nettv4u.com 

විදුහලට අලුත් නේවාසික පිරිසක්

චිත්‍රපටයට අනුව ප්‍රධාන චරිත තුන වන රැංචෝ, රාජු සහ ෆර්හාන් ඉගෙනුම ලබන්නේ ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ප්‍රසිද්ධියක් උසුලන ඉම්පීරියල් ඉංජිනේරු විද්‍යාලයේ යි. ඒ සඳහා පසුතල ලෙස යොදාගෙන ඇත්තේ බැංගලූරු හි පිහිටි ඉන්දියානු කළමණාකරණ ආයතනය යි. චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයන් ආයතනයේ නිදන ශාලා සහ විද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගත් බව පැවසෙනවා.

අමීර් ඛාන් ඉන්දියානු කළමනාකරණ ආයතනයේ පරිසරය ඡායාරූප හරහා දැක තිබුණත්, රූගත කිරීම් සඳහා පමණක් නොපැමිණ එහි රැඳෙන්නට උනන්දු වුණා. ඒ නිසා ම ඔහුත් කාර්ය මණ්ඩලය සමඟ ආයතය නේවාසිකාගාරයේ නවාතැන් ගත්තා.

කළමනාකරණ ආයතනයේ ගත කළ කාලය – www.bollywoodbubble.com 

මේ කාමරවල තිබුණේ මූලික පහසුකම් කිහිපයක් පමණ යි. නමුත්, අමීර් ඛාන් ඇතුළු රංගන ශිල්පීන් මේ අවම පහසුකම් ගැටලුවක් කර ගත්තේ නැහැ. ඒ වෙනුවට චරිත තුළ සාර්ථක වීම සඳහා උසස් විදුහලේ අධ්‍යයන රටාව, සිසු ජීවිතය පිළිබඳ සොයා බැලීම සඳහා ඔවුන් කාලය මිඩංගු කළා. ආමීර් ඛාන්, කළමනාකරණ ආයතනයේ සිසුන් සමඟ බැඩ්මින්ටන්, ටෙනිස් සහ චෙස් ක්‍රීඩා කරමින් සැහැල්ලුවෙන් කාලය ගත කිරීම ඊට කදි ම උදාහරණයක්.

සයිලන්සර්ගේ අසහාය දේශනය ඔබට මතක ද? – www.scoopwhoop.com 

පසුතල දර්ශන රැසක්

3 Idiots චිත්‍රපටය රූගත කිරීමේ පිළිවෙළත් තරමක වෙනස් ස්වභාවයක් ගන්නවා. චිත්‍රපටයේ සිදුවීම් ප්‍රතිලෝම ව රූගත කර ඇති අතර, වර්තමාන කාලය නියෝජනය කරන සිදුවීම් ප්‍රථමවත්, මිතුරන් තිදෙනා උසස් විදුහලේ ගත කරන කාලය අවසානයටත් රූගත කර තිබෙනවා. වර්තමානය නියෝජනය කරන සිදුවීම් වෙනුවෙන් පසුතල දර්ශන රැසක් යොදා ගැනීමට චිත්‍රපට නිෂ්පාදකයන්ට සිදු වුණා. මුම්බායි නගරය, ලඩාක්, ජම්මු සහ කාශ්මීර්, කර්ණාටක ප්‍රාන්තයේ ඇතැම් පෙදෙස්, ෂිම්ලා, හිමාචල් ප්‍රදේශ්, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ආදී ප්‍රදේශ රැසකට ගමන් කිරීමට ඔවුන්ට සිදු වුණා.

ෂාරුක් වෙනුවට ආමීර්..?

රාජ්කුමාර් හිරානි පවසන පරිදි චිත්‍රපටයේ චරිතවලට ගැළපෙන රංගන ශිල්පීන් තේරීම තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් වුණා. ඔහු මාස හයක් පුරා කුසලතා පරීක්ෂණ පවත්වමින් සුදුසු රංගන ශිල්පීන් සෙවීමට වෙහෙස වූ බව කියවෙනවා. කෙසේ නමුත්, රංගන ශිල්පීන්ට මනා පළපුරුද්දක් තිබීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස ඔහු සැලකූ බැවින්, නවක නළු නිළියන්ට ප්‍රමුඛත්වයක් ලැබුණේ නැහැ. චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය (රැන්චෝදාස් චාන්චඩ්) ෂාරුක් ඛාන්ට ලබා දීමට ඔහු තීරණය කළෙත් ඒ නිසා යි. කාල සටහන සම්බන්ධයෙන් ඇති වූ ගැටලු නිසා හිරානි ලබා දුන් අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට ෂාරුක්ට සිදු වුණා. ඊළඟට හිරානි යොමු වුණේ අමීර් ඛාන් වෙතට යි. ෂාරුක්ගේ ප්‍රතික්ෂේප කිරීම වෙස් වලාගත් ආශිර්වාදයක් බවට පත් කරමින් චරිතය වෙනුවෙන් උපරිම සාධාරණයක් කිරීමට අමීර් ඛාන්ට හැකි වුණා.

ඔබ 3 Idiots නරඹා ඇත්නම් මේ අවස්ථාව අමතක වෙන්න විදිහක් නැහැ – indianexpress.com 

රැන්චෝදාස්ගේ පෙම්වතියට සුදුසු රංගන ශිල්පිනියක් සොයා ගැනීමට නම් එතරම් දුෂ්කර වුණේ නැහැ. රාජ්කුමාර් හිරානි සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දැඩි උනන්දුවක් දැක් වූ කරීනා කපූර්, ලැබුණු අවස්ථාව වහාම භාරගත් බව පැවසෙනවා.

ප්‍රතික්ෂේප කිරීම් තවදුරටත්

‍රැන්චෝදාස්ගේ චරිතයට සුදුසු නළුවාගේ ගැටලුව විසඳී තිබුණත්, රාජු රස්තොගි සහ ෆර්හාන් කුරේෂි යන චරිත සඳහා සුදුසු නළුවන් සොයා ගැනීමත් අර්බුදයට ලක් වී තිබුණා. චිත්‍රපට නිෂ්පාදකයින් අර්ෂාඩ් වර්සි, ජෝන් ඒබ්‍රහම් සහ සයිෆ් අලී ඛාන් වෙත අදාළ චරිත භාරදීම සලකා බැලූ නමුත්, විවිධ හේතු මත ඔවුන් සියල්ලන් ම හිරානිගේ චිත්‍රපටයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළා.

අවසානයේ දී ෆර්හාන් සහ රස්තෝගි චරිත ද්විත්වය සඳහා පිළිවෙළින් මාධවන් සහ ෂර්මන් ජෝෂි තෝරා ගැනීමට නිෂ්පාදකයන් තීරණය කළා. මුන්නාභායි චිත්‍රපටයත් සමඟ ගොඩ නැඟුණු සබඳතාව නිසා ආරාධිත චරිතයක් වෙනුවෙන් සංජේ දත් එකතු කර ගැනීමට හිරානි උත්සහ කළත්, එය ද සාර්ථක වුණේ නැහැ.

මෙම දර්ශනයේ දී ආමීර්, මාධවන් සහ ෂර්මන් සත්‍ය වශයෙන් ම මත්පැනින් මත් වී සිටි බව පැවසෙනවා – indianexpress.com

බීමතින් කළ රංගනය!

චිත්‍රපටයේ එක් අවස්ථාවක මිතුරන් තිදෙනා ම බීමත් ව සිටින දර්ශනයක් රූගත කළ යුතු ව තිබුණා. ස්වභාවයෙන් ම රංගනයේ දී වඩාත් යථාර්ථවාදී වීමට කැමති අමීර් ඛාන්, මෙම දර්ශනයට පෙනී සිටීම සඳහා සත්‍ය වශයෙන් ම බීමත් ව සිටිය යුතුයැ යි යෝජනා කළා. ‍යෝජනාව පිළි ගත් කාර්ය මණ්ඩලය, ඔවුන්ට මත්පැන් ලබා දෙමින් අදාළ දර්ශනය රූගත කිරීමට සැලසුම් කළා.

සිදු වුණේ අනපේක්ෂිත දෙයක්. මෙම ජවනිකාව එක් වාරයකින් රූගත කිරීමට හැකියාව තිබූ රංගනයක්.  අමීර්, මාධවන් සහ ෂර්මන් ඇත්තට ම මත් වී සිටි නිසා වාර කිහිපයක් අදාළ ජවනිකාව රූගත කිරීමට සිදු වුණා. අවසානයේ දී කාර්ය මණ්ඩලය සතුව තිබූ කැමරා රෝල් තොගය පවා අවසාන වූ අතර, අලුත් කැමරා රෝල් ඒ අවස්ථාවේදී ම මිලට ගැනීමට සිදු වුණා. ඒවා ලැබෙන තුරු අමීර්, මාධවන් සහ ෂර්මන් කාර්යබහුල කරවමින් අරමුණෙහි පිහිටුවා ගැනීමට හිරානි වෙහෙසුණා.

මුන්නාභායිට නොවැදගත් වූ ජවනිකාව

චිත්‍රපටයේ තවත් එක වැදගත් ම අවස්ථාවක් වන්නේ පියා සහස්‍ත්‍රබුද්ධිගේ (කරීනා කපූර් රඟ දක්වන) වැඩිමහල් සහෝදරිය (චිත්‍රපටයේ දී මෝනා ලෙස හඳුන්වන) සිය දරුවා බිහි කරන දර්ශනය යි. එදින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරක් හට ගන්නා අතර, සියලු මහා මාර්ග ජලයෙන් යට වන බැවින්, නිසි වේලාවට රෝහල කරා මෝනා රැගෙන යාමට නොහැකි වෙනවා. වහාම ක්‍රියාත්මක වන රැන්චෝදාස් ඇතුළු මිතුරු කැල සිය ඉංජිනේරු ඥානය භාවිත කරමින් දරු උපත සිදු කිරීම සඳහා විකල්ප ක්‍රම සොයන අතරේ වීඩියෝ ඇමතුමක් හරහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීමට රැන්චෝදාස්ගේ පෙම්වතිය ක්‍රියා කරනවා.

චිත්‍රපටයේ මූලික රූගත කිරීම් සිදු කළ ඉන්දියානු කළමනාකරණ ආයතනය – www.livemint.com 

ඇත්ත වශයෙන් ම මෙම ජවනිකාව රාජ්කුමාර් හිරානි සැලසුම් කළේ Munna Bhai M.B.B.S චිත්‍රපටය සඳහා යි. මුන්නාභායි හි කතාවට එම සිදුවීම නොගැළපෙන බව පසුව හැඟුණු බැවින්,  එවැනි දර්ශනයක් රූගත නොකිරීමට තීරණය වුණා. වසර කිහිපයකට පසු දරු උපත සිදු කිරීමේ දර්ශනය 3 Idiots සඳහා මනා ගැළපීමක් සහ අර්ථයක් ගෙන ආවා.

දරු උපතේ දර්ශනය සැලසුම් වුණේ “මුන්නාභායි” චිත්‍රපටය සඳහා යි. නමුත්, එය වඩාත් ගැලපුණේ 3 Idiots චිත්‍රපටයට – www.entertales.com

අමීර් ඛාන්ගේ කැප වීම

රැන්චෝදාස් චාන්චඩ් යනු තරුණ, සිහින් දේහධාරී සරසවි ශිෂ්‍යයෙක්. නමුත්, මේ චරිතයට පණ පෙව්වේ මැදිවියත් ඉක්මවමින් සිටින, පිරිපුන් දේහයක් ඇති අමීර් ඛාන්. සාමාන්‍යයෙන් අමීර් ඛාන් චරිතයට අවශ්‍ය භෞතික පෙනුම ස්වෝත්සාහයෙන් ම ගොඩනඟා ගැනීමට උත්සහ කරන රංගන ශිල්පියෙක්. ඒ සඳහා ඔහු විශාල කැප කිරීම් සිදු කරනවා. ඉතින් මේ චරිතයට අදාළ කෙට්ටු ශරීරය ලබා ගැනීම සඳහා දැඩි ආහාර පාලනයක් සිදු කිරීමට ඔහු තීරණය කළා. 3 Idiots රූගත කිරීම් අතරතුර අමීර් තම උපන්දින කේක් එක පවා අනුභවයෙන් වැලකී සිටි බව පැවසෙනවා. ඒ අතර කාලයේ ඔහුගේ ප්‍රධාන ආහාර වූයේ කිරි සහ කෙසෙල් වැනි සරල ආහාර පමණ යි.

රැන්චෝ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් අතින් අර්බුදයට ලක් වෙන්න ආසන්න අවස්ථාවක –  www.bollywoodbubble.com 

සමාජ බලපෑමක් ඇති කළ නිර්මාණයක්

ඉන්දියාව ඇතුළු ව බොහෝ ආසියාතික රටවල පවත්නා උසස් අධ්‍යාපනයේ ගැටලු සහ ප්‍රායෝගිකත්වය පිළිබඳ ව නැවත විමසා බැලීමක් සිදු කිරීමට උනන්දු කරවූ චිත්‍රපටයක් ලෙස 3 Idiots හැඳින්විය හැකි යි. ඉන්දියාවේ මෙන් ම විදේශ රටවල පවා මෙම චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය වූ නිසා බොහෝ විශ්ලේෂකයන් චිත්‍රපටයෙන් නිරූපණය වන පණිවිඩය සිද්ධි අධ්‍යනයක් ලෙස සැලකීමට පෙලැඹුණා. ශිෂ්‍යන්ට ඇති මානසික පීඩනය සහ වෙහෙස අඩු කරමින් ඉන්දියානු අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමට ඇති හැකියාව චිත්‍රපටයෙන් පෙන්වා දෙන අයුරු බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ බව කියවෙනවා.

 ඉන්දියාව හැරුණු කොට චිත්‍රපටයෙන් සාකච්ඡා කෙරෙන අධ්‍යාපන ගැටලු කෙරෙහි වැඩි ම සංවේදනයක් දැක් වූ රට වන්නේ චීනය යි. චිත්‍රපටය චීනයේ ඉතා ජනප්‍රිය සාර්ථක වූ අතර, ආමීර් ඛාන්ට ශක්තිමත් රසික පදනමක් චීනයේ නිර්මාණය වීමටත් 3 Idiots හි ජනප්‍රියත්වය බලපෑවා. පසුකාලීන ව නිකුත් වූ ආමීර් ඛාන්ගේ චිත්‍රපට ඉතා විශාල සාර්ථකත්වයක් චීනය තුළ ලබා ගත්තේ මේ රසික පදනම නිසා යි.

මෙක්සිකෝවෙනුත් මෝඩයෝ තුන්දෙනෙක්!

3 Idiots චිත්‍රපටයේ උන්මාදය පැතිර ගියේ ආසියාතික රටවලට පමණක් නොවෙයි. එය අමෙරිකානු කලාපයේ සිටින රසිකයන්ගේ සිත් පවා පැහැර ගැනීමට සමත් වුණා. හොලිවුඩ් දැවැන්තයෙක් වන ස්ටීවන් ස්පීල්බර්ග් පවා මේ “මෝඩයෝ තුන්දෙනාට” ආදරය කළ අතර, 2013 වසරේ දී හින්දුස්ථාන් ටයිම්ස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මේ ගැන හෙළි කර තිබුණා. 3 Idiots යනු තමා නරඹා ඇති හින්දි චිත්‍රපට කිහිපයෙන් එකක් බවත්, එහි හැඟීම්බර සංවේදනයන්ට ආදරය කළ නිසා තුන් වතාවක් නැරඹීමට පෙලැඹුණු බවත් ඔහු එහි දී පවසා තිබුණා.

2017 දී රාජ්කුමාර් හිරානිගේ මේ අනර්ඝ නිර්මාණය මෙක්සිකෝවේ දී “3 idiotas” නමින් ප්‍රතිනිර්මාණය වුණා. හින්දි චිත්‍රපටයේ දක්නට ලැබෙන කතාව සහ සෞන්දර්යාත්මක විලාසය, මෙක්සිකානු චිත්‍රපටයේදීත් විශාල වෙනස්කමකට ලක් ව තිබුණේ නැහැ. මෙක්සිකෝව තුළ සැලකිය යුතු වාණිජ සාර්ථකත්වයක් අත් කර ගැනීමටත් ප්‍රතිනිර්මාණය සමත් වුණා.

3 Idiots චිත්‍රපටයේ මෙක්සිකානු ප්‍රතිනිර්මාණය – www.impawards.com 

කවරයේ ඡායාරූපය: මිත්‍රත්වයේ සොඳුරුත ම තැන් ස්පර්ශ කරන "මෝඩයෝ තුන්දෙනා". සැබැවින් ම ඔවුන් ඇත්තට ම මෝඩ ද?  - www.brightwalldarkroom.com

මූලාශ්‍ර:

 www.hindustantimes.com

 www.latlong.net 

www.hindustantimes.com

www.eatmy.news

mea.gov.in

www.zoomtventertainment.com

www.huffpost.com

Related Articles