Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාර්නියා චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා

සී.එස්. ලෙවිස් රචනා කළ “ද ක්‍රොනිකල්ස් ඔෆ් නාර්නියා” ග්‍රන්ථ මාලාව, ළමා සාහිත්‍යයේ ෆැන්ටසි ගණයට අයත් බොහොම ආදරණීය නිර්මාණ එකතුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නාර්නියා කතා මාලාවට අයත් පළමු පොත ප්‍රකාශයට පත් කළේ 1950 වසරේදී යි. එතැන් පටන් මේ දක්වා ග්‍රන්ථ මාලාවේ පිටපත් මිලියන 100 ත් වඩා ලොව පුරා අලෙවි වෙලා තිබෙනවා. අතිමහත් ජනප්‍රියතාව සැලකිල්ලට ගත් නිර්මාණකරුවන්, නාර්නියා ග්‍රන්ථ මාලාව පසුබිම් කර ගත් රූපවාහිනි නිර්මාණ, ගුවන් විදුලි නාටක, වේදිකා නාට්‍ය නිෂ්පාදනය කි‍රීම ඇරඹුවා. වයස් භේදයකින් තොරව ඉංග්‍රීසි භාෂා හැකියාව ඔප් නංවන්නත් නාර්නියා ග්‍රන්ථ මාලාව උපකාරී වී තිබෙනවා.

කාලානුක්‍රමය සහ ප්‍රකාශන පිළිවෙල අනුව නාර්නියා ග්‍රන්ථ මාලාව සැකසෙන අයුරු – www.pinterest.com 

 2005 වර්ෂය නාර්නියා රසිකයන්ට ඉතා වැදගත් අවුරුද්දක් වුණා. ග්‍රන්ථ මාලාවේ පළමුවැන්න වූ “The Lion, the Witch and the Wardrobe” පාදක කරගත් සිනමා නිර්මාණය නිකුත් වීම එයට හේතුව යි. ඉන්පසු “Prince Caspian” සහ “The Voyage of the Dawn Treader” යන චිත්‍රපට ද්විත්වය පිළිවෙළින් 2008 සහ 2010 වර්ෂවලදී නිකුත් වුණා. කෙසේ නමුත්, The Lord of The Rings, Harry Potter වැනි අනෙකුත් සුප්‍රසිද්ධ ෆැන්ටසිමය නිර්මාණ සමඟ සසඳන විට සිනමාව තුළ දී නාර්නියා රසිකයන්ට යම් අසාධාරණයක් සිදු වුණා. නාර්නියා ග්‍රන්ථ මාලාවේ අදියර හතක් තිබුණත්, සිනමාවට නැඟුණේ එයින් තුනක් පමණ යි. ඉතින් මේ ලිපිය වෙන් වන්නේ නාර්නියා චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා වෙනුවෙන්.   

මෙතැන් සිට ලිපියේ ස්පොයිලර්ස් අඩංගු විය හැක!

ජෝර්ජි හෙන්ලිගේ අව්‍යාජත්වය

 පෙවෙන්සි සහෝදර සහෝදරියන් අතරෙන් නාර්නියා ලෝකයට ප්‍රවිෂ්ඨ වීමේ මඟ මුලින් ම සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ළා බාලතමයා වූ ලුසී පෙවෙන්සිට යි. ඇය නාර්නියා ලෝකයට ඇතුළු වන මොහොත ඉතා විචිත්‍ර අන්දමින් සිනමාවට නඟන්නට එහි අධ්‍යක්ෂවරයා සමත් වෙලා තිබෙනවා. හිමෙන් වැසුණු නාර්නියා ලෝකය දැක්ක පළමු අවස්ථාවේ දී ලුසීගේ මුහුණෙන් විශ්මය මුසු සතුටක් ප්‍රකාශ වෙනවා. එතනදී ලුසීගේ චරිතයට පණ පොවන ජෝර්ජි හෙන්ලි කරන්නේ රඟපෑමක් නොවෙ යි. ඇයට ඒ මොහොතේදී දැනුණු සියලු හැඟීම් අව්‍යාජ ඒවා නිසා මුහුණේ ඉරියව් ඊට සමපාතව ඉබේ ම නිරූපණය වුණා.

නාර්නියා දේශයේ ජීවනාලිය බඳු අස්ලාන් – wallpapercave.com 

 ටික වේලාවකට පසු ඇයට ටම්නස් මහතා මුණ ගැසෙනවා.  ටම්නස් කියන්නේ අර්ධ මිනිස් ස්වරූපයක් ඇති වෙනස් ජීවි කොට්ඨාශයකට අයත් තැනැත්තෙක්. ටම්නස් චරිතයට පණපෙවූ ජේම්ස් මැකවෝයිට මේ සඳහා සංකීර්ණ අංග රචනයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ කිසිවක් ජෝර්ජි හෙන්ලි දැන සිටියේ නැහැ. ඉතින් ටම්නස් මහතා දුටු සැණින් ඇය ඇත්තටම බියට පත් වුණා. මේ දර්ශනයේ ස්වභාවිකත්වය ඉතා වැදගත් වූ නිසා චිත්‍රපටයේ දර්ශන කිසිවක් ජෝර්ජිට විස්තර නොකරන්නට එහි අධ්‍යක්ෂකවරයා වග බලා ගෙන තිබුණා. එකල ජෝර්ජි හෙන්ලි අට හැවිරිදි කුඩා දැරියක්. ඇයට චිත්‍රපටයේ රූගත කිරීම් ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඇයගේ අනවබෝධය අධ්‍යක්ෂවරයා බොහොම අහිංසක ලෙස පාවිච්චි කර තිබුණා. අදාළ දර්ශනය යළි මතකයට නඟා ගැනීමට අවශ්‍ය නම් මේ වීඩියෝව නරඹන්න  

පීටර් පෙවෙන්සිට නළුවන් 3000 ක්!

 නිර්මාණයක් සඳහා දක්ෂ ළමා නළුවකු හෝ නිළියක සොයා ගැනීම තරමක දුෂ්කර කටයුත්තක්. නාර්නියා චිත්‍රපට මාලාව සඳහා මූලිකව ම ළමා චරිත හතරකට රංගන ශිල්පීන් සෙවිය යුතු නිසා මේ කාරණය වඩාත් සංකීර්ණ වුණා. පීටර්, එඩ්මන්ඩ්, සූසන්, ලුසී යන චරිත සඳහා ළමා නළු නිළියන් දහස් ගණනක් සලකා බලන්න නිර්මාණකරුවන්ට ඒ අනුව සිදු වුණා. පීටර් පෙවෙන්සි චරිතය සඳහා පමණක් තුන්දහසකට ආසන්න පිරිසකගේ දක්ෂතා විමසා බැලූ බව සඳහන් වෙනවා.

විලියම් මෝස්ලි, ජෝර්ජි හෙන්ලිට සැබෑ ජීවිතයේත් වැඩිමහල් සොහොයුරෙක් බඳු යි – www.deviantart.com 

රංගනයේ කිරුළ අතහැරි කුමාරයා

 ලෝකය පුරා ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් චිත්‍රපටි මාලාවකට දායක වීම බොහෝ රංගන වෘත්තිකයන්ගේ සිහිනයක්. එයින් ලැබෙන සාර්ථකත්වය, ප්‍රසිද්ධිය මුළු ජීවිත කාලය පුරා ම පවතින්න පුළුවන්. ජෝර්ජි, ඇනා, විලියම්, ස්කැන්ඩර් යන ළමා නළු නිළියන්ගේ රංගන දිවියේ වැදගත් ම සංධිස්ථානය වුණේ නාර්නියා චිත්‍රපට මාලාව යි. එයින් ලැබුණු ප්‍රසිද්ධිය සහ පෙන්වූ දක්ෂතා නිසා තවත් නිර්මාණ කටයුතුවලට දායක වෙන්න ඔවුන්ට හැකි වුණා. නමුත්, නාර්නියා දේශයේ කුමාරයෙක් ලෙස කිරුළු පැළඳූ ස්කැන්ඩර් කෙයිනස් (එඩ්මන්ඩ් පෙවෙන්සිගේ චරිතය වෙනුවෙන්), තම රංගනයේ කිරුළ අතහැරියා.

 “The Voyage of the Dawn Treader” අදියරෙන් පසු ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී මැද පෙරදිග ඉතිහාසය සහ අරාබි භාෂාව හැදෑරූ අතර, නැවත රංගනය උදෙසා පැමිණියේ නැහැ. විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයෙන් පසු ඔහු දේශපාලන උපදේශකවරයකු ලෙස වෘත්තීය ජීවිතය  අරඹමින් රංගනයට සමු දුන්නා. ස්කැන්ඩර්ගේ දේශපාලන භූමිකාව අනුව නාර්නියා දේශය පාලනය කළ ආකාරයට ම අනාගතයේ දී එක්සත් රාජධානියේ පාලනයත් භාර ගතහොත්, නාර්නියා රසිකයන්ට පුදුම හිතෙන කාරණයක් වේවි.

ස්කැන්ඩර් කෙයිනස් අද දේශපාලන උපදේශකවරයකු ලෙස සේවය කරනවා – www.imdb.com 

පිනි මුවන් තහනම්..!

 නාර්නියාව නිමා නොවන ශිශිර කාලයකට යටත් කළ දුෂ්ට මායාකාරිය ඔබට මතක ද? ඇය නාර්නියාව පුරා සංචාරය කළේ පිනි මුවන් බැඳි හිම යානයක වන අතර, චිත්‍රපටයේ දී එම සිදුවීම රූගත කිරීම සඳහා පිනි මුවන්ගේ අවශ්‍යතාවක් මතු වුණා. නාර්නියා චිත්‍රපට මාලාවේ පළමුවැන්නේ බොහෝමයක් වැඩ කටයුතු සිදු කළේ නවසීලන්තය ආශ්‍රිතව යි. එහි පිනි මුවන් නොමැති නිසා සතුන් කිහිප දෙනකු පිටින් ගෙන්වීමට කාර්ය මණ්ඩලය සැලසුම් කළා. නවසීලන්තයේ කෘෂිකර්මාන්ත සහ වන විද්‍යා අමාත්‍යාශය ඒ සඳහා අවසර ලබා දුන්නේ නැහැ. නවසීලන්තය යනු බොහොම සංවේදී පරිසර පද්ධතියක් සහිත රාජ්‍යයක්. ආවේණික සහ දුර්ලභ ජීවින් රැසක් එහි ජීවත් වෙනවා. මේ නිසා පිටින් ගෙන්වන ජීවින් සම්බන්ධයෙන් දැඩි නීති රෙගුලාසි නවසීලන්තයේ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව යම් යාන්ත්‍රනික තාක්ෂණයක් ඔස්සේ විසඳුම් සෙවීමට කාර්ය මණ්ඩලයට සිදු වුණා.

“The Voyage of the Dawn Treader”  චිත්‍රපට අදියර සඳහා ටයිටැනික් චිත්‍රපටයට සමාන තාක්ෂණයක් භාවිත කර තිබෙනවා
 – screenrant.com 

යාත්‍රා නොකළ නැව

 The Voyage of the Dawn Treader නම් චිත්‍රපට අදියරේ දී ධාවන කාලයෙන් වැඩි කොටසක් වෙන් වන්නේ සමුදුරු තරණයක් වෙනුවෙන් බව ඔබට මතක ඇති. මෙහිදී රූගත කිරීම් සඳහා විශාල ජල තටාකයක් නිර්මාණකරුවන් භාවිත කර තිබෙන අතර, එය ටයිටැනික් චිත්‍රපටය සඳහා යොදා ගත් ක්‍රමවේදය තරමටම මහා පරිමාණයෙන් සිදු කළ බව පැවසෙනවා. මීට අමතර ව,  Master and Commander: The Far Side of the World වැනි දැවැන්ත මූල්‍ය පිරිවැයක් දැරූ නිර්මාණ සඳහාත් මේ සුවිශාල තටාකය භාවිත කර තිබෙනවා. 

විවිධ ජාතීන් සඳහා විවිධ සටන්

 කතා කරන සතුන්ගේ සිට මිනිස්-මෘග දෙමුහුන් ලක්ෂණ පෙන්වන ජීවින් දක්වා විවිධත්වයකින් යුතු ජාතීන් රැසක් නාර්නියාවේ ජීවත් වෙනවා. චිත්‍රපට මාලාව පුරාම නාර්නියාවේ විවිධ ජාතීන් අතර ගැටුම් ඇති වෙනවා. ඇතැම් විට ජාතීන් කිහිපයක් එකට එකතු වී තනි සටන් පෙරමුණක් නියෝජනය කරනවා. චිත්‍රපටයේ නිර්මාණකරුවන් මේ එක් එක් ජාතීන් සඳහා වෙන වෙන ම සටන් විලාස ගොඩ නැංවීමට උත්සහ කර තිබෙනවා. Prince Caspian අදියරේදී එම සටන් විවිධත්වය හොඳින් ම ප්‍රදර්ශනය වෙනවා.

එඩ්මන්ඩ් පෙවෙන්සි මායාකාරිය හමුවූ මොහොත – www.vox.com 

ළමා නළු නිළියන්ගේ වයස් ගැටලුව

 “ද ක්‍රොනිකල් ඔෆ් නාර්නියා” ග්‍රන්ථ මාලාවේ කාලානුක්‍රමය තරමක් සංකීර්ණ යි. එහි හයවැනි පොතේ සිදුවීම් පළමුවැන්නට පෙර සිදුවූ දේවල් ලෙස විස්තර වෙනවා. පස්වන පොතේ කතාව, දෙවන, තෙවන, සිව්වන සහ සත්වැනි පොත්වල සඳහන් කාලයට පෙර සිදුවූ දේවල් ලෙස දිග හැරෙනවා. සංකීර්ණත්වයට පිළියමක් ලෙස “The Lion, the Witch and Wardrobe” චිත්‍රපට අදියර නිකුත් කිරීමෙන් පසු නිෂ්පාදකවරුන් පොත් මාලාව ප්‍රකාශයට පත්වූ පිළිවෙළ අනුව චිත්‍රපට සෑදීමට තීරණය කළා.

 සැබෑ කාලානුක්‍රමය භාවිත කළා නම්, “The Lion, the Witch and Wardrobe” හි ළමා නළුවන් තම චරිත නිරූපණය කිරීමට නොහැකි තරමට වයසින් මෝරා ගොස් තිබේ වි. ළමා නළුවන් සියලු දෙනා ම නව යොවුන් වියට ආසන්න ව සිටි නිසා කාලයත් සමඟ යම් සටනක් දෙන්න අධ්‍යක්ෂකවරයාට සිදු වුණා. උදාහරණයක් ලෙස එඩ්මන්ඩ් පෙවෙන්සිගේ චරිතය නිරූපණය කළ ස්කැන්ඩර් කෙයිනස්ගේ උස රූගත කිරීම් අවසාන වනවිට අඟල් හයකින් වැඩි වී තිබුණා. ඔහුගේ කටහඬ වෙනස් වීමත් ආරම්භ වූ නිසා සමහර දෙබස් නැවත පටිගත කිරීම සඳහා නිෂ්පාදකයන් ස්කැන්ඩර්ගේ සහෝදරිය ගෙන්වා ගත්තා.  

ටම්නස් මහතාගේ දුක

 ටම්නස්ගේ නමැති මිනිස්-මෘග චරිතය රඟපෑ ජේම්ස් මැකවෝයි, එම චරිතය උදෙසා විශේෂ කැප කිරීමක් කළා. සෑම දිනකම ඔහු වේශ නිරූපණය වෙනුවෙන් පැය තුනක් පුටුව මත කාලය ගත කොට තිබෙනවා. ටම්නස් චරිතය සඳහා කොණ්ඩය, රැවුළ, ශරීරයේ රෝම සහ ඇහිබැම විශේෂ අයුරින් සැකසීමට සිදුවූ අතර, මැකවෝයිගේ ශරීරයේ පහළ කොටස එළුවකුගේ ආකාරයෙන් පෙනිය යුතු නිසා ලොම් සහිත කලිසමක් ඇදීමට සිදුවුණා. ඒවා පැළඳ ඇවිදීමත් ඔහුට අභියෝගයක් වූ අතර, දණහිස මඳක් නමා පාඇඟිලි වලින් ඇවිදින ආකාරය අනුගමනය කිරීමෙන් තමන්ට පහසුවක් දැනුණු බව මැකවෝයි පවසා තිබුණා.

වැරදි වචනයක් පිට වුණොත්, ජෝර්ජිගෙන් දඩයක් කන්න කාර්ය මණ්ඩලයට සිදු වුණා – www.pinterest.com

ලුසී, ටම්නස්ට දඩ ගසයි!

 නිෂ්පාදන කටයුතුවල බැරෑරුම් අවස්ථා එළඹුණු විට පීඩනය නිසා ම කාර්ය මණ්ඩලය සහ වැඩිහිටි නළු නිළියන්ගේ මුවෙන් අසභ්‍ය වචනයක් දෙකක් පිටවීම සාමාන්‍ය කරුණක් වුණා. නමුත්, ලුසීගේ චරිතය රඟපෑ ජෝර්ජි හෙන්ලි එම ක්‍රියාව ඉවසුවේ නැහැ. ඊට විසඳුමක් ලෙස ඇය වැඩබිම තුළ බඳුනක් තැබූ අතර, අසභ්‍ය වචන කියන ඕනෑම කෙනකු දඩයක් ලෙස යම් මුදලක් එම භාජනයට දැමිය යුතු වුණා. ස්කැන්ඩර් කෙයිනස් පවා එම භාජනයට මුදලක් දමා තිබුණා. ජේම්ස් මැකවෝයි පළමු දිනයේ සිටම වැඩියෙන් ම දඩකෑ පුද්ගලයා ලෙස ඉදිරියෙන් ම සිටියා. බැරෑරුම් වේශ නිරූපණය හමුවේ මැකවෝයි කාලය ගත කළේ තරමක නොසන්සුන් බවකින්.

 “මේ දර්ශනය ගැන මං හිටියේ එතරම් සතුටකින් නෙවෙයි. මට සෙම්ප්‍රතිශ්‍යාවත් එදා තිබුණා. එළුවකු ආකාරයෙන් නාස්පුඩු පේන්න ඕන නිසා මං ජෙලටින් නාසයක් පැළඳ සිටියා. ඒ අතර සෙම්ප්‍රතිශ්‍යාව නිසා සොටු දියර ගලන්නත් පටන් ගත්තා. අන්තිමේදී මගේ ජෙලටින් නහය දියවෙන්න ගත්තා. මං ඒක ඇඟිල්ලකින් තල්ලු කරලා සකස ගන්න උත්සහ කරන කොට ම ගැලවිලා ගියා. මට එකවර ම අසභ්‍ය වචනයක් කියවුණා අර අට හැවිරිදි කෙල්ලගේ (ලුසී පෙවෙන්සි/ජෝර්ජි හෙන්ලි) මුහුණ ඉදිරිපිට ම!”

රූගත කිරීම්වල පළමු දිනයේ අත්දැකීම් ඔහු එලෙස බෙදාහදා ගෙන තිබුණා.

  අසභ්‍ය වචනය නිසා ජේම්ස් මැකවෝයිට නවසීලන්ත ඩොලර් හතරක දඩයක් ජෝර්ජි පිහිටවූ බඳුනට දමන්න සිදු වුණා. 

කිරුළු පැළඳූ පෙවෙන්සි සොයුරු සොයුරියන් – weheartit.com 

සැබෑ ජීවිතයේත් ලොකු සහෝදරයා

 පෙවෙන්සි සහෝදරයන් අතුරින් පීටර් පෙවෙන්සි නම් චරිතය විශේෂ යි. ඔහු පෙවෙන්සි සොහොයුරන් අතුරින් වැඩිමහල් ම පුද්ගලයා වන අතර, තම සොහොයුරු සොහොයුරියන්ගේ වගකීමත් දරනවා. මේ චරිතයට පණ පොවන්නේ විලියම් මෝස්ලි. චිත්‍රපට මාලාව පුරාම (විශේෂයෙන් පළමු චිත්‍රපට දෙක) වගකීම් සහගත හා පරිණත වැඩිමලාගේ චරිතය ඔහු විශිෂ්ට අන්දමින් නිරූපණය කළා. පීටර් පෙවෙන්සිගේ ඇතැම් චරිත ලක්ෂණ සැබෑ ජීවිතයේදීත් විලියම් සතු ව පවතින බව ජෝර්ජි හෙන්ස්ලි පවසා තිබෙනවා.

 පළමු චිත්‍රපට දෙකේ වැඩ කටයුතු අතරතුර ජෝර්ජි හෙන්ලි, විලියම් මෝස්ලිට සහෝදරියක් තරමට සමීප වී තිබෙනවා.  ඒ බැඳීම අද දක්වා එලෙස ම පවතින බවත් කියවෙනවා. ජෝර්ජිට අනුව චිත්‍රපටය තුළ දක්නට ලැබෙන ලුසී-පීටර් බැඳීම, ඔවුන්ගේ පවුල් සබඳතා නැවත විදහා පෙන්වීමක් බඳු යි. 

 “මට වැඩිමහල් සහෝදරියන් දෙදෙනකු සිටිනවා. මං තමයි බාලයා. විලියම්ගේ පවුල ගත්තොත්, එයා තමයි ඒ පවුලේ ලොකු සහෝදරයා. අපි දෙන්නා අතර යම් බැඳීමක් ඇති වුණේ ඒ හේතුව නිසා කියලා මට හිතෙනවා. වැඩ කටයුතු අතරතුර යම් සැනසීමක්, විනෝදයක් අවශ්‍ය කරනවා නම් විලියම් ඒ වෙනුවෙන් හැම වෙලාවකම ඉන්නවා. සිත් වේදනාවක් දැනෙන මොහොතකදීත් විලියම් ළඟින්ම ඉන්නවා. අපි දෙන්නම එකම පසුබිමක් මත හැදී වැඩුණු නිසා ඒ වගේ බැඳීමක් ඇති වෙන්න ඇති. වසර ගණනාවක් අපි එකට කාලය ගත කළා”

ලුසී සහ ටම්නස් හමුවූ මොහොත- www.book-adventures.com 

ජෝර්ජි හෙන්ලි, සැබෑ ජීවිතයේදීත් විලියම් වැඩිමහල් සොහොයුරා වූ හැටි විස්තර කළේ ඒ ආකාරයෙන්.

සොඳුරු සිනමා මතකයක් ලෙස “ද ක්‍රොනිකල් ඔෆ් නාර්නියා” ඉතිහාසගත වී අවසන්. ඉතිරි පොත් සතර පාදක කරගනිමින් චිත්‍රපට බිහිවේයැ යි නාර්නියා රසිකයන් අපේක්ෂා කළත්, තවම එය ඉටු වී නැහැ. “The Silver Chair”, චිත්‍රපට මාලාවේ ඊළඟ කොටස ලෙස නිර්මාණය කිරීමට නියමිත බවට වූ රාවයක් පැතිරුණත්, අදටත් නාර්නියා චිත්‍රපට මාලාවේ අනාගතය තිබෙන්නේ අවිනිශ්චිත පසුබිමක යි.

චිත්‍රපටවල තිරය පිටුපස කතා ගැන පහත ලිපිත් කියවන්න.

The X-Files ටෙලිකතා මාලාවේ තිරය පිටුපස කතා

The Lord of The Rings චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා

 

කවරයේ ඡායාරූපය: පෙවෙන්සි සහෝදර සහෝදරියන් - www.teahub.io

මූලශ්‍ර:

screenrant.com

www.thethings.com

www.mentalfloss.com

www.thethings.com 

Related Articles