ඇසළ සිරියෙන් ඔපවත් වෙන  බෙල්ලන්විල ඇසළ පෙරහැර

පෙරහැර පැවැත්වීම ලාංකීය ජනතාවට ආගන්තුක දෙයක් නොවිය. ඈත අතීතයේ පටන්ම, විවිධ කාරණා මුල් කරගෙන පෙරහැර පැවැත්වූ බවට නොයෙකුත් සාක්ෂි ඉතිහාසයෙන් අපට හමුවේ. මේවා අතරින් ආගමික කරණා මුල්කර ගත් පෙරහැර සිංහල ජනතාව අතර වඩාත් ප්‍රකටය.

(sjp.ac.lk)

(sjp.ac.lk)

බෙල්ලන්විල ඇසළ පෙරහැර වැදගත් වන්නේ ආගමික කටයුතු වලට මුල්තැන දෙන නිසාම නොවේ. අප රටේ විවිධ සංස්කෘතික අංග, කලා ශිල්ප මෙන්ම නව නිර්මානාත්මක අංග එකට එකතු කරන සංධිස්ථානයක් වශයෙන්ද  බෙල්ලන්විල ඇසළ පෙරහැර හැදින්විය හැකිය.

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා රැසක් මෙන්ම, හෙළ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම ඇසළ මාසයේ දී සිදුවී ඇත. මෙම සිදුවීම මුල්කොට ගෙන ඇසළ මාසයේ පෙරහැර පැවැත්වීමට අනාදිමත් කාලයක සිට සිංහල බෞද්ධ ජනතාව පුරුදු වී ඇති බව පැහැදිලිව දක්නට ලැබෙන  කරුණකි.

බෝසතාණන් පස් මහා බැලුම් බලා මහාමායා දේවියගේ කුස පිළිසිද ගැනීම, සිදුහත් කුමරු මහාභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුන්වහන්සේ සත් සතිය ගෙවා ඉසිපතන මිගදායට වැඩම කර ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කිරීම ආදී සිදුවිම්  මෙන්ම, බෞද්ධ සාහිත්‍යයට අනුව සුර – අසුර යුද්ධයේදී අසුරයන් පරදවා සුරයන් ජයගැනීම, සම්බුද්ධ ශාසනය භාර වූ දෙවියන් ලෙස සැළකෙන විෂ්ණු දෙවියන්ගේ උපත ආදිය සිදුවී ඇත්තේ ද ඇසළ මාසයෙදී ය.  

ඉතිහාසයට අනුව, වංකනාසිකතිස්ස රජුගේ කාලයේ දී සොළීන් මෙරට ආක්‍රමණය කර වටිනා වස්තු සම්භාරයක් හා හෙළයින් 12,000 ක් සිරකරුවන් ලෙස රැගෙන ගොස් ඇත. පසුව ක්‍රි.පූ. 174 – 196 කාලයේ රජකළ ගජබා රජු සොළී දේශය ආක්‍රමණය කර හෙළයින් මුදාගෙන, එයට වන්දි වශයෙන් සොළීන් 24,000 ද පැහැරගෙන, පැහැරගත් වස්තුව ද නැවත රැගෙන ආවේ  ඇසළ මාසයෙදී ය.  මෙවැනි  කාරණා රැසක් නිසාම, ඇසළ මාසයේ දී නොයෙක් උත්සව – සැණකෙළි, පෙරහැර  පැවැත්වීම අතීතයේ පටන්ම සිදුවී ඇති බව පොත් පත් වල සදහන්ය.

මිහිදු හිමියන්ගේ පැමිණීමෙන් පසු ඇසළ මාසයේ උත්සව බෞද්ධ මුහුණුවරක් ගනු ලැබීය. ඇසළ මාසය, උත්සව සැණකෙළි පවත්වන මාසයක් වශයෙන් සිංහල බෞද්ධ ජනතාව අතර ප්‍රචලිත වන්නට පටන් ගත්තේ ඉන් පසුවය. එවකට පවතී ප්‍රධාන වෙහෙර විහාර ඇසුරු කරගෙන ආගමික උත්සව හා පෙරහැර ආරම්භ කර තිබේ. ලංකාවේ ප්‍රථම ඇසළ පෙරහැර ක්‍රි. ව. දෙවන ශතවර්ෂයේ දී පළමුවෙනි ගජබා රජු සමයේදී පැවැත්වූ බව ද්‍රවිඩ වීර කාව්‍යයක් වූ “ සීලප්පදිකාරම් ” නම් කාව්‍ය ග්‍රන්ථයේ සඳහන්ව ඇත.

(vivitcolombo.com)

(vivitcolombo.com)

1950 දී ප්‍රථම වරට බෙල්ලන්විල ඇසළ පෙරහැර පවත්වා ඇති අතර, ඒ සදහා මුලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ එවකට බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාල, පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරත්න ස්වාමීන්වහන්සේ ය. උන්වහන්සේගේ සංවිධාන ශක්තිය හා අප්‍රමාණ ධෛර්යය නිසා කෙටි කලකදී බෙල්ලන්විල ඇසළ පෙරහැර, මෙරට ප්‍රධාන ආගමික උත්සවයක් බවට පත්වූ බව වාර්තා වල සදහන් වේ.

බෙල්ලන්විල රජමහා විහාරයේ රෝපණය කර ඇත්තේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සිව්වැනි ඵලයෙන් හටගත් බෝධියක් බව ඓතිහාසික මූලාශ්‍ර වල සදහන් වේ. දෙවන පෑතිස් රජ සමයට නෑකම් කියන බෙල්ලන්විල රජමහා විහාරය පිහිටි භූමිය පසු කාලයේ අනාවරණය කරගැනීමට මග පෑදූ සිදුවීම ද  ඉතා අපුරු කතාන්දරයකි.

වර්ෂ 1860 ගණන් වල දී, තෙන්ගොඩගෙදර  ස්වාමින් වහන්සේ කිසියම් අවශ්‍යතාවයකට බෙල්ලන්විල ප්‍රදේශය හරහා වැටී තිබූ ඇළ දිගේ ඔරුවකින් ගමන් කරන  අවස්ථාවේ දී බෙල්ලන්විල බෝධිය පිහිටි ඉසව්වෙන් හේවිසි ශබ්දයක් උන් වහන්සේට ඇසි ඇත. ඒ අනුව එම ස්ථානයට වැඩමකොට කරුණු සොයා බැලීමේ දී බෙල්ලන්විල බෝධිරාජයාණන් වහන්සේ දක්නට ලැබි ඇත. පසුව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එම ප්‍රදේශය එළි පෙහෙළි කොට පූජනීය ස්ථානයක් බවට පත් කළ බව ජනප්‍රවාදයේ සදහන් වේ.

බෙල්ලන්විල ඇසළ පෙරහැරේ කටයුතු ආරම්භ කරන්නේ ආගමික වතාවත් වලට මුල් තැනක් දෙමිනි. ඒ අතරින් සති පිරිත් මාලාවත්, බෙල්ලන්විල ශ්‍රී සෝමරත්න ස්වාමින් වහනිසේගේ ගුණානුස්මරණ පිංකමත් ප්‍රධාන තැනක් ගනී. මේ කටයුතු සංවිධානය වෙන අතරතුර විහාරස්ථානයේ දායක පිරිස රැස්වී පිහිටුවා ගනු ලබන පෙරහැර කමිටුව මගිනි ඉදිරි කටයුතු මෙහෙයවනු  ලබන්නේ.

බෙල්ලන්විල ඇසළ පෙරහැර කරුණු කිහිපයක් නිසා විශේෂ වැදගත්කමක් දරයි. උඩරට, පහත රට, සබරගමු ආදී නර්තන සම්ප්‍රදායන් සියල්ලන්ටම අයත් අංගයන් ඇතුළත්වීම, විවිධ සංස්කෘතික අංග ඇතුළත්වීම, අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහභාගී කරවා ගැනීම, ඒ අතර කැපී පෙනෙන ලක්ෂණ ලෙස දැක්විය හැකියි. සමස්ත පෙරහැර අනු පෙරහැර රැසකින් සමන්විත වෙයි.

  1. දේව දූත පෙරහැර
  2. කුඹල් පෙරහැර
  3. මල් පෙරහැර
  4. පාවාඩ පෙරහැර
  5. රන් සිවිලි පෙරහැර
  6. රන්දෝලි මහා පෙරහැර
  7. දිය කපන පෙරහැර

මේ අතරින් රන්දෝලි මහා පෙරහැර කාගේත් විශේෂ අවධානයට ලක්වේ. කරඬුව  වඩම්මන හස්තිරාජයාගේ පිට මත ධාතු  කරඬුව නංවා, අලංකාර වස්ත්‍රාභරණ වලින් සරසා නොයෙකුත් සංස්කෘතික අංග සමග විචිත්‍ර ලෙස පවත්වනු ලබන්නේ  රන්දෝලි මහා පෙරහැරයි. වසර ගණනාවක සිට බෙල්ලන්විල ඇසල පෙරහරේ කරඬුව වඩම්මනු ලබන්නේ  නැදුන්ගමුවේ හස්තිරාජයා විසිනි.

පෙරහර කටයුතු ආරම්භ කෙරෙන්නේ කප් සිටුවීමෙනි. මේ සඳහා සුදුසු දිනයක් සහ නැකතක් කල් වේලා ඇතිව පෙරහැර කමිටුව විසින් සූදානම් කරගනු ලැබේ. ඉන් අනතුරුව දේව දූත පෙරහැර පැවැත්වෙන අතර, කුඹල් පෙරහරේ ගෙවදීමද මෙදිනම සිදු කෙරේ. විහාර භූමිය තුල ගමන් ගන්න මල් පෙරහැර දින හතරක් මුළුල්ලේ පැවැත්වේ. එම කාලයේදී තෙරුවන් උදෙසා පුද පූජා පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සිදුවේ. බෙල්ලන්විල ඇසළ පෙරහැරට අයත් අනෙක් අනු පෙරහැරවල් ආරම්භ වන්නේ මෙයින් පසුවයි. ඒවා පිළිවෙලින් පාවාඩ පෙරහැර, රන් සිවිලි පෙරහැර, සධාතුක ධාතු කරඬුව පෙරටු කරගත් රන්දෝලි මහ පෙරහැර ද වෙයි. දේවාභරණ රැගත් සතර මහා දේවාලයන්ට අයත් පෙරහැර සතරක්ද  මේ සමඟ ගමන් කිරීම තවත් විශේෂත්වයකි.

(news.lk)

(news.lk)

බෙල්ලන්විල ඇසළ පෙරහැර නිමාව දකින්නේ අවසන් දින දවල් පෙරහැර හෙවත් දිය කපන පෙරහැර පැවැත්වීමෙනි. චිරාගත සම්ප්‍රදායට අනුව දිය කැපීමේ චාරිත්‍රය සිදු කොට ගරායක් නැටුමෙන් හා දේව දානයෙන් පසු ඇසළ පෙරහැර පූජෝත්සවය නිමාවට පත් කෙරේ.

වාර්ෂිකව පවත්වන මෙම අලංකාර සංස්කෘතික මංගල්‍යයට වසරින් වසර නවාංග එකතුවෙනු අපට දක්නට හැකිය. ඒ සඳහා පෙරහැර කමිටුව ඉතා උනන්දුවෙන් නිතරම කටයුතු කරයි. මහනුවර දළදා පෙරහැර හැරුණුවිට වැඩිම දෙස් – විදෙස් ජනතා ප්‍රසාදයක් ලබා ගන්නා පෙරහැර වන්නේ බෙල්ලන්විල ඇසළ පෙරහැරයි. මෙවර බෙල්ලන්විල ඇසළ පෙරහැර නැරඹීමට ඔබත් අදහස් කරන්නේ නම් එය ඔබේ ජිවිත කාලයේ ලබන සුවිශේෂ භාගයක් වනු ඇත. එහෙයින්, පෙරහැර නැරඹීමට පෙර අප ඉදිරිපත් කල මේ තොරතුරු ඔබේ රසවින්දනයටත් දැනුම වර්ධනයටත් නොඅනුමානව උපකාර වෙනවා ඇත.

තොරතුරු : www.bellanwila.org

ඡායාරූප : www.sjp.ac.lk
www.visitcolombo.com
www. .sightseeing-lankatours.com
www.news.lk

Related Articles