Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෝෂ්‍ය පදාර්ථයන් රැසක් සහිත කුකුළු බිත්තර

ප්‍රෝටීන ලබා ගැනීමේ ප්‍රධානතම ආහාරයක් ලෙස කුකුළු බිත්තර සැළකෙනවා. ඒ නිසා කුකුළු බිත්තර ලොව පුරාම ප්‍රචලිත ආහාරයක්. විශේෂයෙන්ම බිත්තර සුදු මදය කායවර්ධන ක්‍රීඩකයින් විසින් පෝෂණ අතිරේකයක් ලෙසත් භාවිතා කරනවා. එසේම විවිධ ප්‍රෝටීන අවශ්‍යතාවයන් තිබෙන උදවිය යුහුසුළුව බිත්තර ආහාරයට එක් කර ගන්නේ ඒවා පහසුවෙන් ජීර්ණය වන නිසා මෙන්ම ඉහළ ප්‍රෝටීන සැපයුමක් එමඟින් ලබා දෙන නිසායි. ඒ වාගේම මේ පිළිබඳව සමාජයේ විවිධ මතිමතාන්තරත් තිබෙනවා. මේ නිසා යම් සීමාවකට එහා බිත්තර පරිභෝජනයට බොහෝ දෙනා බියක් දක්වනවා. ශ්‍රී ලාංකිකයින් ද සිය ප්‍රෝටීන අවශ්‍යතා සපුරාගන්නා ප්‍රධානතම මාධ්‍යයක් නිසා, කුකුළු බිත්තර වල පෝෂණ ගුණය පිළිබඳව ඔබේ දැනුම පුළුල් කිරීමේ අටියෙන් ඒ ගැන වටිනා තොරතුරු කිහිපයක් ඔබ හමුවේ තබන්නට අපි තීරණය කළා.

බිත්තරයක කොටස්

කුකුළු බිත්තරයක හරස්කඩක්- backyardchickencoops.com.au

කුකුළු බිත්තරයේ පිටතින්ම ඇත්තේ බිත්තර කටුව යි. දෘඪ ස්වභාවයකින් යුතු එය කැල්සියම් කාබනේට් වලින් සෑදී තිබෙනවා. එමඟින් බිත්තරයට ආරක්ෂාව සැලසෙන අතර, වායු හුවමාරුව සඳහා වූ කුඩා සිදුරු 7000ක් පමණ ඒ මත තිබෙනවා. බිත්තර කටුවට යටින් සියුම් පටල දෙකක් ඇති අතර එමඟින් බිත්තරය වෙත බැක්ටීරියා ඇතුළු වීම වළකනවා මෙන්ම අනවශ්‍ය ලෙස තෙතමනය ඉවත්වීම ද පාලනය කරනවා.

සාමාන්‍යයෙන් කිකිළියකගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 41ක් තරම් ඉහළ අගයක් ගන්නා නිසා බිත්තරයක් දැමූ අවස්ථාවේ දී එය ද පවතින්නේ කිකිළියගේ ශරීර උෂ්ණත්වයේ යි. අවට පරිසරයේ උෂ්ණත්වය එයට වඩා බොහෝ සෙයින් අඩු නිසා ඉක්මණින්ම බිත්තරය සිසිල් වීමට ගන්නවා. මේ නිසා එහි ඇතුළත ද්‍රව්‍ය සංකෝචනය වීමට පටන්ගන්නා අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස එහි මහතින් වැඩි කොණෙහි වායුවෙන් පිරි කුඩා කොටසක් ඇති වෙනවා.

බිත්තරයේ අප කෑමට ගන්නා කොටස් දෙකක් වෙනවා. එනම් සුදු මදය හා කහ මදය යි. මින් සුදු මදය කහ මදය වට කොට පවතින අතර එය ප්‍රෝටීන වලින් අනූන යි. සුදු මදයෙහි කාර්යය කළලය වැඩෙන විට එයට අවශ්‍ය තරලමය මාධ්‍යය සැපයීමත්, වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන කළලය වෙත සැපයීමත් යන ඒවා යි.

කහ මදය කළලයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයනවා -doctoroz.com

කලාසය (එනම් සුදු මදයේ ඇති විනිවිද පෙනෙන නූල් වැනි කොටස) මඟින් කහමදය බිත්තරයේ මධ්‍යයට වන්නට රඳවන අතර බිත්තරයේ වැදගත්ම අංගය වන කහ මදය කළලයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයනවා. මෙහි බිත්තරයේ අඩංගු සියළුම මේදය රැඳී ඇති අතර මෙහි ඇති සුදු පැහැ ලපයක් වැනි කොටසේ ස්ත්‍රී ජන්මාණු අන්තර්ගත වෙනවා.

බිත්තරයක පෝෂණ ගුණය

බිත්තර පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක් ලෙස සැලකෙනවා. සාමාන්‍යයෙන් කුකුළු බිත්තරයක කැලරි 77ක් අන්තර්ගත අතර ප්‍රෝටීන ග්‍රෑම් 6ක් ද, ශරීරයට හිතකර මේදය ග්‍රෑම් 5 ක් ද අන්තර්ගත වෙනවා.

තම්බන ලද බිත්තරයක විටමින් ඒ නිර්දේශිත දෛනික අගයෙන් 6% ද, ෆෝලේට 5% ක් ද, විටමින් බී 5 7% ක් ද, බී 12 9% ක් ද, බී 2 15% ක් ද අන්තර්ගත වෙනවා. මීට අමතරව ඛණිජ ලවණ වලින්, පොස්ෆරස් නිර්දේශිත දෛනික අගයෙන් 9% ද සෙලෙනියම් 22% ද තම්බන ලද බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලබාගන්නට පිළිවන්. බිත්තර වල සැළකිය යුතු ප්‍රමාණ වලින් විටමින් ඩී, ඊ, හා කේ, විටමින් බී 6 මෙන්ම කැල්සියම් හා සින්ක් ද අන්තර්ගත යි.

backyardchickencoops.com.au

බිත්තර වල සෞඛ්‍යමය ගුණ

බිත්තර ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය වාසි රැසක් ද අත් කරගන්නට පිළිවන්. විශේෂයෙන්ම කිව යුතු කාරණාව වන්නේ කොලෙස්ටරෝල් අන්තර්ගත වීම කරණකොට ගෙන බොහෝදෙනා බිත්තර අනුභව කිරීමට බියක් දැක්වීම පදනම් විරහිත බව යි.

ඇත්තෙන්ම බිත්තර වල කොලෙස්ටරෝල් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත යි. දිනකට නිර්දේශිත කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 300ක් වන අතර විශාල ප්‍රමාණයේ කුකුළු බිත්තරයක ආසන්න වශයෙන් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 212ක් අන්තර්ගත වෙනවා. කෙසේ නමුත් ආහාරයෙන් ලැබෙන කොලෙස්ටරෝල් ඍජුව රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නේ නැහැ. මිනිස් අක්මාව දිනකට කොලෙස්ටරෝල් විශාල ප්‍රමාණයක් නිපදවන අතර බිත්තර වලින් එක්කාසු වන කොලෙස්ටරෝල් මට්ටම අනුව එසේ නිපදවන ප්‍රමාණය යාමනය වෙනවා. දැනට පර්යේෂණ වලින් ඔප්පු වී ඇති අන්දමට ජනගහනයෙන් 70% කටම බිත්තර අනුභවයෙන් කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමක් සිදු වී නැහැ. ඉතිරි 30% ගේ ද කොලෙස්ටරෝල් මට්ටම වැඩි වී තිබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකිනුයි.

බිත්තර හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරයි

බිත්තර හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමා ගැනීමට ඉවහල් වෙනවා -chillcryo.net

හිතකර කොලෙස්ටරෝල් වශයෙන් සැළකෙන්නේ වැඩි ඝණත්ව ලිපොප්‍රෝටීන හෙවත් එච්.ඩී.එල් කොලෙස්ටරෝල යි. වැඩි එච්.ඩී.එල් මට්ටමක් දරන පුද්ගලයින්ට හෘදයාබාධ හා ආඝාත තත්ත්වයන් වැළඳීමේ අවදානම අඩු අතර තවත් සෞඛ්‍යමය ප්‍රශ්න රාශියකින් ගැලවීමේ වැඩි සම්භාවිතාවයක් තිබෙනවා. බිත්තර ආහාරයට ගැනීම හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමාගැනීමට ඉවහල් වෙනවා. පර්යේෂණයකින් ඔප්පු වී ඇති අන්දමට දිනකට 2 බැගින් සති 6ක් නොකඩවා බිත්තර පරිභෝජනය කළ අයගේ එච්.ඩී.එල් මට්ටම 10% කින් පමණ ඉහළ යනවා.

කෝලීන් අන්තර්ගත වීම

බිත්තර ශරීරයට අවශ්‍ය සංඝටකයක් වන කෝලීන් වලින් ද පොහොසත්. සාමාන්‍යයෙන් විටමින් බී සංකීර්ණයට අයත් ලෙස නම් කෙරෙන කෝලීන් මිනිස් සිරුරේ පටක ගොඩනැඟීම සඳහාත්, ස්නායුක පණිවුඩ සම්ප්‍රේෂණ ක්‍රියාවලියේදීත් අත්‍යවශ්‍ය පෝෂකයක් වෙනවා. ලොව බොහෝ දෙනාට කෝලීන අවශ්‍ය ප්‍රමාණ වලින් ශරීරගත වෙන්නේ නැහැ. එක බිත්තරයක කෝලීන් මිලිග්‍රෑම් 100ක් පමණ අන්තර්ගත වෙනවා.

බිත්තර හා අක්ෂි සෞඛ්‍ය

බිත්තර අක්ෂි සෞඛ්‍ය ඔප්නංවනවා -hdwallpapersrocks.com

බිත්තර වල ප්‍රබල ඔක්සිකාරක දෙකක් වන ලුටෙලින් හා සියාසැන්තීන් අඩංගු වෙනවා. මේවා මඟින් මිනිස් ඇසෙහි දෘෂ්ඨි විතානය සෞඛ්‍යමත්ව පවත්වාගන්නා අතර සුද මතුවීම වැනි අක්ෂි රෝගයන් ද වලක්වනවා. මේ ප්‍රතිඔක්සිකාරක වෘද්ධිතාවයත් පාලනය කරනවා. බිත්තර වල යහමින් විටමින් ඒ අන්තර්ගත අතර එමගින්ද ඇසෙහි සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවනවා.

බිත්තර හා ප්‍රෝටීන

ප්‍රෝටීන් මිනිස් සිරුරෙහි පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ප්‍රෝටීන මිනිස් සිරුරෙහි විවිධ පටක හා අණු සෑදීමෙහි ලා ව්‍යුහාත්මකවත්, ක්‍රියාකාරී වශයෙනුත් දායක වෙනවා.

ahchealthenews.com

බිත්තර තුල ඉතා ඉහළ ඝණයේ ප්‍රෝටීන අන්තර්ගත වන අතර ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම නියම අනුපාත වලින් එහි අන්තර්ගත වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයක බිත්තරයක ප්‍රෝටීන ග්‍රෑම් 6ක් පමණ අන්තර්ගත යි.

බිත්තර හා ආහාර රුචිය

බිත්තර ශරීරයේ බර පාලනය කරන්නන්ට කදිමයි – shutterstock.com

බිත්තර ආහාරයට ගැනීමේ දී ඉක්මණින්ම කුසගිනි පහව යනවා. මේ නිසා ආහාරයෙහි වැඩි වශයෙන් බිත්තර අඩංගු වූ විට වැඩිමනක් ආහාර නොගෙන සෑහීමකට පත් වීමට බොහෝ දෙනා පෙළඹෙනවා. මේ නිසා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරගත වන අතර, දීර්ඝ කාලීනව ශරීර බර පාලනය වීම සිදු වෙනවා. බිත්තර ප්‍රෝටීන් වලිනුත් පොහොසත් නිසා කායවර්ධන අභ්‍යාස වල නිරත වෙන හෝ ශරීරයෙහි බර අඩු කර ගැනීමට වෙහෙසෙන අයවලුන්ටත් කදිම ආහාරයක් වෙනවා.

කවරයේ පින්තූරය- wikipedia.org

Related Articles