Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව දරුණුම රෝගයන්ට වග කිව යුතු වෛරස

මේ වෙනකොට නැවත වරක් එබෝලා වෛරසය කොංගෝ රාජ්‍යය පුරා පැතිරෙමින් පවතින බව ඔබ අසන්නට ඇති. ඒ වසරක පමණ නිහඬතාවයකින් පසුව යි. එබෝලා වැනි දරුණු වෛරසයන් “මරණීය වෛරස” හෙවත් 4වන ජෛව-ආරක්ෂක මට්ටම අනුගමනය කළ යුතු අන්දමේ ඒවා වනවා. මෙම මට්ටමේ වෛරසයන් මිනිසෙකුට ආසාදනයෙන් වැළඳෙන රෝගයන් සාමාන්‍යයෙන් මාරාන්තික යි. එසේම ඒවාට එරෙහිව මෙතෙක් ප්‍රතිශක්තිකරණ එන්නත් ද නිපදවා නැහැ. ලෝකය පුරා මෙවැනි දරුණු ගණයේ වෛරසයන් කිහිපයක් වාර්තා වෙනවා. මේ, ඒවා නිසා වැළඳෙන රෝගයන්.

එබෝලා වෛරස රෝගය

පසුගිය කාලය පුරාවට කන වැටුණු හුරුපුරුදු නමක් තමා එබෝලා කියන්නේ. එබෝලා වෛරසය මුලින්ම වාර්තා වුනේ 1976 වසරේ, අප්‍රිකාවේ කොංගෝ ප්‍රදේශයේ එබෝලා ගංගාව ආශ්‍රිතව යි. ඒ නිසාම මෙම රෝගය එබෝලා Ebola virus (EBOV) නමින් හඳුන්වන්න පටන්ගත්තා. මෙය එබෝලා රක්තපාත උණ ලෙස ද හඳුන්වනවා. පෙර කීවාක් ද මෙන්, මෙය බොහෝවිට මරණය ගෙන එන රෝගයක්. මෙම රෝගය පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට වශයෙන්, ආසාදිත රෝගියෙකුගේ රුධීරය හෝ ස‍්‍රාවයක් මගින් බෝ වීම සිදු විය හැකි යි. වෛරසය ශරීරගත වී දින 2-21ත් අතර කාලය තුල එහි රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ වෙනවා. උණ, හිසරදය, සන්ධි හා මස්පිඩු වේදනාව, වමනය යාම හා බඩේ අමාරුව මෙහි මූලික රෝග ලක්ෂණයන්. මෙම රෝග ලක්ෂණයන් වෙනත් බොහෝ වෛරස රෝගයන් ආසාදනය වීමේ දී ද පෙන්නුම් කරන නිසා, මෙය මුලදී හඳුනාගැනීම තරමක් අසීරු යි. ඉන්පසු වකුගඩු හා අක්මාව ක්‍රමයෙන් ක්‍රියාවිරහිත තත්ත්වයට පැමිණෙන අතර, ඇතැම් අවස්තාවන් වල දී අභ්‍යන්තර හා බාහිර රුධිර වහනයන් ද ඇතිවිය හැකි යි.

එබෝලා වෛරසය – (internapcdn.net)

මාබර්ග් වෛරස රෝගය

අපට එතරම් හුරු පුරුදු නැති නමුත් මාබර්ග් ඉතා දරුණු වෛරස රෝගයක්. මේ භයානක වෛරසය ගැන පළමුවෙන්ම තොරතුරු වාර්තා වුණේ 1967 වසරේ දී යි. මෙය වවුලන්ගෙන් මිනිසුන්ට බෝ වන්නට ඇතැයි සැලකෙනවා. එමෙන්ම එය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වෙන්නට බලපාන හේතූන් කිහිපයක් තිබෙනවා. වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ රුධීරය, ස‍්‍රාවයන්, පටක මගින් මෙය බෝ විය හැකි යි. මෙම වෛරසය ලිංගික ක්‍රියාවන් වලදී වැඩි වශයෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතිනවා. වෛරසය ආසාදනයෙන් දින 2 – 21 අතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, තද උණ, තද හිසරදය, පාචනය, වමනය ඒවා වනවා. 5 වන දිනය පමණ වන විට සිරුරේ විවර සහ විදුරුමසින් රුධිර වහනය ඇරඹිය හැකි අතර 7 වන දිනය පමණ වන විට රෝගියා කම්පනයෙන් මියයෑම සාමාන්‍ය යි.

මාර්බර්ග් වෛරසය – (www.eurekalert.org)

හන්ටාවයිරස් රෝගය

මෙම වෛරසය මුලින්ම හඳුනාගෙන තිබුනේ 1993 වසරේ දී එක්සත් ජනපදයෙන්. එය රදනකයින්ගේ මුත්‍රා, අසූචි, හා ඛේටය මගින් මිනිසුන්ට බෝ වී තිබුණා. මෙය ආසාදනය වීමේ සිදුවීම් වාර්තාවීම අඩු නිසා එම වෛරසය කෙතරම් කාලයකට පසුව ශරීරය තුළ ක්‍රියා කරනවා ද යන්න පිළිබඳව නිවැරදි කාල ගණනයක් කර නෑ. නමුත් දත්තයන්ට අනුව වෛරසයට නිරාවරණය වී සති 1-8ත් අතර එහි මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබනවා. ඒවා අතර තෙභෙට්ටුව, උණ, හා මස්පිඩු වේදනාව වෙනවා. එමෙන්ම හිසරදය, වමනය යාම වැනි රෝග ලක්ෂණයන් ද ඊට අයත්. මෙය සෘජුවම පෙනහැලි හා ශ්වසන පද්ධතියට බලපාන නිසා, වෛරසය ශරීරගත වී දින 10කට පමණ පසුව කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙනවා. මෙය මිනිසාගෙන් මිනිසාට බෝ වූ අවස්ථාවන් මෙතෙක් වාර්තා වී නැහැ.

හන්ටාවයිරසය –  (pixnio.com)

ලාසා වෛරස රෝගය

මෙයත් රදනකයින්ගෙන් බෝ වන වෛරසයක්. ශාරීරික තරලයන් හරහා පමණක් මෙම වෛරසය සෘජුව මිනිසුන් අතර පැතිරෙනවා. මෙම වෛරසය නිසා බටහිර අප්‍රිකාවේ වාර්ෂිකව මරණ 5000ක් පමණ වාර්තා වෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් ලයිබීරියාව හා සියාරා ලියොන් වලින්. රෝගය වැළඳීමෙන් පසු මුලින් උණ, දුර්වලබව, හිසරදය, වමනය, උගුරේ වේදනාව, පපුවේ තද බව, පාචනය, කැස්ස, සහ බරපතල තත්ත්වයන්හි දී මුහුණ ඉදිමීම, උරස් කුහරයේ දියර එකතුවීම, මුඛයෙන්, නාසයෙන්, යෝනියෙන්, හෝ ගුදයෙන් රුධිරවහනය දක්නට හැකියි. රෝගය පරදවන්නන්ගෙන් 13%ක් සදාකාලික බිහිරිබවට පත්වෙනවා.

ලාසා වෛරසය – (www.trbimg.com)

ජලභීතිකාව

මේ නම් අපට හුරුපුරුදු නමක්. මෙය ක්ෂීරපායීයෙකුගේ සිරීමකින් හෝ සපාකෑමකින් පසුව අපේ ශරීරයට ඇතුලත් වෙන්න පුළුවන්. ජලභීතිකාව කියන ලෙඩේට මුල්වෙන්නේ රේබීස් වෛරසය යි. සපාකෑමකට හෝ සිරීමකට මුහුණ දුන් විගසම එයට ප්‍රතිකාර කිරීම මගින් මෙම ආසාදනයෙන් ගැලවීමට හැකියාවක් පවතිනවා. එක්සත් ජනපදය තුළ 2008 – 2017 අතරේ මෙම වයිරසයට මුහුණ දුන් රෝගීන් වාර්තා වී තිබුණේ 23ක් පමණයි. නමුත් අග්නිදිග ආසියාවේ හා අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල තවමත් මෙය වැඩි වශයෙන් වාර්තා වෙනවා. ඉන් 95%ක්ම බල්ලන් නිසා සිදු වී තිබෙනවා. මෙහි රෝග ලක්ෂණ ලෙස ස්නායුක ගැටළු හා ජලයට හා ආලෝකයට ඇති බිය සලකන්න පුළුවන්. මෙයට ප්‍රතිකාර නිසි කලට සිදු නොකළහොත් මරණය නියත යි.

රෙබීස් වෛරසය  (cloudfront.net)

මේ හැරුණුකොට මෙවැනි දරුණු වෛරස ලෙස ක්‍රිමියන්-කොංගෝ රක්තපාත උණ, මචුපෝ, සහ මැක්කන්ගෙන් බෝවන මොළේ උණ රෝගයන්ට වගකිව යුතු වෛරසයන් සැළකිය හැකි යි.

කවරය – candyboximages.com

Related Articles