Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“නිෂ්ශබ්ද මිනීමරුවා” අධික රුධිර පීඩනය (දෙවන කොටස)

අධික රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීම

මෙම ලිපියේ පළමු කොටසේ සඳහන් කළ ආකාරයට අධික රුධිර පීඩනය යනු දරුණු එහෙත් ඉතා පහසුවෙන් පාලනය කළ හැකි රෝගයක් බව ඔබට වැටහෙන්නට ඇත.

අධික රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීමෙන් ප්‍රධාන වශයෙන් ලැබෙන වාසි කිහිපයක්ම වේ. පුද්ගල වශයෙන් ගත් විට පුද්ගලයෙකුගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ඉහළ යන අතර හදවත් රෝග, වකුගඩු රෝග, ඇසට වන හානි, අංශභාගය වැනි රෝග වලින් ආරක්ෂා වේ. පරීක්ෂණ වලින් හෙළි වී ඇති ආකාරයට අධික රුධිර පීඩනය පාලනය කිරීම මඟින් 35%-40% දක්වා වූ අංශභාගය සෑදීමේ ද, 20%-25% දක්වා වූ හෘදයාබාධ වැළඳීමේ ද, 50% දක්වා වූ හදවත අකර්මන්‍ය වීමේ ද  ප්‍රවණතාවන් අඩු කරගත හැක.

අධික රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීමේ ප්‍රධාන ක්‍රමවේද 02කි.

  • එදිනෙදා ජිවිතයේ ඇති කරගත යුතු වෙනස්කම්
  • ඖෂධ මඟින් කරන ප්‍රතිකාර

එදිනෙදා ජිවිතයේ ඇති කරගත යුතු වෙනස්කම්

රෝගියාගේ රුධිර පීඩන අගය මඳ වශයෙන් වැඩි වුවත් අධික ලෙස වැඩි වුවත් සෑම පුද්ගලයෙකුම එදිනෙදා ජිවිතයේ වෙනස්කම් ඇති කරගත යුතු වේ. සාමාන්‍ය ප්‍රමාණයට ඇති රුධිර පීඩනය සම්පුර්ණයෙන් වළක්වා ගැනීමටත්, අධික ලෙස ඇති රුධිර පීඩනය පහසුවෙන් පාලනය කරගැනීමටත් එය උදව් වේ. අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නේ නොමැති වුවත් මෙම උපදෙස් පිළිපදී නම් අධික රුධිර පීඩනයෙන් බේරී සිටිය හැකි වේ.

 

  • උසට සරිලන බර ප්‍රමාණයක් පවත්වා ගැනීම සහ නිතර කය වෙහෙසා කෙරෙන ව්‍යායාම වල යෙදීම

 

dailynews.lk

සෑම පුද්ගලයෙකුම කය වෙහෙසා වැඩපල වල යෙදීම අත්‍යාවශ්‍ය දෙයක්. මෙය හදවත ශක්තිමත් කිරීමට, හදවතට වැළඳෙන රෝග පීඩා අඩු කිරීමට මෙන්ම, පෙනහළු වල මනා ක්‍රියාකාරිත්වයට ද ඉවහල් වේ. ව්‍යායාම අවශ්‍ය වන්නේ කාර්යාල වලට වී තම රැකියාව කරන පුද්ගලයන්ටයි. නමුත් මොවුන් ද විශේෂයෙන් ව්‍යායාම කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට,

  • නිතර විදුලි සෝපානය භාවිතා කරන්නේ නම්, ඒ වෙනුවට තරප්පු පෙළ භාවිතා කිරීම
  • බස් රථයෙන් ගමන් කරන්නේ නම් නියමිත ස්ථානයට පෙර බසයෙන් බැස ඉතිරි දුර ප්‍රමාණය පයින් ගමන් කිරීම
  • එදිනෙදා අවශ්‍යතාවන් සඳහා පාපැදියක් භාවිතා කිරීම
  • තම වාහනය තමන්ම සෝදා පිරිසිදු කරගැනීම
  • ක්‍රීඩා කිරීම
  • ගෙවත්තේ, මිදුලේ සාමාන්‍ය වැඩක යෙදීම

වැනි එදිනෙදා ජිවිතයේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වල යෙදීම ප්‍රමාණවත්.

නමුත් ව්‍යායාම කිරීමේදී එක්වරම කය වැඩි වශයෙන් වෙහෙසා ව්‍යායාම කිරීම සුදුසු වන්නේ නැහැ. ඔබ අලුතින්ම ව්‍යායාම කිරීම ආරම්භ කරන්නේ නම්, මුලින් සරල ව්‍යායාම වල යෙදීම ප්‍රමාණවත්. කෙසේ වෙතත් හෘද රෝගීන් සහ අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නන් ව්‍යායාම කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

ව්‍යායාම වලින් ලැබෙන වාසි

  • ශරීරයේ වැඩිපුර කැලරි ප්‍රමාණයක් වැය වී ශරීර බර අඩු වීම සහ එමඟින් මානසික ආතතිය අඩු වීම
  • ශරීරයේ කොලොස්ටරෝල් ප්‍රමාණයේ වෙනස්කම් ඇතිවීම.
  • සම්පුර්ණ කොලොස්ටරෝල් ප්‍රමාණය අඩු වීම.
  • ශරීරයට හිතකර කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම. (HDL)
  • ස්ථුලතාව අඩුවීම මඟින් ට්‍රයිග්ලිසරයිඩ නමැති අන්තරාදායි කොලොස්ටරෝල් වර්ගය අඩු වීම.
  • අධික ලෙස ස්ථුලතාව ඇති විට ශරීරයේ ඉන්සියුලින් නමැති රුධිර සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමේ තබා ගන්නා හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වය හීන වීම.

ඇමෙරිකානු හෘද සංගමය (American Heart Association) අනුමත කර ඇති ආකාරයට අවම වශයෙන් මිනිත්තු 30ක් වත් ‍දවසක් හැර දවසක් ව්‍යායාම වල යෙදීම හෘද ක්‍රියාකාරිත්වය යහපත් කිරීමට ඉවහල් වේ.

 

  • අධික ස්ථුලතාවයෙන් මිදීම

 

අධික ස්ථුලතාවෙන් මිදීමට අධික ලෙස ආහාර සීමා කිරීම (Crash Diets) එතරම් ගුණදායක නැත. ප්‍රතිකාර වශයෙන් වෙළෙඳපොලේ විකිණීමට ඇති ඖෂධ භාවිතය ද අනතුරු සහිතයි. ක්‍රමානුකූලව ආහාර පාලනය කිරීම නියම ක්‍රමයයි. මේ සඳහා ඉතා සරලවම සැමට අනුගමනය කළ හැකි කරුණු කිහිපයකි.

 

  • තෙල් සංයුතිය සහ කැලරි සංයුතිය අඩු ආහාර තෝරාගැනීම

 

lifestartseminars.com

බටර්, මාගරින්, තෙල් සහිත සහ රතු පාට මස් (එළු මස්, හරක් මස්, ඌරු මස්), කුකුළු මස්වල සම සහිත කොටස්, සම්පූර්ණ යොදය සහිත කිරි, චීස්, තෙලෙන් පිසින ලද ආහාර, අයිස්ක්‍රීම්, කේක්, බේකරි නිෂ්පාදන ආදිය තෙල් හා කැලරි සංයුතිය වැඩි ආහාර වේ. මෙම  ආහාර වලින් වැළකිය යුතුය.

ඒ වෙනුවට සම ඉවත් කරන ලද කුකුළු හා කළුකුම් මස්, යොදය රහිත කිරි, මේදය සහ ලුණු අවම ලෙස අඩංගු චීස්, පළතුරු, එළවලු, රතු කැකුළු බත්, ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම සුදුසුය.

සෑම විටෙකම කාබෝහයිඩ්‍රේට සහ කෙඳි වර්ග අඩංගු ආහාර තෝරා ගත යුතුයි. මෙවැනි ආහාර වල බහුල වශයෙන් විටමින් සහ ඛනිජ ලවන අඩංගු වීම මෙයට හේතුවයි.

 

  • සංතෘප්ත මේද සහිත ආහාර වලින් වැළකීම/ අසංතෘප්ත මේද සහිත ආහාර භාවිතා කිරීම

 

අප ආහාරයට ගන්නා මේද (තෙල්) වර්ග ප්‍රධාන වශයෙන් කොටස් 03කි.

  • සංතෘප්ත මේදය
  • බහු අසංතෘප්ත මේදය
  • ඒක අසංතෘප්ත මේදය

මෙම මේද වර්ග අතරින් අප ආහාරයට ගැනීමෙන් වැළකිය යුත්තේ සංතෘප්ත මේදයයි. සංතෘප්ත මේදය මඟින් අධික රුධිර පීඩනයට තියුණු බලපෑමක් ඇති නොකළත් සංතෘප්ත මේද අධික ආහාර ගැනීමෙන් ශරීරයේ කොලොස්ටරෝල් මට්ටම අධික වී හෘද හා කිරීටක ධමනි ආශ්‍රිත රෝග සහ අංශභාගය සෑදීමේ ප්‍රවණතාව වැඩි වේ. ඒ නිසා අප විසින් සංතෘප්ත මේදය අඩංගු ආහාර ගැනීමෙන් වැළකිය යුතු අතර බහු අසංතෘප්ත මේදය අඩංගු ආහාර ආහාරයට ගත යුතු වේ.

poesiaemtranse.com

සංතෘප්ත මේදය අඩංගු ආහාර වශයෙන්,

  • සත්ව ආහාර-  ඌරු මස්, හරක් මස්, එළු මස්, දඩ මස්, තෙල් සම සහිත කුකුල් මස් ද,
  • කිරි සහ කිරි අඩංගු ආහාර- බටර්, චීස්, අයිස් ක්‍රීම්, කිරි සහ කිරි නිෂ්පාදන ද,
  • ශාඛ මේදය- පොල්තෙල්, එළවලු තෙල් ද,

හඳුනාගත හැකි අතර බහු අසංතෘප්ත මේදය අඩංගු ආහාර වශයෙන්,

  • ශාඛ මේදය- සෝයා බෝංචි, තෙල්, බඩ ඉරිඟු තෙල් ද,
  • මත්ස්‍ය මේදය (ඕනෑම මත්ස්‍යයෙකුගේ මෙම මේදය අඩංගු වේ) – ද,

හඳුනාගත හැකි වේ.

 

  • අධික ලුණු භාවිතය අවම කිරීම/ පොටෑසියම් (Potassium) සහ ඛනිජ ලවණ අඩංගු ආහාර වැඩි කිරීම

 

ලුණු එනම් සෝඩියම් භාවිතය අවම කිරීමත්, පොටසියම් (Potassium) සහිත ආහාර ද්‍රව්‍ය ආහාරයට එක්කර ගැනීමත් අධික රුධිර පීඩනය අවම කරයි. අධික ලෙස පොටසියම් අඩංගු ආහාර ලෙස,

  • අලුත් එළවලු- බීට්රූට්, අර්තාපල්, ගෝවා, රාබු, තක්කාලි
  • අලුත් පළතුරු- කෙසෙල්, මිදී, කොමඩු, පේර, ජම්බු

හඳුනාගත හැකියි. දිනකට පොටෑසියම් (Potassium) මිලිග්‍රෑම් 1600-2000ක් දක්වා ලැබෙන සේ ආහාර අනුභව කරන්නේ නම් එය අධික රුධිර පීඩනය පාලනය කිරීමට ඉවහල් වේ.

ඖෂධ ප්‍රතිකාර

leskul.com

බොහොමයක් රෝගීන් හට තම අධික රුධිර පීඩන තත්ත්වය පාලනය කරගැනීම සඳහා ඖෂධ භාවිතා කිරීමට සිදු වේ. එසේ ඖෂධ භාවිතා කළත් පහත උපදෙස් ද පිළිපැදීම වැදගත් වේ.

  • එදිනෙදා ජිවන චර්යාවේ ඇති කළ යුතු වෙනස්කම් සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ. එවිට අඩු බෙහෙත් මාත්‍රාවකින් රුධිර පීඩනය පාලනය කරගත හැකි වේ.
  • සෑම විටෙකම වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ භාවිතා කළ යුතුයි. මෙහිදී සැළකිය යුතු කරුණක් වන්නේ රුධිර පීඩනය යනු සම්පුර්ණයෙන් සුව කළ හැකි රෝගයක් නොව, පාලනය කළ හැකි රෝගයක් පමණක් බවයි. මේ නිසා රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට පැමිණි පසුවත් ඖෂධ ලබා ගැනීම කළ යුතුයි.
  • සෑම රුධිර පීඩන රෝගියෙකුම අඩුම තරමින් මසකට වරක්වත් තම රුධිර පීඩනය මසකට වරක්වත් පරික්ෂා කරවාගත යුතුයි.

කවරය – healthlove.in 1

මුලාශ්‍ර

https://www.healthline.com/health/high-blood-pressure-home-remedies

https://www.healthline.com/health/high-blood-pressure-hypertension/lower-it-fast

http://www.heart.org/HEARTORG/Conditions/HighBloodPressure/MakeChangesThatMatter/Changes-You-Can-Make-to-Manage-High-Blood-Pressure_UCM_002054_Article.jsp

https://www.mayoclinic.org/diseases-conditions/high-blood-pressure/diagnosis-treatment/drc-20373417

https://www.mayoclinic.org/diseases-conditions/high-blood-pressure/in-depth/high-blood-pressure/art-20046974

https://www.webmd.com/hypertension-high-blood-pressure/guide/hypertension-treatment-overview

Related Articles