Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බොලිවුඩය අඩපණ කරන BJP දේශපාලන මෙහෙයුම

අතිශයින් ම දුෂ්කර කාලයක් මැදින් ගමන් කරන බොලිවුඩ් සිනමා කර්මාන්තයට පසුගිය අගෝස්තු 11 වැනි දා ඉතා වැදගත් දිනයක් වුණා. ඒ බොලිවුඩයේ විශිෂ්ට රංග ශිල්පීන් දෙදෙනකු වන අමීර් ඛාන් සහ ආක්ෂේ කුමාර් ගේ නවත ම චිත්‍රපට නිකුත් වූ නිසා යි.

‘ෆොරස්ට් ගම්ප්’ පාදක කර ගනිමින් ඉන්දියාවට ගැළපෙන පරිදි අනුවර්තනය කළ “ලාල් සිං චඩ්ඩා” හරහා අමීර් ඛාන් නැවතත් ප්‍රේක්ෂකයා හමුවට පැමිණියේ විශාල අවදානමක් ද දරා ගනිමින්. ටොම් හැන්ක්ස් රංගනයෙන් දායක වූ “ෆොරස්ට් ගම්ප්” හොලිවුඩ් චිත්‍රපටය සමඟ “ලාල් සිං චඩ්ඩා” සංසන්දනය වීම නොවැලැක්විය හැකි බැවින්, අමීර් ඛාන්ට මිශ්‍ර ප්‍රතිචාරවලට මුහුණ දෙන්නට සිදු වුණේ බොහෝ කලක සිට යි. ඔහුගේ පෙර චිත්‍රපටය වූ “තග්ස් ඔෆ් හින්දුස්ථාන්” ද අපේක්ෂිත සාර්ථකත්වය ලබා ගත්තේ නැහැ.

‍රසික හදවත් කොතරම් දිනා තිබුණත්, ආක්ෂේ කුමාර්ටත් බොලිවුඩ් වර්ජන ක්‍රියාමාර්ගයෙන් ගැලවෙන්න හැකි වුණේ නැහැ – economictimes.indiatimes.com 

 ආක්ෂේ කුමාර් ප්‍රේක්ෂකයා හමුවට නැවතත්  පැමිණෙයේ “රාක්ෂ බන්ධන්” චිත්‍රපටය හරහා යි. බොලිවුඩයේ අනෙකුත් නළුවන්ට සාපේක්ෂ ව 2020 දක්වා දිගින් දිගට ම සාර්ථක වූ චිත්‍රපට කිහිපයකට ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වුණා. නමුත්, 2021 පටන් වාණිජ අතින් ඔහු ගේ නිර්මාණත් එතරම් සාර්ථක වූයේ නැහැ. 2022 වර්ෂය ආක්ෂේ කුමාර්ට වඩාත් අයහපත් වුණා.

ඛාන් ත්‍රිත්වයේ අසාර්ථකත්වය

ඛාන් ත්‍රිත්වයේ අසාර්ථකත්වයට අමතර ව බොලිවුඩයේ අනෙකුත් රංගන ශිල්පීන් ගේ චිත්‍රපට පවා මූල්‍යමය අතින් අසාර්ථක වන පසුබිමක “ලාල් සිං චඩ්ඩා” සහ “රාක්ෂ බන්ධන්”ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර බොලිවුඩයට අතිශයින් වැදගත් වුණා. කෙසේ නමුත්, සුපුරුදු ඉරණම ඒ චිත්‍රපට දෙකටත් අත් වුණා. ‍යම් ගෝලීය රසික පදනමක් අමීර් ඛාන්ට තිබෙන නිසා “ලාල් සිං චඩ්ඩා” චිත්‍රපටයේ ආදායම තරමකින් වර්ධනය වුවත්, ඉන්දියාවේ දී එම චිත්‍රපටය විශාල අසාර්ථකත්වයක් ලැබුවා.

හොලිවුඩ් නිර්මාණය සමඟ “ලාල් සිං චඩ්ඩා” සංසන්දනය වීම නොවැළැක්විය හැකි බැවින් අමීර් ඛාන් ප්‍රේක්ෂකයා හමුවට පැමිණියේ විශාල අවදානමක් දරා ගනිමින් – www.firstpost.com 

බොලිවුඩ් වර්ජනය කරනු!

මෑත කාලයේ නිකුත් වූ බොලිවුඩ් නිර්මාණ රැසක් අසාර්ථක වුණේ ඒවායේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසික පදනම තුළ ප්‍රබල විවේච්නයක්ට ගත් නිසා යි. ගුණාත්මක තිර රචන නොමැති ඇතැම් සිනමා නිර්මාණවලට ඉන්දියානු රුපියල් කෝටි සිය ගණනක් වියදම් කොට තිබුණා. ඒවාට රංගනයෙන් දායක වූ ශිල්පීන් අතරින් බහුතරයක් බොලිවුඩයේ පරිණත රංගන ශිල්පීන් වීම විශේෂත්වයක්.

කෙසේ නමුත්, නිර්මාණයේ ගුණාත්මකභාවයට වඩාත් ඉඩ දෙන ආයුෂ්මන් කුරාණා, රාජ්කුමාර් රාඕ, විකී කෞෂාල්, වැනි නවකයන් ගේ චිත්‍රපටි සාර්ථක වූයේ බොලිවුඩය තුළ විශාල රසික පදනමක් ඔවුන් වටා ගොඩ නඟමින්.  තරු ගුණය මත රැඳුණු බොලිවුඩයේ රසික පදනම කෙමෙන් කෙමෙන් අන්තර්ගතයේ ගුණාත්මක බව වටා ඒකරාශී වීමේ ප්‍රවණතාවක් තිබූ අතර, ඒ සියුම් පරිවර්තනය නවක රංගන ශිල්පීන් හොඳින් ග්‍රහණය කරගත් බවක් පෙනෙන්නට තිබුණා.

බොලිවුඩ් වර්ජන ව්‍යාපාරයේ ඊළඟ ගොදුර ෂාරුක් ඛාන් විය හැකි යි – thepostreader.com

බොලිවුඩයට අයහපත් ලෙස බලපෑ අනෙක් සාධකය වන්නේ ඥාතිවාදය (Nepotism) යි. ඥාතිවාදය බොහෝ විට දක්නට ලැබුණෙත් බොලිවුඩ් හි පරිණත රංගන ශිල්පීන් අතර යි. කෙසේ නමුත්, බොලිවුඩයේ අසාර්ථකත්වයට බලපාන තවත් සාධක තිබෙන බව පෙනී යනවා. මෙම කරුණ ඉස්මතු වුණේ පොදුවේ බොලිවුඩ් නිර්මාණ වර්ජනය කිරීමේ ප්‍රවණතාවක් ඉන්දියාවේ ඇති වූ නිසා යි. සමාජ මාධ්‍ය තුළ “#boycottbollywood” යන හෑෂ් ටෑගයෙන් වඩාත් ප්‍රචලිත වූ මේ තත්ත්වය නිසා නවක රංගන ශිල්පීන් ගේ ගුණාත්මක නිර්මාණ පවා පසුබෑමට ලක් වුණා.

වර්ජනය පිටුපස දේශපාලනය

අදාළ වර්ජන ක්‍රියා මාර්ගයේ නවත ම වින්දිතයන් ලෙස අමීර් ඛාන් සහ ආක්ෂේ කුමාර් දැක්විය හැකි යි.  ඉදිරියේ දී නිකුත් වීමට නියමිත බොලිවුඩ් නිර්මාණ කලින් ම වර්ජනය කිරීමේ දැවැන්ත සමාජ මාධ්‍ය ව්‍යාපාරත් වර්ධනය වෙමින් තිබෙනවා. විශේෂයෙන් ම ෂාරුක් ඛාන් ගේ ඉදිරි සිනමා ව්‍යාපෘති වන “Pathaan”, “Jawaan”, සහ “Dunki” යන නිර්මාණ දැනටමත් මේ අවදානමට හසු වී අවසන්.

බොලිවුඩ් වර්ජනය කිරීමේ සමාජ මාධ්‍ය ව්‍යාපාර බිහි වීමට බලපෑ හේතු සොයා යෑමේ දී නිර්මාණවල ගුණාත්මකභාවයේ ගැටලු, නළු නිළියන් රසිකයන් ඉදිරියේ දැක් වූ සෘණාත්මක හැසිරීම් සහ හින්දු සංස්කෘතියට එල්ල කරන බලපෑම් මූලික හේතු ලෙස පෙනෙන්නට තිබුණත්, ඒ පිටුපස කිසියම් දේශපාලන ව්‍යාපාරයක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව පැවසෙනවා. මූලිකව ම එම චෝදනාව එල්ල වන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට (BJP) යි.

බොලිවුඩය ඕනෑම මත‍යක් සිනමාව තුළට ගෙන ඒමේ නිදහස වෙනුවෙන් පෙනී සිටියා. (ඡායාරූපය Badhaai Do චිත්‍රපටයට අයත් වේ) –  www.hindustantimes.com

බහුත්වවාදී බොලිවුඩය

 සිනමාව යනු රටක මිනිසුන් ගේ ආකල්ප සහ දේශපාලකයන් සමාජයේ පතුරවන මතවාදවලට බලපෑම් එල්ල කළ හැකි මාධ්‍යයක්. මෑත කාලීන බොලිවුඩ් සිනමාව එම කාර්යභාරය සිදු කළේ බහුත්වවාදී ස්වභාවයකින්. සමාජය තුළ විවිධ අවශ්‍යතා, විශ්වාස සහ ජීවන රටා ඇති පුද්ගලයන් සිටින බවත්, ඒ සියල්ලෝ ම සාමකාමී ව සහජීවනයෙන් දේශපාලන ක්‍රියාවලියට සහභාගී වීම වැදගත් බවත්, බහුත්වවාදයෙන් පෙන්වා දෙනවා. කිසියම් සාධකයක් අරබයා සුළුතරයක් බවට පත් වී සිටින ජන කණ්ඩායම් සිවිල් අයිතිවාසිකම් හරහා පිළිගැනීම සහ ඒකාබද්ධ කිරීමෙන් එම වැදගත්කම තහවුරු කරනු ඇති.

 බොලිවුඩයේ මෑත කාලීන නිර්මාණ කාන්තා අයිතිවාසිකම්, LGBTQ+ ප්‍රජාව විඳින ගැහැට, ආගම අනවබෝධයෙන් හැසිරවීම නිසා සමාජගත වන දුර්මත වැනි කරුණුවලට වඩාත් ඉඩ සැපයූ අතර, ඕනෑම මතවාදයක් සිනමාව තුළට ගෙන ඒමේ නිදහස ඇති කිරීමේ වෑයමක නිරත වුණා. ඉන්දියාවේ අනෙකුත් සිනමා කර්මාන්තවලට සාපේක්ෂ ව ලිබරල් අවකාශයක් බොලිවුඩය තුළ වර්ධනය වෙමින් තිබුණා. කෙසේ නමුත්, බොලිවුඩයේ සිටින නිදහස් මතධාරීන්ගේ ආකල්ප සහ වත්මන් ඉන්දීය රජයේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන දෘෂ්ටිවාදය අතර විශාල පරස්පර ස්වභාවයක් තිබුණා.

භාරතීය ජනතා පක්ෂය යනු දක්ෂිණාංශික දේශපාලනය නියෝජනය කරමින් හින්දු ජාතිකවාදය ප්‍රවර්ධනය කරන දේශපාලන පක්ෂයක්. ඔවුන් බලයට පත් වූ දා සිට ඉන්දියාවේ හින්දු බහුතරයේ සිත දිනා ගැනීමට විශාල වෙහෙසක් දැරුවා. ඉන්දියාව තුළ නැවතත් හින්දු-මුස්ලිම් භේදය විටින් විට ඉස්මතු වන්නේත් එහි ප්‍රතිපලයක් වශයෙන්. සමස්තයක් ලෙස බොලිවුඩය තුළ පවතින්නේ භාරතීය ජනතා පක්ෂයට හිතකර දේශපාලන පසුබිමක් නොවෙ යි. එම සිනමා කර්මාන්තය වටා සිටින වෘත්තිකයන්ගේ අදහස් හින්දු ජාතිකවාදයට එතරම් සහයෝගයක් දක්වන්නේ නැහැ.

හින්දු ජාතිකවාදය කුළු ගන්වන බොලිවුඩ් නිර්මාණ සඳහා BJP සහය නොමඳව ලැබෙන අතර, ආදායම් අතින් සාර්ථක වූ “The Kashmir Files” ද එවැන්නක්.

බොලිවුඩයේ BJP මෙහෙයුම

 රටක සිනමා කර්මාන්තය, කිසියම් දේශපාලන පක්ෂයක බලපෑමට හසු කරගත හැකි නම්, එම දේශපාලන ප්‍රවාහයේ දෘෂ්ටිවාදය ඡන්දදායකයා ගේ සිත අද්දරට ම ගෙන යෑමේ හැකියාව ලැබෙනවා. භාරතීය ජනතා පක්ෂයත් ඔවුන්ට හිතකර නොවන බොලිවුඩය තම දේශපාලන න්‍යාය පත්‍රය යටතට ගැනීමට උත්සහ දරන්නේ ඒ නිසා යි. ඔවුන් විවිධ ක්‍රම හරහා එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට උත්සහ දරනවා.

 රසික පදනම හරහා පොදුවේ බොලිවුඩයට එල්ල වන චෝදනා ඔවුන් සූක්ෂම ලෙස ප්‍රයෝජනයට ගන්නා අතර, බොලිවුඩයේ නිර්මාණාත්මක නිදහස සීමා කිරීමට සෑම ක්‍රමයක්ම භාවිත කරනවා. කර්මාන්තයේ විශාල ප්‍රතිශතයක් සේ පෙනෙන ප්‍රභූ මුස්ලිම්වරුන් ගෙන් බොලිවුඩයට අනිසි බලපෑමක් වන බව ආධාරකරුවන් හරහා ප්‍රචාරය කරවීම ඉන් එකක්. උදාහරණයක් ලෙස අමීර් ඛාන්ගේ නිර්මාණ හරහා හින්දු සංස්කෘතියට බලපෑම් එල්ල වන බව පවසමින් ඔහු ගේ ආගමත් ඊට ඈදා ගැනීම සිදු වන්නේ කලක පටන්. අමීර්ට ඉන්දියාවටත් වඩා ඉන්දියාවෙන් පිටත රසික පදනමක් ඇති වීම කෙරෙහි මේ හින්දු ජාතිකවාදීන් ගේ ප්‍රහාරත් හේතු වී තිබෙනවා. මීට අමතර ව, වගවිභාගයක් නැති ආදායම් බදු විමසීම්, නළුවන්ට සහ අධ්‍යක්ෂකවරුන්ට එරෙහි ව පදනම් විරහිත චෝදනා එල්ල කිරීම, බොලිවුඩය තුළ සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබෙන බව යි පැවසෙන්නේ.

බොලිවුඩයේ අසාමාන්‍ය බලය

 පසුගිය දශක තුන තුළ බොලිවුඩයේ අසාමාන්‍ය බලයක් වර්ධනය කර ගැනීමට සල්මාන්, ෂාරුක් සහ අමීර් යන ඛාන් ත්‍රිත්වය සමත් වුණා. බොලිවුඩයේ වඩාත් කැපී පෙනෙන චිත්‍රාගාර විශාල සංඛ්‍යාවක් අයත් වන්නේ ද මුස්ලිම්වරුන්ට යි. ඔවුන් කිසිවිටෙකත් තම ආගම මූලික කර ගනිමින් බොලිවුඩය තුළ බලය තහවුරු කර ගැනීමට උත්සහ කළේ නැහැ. බොහෝ දුරට බොලිවුඩයේ බලය ගලා යන්නේ ඥාතිවාදය හරහා මිසක ආගම හරහා නොවෙ යි. බොහෝ ඉන්දියානුවන් බොලිවුඩයේ ඛාන් ආධිපත්‍යය දුටුවේ රටේ ලිබරල් ලෞකිකත්වයේ සංකේතයක් වශයෙන්. එය භාරතීය ජනතා පක්ෂයේ රැඩිකල් හින්දු භක්තිකයන්ගේ නිරන්තර කෝපයට හේතු වුණා. එතැන් පටන් බොලිවුඩය වඩාත් මුස්ලිම් හිතවාදී බවත්, ඔවුන් ගේ ලිබරල් ආකල්ප ඉන්දියාවට හිතකර නොවන බවත්, පවසමින් සමාජ මාධ්‍ය ව්‍යාපාර ඇරඹීමට මේ හින්දු රැඩිකල්වාදීන් උත්සුක වුණා.

 ඔවුන් ගේ මෙහෙයුම යම් දුරකට සාර්ථක වෙමින් තිබෙනවා. විශේෂයෙන් ම හින්දු ජාතිකවාදය ඉස්මතු කරන හින්දි චිත්‍රපටවලට විශාල ප්‍රචාරයක් භාරතීය ජනතා පක්ෂයේ අනුග්‍රහයෙන් ම ලබා දෙන අතර, එවැනි චිත්‍රපට සාර්ථක වීමෙන් පෙනී යන්නේ ඔවුන් ගේ දේශපාලන දෘෂ්ටිවාදය බොලිවුඩය තුළ ස්ථාපනය කිරීමේ මෙහෙයුම කිසියම් සංධිස්ථානයක් කරා ළඟා වෙන බව යි.

භාරතීය ජනතා පක්ෂය විසින් සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදාගත් අයුරු – www.outlookindia.com 

සුෂාන්ත් ගේ මරණය වාසියට ගත් හැටි

භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූ දා සිට එතෙක් ලිබරල් වටිනාකම්වලට ඉඩ හසර සපයා දෙන පරිසරයක් තිබූ ඉන්දියාව, ක්‍රම ක්‍රමයෙන් හින්දු ජාතිකවාදය මුල් වූ නව අනුවාද‍යකට නැඹුරු වුණා. බොලිවුඩය ඊට ප්‍රතිරෝධී වෙමින් අන්‍යාගමික සහජීවනය නිරූපණය වන අන්දමේ නිර්මාණ බිහි කළ අතර, සැබෑ ජීවිතයේ දී බොලිවුඩ් ප්‍රබලයින් ලිබරල් මූලධර්මවලට සමීප අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. මෙවැනි ක්‍රියා භාරතීය ජනතා පක්ෂ ක්‍රියාකාරීන්ට පෙනුණේ තර්ජනාත්මක ආකාරයෙන්. බොලිවුඩයේ වටිනාකම් පිළිනොගන්නා වාතාවරණයක් ඇති කිරීමේ මෙහෙයුමක් BJP ආරම්භ කළේ ඒ අනුව යි. එම ක්‍රියාන්විතයේ ආසන්නත ම අවස්ථාවක් සුසාන්ත් සිං රාජ්පුත් ගේ මරණයත් සමඟ කරළියට පැමිණියා.

සුෂාන්ත් සිං රාජ්පුත් යනු බිහාරයේ සිට පැමිණි රංගන ශිල්පියෙක්. ඔහු ගේ සිය දිවි නසා ගැනීම ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් අතර, මරණය සම්බන්ධයෙන් විශාල සැක සාංකා මතු වුණා. බොලිවුඩයේ ප්‍රබලයන් කිහිප දෙනකුගෙන් සුෂාන්ත්ට සිදු වූ අසාධාරණ ක්‍රියා ඒ සමඟ ම ප්‍රචලිත වූ බැවින්, බොලිවුඩය කෙරෙහි විශාල අප්‍රසාදයක් වර්ධනය වීම ඇරඹුණා. සුෂාන්ත් ගේ සිය දිවි නසා ගැනීම ඉන්දියාවේ ප්‍රමුඛ ප්‍රවෘත්තිය බවට පත් වනවිට භාරතීය ජනතා පක්ෂය සිටියේ බිහාර් ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමින්.

භාරතීය ජනතා පක්ෂයේ බලපෑම

සුෂාන්ත් මිය ගොස් මාස තුනක් ආසන්න වනවිට සමාජ මාධ්‍ය හරහා එක්තරා දැන්වීමක් හදිසියේ ම ප්‍රචාරය වුණා.  “අපි ඔබ අමතක කර නැත. අපි අන් අයට අමතක කිරීමටත් ඉඩ නොදෙමු.” යන පාඨය සමඟ ප්‍රචාරය වූ එම දැන්වීම අයත් වූයේ භාරතීය ජනතා පක්ෂයට යි. බිහාර් ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම දැන්වීම යොදා ගත් නිසා භාරතීය ජනතා පක්ෂය විවේචනයට බඳුන් වුවත්, ඔවුන් අපේක්ෂා කළ කැළඹීම සමාජ මාධ්‍ය ඔස්සේ ඇති කිරීමට සමත් වුණා. සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය අදටත් ඉන්දියාවට අමතක වීමට ඉඩ නොදීම පිටුපස භාරතීය ජනතා පක්ෂයේ බලපෑම ඇතැයි පැවසෙන අතර, ඔවුන් ගේ දේශපාලන දෘෂ්ටියට යටත් නොවන බොලිවුඩයට එරෙහි ව භාවිත කළ හැකි හොඳ ම මෙවලම වන්නේත් එය යි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් – www.theweek.in 

මුම්බායිවලින් බොලිවුඩ් ගැලවීම..?

2021 අග භාගයේ දී බොලිවුඩය දුර්වල කිරීමේ තවත් කුමන්ත්‍රණයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අමාත්‍යවරයකු වූ නවාබ් මලික් හෙළි කළා. බොලිවුඩ් සිනමා කර්මාන්තය කේන්ද්‍රගත වී ඇති මුම්බායි නගරයෙන් එය ඉවත් කොට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ගෙන යෑමේ සැලසුමක් ඇති බවත්, ඒ සඳහා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙනම සිනමා නගරයක් පිහිටුවීමට එහි ප්‍රධාන අමාත්‍යවරයා වූ යෝගී අදිත්‍යනාත් යෝජනා කළ බවත්, නවාබ් මලික් පවසා තිබුණා.

 “බොලිවුඩය කියන්නේ රටේ සහ ලොව පුරා මිනිසුන් සතුටින් නවාතැන් ගෙන වැඩ කරන කුඩා ඉන්දියාවක් වැනි තැනක්. ආගම, කුලය නොසළකමින් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන බුද්ධිමත් පුද්ගලයන්ට කීර්තියක් අත්කර දුන් තැනක් තමයි මුම්බායි කියන්නේ.”

නවාබ් මලික් තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

සැබැවින් ම බොලිවුඩ් කේන්ද්‍රගත වූ මුම්බායි නගරය ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලට වඩා නිදහස් මත සඳහා අවකාශ සපයන තැනක්. බොලිවුඩ් තුළ දක්නට ලැබෙන ලිබරල් චින්තනයට එම කර්මාන්තයේ භූ ගෝලීය පිහිටුමත් හේතු වී තිබෙනවා. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට කර්මාන්තය විතැන් කිරීමෙන් ඒ මතවාදී ස්වභාවයට බලපෑම් එල්ල කිරීමේ හැකියාව උදා වෙනවා. කෙසේ නමුත්, අදාළ සැලැස්ම සාර්ථක වුණේ නැහැ.

බොලිවුඩය තුළ පවත්නා ඥාතිවාදය

බොලිවුඩය තුළ පවත්නා ඥාතිවාදය නිසා දක්ෂයන් බොහෝමයකට අසාධාරණයක් වූ බව පැවසීම සත්‍යයක්. ඉන්දීය දේශපාලනය එය භාවිත කළේ වෙනස් අරමුණක් උදෙසා යි. මෑත කාලීන බොලිවුඩ් නිර්මාණවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සාධාරණ විවේචනයක් තිබුණ ද එය කර්මාන්තයේ අභ්‍යන්තර ගැටලුවක් පමණක්යැ යි සැලකිය නොහැකි යි. බොහෝ ප්‍රබල බොලිවුඩ් තරු අනිසි ප්‍රතිඵලවලට බියෙන් තම දේශපාලන අදහස් තමා තුළ ම පවත්වා ගැනීමට උත්සහ දරනවා. මතභේදාත්මක විෂයන් සිනමාවට නැඟීමේ දේ චිත්‍රපට නිෂ්පාදකයන් දැවැන්ත ට්‍රෝලිං ව්‍යාපාරවල වින්දිතයන් වෙනවා පමණක් නොව, ඇතැම් විට පොලිසියේ බලපෑම්වලට පවා මුහුණ දෙනවා. එවිට කිසියම් රාමුවකට කොටු වෙමින් නිර්මාණ සිදු කිරීමේ පරිසරයක් ඇති වීම වැලැක්විය නොහැකි යි.   

 දිගින් දිගට ම මෙම තත්ත්වය පැවතුණොත්, වාණිජ සිනමා කර්මාන්තයක් ලෙස බොලිවුඩයට ඇති වැදගත්කම තවදුරටත් හීන වනු ඇති. ඉන් ඇති වන හිස්තැන පුරවාලීමට දකුණු ඉන්දීය සිනමාව දැනටමත් සූදානමින් පසු වෙනවා. බොලිවුඩයට සාපේක්ෂ ව දකුණු ඉන්දීය සිනමාවේ නිර්මාණවල ඉහළ ගුණාත්මකභාවයක් වර්තමානයේ දක්නට ලැබෙන අතර, වාණිජ සාර්ථකත්වය අතිනුත් ඔවුන් සිටින්නේ ඉදිරියෙන්.

කවරයේ ඡායාරූපය: ආක්ෂේ කුමාර් සහ අමීර් ඛාන්, බොලිවුඩ් වර්ජනය කිරීමේ සමාජ මාධ්‍ය මෙහෙයුමට හසු වූ නවතම වින්දිතයන් දෙපළ යි - www.koimoi.com

මූලාශ්‍ර:

 www.tbsnews.net

www.news18.com

www.bbc.com

www.newindianexpress.com

www.deccanherald.com

Related Articles