Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තාවන්ගේ මාරයා – පියයුරු පිළිකා

අපේ සිරුර නිර්මාණය වෙලා තියෙන්නේ සෛල වලින්. සෛල ගොඩක් එකතු වෙලා තමයි පටකයක් හැදෙන්නේ. පටක ගොඩක් එකතුවෙලා අවයවයක් හැදෙනවා. මේ විදිහට හැදුනු  අවයව ගොඩක් එකතු වෙලා තමයි පද්ධතියක් හැදෙන්නේ. පද්ධති ගොඩක එකතුවෙන් අවසානයේ ජිවියා බිහි වෙනවා. සෛල, පටක අවයව හා පද්ධති විදිහට ක්‍රම ක්‍රමයෙන් ඉතාමත් සංවිධානාත්මකවයි ජීවියා නිර්මාණය වෙන්නේ.

මේ විදිහට බිහි වෙන ජීවින් තමයි අපි ලිංගික වශයෙන් ගැහැණු හා පිරිමි විදිහට වෙන් කරන්නේ. ගැහැණු පිරිමි කොයි කාට වුනත් බාහිර පරිසරයත් සමග ගැටෙමින් ජිවත් වෙනකොට විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. සමහර ලෙඩ සුව කරන්න පුළුවන් ඒවා. ඒත් සමහර ලෙඩ සුව කරන්න බැරි ඒවා. ඒ කියන්නේ මාරාන්තික ඒවා. පිළිකා අයිති වෙන්නෙත් මාරාන්තික රෝග ගණයටයි. ඒත් මුලික අවස්ථාවේදීම පිළිකාවක් හඳුනා ගත්තොත් සුව කරන්න පුළුවන් හැකියාව අද වෙනකොට තියෙනවා.

”පිළිකා” කියන වචනය ඇහුන ගමන්ම අපේ හිත ගැස්සෙනවා නේද? මොකද පිළිකා කියන්නේ හරියට මරණයේ සහතිකය වගේ කියලනේ අපි හිතන්නේ. ඉස්සර නම් පිළිකා = මරණය කියලා ගොඩක් අය හිතන්නේ පිළිකාවක් හැදුනොත් මරණය කොයි මොහොතේ සිද්ධ වෙනවද කියලා කියන්න බැරි නිසා. ඒත් දැන් නම් එහෙම නැහැ, මොකද පිළිකාවක් මුලික අවස්ථාවේදීම හොයා ගත්තොතින් ඒවාට බෙහෙත් කරලා සුව කරන්න පුළුවන්. ඒ කොහොම වුනත් අපි කවුරුත් පිළිකා මාරයාට තවමත් ගොඩක් බයයි නේද?

මුඛ පිළිකා, ආමාශයික පිළිකා, ගැබ්ගෙල පිළිකා, පෙනහලූ පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා, ගර්භාෂ පිළිකා, පුරස්ථ ග්‍රන්ථි පිළිකා, අක්මාවේ පිළිකා, අස්ථි පිළිකා, යෝනි මාර්ගයේ පිළිකා, වෘෂණ පිළිකා හා මොළයේ පිළිකා විදිහට පිළිකා වර්ග රාශියක් තියෙනවා. මෙකී නොකී මේ පිළිකා අතරින් සමහර පිළිකා පිරිමින්ටම සුවිශේෂී වූ පිළිකා. ඒ වගේමයි තවත් පිළිකා තියෙනවා ඒවා කාන්තාවන්ට පමණක් සුවිශේෂී වූ පිළිකා. අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන්ටම සුවිශේෂී වූ හා කාන්තාවන් අතර වර්තමානය වෙනකොට වඩාත් බහුලව දක්නට ලැබෙන පියයුරු පිළිකා ගැනයි.

මුලික වශයෙන් පියයුරු නිර්මාණය වෙලා තියෙන්නේ දරු උපතකින් පස්සේ බිලිඳාට අවශ්‍ය කිරි නිපදවීම සඳහා වුනත් තරුණ වයසේදී ද්විතීක ලිංගික ලක්ෂණයක් ලෙස පියයුරු වර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි ලිංගිකත්වය කෙරෙහිත් මේ අවයවය බලපානවා.

පියයුරක සංයුතිය දැක්වෙන ආකාරය: macmillan.org.uk

ශ්‍රී ලාංකික කාන්තාවන්ට බහුලව පවතින්නේ පියයුරු පිළිකා. ඒ කොච්චරද කියලා කිව්වෝතින් ජනග්‍රහණයෙන් ලක්ෂයකට 16 දෙනෙක් විතර පියයුරු පිළිකා වලින් පෙළෙනවා කියලා හොයාගෙන තියෙනවා. විශ්වාස කරන්නත් අමාරුයි නේද?

පියයුරු නිර්මාණය වෙලා තියෙන්නේ ක්ෂීර ග්‍රන්ථි, සම්බන්ධක පටක හා මේද කොටස් වලින්. ක්ෂීර ග්‍රන්ථි කුඩා මලු සමුහයකින් හා නාලවලින් යුක්ත වෙනවා. ඒවායින් නිපදවෙන කිරි, නාල හරහා තන පුඩුව වෙතට ගෙන එනවා. පියයුරු පිළිකා වැඩි ප්‍රමාණයක් ඇති වෙන්නේ ක්ෂීර නාලවල වුනත් සුළු ප්‍රමාණයක් කිරි නිපදවෙන ග්‍රන්ථි වලත් හට ගන්නවා. මීට අමතරව පියයුරු පෙදෙසේ හා කිහිල්ලේ වසා නාල වලින් එකිනෙක සම්බන්ධ වුන වසා ගැටිති සමුහයක් පිහිටලා තියෙනවා. මේවා එකිනෙක සම්බන්ධව පවතින නිසා පියයුරු පිළිකාවක් වැළඳුනොත් පහසුවෙන්ම මේ වසා පද්ධතියටත් පැතිරෙන්න පුළුවන්.

පියයුරු පිළිකාවකින් පෙළෙන කාන්තාවකගේ පියයුරු දැක්වෙන ආකාරය: ytimg.com

සාමාන්‍යයෙන් වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන් අතර තමයි පියයුරු පිළිකා වැඩිපුර දකින්න ලැබෙන්නේ. මීට අමතරව,

  1. පියයුරු පිළිකා වැළඳී තිබු පවුල් වල කාන්තාවන්,
  2. අවිවාහක කාන්තාවන්,
  3. පළමු දරු උපත පමා වූ කාන්තාවන්,
  4. දරුවන් නොමැති කාන්තාවන්,
  5. වැඩිපුර විකිරණ වලට නිරාවරණය වූ කාන්තාවන්,
  6. මත්පැන් භාවිතා කරන කාන්තාවන්,
  7. අධික තරබාරු කාන්තාවන්,
  8. ළාබාල වයසින් වැඩි වියට පත් වූ කාන්තාවන්,
  9. පමා වී ආර්තවහරණයට පත් වූ කාන්තාවන් වැනි අයටද පියයුරු පිළිකා වැළඳීමේ වැඩි ප්‍රවනතාවයක් තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා.

පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ  

පියයුරු පිළිකා වල තියෙන භයානකම තත්වය තමයි මේ පිළිකාවක මුල් අවධියේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම. ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමත් එක්කම තමයි විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. ඒත් ස්‌වයං පියයුරු පරික්ෂාව හා මැමොග්රෑම් පරික්ෂාව මගින් බොහෝ පෙර පිළිකා තත්ත්ව හඳුනා ගන්න පුළුවන්.

පියයුරු පිළිකාවක රෝග ලක්ෂණ දැක්වෙන රූපය: remediestforlife.net

පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ විදිහට

  1. පියයුරේ ඇති වෙන ගැට හෝ ඝන වීම්,
  2. පියයුරෙහි ප්‍රමාණයේ හෝ හැඩයේ වෙනස් වීම්,
  3. තන පුඩුවෙන් යම් ශ්‍රාවයක් පිට වීම,
  4. තන පුඩුව ඇතුළට ගිලි යෑම,
  5. පියයුරේ සමේ පැහැය වෙනස් වීම,
  6. සම ඇතුළට ගිලි යෑම,
  7. සම දොඩම් ලෙල්ලක ස්වරුපය ගැනීම

වැනි ලක්ෂණ හඳුන්වන්න පුළුවන්. මීට අමතරව පියයුරු සාමාන්‍ය තත්වයේ පැවතුනත් කිහිල්ලේ වසා ගැටිති ඉදිමීමත් සමඟම සමහරු වෛද්‍යවරුන් හමුවීමට යනවා.

පියයුරු පිළිකා හඳුනා ගන්නේ කොහොමද?    

පියයුරු පිළිකා හඳුනා ගැනීම අදියර 3ක් යටතේ තමයි සිදු කරන්නේ. පළමු අදියරේදී සිදු කරන්නේ ස්‌වයං පියයුරු පරීක්ෂාවක් මගින් හෝ වෛද්‍යවරයා මගින් රෝගියා පරික්ෂා කිරීමයි. ස්‌වයං පියයුරු පරික්ෂාව මගින් පියයුරක ඇති වෙන බොහෝ මූලික පිළිකා තත්ත්ව කල් ඇතුව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පළපුරුදු වෛද්‍යවරයෙකු පියයුර පරික්ෂා කර බලා එහි ඇත්තේ පිළිකාමය වර්ධනයක්ද නැද්ද කියන එක පහසුවෙන් වෙන් කරලා හඳුනා ගන්නවා.

ශල්‍යකර්මයක් මගින් පියයුරු ඉවත්කර ඇති ආකාරය: jncc.org

දෙවන අදියර තමයි මැමෝග්රෑම්, අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ හා එම්.ආර්.අයි. ස්කෑන් වගේ පරීක්ෂණ භාවිතා කරලා පිළිකාමය තත්ත්ව හඳුනා ගැනීම. විශේෂයෙන් මැමෝග්රෑම් පරීක්ෂණය මගින් සාමාන්‍ය පරීක්ෂාවකින් හඳුනා ගන්න බැරි කුඩා පිළිකා පවා හඳුනාගන්න පුළුවන්.

තුන්වෙනි අදියරේදී කරන්නේ පටක පරික්ෂා කිරීමයි. මේකෙදි කරන්නේ සිහින් කටුවකින් විදීමෙන් ලබා ගන්නා සෛල කොටස් අන්වික්ෂණ පරික්ෂාවට ලක් කිරීමයි. පිළිකාවක් තියෙනවා කියලා සැක කරන ප්‍රදේශයෙන් කොටසක් සුළු ශල්‍යකර්මයක් මගින් ඉවත් කර අන්වික්ෂණ පරික්ෂාවට ලක් කීරීම සිදු කරනවා. මේ ක්‍රමය මගින් පිළිකාවක් හඳුනා ගන්න එක ඉතාමත් සාර්ථකව සිදු කර ගන්න පුළුවන්.  

පියයුරු පිළිකා සඳහා ප්‍රතිකර්ම විධි      

පියයුරු පිළිකා සඳහා ප්‍රතිකර්ම විධි ගොඩක් තියෙනවා. ප්‍රතිකර්ම කරන්න කලින් ප්‍රධාන වශයෙන් පිළිකාවේ වර්ගය, එහි විශාලත්වය, පවතින ස්ථානය, පරීක්ෂණ වාර්තා හා පිළිකාව කෙතරම් දුරට ව්‍යාප්තවෙලා තියෙනවාද කියලා හොයා ගන්නවා. මීට අමතරව වයස, සාමාන්‍ය සෞඛ්‍ය තත්වය හා  මානසික තත්වය පිළිබඳවත් සැලකිල්ලට ගන්නවා.

පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කරන්න ශල්‍යකර්ම, පිළිකා නාශක ඖෂධ විකිරණ ප්‍රතිකාර  හා හෝමෝන ප්‍රතිකාර වගේ ප්‍රතිකාර විධි භාවිතා කරනවා. ගොඩක් වෙලාවට මේ ප්‍රතිකර්ම විධි වල සංකලනයක්,  ඒ කියන්නේ ප්‍රතිකර්ම ගොඩක එකතුවක් තමයි භාවිත කරන්නේ. සමහර අවස්ථාවලදී ශල්‍යකර්ම මගින් පියයුරු ඉවත් කිරීමට පවා සිද්ධ වෙනවා.

පිළිකා නිසා පියයුරු විනාශ වූ විට ශල්‍යකර්ම මගින් ඉවත් කර ආමාශයේ සමෙන් කොටසක් බද්ධ කරන අවස්ථාවක් : breastlink.com

කාන්තාවන් විදිහට අපි හැමෝම මේ පියයුරු පිළිකා පිළිබඳව අවධානය යොමු කරන්න ඕන වගේම තමයි පිරිමි අය විදිහට ඔබටත් වගකීමක් තියෙනවා ඔබගේ මව, සහෝදරිය, දියණිය හෝ බිරිඳ මේ පිළිබඳව දැනුවත් කරන්න. මොකද ලෙඩක් හැදිලා දුක් විඳිනවාට වඩා හොදයිනේ ඒකෙන් වැළකිලා ඉන්න එක.

ගොඩක් කාන්තාවන් පියයුරු වල යම් වෙනසක් දැක්කත්, යම් යම් අපහසුතා ඇති වුනත් වෛද්‍යවරයෙකු හමුවෙන්න යන්න මැලි වෙනවා. එකට ප්‍රධානම හේතුව තමයි ලැජ්ජාව. ලැජ්ජාව පැත්තකට දාන්න, මේ ඔබේ ජිවිතේ පිළිබඳව ප්‍රශ්නයක් කියන එක අමතක කරන්න එපා. අද ලැජ්ජාව නිසා බෙහෙත් නොගෙන පැත්තකට වෙලා හිටියෝතින් හෙට ඔබේ ජීවිතය පවා නැති වෙන්න පුළුවන්. වෛද්‍යවරු ඉන්නේ ඔබට බෙහෙත් කරන්න නේද? ඔබට යම් අපහසුතාවයක් හෝ පියයුරු වල යම් වෙනසක් හෝ දැනුනෝතින් හංගගෙන ඉන්න එපා අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු හමුවෙන්න යන්න. ගිහින් ඔබේ ගැටලුව කියන්න. ඔවුන් නිසැකවම ඔබට උදවූ කරයි. පිළිකා මාරයා ලෝකෙන් තුරන් කරන්න අපි හැමෝම අපිට පුළුවන් විදිහට දායක වෙමු.

කවරයේ පින්තුරය: The Santa Fe VIP.com

Related Articles