යාපනයේ යළි පිබිදෙන කරත්ත ධාවන තරග සම්ප්‍රදායය 

දකුණු ආසියාවේ බොහෝ රටවල අනාදිමත් කාලයක පටන් පවතින්නේ කෘෂිකාර්ම්ක ආර්ථිකයක්. එය ශ්‍රී ලංකාවටත් පොදු වන අතර, යාන වාහන, යන්ත්‍ර සූත්‍ර නොමැති අතීතයේ, මිනිස් ශ්‍රමයෙන් පමණක් කළ නොහැකි කෘෂිකර්මය හා සබැඳි කටයුතු ඉටු කර ගැනීමට අපේ මුතුන්මිත්තන් නිතැතින් ම යොදා ගත් සත්ත්වයා වන්නේ ගවයා යි. සිය ආහාරය සරි කර ගැනීමට මෙන් ම ප්‍රවාහන කටයුතු සඳහා ද ගවයා කෙතරම් අත්‍යවශ්‍ය සත්ත්වයෙක් වී ද යත්, කාලයාගේ ඇවෑමෙන් ගවයා ඒ ඒ සංස්කෘතීන් සහ සම්ප්‍රදායයන්ට අනුබද්ධ සංකේතයක් බවට පත් වුණා. විශේෂයෙන් හින්දු ආගම මුල් බැස ගත් ඉන්දියාවේ ගවයා දේවත්වයෙන් පුදන සත්ත්වයෙක් බවට පත් වුණා.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ද හින්දු ආගම සහ සංස්කෘතිය මුල්බැස ගෙන ඇති බැවින්, එහි වෙසෙන ජනයා ද සිය කෘෂිකාර්මික සහ ප්‍රවාහන කටයුතුවලට ගවයන් යොදාගත් අතර ම ඔවුන් දේවත්වයෙන් පුදන්නට ද වුණා. විශේෂයෙන් තෛපොංගල් දින සහ ඊට පසු දින ඔවුන් සංකේතාත්මක ව සිය ගවයන්ට පුද සත්කාර කිරීම කරන අතර, වසරේ අනෙක් දිනවලත් ඔවුන් ගවයන්ට සැලකුවේ  මහත් ගෞරවයකින්.

 හින්දු සංස්කෘතිය තුළ ගවයා පූජනීය යි- dailynews.lk

 

ගවයන් හා සබැඳි ධාවන තරග ද ඔවුන් පවත්වන්නේ ගවයන්ට කරන ගෞරවයක් ලෙස යි. ගවයන් බැඳි කරත්ත තරග මෙයට දශක කිහිපයකට පෙර යාපනය සහ තදාසන්න පෙදෙස්වල ජනප්‍රිය අංගයක් වූවා. යුද්ධය නිසා වියැකී ගොස් තිබුණ ද, යාපනයේ ගොන් කරත්ත තරග සම්ප්‍රදායය මෑතක සිට නැවත පණ ලබමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ දකුණු දිගත් එවැනි තරග පැවැත්වුණේ ඒ ඒ පෙදෙස්වල සංස්කෘතික සමානකම් මොනවට හුවා දක්වමින්. 

උතුරේ ගොන් කරත්ත ධාවන තරගවල ඉතිහාසය

ශ්‍රී ලංකාවේ උතුරුදිග පෙදෙස්වල අතීතයේ ජීවත් වූ පවුල් සියල්ලක ම පාහේ සිය නිවෙස්වල අව ම වශයෙන් එක් ගවයකු හෝ සිටියා. සී සෑම වැනි කෘෂිකාර්මික කටයුතුවල දී මෙන් ම, ප්‍රවාහන කටයුතුවලදී ද මොවුන් මහෝපකාරී වූ අතර, පවුල් පවුල් අතර සහයෝගයෙන්, සිය ගවයන් යොදාගනිමින් සාමූහිකව සිය  කෘෂිකාර්මික හා ප්‍රවාහන කර ගන්නටද ඔවුන් යුහුසුළු වුණා.

තිරුකේතීස්වරම් කෝවිල- ramayanatours.com

 

යාපනයේ වෙසෙන හින්දු ජාතික ජනයා, මන්නාරම ආසන්නයේ පිහිටා ඇති තිරුකීතේස්වරම් කෝවිල වැඳ පුදාගැනීම නිතර සිදු කළා. කෙසේ නමුත් යාපනයෙන් කිලෝමීටර සියයකටත් වඩා ඔබ්බෙන් පිහිටි එයට ළඟා වීම එකල එතරම් පහසු නොවූ අතර, මේ සඳහා ඔවුන් යොදා ගත්තේ ශක්තිමත් ගවයන් බැඳි ගොන් කරත්ත යි.

මෙම කරත්ත ශක්තිමත් දැවයෙන් සෑදූ ඒවා වූවා. ශක්තිමත් ගවයන් වර්ග වන පෙරිය සිංකරි, සින්න සිංකරි හෝ වඩක්කාන් ගොනුන් මේවා ඇදගෙන යාම සඳහා යොදා ගැනුණා. මේ වර්ගවල ගවයන්ට මනා දරාගැනීමේ ශක්තියක් තිබීම එයට හේතුව යි.

තිරුකීතේස්වරම් කෝවිල වැඳ පුදා ගැනීම

වසරේ එක් දිනෙක කණ්ඩායම් වශයෙන් යාපන අර්ධද්වීපයේ සිය ගමෙන් පිටත් වන වන්දනා නඩ වැඩි කලබලයකින් තොර ව මන්නාරම දෙසට ගොන් කරත්තවලින් ගමන් කිරීම අරඹනවා. මෙහිදී බොහෝ විට ගවයන් දෙදෙනා බැගින් බැඳි කරත්ත යොදා ගැනුණා. මෙහිදී ගවයන්ට අවම පීඩාවක් ගෙන දෙන පරිද්දෙන් රිය ධාවනය සිදු කරන්නට ඔවුන් වග බලා ගන්නවා. මඟන් මඟට නැවතී ගිමන් හැරීමටත්, ගවයාට ගමන් විරාමයක් ලබා දී ඔහුගේ පෝෂණ අවශ්‍යතා සැපිරීමටත් වන්දනාවේ යෙදෙන්නන් අමතක කළේ නැහැ. ගමන දීර්ඝ වුව ද එහි වෙහෙසක් හෝ ඒකාකාරී බවක් ඔවුනට නොදැනෙන්නේ වන්දනාව සම්බන්ධයෙන් ඔවුනට ඇති භක්තිය නිසා යි.

යුද්ධය නිමවීමෙන් පසු කෙමෙන් කෙමෙන් මෙම තරගත්, ධාවන පථත් නැවත පණ ලබමින් තිබෙනවා – www.facebook.com/sankaralinkam.purusoth

 

තිරුකිතේස්වරම් වන්දනාවෙන් පසු ගම්බිම් බලා නැවත යන වන්දනා නඩවලට එම ගමනෙහි ඒකාකාරී බව දැනෙන්නට වුණා. මේ නිසා ඔවුන් සිය කරත්ත යොදාගෙන ‘තරගයට මෙන්’ එකිනෙකා පරයමින් සිය ගම්බිම් බලා එන්නට ක්‍රියා කළා. තරගය දිනන්නාට අන් අය එකතු වී තෑගි භෝග ද ලබා දුන්නා. යාපනයේ සුප්‍රසිද්ධ ගොන් කරත්ත තරගවලට අඩිතාලම වැටුණේ එලෙස යි.

කරත්ත රේස් පැවැත්වෙන ආකාරය

යාපනයේ වඩුක්කෝඩෙයි, කිලිනොච්චි මෙන් ම මන්නාරම හා මුලතිව් ඇතුළු ප්‍රදේශ ගණනාවක අතීතයේ පටන් වාර්ෂික ව ගොන් කරත්ත ධාවන තරග පැවැත්වී තිබෙනවා. මේවා සිදුකිරීම සඳහා වූ ධාවන පථ සහිත එළිමහන් ස්ථාන ද මේ ගම්වල තිබෙනවා. පසුගිය දශක දෙක තුනෙහි ප්‍රදේශය වෙලා ගත් සිවිල් යුද්ධය නිසා මෙම තරග නොපැවැත්වීම නිසා මේවා විනාශ වී, වල් බිහි වී ගියා. යුද්ධය නිමවීමෙන් පසු කෙමෙන් කෙමෙන් මෙම තරගත්, ධාවන පථත් නැවත පණ ලබමින් තිබෙනවා. මේවා පණ ලබමින් තිබෙන්නේ යාවත්කාලීන වීම් කිහිපයක් ද සමඟ යි.

 යාවත්කාලීන වීම් සමග යාපනයේ තිරික්කල් රේස් සංස්කෘතිය නැවත පිබිදී තිබෙනවා – www.facebook.com/sankaralinkam.purusoth

 

අතීතයේ කරත්ත ධාවන තරගයක් යම් ග්‍රාමයක වාර්ෂික ව සංවිධානය වූ විට, ඈත ප්‍රදේශවල සිටින දැන හඳුනන්නන්ට ද ඒ සඳහා ආරාධනා කෙරුණු අතර, ඔවුන් තිරික්කල් හෝ කරත්ත මඟින් ම පැය ගණනක් ගත කොට තරඟ භූමිය වෙත පැමිණෙන්නට යෙදුණා. මෙහිදී ගවයන් විඩාවට පත් වී ඇති බැවින්, ධාවන තරග පැවැත්වුණේ ඔවුන් එලෙස පැමිණ දිනකට පමණ පසුව යි. මේ කාලය තුළ එලෙස පැමිණි මිනිසුන්ට හා ගවයන්ට ආහාර පානාදියෙන් හොඳින් සංග්‍රහ කිරීම තරගය පැවැත්වෙන ගමේ වැසියන් වෙතින් සිදු කෙරුණා. වර්තමානයේ මෙ ක්‍රමය වෙනසකට බඳුන් කරමින් කරත්ත සහ ගවයන් ලොරි රථ යොදා ගෙන තරඟ භූමියට ගෙන ඒම සිදු කෙරෙනවා.

ධාවන තරගයක් අදියර කිහිපයකින්

වර්තමානයේ ගොන් කරත්ත ධාවන තරගයක් අදියර කිහිපයකින් පැවැත්වෙනවා. මේවා විවිධ ශක්ති කාණ්ඩ, වයස් කාණ්ඩ වැනි දේ අනුව වෙන් කෙරෙන අතර, අවසන් තරගයට තෝරා ගන්නේ ශක්තිමත් ම ගවයන් සහිත කරත්ත කිහිපය යි. ශක්තිමත් දැවයෙන් සෑදූ  අඩි 9ක දිගකින් හා 6 ක පමණ පළලකින් යුක්ත මෙම කරත්තවල සින්න සිංකරි, පෙරිය සිංකරි හෝ වඩක්කන් ගවයන් දෙදෙනෙක් බැඳ තිබිය යුතු වෙනවා. අවසාන තරගයේ දී මීටර 400 – 500 අතර දුරක් තරණය කළ යුතු අතර, ජයග්‍රාහකයාට වටිනා ත්‍යාග පිරිනැමෙනවා.

ශක්තිමත් ගවයන් වර්ග වන පෙරිය සිංකරි, සින්න සිංකරි හෝ වඩක්කාන් ගොන්නු – www.facebook.com/sankaralinkam.purusoth

 

යාපනයේ තිරික්කල් තරග, ශ්‍රී ලංකාවේ විචිත්‍ර සංස්කෘතිය කියාපාන්නක් වන අතර, එය අභාවයට යා නොදී රැකගැනීම බලධාරීන්ගේ යුතුකමක් වෙනවා. මෙම තරග ශ්‍රී ලංකාවේ නාමය ලොවට ගෙන යාමට සමත් සංස්කෘතික අංගයක් වන අතර, විදෙස් සංචාරක ආකර්ෂණය ලබාගැනීම සඳහා ද භාවිත කළ හැකි වෙනවා.

කවරයේ ඡායාරූපය -  www.facebook.com/sankaralinkam.purusoth

මූලාශ්‍ර:

Sundayobserver.lk

Dailynews.lk

Srilankaclick.com

Related Articles