ධනවාදයට එරෙහි සවිඥානක විරෝධය: Carnival 

ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී අපට අප ම සම්මුඛ කරවනසුලු දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් පසුගිය 18 වනදා සිට පුරා දින තුනක් පැවැත්වුණා. එය නැරඹීමට නොගිය ඔබ වෙනුවෙන් ඒ පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය වගවීම Roar සිංහල අපි බාර ගත්තා. මේ කියන්න යන්නෙ ඒ ‘Carnival’ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය ගැන යි.

කුකුලා ලකුණේ අබිරහස

ලයනල් වෙන්ඩ්ට් කලාගාරයට පිවිසුම් දොරටුවෙන් ඇතුළුවනකොට ම දහයියා ගොඩක් මැද කුකුළන් දෙ⁣න්නෙක් පොර කනවා. එකාට එකා රුස්සන්නෙ නැති අපි අපි වගේ ම යි. මොනවා ලබාගන්න ද මේ හැටි ඇනකොටා ගන්නෙ කියලා හිත හිත ටිකක් වෙලා ඒ දිහා බලා ඉන්දැද්දි ‘නෑ උන් පොරකන්නෑ; නටනවා. කෑම ගොඩක් හම්බ වුණු සතුටට” කියලා දැනුණත් තවමත් ඒක සහතික කරන්න අමාරු යි. තවත් ටිකක් බලා ඉන්දැද්දි උන් දහයියා අවුස්ස අවුස්ස ඒ අතර තියෙන වී හරි අමාරුවෙන් අහුලනවා කියලා දැනෙන්න පටන් ගත්තා. 

හරිනෙ වැඩේ… මේ ඉන්නෙ අපිනෙ. ධනවාදය තුළින් නිර්මාණය වුණ පරිභෝජනවාදී සමාජයනෙ මේ පිළිබිඹු වෙන්නෙ. එතනින් මං ගියා කුකුළන් දෙන්නාගෙන් අපේ ම අර්බුදය ප්‍රතිනිර්මාණය කළ යකඩයා මුණගැහිලා මේ ගැන අහන්න. ඔහු නමින්; ලසන්ත ඈපාසිංහ. ලසන්තගෙ පැහැදිලි කිරීමත් සමඟ මගේ කියැවීම තවත් පුළුල් අවකාශයකට විහිදුණා.

 කුකුල් පොරය මැද ඈපාසිංහ – ඡායාරූපය දුලීප් සමරසිංහගෙනි

විරුද්ධවාදය (Antagonism) කියන සංකල්පය තමයි මෙහි තේමාව වෙලා තිබ්බෙ. ඉතා ම අර්බුදකාරී සමාජ, ආර්ථික, දේශපාලනික මෙන්ම ආගමික වටපිටාවක යි අපි මේ වසන්නෙ. මේ පද්ධතිය තුළ මතුපිටින් අපට පෙන්වන සැණකෙළිමය ස්වරූපය, සුන්දරත්වය එහි අභ්‍යන්තරයේ නැහැ. එය හුදු මවාපෑමක් පමණ යි. මේ කලා කෘතිය තුළ පිළිබිඹු වෙන්නෙත් අන්න ඒ මොහොත. 

ඉහත දී කී සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික කියන සංස්ථාපිතයන්ගේ පොදු කුලකයක් විදියට තමයි මේ කුකුළු පොරය ප්‍රදර්ශන අවකාශයට ඔහු ගෙන එන්නෙ. 

සමස්ත සමාජයේ පොදු ලකුණ තමයි කුකුළා. වසර 6000කට එපිට සිට ම පැවති ආගමික මතවාද හා සංස්කෘතික අනන්‍යතා තුළ අද වෙන තෙක් ම විවිධ අවස්ථා සමඟ ‘කුකුළා’ ඍජු ව සම්බන්ධ යි. ගෝලීය සභ්‍යත්වයන් තුළ ආගමික හෝ විනෝදාත්මක වශයෙන් පොර කුකුළු ක්‍රීඩාව ප්‍රචලිත යි. එහි දී මතුපිටින් අපට නේත්‍රාස්පර්ශ කරවන උත්සවාකාර හැඟීම එහි අභ්‍යන්තරයේ සැඟව පවතින්නා වූ ගැටුම, මිලේච්ඡත්වය, අර්බුදය අපට  පෙන්වන්නෙ නෑ. අපි ඉන්නෙත් මේ මොහොතේ ඉතා ම විචිත්‍රවත් මතුපිට සැකැස්මක් සහිත ඇතුළාන්තය ඉතා ම ජරාජීර්ණ වූ සමාජ, දේශපාලනික වටපිටාවක.

ඇහැට පේන දේට වඩා හිතට පේන දේ කොයිතරම් නම් ගැඹුරු ද?

ඩිජිටල් ලෝක⁣යේ වර්චුවල් රියැලිටිය

එතනින් මං හැරුණා වමට. සුදු බිත්තියේ කළු පාටට මොනවදෝ කොටු කොටු දාලා පෙන්වන ඩිජිටල් සෙල්ලමක්. ඒ ඉස්සරහට ගියා ම තිරයේ අපේ රුව ම මතු වෙනවා. අප තුළ ඇති අපේ ම ප්‍රතිරූපය වඩවා ගැනීමේ ආසාව ද මේ පෙන්වන්නෙ? තාක්ෂණික සමාජයෙන් ගිලිහුණු මානව සබඳතා ගැන ද මේ කියන්නෙ? සෑම දේ ම වර්චුවල් විදියට දකින රියැලිටිය ද මේ අපි ඉස්සරහට ගෙනල්ලා තියෙන්නෙ? කවුද මේ කර්තව්‍යය කළේ? ඒක කරලා තිබ්බෙ ඉසුරු චාමින්ද. හිතට වද දුන් ඉහත ගැටලු මං  ඉසුරු ඉදිරිපිට අතෑරියා. මේ  ඔහු සමඟ කළ කතාබහෙන් පසු ව මතු වූ කාරණා කිහිපයක්.

 ඉසුරුමත් ඩිජිටල් ලෝකයේ වර්චුවල් රියැලිටිය – ඡායාරූපය දුලීප් සමරසිංහගෙනි

 

‘මේ නිර්මාණයේ සංකල්පය ප්‍රතිරූපය තමයි. ධනවාදය අද වෙන කොට තමා වටා ඇති සියලු ම බාධා ඉවත් කරමින් තමාගේ ප්‍රතිරූපයෙන් විනෝද වීමට සියලු අවස්ථා උදාකරලයි තියෙන්නෙ. විශේෂයෙන් ම මේකට සමාජ මාධ්‍ය විශේෂ නිදහසක් ලබා දීලා තියෙනවා. නුතනත්වය ඇතුළේ Real සම්බන්ධතාවන්ට මිනිස්සු මේ වෙද්දි බය යි. මානව සම්බන්ධතාවලින් දුරස් වෙලා. ඒ වෙනුවට මිනිස්සු තම තමන්ගෙ Mobile Screen එකටයි Computer Screen එකටයි සීමා වෙලා. ඒ Virtual ගනුදෙනුව Real ගනුදෙනුවක් විදියට දකින්නත් පෙලඹිලා. අන්න ඒ Virtual ගනුදෙනුව තමයි මං මේ Interactive කලා කෘතියක් විදියට Gallery Space එකට ගෙනල්ලා තියෙන්නෙ.

ඉසුරු එහෙම කියනවා.

රිචර්ඩ් සෙන්ට්ගේ  The Fall Of Public Man යන පොතේ මේ හා සම්බන්ධ ලස්සන ප්‍රකාශයක් තියෙනවා කියලා ඉසුරු කීවා. ඒ තමයි; තවදුරටත් Public Man කියලා කෙනෙක් නැහැ. ඉන්නෙ Natistic (ආත්මරාගී) පුද්ගලයෙක් කියන එක. උදාහරණයක් විදියට  නසිසිසම් කතාවෙ එන නසිස් කුමාරයා ළිඳක් අසලින් යන කොට ඔහු ළිං පතුළේ දකින ඡායාව දැකලා, ඒ දකින ප්‍රතිරූපයට ආසාව වර්ධනය වෙලා ඔහු ළිං පතුළට වැටිලා මිය යනවා. 

 බර්ගර්ලන්තයේ අරුමැසිවාදියා- ඡායාරූපය දුලීප් සමරසිංහගෙනි

 

බර්ගර්ලන්තයේ අරුමැසිවාදී මිනිස්සු

මං වම් පැත්තෙන් ම ඉස්සරහට ගියා. මීළඟට මගේ ඇහැ ගියේ “පාන් නැත්නම් බර්ගර් කාපන්” පන්නයේ දෘශ්‍ය බලවේගයක් දිහාවට. එම නිර්මාණය කරපු ධනංජය රත්නායකත් ඒ සමීපයේ දී මට හමුවුණා. ඔහු  සමඟත් සුපුරුදු කතාබහට වැටුණට පස්සෙ එය කියවාගැනීම වඩාත් පහසු වුණා. 

“විස සහිත මූලිකාංග” යනුවෙනුයි ධනංජය එය සංකල්පීය ව හැඳින්වූයේ. දෘශ්‍ය ප්‍රචාරණය මේ මොහොතේ කොයිතරම් නම් ප්‍රබල ද කියන දේ පානුයි බර්ගයි සම්බන්ධ කරලා කියපු කතාවෙන් ම තේරුම්ගන්න පහසු යි. එය, මේ ⁣වගේ උග්‍ර පරිභෝජනවාදී සමාජයක් නිර්මාණය වීමේ පළමු අදියර කිහිපයෙන් ප්‍රමුඛස්ථානයක් ගන්නා බව කීම අතිශයෝක්තියක් නෙවෙයිනෙ. අපි යන එන මඟ දෙපස අපගේ ඇසට අනින ප්‍රචාරක පුවරු  අපේ ශරීරයට වඩා ආසාවන් විශාලනය කොට පෙන්වනවා. ඊට පස්සෙ නොදැනුම්වත් ව ම ඒ භාණ්ඩය අපේ කරගන්නත් කලින් පරිභෝජනය කරන තැනට ම අප පොලඹවනවා. ඒ පෙලඹවීම විස සහිත යි: අහිතකර යි. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි; අපගේ ලාලසාව නම් සළුව අපට නොකියා ම ප්‍රචාරකවාදියා උනා දමා අවසන් නිසයි.

 රුහුණුගේ දෘශ්‍ය ඉන්ද්‍රචාපය- ඡායාරූපය දුලීප් සමරසිංහගෙනි

 

බලහත්කාරයෙන් තෙරපන ලද මොහොතක ඉන්ද්‍රචාපය

ඉන්ද්‍රචාපා රුහුණුගේ ‘Carnival’ දෘශ්‍ය කලා ප්‍රදර්ශනයට නිමවූ නිර්මාණය තවත් විශේෂ යි. ශ්‍රී ලංකාවේ මේ මොහොතෙ වැඩියෙන් ම ඉන්නෙ හොඳ මිනිස්සුන්ට වඩා ‘හොඳ පාරිභෝගිකයන්’ පිරිසක්. එය තමයි මේ පවතින ජනප්‍රිය සංස්කෘතිය හරහා අප ස්ථානගත කරපු තැන.

‘ගෙදර යන ගමන්’ ගෙනියන බඩු මල්ලකට එහා ගිය, වැඩ ඇරිලා එන ගමන් ජිම් එකකට යන, සැලූන් එකට යන, ස්පා එකකට රිංගන අපි තමයි ඒ පාරිභෝගික සත්ත්වයා. ජීවිතේ සවස් යාමයට යන තෙක් ම, දවසේ සවස් යාමය අප එසේ බිලි බා ගනිමින් සිටින බව මඳක් සිතුවහොත් ඔබටත් වැටහේවි. ඉන්ද්‍රචාපා මේ නිර්මාණය තුළින් අපට කියන්නේ ඒ ඛේදවාචකය ගැන.

 ඉඳිකැටිහේවගේ තවදුරටත් නිශ්චල නොවේ – ඡායාරූපය දුලීප් සමරසිංහගෙනි

 

තවදුරටත් නිශ්චල නොවන අවකාශයක අපි

මේ මොහොතේ දීත් ඔබ මේ ලිපිය කියවන්නේ බොහෝ විට ඔබ අතැති ස්මාර්ට් දුරකතනයෙන්. හැබැයි, කසුන් ඉඳිකැටිහේවගේ මේ කියන්නෙ ඊට වඩා බරපතල කාරණාවක්. එක්තරා යුගයක දී ලාංකේය සභ්‍යත්වය රැකගෙන සිටි සුසමාදර්ශ හිටිහැටියේ ම කුඩුපට්ටම් වෙලා යන්න පටන් ගත්තෙ ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඉදිරිපිට තම නිරුවත් ආසාවන් සමඟ හුදෙකලා වෙන්නට පටන් ගැනීමත් එක්ක.

ඇස ආසා පාරාදීසයේ ගොදුරක් වීමත් එක්ක භෞතික සුන්දරත්වය අත්විඳින්න ඔබ, මා, අප අසමත් වෙලා කීම පිළිගත නොහැකි කරුණක් නෙවෙයි. මොකද, අපි ඇසින් කොයිතරම් දේවල්නං විඳිනවද නේද? ඒත් ඇස පිනවලා අහවර කරගන්න අපිට බෑනෙ. අපි රෑ නිදියන්නෙත්, උදේ නැගිටින්නෙත් ස්මාර්ට් ස්ක්‍රීන් එකට ඇන ඇන. ෆේස්බුක් එකේ උඩට පහළට ගාට ගාට. ඔය අතර ඈනුමක් එක්ක එළියක් වැටුණා ම තමා අපේ අඳුර අපිට පේන්න ගන්නෙ. ඊට පස්සෙ තමා කඩිමුඩියේ ලක ලැහැස්ති වෙලා රේස් එක දුවන්න පාත් එකට බහින්නෙ. අනේ අනිච්චං ඒකෙත් හැටි නේද..?

 බිඳෙනසුලු මොහොතක කලාවේ බැඳෙන කේ⁣.කේ  – ඡායාරූපය දුලීප් සමරසිංහගෙනි

 

බිඳෙනසුලු යි; ප්‍රවේශමෙන් කියවන්න!

අද දවසේ කලාව ‘බිඳෙනසුලු යි’. කලාකරුවා ‘බිඳෙනසුලු යි’. රසිකයා ‘බිඳෙනසුලු යි’. නමුත්, පාරිභෝගිකයා ‘බැඳෙනසුලු යි’. කේ.කේ.ටෙරාන්ගේ මෙම නිර්මාණයෙන් අපට සරල ව ම ඒත්තු ගන්වන්නෙ අන්න ඒ යථාර්ථවාදී සංකීර්ණ මොහොත. ‘බිඳෙනසුලු යි’ / ‘වියළි ව තබාගන්න’ වගේ උපදෙස් තමයි අපිට නිතර මුණගැහෙන්නෙ දැන්. අපි අද සියලු වැඩ පසෙක තබා ගෑස් පෝළිමේ. පෙට්‍රල් පෝළිමේ. තව ටික කාලෙකින් මේ සියල්ල අමතක වෙලා ඡන්ද පෝළිමේ. 

රටක ජනතාව නැත්නම් පුරවැසියන් මිය ගොස් පාරිභෝගිකයන් පමණක් ජීවත් ව සිටීමේ අභාග්‍යයට ඔබත් මාත් ලක්වෙලා අවසන්. අතීතයේ අපිට සමීප නොවූ බොහෝ අතීත සිදුවීම් රෝමාන්තික ව මතකය තුළ පමණක් තැන්පත් වෙලා, සමාජ මාධ්‍ය හා රූපවාහිනී තිරය අපගේ ආසාව බවට පත් ව ඇති යුගයක සමාජ සබඳතා තවදුරටත් නරුමවාදීත්වයට සමීප කරවන මොහොතක කේ.කේ.ටෙරාන් එය අපූර්වත්වයෙන් යුතු ව සිය කැන්වසය මතට ගෙනැවිත් තිබෙනවා.

 ෆැන්සිමය මිනිසා දුටු ජයවර්ධන – ඡායාරූපය දුලීප් සමරසිංහගෙනි

 

මානව හැඟීම් සමුදායක පොසිලයක්

“Fancy” නමින් රූපණය කොට තිබූ මහේෂ් ජයවර්ධනගේ නිර්මාණයෙන් කියැවෙන්නේ මානවයාගේ  ආත්මය නිර්වින්දනය කොට, එහි සාරය අතීතය දෙසට හෝ අනාගතය දෙසට ගෙන යන මොහොත යි. හිස් වූ දේහය බාහිරින්  සරසාගෙන වෛවර්ණ මෝස්තර රටා අවකාශය තුළ සැරිසරනවා ඔහුට මෙන්ම ඔබටත් මටත් දෘශ්‍යමාන ව පවතිනවා.

ලෝකය පුරා ඉදිකෙරුණු මහා පරිමාණ කර්මාන්ත ශාලා තුළ මිනිසුන් වත්මන් මොහොත දිය කරමින් සිටිනවා. ලිංගිකත්වය, ආදරය, සෙනෙහස, මිත්‍රත්වය වගේ ම ‘නිදහස’ මිනිසුන්ට හමුවන්නේ පසු කලෙක සොයාගත් පොසිලයක් පරිද්දෙන් බව යි මහේෂ් ජයවර්ධන ඔහුගේ මෙම නිර්මාණය වෙතින් අපට ප්‍රක්ෂේපණය කරන්නේ.

 පොලිතීනයේ කලාව දුටු වොන්ඩර්ෆුල් මෑන් – ඡායාරූපය දුලීප් සමරසිංහගෙනි

 

රාමුව බිඳ පැමිණි පොලිතීන් වික්‍රමය

‘පොලිතීන්’ ගැන ජනප්‍රිය සමාජයේ පවතින පොදු අදහසට අභියෝග ⁣කරමින් එහි පුදුමසහගත බව හැඟවීමට ‘Wonderful Polythene’ මැයෙන් හර්ෂණ කුමාරසිරි කළ කලා කෘතියෙන් උත්සාහ කොට තිබෙනවා. පොලිතීනය මත සමාජය පැටවූ සියලු සංකල්ප සහ අන්තර්ගත මඟහැර එහි භෞතික භාවිතය කලාත්මක භාෂණයක් විදිහට ඔහු ප්‍රතිනිර්මාණය කොට තිබීම සුවිශේෂි යි. පොලිතීන් තුළ පවතින සැහැල්ලු බව, විනිවිද බව සහ බහුවිධ භාවිතය මෙමඟින් නිරූපිත යි. 

ඔබ ‘කාර්නිවල්’ ගෙනිහින් අවසන ඔවුන්ගේ මෙම කලා හිතකාමී ප්‍රයත්නය අගය කරමින් නික්මෙන්න යි මගේ මේ සූදානම. තවත් දවසක අලුත් වටයකින් නැවත හමුවෙමු. පාරිභෝගික බවින් මිදෙන්න බැරි වුණත්, Roar පාඨකයෙක් වෙන්න ඔබට බැරිකමක් නෑ. මොකද, දැනුම් සංචාරය ෂොපින් මෝල් සවාරියකට වඩා රසවත්..!

කවරයේ ඡායාරූපය - Carnival Visual Art Exhibition - www.facebook.com/Art-Eon

මූලාශ්‍ර:

www.facebook.com/Art-Eon 

Related Articles