කිරි කජු කෑම

අවුරුදු උණුසුමත් ගෙවිල ගිහිල්ල සතියක් වෙනවා. දැන් ඉතින් කට්ටිය පුරුදු වැඩ රාජකාරිවලට බැහැල, තවත් නිවාඩුවක් එන කං ඇඟිලි ගැන ගැන ඉන්නව ඇති. සොබා දහමේ විපර්යාස එක්කම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කාලයත් එක්කම වෙනස් වෙනවා. සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට වඩින ගමනේ පරිසරය අලුත් අවුරුදු උදාවට ලක ලැහැස්ති වෙන්නේ අමුතුම සිරියාවකින්. පහුගිය ටිකේ ග්‍රීස්මේ නම් දරාගන්න බැරුවයි අපි හිටියේ. ඒත් දැන් හෝ හෝ ගාල බක් මහ අකුණුත් එක්ක හවසට තදට වහිනවා. කොහත් දැන් කොහෝ කියන්නේ ඌට හිතිච්ච හිතිච්ච වෙලාවට. කොහොම උනත් අප්රේල් මාසේ කියන්නේ ගස් වැල් මල් ඵල පිපී ඵලින් බර වන සමයක්. කොකිස් ටික ඉවර උනාට මේ දවස්වල ගස් වල මී අඹ, ඇපල් අඹ එහෙම මදි නොකියන්න කඩා ගත්තහැකි. ඇයි අඹ ජම්බු විතරද, කජු පුහුලං!

කජු ගැන නිතර අප කතා කලාට, “කජු පුහුලම” කරළියට එන්නේ අවුරුදු සමයට සමගාමිවයි.

කජු වාරේ..කජු වාරේ…එරබදු යායේ..

කොහෝ කොහෝ නාදේ…

ගමට කියන්නේ…

අවුරුදු ඇවිදිල්ලා.

මෙදා පාර තියෙන්නේ කජු ගැන ලියවිල්ලක්. කජු කියන්නේ වාණිජමය වශයෙන් ශ්‍රීලංකාවට වැදගත්කමක් ඇති පලතුරක්. කජු සමයට ඉහල ආදයමක් උපදවන කප්රුකක් ලෙස කජු ගස හැඳින්විය හැකියි. විටමින් සී බහුල පෝෂ්‍ය ගුණයෙන් අණූන කජු වල පිළිකා, හෘද රෝග හා මොළයේ අසමතුලිතතා වලට එරෙහිව ක්‍රියා කරනු ලබන ප්‍රතිතිඔක්සිකාරක ගුණ පවතිනවා. අපේ ජන සමාජේ කජු වලට ඇති වැදගත්කම ගැන මේ ලිපියෙන් වැඩි දුරටත් විස්තර කෙරෙනවා.

කජු ගම

හොඳට ඇහැට පෙනෙන්න තියෙන කජු පුහුලම්

හොඳට ඇහැට පෙනෙන්න තියෙන කජු පුහුලම්

කොළඹ නුවර පාර හරහා යනකොට කජු ගම ලංවෙන්නේ බැදපු කජු පුස්ඹ අපේ නාස් පුඩු වලට සනීපයක් එක්කරගෙන. රෙද්දයි හැට්ටයයි ඇඳගත්ත ලස්සන කජු ලියන් අත වන වන කජු කන්න අඬ ගහන දර්ශනය බලන්නත් ලස්සනයි. වට්ටි පෙට්ටි වල දාලා විකුණන කජු දැන් අස්ප ගණන්. ගම්පහ, මඩකලපුව, මහියංගනය, කුරුණෑගල පැත්තේ එහෙම ලාබෙට කජු මිලදී ගන්න පුලුවන්. ඉඳල හිටල බස් එකකට ගොඩ වෙන වෙළෙන්දෙක්ගෙන් රුපියල් පනහක බැදපු කජු පැකට් එකක් කන්න ලැබෙන අවස්ථාවක් හැරුණු කොට නගරයේ ජීවත් වෙන ගොඩක් දෙනෙකුට අද හොඳින් පැහුණු කජු පුහුලම රස විඳින්න ලැබෙන්නේ ඊඳල හිටල තමයි.

කජු ගහ වටා ගෙතුණු සුන්දර ළමා කාලය

කජු මල්

කජු මල්

කජු ගහ ළමයින්ගේ ජීවිතයට ගොඩක් සමීපයි. පරණ කජු වතු ගොඩක් අද කොන්ක්‍රිට් වනාන්තර වලට යට වෙලා. සමහර පරණ කතා පොත්වල කොල්ලෝ කුරුට්ටෝ සෙල්ලං කරන්න යන්නෙත් කජු ලන්දක. මහ ගෙදර කජු ගහ ගාව තමා ළමයි ටික එක් රැස් වෙන්නේ.

මේ තියෙන්නේ දිවයින පත්තරේ පලවුණු “වික්‍රමසිංහ මහත්තයා “කොග්ගල ගමේ අවුරුදු කෑ හැටි, කොට්ටව රාළහාමි කියන කතාව” යන ලිපියෙන් උපුටාගත්ත කොටසක්.

“අලුත් අවුරුදු කාලයට ගමේ පිරිමි දරුවන් කජු අහුලන්න යනවා. කජු අහුලන්න යන්නේ වවුල් පළවල්වලට. කොග්ගල ගමේ වවුල් පළවල් තිබිලා තියෙනවා. වික්රමසිංහ මහත්තයාත් කොලු ගැටයා කාලේ කොලු ගැටවුන් එක්ක කජු ඇහිඳින්න ගිහින් තියෙනවා. වවුලෝ කජු පුහුලන් කාලා කජු ඇට මේ තැන්වලට ගෙනවිත් දමනවා. උදේ රැයින් තමයි කජු ඇහිදින්න යන්නේ. ගොක්කොළවලින් හදපු පෙට්ටියක තමයි කජු ඇට දමන්නේ. වල කජු ගහන්නත් කජු ඇට ගන්නවා. ඒ විතරක් නෙවෙයි කැවුම් හදනකොටත් කජු මද දමනවා.”

වල කජු ගැසීම

සත්තු කාලා බිම දාලා ගිහින් තියෙන කජු පුහුලම්

සත්තු කාලා බිම දාලා ගිහින් තියෙන කජු පුහුලම්

ගමේ කජු වාරය එළඹෙනව කියන්නේ ඉදුණු රතු, තැඹිලි හා කහ පැහැයෙන් සැරසුණු කජු පුහුලං කන්න බලං ඉන්න වවුලන්ටයි කිරි කජු මද කන ගිරවුන්ටයි ජය අවුරුදු තමා. මැදින් මාසේ මල් හටගෙන අප්‍රේල් වෙන කොට ඵල බරින් නැමෙන කජු ගහ යට වවුලෝ කාපු කජු පුහුලං අනන්තවත් හොයා ගන්නට පුලුවන්. පුහුලම නිකං කන්නට බැහැ. කහට වැඩි හින්දා, කපපු කජු පුහුලම් කෑලි ලුණු වතුරේ ටිකක් වෙලා පොඟවලා තියන්න ඕනේ. ඊට පස්සෙ හිතේ හැටියට යාලුවොත් එක්ක දීසියකට උනත් වග කියන්න පුලුවන්. ඊළඟ දවසේ කැස්ස හරි හෙම්බිරිස්සාව හරි හැදෙයි කියල බයේ අම්මල නම් මෙහෙම අපිට කජු පුහුලං කනවට එච්චර මනාප නෑ. ඒත් පුහුලං වාරේ හැමදාම එන එකක්යැ.

වල කජු ගැසීම කියන්නේ අවාසනාවකට වගේ වල කජ්ජ ගසා ඇති ජන ක්‍රීඩාවක්. මෙය ඔළිඳ කෙළිය, පංච දැමීම, කැට ගැසීම, නෙරංචි ගැසීම වගේ අනෙකුත් ජන ක්රීඩා වගේ අලුත් අවුරුදු සමයේ රූපවාහිණි මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන සූර්‍ය මංගල්‍යයට හෝ වසන්ත සැණකෙළියට සීමා වූ තවත් එක් අංගයක් පමණයි. නවීන සමාජයෙන් ඈත් වෙන මෙවන් ක්‍රීඩා අපට අද දකින්නට හෝ කියවන්නට ලැබෙන්නේ කලාතුරකිනි. කුඩා දරුවන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ ක්‍රීඩාවකි, වල කජු ගැසීම. තෝරාගත් කජු ඇට සලකුණු කරපු ස්ථානයක සිට දුරකින් ඇඳ ඇති  සීමාවකින් එහාට විසි කල යුතුයි. තරගකරුවා විසි කරන කජු ඇටවලින් එකකට එක් වරක් බැගින් අනෙක් කජු වල නොවදින සේ පෙත්තෙන් ගැසිය යුතුයි. සූක්ෂමව, ඉලක්කයට පහර දෙන්න දක්ෂ නම්, කජු සියල්ලම ඔබට හිමිවෙයි.

අවුරුදු මේසෙට වරදින්නැති කජු මාළුව

කොහොමද ලස්සන? (styleinsrilanka.com)

කොහොමද ලස්සන? (styleinsrilanka.com)

බොහෝ දෙනෙකු කිරි කජු මාළුව සළකන්නේ දිව්‍ය භෝජනයක් ලෙසයි. අවශ්‍ය කලමනා දාල, හොඳින් මිටිකිරි කවලම් කරල හදපු කජු මාලුව අවුරුදු කෑම මෙසේ නොවරදින වෑංජනයක්. හත්මාලුවක , වටලප්පටමකට, අලුවා කෑල්ලක එහෙම කජු කෑල්ලක් හැපුනහම මාර ගතියක් නේ  දැනෙන්නේ.

ජන වහරේ ලේසි පහසු වැඩක් කරන කොට කිරි කජු කනවා වගේ වැඩක් කියල අපි කියනවා. හැබැයි කජු මද ගලවන එක නං හිතන තරම් සරලවත් ලේසිවත් නැහැ. කජු කිරි ගෑවෙන්නැතුව ආරක්ෂා වෙන්න ඕනැ. සාම්ප්‍රදායික ක්‍රමේට පිහි තුඩක ආධාරයෙන් වේළපු කජු වල මදේ ඉවත් කිරීම දුෂ්කර කර්තව්‍යයක්. කජු කිලෝවක් මේ දවස්වල රුපියල් දෙදාහකට ආසනන්න මිලකට විකිණෙන්නේ ඒ ලස්සන ඇසුරුමක දාපු රස කජු මද ලබා ගන්න දහසකුත් දෙනා කන කට්ට නිසයි.

 

Related Articles