Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මත්පැන් බිව්වත් නොබිව්වත් වැළඳීමට ඉඩකඩ ඇති ‘සිරෝසිස්’

සිරෝසිස් යනු මුල් අවස්ථාවේදීම රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගයක් නම් නොවේ. මෙය මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකි වන්නේ එක්කෝ ස්කෑන් පරීක්ෂණයක්, නැත්නම් රුධිර පරීක්ෂණයක් මඟින් පමණයි. නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා සාමාන්‍යයෙන් කිසිවෙකුත් රෝගය සම්බන්ධයෙන් විවිධ වූ පරීක්ෂණ සිදුකිරීමට යොමු වන්නේ නැහැ. ඒ අනුව හදිසියේ හෝ  SGPT/OT පරීක්ෂණයක් සිදුකර බැලුවොත් පමණක් රෝගී තත්ත්වය හඳුනාගත හැකි වේ. මෙම තත්ත්වය ‍ෆැටි ලිවර් (Fatty Liver) ලෙසින් හඳුනාගත හැකි අතර එවැනි රෝගියෙකුගේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලු විට අක්මාවේ තෙල් තට්ටු පවතින අයුරු දැකගත හැකි වේ.

අක්මාව

අප ශරීරයේ පවතින ශක්ති ගබඩාව වන්නේ අක්මාවයි. අප ආහාර නොගෙන දවසක් පමණ සිටියත් ශරීරය ප්‍රාණවත්ව තබාගැනීමට උදව් වන්නේ අක්මාවෙන් නිකුත් කරන ශක්තියයි. මෙයට අමතරව ආහාර ජීර්ණයට අවශ්‍ය වන පිත් යුෂ නිපදවීමත්, ආහාර මාර්ගයෙන් අක්මාවට විෂක් ඇතුළු වුවහොත් ඒවා ශරීරයේ අනෙකුත් අවයව පුරා විසිර යාමට නොදී ආරක්ෂා කිරීමත් කරන්නේ ද අක්මාවයි. මෙවැනි වූ විශාල කාර්යභාරයක් ඉටුකරන අක්මාව රෝගී වීම මතයි සිරෝසිස් නම් රෝගී තත්ත්වය හටගන්නේ.

‘සිරෝසිස්’සඳහා ප්‍රධානම හේතුව මත්පැන් ද?

pinsdaddy.com

සිරෝසිස් රෝගය හටගැනීමට ප්‍රධානම හේතුව මත්පැන් බව අප අසා තිබෙනවා. ඒ අනුව නිතර නිතර මත්පැන් පානය කිරීම නිසා අක්මාවට සිදුවන හානි මත අක්මාව අකර්මන්‍ය වීමෙන් ඇල්කොහොලික් සිරෝසිස් (Alcoholic Cirrhosis) නම් රෝගී තත්ත්වය ඇතිවන අතර අප සුලභව දකින සිරෝසිස් රෝගී තත්ත්වය මෙයයි.

නමුත් කිසිදු දිනෙක මත්පැන් පානය නොකළ අයෙකුට ද සිරෝසිස් වැළඳිය හැකි බව ඔබ දන්නවාද? කලාතුරකින් සිරෝසිස් වැළඳුනු දරුවන් පිළිබඳ තොරතුරු ද අසන්නට ලැබේ. ඒ අනුව සිරෝසිස් හටගැනීමට බලපාන එකම කාරණය වන්නේ මත්පැන් නොවේ. මත්පැන් යනු සිරෝසිස් හට ගැනීමට බලපාන එක් හේතුවක් පමණයි. වෙනත් රෝග වල ප්‍රතිඵලයක් ලෙස ද සිරෝසිස් රෝගී තත්ත්වය ඇතිවිය හැකි බවයි අදහස.

‘සිරෝසිස්’ හි මුල් අවස්ථා

නෑෂ් රෝගය (Nash- Nonalcoholic steatohepatitis)

මෙය බහුලව පවතින අක්මා රෝගයක්. නෑෂ් රෝග තත්ත්වය හට ගැනීමට බොහෝ විට බලපාන රෝග කාරක කිහිපයක් වෙනවා.

  • තෙල් සහ සීනි සහිත ආහාර වැඩිපුර ගැනීම
  • ශරීර ස්ථුලතාව
  • අධික ලෙස ආහාර ගැනීම
  • ශරීරයට ව්‍යායාම අඩුවීම

ඒවා අතර වෙනවා. නෑෂ් රෝගයෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ සිරෝසිස් තත්ත්වයයි.

විල්සන්ගේ රෝගය (Wilson’s Disease)

සිරුරේ තඹ (copper) ප්‍රමාණය වැඩි වීම මත හටගන්නා රෝගයකුයි තඹ විෂ වීමේ රෝගය හෙවත් විල්සන්ගේ රෝගය. මෙය සිරෝසිස් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ ඇති පරම්පරාගත ජාන මඟින් වැළඳිය හැකි රෝගයක් වෙනවා.

ඇල්ෆා වන් ඇන්ටිට්‍රිප්සින් ඩෙෆිෂන්සි (Alpha one antitrypsin deficiency)

මෙය කලාතුරකින් යමෙකුට හටගත හැකි ජාන මඟින් හටගන්නා රෝගයකක්. මෙම රෝගයේ ප්‍රතිඵලයක් ලෙස පෙනහළු සහ අක්මාව ක්‍රමයෙන් විනාශ වන අතර අවසාන ප්‍රතිඵලය වන්නේ සිරෝසිස් රෝගී තත්ත්වයයි.

හිමක්‍රෝමැටෝසිස්  (Hemochromatosis)

මෙම රෝගී තත්ත්වයේ දී සිදු වන්නේ අක්මාවේ යකඩ තැන්පත් වී යකඩ විෂ වීමයි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ද සිරෝසිස් රෝගී තත්ත්වයයි.

ඉහතින් දැක්වූ පරම්පරානුගත රෝග වන විල්සන්ගේ රෝගය (Wilson’s Disease), ඇල්ෆා වන් ඇන්ටි ට්‍රිප්සින් ඩෙෆිෂන්සි (Alpha One Anti Trypsin Deficiency), හිමක්‍රෝමැටෝසිස්  (Hemochromatosis) ආදී රෝග වැළඳීමට බොහෝ විට ලේ ඥාතින් අතර සිදුවන විවාහ බලපානු ලබනවා.

රෝග ලක්ෂණ

සිරෝසිස් රෝගියෙකුට මුල් කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළත්, පසුව රෝගය උග්‍ර වූ විටෙක පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. නමුත් පහත සියලුම රෝග ලක්ෂණ සියලුම සිරෝසිස් රෝගියෙකුගෙන් දැකගත හැකි වන්නේ නැති අතර සමහර ලක්ෂණ පමණක් මතු විය හැකියි.

emdocs.net

  • සිරුර ඉදිමීම, විශේෂයෙන් උදරය ඉදිරියට නෙරා ඒම
  • උදරයේ වතුර පිරීම
  • සිරුර කහ පැහැ වීම
  • කම්මුල් ඉදිමීම
  • පිරිමින්ගේ පියයුරු ඉදිරියට නෙරා ඒම සහ වේදනා ගෙනදීම
  • කිහිලි වල සහ පපුවේ රෝම ගැලවී යාම
  • සමේ රතු පැහැ බිබිලි හට ගැනීම
  • අත්ල රතු පැහැ වීම
  • නියපොතු සුදු පැහැයක් ගැනීම සහ ඉදිරියට වක්‍ර වීම
  • ලිංගික බෙලහීනතාව

අනතුර සහ ප්‍රතිකාර

slideshare.net

ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් සිරෝසිස් රෝගය උග්‍ර අතට පත්ව ඇති බව සිතාගත යුතුය. එම අවස්ථාව වන විට අක්මාව සම්පුර්ණයෙන්ම විනාශ වී පවතින අතර නැවත යථා තත්ත්වයට ගැනීම කළ නොහැක.

මෙවැනි තත්ත්වයක සිටින රෝගියා හට අනතුරක් ඇතිවිය හැකි ආකාර 2කි.

  1. ආහාර මාර්ගයේ විෂ අක්මාව හරහා මොළයට පැමිණ සිහිසුන් වීම.
  2. ආහාර මාර්ගයේ සිට පෝෂණය අක්මාවට ගෙන එන ප්‍රධාන නහරය, ආහාර මාර්ගයේ ආමාශය ආරම්භ වන තැනදීම පුපුරා යාම.

ඉහත පළමු අවස්ථාවේදී, එනම්, ආහාර මාර්ගයේ විෂ අක්මාව හරහා මොළයට පැමිණ සිහිසුන් වූ විටෙක වස්ති මාර්ගයෙන් රෝගියාගේ මහා බඩවැල් සහ අධෝ මාර්ගය සේදීමක් කිරීමෙන් දින කිහිපයකින් සාමාන්‍ය සුවයක් ලබාදිය හැකි වේ.

ඉහත දෙවන අවස්ථාවේදී ආහාර මාර්ගය තුළට විශාල වශයෙන් ලේ වහනය වියහැකි අතර රෝගියාට ලේ වමනය විය හැක. ලේ වමනය සිදු නොවන විටෙක එම රුධිරය ආහාර සමඟ දිරවා මලපහ වනු ඇත. මෙවැනි විටෙක රෝගියා ඉක්මනින් රෝහල වෙත රැගෙන යාමෙන් පහත ප්‍රතිකර්ම ලබාදිය හැකි වේ.

  • එන්ඩොස්කොපි පරීක්ෂණයක් (කැමරාවක් සහිත බටයක් උගුර හරහා ආමාශයට ඇතුල් කිරීම) මඟින් ලේ ගලන ස්ථානය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම.
  • රෝගියාගේ නහර පිපිරිමට පෙර හඳුනා ගතහොත් එන්ඩොස්කොපි පරීක්ෂණය මඟින් පිපිරිමට ඇති නහර හඳුනාගෙන එම ස්ථාන රබර් වළලු වලින් සිරකිරීම.

අවධානමට පෙර සුදානම් වෙමු.

onlymyhealth.com

කෙසේ වුව ද සිරෝසිස් රෝගයේදී මුල් අවස්ථාවේදීම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා රෝගයෙන් වැළකී සිටීම වැදගත් වේ. ඒ සඳහා ඔබට පහත ලෙසින් සූදානම් විය හැකිය.

  • මත්පැන් භාවිතය සීමා කිරීම, හැකි නම් නවතා දැමීම.
  • බාල ප්‍රමිතියෙන් යුතු අරිෂ්ට වර්ග හිතුමතේට පානය කිරීමෙන් වැළකීම. (මද්‍යසාර අඩංගු විය හැකි බැවින්)
  • තෙල් සහ පැණි සහිත ආහාර සීමා කිරීම.
  • ශරීරයේ බර අඩුවෙන් පවත්වා ගැනීම.
  • නිසි ලෙස ව්‍යායාම වල නිරත වීම.
  • කල් පවතින සෙංගමාලය වැනි රෝග ඇති වී තිබෙන්නේ නම්, වහා ප්‍රතිකාර ගෙන ඉක්මනින් සුව කරගැනීම.
  • ලේ ඥාතින් අතර විවාහ සිදු නොකිරීමට වගබලා ගැනීම.

කවරයේ කතාව- varanasihospital.com

මූලාශ්‍ර

emedicinehealth.com

mayoclinic.org

medicinenet.com

medicalnewstoday.com

niddk.nih.gov

webmd.com

Related Articles