Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපූරු සිතුවම් දැක ගත හැකි නගර කිහිපයක්

පුරාණ ගල් කැටයම් සහ වෙනත් එවැනි නිර්මාණ බහුල ව දැකිය හැකි ස්ථාන සඳහා අනුරාධපුරය, පොළොන්නරුව හා දඹදෙණිය වැනි ප්‍රදේශ ප්‍රසිද්ධ ය. ඊට අමතර ව ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, වෙස්මුහුණු කර්මාන්තයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ මොලගොඩ, කුඹල් කර්මාන්තයටත් ප්‍රසිද්ධ ය. මේ අයුරින් විවිධ කලා ශිල්ප සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ ගණනාවක් ශ්‍රී ලංකාවේ හඳුනාගත හැකි ය.

මේ අයුරින් විවිධ කලා ශිල්ප සඳහා ප්‍රසිද්ධ නගර ලෝකයේ අනිකුත් රටවල ද පිහිටා තිබේ. උදාහරණයක් ලෙස චිත්‍ර කලාව සඳහා ප්‍රිය කරන බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ නගර විවිධ රටවල ඇත. සම්භාව්‍ය ගණයේ චිත්‍ර, ප්‍රදර්ශනය සඳහා තබා ඇති කෞතුකාගාර සහ වෙනත් ප්‍රදර්ශන කුටි බහුල බැවින් චිත්‍ර කලාවට ඇලුම් කරන දහස් ගණනක් සංචාරකයෝ මෙම නගරවල සංචාරය කරති.

මේ ලිපිය ලොව පුරා විවිධ රටවල පිහිටි- චිත්‍ර කලාව සඳහා වඩාත් ප්‍රසිද්ධ නගර පහක් පිළිබඳව යි.

මියාමි නගරයේ ගොඩනැගිල්ලක ඇඳ ඇති චිත්‍රයක් – www.pinterest.com

1. මියාමි, අමෙරිකා එක්සත් ජනපදය

එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ පිහිටි වෙරළබඩ නගරයක් වන මියාමි, ලෝක ප්‍රසිද්ධ ‘Art Basel’ ප්‍රදර්ශනයේ නිවහන යි. මුලින් ම ස්විට්සර්ලන්තයේ ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සෑම වසරක ම එහි පැවැත්වේ. වර්තමානය වන විට චිත්‍ර ශිල්පීන් සහ වෙනත් විවිධ ක්ෂේත්‍රයන්ට අයත් කලාකරුවන් 2,000 කට අධික පිරිසක් මෙම ප්‍රදර්ශනය අතරතුර සිය නිර්මාණ ප්‍රදර්ශනය කරති. රටවල් ගණනාවකින් පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා මෙම ප්‍රදර්ශනය නැගී එන කලාකරුවන්ට සිය නිර්මාණ ලොවට පෙන්වීම සඳහා ද ඇති වටිනා වේදිකාවකි.

‘Art Basel’ ප්‍රදර්ශනයේ අවස්ථාවක් – Rodrigo Varela/Getty Images for Prime Video

මියාමි හි පිහිටි වින්වුඩ් කලා දිස්ත්‍රික්කය ද චිත්‍ර කලාව සඳහා ඉතා ප්‍රසිද්ධ ය. මුල් කාලයේ දී කාර්මික ජනපදයක් වූ එහි මේ වන විට විවිධ නැරඹුම් මධ්‍යස්ථාන සහ කෞතුකාගාර 70කට වැඩි සංඛ්‍යාවක් පිහිටා තිබේ. ඒවා දැක බලා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට සේවා සැපයීම සඳහා ම වෙන් වූ බීරහල්, අවන්හල්, සහ වෙනත් විවිධ වෙළෙඳකුටි මෙම ප්‍රදේශයේ පිහිටා ඇත. ඒ අතරින් සංචාරක ආකර්ෂණය වඩාත් දිනා ගත් ස්ථානයක් වන ‘Wynwood Walls’, විවිධ මාතෘකා ඔස්සේ ඇඳි චිත්‍රවලින් අලංකාර වූ තාප්පයකි.

නයිජීරියාවේ ලාගෝස් නගරය – www.britannica.com

2. ලාගෝස්, නයිජීරියාව

චිත්‍ර කලාවට ඇලුම් කරන බොහෝ දෙනකු ගේ අවධානය දිනා ගන්නා තවත් නගරයකි- නයිජීරියාවේ ලාගෝස්. මෑතකදී ආරම්භ වූ දැවැන්ත කලා ප්‍රදර්ශනයක් වන ‘Art X’ පැවැත්වෙන්නේ ලාගෝස් නගරයේ දී ය. එම ප්‍රදර්ශනය, නව්‍ය සහ නවීකරණය කළ අප්‍රිකානු කලා නිර්මාණවලින් (බොහෝ විට චිත්‍ර) පිරි එකකි.

ඊට අමතර ව ‘Rele Gallery’ සහ ‘Red Door Gallery’ වැනි කලාගාර 50කට වැඩි ප්‍රමාණයක් මෙහි පිහිටා ඇත. කලාගාරවලට අමතර ව මෙහි පිහිටා ඇති ඩිඩි නම් කෞතුකාගාරය නයිජීරියාවේ ඉතිහාසය පිළිබිඹු කරන විවිධ නිර්මාණවලට අමතර ව නවක කලා ශිල්පීන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කර ඔවුන්ට අතහිත දෙයි.

‘Art X’ පැවැත්වෙන්නේ ලාගෝස් නගරයේ දී ය – BENSON IBEABUCHI/AFP via Getty Images

චිත්‍ර කලාවට අමතර ව ලාගෝස් නගරය චිත්‍රපට නිර්මාණ සඳහා ද ප්‍රසිද්ධ ය. එහි ක්‍රියාත්මක වන චිත්‍රපට කර්මාන්තය ‘නොලිවුඩ්’ නමින් හැඳින්වේ. නොලිවුඩ් සැලකෙන්නේ ලොව දෙවැනි විශාලත ම චිත්‍රපට කර්මාන්තය ලෙස යි. වසරකට චිත්‍රපට 1,500කට වැඩි ප්‍රමාණයක් ලාගෝස් නගරය ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන අතර එහි පැමිණෙන සංචාරකයෝ චිත්‍රපටයක් නැරඹීමට ද අමතක නොකරති.

පැරිසියේ කෞතුකාගාරයක් – www.frenchmoments.eu

3. පැරිස්, ප්‍රංශය

ලෝ ප්‍රකට මොනාලිසා සිතුවම තැන්පත් කර ඇති ලූවර් කෞතුකාගාරය, සහ ‘Musee d’Orsay’ වැනි කෞතුකාගාර පිළිබඳ ව ඔබ අසා ඇතිවාට සැක නැත. ඒවාට අමතර ව කලා නිර්මාණ ප්‍රදර්ශනය කරන තවත් ස්ථාන ගණනාවක් ප්‍රංශයේ පිහිටා ඇත. ඒ අතරින් පැරිස් නගරය ආසන්නයේ පිහිටි බෙලෙවිල් හි දැකිය හැකි භූගත කලාගාරයක් සහ වීදි දෙපස තාප්පවල ඇඳි චිත්‍ර ප්‍රධාන තැනක් ගනී.

එම ප්‍රදේශයේ පිහිටි ‘Ateliers d’Artistes de Belleville’ යනු දේශීය කලාකරුවන් සඳහා වෙන් වූ ප්‍රදර්ශන අවකාශයක් වන අතර එහි විවිධ වැඩමුළු ද පැවැත්වේ. තවත් එතරම් ප්‍රසිද්ධ නොවන, නමුත් විශිෂ්ට කලා නිර්මාණ තැන්පත් කර ඇති කලාගාර ගණනාවක් ද මෙහි ඇත.

පිකාසෝ කෞතුකාගාරය – Bruno Morandi/Corbis via Getty Images

එහි පිහිටි ජාතික පිකාසෝ කෞතුකාගාරයේ සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙක් වූ පැබ්ලෝ පිකාසෝ ගේ නිර්මාණ රැසක් ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

පැරිසිය සහ ප්‍රංශයේ වෙනත් නගරවල ජීවත් වූ චිත්‍ර ශිල්පීන්ගේ තවත් නිර්මාණ ගණනාවක් ද පැරිසියේ පිහිටි කලාගාර සහා කෞතුකාගාරවල දී දැක ගත හැකි ය.

සිංගප්පූරුවේ වීදියක් අසල දැකිය හැකි චිත්‍රයක් – www.traveltriangle.com

4. සිංගප්පූරුව

කලා නිර්මාණ සඳහා ප්‍රසිද්ධ නගර ලැයිස්තුවේ සිංගප්පූරුව ද තිබෙනු දැකීමෙන් ඔබ පුදුමයට පත් වනු ඇත. සිංගප්පූරුවේ ආසියානු සහ ජාත්‍යන්තර කලාකෘති ප්‍රදර්ශනය සඳහා තබා ඇති කලාගාර බහුල වේ. සිංගප්පූරු කලා කෞතුකාගාරයේ අග්නිදිග ආසියාතික රටවල් ගණනාවකට අයත් සමකාලීන කලා නිර්මාණ විශාල ප්‍රමාණයක් තිබෙන අතර ඒවා නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පැමිණෙති.

Little India – Ken Welsh/UCG/Universal Images Group via Getty Images

සිංගප්පූරුවටම ආවේණික කලා උළෙලක් වන සිංගප්පූරු කලා සතිය සෑම වසරක ම ජනවාරි මාසයට යෙදී තිබේ. එම සතිය පුරාවට ම චිත්‍ර සහ වෙනත් කලා නිර්මාණ විශාල ප්‍රමාණයක් සෑම නගරයක් පාසා ම ප්‍රදර්ශනය කෙරේ.

වීදි චිත්‍ර දැක ගැනීමට කැමැත්තක් දක්වන අයෙක් නම් ‘Little India’ සහ ‘Chinatown’ යන ප්‍රදේශවල දී ඔවුන්ට ඒවා නැරඹිය හැකි ය.

සාඕ පෝලෝ නගරයේ තාප්පයක් මත ඇඳි චිත්‍රයක් – www.wikitravel.org

5. සාඕ පෝලෝ, බ්‍රසීලය

බ්‍රසීලයේ කාර්යබහුල ම නගරය වන සාඕ පෝලෝ චිත්‍ර සඳහා ප්‍රසිද්ධ නගරවලින් එකකි. මෙම නගරය මූලික කරගෙන දැවැන්ත කලා ප්‍රදර්ශන දෙකක් පැවැත්වේ. ඉන් පළමුවැන්න ‘SP Arte’ සෑම වසරක ම අප්‍රේල් මාසයේ පළමු සතියේ පැවැත්වේ. අනික් ප්‍රදර්ශනය වන ‘Bienal São Paulo’ වසරකට දෙවරක් පැවැත්වෙන අතර දහස් සංඛ්‍යාත පිරිසක් ඊට සහභාගී වෙති.

සාඕ පෝලෝ කලා කෞතුකාගාරය (MASP) – Getty Images.com

මෙම නගරයේ පිහිටි විශාලත ම කලාගාර දෙක වන සාඕ පෝලෝ කලා කෞතුකාගාරය (MASP) සහ ‘Pinacoteca de São Paulo’ යන දෙකෙහි ම ඇත්තේ වටිනා මෙන් ම පැරණි චිත්‍ර සහ ඡායාරුප එකතුවකි. මෙහි පිහිටි ‘Galeria Choque Cultural’ නම් ස්ථානය අතහැර දැමූ ගබඩාවක් වන අතර දැන් එහි බිත්ති වර්ණවත් බිතුසිතුවම්වලින් පින්තාරු කර ඇත. ඊට අමතර ව සාඕ පෝලෝ නගරයේ වීදි දෙපස ඇති තාප්ප පුරා ද ඉතා කලාත්මක චිත්‍ර ඇඳ තිබෙනු දැකගත හැක.

කවරයේ ඡායාරූපය- සිංගප්පූරුවේ ගොඩනැගිල්ලක ඇඳ ඇති විශාල ප්‍රමාණයේ චිත්‍රයක් - www.silverkris.com
මූලාශ්‍ර :
www.hostelworld.com
sg.thefinder.life
www.britannica.com

Related Articles