මොකක්ද මේ බොටුලිසම ?

අපිරිසිදු ආහාර හාවිතය නිසා මිනිසුන්ට ඇතිවෙන ලෙඩරෝග බොහොමයි. ඉතා කුඩා උදරාබාධ වල සිට සමහර විටෙක ජීවිතය පවා අහිමිවිය හැකි මාරාන්තික රෝගාබාධ අපිරිසිදු ආහාර අනුභවය නිසා ඇතිවිය හැකියි. මෙවන් එක් රෝගාබාධයක් ලෙස ‘බොටුලිසම’ සැළකෙනවා. ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වයක් නිසා ඇතිවන මාරාන්තික බොටුලිසම ගැන බෝහෝ දෙනා අසා තිබුණත් එය හරියාකාරවම කුමක්දැයි නොදන්නා පිරිස බොහොමයි. ඒ හේතුවෙන් පාඨක ඔබේ දැනුම සඳහා බොටුලිසම පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙන එන්නට අපි තීරණය කළා.

බොටුලිසම පිළිබඳ හැඳින්වීම

බොටුලිසම දුර්ලභ, එහෙත් ඉතාම මාරාන්තික විය හැකි රෝගී තත්ත්වයක් වන අතර මෙය බෝ වීම සිදුවන්නේ එම රෝගය ඇති කරන බැක්ටීරියාව ආසාදනය වී ඇති ආහාර අනුභවයෙන් හෝ විවර වී ඇති තුවාලයක් මත බැක්ටීරියාව තැවරීම මඟිනුයි. මේ රෝගය හඳුනාගත් වහාම ප්‍රතිකාර නොකළහොත් අංශභාගය හා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී මරණය පවා සිදු වෙනවා. බොටුලිසම ළදරු, ආහාර මඟින් බෝවන, හා තුවාල මඟින් ආසාදනය වන යනුවෙන් කොටස් තුනකට වෙන් කර හඳුනාගත හැකියි.

වර්ණ ගැන්වූ Clostridium botulinum බැක්ටීරියාව 8000 ගුණයක විශාලනයකින්-Eye of Science/Science Source

බොටුලිසම වැළඳෙන්නේ Clostridium botulinum නම් බැක්ටීරියා වර්ගය මඟින් නිකුත් කරන ධූලකයක් හේතුවෙනුයි. මෙය නිර්වායු බැක්ටීරියාවක් වන අතර ඔක්සිජන් නොමැති පරිසර වල පමණක් බෝ වනවා. මේවා වසා ඇති ටින්, කෑන් වැනි ඔක්සිජන් ඉතා අවම පරිසර වල හොඳින් වැඩෙනවා.

බොටුලිසම් ධූලක ස්නායු විෂක් ලෙස ක්‍රියා කරන අතර මේ මඟින් මාංශපේෂි සංකෝචනය හා ඉහිල් කිරීමට ස්නායු පද්ධතිය මඟින් ලබා දෙන පණිවුඩ සම්ප්‍රේෂණය වලක්වනු ලබනවා. මේ නිසා තාවකාලිකව එම මාංශපේෂි දුර්වල වී අකර්මන්‍ය වීමත් සිදු වෙනවා. ශ්වසන පද්ධතිය මෙහෙයවන මාංශපේෂි දුර්වල වීම නිසා ශ්වසනය කිරීමේ හැකියාව රෝගියාට අහිමි විය හැකි අතර මාංශපේෂි එසේ අකර්මන්‍ය වීම මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙනවා.

බොටුලිසමේ රෝග ලක්ෂණ

බොටුලිසම ගෙන එන බැක්ටීරියාව ආසාදනය වී පැය 6ත් දින 10ත් අතර රෝග ලක්ෂණ පෙන්වන්නට පටන් ගන්නවා. බොහෝමයක් අවස්ථාවන් හීදී ආසාදනය වී පැය 12 ත් 36 ත් අතර රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

ළදරුවන්ට බොටුලිසම ආසාදනය වූ විට මළ බද්ධය, ආහාර ගැනීමේ අපහසුතාව, වෙහෙසකර භාවයක් පෙන්වීම, ශරීර වේදනාව, කෙළ වැගිරීම, ඇස් නිදිබර ස්වභාවයක් පැන්වීම, දුර්වල ලෙස ඇඬීම, මාංශ පේෂි දුර්වල වීම හා ඒ නිසා හිසෙහි චලනයන් පාලනයෙන් තොර වීම හා පක්ෂගාත ලක්ෂණ පෙන්වනවා. ආහාර හෝ තුවාල මඟින් බොටුලිසම ආසාදනය වූ වැඩිහිටියෙක් තුළ ගිලීම හා කතා කිරීමේ අපහසුව, මුහුණේ මාංශ පේශි වල දුර්වලතාව, පෙනීම බොඳ වීම, ඇස් වල නිදිබර ගතිය ඇති වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, ඔක්කාරය, වමනය, උදරයේ මාංශපේශි පෙරළීම හා අංශභාග ලක්ෂණ පෙන්වීම සිදු වෙනවා.

බොටුලිසම වැළඳුණු අයෙකුගේ මුහුණක් -Herbert L. Fred, MD and Hendrik A. van Dijk/cnx.org

බොටුලිසම ඇති වන්නේ කෙසේද හා අවදානම් සාධක

බොටුලිසම් රෝගී තත්ත්වය පිළිබඳ වාර්තා අනුව එය වැළඳෙන්නන්ගෙන් 65% ක්ම ළදරුවන් හෝ වයස අවුරුද්දකට අඩු කුඩා ළමුන් බව හෙළි වී තිබෙනවා. මොවුන්ට වැඩිමනක්ම මේවා වැළඳෙන්නේ බොටුලිසම සාදන ධූලකය සහිත බැක්ටීරියා වල බීජානු සහිත ආහාර වර්ග වලට හෝ පස් වලට නිරාවරණය වීම නිසායි. මී පැණි හා කෝන් සිරප් මේවා අන්තර්ගත විය හැකි ආහාර වර්ග දෙකකට හොඳ නිදසුන් වෙනවා. මෙලෙස ඇතුලු වන බීජාණු ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුල වර්ධනය වී බොටුලිසම් ධූලකය නිකුත් කරන්නට පටන්ගන්නවා. වයසින් වැඩි දරුවන් හා වැඩිහිටියන්ගේ ශරීර තුළ බොහෝ විට මේ බැක්ටීරියා වර්ධනය මැඬපවත්වා ගත හැකි තරමේ අරක්ෂිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.

බොටුලිසම වැළඳීමේ සිද්ධි අතුරින් 15% ක් පමණ ආහාර හා සබැඳි, වැඩිහිටියන්ට වැළඳුණු ඒවා වෙනවා. මේවා බොහෝ විට නිසි ලෙස නොසකසන ලද, වායු රෝධක ලෙස ගබඩා කරන ලද ආහාර නිසා ඇති වෙනවා. විශේෂයෙන්ම අඩු ආම්ලිකතාවයක් ඇති එළවළු වර්ග, හතු, ටින් කරන ලද මාළු, පසවන හා දුම් ගසන ලද මාළු හෝ සකසන ලද හෝ ටින් කරන ලද මස් වර්ග වල මේ බැක්ටීරියාව අඩංගු වී තිබිය හැකියි.

නිසි ප්‍රමිතියෙන් තොරව ටින් කරන ලද ආහාර වල බොටුලිනම් බැක්ටීරියාව වර්ධනය වී තිබිය හැකියි. -financialtribune.com

බොටුලිසම පිළිබඳ වාර්තාවීම අතුරින් 20% ක් පමණ වැඩිහිටියන්ට, තුවාල මඟින් එම බැක්ටීරියාව ආසාදනය වූ අවස්ථා ලෙසට හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය මේ සිද්ධීන් අතුරින් සැළකුය යුතු සංඛ්‍යාවකට හේතු වී තිබෙනවා. හෙරොයින් හා කොකේන් වල මේ බැක්ටීරියාව අන්තර්ගත විය හැකියි. ඒ වාගේම මේ රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වන්නේ නැහැ. මේ රෝගය වැළඳීමට බොටුලිනම් බැක්ටීරියාව යම් පුද්ගලයෙකුගේ ආහාර මාර්ගයට හෝ තුවාලයක් මඟින් සිරුරට ඇතුළු විය යුතුයි.

බොටුලිසම හඳුනාගන්නේ කෙසේද?

‍යමෙකුට බොටුලිසම වැළඳී ඇති බවට සැක කෙරුණහොත් වහාම වෛද්‍යාධාර පැතිය යුතුයි. ඉක්මන් ප්‍රතිකාර මඟින් රෝගියාගේ ජීවිතය අවධානමට ලක් නොකර ඉන් මුදවාගත් හැකියි.

බොටුලිසමෙන් පීඩා විඳින දරුවෙක්- mylittlemoppet.com

වෛද්‍යවරයෙක් විසින් රෝගියාට බොටුලිසම වැළඳී ඇත්දැයි නිර්ණය කිරීමේදී රෝගියාව රෝග ලක්ෂණ ඔස්සේ භෞතිකව නිරීක්ෂණය කරන අතර මීට අමතරව ඔහු හෝ ඇය විසින් දින කිහිපයක් පුරාවට ගත් ආහාර පිළිබඳවද අවධානය යොමු කරන බැවින් ඒවා පිළිබඳවද හැකිතාක් තොරතුරු සැපයීම රෝගියාගේ පාර්ශවයේ වගකීමක් වෙනවා. මීට අමතරව රෝගියාගේ තුවාල පිළිබඳවද වෛද්‍යවරයා අවධානය යොමු කරනවා. මීට අමතරව රෝගියාගේ රුධිර හා මළපහ පරීක්ෂාවක් සිදු කෙරෙන අතර එමඟින් නිසියාකාරවම ඒවායේ බොටුලිසම ඇති කරන බැක්ටීරියාව හෝ ඔවුන් නිකුත් කරන ධූලකය ඇත්දැයි සොයාගත හැකියි. කෙසේ නමුත් ඒ සඳහා දින කිහිපයක් ගත වන බැවින් බොහෝ වෛද්‍යවරුන් රෝග ලක්ෂණ ඔස්සේම බොටුලිසම නිර්ණය කරනවා. බොටුලිසමේ සමහර රෝග ලක්ෂණ වෙනත් රෝග නිසාත් ඇති වි‍ය හැකි අතර එසේ සැකයක් ඇතිවුවහොත් වෛද්‍යවරුන් මාංශපේෂි ප්‍රතිචාර, සුෂුම්නා මස්තිෂ්ක තරළ පරීක්ෂාව, හා ස්කෑන් පරීක්ෂණ ඔස්සේ වැළඳී ඇත්තේ බොටුලිසමම දැයි තහවුරු කරගන්නවා.

බොටුලිසමට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

ආහාර හා තුවාල මඟින් වැඩිහිටියෙකුට වැළඳෙන බොටුලිසම වෙනුවෙන් රෝගී තත්ත්වය නිර්ණය කළ වහාම වෛද්‍යවරුන් විසින් රෝගියාට ප්‍රතිවිෂ ලබා දෙනවා. ළදරුවන්ට රෝගය වැළඳුණු විට ‘බොටුලිසම් ඉමියුනො ග්ලොබියුලින්’ හෙවත් බොටුලිසමට එරෙහි ප්‍රතිශක්තිය වැඩෙන ප්‍රතිදේහ සපයන ප්‍රතිකාරයක් මඟින් රෝගය මැඬ පවත්වනවා. මෙමඟින් ස්නායු විෂක් වන බොටුලිසම රුධිරය ඔස්සේ ශරීරය පුරා දිවීම වළක්වනවා.

බොටුලිසම දරුණුවට වැළඳුණු අවස්ථාවකදී රෝගියාට ශ්වසනාධාර ලබා දිය යුතු අතර සමහර විටෙක සම්පූර්ණ වශයෙන් සුවය ලැබීමට සති හෝ මාස ගණනාවක් ගත විය හැකියි. සමහර විටෙක භෞත චිකිත්සක ප්‍රතිචාරත් අවශ්‍ය විය හැකියි. බොටුලිසම සඳහා එන්නතක්ද වර්තමානය වන විට කරළියට පැමිණ ඇති නමුත් එහි කාර්යයක්ෂ්මතාවය හා අතුරු ආබාධ පිළිබඳව තවමත් නිසියාකාරව පරීක්ෂණ පවත්වා අවසන් කර නැහැ.

බොටුලිසම වළක්වාගන්නා ක්‍රම

නිසි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කළහොත් බොටුලිසම වළක්වා ගැනීම ඉතාම පහසු කරුණක් වෙනවා. පහත් සඳහන් ක්‍රමවේද නිසියාකාරව පිළිපැදීම තුලින් බොටුලිසම වැළඳීමේ අවදානම ඉතා අවම කරගත හැකියි.

උපදෙස් නිසියකාරව පිළිපැදීමෙන් හා නිසි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමෙන් බොටුලිසම වළක්වාගත හැකියි.-varietyland.com

  • නිවසේදී හෝ කර්මාන්තශාලා වලදී ආහාර ඇසුරුම් කිරීමේදී (විශේෂයෙන් ටින් කිරීමේදී ) නිසි ක්‍රමවේද භාවිතා කිරීම හා සුදුසු ආම්ලිකතාවයක් පවත්වා ගැනීම.
  • පසවන ලද මාළු වැනි ආහාර පරිභෝජනයේදී නිසි සනීපාරක්ෂාවක් පවත්වාගෙන යාම හා ඒවා පිළිබඳව අවධානයෙන් පසු වීම
  • සැමන්, පළතුරු වැනි ආහාර සහිත ඉදිමුණු ටින් කෑන් පරිභෝජනය නොකර ඉවත් කිරීම.
  • ශීත කරන තෙල් සහිත ආහාර වලට හැකිනම් කුළුබඩු හෝ සුදුළූණු වැනි දේ අන්තර්ගත කිරීම
  • බදින ලද අල පෙති ඇළුමිනියම් දවටන වට ඔතා කල් තබාගන්නා විට ඔක්සිජන් මුක්ත පරිසරයක් ඇතිවිය හැකියි. මෙය බොටුලිනම් බැක්ටීරියාවට වර්ධනය සඳහා ප්‍රශස්ත පරිසරයක් නිර්මාණය කරන අතර ඒවා ශීතකරණයක තැබීම සුදුසුයි.
  • ආහාර විනාඩි 10ක් නටන ජලයේ තැම්බෙන්නට හැරීමෙන් බොටුලිසම් ධූලකය සම්පූර්ණයෙන් විනාශ කරගත හැකියි.

කවරයේ පින්තූරය -Tim Sandle /digitaljournal.com

Related Articles