Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විසෙන් නසන තරමට ම විසට හුරු වන කැරපොත්තා

නිවාස ආශ්‍රිත ව ජීවත් වන පළිබෝධකයන් අතරින් කැරපොත්තා කියන්නේ තරමක් මුරණ්ඩු කරදරකාරයෙක්. බොහෝ දෙනකුට ඉතා අප්‍රසන්න හැඟීමක් ගෙන දෙන මෙම සත්ත්වයා ගෙන් මිදීමට මිනිසුන් නොයෙකුත් උපක්‍රම යොදනවා. ඇතැමුන් ඔවුන් මරා දමන්නට උත්සහ කරන අතර, ඇතැමුන් කැරපොත්තන්ගේ ස්පර්ශයට මුළුතැන්ගේ භාණ්ඩ හසු නොවන අන්දමින් ආවරණය කිරීමට උත්සහ කරනවා. වසරේ ඇතැම් කාලවල දී නිවස තුළ සිටින කැරපොත්තන්ගේ ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වන අයුරුත් ඔබ අත්දැක ඇති.

සැල්මොනෙල්ලා, ස්ටැෆිලොකොකස්, ස්ට්‍රෙප්ටොකොකස් වැනි රෝගකාරවල පැතිරීම පිටුපස කැරපොත්තන්ගේ බලපෑමක් තිබෙන බව විශ්වාස කරනවා. ගෘහාශ්‍රිත මැස්සන් මෙන් කුස්සියේ හෝ නිවසේ වෙනත් තැන් මත තිබෙන ආහාර වල සිට මළ ද්‍රව්‍ය වැනි ඕනෑම දෙයක් ආහාරය සඳහා එක් කර ගැනීමට කැරපොත්තන් පසුබට වන්නේ නැහැ. අහිතකර බැක්ටීරියා කැරපොත්තන් ගේ ශරීර තුළට පහසුවෙන් ඇතුළු වීමේ අවදානමක් තිබෙන්නේ මේ නිසා යි. පසුව ඔවුන් සාර්ථක වාහකයන් බවට පත් වෙනවා. කැරපොත්තන් ගේ ශරීර තුළට ඇතුළු වන බැක්ටීරියාවලට ඔවුන් ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ යම් කාලයක් නොනැසී ජීවත් විය හැකි යි. මේ විශාල අවදානම නිවසේ සෑම තැනකට ම රැගෙන යන කැරපොත්තා, ආහාරයක් මත වැසූ සැණින් ඒ අවදානම මිනිසාට සම්ප්‍රේෂණය කරනවා.

ජර්මානු කැරපොත්තා ගේ රූපීය විස්තරයක් – cockroachfacts.com 

විෂට ප්‍රතිරෝධී සත්ත්වයෙක්

ගෘහාශ්‍රිත පරිසරය තුළ කැරපොත්තන් මර්දනය කිරීම දැන් වැදගත් පළිබෝධ පාලනයක් ලෙස සලකනවා. ඔවුන්ට එරෙහි ව නිපද වූ කෘමිනාශක විවිධ සන්නාම ඔස්සේ වෙළෙඳපොළට පැමිණ ඇත්තේ ඒ වැදගත්කම නිසා යි. අද මෙම නිෂ්පාදන ඉතා හොඳින් වාණිජකරණය වී අවසන්. එහෙත්, කැරපොත්තන් තවමත් නිරූපද්‍රිත ව අපට හිසරදයක් වෙමින් නිවසේ එහා මෙහා සැරිසරනවා. කෘමිනාශක කොතරම් වැඩි දියුණු කළත්, කැරපොත්තන් සාර්ථක ව ඒවාට ප්‍රතිරෝධී වෙමින් තම පැවැත්ම තහවුරු කර ගැනීම මීට හේතුව යි. ඒ පිටුපස ඇති  විද්‍යාව දිනෙන් දින දියුණු කරන පසුබිමක පවා මේ අපූරු කරදරකාරයා හැමදා ම විද්‍යාවට අභියෝග කරමින් පැවැත්ම තහවුරු කර ගන්නවා. 

 දැනට කැරපොත්තන් විශේෂ 4500 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඉන් පළිබෝධකයන් ලෙස සලකන්නේ විශේෂ 30 ක් වැනි සංඛ්‍යාවක් පමණ යි. එම විශේෂ 30 අතුරින් “ජර්මානු කැරපොත්තා (විද්‍යාත්මක නාමය: Blattella Germanica) ” නම් විශේෂය වඩාත් ආක්‍රමණශීලි සාමාජිකයෙක් බව සැලකෙනවා. මේ දක්වා ඔවුන් ගෙන් ආසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය එකොළහක් පමණ පැතිරෙන බව අනුමාන කරන අතර, අනෙකුත් රෝගකාරක බැක්ටීරියා ව්‍යාප්තිය සඳහාත් වග කියනවා.

කැරපොත්තන් ගේ ස්පර්ශය ලබන ආහාර හරහා රෝග පැතිරයෑමේ අවදානමක් තිබෙනවා – www.businessinsider.in 

ජර්මානු කැරපොත්තාගේ ආරම්භය හෝ සම්භවය තරමක් විවාදාත්මක යි. ඇතැමුන් ඔවුන් ගේ ආරම්භය අප්‍රිකාව බවත්, තවත් කණ්ඩායමක් එය අග්නිදිග ආසියාව විය හැකි බවත්, තර්ක කරනවා. නාවික ගමනාගමනය දියුණු වීමත් සමඟ ජර්මානු කැරපොත්තන් ලෝකය පුරා ම පැතිර ගියා. කෘමිනාශකවලට ප්‍රතිරෝධය වර්ධනය කර ගැනීමේ දී වඩාත් සාර්ථක වන්නේත් ජර්මානු කැරපොත්තා යි. ඒ අනුව මිනිසුන් ආශ්‍රයේ සිටින පළිබෝධකයන් පරිණාමය වන ආකාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු මේ සතුන් හරහා එළිදරව් වෙනවා.

ප්‍රතිපෝෂණ පුඩුව

රිවර්සයිඩ් හි පිහිටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නාගරික කීට විද්‍යාව පිළිබඳ මහාචාර්ය චෝ-යැං ලී සහ ඔහුගේ සගයන්, දකුණු කැලිෆෝනියාවේ නගර හතරක ජර්මානු කැරපොත්තන් පාලනය කිරීම සඳහා භාවිත කරන  පළිබෝධනාශක සම්බන්ධයෙන් පර්යේෂණයක් පැවැත්වූවා. ලොස් ඇන්ජලීස්, සැන් ඩියේගෝ, විස්ටා සහ සැන් හොසේ යන නගරවල පිහිටි නිවාස තෝරාගත් මේ කණ්ඩායම, වැකුම් ක්ලීනර් සහ විවිධ උගුල් භාවිත කරමින් කැරපොත්තන් සිය ගණනක් එක්රැස් කළා. මේ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් ගෙන් සැලකිය යුතු ගණනකට වෘත්තීය මට්ටමේ පළිබෝධ මර්දන සේවා ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඊට පිළියමක් ලෙස ඔවුන් වෙළෙඳසල් වල විකිණීමට ඇති පළිබෝධනාශක මිල දී ගැනීමට වැඩි වැඩියෙන් පෙලඹෙන බැවින්, මෙම පරීක්ෂණයේ ප්‍රායෝගික වැදගත්කමක් තිබුණා.

ඔබගේ කෘමිනාශකය හමුවේ ආරම්භයේ දී කැරපොත්තා යටත් වීමට පුළුවන්. එහෙත්, කලක් ගත වූ පසු කැරපොත්තන්ට ඉන් බලපෑමක් ඇති නොවීමේ ඉඩකඩක් ද පවතිනවා – guardian.ng 

පළිබෝධනාශකවල අධිභාවිතය නිසා ප්‍රතිපෝෂණ පුඩුවක් නිර්මාණය වන බව ලී ඇතුළු කණ්ඩායම අනුමාන කරනවා. ඔවුන් පරීක්ෂණය සිදු කරගෙන යන්නේත් ඒ අනුමානය ඔස්සේ යි. එනම්, එකම පළිබෝධනාශක වර්ගයකට හෝ වර්ග කිහිපයකට කැරපොත්තන් නිරතුරුව ම නිරාවරණය වීම මඟින් විෂ රසායනිකයේ බලපෑමෙන් බේරී ජීවත් වීමේ හැකියාව කැරපොත්තන්ට ලැබෙන බව ඔවුන් විශ්වාස කරනවා. පසු කාලීනව අභිජනනය හරහා ඒ ඒ පළිබෝධනාශකයට ප්‍රතිරෝධී නව කැරපොතු පරපුරක් බිහි විය හැකි යි. මෙය පුදුම වීමට කරුණකුත් නොවෙ යි. කැරපොත්තන් කියන්නේ ඕනෑම දුෂ්කර පරිසරයක් ජය ගැනීමේ හැකියාව ඇති මිහිපිට වෙසෙන සාර්ථක ම ජීවි කාණ්ඩයක්. නිවසේ තිබෙන විදුලි උපකරණ ඇතුළේ පවා මොවුන් ජීවත් වූ සලකුණු ඔබටත් හමු වෙලා ඇති.

මේ අපූරු හැකියාව ඔවුන්ගේ ජානවලින් ලැබෙන බව දැන් වඩාත් පිළිගන්නා මතය වී තිබෙන අතර, ඔවුන් ගේ DNA සම්බන්ධයෙන් පුළුල් පර්යේෂණ ද සිදු කර තිබෙනවා. කැරපොත්තන්ට ඕනෑම තැනක වර්ධනය වීමට ඉඩ සලසා දෙන අද්විතීය ජාන සමූහයක් ඇතැයි යන විශ්වාසය දැන් ශක්තිමත් වෙමින් පවතිනවා. කැරපොත්තන්ට මෙසේ භෞතික සාධකවලට හැඩ ගැසීමේ හැකියාවක් ඇත්නම්, රසායනික ද්‍රව්‍යවලට එරෙහි ව ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාවකුත් තිබිය හැකි යි. 

හයෙන් පහක් අසාර්ථක යි!

 ලී ප්‍රමුඛ කණ්ඩායම පර්යේෂණයේ ඊළඟ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා එකතු කරගත් කැරපොත්තන් ඔවුන් ගේ විද්‍යාගාරය වෙත රැගෙන ආවා. ඉන්පසු එම සතුන් සාමාන්‍ය භාවිතයේ තිබෙන පළිබෝධනාශක හයකට නිරාවරණය කරමින් වෙන වෙනම අත්හදා බැලීම් සිදු කළා. පර්යේෂණය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඔවුන් කිසිදා පළිබෝධනාශකවලට නිරාවරණය නොවුණු, විද්‍යාගාරවල ඇතිදැඩි කළ ජර්මානු කැරපොත්තන් හමුවේත් පෙර භාවිත කළ පළිබෝධනාශක යොදා ගනිමින් ප්‍රතිඵල නිරීක්ෂණය කළා. පාලිත තත්ත්වයේ සිටි කැරපොත්තන් ඉක්මනින් මිය ගිය අතර, නිවාසවලින් අල්ලා ගත් කැරපොත්තන් අත්හදා බැලීම් හයෙන් පහකදී ම දිවි ගලවා ගන්න සමත් වුණා.

කැරපොත්තන් අපගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි ආකාර – www.pinterest.com 

ඔවුන්ගෙන් බොහෝමයක් සති දෙකක් ඇතුළත යථා තත්ත්වයට පත් වූ නිසා තෝරාගත් පළිබෝධනාශක හයෙන් පහක් ම අසාර්ථක බව පර්යේෂණ කණ්ඩායම නිගමනය කළා. සාර්ථක වූයේ “Abamectin” නම් නාශකය පමණ යි. එහෙත්, 2019 දී සිදු කළ පර්යේෂණයකට අනුව තවත් පරම්පරා දෙකකින් හෝ වසරකින් පමණ “Abamectin” හමුවේ පවා කැරපොත්තන් ඉහළ ප්‍රතිරෝධයක් වර්ධනය කර ගන්නා බව හෙළි වුණා.

“ඉතින් මේ කෘමිනාශක ප්‍රතිරෝධය නිමක් නොවන කතාවක්!”

මහාචාර්ය චෝ-යැං ලී, කැරපොත්තන්ගේ බලවත්කම ගැන දරන්නේ එවන් අදහසක්.

බොහෝ පළිබෝධනාශක ස්නායු පද්ධතිය වැනි ශරීරයේ ඉලක්කගත කොටසක් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වීම සිදු වෙනවා. පළිබෝධනාශකයෙන් ප්‍රහාර‍යට ලක් වන ශරීර කොටසේ හෝ පද්ධතියේ ජාන විකෘතියක් ඇති කරගත හැකි නම්, එම පළිබෝධනාශකයට අඩු සංවේදීතාවක් නිර්මාණය කරගත හැකි යි. කැරපොත්තන් තුළ ක්‍රියාත්මක වන්නේත් මේ ආරාක්ෂිත ක්‍රියාදාමය බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. අවසානයේ දී ගෘහස්ථ ව භාවිත කරන පළිබෝධනාශක නිසා මිනිසා ම පීඩාවට පත් වෙනවා. එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ ඒජන්සියට අනුව අමෙරිකානු නිවාසවල පුළුල් ව භාවිත කරන පළිබෝධනාශක හේතුවෙන් හිසරදය, කරකැවිල්ල සහ ඔක්කාරය ඇති විය හැකි අතර, පිළිකා අවදානමත් වැඩි වෙනවා.  

වැරැද්ද කළේ අපිම යි.

ජර්මානු කැරපොත්තන් පමණක් සැලකීමේ දී ඔවුන්ට එරෙහි ව පළිබෝධනාශක භාවිත කිරීම ඉතා අසාර්ථක ක්‍රියාවක් වන අතර, පෙරටත් වඩා ශක්තිමත් සතුන් බිහි කිරීමටත් එය හේතු වෙනවා. අනෙකුත් කැරපොතු විශේෂත් සිය ප්‍රතිරෝධී හැකියාව යම් තරමකින් හෝ දියුණු කර ගැනීමේ අවදානමක් නොමැති බව සහතික වන්නත් බැහැ. එබැවින්, මේ සියල්ල මිනිසා සිදු කළ තේරීම් නිසා හට ගත් ක්‍රියාවලියක් ලෙස සලකන්නට පුළුවන්.

සගන්ධ තෙල් වර්ග සහ ඒවා කෘමී විකර්ෂක ලෙස ක්‍රියා කරන ආකාරය – oneessentialcommunity.com 

 කැරපොත්තන් ගේ පරිණාමය සඳහා මිනිසා ගෙන් සැලකිය යුතු මට්ටමේ සහයෝගයක් ලැබී තිබෙනවා. උදාහරණයක් ලෙස කැරපොත්තන් මුල් වරට යුරෝපයට පැමිණි විට බොහෝ දෙනෙක් දරුණු ශීත සෘතුව හමුවේ මිය ගියා. එහෙත්, සැලකිය යුතු කොටසක් මිනිසා සමඟ ගෘහස්ථ ව ජීවත් වූ නිසා දිවි ගලවා ගැනීමට සමත් වූ අතර, අලුත් පරිසර තත්ත්වයට ඔවුන් හැඩ ගැහුණා. කැරපොත්තන්ගේ සාර්ථකත්වයට බලපෑ අනෙක් ප්‍රබලත ම සාධකය වූයේ ඕනෑම දෙයක් ආහාරයට ගැනීමේ හැකියාව යි. ජර්මානු කැරපොත්තන් වැනි ව්‍යාප්තිය අධික ව පෙන්වන විශේෂවල ආහාර ජීර්ණ පද්ධතියේ යෝධ එන්සයිම මාලාවක් ඇති අතර, අපෙන් ලැබෙන ඕනෑම ආහාරයක් ජීර්ණය කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා.

සගන්ධ තෙල් පිළිතුරක් ද?

කෙසේ නමුත්, ගෘහාශ්‍රිත ව වෙසෙන ප්‍රමුඛ රෝගවාහකයෙක් නිසා ම පහසුවෙන් හැඩ ගැසීමේ හැකියාවක් නොමැති කැරපොත්තන් නාශකයක් සොයා ගැනීමේ මෙහෙයුම නතර වී නැහැ. උදාහරණයක් ලෙස ශාක සාරයෙන් නිපදවන සගන්ධ තෙල් භාවිතයෙන් කැරපොත්තන් පාලනය කිරීමේ ක්‍රම ගැන විමර්ශන සිදු කරමින් තිබෙනවා. 2020 දී සිදු කළ අත්හදා බැලීමකට අනුව “හයිඩ්‍රොජෙල්” ඇමක් ලෙස භාවිත කරමින් සගන්ධ තෙල් හමුවේ ජර්මානු කැරපොත්තාගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ අතර, එහිදී ඔවුන් ගේ අභිජනන හැකියාව සහ ආයු කාලය අඩු වන බව සොයා ගැණුනා. උදාහරණයක් ලෙස “Carvacrol” නම් සගන්ධ තෙලට නිරාවරණය වීමෙන් කැරපොත්තන් ගේ ආයු කාලය 34% න් අවම වන බව නිරීක්ෂණය වී තිබුණා.

සගන්ධ තෙල් පළිබෝධනාශක ලෙස භාවිත කරන බොහෝ රසායනික ද්‍රව්‍ය වලට වඩා විස සහිත බවින් අඩු යි. විස සහිත බව අඩු වූ පමණින් ඒවා අසාර්ථකයැ යි පැවසිය නොහැකි යි. වෙළඳපොළේ තිබෙන බොහෝ පළිබෝධනාශක හා සසඳන විට සගන්ධ තෙල් කැරපොතු ශරීරයේ ස්ථාන කිහිපයක ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ නිසා කැරපොත්තන්ට ප්‍රතිරෝධයක් වර්ධනය කර ගැනීමේ අවස්ථාවත් අහිමි වෙනවා. ක්ෂණික ප්‍රතිඵල නොලැබුණත්, සගන්ධ තෙල් භාවිතයෙන් දීර්ඝ කාලීන ප්‍රතිඵල ලැබිය හැකි බව මින් අනුමාන කළ හැකි යි.

සුලබ සහ පළිබෝධකයන් ලෙස සලකන කැරපොතු විශේෂ – www.atpest.com.au 

සනීපාරක්ෂාවයි වැදගත්ම..

වෙළෙඳපොළේ දැනට පවත්නා විෂ රසායනික හෝ ඉදිරියේ දී සොයා ගන්නා සාර්ථක මර්දන ක්‍රමයක් මඟින් කැරපොත්තන් විනාශ කිරීම එකම විකල්පයයැ යි මින් අදහස් වන්නේ නැහැ. පළිබෝධ කළමනාකරණය යනු උපාය මාර්ග කිහිපයක් ඒකාබද්ධ වූ ක්‍රියාවලියක් බැවින්, අනෙකුත් ප්‍රායෝගික උපදෙස් පිළිපැදීමත් වැදගත්. උදාහරණයක් ලෙස නිවසේ කැරපොත්තන් වැඩි වශයෙන් ගැවසෙන මුළුතැන්ගෙය සහ නාන කාමරය නිරතුරුව ම පිරිසුදු ව සහ වියළි ව තබා ගැනීමෙන් කැරපොත්තන් ගහණය අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා.  කැරපොත්තන් තමාගේ සහජ හතුරෙක් වශයෙන් නොදකින ලෙසත් පාරිසරික විද්‍යාඥයන් ඉල්ලා සිටිනවා. කැරපොතු විශේෂ බොහෝමයක් පරිසරයට හිතකර භූමිකාවක් ඉටු කිරීම ඊට හේතුව යි. ඔවුන් පරිසරයේ කසළ ශෝධකයන් ලෙස ක්‍රියාකරමින් චක්‍රීයකරණ ක්‍රියාවලියට සහාය දක්වන අතර, ඇතැම් විශේෂ ශාක පරාගණයට පවා සහාය වන බව සඳහන් වෙනවා.

 ගෘහාශ්‍රිත ව ජීවත් වන සතුන් ගේ හැසිරීම සහ පරිණාමික ක්‍රියාවලිය සඳහා මිනිසා ගෙන් යම් පිටුවහලක් ලැබෙනවා. ඔවුන් හරහා මිනිසාට අහිතකර බලපෑමක් සිදු වෙනවා නම්, ඊට හේතු වන සාධකය තිබිය හැක්කේත් මිනිසා තුළම යි. ඒ නිසා කැරපොත්තා පරාජය කරනවාට වඩා ඔවුන් අපට මෙතරම් සමීප වන හේතු සාධක අහුරා දැමීම සාර්ථක ක්‍රියාවක් වේවි.

කවරයේ ඡායාරූපය- කැරපොත්තන් අතරත් විවිධත්වයක් තිබෙනවා - cockroachfacts.com

මූලාශ්‍ර:

www.betterhealth.vic.gov.au

www.nationalgeographic.com

www.vox.com/

www.nationalgeographic.com

www.smithsonianmag.com 

Related Articles