අධිරාජ්‍ය පාලන කාලයේ සිංහල භාෂාවට එකතු වුණු වර්තමානයේ අපි නිතරම පාවිච්චි කරන වචන

16 වන ශතවර්ෂයේ ඉඳලා ශ්‍රී ලංකාව විවිධ ප්‍රදේශ යුරෝපීය අධිරාජ්‍ය තුනක් යටතේ පාලනය වුණා. බොහෝ කාලයක් තිස්සේ ඔවුන්ගේ පාලනය මුහුදු බඩ ප්‍රදේශ වලට විතරක් සීමා වෙලා තිබුණත් 1815 ඉඳන් 1948 දක්වා කාලයේ මුළු ශ්‍රී ලංකාවම තිබුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ යටත් විජිතයක් විදිහටයි. මේ තරම් කාලයක් පුරා ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වුණු යුරෝපීය ජාතීන් නිසා අපේ රටේ වැඩි දෙනෙක් කතා කරන භාෂාව වන සිංහල භාෂාවටත් ගොඩක් වචන එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද අපි කතා කරන සිංහල භාෂාවේ අපි නොහිතන තරම් වචන ගොඩක් මේ වගේ වෙනත් භාෂා වලින් එකතු වුණු ඒවා. මේ අතරින් යුරෝපීය භාෂා, ඒ කිව්වේ ඉංග්‍රීසි, පෘතුගීසි සහ ලන්දේසි කියන භාෂා වලින් අපේ සිංහල භාෂාවට එකතු වුණු වචන ගැන කතා කරන එකයි මේ ලිපියේ අරමුණ.

මේ විදිහට යුරෝපීය අධිරාජ්‍ය පාලකයන් ශ්‍රී ලංකාවට දේශපාලන බලපෑම් කරන්න සෑහෙන කාලෙකට කලින් ඉඳලා අපේ රට අන්තර්ජාතික වෙළඳාමට බොහෝ සෙයින් සම්බන්ධ වෙලා තිබිලා තියෙනවා. ඉන්දියන් සාගරය මැද්දේ පිහිටලා තිබුණු තැන තමයි මේකට වඩාත් බලපෑවේ. ආසියානු මහාද්වීපයේ දියුණු වෙලා තිබුණු නැගෙනහිරදිග ප්‍රදේශ වල ඉඳන් බටහිර පැත්තේ තිබුණු මැදපෙරදිග ප්‍රදේශ වලට වෙළඳාම් සිදු වුණු මුහුදු මාර්ගයේ වඩාත්ම දකුණෙන් පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාව නිසා අරාබි, පර්සියානු සහ ඉන්දියානු නාවිකයන් බොහෝ විට ශ්‍රී ලංකාවට පැමිණෙන්න පටන් ගත්තා. ඔවුන්ගෙනුත් අපේ රටට එකතු වුණු බොහොමයක් සංස්කෘතිකාංග අදටත් දකින්න පුළුවන්. අපේ රටේ භාෂාවන් සහ සමාජීය, සංස්කෘතික, ආර්ථික අංශ වලට එයින් ඇති වුණු බලපෑම පහසුවෙන් අමතක කරන්න බැහැ.

ඒබ්‍රහම් මෙන්ඩිස් ගුණසේකර මහත්මයා 1891 අවුරුද්දේ ලියපු තමන්ගේ Comprehensive Grammar of the Sinhalese Language (සිංහල භාෂාවේ සමස්ත ව්‍යාකරණ පද්ධතිය) පොතේ සඳහන් කරලා තියෙන විදිහට දෙමළ භාෂාවේ වචන ආසන්න වශයෙන් 400ක්, පෘතුගීසි වචන 231ක්, ලන්දේසි වචන 112ක් සහ ඉංග්‍රීසි වචන 76ක් සිංහල භාෂාව තුල පාවිච්චි වෙනවා. සන්නස්ගල (1976: පි. 87) දක්වලා තියෙන විදිහටත් සිංහල භාෂාවට විදේශයන්ගෙන් එකතු වුණු වචන වැඩි හරියක් ලැබිලා තියෙන්නේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, මැලේ/ජාවා, දෙමළ සහ අරාබි කියන භාෂා වලින්.

සිංහල භාෂාව භාෂා වර්ගීකරණයට අනුව අයත් වෙන්නේ ප්‍රාථමික ඉන්දු යුරෝපියානු (Proto-Indo-European) කියන කොටසටයි. බටහිර ලෝකයේ භාවිත වන ග්‍රීක, ලතින්, ජර්මන්, ප්‍රංශ, ඉංග්‍රීසි, ලිතුවේනියානු වගේම රුසියානු භාෂා අයත් වෙන්නෙත් මේ කාණ්ඩයටමයි. මේ ප්‍රධාන භාෂා කණ්ඩායමේ අනු කොටසක් විදිහට සැලකෙන ඉන්දු-ආර්යානු කියන භාෂා සමූහය තුළ සංස්කෘත, පාලි, හින්දි, බෙංගාලි සහ සිංහල කියන භාෂාවන් පහ අඩංගු වෙනවා.

මේ භාෂාවන් ලෝකය පුරා ප්‍රචලිත වෙන්න ගත්තේ ක්‍රිස්තු පූර්ව 5 වන ශතවර්ෂයේ වගේ ඉඳලා ඉන්දියාවේ ඉන්දු-ආර්යානු භාෂා කතා කරන පිරිස් වෙනත් රටවල් වලට සංක්‍රමණය වීමත් එක්කයි. පසුගිය ශතවර්ෂ ගණනාවක් පුරාවට සිංහල භාෂාවේ උච්චාරණ විධි වල වගේම අර්ථ ගැන්වීමේත් විවිධ වෙනස්කම් රැසක් ඇති වෙලා තියෙන බව දකින්න පුළුවන්. සිංහල භාෂාව ඉන්දු-ආර්යානු භාෂා කාණ්ඩයට අයත් නිසා ඒ කාණ්ඩයේ අනිකුත් භාෂා වල තියෙන ශබ්ද සහ වචන බොහොමයක් එක්ක කිට්ටු සම්බන්ධයක් තියෙනවා.

අපි අද කතා කරන සිංහල භාෂාව ප්‍රධාන අවධීන් 4ක් යටතේ විවිධ වෙනස්කම් වලට ලක් වෙමින් විකාශනය වෙලා තියෙනවා. රූපය : exploresrilanka.lk

අපි අද කතා කරන සිංහල භාෂාව ප්‍රධාන අවධීන් 4ක් යටතේ විවිධ වෙනස්කම් වලට ලක් වෙමින් විකාශනය වෙලා තියෙනවා. රූපය : exploresrilanka.lk

  • ප්‍රාකෘත සිංහල – (ක්‍රි. පූ 200 සිට ක්‍රි. ව 4 සහ 5 වන සියවස් දක්වා)
  • ප්‍රාථමික සිංහල – (ක්‍රි. ව. 4 සහ 5 වන සියවසේ සිට 8 වන සියවස දක්වා)
  • මධ්‍ය කාලීන සිංහල – (ක්‍රි. ව. 8 වන සියවසේ සිට 13 වන සියවස දක්වා)
  • නූතන සිංහල – (ක්‍රි. ව. 13 සියවසේ සිට 20 වන සියවස දක්වා)

නූතන සිංහල – (ක්‍රි. ව. 13 සියවසේ සිට 20 වන සියවස දක්වා)

නූතන සිංහල භාෂාවේ පෘතුගීසි වචන සහ ලන්දේසි වචන ගණනාවක්ම දකින්න පුළුවන්. බොහෝ විද්වතුන් සලකන විදිහට පෘතුගීසි වචන වැඩිපුරම සිංහලට එකතු වෙන්න ගත්තේ ඔවුන්ගේ පාලන කාලයටත් වඩා ඔවුන් 1658 රටෙන් ඉවත් වෙලා ගියාට පසුවයි. මේකට ප්‍රධාන හේතුවක් වුණේ ඔවුන්ගේ පාලන සමයේ අනුගමනය කරපු ප්‍රතිපත්ති. ලන්දේසි සහ ඉංග්‍රීසින්ට වඩා හොඳින් ඔවුන් ස්වදේශිකයන් එක්ක අනුගතව ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම පෘතුගීසින් බොහෝ දෙනෙක් ලංකාවේ කාන්තාවන් විවාහ කරගත් නිසා ඔවුන්ගෙන් පැවත එන ජනවාර්ගික කණ්ඩායමක් පවා බිහි වුණා. සිංහල සහ පෘතුගීසි සම්මිශ්‍රණයක් වුණු “ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රෙයෝලSri Lankan Portuguese Creole” කියන ඔවුන්ටම සුවිශේෂී වුණු භාෂාව. ගෙවුණු ශතවර්ෂ තුන හමාරක කාලයක් පුරාවට ලංකාවේ සුවිශේෂී ප්‍රාදේශීය වහරක් විදිහට ඔවුන්ගේ මේ භාෂාව විකාශනය වෙලා තියෙනවා.

ලන්දේසි භාෂාවෙන් ආපු වචනත් සිංහල භාෂාව තුල දකින්න පුළුවන්. විශේෂයෙන්ම නීතිය, වෙළඳාම් හා පරිපාලන කටයුතු වලදී පාවිච්චි වෙන ගොඩක් සිංහල වචන ලන්දේසි වචන වල අනුවාදයන්. මේ තත්වය වැඩිපුරම ඇති වුණේ ශ්‍රී ලංකාවේ අදටත් පවතින නීතිය වන රෝම-ලන්දේසි නීතිය මෙරටට හඳුන්වා දුන්නේ ලන්දේසීන් නිසයි. P. B. සන්නස්ගල මහතාගේ කෘතියේ ලන්දේසි භාෂාවෙන් අපට ලැබුණු වචන ගණනාවක් සඳහන් වෙලා තියෙනවා. නීතිය, වෙළඳාම, පරිපාලන කටයුතු වලට අමතරව ආහාර පාන, රෙදිපිළි, ආභරණ සහ විලාසිතා ආයිත්තම්, කෙළි සෙල්ලම්, නිවසේ බදු මුට්ටු සහ උයන පිහන උපකරණ වගේ දේවල් ගණනාවකට අදටත් පාවිච්චි වෙන්නේ ලන්දේසි වචන.

ඉතින් මේ ලිපියෙන් අපි උත්සාහ කරන්නේ සිංහල භාෂාව සහ විදේශීය භාෂාවන් අතර තියෙන භාෂා විද්‍යාත්මක සම්බන්ධය ගැන ටිකක් හොයලා බලන්නයි. මේ සඳහා වැඩිපුරම පෘතුගීසි සහ ලන්දේසි කියන භාෂාවන් වලින් සිංහල භාෂාවට ලැබුණු වචන වල මුලින්ම බිහි වුණේ කොහොමද කියන එක ඔබට කියන්න අපි තීරණය කළා.

[මේ ලිපිය සඳහා මූලාශ්‍ර විදිහට භාවිත වුණේ ශිහාන් ද සිල්වා ජයසූරියගේ “Tagus to Taprobane: Portuguese Impact on the Socio-culture of Sri Lanka from 1505 AD (තාගුස් සිට තැප්‍රෝබේන් දක්වා : ක්‍රි.ව. 1505 සිට ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතියට පෘතුගීසින්ගෙන් සිදු වුණු බලපෑම)” සහ අසීෆ් හුසේන් මහතාගේ “Zeylanica: A Study of the Peoples and Languages of Sri Lanka (සීලනිකා : ශ්‍රී ලංකාවේ ජනවර්ග සහ භාෂා පිලිබඳ අධ්‍යයනයක්)” කියන ග්‍රන්ථ දෙක]

“Casados”

“ගජමන් පුවත” පැරණි නාට්‍යයේ දර්ශනයක්. මෙහි පෘතුගීසීන්ගේ ඇඳුම් පැළඳුම් හොඳින් දකින්න ලැබෙනවා. රූපය : anuruddhal.wix.com

“ගජමන් පුවත” පැරණි නාට්‍යයේ දර්ශනයක්. මෙහි පෘතුගීසීන්ගේ ඇඳුම් පැළඳුම් හොඳින් දකින්න ලැබෙනවා. රූපය : anuruddhal.wix.com

පෘතුගීසි පාලකයන් තමන්ගේ යටත් විජිත වලට යාත්‍රා කරන නාවිකයන් සමග මුහුදු ගමන් වල යෙදෙන එක කාන්තාවන්ට තහනම් කරලයි තිබුණේ. මේ නීතිය නිසා ස්වාභාවිකවම බොහෝ නාවිකයන් සහ ඔවුන්ගේ යටත් විජිත වල කාන්තාවන් අතර විවාහයන් සිදු වුණා. පෘතුගීසි භාෂාවෙන් සිලෝන් දිවයිනේ ස්ථිර පදිංචිය හිමි විවාහක නාවිකයෙක්/සෙබළෙක් හඳුන්වන්න යොදා ගත්තේ “Casado” කියන නම. (සෙබළෙක් හැඳින්වුණේ Soldado කියලයි) මේ Casado ලා (බහු වචනය Casados) සහ ඔවුන් දේශීය කාන්තාවක් එක්ක විවාහ වෙලා ලැබෙන දරුවන් වන Topaze ලා (බහු වචනය Topazes) පෘතුගීසි හමුදා වල නිත්‍ය සේවයට බඳවා ගැනුණේ නැහැ. ඔවුන්ට හමුදාවන් එක්ක සටන් වලට සහභාගී වෙන්න ලැබුණේ හදිසි අවස්ථා සඳහා අතිරේක සෙබළුන් විදිහට විතරයි. ඒ හැරෙන්න තමන්ගේ නිවාස ආශ්‍රිත ප්‍රදේශ වල ආරක්ෂාව විතරයි ඔවුන්ට පැවරුණේ. කොහොම වුණත් Casado ලා සහ Topaze ලා සමහරක් යුධ මෙහෙයුම් වලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා.

මේ කිසිම වචනයක සිංහල උච්චාරණය කලින් ලිව්වේ නැත්තේ දැන් කියන්න යන කාරණාව නිකන්ම තේරෙන නිසයි. අපි විවාහය සාමාන්‍ය කටවහරේ හඳුන්වන්න පාවිච්චි කරන කසාදය කියන වචනය බිඳිලා ආවේ Casado (කසාදෝ) කියන වචනයෙන්. උච්චාරණයෙන්ම මේ වචන දෙක මොන තරම් සමානද කියලා තේරෙනවා නේද? කවදා හරි නිකමටවත් හිතලා තියෙනවාද විවාහය බිඳෙන එකට දික්කසාදය කියන්නේ ඇයි කියලා? (දික් කසාදය කියන එකෙන් සාමාන්‍යයෙන් හිතෙන්නේ කසාදය දික් වෙනවා කියලා වගේනේ) මේකත් නිර්මාණය වෙලා තියෙන්නේ Doucasado (දවුකසාදෝ) කියන පෘතුගීසි වචනයෙන් නිසයි ඒකට දික්කසාදය කියලා භාවිත වෙන්නේ.

පරංගි නම්, වාසගම් සහ පෙළපත් නම්

දෝන කැතරිනා කුමරියට මහනුවරින් ලැබුණු උසස් පිළිගැනීම දැක්වෙන සිතුවමක්. රූපය : විකිපීඩියා

දෝන කැතරිනා කුමරියට මහනුවරින් ලැබුණු උසස් පිළිගැනීම දැක්වෙන සිතුවමක්. රූපය : විකිපීඩියා

කලින් කිව්වා විදිහට පෘතුගීසි නාවිකයන් සහ ලංකාවේ කාන්තාවන් අතර සිදු වුණු විවාහයන් නිසා ඔවුන්ගේ බොහෝ නම්, වාසගම් වගේම පෙළපත් නාම වුණත් සිංහල භාෂාවන්ට එකතු වුණා. පෘතුගීසීන් හඳුන්වන්න යෙදෙන “පරංගි” කියන නම ඇවිත් තියෙන්නෙත් ඔවුන් විදේශිකයන් හඳුන්වන්න යොදන Farangi (ෆරංගි) කියන වචනයෙන්. පෘතුගීසින්ගෙන් පැවත එන Abrew (ආබෘ, Abreu කියන නමෙන්), Almeda (අල්මේදා, Almeida කියන නමෙන්), Aponso (අපොන්සෝ, Afonso කියන නමෙන්), De Mel (ද මෙල්, Melo කියන නමෙන්), Perera (පෙරේරා, Pereira කියන නමෙන්) Ruberu (රුබේරු, Riberio කියන නමෙන්) වගේ නම් බොහොමයක් අපේ රටේ මිනිසුන්ගේ වාසගම් වල දකින්න ලැබෙනවා. මේ අතරේ පෘතුගීසින්ගෙන් කෙලින්ම පැවත එන අය වගේම රෝමානු කතෝලික ආගම වැළඳගෙන බෞතීස්ම කරනකොට පෘතුගීසි නම් ලබා ගත් අයත් ඉන්නවා.

සිංහල මිනිසුන්ට සහ කාන්තාවන්ට ඔවුන්ගේ වයස, තත්වය සහ හැකියාවන් වගේ දේවල් සංකේතවත් කරන්න ලබා දුන්නු පෙළපත් නාම තියෙන බව රොබට් නොක්ස් 1681 දී ලියපු කෘතියේ දක්වලා තියෙනවා. (පිටුව 291) මේ වගේ පෙළපත් නාම කිහිපයක් පෘතුගීසීන්ගෙනුත් අපට ලැබුණා. මහත්මයා නැතිනම් Sir කියන එක වෙනුවට යෙදෙන “දොන්” සහ මහත්මිය නැතිනම් lady කියන එක වෙනුවට යෙදෙන “දෝන” කියන වචන ක්‍රිස්තියානි ආගම වැළඳගත් ගම් ප්‍රධානීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරු වෙත ලබා දුන්නේ පෘතුගීසි පාලකයන්. දැනටත් “දොන්” සහ “දෝන” කියන නම් දෙක සමහරුන්ගේ වාසගම් වල දකින්න පුළුවන්.

කුසුමාසන දේවිය දෝන කැතරිනා නමින් කන්ද උඩරට රැජින බවට පත් වුණු එක වගේම පළමු වන රාජසිංහ රජු පරාජය කරලා උඩරට බලය ලබා ගත්තු පළමුවන විමලධර්මසූරිය රජතුමාගේ අගබිසව බවට ඈ පත් වුණු කතාවත් බොහෝ දෙනෙක් දන්නා ඓතිහාසික සිදුවීම්. ඒ කාලයේ හිටපු දක්ෂතම කිවිඳියක් විදිහට ප්‍රසිද්ධ ගජමන් නෝනා පසු කාලීනව බෞතීස්ම වුණේ දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල් කියලයි. තවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් තමන්ගේ රදළ තත්වය පෙන්නුම් කරන්න දෝන සහ දොන් තමන්ගේ නම් වලට එකතු කර ගත්තා.

“සිඤ්ඤෝරේ” කිව්වාම නොදන්නා කෙනෙක් නැති තරම්. 90 දශකයේ ගොඩක් ජනප්‍රිය වුණු ජිප්සීස් කණ්ඩායමේ මේ ගීත ඇල්බම් එක අදටත් උත්සව වලදී අහන්න ලැබෙනවා. මේකත් “මහත්මයා නැතිනම් රදළ උතුමා” කියන අර්ථය දුන්නු “Senhor” (සෙන්යෝර්) කියන වචනයෙන් බිඳිලා ආපු එකක්. අදටත් සමහර පිටිසර පැති වල “සිඤ්ඤෝ” වචනය පාවිච්චි වෙනවා. කොහොම වුණත් මේකේ කාන්තාවන් හඳුන්වන්න යොදා ගැනෙන Segnora (සෙන්යෝරා) කියන වචනය නම් දැන් අපේ රටේ පාවිච්චි වෙන බවක් පෙන්න නැහැ. අපේ රටේ තරුණ කාන්තාවන්ට “නෝනා” කියන වචනයත් ටිකක් වයසක ඉහළ පෙලේ කාන්තාවන්ට “නෝනා මහත්මයා” කියන වචනයත් තමයි යොදා ගැනෙන්නේ. 1888 දී Nell මහත්මයා ප්‍රකාශයට පත් කරපු ග්‍රන්ථයක දක්වලා තියෙන විදිහට මීට අවුරුදු 100කටත් කලින් වුණත් පෘතුගීසි පන්නයට කතා කරන බටහිර ඇඳුම් අඳින කෙනෙක්ව හඳුන්වලා තියෙන්නේ සිඤ්ඤෝ කෙනෙක් කියලයි. යුරෝපීය සහ බර්ගර් කාන්තාවන්ව නෝනා කියලා අමතලා තියනවා. මෑත කාලයේ උදාහරණයක් විදිහට ලහිරු පෙරේරා කියන ගායකයා “ලා සිඤ්ඤෝ” කියලා අලුත් අනන්‍යතාවක් හදාගෙන අඳින්න ගත්තු ඇඳුමේ හැඩරුව දක්වන්න පුළුවන්.

නගර සහ මාර්ගවලට පෘතුගීසි සහ ලන්දේසි භාෂා වලින් එකතු වුණු නම්

ග්‍රෑන්ඩ් පාස් වලින් දර්ශනය වෙන ඇළ මාර්ගය. රූපය : lankapura.com

ග්‍රෑන්ඩ් පාස් වලින් දර්ශනය වෙන ඇළ මාර්ගය. රූපය : lankapura.com

ශ්‍රී ලංකාවේ අදටත් පාවිච්චි වෙන සමහරක් නගර වල සහ මාර්ග වල නම් වලට මුල් වෙලා තියෙන්නේ පෘතුගීසි සහ ලන්දේසි භාෂා වලින් ලැබුණු වචන. මේකට උදාහරණ කිහිපයක් පහතින් දැක්වෙනවා.

  • ගල් බොක්ක – (Galio Boca හෝ Galle Buck වලින්)
  • සන්තුම්පිටිය – (Sao Tome, Saint Thomas යනාදියෙන්), දැන් හැඳින්වෙන්නේ ගින්තුන්පිටිය කියලයි.
  • ග්‍රෑන්ඩ්පාස් – (Grando Passo වලින්) – R. L. බ්‍රෝහියර් මහතාගේ Changing Face of Colombo (වෙනස් වන කොළඹ ස්වරූපය) කියන පොතේ ග්‍රෑන්ඩ්පාස් වලට නම ලැබුණු විදිහ ගැන ලස්සන කතාවක් දකින්න ලැබෙනවා:

“මේ වන තුරු පැවති දීර්ඝ ඉතිහාසයේදී මෙන්ම ඒ වකවානුවේදීත් උතුරු කොළඹ පෙදෙස පීරාගෙන යන එහි මහා ජල කඳ සයුරට මුදා හරින කැළණි ගඟ පාලමකින් තොරව පැවතියේය. මේ ගඟ වසරේ කිසිදු වකවානුවක මතුපිටින් තරණය කළ හැකි නොවූ හෙයින් ගඟ හරහා ස්ථාන දෙකකින් පාලම් පාරු දෙකක් ක්‍රියාත්මක විය. මෙයින් නාකලගම් ප්‍රදේශයේ පැවති ගං මාරුවට “පාසෝ ග්‍රාන්දේ – (Passo Grande)” යයි පෘතුගීසින් විසින් නම් තබා තිබිණි. දෙවැනි ගං මාරුව “පැස්බේටල් – (Pasbetal)” හෙවත් “බෝට්ටු මාරු වන ස්ථානය” නමින් හැඳින්වුණු අතර ග්‍රෑන්ඩ් පාස් සිට බොහෝ දුරකින් නොවුණද ගඟ මුවවිටට වඩා ආසන්න විය.”

“As in the long years of hitherto past, at that period too the Kelani Ganga, which sweeps round north Colombo to roll its waters into the sea was unabridged. The river was at no season of the year fordable and there were two points where ferries were established. The Portuguese bestowed the connotation “Passo Grande” (present Grand-Pass) to the crossing at Nakalagam. The second crossing was called Pasbetal, literally pass of the boats, was not far from Grand-Pass, but neared the mouth of the river.”

  • මිලාගිරිය – (Milagres හෙවත් පුදුමය/Miracle යන අර්ථය ඇති.) (හෙට්ටිආරච්චි, 1965)
  • බ්ලුමැන්ඩල් – (මල් පිරුණු නිම්නය) – කැළණි ගඟේ වම් පැත්තේ ඉවුරට එපිටින් තියෙන, කුරුඳු වගාවට උතුරු පැත්තෙන් තියෙන ප්‍රදේශයේ විශාල ප්‍රදේශයක් පුරා වැවුණු තණකොළ මිටියාවත් වගේම මඩ වගුරු පිරුණු තැන් ගණනාවක් බ්ලුමැන්ඩල් වලින් දකුණු පැත්තට විහිදිලා තියෙනවා දකින්න ලැබෙනවා. මේ භූමියෙන් වැඩි හරියක අතීතයේ හිමිකරුවා වුණේ නෙදර්ලන්ත ජාතිකයෙක්. ඔහුගේ නමින්ම මේක “Vender Meyden’s Polder” (වෙන්ඩර් මේඩන්ගේ “පෝල්ඩරය” – ගොඩකරන ලද වගුරු භූමියක සත්ව ආහාර සඳහා වැවූ තණබිම) කියලා හඳුන්වලා තියෙනවා. මේ පැත්තේ තියෙන සමහර පැරණි ඉඩම් ඔප්පු වල පවා සීමා මායිම් වලට මේ නම යොදා ගන්නා බව දකින්න පුළුවන්. මේක ලන්දේසි පාලන කාලයේ මෙතන ඇළක් හිස් කරලා හදපු ආදර්ශ ගොවිපළක් තිබුණු බවට හොඳ සාක්ෂියක්.

අධිරාජ්‍ය පාලනයට යටත් වෙලා තිබුණු කාලයේ අපේ රටේ ජනජීවිතයට අදාළ වන තවත් බොහෝ දේවල් වලට ඔවුන්ගේ භාෂා වල වචන එකතු වුණා. පහලින් තියෙන්නේ ඒවාට උදාහරණ කිහිපයක්.

තනතුරු සහ රැකියා කර්මාන්ත

  • මිනින්දෝරුවා – පෘතුගීසි. Medidor හෙවත් “මැනුම්කරුවා”.
  • සපතේරුවා – පෘතුගීසි. Sapaeteiro හෙවත් “සපත්තු මහන්නා”. (පෘතුගීසි Sapato යන්නෙන් තමයි සපත්තුව කියන වචනයත් හැදිලා තියෙන්නේ)
  • අළුගෝසුවා – පෘතුගීසි. Algoz හෙවත් “එල්ලන්නා” නැතිනම් “ප්‍රසිද්ධියේ මරණ දඬුවම් දෙන්නා”.
  • පෙදරේරුවා – පෘතුගීසි. Pedreiro හෙවත් “මේසන් බාස්”. (බාස් කියන වචනය ලන්දේසි Baas යන වචනයෙන් හැදිලා තියෙන්නේ)
  • තෝල්ක මුදලි – ලන්දේසි. Tolk හෙවත් “හඬ නගා කියන්නා”.

නීතිමය පරිපාලනය

    • සිතාසිය – ලන්දේසි. Citacio හෙවත් “උසාවි කැඳවීමේ නියෝගය”.
    • කොන්දේසිය – ලන්දේසි. Condicao වචනයෙන්. (කොන්දේසියට කියන පෘතුගීසි වචනය.)
    • නොතාසිය – ලන්දේසි. Noticia හෙවත් “දැනුම් දීම”.
    • පෙරකදෝරු – ලන්දේසි. Procurador හෙවත් “නීතිඥයා”.

රෙදිපිළි

බීරළු විවීම. රූපය : serendib.btoptions.lk

බීරළු විවීම. රූපය : serendib.btoptions.lk

ජේත්තුකාරයා කියන්නේ සාමාන්‍යයෙන් හොඳට ඇඳලා පැළඳලා යන කෙනෙක් හඳුන්වන්න යෙදෙන නමක්. පෘතුගීසි භාෂාවෙන් Jeito කියන්නෙත් “විලාසිතා” කියන එකටමයි. ශ්‍රී ලංකාවේ තරුණියන් පෘතුගීසි නාවිකයන් එක්ක විවාහ වුණාට පස්සේ ඔවුනුත් පෘතුගීසි ක්‍රමයට අඳින්න හුරු වුණා. ඔවුන් ඉස්සර ඉඳන් පුරුදු වෙලා හිටපු සිංහල ඇඳුම් ක්‍රමත් සම්පුර්ණයෙන්ම ඉවත් නොකරපු නිසා ඇත්තටම දකින්න ලැබුණේ යුරෝපීය – සිංහල සම්මිශ්‍රණයක්. විශේෂයෙන්ම රෝමානු කතෝලික දහම වැළඳ ගත්ත එකෙන් පෘතුගීසි ඇඳුම් අඳින්න ලොකු පෙළඹවීමක් ආපු බව අපිට හිතන්න පුළුවන්. වර්තමානයේ ඇඳුම් පැළඳුම් හඳුන්වන්න පාවිච්චි කරන සිංහල වචන හොයලා බලද්දී ඒවාට පෘතුගීසි භාෂාවෙන් ලැබුණු ආභාෂය පහසුවෙන් දකින්න පුළුවන්.

බීරළු කියන්නේ දැන් කවුරුත් “ලේස්” කියලා හඳුන්වන දේශීය කර්මාන්තයට. මේක තවමත් රටේ දකුණු ප්‍රදේශයේ කර්මාන්තයක් විදිහට දකින්න ලැබෙනවා. කොට්ට උර, කාන්තා ඇඳුම් වගේ දේවල් වල ලේස් වලින් වාටි අල්ලපු අවස්ථා දකින්න පුළුවන්. මේ බීරළු කියන වචනය ඇවිත් තියෙන්නේ පෘතුගීසින් මහන බොබින් වලට කියන bilro කියන වචනයෙන්. මීට අමතරව පෘතුගීසි වචන ඇසුරෙන් නිර්මාණය වුණු ඇඳුම් ආශ්‍රිත වචන කිහිපයක් පහතින් දැක්වෙනවා.

  • අවාන – පෘතුගීසි. Abano හෙවත් “ෆෑන් එක”.
  • පුයර – පෘතුගීසි. Poeira හෙවත් “පවුඩර්”.
  • කලිසම – පෘතුගීසි. Calcao වචනයෙන්. (කලිසමට කියන පෘතුගීසි වචනය)
  • බස්තම – පෘතුගීසි. Bastao හෙවත් “හැරමිටිය”.

ශ්‍රී ලංකාවේ ආභරණ සහ මැහුම් ආයිත්තම් හඳුන්වන බොහොමයක් වචන ඇවිත් තියෙන්නේ පෘතුගීසි භාෂාවෙන්. පහතින් දැක්වෙන්නේ ඒ වගේ කිහිපයක්.

  • අරුංගල් – පෘතුගීසි. Argolinha හෙවත් “කරාබු”.
  • බොත්තම් කාසිය – පෘතුගීසි. kasa de botão හෙවත් “බොත්තම දමන සිදුර”.
  • පතොරම (මැහුම්) – පෘතුගීසි. Padrao වචනයෙන්. (මහන පතොරමට කියන පෘතුගීසි වචනය.)
  • මෝස්තරය – පෘතුගීසි. Mostra වචනයෙන්. (මෝස්තරයට කියන පෘතුගීසි වචනය)
  • ලේන්සුව – පෘතුගීසි. Lenco වචනයෙන්. (ලේන්සුවට කියන පෘතුගීසි වචනය)
  • අල්පෙනෙත්ත / අල්පෙනෙත්තිය – පෘතුගීසි. Alfenete හෙවත් “කුඩා ඇණය”.

වගාවන් සහ ආහාර

කජු කියන්නෙත් ඇත්තටම පෘතුගීසි වචනයක් තමයි. රූපය : iStock

කජු කියන්නෙත් ඇත්තටම පෘතුගීසි වචනයක් තමයි. රූපය : iStock

ඇත්තටම අපේ රට පෙරදිග ලෝකයේ පාරාදීසයක් කියලා හඳුන්වන තැනට ගෙනාවේ පෘතුගීසීන් කියලා කිව්වොත් වැරැද්දක් නැහැ. පෘතුගීසීන් තමන්ගේ යටත් විජිත වලට යන එන වෙලාවට එක රටක තියෙන පැලෑටි වර්ග තවත් රටකට ගෙනත් පැළ කරන එක පුරුද්දක් විදිහට කරගෙන ගිහින් තියෙනවා. දොඩම්, අන්නාසි, බඩ ඉරිඟු, මඤ්ඤොක්කා සහ දුම් කොළ මේ විදිහට හඳුන්වලා දීපු භෝගවලට හොඳම උදාහරණ. 1658 අවුරුද්දේ ලන්දේසීන් පෘතුගීසීන්ට ලංකාවේ යටත් වෙලා තිබුණු හැම තැනකම වගේ අල්ලා ගත්තාට පස්සේ රටේ මුහුදුබඩ ප්‍රදේශ වල අලුත් පාලක පිරිස විදිහට පදිංචි වුණා. ඒ වන විට පෘතුගීසීන් ලංකාව පුරා වගා කරලා තිබුණු ගස් වැල් වල විවිධත්වයට ලන්දෙසීනුත් පුදුම වුණා කියලා සඳහන් වෙනවා. මේ විදිහට පෘතුගීසීන් ලංකාවට ගෙනවිත් වගා කරපු, ඔවුන්ගේ භාෂාවේ නම් වලින් තවම හැඳින්වෙන ආහාර වර්ග කිහිපයක් තමයි මේ.

  • කජු – (පෘතුගීසි වචනය Caju)
  • අනෝදා(පෘතුගීසි වචනය Anona)
  • මසන්(පෘතුගීසි වචනය Maça)
  • මඤ්ඤොක්කා(පෘතුගීසි වචනය Mandioca/Tapioca)
  • සිදරන්(පෘතුගීසි වචනය Sidaro)
  • අර්තාපල්(පෘතුගීසි වචනය Aard-appel)
  • පිපිඤ්ඤා(පෘතුගීසි වචනය Pepino)

ඒ වගේම පෘතුගීසීන් අපි ආහාර සකසන වට්ටෝරුත් ගණනාවක්ම හඳුන්වලා දුන්නා. අපි මුළුතැන්ගෙය හඳුන්වන්න පාවිච්චි කරන කුස්සිය කියන වචනය පවා පෘතුගීසි වචනයක් වන Cozinho යන්නෙන් බිඳිලා ආපු එකක්.

පෘතුගීසි බසින් Pudim කියලා කියන්නේ සිරප්/සෝස් වර්ගයක් එක්ක කෑමට ගන්න බිත්තර කස්ටඩ් එකකට. (රයිට්, 1969) කොහොම වුණත් දැන් කාලේ නම් පුඩින් කියන වචනය බිත්තර වලින් හදන අතුරුපස වර්ග බොහොමයක් හඳුන්වන්න යොදා ගන්නවා.

ඒ වගේම Doce කියන්නෙත් “පැණි රස” කියන එකට යෙදෙන පෘතුගීසි පදයක්. සීනි තැවරුණු පුහුල් දෝසි කියන්නේ Doce නම බිඳිලා හැදුණු ලංකාවේ ජනප්‍රිය කෑමක්.

පැරණි පෘතුගීසි භාෂාවෙන් පාන් වලට කියලා තියෙන්නෙත් Pan කියලමයි. මේ වගේ තවත් ආහාර ආශ්‍රිත වචන ටිකක් පහතින් දැක්වෙනවා.

  • පෙත්ත – (පෘතුගීසි වචනය Fatio)
  • පෝරණුව(පෘතුගීසි වචනය Forno)
  • පරළු (පාන්)(පෘතුගීසි වචනය Farelo)
  • කේජු (චීස්)(පෘතුගීසි වචනය Quiejo)
  • සව් (සව් බොර)(පෘතුගීසි වචනය Boroa)
  • පීකුදු(පෘතුගීසි වචනය Figado – අක්මාව)
  • විනාකිරි(පෘතුගීසි වචනය Vinagre)

සැ. යු. පෘතුගීසි වගේම වෙනත් භාෂා ගණනකම “G” අකුර “K”ට සමාන ශබ්දයක් හඟවන්න යොදා ගැනෙනවා.

කුස්සියේ පාවිච්චි වෙන සමහර උපකරණ වල නම් ලැබිලා තියෙන්නෙත් පෘතුගීසි භාෂාවෙන්.

  • ගෑරුප්පුව – (පෘතුගීසි වචනය Garfo)
  • ගුරුලේත්තුව(පෘතුගීසි වචනය Gorgoletta – මැටි කළයට කියන වචනය) – මේ වචනය පෘතුගීසි භාෂාවට ලැබිලා තියෙන්නේ Gargole කියන ප්‍රංශ වචනයෙන්. මේකේ තේරුම උගුර, නැතිනම් වතුර බටය වගේ එකක්. සමහරවිට උගුරෙන් එන ශබ්දයේ අනුකාරකයක් වෙන “ගාර්ග් (garg)” ශබ්දය මේ වචනයට මුල් වුණා වෙන්න පුළුවන්.

වෙනත් වචන

අපි කවුරුත් දන්න රතිඤ්ඤා - අධිරාජ්‍ය පාලකයන්ගෙන් අපිට ලැබුණු තවත් වචනයක්. රූපය : dupress.com

අපි කවුරුත් දන්න රතිඤ්ඤා – අධිරාජ්‍ය පාලකයන්ගෙන් අපිට ලැබුණු තවත් වචනයක්. රූපය : dupress.com

ශ්‍රී ලංකාවේ කට්ටියට බොන්න තියෙන කැමැත්ත නම් ලෝකයටම රහසක් නෙවෙයි. “ලංකාවේ කට්ටියට බොන්න පුරුදු කළේ සුද්දෝ” කියන කතාව අපේ රටේ ජනප්‍රිය කියමනක්. ඒත් ඇත්තටම අපෙ අය බොන්න පුරුදු වුණේ අධිරාජ්‍ය පාලකයන් නිසාද, නැතිනම් ඉස්සර ඉඳන්ම බොන්න හපන්නු වෙච්ච අපේ කට්ටියට සුද්දෝ බොන්න ජාති ගෙනත් දුන්නා විතරයිද කියන එක හිතලා බලන්න ඕන කාරණාවක්. ඒවා කොහොම වුණත් බීමට සම්බන්ධ ගොඩක් වචන අපිට අධිරාජ්‍ය පාලකයන්ගේ භාෂාවන් වලින් ලැබුණා කියන එක නම් බැහැර කරන්න බෑ.

  • බේබද්දා – බේබද්දා කියන්නේ නිතරම බීමතින් ඉන්න කෙනාව හඳුන්වන සිංහල වචනයක්. බීමත් කෙනෙක් හඳුන්වන්න පාවිච්චි කරන Bebado කියන පෘතුගීසි වචනයෙන් තමයි මේ වචනය අපිට ලැබිලා තියෙන්නේ. ඒ වගේම බාර් එක හඳුන්වන්න පාවිච්චි වෙන තැබෑරුම කියන වචනය ඇවිත් තියෙන්නෙත් පෘතුගීසි භාෂාවේ Taberna වචනයෙන්.

මේ වගේ තවත් අපි නිතර පාවිච්චි කරන වචන කිහිපයක් පහළින් දැක්වෙනවා.

  • රතිඤ්ඤා – මේ වචනය බොහෝ දුරට ඇවිත් තියෙන්නේ පෘතුගීසි භාෂාවෙන් “පුංචි මීයා” හඳුන්වන්න යෙදෙන Ratinho කියන වචනයෙන්. මේ වගේ නමක් යොදන්න හේතුව රතිඤ්ඤා කරල් වල හැඩය. රතිඤ්ඤා කරල සහ පත්තු කරන නූල බොහෝ දුරට පුංචි මීයෙක්ගේ ශරීරයේ සහ වලිගයේ හැඩය ගන්නවා.
  • කපෝති – “ඉවරයි / විනාසයි” වගේ අදහසක් තියෙන මේ වචනයත් අපිට ලැබුණේ අධිරාජ්‍ය පාලකයන්ගෙන්. ලන්දේසි භාෂාවෙන් “කැඩුණු” කියන එකට යෙදුණු Kapot කියන වචනයෙන් තමයි මේ වචනය ඇති වෙලා තියෙන්නේ.
  • ඉස්තිරික්කයරෙදි මදින අයන් එකට යෙදෙන මේ වචනය ඇත්තටම පෘතුගීසි, ලන්දේසි භාෂා දෙකෙන්ම ලැබුණු එකක් කිව්වොත් වැරැද්දක් නැහැ. පෘතුගීසි භාෂාවේ Esticar සහ ලන්දේසි භාෂාවේ “අදින්න / දිගු කරන්න” කියන අදහස දෙන Strikjzer කියන වචන දෙකේ සම්මිශ්‍රණයක් විදිහට තමයි ඉස්තිරික්කය කියන වචනය බිහි වුණේ.
  • පගාවපෘතුගීසි භාෂාවේ සමාන අර්ථයක් දෙන Paga කියන වචනයෙන්.
  • මීගමුව මාළු මාකට් එක (මාළු ලෙල්ලම) කවුරුත් හෙට්ටු කරලා අලුත් මාළු ගන්න වගේම ධීවරයන් මුණ ගැහෙන්නත් යන තැනක්. මේ ලෙල්ලම කියන වචනය අපිට ලැබිලා තියෙන්නේ “වෙන්දේසිය/විකිණුම” කියන අදහස දෙන Leilão පෘතුගීසි වචනයෙන්. කේවල් කරනවා කියන එක ලන්දේසි භාෂාවේ එන Kibbel කියන වචනයෙන් බිඳිලා ආපු එකක්. ඒ වගේම වෙන්දේසිය කියන එකත් පොදු තැන් වල වෙළඳාමට පෘතුගීසි භාෂාවෙන් කියන Vendas ඇසුරෙනුයි හැදිලා තියෙන්නේ.
  • කකුස්සිය – වැසිකිලියට කියන මේ වචනයත් ලන්දේසි භාෂාවෙන් ලැබුණු එකක්. “මළපහ කරන ගොඩනැගිල්ල” කියන අදහස දෙන Kak-huis වලින් තමයි මේක නිර්මාණය වුණේ.
  • සිංහල භාෂාවෙන් උපකාර කරනවාට කියන උදව් කරනවා කියන පදයත් පෘතුගීසි භාෂාවේ උදව්වට කියන Ajuda වචනයෙන් බිඳිලා ආපු එකක් කියලා විශ්වාස කෙරෙනවා.
  • ලෑස්තිපෘතුගීසි භාෂාවෙන් “ඉක්මන්, වේගවත් සහ සූදානම්” කියන අර්ථය දෙන Lesto කියන වචනයෙන් අපි සූදානම් වෙනවාට කියන ලෑස්ති වෙනවා කියන වචනය බිඳිලා ආපු බව හිතන්න පුළුවන්.
  • කේන්තිය කෝපය හඳුන්වන්න පාවිච්චි කරන කේන්තිය කියන වචනය හැදිලා තියෙන්නේ පෘතුගීසි භාෂාවෙන් “උණුසුම් / රස්නය” කියන අදහස දෙන Quente වචනය බිඳීමෙන්.
  • රංචුවසමූහයක් හඟවන්න යොදන මේ වචනය පෘතුගීසි වගේම ඇමරිකානු ස්පාඤ්ඤ භාෂාවටත් නෑකම් කියනවා. ස්පාඤ්ඤ වලින් Rancho කියන්නේ හමුදා කුටියකට, නැත්නම් එකට වාඩි වෙලා ආහාර ගන්න පිරිසකට. පෘතුගීසි භාෂාවේත් මේ වචනයට තියෙන්නේ මීට සමාන තේරුමක්. හමුදා සාමාජිකයන්ගේ නිල නිවසට තමයි ඔවුන් Rancho කියන්නේ.

ඉතින් අධිරාජ්‍ය පාලකයන් ලංකාවේ ඉන්න කාල වලදී ඔවුන්ගේ භාෂා වල වචන සැලකිය යුතු ප්‍රමාණයක් සිංහල භාෂාවට එකතු වෙලා තියෙන බව බොහොම පැහැදිළියි. මේවා බොහෝ ගණනක් අපි අදත් වැඩිපුර නොහිතා පාවිච්චියට ගන්නවා. සමහර වචන වලට වෙනත් සිංහල වචනයක් නැති තරමටම මේ වගේ විදේශීය වචන අපේ බස්වහරේ වැදගත් කොටසක් බවට පත් වෙලා තියෙන්නේ. මේ නිසා අපි හිතාගෙන ඉන්නවාට වඩා ලංකාවේ කවුරුත් බොහෝ දුරට බහු සංස්කෘතික පිරිසක් කියලා වුණත් හිතන්න පුළුවන්.

මේ වගේ සිංහල භාෂාවට එකතු වුණු තවත් වචන ඕනෑ තරම් තියෙනවා. බොහෝ වෙලාවට ඉතිහාසය / සමාජ අධ්‍යයනය වගේ විෂයන් වල පෙළ පොත් වල පවා මේ ගැන විස්තර දකින්න පුළුවන්. අපිට මගහැරුණු වචන ඔබ දන්නවා නම් අපේ ෆේස්බුක් පොස්ට් එකේ කමෙන්ට් කරන්න කියලත් ආරාධනා කරනවා. ඒ වචනයට මුල් වුණු විදේශීය වචනයත් එක්කම කියන්න පුළුවන් නම් කාටත් ගොඩක් වැදගත් වේවි.

කවරයේ රූපය : 1602දී ලන්දේසි දේශ ගවේෂක ජෝරිස් වෑන් ස්පිල්බර්ජන් සහ පළමු වන විමලධර්මසූරිය රජතුමා අතර හමු වීම නිරූපණය කෙරෙන 17 වන ශතවර්ෂයට අයත් චිත්‍රයක්.

රූපය : familypedia.wikia.com

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles