Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෙසී සහ ෂුරාස්තෙ: සැබෑ නිදහස සොයා ගිය සහෘදයෝ

පසුගිය මැයි 23 වැනිදා සවස 3.30 ට පමණ නීතිඥ ෆෙලිපෙ පීරිස්ට “වට්ස්ඇප්” හරහා යම් පණිවිඩයක් ලැබුණා. පණිවිඩයෙන් කියවුණේ ෆෙලිපෙට හැකි ඉක්මණින් සම්බන්ධ වන ලෙස යි. මෙම පණිවිඩය එවා තිබුණේ එක්සත් ජනපදයේ වාසය කරන ඩියේගෝ ස්ට්‍රට්ස්. පළමු පණිවිඩය යැවීමෙන් පසු ඩියේගෝ කිහිප වතාවක් ෆෙලිපෙ ඇමතීමට උත්සහ කළත්, ඇමතුම්වලට පිළිතුරක් ලැබුණේ නැහැ.

මඳ වේලාවකට පසු ෆෙලිපෙ ඔහුගේ ජංගම දුරකථනයේ සටහන් ව තිබූ පිළිතුරු නොදුන් ඇමතුම් ගණන දුටුවා. ඔහු වහාම ඩියේගෝ සමඟ සම්බන්ධ වුණා. ඩියේගෝ දැනුම් දුන්නේ අදහා ගත නොහැකි, ඉතා ශෝකජනක පුවතක්. ෆෙලිපෙගේ හොඳ ම යහළුවා වූ ජෙසී කෝස් සහ ජෙසීගේ සුරතල් බල්ලා ෂුරාස්තේ, දරුණු රිය අනතුරකින් මිය ගොස් ඇති බව ෆෙලිපෙ දැන ගත්තා.

ජෙසී සිය හොඳ ම මිතුරා වූ ෆෙලිපෙ සමඟ – www.bbc.com

“මං හිතන්නේ මගේ අංකය ජෙසීගේ හදිස්සි දුරකථන ඇමතුම් ලැයිස්තුවේ තිබුණා.”

සිදුවීම සම්බන්ධයෙන් බ්‍රසීලයේ බීබීසි පුවත් සේවයට අදහස් දක්වන අතරතුරේ දී ෆෙලිපෙ පවසා සිටියා.

මේ නීතිඥවරයා ජෙසී හඳුනන්නේ 2012 වසරේ සිට යි. ඔවුන් අතර ඉතා දැඩි මිත්‍රත්වයක් තිබුණා. ෆෙලිපෙට පමණක් නොව ජෙසී මුළු ලෝකයට ම හොඳ මිත්‍රයෙක් වුණා. ඒ ඔහු ෂුරාස්තේ සමඟ ඇරඹූ දීර්ඝ සංචාරය නිසා යි. බොහෝ දෙනා ගත කරන ආකෘතික ජීවිතයෙන් මිදී තමා පතන සැබෑ නිදහස සොයා යෑමේ නොතින් ආශාවක් ජෙසී තුළ තිබුණා. ජෙසී සහ ඔහුත් සමඟ ගැඹුරු බැඳීමක් ඇති කරගෙන සිටි සුනඛයා මිය ගිය පුවතෙන් මේ දෙපළ ගේ සංචාරය ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ වුණත්, සංචාරය අතරතුර ඔහු ගත කරන ජීවිතය ඉන්ස්ටග්‍රෑම් හරහා රස විඳි මිනිසුන් දහස් ගණනක් සිටියා.

ඒ අතුරින් ඔහුගේ හොඳ ම රසිකයා වන්නේ ෆෙලිපෙ පීරිස්. මක් නිසාද යත්, ඔහුට ජෙසී ගේ ඇතුළාන්තය ගැන හොඳ අවබෝධයක් තිබුණා. අන් සැමට ම වඩා වෙනස් ජීවන අරමුණක් කරා ගමන් කරමින් සිටි ජෙසී ගේ දීර්ඝ සංචාරය ගැන මුලින් ම සොයා බැලුවෙත් ෆෙලිපෙ.

ජෙසීට විශාල ජීවිත අරමුණු තිබුණේ නැහැ. තමා විශ්වාස කළ නිදහස විඳිමින් වර්තමානය තුළ ජීවත් වීමට ඔහු උත්සහ කළා – camboriu.news 

සංචාරයට පෙර ජීවිතය

බ්‍රසීලයේ කුරීටිබා ප්‍රදේශයේ උපත ලද ජෙසී, පසු කලෙක බැල්න්‍යාරියු කම්බොරියු නමැති ප්‍රදේශයට සංක්‍රමණය වුණා. ඔහුට ෆෙලිපෙ මුලින් ම හමු වුණේ එහි ඉගෙනුම ලබමින් සිටි උසස් විදුහලේ වොලිබෝල් කණ්ඩායමට ඇතුළත් වීමෙන් පසුව යි. කෙටි කලකින් දෙදෙනා එකතු වී අඩු වියදම් මහල් නිවාසයක් කුලියට ගත් අතර, එහි සිට උසස් විදුහල කරා පැමිණ අධ්‍යාපනයේ නිරත වුණා. ෆෙලිපෙ සහ ජෙසීට චිත්‍රපට සහ ක්‍රීඩාව කෙරෙහි තිබුණේ එක හා සමාන උනන්දුවක්. ඒ අවබෝධය නිසා ම දෙදෙනාගේ මිතුදම දිනෙන් දින ශක්තිමත් වුණා.

“ජෙසී සතු ව දෙයක් තිබේ නම් ඔහු එය බෙදාහදා ගන්න උත්සහ කරනවා. වරක් මා සතුව බ්‍රසීල් රියල් එකක් තිබූ අතර, ඉන් මම විස්කෝතු මිලට ගන්න යන බව ජෙසී ට පැවසුවා. ඒක ම තමයි මගේ රාත්‍රී ආහාරය වෙන්නෙත්. ජෙසී ඔහුගේ මුදල් පසුම්බිය දෙස බලලා කිව්වා එයා ළඟ රියල් පහක් තියෙනවා, අපි හොට් ඩෝග් එකක් හදමු කියලා.”

සහයෝගී ව ජීවත් වීමට කැමති සි‍ය මිතුරා, තමා ගේ “සුපිරි සහකරු” ලෙස ෆෙලිපෙ හැඳින්වීමට කැමති යි. ජෙසී කිසිවිටෙකත් උදව් කිරීම ප්‍රතික්ෂේප නොකළ කරුණාවන්ත පුද්ගලයෙක් බව ෆෙලිපෙ පවසනවා.

ෂුරාස්තෙ යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගමන් සගයෙක් – pordentrodorn.com.br 

වොලිබෝල්වලට අමතර ව දෙදෙනා වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටත් කැමත්තක් දැක්වූවා. ඔවුන් වඩාත් ආකර්ෂණය වූ වීඩියෝ ක්‍රීඩාව “ලෙජන්ඩ් ඔෆ් සෙල්ඩා” බව ෆෙලිපෙ සිහිපත් කරනවා.

“ඩොඩොන්ගෝ කියන්නේ ඒ වීඩියෝ ක්‍රීඩාවේ එන දුෂ්ඨ ඩයිනසෝරයෙක්. ජෙසී සතුව තිබුණු බීට්ල් වර්ගයේ වාහන‍යත් පසු කලෙක නම් කළේ ඩොඩොන්ගෝ යනුවෙන්.”

ජෙසී සිය සුරතල් සුනඛයා සමඟ සිය දීර්ඝ සංචාරය සඳහා යොදා ගත්තේත් මේ බීට්ල් වර්ගයේ වාහනය යි.

 පුරා වසර දෙකක් මිතුරන් දෙපළ කුලී නිවසේ  වාසය කළා. උපාධිය ලබා ෆෙලිපෙ ඉන් පිට ව ගියත්, ජෙසී දිගට ම ඒ මහල් නිවාසයේ රැඳී සිටියා. එකිනෙකා ගෙන් වෙන් වුණත් ඔවුන් ගේ මිතුදමට ඉන් බලපෑමක් ඇති වුණේ නැහැ.

මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලාවන් හි විශාල ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබුණා – www.bbc.com

අලුත් කාමර සගයා

ෆෙලිපෙ නොමැති ව ජීවිතය ගත කිරීමට සිදු වූ ජෙසීට කාමර සගයකුගේ අඩුව නොඅඩු ව දැනෙන්නට ඇති. ඔහු ගේ ජීවිත කතාවට 2016 දී ෂුරාස්තේ ඇතුළු වන්නේ මෙවැනි පසුබිමක් මැද යි. ගෝල්ඩන් රෙට්‍රීවර් වර්ගයට අයත් ෂුරාස්තේ, හදාවඩා ගැනීමේ වගකීම ජෙසී භාරගත් විගස ම ෆෙලිපෙ අමතා තම මහල් නිවාසයට අලුත් නේවාසික මිතුරෙක් පැමිණි බව දැනුම් දුන්නා. මාස තුනක් හෝ හතරක් වයසැති ෂුරාස්තේ ගේ පාද දුටු වහා ම ජෙසී භාරගත් වගකීම පහසු නොවන බව ෆෙලිපෙට වැටහුණා.

“මේ බල්ලා ගොඩක් ලොකුවට හැදේවි. කොහොමද ඔයා මේ මහල් නිවාසයක් ඇතුළේ බල්ලෙක් ව තියා ගන්නේ?”

ෆෙලිපෙ ගේ පැනයට ජෙසීට තිබුණේ බොහොම සරල පිළිතුරක්.

“ගණන් ගන්න එපා. බල්ලට ඕන කරන්නේ ආදරයයි සෙනෙහසයි විතරයි.”

ජෙසී ඇලස්කාවට සංචාරය කරන බව තම සමීපතමයන්ට ඉන් මාස අටකට පමණ පසු දැනුම් දුන්නා. ඉන් සමහරක් ෂුරාස්තෙ සමඟ සංචාරය කිරීම ප්‍රායෝගික නොවන බව විශ්වාස කළා. ඉතින්, ඔහු නැවත බ්‍රසීලයට පැමිණෙන තුරු බල්ලා ගේ භාරකාරීත්වය ජෙසී ගේ සමීපතමයන්ට ගැටලුවක් වුණා. ජෙසී ගේ එවර ප්‍රතිචාරයෙන් හැමෝම විශ්මයට පත් වුණා.

“මම ෂුරාස්තෙ සමඟ ම ඉන්නවා. එයා මගේ පුතා!”

ජෙසී සහ ෂුරාස්තෙ සිය සංචාරය ඇරඹුවේ 2017 දී යි. දකුණු අමෙරිකා සංචාරයෙන් පසු ඔවුන් ගේ අරමුණ වූයේ උතුරු අමෙරිකාව ආවරණය කරමින් ඇලස්කාවට ළඟා වීම යි – www.enfoquems.com.br 

‘Shurastey or Shuaigow’

ජෙසී මේ මහා සංචාරය “Shurastey or Shuaigow ව්‍යාපෘතිය” ලෙස නම් කළ අතර, සිය සුරතලා සහ “The Clash” සංගීත කණ්ඩායමේ “Should I Stay or Should I Go” නම් ගීතය යන දෙකට ම උපහාර වශයෙන් සංචාරය නම් කළ බව පැවසෙනවා.

 ජෙසී සිය සංචාරය ආරම්භ කළේ 2017 දී යි. ඒ වනවිට ඔහු තම බීට්ල් රථයෙන් රටවල් 17 ක් ආවරණය කරමින් සැතපුම් 52,000 ක් පමණ ගමන් කර තිබුණා. නමුත්, 2020 වනවිට ගෝලීය අර්බුදයක් බවට පත් වූ කොවිඩ්-19 වසංගතයත් සමඟ ඇලස්කාවට යන ඔහු ගේ සිහිනය තරමක් ප්‍රමාද වුණා. එකල මෙක්සිකෝ-එක්සත් ජනපද දේශ සීමාව හරහා රිය පැදවීම තහනම් කර තිබූ බැවින්, බ්‍රසීලය වෙත නැවත යාමට ජෙසීට සිදු වුණා.

සංචාරයේ සොඳුරු මතක – nypost.com 

ජෙසී නිතර ම පාහේ තම සංචාරක සටහන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න කටයුතු කළා. ජෙසී සිය මිතුරු සුනඛ්‍යා සමඟ නැරඹීමට යන ස්ථාන පමණක් නොව, ඔවුන් දෙදෙනා අතර ඇති බැඳීම පෙන්වන වීඩියෝත් අනුගාමිකයන් ගේ නොමඳ ආදරයට ලක් වුණා. ඔහු තම ඇලස්කා සිහිනය ප්‍රමාද වීම ගැනත් අදහස් දක්වා තිබුණා.

“අපි 2020 සැප්තැම්බර් මාසයේ දී මෙක්සිකෝවෙන් පිටත් ව ගියේ බ්‍රසීලයේ මාස හතරක් පමණ රැඳී සිටීමේ අදහසින්. මෙක්සිකෝ-එක්සත් ජනපද දේශසීමාව නැවත විවෘත වනු ඇතැයි අපි බලාපොරොත්තු වුණා. ඒත් මාස ගණන් ගෙවිලා ගියා. ආපසු දේශසීමා විවෘත වේවි කියලා කිසිම ආරංචියක් නැහැ. මාසෙන් මාසය ගත වෙන කොට බලාපොරොත්තුත් අඩු වෙලා අපේ ගමනත් සිහිනයක් ම වෙන තැනට පත් වුණා.”

ෂුරාස්තෙ සමඟ බැස යන හිරු නැරඹීම ජෙසී ගේ ප්‍රියත ම අංගයක් වුණා – g1.globo.com 

අමෙරිකාවට පිවිසුණු සහෘදයෝ

ජෙසී සහ ෂුරාස්තෙ තම ඇලස්කා සිහිනයට යළි පණ දෙමින් මේ වසරේ ජනවාරි මාසයේ දී මෙක්සිකෝවට පැමිණි අතර, අමෙරිකා එක්සත් ජනපදයට ඔවුන් පෙබරවාරි මාසයේ දී ඇතුළු වුණා. ඉන්පසු ඔවුන් හූස්ටන් හි පිහිටි නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණ, ලුසියානා ප්‍රාන්තය බලා පිටත් වුණා.

ගමන අතරතුර ජෙසී තමා අත්දකින සෑම සුන්දර මොහොතක් ම ෂුරාස්තෙ සමඟ බෙදා හදා ගැනීමට අමතක කළේ නැහැ. විරාමයක් ලැබෙන විට ඔහු සිය සුනඛ මිතුරා සමඟ හිරු බැස යෑම නැරඹූ අතර, ඔවුන් පතන අනාගතය සිහිපත් කිරීමට ජෙසී පුරුදු ව සිටියා. ජෙසී ඒ හැඟීම් හැමෝට ම පේන්න වචනවලටත් පෙරළා තිබුණා.

“මම ෂුරාස්තෙට කිව්වා ඔහු මට කොතරම් වැදගත් ද කියලා. ෂුරාස්තෙ ගේ සමාගමය නොමැති ව මට මෙතරම් දුරක් පැමිණීමේ හැකියාවක් නොමැති බව ඔහුට පැහැදිලි කරලා දුන්නා. ෂුරාස්තෙ දිව එළියට දාලා සිනාසී හුස්මක් පිට කළා. හැබැයි ඒ හුස්ම මගේ මුහුණට වැදුණේ නැහැ. මගේ මිතුරා සමඟ හිරු බැස යෑමේ දර්ශනය බුක්ති විඳින්න මට අවශ්‍ය වුණා. තව බොහෝ දේ අප වෙනුවෙන් පැමිණීමට නියමිත බව මං දන්නවා. අවසන් වරට හිරු බැස යන තුරාවට ම අපි දෙන්නා එකට ම ඉන්නවා.”

ලුසියානාවෙන් මිසිසිපි ප්‍රාන්තයට පැමිණි ඔවුන්ට තවත් සුවිශේෂී අත්දැකීමක් විඳ ගැනීමට ලැබුණා. ළමා කාලයේ පටන් ජෙසී ගේ වීරයෙක් වූ බ්‍රසීලියානු ෆෝමියුලා වන් ධාවකයෙක් වූ රූබන්ස් බැරිකෙලෝ හමු වීමට අවස්ථාවක් ඔවුන්ට ලැබුණු අතර, මතක රැසක් කැටි කර ගනිමින්වොෂිංටනය වෙත ජෙසී සහ ෂුරාස්තෙ අප්‍රියෙල් මාසයේ දී  ළඟා වුණා.

ජෙසී දුටු “නිදහස”

දෙපළ ගේ ඊළඟ අරමුණ වුණේ නිව්යෝර්ක් හි පිහිටි ටයිම්ස් චතුරශ්‍රය සහ නයගරා ඇල්ල නැරඹීම යි. නයගරා ඇල්ලට ළඟා වීම සඳහා උතුරට ගමන් කරන අතරතුර ඔවුන් හිම කුණාටුවකට මුහුණ දුන් අතර, හිම කුණාටුවක ස්වභාවය දැක ජෙසී පුදුමයට පත් වූ බවත් පැවසෙනවා.

නයගරා ඇල්ලේ අසිරිය විඳීමෙන් පසු ඔවුන් බටහිර දෙසට ගමන් ඇරඹුවා. ඉලිනොයිස්, මිසූරි, කැන්සාස් සහ ඇරිසෝනා හරහා කැලිෆෝනියාවට ප්‍රවිශ්ඨ වීමට පෙර ඔවුන් ග්‍රෑන්ඩ් කැනියොන් අසල කඳවුරු බැඳීමටත් අමතක කළේ නැහැ. සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ සුප්‍රසිද්ධ ගෝල්ඩන් ගේට් පාලම වෙත පැමිණි පසු ජෙසී නැවතත් තම හැඟීම් වචනවලට පෙරළුවා.

“නිදහස නොමැති ව සතුටක් පවතින්නේ නැහැ. ඒ නිදහස වෙනුවෙන් මං දැනටමත් විශාල කැප කිරීමක් සිදු කර අවසන්. සිර ගෙයක් බඳු වූ මාගේ පැරණි ජීවිතයෙන් මං එළියට ආවා. පැරණි ජීවිතයේ දී අන් අය තමයි මගේ ජීවිතයේ තීරණ ගත්තේ. දැන් මට මං කැමති දේ තෝරා ගැනීමේ නිදහස තිබෙනවා!”

ජෙසී සහ ෂුරාස්තෙට මරු කැඳ වූ රිය අනතුර – www.auxx.me 

ඇලස්කාව: නොදුටු ගමනාන්තය

එක් සෙනසුරාදා දිනෙක කඳවුරු භූමියක් මැද නවතා ඇති තම විශ්වාසදායී ගමන් සගයා වූ බීට්ල් රථයේ ඡායාරූපයක් ජෙසී ගේ රසිකයන් වෙත ලබා දුන් අතර, ඇලස්කාවට ගමන් කිරීමේ දී මුහුණ දීමට සිදු වන ශීත කාළගුණය ගැනත් ඔහු විස්තර කළා.

“හේයි! මගේ මිත්‍රවරුනී.. කැනඩාවට ඇතුළු වී ඇලස්කාව කරා ගමන් කිරීමේ කාලය දැන් උදා වෙලා.”

සිය උද්‍යෝගය තම අනුගාමිකයන් සමඟ ජෙසී බෙදා ගත්තේ එලෙසින්.

“ඊයේ සිට අද වෙනකම් කඳවුරේ සීතල වැඩි වෙන්න පටන් ගත්තා. මෙතැන ඉඳන් කොහොමත් සීතල වැඩි වෙනවා. ඒත් අපේ කූඩාරම ඍණ උෂ්ණත්වයට හොඳින් ඔරොත්තු දෙන එකක්. ඒ වගේ ම කූඩාරමේ අභ්‍යන්තරය හොඳින් උණුසුම් ව තබා ගැනීමට උපකාරී වන වාත්‍රාශ පද්ධතියකුත් තියෙනවා.”

 ඇලස්කා සූදානම ගැන ජෙසී තවදුරටත් පැහැදිලි කළා.

අවාසනාවට ඔබත් බොහෝ විට දන්නා පරිදි ජෙසී සහ ෂුරාස්තෙට ඇලස්කාව දැක ගැනීමට හැකි වුණේ නැහැ. එක්සත් ජනපදට අයත් ඔරිගන් ප්‍රාන්තයේ සෙල්මා ප්‍රදේශයේ දී මුහුණ දුන් දරුණු රිය අනතුරකින් ජෙසී සහ ෂුරාස්තෙ මිය ගියා.

ඔවුන් අකාලයේ මිය ගිය බව බොහෝ රසිකයන් පිළි ගැනීමට කැමති වුණේ නැහැ. ජීවිතය උපරිමයෙන් විඳි දෙදෙනෙකු ලෙස ඔවුන් ගේ මරණය දෙසත් ගෞරවයෙන් බැලීමට බොහෝ දෙනා උත්සහ කළා – www.auxx.me 

අහිමි වීමේ අසීමිත වේදනාව

ජෙසී සහ ෂුරාස්තෙ ගේ අහිමි වීමේ අසීමාන්තික වේදනාව ෆෙලිපෙට කෙසේ හෝ දරා ගැනීමට සිදු වුණා. ජෙසී ගේ මරණය ගැන ප්‍රථමයෙන් ම දැනුම්වත් වූ සමීපතමයා ලෙස ෆෙලිපෙට භාරදූර වගකීමක් ද පැවරී තිබුණා. කලබලයක් ඇති නොවන ආකාරයට මේ පුවත ජෙසී ගේ පවුලේ උදවිය වෙත ළඟා කර වීමට ඔහුට අවශ්‍ය වුණා. ෆෙලිපෙ ජෙසී ගේ නැන්දා ප්‍රථමයෙන් සම්බන්ධ කර ගත්තේ ඒ අනුව යි.

“මට තවත් දුෂ්කර කාර්යයක් පැවරුණා. ඒ තමයි ජෙසී ගේ මරණය කාටවත් නොකියන එක. ජෙසී ගේ නැන්දාට අවශ්‍ය වුණා කුරීටිබා හි වෙසෙන ජෙසී ගේ අම්මාට මේ දුක්බර පුවත පුද්ගලිකව දැනුම් දෙන්න. එවිට ඇයගේ පුත්‍රයා ගේ මරණය අන්තර්ජාලයෙන් දැන ගන්න ලැබෙන්නේ නැහැ.”

ජෙසී යනු ඒ වනවිටත් සමාජ මාධ්‍ය හරහා ආදරයට පාත්‍ර වූ පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙක් මරණයට පත් වූ පුවත පවුලේ සාමාජිකයන්ට ළඟා වීමටත් කලින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම එතරම් සුදුසු නැති බව ජෙසී ගේ නැන්දා තේරුම් ගෙන තිබුණා.

“මම පැය 18ක් 19ක් ඇඬුවා, කාටවත් කියන්න බැරි නිසා” ෆෙලිපෙ පීරිස් පවසනවා.

මැයි 24 වැනිදා පෙරවරු 11 ට පමණ ජෙසී ගේ අම්මාට පණිවිඩය ලැබී ඇති බව ඔහු ගේ පවුලේ උදවිය ෆෙලිපෙට දැනුම් දුන්නා. ඒ අනුව දුක්බර පුවත ලෝකයට පැවසීමේ අවසරය ෆෙලිපෙට ලැබුණා. ආත්මීය බැඳීමකින් සිටි සංචාරයට ළැදි මිතුරන් දෙදෙනා ගේ ශෝචනීය සමු ගැනීම ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ මේ සියලු දේ අවසාන වීමෙන් පසුව යි.

සමාජ ජාලා තුළ ෂුරාස්තෙ සහ ජෙසීට උපහාර ගලා ඒම දසතින් ඇරඹුණා. ඔවුන් ගේ සමාජ ජාලා ගිණුම්වලට අලුතින් රසිකයන් දහස් ගණනින් එකතු වීමත් ඒ සමඟ ම සිදු වුණා.

“ඇත්තට ම ජෙසී ගේ සමාජ ජාලා ගිණුම් අනුගමනය කළ බොහෝ අය සිටියා. ඒ කැලඹීම සහ සාමුහික ශෝකය ළඟ ම කෙනෙක් නැති වුණා හා සමාන යි. ජෙසී ඉන්ස්ටග්‍රෑම් හරහා පළ කරපු ගොඩක් දේවල් සත්‍යාවාදී යි. ඔහු චරිතයක් නොවෙයි. ඒ නිසා බොහෝ අයට ජෙසී සමීපතමයෙක් වගේ දැනුණා. ජෙසී පෞද්ගලිකව නොදැක්කත් බොහෝ අයට ඔහු දැනුණේ මිතුරෙක් සහ සහෝදරයෙක් ලෙස යි.”

සිය අතිජාත මිතුරා ගේ මානුෂීය ගතිගුණ පමණක් ජීවමාන ව පවතින වර්තමානය ගැනත් ෆෙලිපේ දරන්නේ එවැනි අදහසක්.

කවරයේ ඡායාරූපය- ජෙසී සහ ෂුරාස්තෙ සිය වාහනය වූ "ඩොඩොන්ගෝ" සමඟ : turismo.ig.com.br

මූලාශ්‍ර:

www.independent.co.uk

www.bbc.com

www.dailymail.co.uk

beemagzine.com

www.instagram.com

Related Articles