Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මත්ද්‍රව්‍ය භාවිතය තුළින් කොරෝනා පැතිරීම වේගවත් විය හැකි ද?

කොරෝනා වංසගත තත්ත්වය ලෝකයට නව අර්බුදයක් ඇති කළ අතර, මෙම වසංගතය පතුරුවාහරින රෝගකාරකයෙහි ජෛව විද්‍යාත්මක පසුබිම සමග මෙහි පැතිරීම වේගවත් විය හැකි ක්‍රමයන් පිළිබඳ පර්යේෂකයන් මේ වනතෙක් පූර්ණ වශයෙන් හඳුනාගෙන නැහැ. එම නිසා අනාරක්ෂිතයැ යි සැළකිය හැකි ඕනෑම චර්යා රටාවක් හරහා කොවිඩ් 19 වසංගතය පුද්ගලයෙකුගෙන් තවකෙකුට පැතිරී යාම වේගවත් විය හැකි බව ඔවුන්ගේ මතය යි. 

වෛරස සහ අනෙකුත් මාරාන්තික රෝගකාරකයන් වේගයෙන් පැතිරී යාම සඳහා ඉවහල් වන අනාරක්ෂිත චර්යාවන් අතර, හවුලේ මත්ද්‍රව්‍ය භාවිතය ඉතාම ඉහළ අනාරක්ෂිත චර්යාවක් ලෙස සලකනු ලබනවා. ඒ අනුව කොවිඩ් 19 පර්යේෂකයන් පෙන්වා දෙන්නේ හවුලේ මත්ද්‍රව්‍ය භාවිතය කොරෝනා වසංගතය පැතිරී යාම වේගවත් කිරීමට මෙන්ම, රටක සෞඛ්‍ය පද්ධතියකට අනවශ්‍ය බරක් ඇති කිරීමට හේතු සාධක වී ඇති බව යි. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, සාමාන්‍ය කාල සීමාවක මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගන්නා බව ද පර්යේෂකයන් පෙන්වා දෙනු ලබනවා. මීට හේතු සාධක ලෙස ඔවුන් පෙන්වා දෙනු ලබන්නේ හුදෙකලා කිරීම, මනෝග්ලානිය (මානසික වශයෙන් අධික ලෙස පීඩාවට පත්වීම), ආර්ථික අගහිඟකම් වැනි කරුණු නිසා ඇතිවන මානසික ආතතිය බව යි. මෙවැනි කාරණා නිසා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යෑමට අමතරව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ද ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා. 

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිය සෞඛ්‍යයට හිතකර නොවේ. Rehabguide.co.uk

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අවදානම් කාණ්ඩයක් වන්නේ ඇයි?

  • කොරෝනා වංසගතය ශරීරගත වුවහොත්, ඉන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරනු ලබනවා. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් බොහෝ විට අධි මාත්‍රා ලෙස මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම නිසා මෙවැනි පුද්ගලයන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව පහළ අගයක් බවට පත් වෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ කොවිඩ් ආසාදනය වුවහොත් ඉන් ඉතා සංකීර්ණ ව්‍යාකූලතා ඇතිවිය හැකි බව සඳහන්.
  • කංසා, හෙරොයින් හෝ අයිස් වැනි මත්ද්‍රව්‍ය ආඝ්‍රාණය කිරීම, හුමාලනය හෝ දුම්පානය මඟින් ඍජුවම පෙනහළුවල ක්‍රියාකාරීත්වයට සහ රුධිර සංසරණයට හානි පමුණුවනු ලබනවා. කොවිඩ් 19 වසංගත ආසාදනය බරපතල මට්ටමට පැමිණීමේ දී ඉන් ඍජුවම බලපෑම් කරනු ලබන්නේ ද පෙනහළු ප්‍රමුඛ වූ ස්වසන පද්ධතියට යි. ඒ අනුව ඔබ යම් අකාරයකට කොවිඩ් ආසාදිතයෙකු බවට පත්වුවහොත් සාමාන්‍ය ආසාදිතයෙකුට වඩා ඉහළ සංකීර්ණතා ඇතිවීමේ අවදානමක් පවතිනවා. 
කොවිඩ් වෛරසය ආසාදනය වූ පෙනහළු. Nbcsandiego.com
  • හෘද රෝග වැනි නිධන්ගත රෝග ඇති පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවෙකු බවට පත් වුවහොත් කොවිඩ් ආසාදනය වීම සම්පුර්ණයෙන්ම “මරණයට පත්වීම” හා සමාන බව සඳහන් වෙනවා. ඊට හේතුව වන්නේ ලෝකය පුරා වාර්තා වී ඇති කොවිඩ් මරණ බහුතරයක් සිදු වී ඇත්තේ නිධන්ගත රෝග පැවති පුද්ගලයන් ලෙස සඳහන් වීම යි. නිධන්ගත රෝග ඇත්තෙකු මත්ද්‍රව්‍ය භාවිතය සිදු කරන්නේ නම් එවැනි පුද්ගලයන් කොවිඩ් වසංගතයට ගොදුරු වුවහොත්, ජීවිතක්ෂයට පත් වීමේ ඉහළ ඉඩකඩක් පවතින බව සඳහන් වෙනවා. 
  • මේ සියල්ලටම වඩා මත්ද්‍රව්‍ය භාවිතය නිසා කොවිඩ් වසංගතය පැතිරී යාමේ ඉහළම සම්භාවිතාව පවතින්නේ කණ්ඩායමක් අතර හවුලේ මත්ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමෙන් බව සඳහන් වෙනවා. එකම දුම්වැටිය හෝ දුම්පානය කරන බොන්ග් වැනි උපකරණ හවුලේ භාවිතය හරහා ආසාදිතයෙකුගේ නාසය සහ මුඛය ආශ්‍රිත බිඳිති සහ අංශු හරහා පහසුවෙන් සහ වේගයෙන් ඉතා ඉහළ පරාසයකින් වෛරසය සමාජගත වියහැකි බව සඳහන් වෙනවා. 
මත්ද්‍රව්‍ය නිසා හානියට පත්වී ඇති පෙනහළු. Sciencephoto.com 

මත්ද්‍රව්‍ය භාවිතය නිසා වෛරසය සමාජගත වීම පාලනය කළ හැකි ක්‍රම

ඔබ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පෙළඹී ඇති අයෙකු නම් වෛරසය පැතිරීම පාලනය සඳහා වඩාත්ම වැදගත් වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අත්මිදීමට හැකි උපරිමයෙන් උත්සාහ කිරීම යි. එමඟින් වඩා නීරෝගී පැවැත්මක් සනිටුහන් කර ගත හැකි අතර පහසුවෙන් ආසාදනයට ගොදුරුවීම වළක්වාගත හැකියි. නමුත් ඔබට මත්ද්‍රව්‍ය භාවිතය නතර කළ නොහැකි නම්, අවම වශයෙන් රෝගය පැතිරීම වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ගයන් කීපයක්ම පවතිනවා. 

  • හැකි උපරිමයෙන් නීරෝගීව සිටීමට උත්සාහ කරන්න.

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු වුවත්, සමබල ආහාර රටාවක් පවත්වාගැනීම, හොඳින් ජලය පානය කිරීම සහ දෛනික ශාරීරික යෝග්‍යතා අභ්‍යාසවල නිරත වීම මඟින් වඩා නීරෝගී දිවිපෙවෙතකට පිවිසිය හැකියි. එමඟින් කොවිඩ් ආසාදනයට පහසුවෙන් ගොදුරු වීමේ ඉඩකඩ අවම කරගත හැකියි.

  • මත්ද්‍රව්‍ය සමග ගනුදෙනු කරනු ලබන සෑම අවස්ථාවක දීම දෑත් පිරිසිදු කරගන්න.

මත්ද්‍රව්‍ය භාවිතයට ගනු ලබන අවස්ථාවල දී මෙන්ම, ඒවා පැකට්ටු වශයෙන් බාරගනු ලබන අවස්ථාවල දී, ඒ සම්බන්ධ මුදල් ගණුදෙනුවල දී වැනි අනාරක්ෂිත ක්‍රියාවලින් අනතුරුව මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී, විෂබීජ නාෂක දියරයක් භාවිතයෙන් හෝ සබන් සහ ජලය භාවිතයෙන් තප්පර 20ක් පමණ දෑත් පිරිසිදු කරන්න.

  • මත්ද්‍රව්‍ය හෝ උපකරණ හුවමාරු කර ගැනීමෙන් වළකින්න.

දුම්වැටි, දුම් පයිප්ප, එන්නත් කටු, සහ බොන්ග් උපකරණ වැනි මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ දී භාවිතා කරනු ලබන උපකරණ කිසි විටෙකත් හවුලේ භාවිත නොකිරීම මඟින් රෝගකාරකය පැතිරී යාම සැළකියයුතු ප්‍රමාණයකින් අවම කර ගත හැකි වේ. 

මත්ද්‍රව්‍ය භාවිතයෙන් අත්මිදීමට උදව් ලබා ගැනීමට පසුබට නොවන්න. Wallpapertop.net 
  • මත්ද්‍රව්‍ය ශරීරගත කිරීමේ විකල්ප ක්‍රම භාවිතය

ඕනෑම අයෙකු මත්ද්‍රව්‍ය භාවිතය සම්පුර්ණයෙන්ම නවතා දැමීම වඩාත්ම උචිත සහ සාර්ථකම ක්‍රමවේදය වුවත්, යම් හේතුවක් නිසා එය සිදුකළ නොහැකි නම් පමණක්, වෛරසය ශරීරගත වීමේ අවදානම ඉහළ දමන මුඛය සහ නාසය ආශ්‍රිත මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ක්‍රමවේද මෙම කාල පරාසය තුළ අවම කොට, ඊට විකල්ප ක්‍රම භාවිතා කිරීම රෝගය පැතිරීම පාලනයට ප්‍රයෝජනවත් විය හැකි වෙනවා. 

  • වගකිවයුතු යමෙකුගේ අධීක්ෂණය යටතේ මත්ද්‍රව්‍ය භාවිතය

මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමකට ලක්වූවෙකු වඩා යෝග්‍ය වන්නේ වගකිවයුතු යමෙකුගේ අධීක්ෂණය යටතේ මත්ද්‍රව්‍ය භාවිතයට ගැනීම යි. ඉන් සිදුවියහැකි ගැටළු බොහෝමයක් මූලික පියවරේ දීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයාගේ ආරක්ෂාව ද තහවුරු වේ.

  • නිෂ්ක්‍රමණය 

මත්ද්‍රව්‍ය භාවිතය එක්වරම නවතා දැමූ විට බොහෝ ඇබ්බැහිවූවන් හට නිෂ්ක්‍රමණ ලක්ෂණ (Withdrawal symptoms) පෙන්නුම් කරනු ලබනවා. මෙය ඇබ්බැහියේ මට්ටම සහ පුද්ගලානුබද්ධව වෙනස් මුහුණුවරයන් ගත හැකියි. අවම ඇබ්බැහිවීමක් නම් නිෂ්ක්‍රමණය සාමාන්‍ය අධීක්ෂණයක් යටතේ සිදුකළ හැකි අතර, මත්ද්‍රව්‍ය දෛනික භාවිතය වැනි ඇබ්බැහිවීමක දී නම් නිෂ්ක්‍රමණය සිදුකළ යුත්තේ ඒ පිළිබඳ විද්‍යාත්මක හා වෘත්තීය දැනුමක් ඇති පාර්ශ්වයක අධීක්ෂණය යටතේ විය යුතු යි. 

හවුලේ මත්ද්‍රව්‍ය භාවිතය සෑම අවස්ථාවක දීම අහිතකර වේ. Hightimes.com

තවමත්, කොවිඩ් 19 වසංගතය ලෝකය මෑත ඉතිහාසය තුළ අත්නොවිඳි ආකාරයේ අභියෝගයක් ලෙස පවතිනවා. මෙම කාරණාව නිසා මෙතෙක් පර්යේෂණයන්ට නිරාවරණය නොවූ තවත් බොහෝ අබිරහස් මෙම වෛරස ව්‍යාප්තිය කෙරෙහි බලපෑම් කරනවා ඇති. එමනිසා හැකි සෑම විටම සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින්, සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදිමින්, මතුව ඇති ව්‍යාකූල තත්ත්වය සමනය වන තෙක් සමාජගත පුරවැසියන් ලෙස අප සියළුදෙනා සිය වගකීම මැනවින් ඉටු කළ යුතුව පවතිනවා. 

මූලාශ්‍රයයන්:

https://theconversation.com/drug-use-may-increase-the-risk-of-coronavirus-heres-how-to-reduce-the-harms-135556

https://www.emcdda.europa.eu/publications/topic-overviews/covid-19-and-people-who-use-drugs_en

https://www.drugabuse.gov/about-nida/noras-blog/2020/04/covid-19-potential-implications-individuals-substance-use-disorders

Related Articles