Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩෙඩ්පූලාංකාරය

කටකාර නොසන්ඩාලයා ගැන ඔබ නොදත් කතා

සුපිරි වීරයෝ කියන්නේ මේ දිනවල බොහොම ජනප්‍රිය මාතෘකාවක්. තාක්ෂණයේ දියුණුවත් සමගම සිනමාව අතින් ගත්තත්, රූපවාහිනී වැඩසටහන් අතින් ගත්තත්, දැන් නිතරම මෙයාලා ගැන අහන්න දකින්න ලැබෙනවා. නමුත් අද අපි කතා කරන්න යන්නේ තවත් එක් සුපිරි වීරයෙක් ගැන නම් නෙවෙයි.

කොහොමද ඉතින්? (gamezone.com)

කොහොමද ඉතින්? (gamezone.com)

මේ ඉන්නේ මෑතකදී ලංකාවේ නොසිතූ විදිහට හදිසියේ ජනප්‍රියවුණ චරිතයක්. බටහිර චිත්‍රකතාවල (Comics) චරිත වුණත් Batman, Superman, Spiderman වගේ චරිත අපේ රටේ අය අතරත් ඉතාමත් ප්‍රසිද්ධයි. නමුත් මෑතක් වෙනතුරු මෙයා ගැන දැනගෙන හිටපු පිරිස බොහොම අඩුයි. මේ කවුද, මෙයා හිටපු ගමන්ම කවුරුත් කතාබහ කරන චරිතයක් වුණේ කොහොමද කියල අපි දැන් බලමු.

කවුද මේ ඩෙඩ්පූල්?

පසුගිය පෙබරවාරි 8 වැනිදා ලොව පුරා තිරගතවීම ඇරඹූ Deadpool චිත්‍රපටය නිසා තමයි මෙයා ගැන බහුතරයක් පිරිසගේ අවධානය යොමුවුණේ. චිත්‍රපටයේ අලෙවි ප්‍රවර්ධන කණ්ඩායම භාවිතා කළ ඉතාම ආකර්ෂණීය පුර්ව ප්‍රචාරක පට සමගම තවත් ඒ හා බැඳුණු විවිධ සමාජ ජාල ආශ්‍රිත ප්‍රවර්ධන  වැඩසටහන් ඒ සඳහා  විශාල පිටිවහලක් වුණා.

චිත්‍රපටය නිසාම මේ චරිතය හඳුනාගත් බොහෝමයක් රසිකයන් නොදන්නා කරුණක් තමයි ඩෙඩ්පූල් කියන්නේ සුපිරි වීරයෙක් නොවෙන වග. බහුතරයක් සුපිරි වීරයන් වගේම ඩෙඩ්පූල් කියන්නෙත් චිත්‍රකතාවක එන චරිතයක් වුණත් ඔහු අයත්  වන්නේ ප්‍රති වීරයන් (anti-heros) ගණයට. Marvel Comics මගින් ප්‍රකාශිත චිත්‍රකතා සඳහා Rob Liefeld සහ Fabian Nicieza විසින් නිර්මාණය වුණු මේ චරිතයේ විශේෂත්වය වන්නේ ඔහුගේ ඒකායන අරමුණ බොහොමයක් වීරයන් මෙන් ලෝකය නපුරෙන් ගලවාගැනීම නොවීමයි. ඩෙඩ්පූල්ගේ නිදාන කතාවේ දැක්වෙන විදිහට Wade Wilson නමැති කැනේඩියානු ජාතිකයෙකු  වන ඔහු වෘත්තියෙන් කුලී හේවායෙක් (mercenary). පිළිකාවක් වැළඳීමෙන් පසු ඔහුව Weapon X Program නමැති රජයේ රහස් ව්‍යාපෘතියක පරීක්ෂණ විෂයක් (test subject) ලෙස යොදාගනු ලබනවා. මෙම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ඔහුට ලැබෙනවා සුවවීමේ හා සෛල ප්‍රතිජනනය කිරීමේ අධිමානුෂික බලයක්. කොටින්ම කියනවා නම් දැන් මූව ගලේ ගහලවත් මරන්න බෑ . මෙහි අර්ථය සාම්ප්‍රදායික අමරණීයත්වයට වඩා වෙනස්. මෙයින් කියවෙන්නේ “කවදාවත් මැරෙන්නේ නෑ” යන්නට වඩා “මරන්න බෑ” කියන අදහස.

වෙස්මුහුණ ඇතුලත ඉන්නේ මෙයා තමයි (ign.com)

වෙස්මුහුණ ඇතුලත ඉන්නේ මෙයා තමයි (ign.com)

Wade Wilson කියන්නේ සමාජයට හොඳක් කිරීම තම ජිවිතයේ අරමුණ කරගත් ආචාරශීලී මහත්මයෙක් නොවුනත්, ඔහු බොහොමයක් දුෂ්ටයින් මෙන් අහිංසක මිනිසුන් තලා පෙළා සතුටක් ලබන කෙනෙකුත් නෙවෙයි. බොහෝවිට ඔහුගේ සතුරන් වන්නේ එවැනි දුෂ්ටයින්. එහෙම වුණත් අනෙකුත් සුපිරි වීරයන් ගැන ඔහුගේ විශේෂ කැමැත්තක් හෝ ගෞරවයකුත් නෑ. සටන් කිරීමේ හා ආයුධ හැසිරවීමේ දක්ෂයෙක් වුණත් කටකාරකම නිසාම ඔහුව හැඳින්වුණේ Merc with a mouth නොඑසේ නම් කටකාර කුලී හේවායා යන අන්වර්ථ නාමයෙන්. කෙටියෙන් කියනවා නම් පිස්සු යකෙක්. ඉතින් මෙහෙම කෙනෙක්ට සුපිරි බලයක් ලැබෙනවා කියන්නේ වඳුරට කණ්ණාඩිය අහුවුණා වගේ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

යාලුවොත් එක්ක සෙට් වෙලා (2016 20th Century Fox)

යාලුවොත් එක්ක සෙට් වෙලා (2016 20th Century Fox)

ඩෙඩ්පූල් ඉතාමත් සුවිශේෂී චරිතයක් වීමට ඉවහල්වන තවත් ප්‍රධාන කරුණක් තමයි ඔහුට තමන් ප්‍රබන්ධ කතාවක චරිතයක් බවට ඇති ස්වයං අවබෝධය. මේ නිසා චිත්‍රකතාවල මෙන්ම චිත්‍රපටයේදීත් බොහෝ අවස්ථාවල ඔහු සෘජුවම ප්‍රේක්ෂකයන් අමතන අවස්ථා දැකිය හැකියි.

Deadpool සහ Deathstroke

මේ ලිපිය කියවන ඔබ Arrow TV series එක ගැන නොදැන ඉන්න විදිහක් නෑ. Arrow/ Green Arrow කියන්නේ Marvel Comics හි ප්‍රබලතම ප්‍රතිවාදියා වන DC Comics හි චිත්‍රකතා චරිතයක්. Arrow නරඹන ඔබට Slade Wilson එහෙමත් නැත්නම් Deathstroke කියන චරිතය මේ වෙනකොට හුරුපුරුදු ඇති. අපූරු දේ තමයි Deadpool චරිතය නිර්මාණය වුණේ Deathstroke ආභාෂයෙන් වීම.

ප්‍රතිවාදී සමාගම් දෙකකට අයිති චරිත දෙකක් වුණත් මේ දෙන්නා කොයිතරම් එකිනෙකාට සමානද කියල දැන් ඔබට වැටෙහෙනවා ඇති. මේ ගැන වැඩිදුර කියවන්න මෙතැනින්.

Ryan Reynolds සහ Deadpoolගේ සිනමාගමනය

කොහොමද වැඩ (2016 20th Century Fox)

කොහොමද වැඩ (2016 20th Century Fox)

බහුතරයක් චිත්‍රකතාවල චරිත නිර්මාණය වුණේ පොදුවේ සියලුම වයස් සීමාවල ප්‍රේක්ෂකයන් උදෙසා වුණත් ඩෙඩ්පූල් නිර්මාණය වුණේ වැඩිහිටියන් අරමුණු කර ගනිමිනුයි. මෙහි ඇතුළත් හාස්‍ය, මාරාන්තික සටන් ජවනිකා හා වැඩිහිටි තේමාවන් සහිත කථා වස්තූන් සිනමාවට නැගීම ප්‍රශ්නයක් වුණේ සුපිරි වීරයන් ගැන නිර්මිත චිත්‍රපට නිෂ්පාදනය කළ බොහෝ සමාගම් පවුලේ සැමට නැරඹීමට හැකි චිත්‍රපටවලින් ලැබෙන තරම් ආදයමක් මෙයින් නොලැබෙන බව සිතූ නිසයි.

මෙවැනි ප්‍රශ්න තිබුනත් 20th Century Fox සමාගමට වුවමනාව තිබුණා Deadpool චිත්‍රපටයක් ලෙස එළිදක්වන්නට. Wade Wilsonගේ චරිතය සඳහා ඔවුන් තෝරාගත්තේ Ryan Reynolds. මේ සඳහා සමාගමේ අනුමැතිය ලබාගැනීමට චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලෙස තෝරාගෙන තිබූ Tim Miller හා Ryan Reynolds එක්ව කෙටි video clip එකක් නිර්මාණය කළත් ඔවුන්ට බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. එහෙයින් සියලු වැඩ අතරමග නැවතුනා.

තත්ත්වය මෙසේ තිබියදී 2014 වසරේ මැද භාගයේදී පෙරකී video clip එක අන්තර්ජාලයට මුදාහැරීමට යමෙක් කටයුතුකර තිබුණා. මෙය නරඹා මහත් අමන්දානන්දයට පත්වුණු Deadpool චිත්‍රකතා රසිකයන් Fox සමාගමෙන් දැඩිලෙස ඉල්ලා සිටියා මෙය සැබෑවක් බවට පත්කරන ලෙස. Ryan මේ පිළිබඳ නැවතත් Fox බලධාරීන්ගෙන් විමසා සිටියා. අවසානයේ රසිකයන්ගේ බලවත් ඉල්ලීම හා ඔහුගේ පෙළඹවීම මත Fox සමාගම තීරණය කළා Deadpool රිදී තිරයට ගෙන එන්නට. එයත් සාම්ප්‍රදායික සුපිරි වීර චිත්‍රපට මෙන්  PG හෝ PG-13 rating එකක් සහිතව නොවේ. Deadpoolටම අවේණික ලක්ෂණ හොඳින්ම දැක්විය හැකි Restricted/Rated-R (වැඩිහිටියන්ට වඩාත් සුදුසු) ලේබලය යටතේ.

Deadpoolට පණදුන් තාක්ෂණික විශ්මකර්ම

වැඩ ගොඩයි (20th Century Fox/ Weta Digital)

වැඩ ගොඩයි (20th Century Fox/ Weta Digital)

රසිකයන් කෙසේ ඉල්ලා සිටියත් චිත්‍රපටය තිරගත කළ පසු එයට කුමන ආකාරයේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියා Fox සමාගමට තිබුණේ දෙගිඩියාවක්. මේ නිසා ඔවුන් ඒ සඳහා වෙන් කළේ ඇ. ඩො. මිලියන 58ක මුදලක් පමණයි. අපිට බොහොම ලොකුවට පෙනුනත් අනෙකුත් සුපිරි වීරයන් ගැන නිර්මාණය වූ චිත්‍රපට සමග සසඳන විට මෙය අඩු ගණනක්.

හැබැයි එහෙම කියලා අධ්‍යක්ෂක Tim Miller වැඩේ අතඇරියේ නෑ. දෘශ්‍ය ප්‍රයෝග (Visual effects/VFX) නිර්මාණ ශිල්පියෙක් වූ ඔහුට ක්ෂේත්‍රයේ තිබූ පළපුරුද්ද තම ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සඳහා ඉතාමත් නිර්මාණශීලී ලෙස යොදාගත්තා.

මෙය සාමාන්‍ය චිත්‍රපටයකට වඩා බොහෝ සෙයින් දෘශ්‍ය ප්‍රයෝග, විශේෂ ප්‍රයෝග (Special effects/SFX) හා පරිගණකයෙන් නිර්මිත දර්ශන (CGI) අවශ්‍ය වන කතා තේමාවක් සහිත චිත්‍රපටයක් නිසා Tim Miller වැනි කෙනෙක් එය අධ්‍යක්ෂණය කිරීම එහි සාර්ථකත්වයට ලොකු පිටිවහලක් වුණා.

ඩෙඩ්පූල්ට පණපෙවූ Ryan Reynolds ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඔහු තම චරිතයට කොතරම් හොඳින් සාධාරණයක් ඉෂ්ට කළාද කියතොත් චිත්‍රපට විචාරකයන් හා රසිකයන් කියා සිටියේ ඔහු ඒ සඳහාම උපන්නෙක් බවයි.

චිත්‍රපටයේ විශේෂ ප්‍රයෝග හා දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණයට දායකවූ සමාගම් අතර අධ්‍යක්ෂක Tim Millerට සම අයිතිය හිමි Blur Studio, Atomic Fiction, Digital Domain හා Lord of The Rings, The Hobbit වැනි චිත්‍රපටවල VFX හා SFX නිර්මාණය කළ Weta Digital ප්‍රධාන තැනක් ගන්නවා.

Atomic Fiction විසින් Deadpool සඳහා නිර්මාණය කළ දෘශ්‍ය ප්‍රයෝග ඇතුළක් VFX Breakdown video clip එකක් ඔබට පහතින් නරඹන්න පුළුවන්.

Digital Domain විසින් චිත්‍රපටයේ තවත් චරිතයක් වන Colossus නිර්මාණය කළ අයුරු මේ video clip එකේ තියෙනවා

තාක්ෂණයේ දියුණුවත් සමග චිත්‍රපටවල දක්නට ලැබෙන අදහාගත නොහැකි දර්ශන නිර්මාණය වන්නේ කෙසේද යන්න ගැන දැන් ඔබට යම් අදහසක් ලැබෙන්නත් ඇති. මෙලෙස සිනමාවට නැගුණු Deadpool අදායම් වාර්තා බිඳහෙලමින් තිරගතවුණේ Fox සමාගමට මුලින් මෙවැනි Rated-R චිත්‍රපටයක් නිෂ්පාදනය ගැන තිබූ අවිශ්වාසය සහමුලින්ම නැති කරමින්. මේ වනවිට චිත්‍රපටයේ  Box Office ආදායම ඇ. ඩො. මිලියන 760.3ක්.

ඩෙඩ්පූලාංකීයකරණය

හෝ ගාන Pool

හෝ ගාන Pool

ඩෙඩ්පූල්ට අපේ රටෙත් දැන් රසිකයන්ගෙන් අඩුවක් නෑ. නමුත් අපේ කට්ටිය හරි වෙනස් කියන්නේ නිකමට නෙවෙයි. ලාංකීය සංස්කෘතියට ගැළපෙන විදිහට මේ බටහිර චරිතය ඉතා නිර්මාණශීලී ලෙස අනුවර්තනය කරගත් විවිධාකාරයේ නිර්මාණ අපිට පහුගිය දවස්වල සමාජ ජාල ඔස්සේ දකින්නට ලැබුනා. මේ අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනක් තමා Sarongpool. ඩෙඩ්පූල් ලංකාවේ හිටියනම් මෙන්න මේ වගේ කියලා කෙලින්ම කියන්න පුළුවන් මෙයා ගැන. Sarongpool ගේ ජනප්‍රියම නිර්මාණ කිහිපයක් පහතින් දැක්වෙනවා.

කෝ ඇත්තටම?

කෝ ඇත්තටම?

ඇයි අනේ කතා නැත්තේ?

ඇයි අනේ කතා නැත්තේ?

කුමක් කියලාද දන්නෑ

කුමක් කියලාද දන්නෑ

Dexters LK නිර්මාණය කළ ඩෙඩ්පූල් සිංහල පූර්ව ප්‍රචාරක පටය තමයි මේ තියෙන්නෙ

IFilmSriLanka නිර්මාණය කළ DeadPool’s guide to finding LOVE පහතින් දැක්වෙනවා. මේ ඩෙඩ්පූල් නම් ලංකාවෙ වුණාට චිත්‍රපටයේ ඔබ දකින Ryan Reynolds වගේම ඉතා දක්ෂ රංගනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ තියෙන්නෙ 2016 මාතර රාහුල විද්‍යාලයේ පාගමනට ඔවුන් නිර්මාණය කළ Deadpool ලොරිය. මෙම ඡායාරූපය ලොවපුරා තරුණ පරපුර අතර ප්‍රසිද්ධ, හාස්‍යජනක දේ පළකරන වෙබ් අඩවියක් වන 9GAG හි ද ඉතා ඉහළ ප්‍රතිචාර ලබා තිබුණා.

ඔහෙලට valentine අපිට Deadpool

ඔහෙලට valentine අපිට Deadpool

මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් මේ වෙනකොට චිත්‍රපටය නරඹලා ඇති. තාම බලපු නැති අයත් ඇති. දෙගොල්ලොම  මේ චරිතය ගැන නොදැන සිටි දේවල් කිහිපයක් හෝ මෙමගින් දැනගන්න ඇති කියල අපි විශ්වාස කරනවා. පළමු චිත්‍රපටයේ අනපේක්ෂිත හා ඉතා ඉහළ සාර්ථකත්වයත් සමගම Deadpool 2 සඳහා 20th Century Fox සමාගම මේ වනවිටත් කැමැත්ත පළකර හමාරයි. එයත් නැරඹීමට ඔබ අදහස්කර සිටිනවානම්, කලින් නොදැන සිටි  කරුණු මේ ලිපිය මගින් දැනගත්තානම්, චිත්‍රපටය පෙරට වඩා හොඳින් රසවිඳීමට ඔබට හැකිවේවි. මේ ගැන ඔබේ අදහස් පහතින් comment මගින් අපට දන්වන්න. ඔබ දැනගත් දේ මිතුරන්ටත් දැනගන්න මේ ලිපිය ඔවුන් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගියා….

එහෙනං අපි ගියා (Rex Features)

එහෙනං අපි ගියා (Rex Features)

කවරයේ පින්තුරය: businessinsider.com 

Related Articles