ශක්තිජනක පාන භාවිතා කරන ඔබ මේ ගැන දැන සිටියාද?

ශක්තිජනක පාන කියන්නේ ශක්ති උත්තේජක එනම් කැෆේන් අඩංගු, වෙළඳ දැන්වීම් වලට අනුව මානසික සහ ශාරීරික උත්තේජයක් ලබාදෙන පාන වර්ගයක්. නිශ්පාදන වට්ටෝරු අනුව අංගාර හෙවත් කාබනේට්, සීනි හෝ රසකාරක, ශාකසාර සහ ඇමයිනෝ අම්ල මේවායේ අඩංගු කෙරෙනවා.

ශක්තිජනක නිශ්පාදන යන කුලකයට අයත් නමුත් මේවා ක්‍රීඩා සඳහා භාවිතා කෙරෙන ග්ලූකෝස් වැනි ශක්තිජනක නිශ්පාදන වලින් වෙනස් වෙන්නේ නිදිමත නැතිකිරීම සහ එකතැන හිඳගෙන මොළය වෙහෙසන අයට වඩාත් උචිත වීමෙනුයි. කැෆේන් තිබුණත් කෝපි සහ තේ මෙන්ම කෝලා යන කොළ වර්ගයෙන් නිපැයෙන පානවර්ගද මේ ගණයෙහිලා සැලකෙන්නේ නැහැ.

හාමිනේට නැටූ තොවිලය බැළලිට හරිගියා වගේද?

(Thambaru Wijesekara)

(Thambaru Wijesekara)

එක දේකට තියෙන දෙයක් තව ඒවා ගොඩකට පාවිච්චි කරන්න, ඕනෑම දෙයක් බහුකාර්ය දෙයක් කරවන්න අපිට තියෙන්නේ පුදුම හැකියාවක්නෙ. ඉගෙන ගන්න, පණිවිඩ හුවමාරු කරන්න තියෙන අන්තර්ජාලය වෙන දේවල් වලට යොදාගෙන ගූගල් එකේ අංක එකට ඇවිත්, කැස්සට දීපු බේත මත් වෙන්න අරගෙන ජාත්‍යන්තරේට ගියා වගේ මුල් කාලයේ වෙන රටවලත් වෙනත් රෝගවලට තිබෙන බෙහෙත් ශක්ති උත්තේජනය සඳහා භාවිතයට ගත්තා.

ප්‍රබල මධ්‍ය ස්නායු පද්ධති උත්තේජක ඖෂධයක් වන ඇම්ෆෙටමීන් උදාසීන බව ඇති කරන රෝග, නිද්‍රාලුව සහ ස්ථුලතාව සඳහා යොදා ගැනෙන්නක්. ලෝක යුද්ධයට පසු කාලයේ 1950දී පමණ මෙය ඉතා බහුලව භාවිතා වූවක් වන අතර අනතුරුව නීතියෙන් තහනම් කරනු ලැබුවා. ඉන්පසු  ඇමරිකාවේදී ජෝන් පෙම්බර්ටන් විසින් මෝර්ෆීන් සඳහා ඇබ්බැහි බව නැති කරගන්නට කෝක වයින් නම් කොකේන් සහ කැෆේන් අඩංගු ඖෂධයක් තැනූ අතර පසුව එය කෝක කෝලා නමින් වෙළඳපොළට ද ඉදිරිපත් කරනු ලැබුවේ හිසරදය සහ අධික වෙහෙස නැති කරන පානයක් බව සඳහන් කරමිනුයි. එහෙත් පසුව නීතිය හරහා එහි මත්ද්‍රව්‍ය ඉවත් කරලූවා.

ඉතිහාසය

(adbranch.com)

(adbranch.com)

මත්වීමකින්, සිහිවිකල් වීමකින් තොරව අවධානය ස්ථාවර කරවීම, නිදිමත හා කම්මැලි බව නැති කරමින් එදිනෙදා කටයුතු සඳහා පහසුවක් වන ආකාරයේ පාන ජීවිත කාර්යබහුල වීමට පටන් ගැනීමත් සමඟ අවශ්‍යතාවයක් බවට පත්වුණා.

1819 වර්ෂයේදී ෆ්‍රයිඩ්ලිබ් ෆර්ඩිනන්ඩ් රන්ජ් විසින් කැෆේන්වල රසායනික සංයෝගය හඳුනාගැනීමට සමත්වූ නිසා ඉන්පසු ඖෂධ වර්ග වල, පෙති සහ පාන වර්ගවල කැෆේන් අඩංගු කරවීමට හැකියාව ලැබුණා. පසුව 1949දී චිකාගෝවේ රසායන විද්‍යාඥයෙක් විසින් ඩොක්ටර් ඊනෆ් (Dr. Enuf) නමින් කැෆේන් සහ විටමින් අඩංගු පානයක් නිපැයූවා. එයට හොඳ වෙළඳපොළක් නොලැබුණත් තවමත් එම නිශ්පාදනය ලොව පුරා තිබෙනවා.

තයිශෝ නම් සමාගමක් විසින් 1962 වර්ෂයේදී ලිපෝවයිටන් D නමින් නීත්‍යානුකූල, ශක්තිජනක පානයක් හඳුන්වාදුන් අතර එ්වා කුඩා බෝතලවල විකුණනු ලැබුවා. 1980 කාලයේදී බහුලව විටමින් වලින් පරිපූර්ණ අධි කැෆේන් පරිමාවක් සහිතව තැනූ පාන වර්ග ජපානයේ භාවිතා වුණා.

1980 පමණ වෙද්දී සෝඩා පාන වර්ගද කෝපි ප්‍රතිස්ථාපනය කරවමින් ශක්තිජනක පාන ලෙස වෙළඳ ප්‍රචාරණය කළ අතර “සීනි වැඩිපුර සහ කැෆේන් දෙගුණයෙන්”, කෝක කෝලා “උදේට Coca-Cola ගන්න” ලෙසින් සහ පෙප්සි විසින් කෙටි කලක් පමණක් නිපැයූ උදෑසන නිශ්පාදනයක් ලෙස “Pepsi A.M.” ගෙන ආවා.

ඉතින් මේවා ඇත්තටම ශක්තිජනකද?

(mendaily.com)

(mendaily.com)

ශක්තිජනක පාන කැෆේන්වලින් ලැබෙන වාසි සහ ඒවා බොහොමයක අඩංගු අනිකුත් අමුද්‍රව්‍ය වන ටෝරීන්, විටමින් B පිළිබඳව සඳහන් කරමින් තමන්ගේ පානයේ අසමසම ගුණයක් ඇතැයි වෙළඳ ප්‍රචාරණයේ යෙදෙනවා.

සෞඛ්‍ය ප්‍රවීණයින් තහවුරු කරන පරිදි කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග වලින් තේ, කෝපි හරහා ලැබෙන වාසිම ලැබෙන අතර එක් පානයකින් ශරීරගතවන ප්‍රමාණය වැඩි නිසා ඒවායේ බලපෑම වැඩි වෙනවා. ටෝරීන් සහ විටමින් B වලින් පරිවෘත්තීය ක්‍රියා දැමෙන අතර ඒ හැරුණු විට එකම අමුද්‍රව්‍ය හා ප්‍රමාණ ඇති පාන වර්ග අතර විශේෂ වෙනසක් ශරීරයට ලැබෙන්නේ නැහැ.

වෙළඳ ප්‍රචාරණය

(medicaldaily.com)

(medicaldaily.com)

ක්‍රීඩා තරග, සංගීත සන්දර්ශන බෙහෙවින් පාදක කරගන්නා ශක්තිජනක පාන සමාගම් වැඩිපුරම තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් වෙළඳ ප්‍රචාරණය කරනු ලබනවා. මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට අවසර නැති කුඩා වයස් විශේෂයෙන් මේවාට පොළඹවා ගනු ලබන අතර නූතනයේ බහුලව පරිගණකාශ්‍රිත තරගවලදී පවා අනුග්‍රහය ලබාදෙමින් මෘදුකාංග සංවර්ධකයන් වැනි පරිගණක සමඟ කටයුතු කරන අයව ඉලක්ක කොට ඇති බවද පෙනී යනවා.

ඒ සඳහා ඔවුන් භාවිතා කරන වැකි අතර “මෙය පානයෙන් අත්තටු ලැබේ”, “විද්‍යාත්මක සූත්‍ර හරහා නිශ්පාදිතයි”, “අධික ශක්තියක් ගෙනදෙන නිස්සාරණයක්” ආදිය දකින්නට තිබෙනවා.

සෞඛ්‍ය අවධානම

(ytimg.com)

(ytimg.com)

යුරෝපීය ආහාර සුරක්‍ෂිතතා අධිකාරිය විසින් සඳහන් කරන පරිදි සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට නිර්දේශිත උපරිම කැෆේන් ප්‍රමාණය මිලිග්‍රෑම් 400ක් වන අතර අධි සාන්ද්‍රිත බව නිසා එම මට්ටම ඉතා ඉක්මණින් ඉක්මවීමට ශක්තිජනක පාන වර්ගවලට හැකියාව තිබෙනවා. කැෆේන් වලින් හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය ඉහළ දමන නිසා වැඩිමහළු සහ හදවත් රෝග වලින් පෙළෙන අයට ශක්තිජනක පාන වර්ග වැඩිපුර පානය කිරීම නුසුදුසුයි. අධි රුධිර පීඩනය ඇති අයටද මේ හරහා අධ්‍යාතතිය හෝ හෘදයාබාධ ඇතිවීමේ වැඩි ඉඩකඩක් තිබෙන නිසා අඩු කාලයක් තුළ වැඩි වශයෙන් ශරීරගත කිරීමෙන් වැළකී සිටීම වැදගත්.

කැෆේන්වල ඇති නින්ද වළකාලීමේ හැකියාව නිසා සවස් භාගයේ හෝ රාත්‍රියේදී වැඩිපුර එය ශරීරගත කරගැනීමෙන් නිදාගැනීමේ අපහසුතාද කල්යාමේදී එය නින්ද යෑමේ අඩුකම නිසා අධික වෙහෙස, සාංකා ගතිය, හිසරදය සහ  වැනි දේටද බලපානවා. ශක්ති උත්තේජනය හරහා සිත එක්තැන්ව අවධානය ඒකාකාරීව පවත්වාගත හැකි වුවත් සිතුවිලිවල වේගය ඉහළ යන නිසා කථා කිරීමේදී හෝ කථා පැවැත්වීමේදී ගොත ගැසෙන ස්වභාවයක් ඇතිවිය හැකියි.

අධිකව සීනි අන්තර්ගතවීම නිසා පානයෙන් පසු කට සෝදා දැමීම හෝ දිනපතා මුඛ සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් පිළිනොපැද්දොත් දත් අමාරු ඇතිවිය හැකි අතර රුධිර සීනි මට්ටම ඉහළ යාම මඟින් දියවැඩියා රෝගයෙන් පෙළෙන අයට අවධානම් තත්ව ඇතිවිය හැකියි. මේවා හැරුණාම ඇබ්බැහිවීම්, වමනය, ආසාත්මිකතා, කැළඹිලි සහිත බව ආදිය ඇතිවෙන්න පුළුවන් නමුත් “ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ” න්‍යායෙන් අවශ්‍ය විට අවශ්‍ය ප්‍රමාණයට පමණක් පානය කළොත් අනවශ්‍ය ලෙඩ දාගන්නේ නැතිව මේ පානවල උපරිම ප්‍රයෝජනය ලබාගත හැකි වේවි.

මූලාශ්‍ර: caffeineinformer.com, jezebel.com, The New York Times, Wikipedia, wallstreetinsanity.com

කවරයේ පින්තූරය: medicaldaily.com

Related Articles