Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩිජෙරිඩෝ: ජනප්‍රියත ම ඇබොරිජින් සංගීත භාණ්ඩය

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ආදිවාසී ජන කොට්ඨාසය ඇබොරොජින් යන නමින් හඳුන්වනවා. වසර 80,000ක් තරම් ඈත අතීතයක සිට පැවත එන මෙම ජන කොට්ඨාසය සතු ව අපූරු සංස්කෘතියක් තිබෙනවා. එම සංස්කෘතියට අයත් උත්සව බොහොමයක් තවමත් ඇබොරිජින් ගම්මාන ආශ්‍රිත ව පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගි වන ඇබොරිජින් පිරිමි සහ කාන්තාවන් නටමින්, ගයමින් විනෝද වන්නට අමතක කරන්නේ නැහැ.

එවැනි උත්සව සඳහා සංගීතයය ලබා දීමට ඔවුන් භාවිත කරන සංගීත භාණ්ඩ කිහිපයක් තිබෙනවා. ඒ අතුරින් ප්‍රධාන  සංගීත  භාණ්ඩය වන්නේ ඩිජෙරිඩෝ නම් උපකරණ යි. අමුතු ම ආකාරයේ ශබ්දයක් නිකුත් කරන එම සංගීත භාණ්ඩය ඇබොරිජින් ජනයා අතරට ඉතාමත් ජනප්‍රිය යි. මේ ඔබට කියන්න යන්නේ ඩිජෙරිඩෝ නම් සංගීත භාණ්ඩය පිළිබඳව අපූරු තොරතුරු යි.   

ඩිජෙරිඩෝ සංගීත භාණ්ඩයේ ඉතිහාසය

මෙම සංගීත භාණ්ඩයේ ආයු කාලය පිළිබඳ ව තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නැහැ. උතුරු ඕස්ට්‍රේලියාවේ මීට වසර 40,000කට පමණ පෙර ජීවත් වුණු ඇබොරොජින්වරුන් ඩිජෙරිඩෝ සංගීත භාණ්ඩය මුලින් ම භාවිත කරන්නට ඇති බවට විශ්වාසයක් පවතිනවා. ඇබොරිජින්වරුන් මෙම සුවිශේෂී සංගීත භාණ්ඩය භාවිත කළ බවට ඕස්ට්‍රේලියාවේ පාෂාණ චිත්‍ර සාක්ෂ්‍ය දරනවා.

උතුරු ඕස්ට්‍රේලියාවේ කකාඩු ප්‍රදේශයෙන් හමු වුණු වසර 1000ක් පමණ පැරණි පාෂාණ චිත්‍රවල ඩිජෙරිඩෝ වාදකයකු දැක්වෙනවා. ඒ වාගේම ආන්හැම් ලෑන්ඩ් සානුවෙන් හමුවුණු චිත්‍රවල ද ඩිජෙරිඩෝ සංගීත භාණ්ඩය වාදනය කරන ආදිවාසියකු නිරූපණය වෙනවා. එමඟින් පැහැදිලි වන්නේ මීට වසර 1000කට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණු ඇබොරොජින්වරුන් ඩිජෙරිඩෝ සංගීත භාණ්ඩය සුලබ ව භාවිත කරන්නට ඇති බව යි. 

උතුරු ඕස්ට්‍රේලියාවේ පාෂාණ සිතුවමක් – didgeridooaustralia.com.au

 

සෑදීම සඳහා භාවිත කරන ද්‍රව්‍ය 

මුල් යුගයේ දී ඩිජෙරිඩෝ සංගීත භාණ්ඩය සෑදීම සඳහා වේයන් සිදුරු කළ යුකැලිප්ටස් අතු භාවිත කළ බව පැරණි මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ වාගේම පසු කලෙක උණ බම්බු, අග්ගා සහ යුකා දැව ඩොජෙරිඩෝ භාණ්ඩය සෑදීම සඳහා භාවිත කළා. වර්තමානය වන විට එය සෑදීම සඳහා අවශ්‍ය වන දැව සොයා ගැනීම තරමක් අසීරු කාර්යයක් බවට පත්ව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩිජෙරිඩෝ භාණ්ඩය සෑදීම සඳහා කෘත්‍රිම ද්‍රව්‍යය භාවිත කරනවා. ඒ අනුව අද වන විට වීදුරු, ෆයිබර්ග්ලාස්, ලෝහ, PVC බට, මැටි වැනි ද්‍රව්‍ය භාවිත කරමින් ඩිජෙරිඩෝ භාණ්ඩ නිර්මාණය කරනවා. 

ෆයිබර්ග්ලාස් භාවිත කර සෑදූ ඩිජෙරිඩෝවක් – youtube.com

සාම්ප්‍රදායික ඩිජෙරිඩෝ භාණ්ඩයක් සාදන ආකාරය 

සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ඩිජෙරිඩෝ උපකරණයක් සෑදීම සඳහා සැලකිය යුතු තරම් කාලයක් ගත වෙනවා. නවීන ආකාරයේ ඩිජෙරිඩෝ උපකරණයක් සෑදීම සඳහා එතරම් කාලයක් ගතවන්නේ නැහැ.  ඒ අයුරින් සම්ප්‍රදායික සහ නවීන යන ආකාර දෙකට ම ඩිජෙරිඩෝ  භාණ්ඩය සෑදුවත් ඇබොරිජින්වරුන් වඩාත් ප්‍රිය කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට සාදන ඩිජෙරිඩෝ භාණ්ඩයට යි. සාම්ප්‍රදායික ක්‍රමයට මෙය නිර්මාණය කිරීමේ දී  පියවර 5ක් අනුගමනය කරනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් දක්වා තිබෙනවා.

සුදුසු දැව කොටයක් තෝරා ගැනීම 

ඩිජෙරිඩෝ භාණ්ඩයක් සෑදීම සඳහා දැව කොටයක් තෝරා ගැනීම තරමක් අසීරු කාර්යයක්. එහි දී ඇබොරිජින්වරුන් වනයේ ඇවිදිමින් භාණ්ඩය සෑදීම සඳහා අවශ්‍ය ගස් සෙවීම සිදුකරනවා. එම කාර්යයේ දී සුදුසු ගස් සොයා ගැනීම සඳහා ඔවුන් උපක්‍රමයක් භාවිත කරනවා. ඒ ගස්වලට තට්ටු කරමින් වේයන් සිදුරු කළ යුකැලිප්ටස් ගස් සෙවීම යි. ඩිජෙරිඩෝ සෑදීම සඳහා සුදුසු  යුකැලිප්ටස් ගස් අඳුනා ගැනීමෙන් පසුව ඒවා කපා කඳ කොටස්වලට කපා වෙන් කර ගන්නවා. 

 යුකැලිප්ටස් දැව කඳන් – wakademy.online

 

දැව කඳන් වියළා ගැනීම 

දැව කඳන් කොටස්වලට වෙන්කිරීමෙන් පසු ව ඒවා අවශ්‍ය පරිදි හොඳින් වියළා ගැනීම සිදු කරනවා. ඒ සඳහා වාතයේ වියළීම සහ උදුන් මත වියළීම යන ක්‍රම දෙක ම භාවිත කරනවා. එහි දී දැව කඳන් අවම වශයෙන් මාස 12ක පමණ කාලයක් වත් වියළා ගැනීම අත්‍යවශ්‍ය යි.  එසේ නොවුණොත් උපකරණයේ ගුණාත්මක බවට හානියක් සිදුවෙනවා. ඒ වාගේම දැව කඳන් මාස 18ක පමණ කාලයක් වියළා ගත හැකි නම් තත්ත්වයෙන් උසස් ඩිජෙරිඩෝවක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. 

අවශ්‍ය ප්‍රමාණයට දැව කොටස් කපා ගැනීම 

දැව කඳන් පදමට වියළා ගැනීමෙන් පසුව ඒවා අවශ්‍ය ප්‍රමාණයට කපා වෙන් කර ගත යුතු යි. ඉතාමත් ප්‍රවේශමෙන් එම කාර්යය සිදු කළ යුතු යි. එසේ නොවුණොත් කපාගන්නා දැව කඳන්වල දෝෂ ඇතිවෙනවා. එවිට බලාපොරොත්තු වන තත්ත්වයේ ඩිජෙරිඩෝ භාණ්ඩයක් නිර්මාණය කිරීමට හැකිවන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඩිජෙරිඩෝවකක් අඩි 4-5ක පමණ දිගකින් යුක්ත යි. අඩි 8-10 තරම් දිගකින් යුත් ඩිජෙරිඩෝ ද වෙළෙඳපොළේ දක්නට ලැබෙනවා. ඒ අනුව ඩිජෙරිඩෝව සාදන පුද්ගලයා තමන්ට අවශ්‍ය තරම් දිගකට දැව කොටස් වෙන් කර ගන්නවා.

ඇතුළත සහ පිටත සකස් කිරීම 

ඩිජෙරිඩෝ භාණ්ඩය සකස් කිරීමේ දී වඩාත් දුෂ්කර පියවර වන්නේ එහි ඇතුළත කොටස සකස් කිරීම යි. මෙම සංගීත භාණ්ඩයේ ඇතුළත කොටසේ වායු කම්පනය වීම මඟින් ශබ්දය නිපදවන නිසා ඉතාමත් සීරුවෙන් ඇතුළත දැව කොටස් ඉවත් කළ යුතු යි. එසේ නොවුණොත් අපේක්ෂිත ශබ්දය එමඟින් ලැබෙන්නේ නැහැ. එනිසා ඩිජෙරිඩෝ තනන්නන් සිහි කල්පනාවෙන් ඇතුළත දැව කොටස් ඉවත් කිරීම සිදුකරන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්.

අවශ්‍ය තරමට ඇතුළත දැව කොටස් ඉවත් කිරීමෙන් පසුව එහි පිටත කොටස සුමට කරගන්නවා. එහි දී ලීයේ පළුදු වුණු තැන් සකස් කරගැනීම ද සිදුකරනවා. එමඟින් ඩිජෙරිඩෝවට ආකර්ශනීය පෙනුමක් ලැබෙනවා. 

ඇතුළත කොටස සකස් කිරීම – wakademy.online

නිමාව 

ඕනෑම සංගීත භාණ්ඩයකට ආකර්ශනීය පෙනුමක් ලැබීමට එහි හොඳ නිමාවක් තිබීම අනිවාර්ය යි. එනිසා ඇතුළත සහ කොටස් මනාව නිම කළ ඩිජෙරිඩෝ භාණ්ඩයක් වර්ණ ගන්වනවා. එහි දී නිර්මාණකරුවන් ඩිජෙරිඩෝවේ පිටත කොටස අලංකාර කිරීම සඳහා විවිධ කැටයම් යොදා ගන්නවා. සියුම් කැටයම් යොදා ඇති ඩිජෙරිඩෝවක් සාමාන්‍ය ඩිජෙරිඩෝවකට වඩා මිලෙන් බොහෝ වැඩි යි. 

කැටයම් යොදා ඇති ඩිජෙරිඩෝ කිහිපයක් – perthdailyphoto.blogspot

 

වාදනය කරන ආකාරය

ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කිරීම සඳහා ශිල්පීය ක්‍රම ප්‍රගුණ කළ යුතු යි. ඒ වාගේම මෙම භාණ්ඩය වාදනය කිරීම සඳහාත් එවැනි ක්‍රම අනුගමනය කරනවා. මුඛයෙන් පිට කරන වාතයෙන් මෙහි ශබ්දය උපදින නිසා විශේෂිත ක්‍රමවලට අනුව හුස්මගැනීම සිදු කළ යුතු යි. ඩිජෙරිඩෝ වාදකයන් භාවිත කරන වඩාත් ජනප්‍රිය ශිල්පීය ක්‍රමය වන්නේ වෘත්තාකාර හුස්ම ගැනීමේ ක්‍රමය යි.

ඩිජෙරිඩෝ වාදනයක් 

එහි දී නාසය හරහා හුස්ම ගැනීම අවශ්‍ය වන අතර කම්මුල්වල මාංශ පේශී භාවිත කරමින් කම්මුල් සම්පීඩනය කර මුඛයෙන් ගබඩා කර ඇති වාතය පිට කිරීම කළ යුතු යි. මෙම ශිල්පීය ක්‍රමය භාවිත කිරීමෙන්, දක්ෂ වාදකයකුට ඔවුන්ගේ පෙණහලුවල වාතය නැවත පිරවිය හැකි අතර, මනා පුහුණුව මගින් වැඩි වේලාවක් අඛණ්ඩව වාදනයේ යෙදිය හැකි යි. ඒ අයුරින් මනා පුහුණුවක්  ලද වාදකයන් මිනිත්තු 40කට වැඩි කාලයක් අඛණ්ඩව වාදනයේ යෙදෙන ආකාරය දැක ගන්නට පුළුවන්. 

ඩිජෙරිඩෝ වාදකයෙක් (youtube.com)

ඩිජෙරිඩෝ සංගීතය ලෝක ප්‍රසිද්ධ වුණු අවස්ථා 

ඇබොරිජින්වරුන් නිර්මාණය කරන ඩිජෙරිඩෝ සංගීත භාණ්ඩයෙන් නිකුත් වන අපූරු ශබ්දය නිසා සමහර ලෝ ප්‍රකට සංගීත නිර්මාණකරුවන් සිය නිර්මාණ සඳහා මෙම සංගීත භාණ්ඩය යොදා ගෙන තිබෙනවා. ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු වාදකයකු වන චාලි මැක්මහොන් මෙම භාණ්ඩය ලොව පුරා ජනප්‍රිය කිරීමට මුල් වුණු එක් පුද්ගලයෙක්. ඔහු ඩිජෙරිඩෝව වාදනය කරන ශෛලිය සාමාන්‍ය ඇබොරොජින් වාදන ශෛලියට වඩා තරමක් වෙනස්.

චාලි මැක්මහොන් සහ ඔහුගේ ඩිජෙරිඩෝව – katoombamusic.com.au

 

බ්‍රිතාන්‍ය ළමා රූපවාහිනි කතා මාලාවක් වන බ්ලූ පීටර් හි ඇතැම් අවස්ථා සඳහා ඩිජෙරිඩෝ සංගීතය යොදා ගෙන තිබුණා. ඒ වාගේම ‘දිල් චාතා හේ’ චිත්‍රපටයේ “Jaane Kyon” ගීතය සඳහා ද මෙම සංගීතය යොදාගෙන තිබුණා. නවසීලන්ත රොක් සංගීත කණ්ඩායමක් වන Like a Storm  හි ප්‍රධාන ගායකයා වන ක්‍රිස් බෘක්ස් ඔවුන්ගේ ඇල්බමයක් වුණු Chaos Theory හි සමහර ගීත සඳහා ඩිජෙරිඩෝ සංගීතය ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. ඕස්ට්‍රේලියානු සංගීතඥයෙකු වන රොල්ෆ් හැරිස් The Dreaming නම් ඇල්බමයේ සමහර ගීත සඳහා ඩිජෙරිඩෝ සංගීතය මුසු කොට තිබුණා. ඒ අනුව පසුගිය දශක කිහිපය තුළ ඩිජෙරිඩෝ සංගීතය ලෝ ප්‍රකට සංගීත නිර්මාණ සඳහා යොදා ගත්තා. 

කවරයේ ඡායාරූපය- ඩිජෙරිඩෝ වාදකයෙක් - pinterest.com

මූලාශ්‍ර: 

hellomusictheory.com 

walkaboutpark.com.au 

wakademy.online 

aboriginalart.com.au 

Related Articles