Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බොහෝ දෙනා නොහඳුනන පොල් වතුර හා තෙල් වල ගුණ

ශ්‍රී ලාංකිකයන්ගෙන් පොල් වතුර බොන්නට කැමතිද ඇසුවොත් පොල් වතුර බීමෙන් ‘මෝඩ වෙනවා’ යැයි කියන අය ද තවමත් අපට සමාජයේ මුණ නොගැසෙනවා නොවේ. ඒ වගේම අපේ රටේ බොහෝ සාම්ප්‍රදායික ආහාර වර්ග පිලියෙළ කිරීමට බැදුම් තෙල වශයෙන් පොල් තෙල් යොදාගෙන ඇත්තේ ඇයි දැයි යමෙකුගෙන් ඇසුවොත් බොහෝ විට අසන්නට ලැබෙන්නේ ඒ ලංකාවේ පහසුවෙන්ම සොයාගත හැකි තෙල් වර්ගය නිසා කියන එකයි. ‘මෝඩ වීමේ’ කතාව හැරුණු විට අනෙක් කතාවේ ඇත්තක් තිබුණත් පැරැන්නන් මේවා යොදා ගැනීමට ඊට වඩා ගැඹුරු හේතු තිබුණා. වර්තමානයේ වගේ විද්‍යාත්මක අතින් දැනුමක් නොතිබුණාට අත්දැකීමෙන් හෝ පුරාණ වෛද්‍ය කර්ම අනුව පැරැන්නන්ට මේවායේ සෞඛ්‍යමය වාසි ගැන යම් අවබෝධයක් තිබුණා. නවීන තාක්ෂණය හා දැනුම සමඟ අද අපිට ඒවායේ විද්‍යාත්මක පසුබිම පහදන්න පුළුවන් වෙලා.

pixabay.com

පොල් වතුර බීමෙන් ලැබෙන වාසි

අපේ රටේ බොහොමයක් දෙනා තැඹිලි වතුර වල ගුණ දැනගෙන සිටියත් පොල් වතුර වල තත්වය නම් ඊට වෙනස්. බොහෝ බටහිර හා ඈත පෙරදිග රටවල සෞඛ්‍යමත් පානයක් ලෙස පොල් වතුර පාවිච්චි කරද්දී ඒවායින් විවිධ බීම වර්ග නිෂ්පාදනය කරද්දී ලංකාවේ පොල් වතුර ආප්ප මිශ්‍රණ වගේ දෙයකට ගැනීම හැරුණු කොට කාණු පල්ලේ පල් වෙනවා. ඇත්තෙන්ම මේ ඉවත දැමෙන්නේ තැඹිලි වතුර හා සමානම ගුණයකින් යුත් වටිනා දියරයක්.

පොල් වතුර කෙතරම් වටිනා පානයක් වුණත් ලංකාවේ කාණු වල පල් වෙනවා-Philstar.com

පොල් වතුර ද තැඹිලි මෙන්ම සරළ සීනි සහිත, ශරීරයේ අයන තුලිතතාවය ඇති කරන අයන වලින් සපිරි පානයක්. පොල් වතුර සතු සයිටොකයනින නිසා ශරීරය වෘද්ධියට පත් වීම, පිළිකා ඇතිවීම හා රුධිර කැටි ඇති වීමත් පාලනය කරනවා. ඒ වගේම අතීසාරය වැනි රෝග වලින් පෙලෙන්නන්ට ද පොල් වතුර ලබා දෙන්නේ විජලනයෙන් ආරක්ෂා කර ගන්නට. මෙහි ඇති ඇමයිනෝ අම්ල, එන්ස‍යිම, ඛණිජ ලවණ සහ මේද අම්ල මඟින් ඉහළ පෝෂණ ගුණයක් ලබා දෙන අතර, අයන තුලිත කිරීම ද  සිදු වන නිසා මෙසේ රෝගියාට සහනය සලසනවා.

පොල් වතුර වල විවිධ පරිවෘත්තීය ක්‍රියාවලට හා ජීර්ණ ක්‍රියාවලියට උදව් වන විවිධ එන්සයිම් වර්ග අන්තර්ගත වෙනවා. මේ පොල් වතුර  කැල්සියම්, යකඩ, මැංගනීස්, මැග්නීසියම් සහ zසින්ක් වැනි ඛණිජ ලවණ වලින්ද අනූණ යි. ඒ වාගේම විටමින් බී සංකීර්ණයට අයත් රයිබොෆ්ලේවීන්, නි‍යැසින්,තයිමින්, පිරිඩොක්සීන් සහ ෆෝලේට මෙහි යහමින් අන්තර්ගත යි.

පොල් වතුර වල විශේෂයෙන් ඉතා විශාල වශයෙන් පොටෑසියම් අයනය තිබෙනවා. ශරීරයේ ස්නායු සෛල වැනි විවිධ පටක වල ක්‍රියාකාරීත්වය සඳහා පොටෑසියම් නැතුවම බැරි අයනයක්. පොල් වතුර මිලි ලීටර 100ක  මිලි ග්‍රෑම් 250ක පොටෑසියම්ද 105 ක සෝඩියම්ද අන්තර්ගත වෙනවා. මීට අමතරව මෙහි සුළු වශයෙන් විටමින් සී ද අන්තර්ගත වෙනවා.

පිටරට වල පොල් වතුරෙන් නිපදවෙන විවිධ පාන වර්ග-lionheartagrotech.com

තවත් විශේෂම දෙයක් වන්නේ පොල් වතුර කෙරෙහි අසාත්මිකතා දක්වන්නන් සාමාන්‍යයෙන් හමු නොවීමයි. මේ නිසා වෛද්‍යවරු විසින් පොල් වතුර අසනීප වී සිටින් විටදී හෝ ගර්භණී සමයේදී පානයට ගැනීම අනුමත කරනවා. සියල්ල සලකා බැලීමේ දී සිතා ගත හැක්කේ පොල් වතුර පාවිච්චි කිරීමෙන් මෝඩ වෙනවා කෙසේ වෙතත් අපතේ හැරීම නම් මෝඩ ක්‍රියාවක් බව යි.

පොල් තෙල් වල ඉතිහාසය

පුරාණ ශ්‍රී ලාංකිකයන් අනාදිමත් කාලයක සිට පොල්තෙල් සිය ආහාර පිළියෙල කිරීම් වලට යොදා ගන්නවා. විශේෂයෙන්ම අවුරුදු කැවිලි නිපදවීමේ දී නම් පොල් තෙල් නැතිවම බැරි දෙයක්. අද මෙන් විද්‍යාත්මක දැනුමක් නැති වුණත් පැරැන්නන්ට මේ තෙළේ වටිනාකම හා සෞඛ්‍යමත් භාවය පිළිබඳ යම් අවබෝධයක් තිබුණා. නැණ පමණින්, විශේෂයෙන් අවුරුදු සමයේ හා ආප්ප වැනි දේ පිසීමට භාවිතා කළත් ඔවුන්ට ලෙහෙසියෙන් කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ වැළඳුණෙ නැහැ. පොල් තෙලින් බදින ලද කැවුම් වැනි දෑ වල වැඩි ශක්තියක් සංචිත වන බවත්, දිගු කාලයක් කල් තබා ගැනීමට හැකි බවත් එකළ කය වෙහෙසා වැඩ කළ ජනතාව දැනගෙන සිටියා.

පොල් තෙලේ බදින කොණ්ඩ කැවුම් හොඳ ශක්ති සංචිතයක්-youtube.com

පොල් තෙල් පිසින තෙලක් ලෙස

පොල් තෙල් වල පෝෂ්‍ය ගුණය ඉහළ යි. ඒ මඟින් ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල යුහුසුළුව ලබා දෙනවා. මෙමඟින් මේද ද්‍රාව්‍ය විටමින වන විටමින් ඒ, ඩී, ඊ හා කේ ශරීරයට උරාගැනීම සඳහා අවශ්‍ය මාධ්‍ය සපයනවා.

පොල් තෙල් කියන්නේ ශාක ප්‍රභවයකින් පැමිණුනත් සංතෘප්ත මේදය සම්පූර්ණ මේදයෙන් 82% ක් පමණ ඉතා ඉහළ අගයක් ගන්න පිසින තෙලක්. බැලූ බැල්මට මෙය ඉතාම සෞඛ්‍යට අහිතකරයි වාගේ පෙණුනත් ඇත්ත කතාව ඊට වඩා ටිකක් වෙනස් එකක්. ඒ කුමක් වුණත් ඕනෑම පිසින තෙල් වර්ගයක් භාවිතා කිරීමේ සීමාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් සංතෘප්ත මේදය ආහාරයට එක් කර ගැනීමේ දෛනික නිර්දේශිත අගය කාන්තාවකට ග්‍රෑම් 20ක් හා පුරුෂයෙකුට ග්‍රෑම් 30ක්. පොල්තෙල් තේ හැඳි දෙකක සංතෘප්ත මේදය ග්‍රෑම් 25ක් අන්තර්ගත වෙනවා.

පොල් තෙල් වල සංතෘප්ත මේදය ප්‍රතිශතය ඉතා වැඩි වුණත් එයින් බාගයක් පමන මධ්‍යම ප්‍රමාණයේ මේද අම්ල වලින් යුක්ත නිසා වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් හෙවත් ‘HDL ‘ වැඩි කිරීමටයි. මේ කාරණා දෙක සළකා බැලීමේදී පෙනී යන්නේ පොල්තෙල් වැඩිපුර ගැනීම ශරීරයට අහිතකර වුණත් සුළු වශයෙන් ගැනීම හිතකර බවයි. අනෙක් අතට වැඩි සංතෘප්ත මේදයක් තිබීම නිසා මුඩු වීමේ වේගයත් අනෙක් ශාක තෙල් වලට වඩා අඩුයි.

popsugar.com

මධ්‍යම දිගින් යුතු මේද අම්ල ඉතා පහසුවෙන් දීර්ඝ ඒවාට වඩා පරිවෘත්තීය ක්‍රියා වලට ශරීරය විසින් යොදවාගන්නා නිසා අනෙකුත් තෙල් වර්ග වලට වඩා පොල් තෙල් නිසි පමණ පාවිච්චි කිරීමේ දී ශරීරය මහත් වෙන්නට තිබෙන සම්භාවිතාවය අඩු යි. මීට අමතරව පොල් තෙල් වල සැලකිය යුතු තරමේ ඉහළ ධූමාංකයක් තිබෙනවා. (ෆැරන්හයිට් අංශක 350 – 400 පමණ ) මේ නිසා ගැඹුරු තෙලේ බැදීම වැනි දෙයක දී  කෙටි දාම මේද අම්ල හා ශරීරයට අහිතකර මුක්තඛණ්ඩක සෑදීමේ සම්භාවිතාවත් අඩුයි. නමුත් එකම තෙල් නැවත නැවත බැදුම් වලට ගැනීම නම් නැණවත් දෙයක් නොවෙයි. එවිට ටිකෙන් ටික තෙල් වල මේද අම්ල හානි වී මුක්තඛණ්ඩක සෑදීමේ සම්භාවිතාව වැඩි වෙනවා.

පොල් තෙල් යොදා සෑදූ රූපලාවන්‍ය නිෂ්පාදනයක්-skinnyandcompany.com

ආහාරයට ගැනීමට අමතරව පොල් වතුර හා පොල් තෙල් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දීත් භාවිතා වෙනවා. විශේෂයෙන් පොල් වතුර සමේ තෙතමනය ආරක්ෂා කිරීමටද කුරුලෑ වර්ධනය අවම කර ගැනීම සඳහාද යොදා ගැනෙනවා. පොල් තෙල් හිසෙහි ගැල්වීමෙන් හිසකෙස් වල සෞඛ්‍ය ඉතා හොඳින් වර්ධනය කරගත හැකි වන්නේ එහි අඩංගු මේද අම්ල වල පෝෂ්‍ය ගුණය නිසයි.

කවරයේ පින්තූරය -thewashingtonpress.com

මූලාශ්‍ර

drgourmet.com

thecut.com

bbcgoodfood.com

nutrition-and-you.com

Related Articles