Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝ පතළ වුණු දුම්බර නිම්නයේ දුම්බර රටා

මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල දුම්බර නිම්න ප්‍රදේශයට ආවේණික සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙසයි  දුම්බර රටා සැලකෙන්නේ. මේ රටාවලින් සරසා  වියන දුම්බර පැදුරු සහ අත්කම් ඉතා අලංකාර නිමැවුම් බවට පත් ව තිබෙනවා. අනාදිමත් කාලයක සිට සම්ප්‍රදායික ක්‍රමවලට අනුව දුම්බර රටා වියන මේ කර්මාන්තය අස්පර්ශනීය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවක්සංස්කෘතික අමාත්‍යංශය යුනෙස්කෝ සංවිධානයට  පසුගිය දා ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාව යුනෙස්කෝ සංවිධානය ඉදිරියේ දී පිළිගැනීමට නියමිත යි. මේ දුම්බර රටාවල විශේෂත්වය සොයා ගිය ගමනක්.

 දුම්බර කලාලයක්- facebook

යුනෙස්කෝවට යෝජනාවක්

යුනෙස්කෝ වාර්ෂික සමුළුව පසුගිය දෙසැම්බර් මාසයේ  ප්‍රංශයේදී පැවැත්වුණා.  ශ්‍රී ලංකාවේ දුම්බර රටා පිළිබඳ යෝජනාව අධීක්ෂණය කර ඉදිරියේ දී සම්මත කිරීමට යෝජිත බව යි  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන) ටී.එන්. හෙට්ටිආරච්චි සඳහන් කර සිටින්නේ. 

යුනෙස්කෝ සංවිධානය මේ වනවිට ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම 8ක් ලෝක උරුම ලෙස නම් කර තිබෙනවා. තවත් උරුම තුනක් යෝජිත ලැයිස්තුවේ පවතිනවා. එයට අමතර ව ආරම්භ වුණු අස්පර්ශනීය උරුම අතරට 2018 දී අම්බලන්ගොඩ නූල් රූකඩ නාට්‍ය කලාවත් පිළිගැනීමට ලක් වුණා.

  දුම්බරා රටාවේ මොණරා – btoptions.lk

අස්පර්ශනීය සංස්කෘතික උරුම

අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යනුවෙන් අදහස් කරනුයේ යම් ප්‍රජාවක්, ජන කණ්ඩායමක් හෝ සමහර විටෙක පුද්ගලයන් සතු සංස්කෘතික උරුමයක් සමඟ බැඳුණු ව්‍යවහාරයන්, නිරූපණයන්, ප්‍රකාශනයන්, මෙන්ම දැනුම හා කුසලතා (මෙවලම්, භාණ්ඩ, කෞතුක වස්තු හා අවකාශයන් ද ඇතුළුව) යන සියලුම කරුණුයි.  මේවා වර්තමානය වන විට ශීඝ්‍රයෙන් විනාශ වී යන සංස්කෘතික දායාද බවට පත් වෙලා.

ඒ නිසා ලෝකය පුරා ඇති එවැනි පාරම්පරික උරුම වැනසී යා නොදී  ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම ලෙස නම් කිරීම සිදු කරනවා. අස්පර්ශනීය සංස්කෘතික උරුමය පිළිබඳ සම්මුතිය සඳහා රටවල් 178 ක් අත්සන් කර ඇති අතර එය 2006 වසරේ අපේ‍්ල් 20 වැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මේ වන විට යුනෙස්කෝව මගින් රටවල් 122 ක අස්පර්ශනීය සංස්කෘතික උරුම 618 ක් ලැයිස්තුගත කර තිබෙනවා.

 දුම්බර නිම්නය- btoptions.lk

දුම්බර රටා පැතිරීම

මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වසා පැතිරි පවතින දුම්බර කඳුවැටියේ පාමුල ඉතා මනරම් සොබා සෞන්දර්යයකට උරුමකම් කියන ගම්වැසියන් අතර තමයි දුම්බර රටා පැදුරු කර්මාන්තය පැතිර පවතින්නේ.  මාතලේ පල්ලෙසිය පත්තුවට අයත් මල්හෑව ප්‍රකට වී ඇත්තේ දුම්බර පැදුරු සඳහා යි. ඒ ගමේ වාසය කරන්නේ කුරුමුදලි පරපුරින් පැවත එන කින්නර පවුල් බවයි පැවසෙන්නේ.

උඩුදුම්බර කළුගල ප්‍රදේශයේ දුම්බර රටා කර්මාන්තයේ යෙදෙන පවුල් 40 ක් පමණ වෙසෙනවා. උඩ දුම්බර තලගුණේ ගම්මානය ආශ්‍රිත ව  දුම්බර රටා නිර්මාණ කරෙන්නේ කපුවලින්. ඔවුන් එය හඳුන්වන්නේ ‘කපු කලාව’ කියල යි. ඊට අමතර ව වර්තමානයේ මහනුවර දිස්ත්‍රික්කයේ, කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලාසිරි ග්‍රාමයේ පවුල් 120ක් පමණ ගෘහ කර්මාන්තයක් වශයෙන් දුම්බර රටා කර්මාන්තයෙහි නිරත ව සිටිනවා.

හණවලින් කෙඳි වෙන්කර ගනිමින්- facebook 

 

ඔවුන් හණ හෝ කපු නූල් සහ පන් වර්ග භාවිතයෙන් දස්කම් පාන්නට උගෙන ගන්නේ පාරම්පරික ඥානයෙන්. හණ කොළය තලා ලබා ගන්නා කෙඳිවලින් මෙන් ම ගල්ලැහැ සහ හැවන් පන්වලින් ද පැදුරු කර්මාන්යේ යෙදීම සිදුවෙනවා. හැවන් පැදුරු, හණ කලාල, බිත්ති සැරසිලි, පුටු කවර, චාමර, ගමන් බෑග්, ලිපිගොනු කවර, මේස පැදුරු ආදිය ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදන යි.

මේ කර්මාන්තය බාහිර ආයතනයක ප්‍රගුණ කිරීමකින් තොරව පරම්පරාවෙන් පරම්පරාවට තමයි උරුම වන්නේ. මේ නිසා කර්මාන්තය දන්නා වැඩිහිටියන් අහිමි වූ විට මෙවැනි කර්මාන්තත් ලෝකයට ම අහිමි වෙනවා. නූතන පරම්පරා වෙනත් රැකියාවලට යාම නිසා ක්‍රමයෙන් දුම්බර රටා කර්මාන්තයේ යෙදෙන සංඛ්‍යාව අඩුවීම සිදු වෙනවා. ඉතා සරල අතින් ක්‍රියාකරන උපකරණ කිහිපයකින් තමයි මේ කර්මාන්තය සිදුවන්නේ.

 පෝරුවේ වියන පැදුරක් – exploresrilanka.lk

ආනන්ද කුමාරස්වාමිගේ සඳහන

ආනන්ද කුමාරස්වාමි මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ දුම්බර කලාල ගැනත් සඳහන් කරනවා. ඔහු පවසන්නේ දුම්බර පැදුරු වියන්නේ කින්නර කුලයට අයත් ස්ත්‍රී පුරුෂයන් බව යි: පැදුරු වීවීමට භාවිත වන්නේ නියඳ ( හණ) කෙඳි යි. නියඳ පැළයේ පච්ච පැහැති වටකුරු කොළ එකතු කොට කඳක ( නියඳ පෝරුව) තබා සූරන තහඩුව වැනි දැවමුවා උපකරණයකින් සූරයි. මේ සීරීමෙන් නියඳ පත්‍රයේ මාංසල කොටස බැහැර වෙයි. කෙඳි ඉතිරි වෙයි. මේ කෙඳි තෙල් ගා පීරීමෙන් එවිට ම වාගේ වැඩට ගැනීමට සුදුසු වෙයි. මෙයින් කොටසක් සුදට ඉතිරිකොට, ඉතිරි හරියට රතු, කහ හෝ කළු සායම් යොදනු ලැබේ ( මධ්‍ය කාලීන සිංහල කලා -පරි. ඇල්ලේපොල එච්. එම්. සෝමරත්න).

 හණ ගස්- Sinhapawla.com

හණ ලබා ගැනීම

කර්මාන්තයට අවශ්‍ය හණ මාතලේ ඕවිලිකන්ද, රත්තොට, ගම්මඩුව වැනි ප්‍රදේශවලින් සපයා ගන්නවා. හැවන් පන් අම්පාර, පොළොන්නරුව වැනි දුරබැහැරින් ගෙන්වා ගැනීම සිදුවෙනවා. මේ සඳහා යොදා ගන්නේ අවුරුදු දෙකක් පමණ මේරූ හණ පත්‍ර යි. හණ දවසක් පමණ අව්වේ දමා වේලා තමයි පෝරු ලීයෙන් හා ගෑවිල්ලේ ආධාරයෙන් කෙඳි වෙන්කර ගන්නේ. කෙඳි සෝදා වියළා සායම්වල පොඟවා නිර්මාණවලට යොදා ගන්නවා. හණ පැදුරු වියන්නේ පෝරුව නම් සරල වියන යන්ත්‍රයෙන්. සමහරුන් කියන්නේ ලෝකයේ සරල ම වියන යන්ත්‍රය මෙය  .

දුම්බර පැදුරු වියන අතර කාන්සිය දුරලා ගැනීම සඳහා කවි ගායනයත් සිදුවුණා. මේ එවැනි ජන කවියක්:

හැමවිට කවි පදයක්    කියමින්නේ

ලොවටම වටිනා සින්දු බොලන්නේ

හෙට දවසට පැදුරක්  යහතින්නේ

 හොඳට දහිරි ලා වියන් ඉතින්නේ

 දුම්බර රටා යෙදූ බිත්ති සැරසිල්ලක්- exploresrilanka.lk

දුම්බර රටා

 මේ නිර්මාණවලට යොදාගන්නේ දුම්බර ප්‍රදේශයට ම සීමාවුණු පාරම්පරික රටා වර්ග යි.  අටපෙති මල, ලණු ගැටේ, පුන් කලස, ගස, කුරුල්ලා, අලියා, දිය රැල්ල, ලණුගැට කැරැල්ල, ගෙඩි මල, කිරිබත් කැටේ, තනිපට ලණුව, දෙපට ලණුව, ගල්බිංදුව, උඩැක්කි ලණුව, තොරන් පෙත්ත, පොල්මල් රටාව ඒ අතුරින් ප්‍රධානයි. ඊට අමරව අලියා, මොණරා, නාගයා, මුවා, තාරාවා, කුරුල්ලා වැනි සතුන් ද දුම්බර රටා ගොන්නේ සිටිනවා.

මේ රටා විවිධ ආකාරයට මිශ්‍ර කරමින් නිර්මාණවලට යොදා ගන්නවා. ඒ වගේ ම මේ රටා යොදා ගෙන නව නිර්මාණ කරන අවස්ථාත් දැකගත හැකි යි. මේ සියලු නිර්මාණ එකින් එකට ගොතමින් කරන නිසා, සෑම නිර්මාණයක් ම එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. එසේ එකින් එකට වෙනස් ව අතින් කරන නිසා තමයි දුම්බර රටාවලට ලෝකයේ ම ඉහළ පිළිගැනීමක් ලැබිලා තියෙන්නේ.

 අසරණ වුණු දුම්බර රටා වියන දෑත්- kiptra.com

දුම්බර රටා නිර්මාණකරුවන් අසරණයි

පසුගිය කොවිඩ් වසංගතයට පෙර දුම්බර රටාවලට විදේශිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් පැවතුණා. සංචාරක කර්මාන්තයේ පසුබෑමත් සමඟ මේ වෘත්තියේ යෙදෙන්නන් අසරණ වී සිටිනවා.  ඔවුන්ගේ ආදායම නතරවීම නිසා ගැටලු රැසක් පැනනැඟිලා. මේ හේතුව නිසා බොහෝ දෙනා මේ කර්මාන්තයෙන් ඈත් වෙමින් ඉන්නවා. වර්තමාන පරම්පරාව දුම්බර කර්මාන්තය කළාට ඔවුන්ගේ දූදරුවන් ඒ සඳහා එතරම් උනන්දුවක් නැතිවෙලා. 

ඔවුන් වෙනත් රැකියාවලට යොමුවීමට තමයි උනන්දු වන්නේ.  එසේ පාරම්පරික පවුල්වලින් මේ කර්මාන්තය ගිලිහී ගියහොත්  ලෝක උරුමයක් වුණු අපේ දුම්බර රටා ඉතා ඉක්මනින් අපෙන් ඈත් වෙලා යාවි. මේ කර්මාන්තයේ යෙදෙන බහුතරයක් පවසන්නේ එය රැකගැනීමට රජයේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව යි.

මේ සබැඳිය ඔස්සේ යුනෙස්කෝ වෙබ් අඩවියේ තිබෙන දුම්බර රටා ගැන කෙටි වාර්තා වැඩසටහනක් ඔබට බලන්න පුළුවන්:

 

කවරයේ ඡායාරූපය - දුම්බර පැදුරු වියමින් - kiptra.com 

මූලාශ්‍ර:

ඓතිහාසික මාතලේ - මාතලේ දිසා සංස්.මණ්ඩලය

මාධ්‍ය කාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි, පරි. ඇල්ලේපොල එච්. එම්. සෝමරත්න

Dinamina.lk

News.lk

Divaina.com

Unesco.org

Related Articles