කන්ද උඩරට වලව් ගැන කතාකරද්දී  අපි කාටත් මුලින්ම මතක් වෙන්නේ ඇහැලේපොළ වලව්ව කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ශ්‍රී  ලංකාවේ අන්තිමට රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ සිද්ධ වුණු සිදුවීම් ගණනාවක් කාලයේ වැලි තලා අස්සේ හැංගිලා යන්න නොදී රදවාගෙන ඉන්න අපුරු ස්ථානයක් තමයි මේ ඇහැලේපොළ වලව්ව.

ඉදිකිරිම සම්බන්ධ ඉතිහාසය

අතීතයේ රජවරු තමන්ට හිතවත් මැති ඇමතිවරුන්ට රජ මාළිගාව ආසන්නයෙන්ම වලව් තනවලා දීලා පදිංචි කරගෙන තියෙනවා. ඒ විදියට ඉදි උනාය කියන ඇහැලේපොළ වලව්ව රජ මාලිගයේ ඉදන් මිටර් දෙසීයක විතර දුරින් තමයි පිහිටලා තියෙන්නේ.  

ස්වර්ණ කල්‍යාණ වීදියට එහෙමත් නැතිනම් වර්තමානයේ රජ වී දියට මුහුණ ලා පිහිටි මේ ඇහැලේපොළ වලව්වත් කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ කාලයේ ඉදිවුවක් කියලයි ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ. රජකාලේ නුවර පිහිටලා තිබුනේ වලව් 18 න් එකක් විදියට ඇහැලේපොළ වලව්ව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ වනතෙක්ම විනාශයට පත් නොවී අතීත ගාම්භීරත්වය රැකගෙන පවතින ප්‍රධාන වලව්වක් විදියටත් මේ ඇහැලේපොළ වලව්ව පෙන්වා දෙන්න පුළුවන්.

වලව්ව නිවස කරගත් පවුල

ඇහැලේපොල නිලමේ.

ඇහැලේපොළ මහා නිලමේට අයත් වෙච්ච මේ වලව්වේ අන්තිමේටම ජිවත් වුනේ ඇහැලේපොළ මහා නිලමේගේ පවුල, ඒ කියන්නේ ඇහැලේපොළ මහා නිලමේයි කුමාරිහාමියි මද්දුම බණ්ඩාරයි ලොකු බණ්ඩාරයි බිලිදු දියණියයි. 1814 මැයි 17 වෙනිදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ අසාධාරණ නඩු තීන්දුවකින් ඇහැලේපොළ පවුලේ ඉරණම විසදෙන තෙක්ම මේ ඇහැලේපොළ වලව්ව මේ ආදරණිය පවුලකටත් වෙනත් හිතවතුන්ටත් සෙවණ දුන්නා.

ඉපැරණි ගඩොල් වලින් ශක්තිමත් කරලා  සිංහල උළු සෙවිලි කරපු මේ ඇහැලේපොළ වලව්ව ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය අරගෙන තියෙනවා කියලයි ඉතිහාසඥයෝ පෙන්වා දෙන්නේ. වලව් ගොඩනැගිල්ලේ තියෙන ආරක්කු සහ කුළුණුත් ඒකට සාක්ෂි දරනවා. ඒ වගේම අද දක්වාම තවමත් නොනැසී පවතින ඇහැලේපොළ වලව්වේ ඉහල මාලයේ ලී තරප්පු මන්දිරය, ඇතුලත දොර උළුවහු ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පියේ අපූර්වත්වයත් පෙන්වා දෙනවා.

ඒ කාලේ මහා වාසලේ කටයුතු නිමා වෙද්දීම, එහෙමත් නැතිනම් රාත්‍රී 8 වෙද්දී, නුවර සියලුම වීදිවල  ඝණ්ටාරය නාද කරායින් පස්සේ නුවර වීදි වල ආලෝකයක් තමා අත නැතිව ඉදලා අහුවෙන එක දඩුවම් ලැබිය හැකි වරදක් වුණා. ඉතින් රාත්‍රී 8 පහුවුනාම අනිත් හැමෝමත් වගේ ඇහැලේපොළ පවුලේ සාමාජිකයිනුත් දවසේ වැඩ රාජකාරි වලින් මිදිලා විවේකීව කතා බස් කරන වෙලාවක් නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්?

වඩිග රජෙකුට යටවුණු සිංහලයාගේ අනාගතය ගැන ඇහැලේපොළ නිලමේ කම්පා වුනු හැටි, සිංහල රජෙක් රජකම් කරන දවසක් ගැන හීන දැකපු හැටි මේ ඇහැලේපොළ වලව්වේ බිත්ති හොදින් බලාගෙන ඉන්නට ඇති. පුංචි මද්දුම බණ්ඩාරටයි, ලොකු බණ්ඩාරටයි ඇහැලේපොළ නිලමේ කියා දෙන අපේ වීරයන් ගැන කතන්දර මේ වලව්වේ බිත්තිත් ආසාවෙන් අහගෙන ඉන්න ඇති.  බිත්ති අස්සේ හැංගි හැංගි සෙල්ලම් කරන මද්දුම බණ්ඩාර ලොකු බණ්ඩාර අයියා මලෝ දෙන්නාව මේ ඇහැලේපොළ වලව්වේ  බිත්ති ආදරෙන් තුරුලට ගන්න ඇති. වඩිග රජ්ජුරුවන්ගේ මනමාල බැල්මෙන් වෙහෙසට පත්ව කෝප ගත් කුමාරිහාමිව, දරුවොත් එක්ක නිවාස අඩස්සියට පත් වුණාම වේදනාවෙන් මුසපත් උන කුමාරිහාමිව මේ වලව්වේ බිත්ති තමන්ට හේත්තු කරගෙන වේදනාවෙන් තුනී වනතුරු දරා සිටින්න ඇති.

රාජසිංහ රජතුමාගේ අසම්මත ප්‍රේමය

රාජසිංහ රජතුමා (pbase.com)

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මාලිගාවේ හතර වෙනි සී මැදුරු කවුළුව තුලින් බැලූ විට ඇහැලේපොළ වලව්වේ සඳලුතලය පෙනෙනවාය කියන එක ඒ කාලේ රජ මාලිගාවේ ඇතුලේ තිබුන රහසක් වුණත් මේ වෙනකොට නම් රහසක් නෙමෙයි. ඇහැලේපොළ කුමාරිහාමිගේ ස්ත්‍රී ලාලිත්‍යයට රහසින් පෙම් බැන්ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ තමන්ට විවේකයන් ලද බෝහෝ වේලාවන්ට මේ හතර වෙනි කවුළුව තුලින් බලා දුන්නේ කුමාරිහාමි දෑස් මායිමට එනකම්. ස්නානයෙන් අනතුරුව තමන්ගේ දිගු කෙස් වැටිය වියළෙන තෙක් ඇහැලේපොළ වලව්වේ සදලුතලයේ කවුළුව අසල හිදින කුමාරිහාමි රජ්ජුරුවන්ගේ බැල්ම ගැන හාංකවිසියක්වත් දැනන් උන්නේ නම් නැහැ. රජ්ජුරුවන්ගේ හිතේ කුමාරිහාමි ගැන තිබුණු ඒ අසම්මත උමතු ආදරයම පසුකලෙක ඇහැලේපොළ මුළු පවුලම විනාශ කරලා දැම්මේ, ආදරයයි වෛරයයි අතර තියෙන කෙස් ගහක වෙනස ගැන අපුරු උපහැරණයක් පෙන්වා දෙමින්. හැබැයි තවමත් රජ මැදුරේ හතර වෙනි කවුළුවයි ඇහැලේපොළ වලව්වේ සදලුතල කවුළුවයි නොනැසී ඒ විදියටම තියෙනවා.

නිලමේ පවුලින් පසුව වලව්ව

එතරම්ම හොඳ තත්වයක නෙමෙයි තියෙන්නේ.

1814 මැයි 17 වෙනිදා  ඇහැලේපොළ නිලමේ ගැන තිබුණු ඉරිසියාවෙනුයි, කුමාරිහාමිව නම්ම ගන්න බැරි වුණු තරහෙනුයි මුසපත් වෙලා හිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අසාධාරණ නඩු තීන්දුවකින් ඇහැලේපොළ කුමාරිහාමිවයි දරුවන්යි වද දීලා මරලා දැම්ම හැටි අපි කවුරුත් අහලා තියෙනවා.  ඉන් පසු 1815දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන් රාජධානියත් අහිමි කරගත්තා. එවකට හිටපු ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් ඇහැලේපොළ වලව්ව සිර ගෙයක්  බවට පත්කරේ ඇහැලේපොළ වලව්වේ හිමිකරු වූ ඇහැලේපොළ නිලමේවම පළමු සිරකරුවා බවට පත් කරමින්. ඇහැලේපොළ නිලමේ විතරක් නෙවෙයි, සිංහලයාගේ නිදහස් සටනට උර දුන් මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමන් ඇතුළු ජාතික විරුවන් 52 කට මේ ඇහැලේපොළ වලව්ව ආරක්‍ෂිත සිර කදවුර වෙලා තියෙනවා.

හෙළ කුල කාන්තාවන්ට ආදර්ශයක් දුන්න ඇහැලේපොළ කුමාරිහාමිගේ දුක් වේදනාවන්, සෝ සුසුම් විතරක් නෙවෙයි, මේ ඇහැලේපොළ වලව්වේ බිත්ති ඊටත් පස්සේ ඉතුරු වසර ගණනාවම ගත කරේ සිර ගත කරලා හිටිය රැදවියන්ගේ කදුළු වල බර දරා ගනිමින්. බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරය බවට පසු කලෙක පරිවර්තනය කළ ඇහැලේපොළ වලව්ව, තිදෙනෙකු එකවර එල්ලා මරණයට පත් කල හැකි බන්ධනාගාරයක් විදියටත් ප්‍රසිද්ධයි. කොහොම නමුත් අතීතයේ සිංහලකම අගයමින් පිවිතුරු ආගමික පරිසරයක් තුළ වැජඹුණු ඇහැලේපොළ වලව්ව පසුකාලීනව කිලිටි කරලා දාන්න ඉංග්‍රීසින් විතරක් නෙවෙයි ඓතිහාසික වටිනාකමක් නොදත් බලධාරිනුත් හේතුවක් වුණා.

ඇහැලේපොළ වලව් භුමියේ තිබුණු  ඇහැලේපොළ කුමාරිහාමි වන්දනාමාන කරන ලද කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ ව පසුකාලින එතනින් ඉවත් කිරීමට උත්සාහ ගනිද්දී කිසිවෙකුට එය ඔසවා ගැනීමටත් නොහැකි වූ බවත් පසුව පිරිත් සජ්ජායනා කිරීමෙන් අනතුරුව එම ප්‍රතිමාව ඉවත් කිරීමට හැකි වූ බවත් ඇතැම් උඩරැටියන් තවමත් පවසනවා.

කෙසේ නමුත් පසුකාලීනව 2013 වසරේ දී බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරය බවට පත් කර තිබූ ඇහැලේපොළ වලව්ව සන්නසක් මගින් රජය වෙතට පවරාගෙන, එහි වූ බන්ධනාගාරය රජය විසින් ඉවත් කරනු ලැබුවා. අතීතයේ පටන් කාට හෝ සෙවණ දුන් ඇහැලේපොළ වලව්ව මේ වෙන විට දළදා මැදුරට ආසන්න භූමියක ආයෙත් තනිව කල් ගත කරන්න පටන් අරන්.

ඒ කොහොම වුනත් අභීත සිංහලයන් රැසකට සෙවණ දුන්, ආදරය දුන් මේ ඇහැලේපොළ වලව්වේ බිත්තිවලට කතා කරන්න පුළුවනි නම් වසර 200කට එහායින් තිබුණු ඒ අතීතය ගැන කොතෙක් නම් දේවල් මුමුණාවිද?