Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩොලර් 7000 න් නිපද වූ චිත්‍රපටය – ‘El Mariachi’

ප්‍රේක්ෂකයාට චිත්‍රපටයක් නිපදවීම ආශ්වාදජනක හා පහසු එකක් සේ හැඟුණාට එය ඉතාම වෙහෙසකර හා භාරදූර කාර්යයක්. විශේෂයෙන්ම තරුණ හා ආධුනික අධ්‍යක්ෂවරයෙකුට කොයි තරම් දක්ෂතාවයක් තිබුණත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට යාමේදී මුහුණ දෙන්නට වෙන අභියෝග හා විඳින්නට වෙන දුක් කම්කටොළු බොහොමයි. චිත්‍රපට නිෂ්පාදනයට විශාල මුදලක් වැය වන නිසා ඒ සඳහා සුදුසු නිෂ්පාදකයෙකු සොයා ගැනීමම ඉතාම අසීරු වැඩක් වන්නේ එවැන්නෙකුට සිය විශ්වාසය තහවුරු කිරීමට අධ්‍යක්ෂකට මහත් වෙහෙසක් ගැනීමට සිදු වන නිසයි. ඊට අමතරව ප්‍රවීණ නළු නිළියන්, කාර්මික ශිල්පීන් වැනි අයත් එක් කර ගැනීම හිතන තරම් ලෙහෙසි නැහැ. ඇමෙරිකාවේ උපන් මෙක්සිකානුවෙකු වූ රොබට් රොඩ්‍රිගස් නම් විසි තුන් වියැති සිනමාවට ලැදි තරුණයෙක්ට මේ අභියෝග වලට උවමනාවටත් වඩා මුහුණ දෙන්නට වෙනවා. එහෙත් ඔහු උත්සාහය අත හරින්නේ නැහැ. අවසානයේ ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අපූරු චිත්‍රපටයක් ගොඩ නැඟෙනවා. ඒ පන්නරයෙන් ඔහු පසු කාලීනව ලෝ පතල සිනමා අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙනවා. මේ ‘El Mariachi’ නම් ඒ සිනමා සිත්තමේ කතාවයි.

‘El Mariachi’පෝස්ටරය-pinterest.com

අධ්‍යක්ෂවරයා ගැන

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ජීවත් වූ මෙක්සිකානු සම්භවයක් සහිත යුවලකට දාව රොබට් රොඩ්‍රිගස් මෙලොව එළිය දකින්නේ 1968 වසරේ ජූනි මස 20 වන දා යි. දරුවන් දස දෙනෙකුගෙන් යුතු පවුලේ තෙවැනියා ලෙස උප්පත්තිය ලබන ඔහුගේ කුඩා කළ ගත වෙන්නේ ඔස්ටින් නුවරයි. කුඩා කළ සිටම සිනමාවට ලැදියාවක් දැක් වූ ඔහු සිය අනෙකුත් සොහොයුරන් ක්‍රීඩා කිරීමට ඇල්මක් දක්වද්දී වෙනත් මඟක යමින් පවුලේ වීඩියෝ කැමරාවට පෙම් බැන්දා. කුඩා සටහන් පොතක චිත්‍ර ඇඳ, පිටු පෙරළමින් ඒවා චලනය වන ආකාරය සිය සොයුරු සොයුරියන්ට පෙන්වමින් ඔහු සතුටු වුණා. වයස අවුරුදු 12 පමණ වන විට ඔහු සිය පවුලේ කැමරාවෙන් කෙටි වීඩියෝ දර්ශන පටිගත කළා.

තරුණ රොඩ්‍රිගස් (වම්පස) සිනමා අධ්‍යක්ෂක හා රංගන ශිල්පී ක්වෙන්ටීන් ටැරන්ටිනෝ සමඟ pinterest.com/Frederick Lopez

ඔස්ටින් හි ශාන්ත අන්තෝනි උසස් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ රොඩ්‍රිගස් ටෙක්සාස් විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට වරම් ලැබුවත් එහි සිනමා පාඨමාලාවට ඇතුළු වීමට සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් විශ්ව විද්‍යාලයේදී රචකයෙකු හා චිත්‍රකතා ශිල්පියෙකු ලෙස කැපී පෙණුනු ඔහු වඩා ජනප්‍රිය වන්නේ ඩේලි ටෙක්සාන් නම් පත්‍රයකට ‘Los Hooligans’ නම් චිත්‍රකතාව හා දේශපාලනික කාටූන් සපයමින්. මේ ද්විත්වයම සඳහා ඔහුට කොලොම්බියානු විශ්ව විද්‍යාලයීය ජනමාධ්‍ය සම්මානය ලැබෙන අතර, සිය සිහිනය වූ සිනමාවත් අත් නොහරිමින් කෙටි චිත්‍රපට 30ක් පමණද අධ්‍යක්ෂණය කළා. මේවා විවිධ තරඟ වලට යවමින්, ඒවා සමහරෙකින් ජය ගන්නට ද ඔහුට හැකි වුණා. ඔහු විසින් නිපදවන ලද ‘Bedhead’ නම් කෙටි චිත්‍රපටය ජයග්‍රහණ රැසක් ලබාගත්තා.

Bedhead(1991) -indiewire.com

El Mariachi ට මාවත විවර වීම

විශ්ව විද්‍යාලයෙන් ඉවත් වන විට රොඩ්‍රිගස් යම් මුදල් ප්‍රමාණයකට හිමිකම් කියන්නෙක් වුණත් එය කිසි සේත්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. මේ නිසා මුලින්ම ඔහු ඉතා කුඩා මුදල් ප්‍රමාණ යොදාගෙන මෙක්සිකෝව වෙනුවෙන් වීඩියෝ කිහිපයක් නිෂ්පාදනය කරන්නට සිතුවා. ඒ වීඩියෝ පට හොලිවුඩයට පෙන්වා, නිෂ්පාදකයන් ආකර්ෂණය කරගෙන විශාල සිනමා නිර්මාණයක් ඈත අනාගතයේදී කිරීමට ඔහු සිහින මැව්වා. සිහිනය ඉතා දුර බව දැන සිටියත් ඉන් අධෛර්යය ට පත් නොවූ ඔහු ඉන් පළමුවැන්න ලෙස El Mariachi නම් පිටපතක් රචනා කරනවා. මේ සඳහා මුදල් සොයාගැනීමට නිෂ්පාදකයින් කීප දෙනක් සොයා ගියත් ඔවුන් කිසිවෙක් මොහු කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. අවසානයේ ඒ මුදල් ප්‍රමාණය තමන්ම උපයා ගැනීමට ඔහු තීරණය කරනවා. ඒ සඳහා ඔහු තෝරා ගන්නේ ඉතාම වේදනාකාරී ක්‍රමයක්. රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කරන ඖෂධයක් අත්හදා බැලීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන ඔහු තමන් අපේක්ෂා කරන මුදල එකතු වන තුරු එහි නිරත වන්නේ දිනකට දස වතාවක් පමණ සිරුරෙන් රුධිරය ඉවත් කරගන්නා අත්දැකීමකට මුහුණ දෙමින්.

El Mariachi චිත්‍රපටයේ දර්ශනයක් -avclub.com

සියල්ල අවසානයේ රොඩ්‍රිගස්, ඇමෙරිකානු ඩොලර් 7000ක් සොයා ගන්නවා. ගත වූ කාලයත් තමන් විඳින වේදනාවත් සළකන ඔහු මේ මුදල් ප්‍රමාණය චිත්‍රපටයක් කිරීමට ප්‍රමාණවත් යැයි තීරණය කරනවා. ඩොලර් 7000 කින් චිත්‍රපටයක් කරන්නේ කෙසේදැයි සමහරුන්ගේ හාස්‍යයට ලක් වූවත් ඉන් නොසැළුණු ඔහු තමන්ව විශ්වාස කළ මිතුරන් කිහිප දෙනා සමඟ El Mariachi චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා සියළු පිඹුරුපත් සකස් කරනවා. මෙහි දර්ශන තලය ලෙස මෙක්සිකෝවේ නඟරයක් තෝරාගන්නා ඔහු දින 14 ක රූගත කිරීමේ සැළැස්මක් අඳිනවා.

El Mariachi අති සාර්ථක වෙයි

ක්‍රියාදාම චිත්‍රපටයක් වුණු El Mariachi (1992) නිෂ්පාදනයේදී රොබට් රොඩ්‍රිගස්ට තිබුණේ ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක්. හෝටලයක්, මත්පැන් අලෙවිසැල් දෙකක්, බසයක්, යතුරුපැදියක් හා පිට්බුල් වර්ගයේ බල්ලෙක් යන සම්පත් අතැතිව මේ කර්තව්‍යට බසින ඔහු අවස්ථානුකූලව තව තවත් සම්පත් ඊට ඈඳා ගන්නවා. අවම මුදලකින් චිත්‍රපටයේ වැඩ කටයුතු සිදු කළත් කිසි විටෙක නිර්මාණශීලීත්වයෙන් බැහැරව ඔහු ක්‍රියා කළේ නැහැ. කතාවේ චරිත වලට නළු නිළියන් තෝරාගන්නා විටත් ඒවායේ ගැළපීමට හා දක්ෂතාවයට මුල් තැන දුන් ඔහු දිවි හිමියෙන් මෙහි තත්ත්වය ඔසවාලීමට ක්‍රියා කළා. වරෙක දර්ශනයක් රූගත කරමින් සිටින විට ඒ අසළින් ඉබ්බෙකු යනු දුටු ඔහු ඌ සිය චිත්‍රපටයට යොදාගත්තා. දර්ශනය ඉතාම අලංකාර වුණු අතර තවමත් එය අනුකරණය කරමින් සමහර වෙළඳ දැන්වීම් වැනි දෑ නිපදවෙනවා.

El Mariachi (1992) ඉබ්බාගේ දර්ශනය californiaherps.com

චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ අහිංසක ගිටාර් වාදකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් අතර ඇති වූ පටළැවිල්ලක් අනුසාරයෙනුයි. සමාජයීය ප්‍රශ්ණයක් ගෙන හැර පා තිබීම විචාරකයන් විසින් පසු කලෙක ඇගයූවා. කෙසේ හෝ අවසානයේ හැල හැප්පීම් මැද චිත්‍රපටය නිපදවා අවසන් කරන රොඩ්‍රිගස් එය කොලොම්බියා සමාඟම ට ගෙන යන්නේ, මෙය හැදෑරූ පසු අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් අත්පොත් තැබීමට සුළු හෝ උපකාරයක් ඔවුන්ගෙන් ලැබේවි‍ යයි බලාපොරොත්තුවෙන්. නමුත් ඔහුගේ පැතුම් අභිබවා යමින් මෙහි වටිනාකම අවබෝධ කරගත් ඔවුන් මේ චිත්‍රපටයේ ඉදිරි කටයුතු පවරාගෙන කොලොම්බියා ලාංඡනය යටතේ ප්‍රවර්ධනය කරන්නට ඉදිරිපත් වන්නේ රොඩ්‍රිගස්ගේ සිහිනය හිතුවාටත් වඩා ඉක්මණින් සැබෑ කර දෙමින්. El Mariachi සාර්ථක ආදායමක් ගෙන දෙමින් තිරගත වූ අතර ඉක්මණින්ම කොලොම්බියානු ලේබලය යටතේ එහි දෙවන කොටස වන Desparado දැවැන්ත නිර්මාණයක් ලෙස ඔහු ඇරඹුවේ අන්තෝනියෝ බැන්ඩෙරාස් වැනි අග්‍රගණ්‍ය ශිල්පීන්ගේ සහභාගීත්වයෙන්.

Desparado(1995)-pcwallart.com

El Mariachi මඟ ගිය ‘Behind the scenes’

Behind the scenes(2010) -blog.sudaraka.com

1992 වසරේදී El Mariachi චිත්‍රපටය නිපදවන විට ඒ හා සමානම උත්සාහයක් කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙක්ව සිටි ලක්පති විජේසේකර ගන්නවා. 2010 වසරේදී සිය උසස් පෙළ විභාගය නිම වූ පසු මිතුරන් සමඟ චිත්‍රපටයක් කිරීමට ඉටා ගන්න ඔහු විවිධ නිෂ්පාදකවරු සොයා ගියත් ඒ කිසි තැනකදී ඔහුට සහයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු අවසානයේ සිය අත්දැකීමම කතාවකට ගොණු කොට Behind the scenes නමින් චිත්‍රපටයක් සාර්ථකව නිෂ්පාදනය කරන්නේ රුපියල් 50,000 ක් වැනි ඉතා කුඩා නිෂ්පාදන පිරිවැයකින්. නමුත් මෙය නිර්මාණශීලීත්වය අතින් හොඳ තැනක තිබුණු අතර ශ්‍රී ලංකාවේ තවමත් ප්‍රදර්ශනය වී නැතත් ඉන්දියාවේ ලක්නව් සී.එම්.එස් අන්තර්ජාතික ළමා සිනමා උළෙලේ අවසන් වටය නියෝජනය කිරීමට සමත් වුණා.

(කවරයේ පින්තූරය -cineplex.com)

Related Articles