Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොකු පොඩි කාගෙත් ආදරය දිනා ගත් සදා අමරණීය කාටූන් චරිත

සතිඅන්තයේ උදෙන්ම නැගිටලා ටීවි එකේ කාටූන් බලපූ ඒ සොඳුරු අතීතයට ආපහු යන්න පුළුවන්නම් කොච්චර හොඳද? ඉස්කොලේ ඇරිලා, ගෙදර වැඩ ඔක්කොම ඉවරකරල වරද්දන්නැතුව වෙලාවට හවස රූපවාහිණිය ඉස්සරහ අපි එක්‍ රොක් උනේ අපේ ප්‍රියතම කාටූන් වැඩසටහන් නරඹන්න.

ඉස්කෝලේ නිවාඩුවට රූපවාහිණි නාලිකා බොහෝමයක 90 දශකයේ, 2000 මුල් භාගයේ තිරගත වූ ළමා චිත්‍රපට සහ කාටූන් නැවතත් නරඹන කොට, පුංචි සන්දියේ මනහර මතකයන් නැවත ආවර්ජනය වෙනවා. දේශීය උරූවට දෙබස් පරිවර්තනය කල කාටූන් ශ්‍රී ලංකාවේ ලොකු පොඩි කාගෙත් ආදරය දිනා ගන්නට සමත් උනා.

ටයිටස් තොටවත්තයන්ගේ පුරෝගාමි මෙහෙවරෙන් සහ අපූරු දැක්මෙන් ආරම්භ වුණු සිරිලක හඬකැවීම් කලාව වර්තමානය වන විට වෙනස්කම් රැසකට ලක්වෙමින් බොහෝ දුර ගමනක් පැමිණ තිබෙනවා. ළමා මනස මැනවින් තේරුම් ගෙන, මුල් නිර්මාණයට හානියක් නොවන අයුරින්, සිතට කාවදින, හොඳ හරයක් සහිත රසාස්වාදනීය දෙබස් නිර්මාණය කිරීම එතරම් ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. සමාජයේ අපිට නිතරම හමුවන පුද්ගලයින් ඇසුරුකරගෙන නිර්මාණය කරන ලද උපහාසාත්මක, කවට, දුෂ්ඨ සහ ආදර්ශමත් කාටූන් චරිත, සිංහල හඬ කැවීමෙන් නැවුම් පණක් ලැබුවා. ගෝල් දේශයේ ඇස්ටරික්ස් සහ ඔහුගේ සගයින් අපි කවුරුත් දන්නේ පප්ප ගමේ පප්පල ලෙසයි. ඩොකටර් ඩූ ලිට්ල් නමට වඩා ‘දොස්තර හොඳ හිත’ අපිට සමීපයි.

“මුහුද මගේ ගොඩබිමයි, නැව මගේ නිවසට සමයි, සියලු සතුන් මගේ තමයි, දොස්තර හොඳ හිත මමයි – අයුක්තියට ඉඩ නැතේ, යුක්තිය ලොව රජ කෙරේ. වෛරෙයෙන් වෛරය නොවේ, මෛත්‍රියෙන් ජය ලැබේ…”.

කාටූන් වල කතාව අමතක වුණත්, එහි තේමා ගීතය සහ චරිත අපේ සිත් තුළ සදා අමරණීයයි. සිංහල දෙබස් කැවූ විදෙස් කාටුන් හි මුල් නිර්මාණයන් පිළිබඳ වැඩි විස්තර දැන ගන්නට ඔබත් කැමති ඇති. අපිට සමීප වුණු කාටූන් කිහිපයක ටෙලි උපත සහ අනෙකුත් වැදගත් වතගොත පහත ලැයිස්තුවෙන් දැක්වෙනවා.

1. පැංචා – KISSYFUR

මෙයා මතක කාටද? (flixsearch.io/movie/kissyfur)

1986 දී ඇමරිකාවේ NBC නාලිකාවේ තිරගත කිරීම ඇරඹූ කිසිෆර් කාටූනය ජීන් ශැලොපින්, ඇන්ඩි හේවර්ඩ් සහ ෆිල් මෙන්ඩේස් ගේ නිෂ්පාදනයකි. මෙම ළමා ටෙලි නාටකය, කාල පරිච්ඡේද (seasons) දෙකකදී තිරගත වුණා. එක්සත් රාජධානියේ, නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාව වැනි රටවල මෙම කාටූනය බෙහෙවින් ජනප්‍රිය වූ අතර, “කිසිෆර්” නම් පුංචි වලස් පැටියා ශ්‍රී ලංකාවේ සිරස නාලිකාව තුළින් සෑම සෙනසුරාදාවකම පුංචි පැංචි වැඩසටහ අතරතුරේදි පැංචා ලෙසින් අප හමුවට පැමිණියා.

සර්කස් සංදර්ශනයකට සහභාගි වන අතරතුරේදි, ගමන් ගත් කෝච්චිය පීළි පැනීමෙන් පැංචා සහ ඔහුගේ පියා අතරමං වනවා. කිසිෆර් සහ ඔහුගේ නුවණක්කාර පියා (Gus) සර්කස් ජිවිතයේ, මිනිසුන්ගෙන් උගත් ශිල්ප ක්‍රම යොදාගෙන කැළෑ ගමේ සතුන් සමඟ වනයේ (Paddlecab County) වගුරු බිමක අලුත් ජීවිතයක් පටන් ගන්නවා. පැංචා ගේ වීර කණ්ඩායමේ හිටපු යාලුවෝ ඕගොල්ලන්ට මතකද? මඩයා කියන්නේ සෙට් එකේ ඉන්න කටකාර, දඩබ්බර වල් ඌරා. පොඩ්ඩ තමයි පැංචාගේ හිතවත්ම යාළුවා. කටූ හරිම අහිංසක ඉත්තෑවෙක්. බබී තමයි කණ්ඩායමේ ඉන්න හුරුබුහුටි ගෑණු ළමයා. සුද්දා කියන්නේ, කුණු ගාගන්නවට අකමැති, නිතරම “ඊයා” කියාගත්තු ගමන් ඉන්න පිරිසිදු ඌරු පැටියෙක්. පැංචයි එයාගෙ යාලුවෝ සෙට් එකයි, වගුරු බිමේ හැමදාම මොකාක්හරි කරදරේකට පැටලෙනවා. හැලයයි සීදෙවියි (Floyd & Jolene) කියන කට්ට කෛරාටික කිඹුල් ජෝඩුව මේ පොඩි පැටව් ටික රෑ කෑමට ගොදුරු කරගන්න නිතරම මාන බලාගෙනයි ඉන්නෙ.

2. ෆ්‍රැන්ක්ලීන් – FRANKLIN

(franklin.treehousetv.com)

සතියේ දවස්වල සවස ස්වර්ණවාහිනි නාලිකාවේ තිරගත වූ ෆ්‍රැන්ක්ලීන් කාටූනය, කැනේඩියානු නිෂ්පාදනයක් වනවා. මෙහි මුල් නිර්මාණයට පදනම් වී ඇත්තේ  බ්‍රෙන්ඩා ක්ලාක් සහ පොලෙත් බූජුවා විසින් රචිත පොත් පෙළකි. 1997 වර්ෂයේදි මෙහි මුල් කථාංගය තිරගත වූ අතර මෑතකදී එම කාටුන් මාලාව ෆ්‍රැන්ක්ලීන් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් ලෙස අනුවර්තණය වී සිංහල දෙබස් සමඟ ශ්‍රී ලංකාවේ නැවතත් තිරගත වීම ඇරඹුණි.

“ෆ්‍රැන්ක්ලීන් ඉස්කෝලේ වැඩවලට දක්ෂයි වගේම ගෙදර වැඩ කරන්නත් දක්ෂයි. එයාට පුළුවන් එයාගෙම කෑම වේලක් උනත් හදාගන්න. කාමරේ අස්කරන්නත් පුළුවන්….” මුල් නිර්මාණයේ කාටුන් එක පටන් ගන්නේ Franklin could count by twos and tie his shoes. He could zip zippers and button buttons… යන තේමා විස්තරයෙන්.

මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ෆ්‍රැන්ක්ලින් නම් කැස්බෑ පැටියෙක්. තම ආදරණිය  දෙමාපියන් සමඟ කුඩා ෆ්‍රැන්ක්ලීන් Woodland කියන ගම්මානයේ කැස්බෑ කටුවක් හැඩැති නිවසක ජීවත් වනවා. ෆ්‍රැන්ක්ලින්ට එයාගේ පුංචි ලෝකයේ බීවර්,නරි පැංචා, හා පුංචා සහ පාට පැටී වැනි චරිත රැසක් හමුවෙනවා. හැබැයි මේ යාලුවෝ අතරින් ටෙඩී කියන වලස් පැටියයි ගෙවත්තේ ඉන්න බිංගි කියන ගොලුබෙළි පැටියයි තමයි ෆ්‍රැන්ක්ලින්ගේ හොඳම යහළුවෝ දෙන්නා. ෆ්‍රැන්ක්ලින් කුඩා දරුවන්ට ඉතාමත් ආදර්ශමත් කාටුනයක්. බකමූණු ගුරුතුමයි, ෆ්‍රැන්ක්ලින්ගේ කැස්බෑ දෙමාපියන් ගෙනුයි වැඩිහිටියන්ට පවා උගත ගත හැකි පාඩම් බොහොමයක් තිබෙනවා.

3. තොත්ත බබාලා – BABY FOLIES

(bilibili.com)

කොකා, බබාව මිනිස් ලෝකෙට එක්කං යන්න කලින් බබාලන්තයේ ජීවත් වෙන තොත්ත බබාලගේ වික්‍රමයන් ගැන කියැවෙන කාටූනයක් තමා “තොත්ත බබාලා” කියන්නේ.

ඉහළ අහසේ සුමුදු, සුසිනිඳු වලාකුළු වලට මැදිව සිටින මේ බබාලා හිතන තරම් අහිංසක නැහැ. කපටි තොත්ත බබාලා බබා පාට් එක පාවිච්චි කරලා තනතුරු පදවි ලබා ගන්නවා. සමහරක් බබාලා බබා කෙඳිරියෙන්, හිනාවෙන් රජ වැඩ කරලා අනිත් බබාලට වල කපනවා. මෙම කාටූනයේ මුල් නිර්මාණය ප්‍රංශයේදී Baby Folies ලෙස 1993 වර්ෂයේදි තිරගත කිරීම ඇරඹුණා. කථාංග 29 කින් සමන්විත, හාස්‍යජනක චරිත වලින් පිරි,  තොත්ත බබාලා කාටූන් මාලාව මීට දශකයකට ඉහතදී ශ්‍රී ලංකාවේ සිරස නාලිකාව තුළින් තිරගත වුණා.

4. කූඹිච්චි – FERDY THE ANT

(youtube.com)

“පායනා කාලේදි, රෑ දවල් මහන්සි වී, කන්න දේ රැස්කරයි කූඹියෝ.”

කූඹියෝ කියන්නේ හරිම කඩිසර කෘමීන් ජාතියක්. කූඹිච්චි කියන්නේ කූඹි කැලේ (Käfertal) සිදුවෙන වික්‍රමයන්, කැලේට පැමිණෙන නානප්‍රකාර අමුත්තෝ ගැන කියැවෙන කාටූන් මාලාවක්.

Ondřej Sekora කතුවරියගේ ළමා පින්තූර පොත් ඇසුරෙන්, චෙක් ජනරජයේ සහ බ්‍රිතාන්‍යයේ සමූහ නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කරන ලද FERDY THE ANT යන කාටුන් මාලාව 1984 දී තිරගත වීම ඇරඹුණි. මෙම කාටූනය මීට වසර කිහිපයකට ඉහතදී ජාතික රූපවාහිණියෙන් කූඹිච්චි ලෙස සිංහල හඬ කවා තිරගත කළ අතර එහි ප්‍රධාන චරිතය වන ෆර්ඩි, ගැහැණු චරිතයක් ලෙස අනුවර්තණය විය.

කූඹිච්චි…අපේ කූඹිච්චි, කලුයි, සිත්කළු‍යි. ෆර්ඩි හෙවත් කූඹිච්චි, ගිටාර් වාදනය කිරීමට කැමති, ලෝකයේ අරුම පුදුම දේවල් පිළිබඳ දැන ගැනීමට උනන්දු කූඹියෙක්. කූඹි ගමේ, කූඹි ගෙදර කූඹි කුමාරි, මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරි. හැබැයි මෙයා කැලේ ප්‍රශ්න විසඳන්නේ ගමේ අනෙක් කෘමි යාළුවන්ගේ සහය සහ එකමුතුකමත් එක්ක. මේ කාටූනය ලෝකයේ දරුවන් අතර කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම්, චෙක්, ඉංග්‍රීසි, සිංහල භාෂා වලට අමතරව ස්පාඤ්ඤ, හංගේරියානු, අරාබි, පාර්සි සහ ජර්මන් වැනි තවත් භාෂා රැසකින් හඬ කවා තිබෙනවා.

5. වලස් මාමා – THE BEARY FAMILY

(Youtube.com)

මාමා වලස් මාමා..

නැන්දා වලස් නැන්දා..

කවුරුද කවුරුද රණ්ඩු කරන්නේ?

නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ.

මොකටද මොකටද රණ්ඩු කරන්නේ?

වැඩකට නැතිවලු ගහ බැන ගන්නේ

Walter Lantz Studios විසින් නිෂ්පාදනය කරන ලැබූ “THE BEARY FAMILY” නම් කෙටි කථාංග 28 කින් සමන්විත හාස්‍යොත්පාදක කාටුන් මාලාව 1962 වර්ෂයේ සිට 1972 දක්වා ඇමරිකාවේදී තිරගත වුණා.

අකාර්යක්ෂම පවුලක ගෘහ මූලිකයා වන Charlie Beary හෙවත් වලස් මාමා වටා මෙම කාටූනය ගෙතෙනවා. ඔහුගේ බිරිඳ Bessie, ඒ කියන්නේ වලස් නැන්දා නිතරම තම සැමියාගේ මෝඩ වැඩ විවේචනයට ලක් කරනවා. Junior (උක්කුං) කියන්නේ වලස් පවුලේ පුතා. මෙයාගේ පණ්ඩිත වැඩ නිසා පවුලේ ජරමර දෙගුණ තෙගුණ වෙනවා.

6. දඟර වලිග ලප වානර – MARSUPILAMI

(image.phimmoi.net)

දඟර වලිග ලප වානර දස්කම් දක්වනවා

අහසේ ඉගිල යතේ

ගස්වල ගෙඩි කඩතේ..

බැරි බර කරට අරන්

දඩයම් පිරිහිලා ඇතේ…

මාර්සුපිලාමියා කියල මෙයාගේ නම තිබුණ පොතේ…

ඔව්. සිංහලෙන් දඟර වලිග ලප වානර කියල අලුත් නමක් පටබැඳුනට මේ අරුම පුදුම සතාගේ නම, අන්ද්‍රේ ෆ්‍රැන්කැන් විසින් 1952 රචිත චිත්‍ර කතා පොතේ තිබුණේ මාර්සුපිලාමි කියලා.

දඟර වලිග කියන්නේ මාර්සුපියාලියා වර්ගයේ ක්ෂීරපායි සතෙක්. Marsupial යන වචනයට Pilou-Pilou (කාටුන් නිර්මාතෘගේ ප්‍රියතම කාටුන් චරිතයක්) සහ ප්‍රංශ බසින් යහලුවාට කියන “ami” යන වචන පෙළ එකතු වීමෙන් එයාගේ නම හැඳෙනවා. පලොම්බියා කියන මනඃකල්පිත රටේ මහ වනාන්තරයක තමා මෙයා ජීවත් වෙන්නේ. දඟර වලිග කියන නමින්ම අපිට හිතා ගත්තහැකි මෙයාට වලිගෙන් කරන්න පුලුවන් වික්‍රමයන් ගැන.

මාර්සුපිලාමිගේ කාටුන් මාලාව ලෝකයේ ලන්දේසි, ජෙර්මන්, ග්‍රීක්, ස්පාඤ්ඤ සහ පෘතුගීසි බසින් තිරගත වී තිබෙනවා.

7. පිස්සු පූසා – TOP CAT

(boomerangtv.co.uk)

කුණු කූඩෙන් බෙල්ල දමා,

බොරු බේගල් ඇද බාලා,

සහචරයින් කරයි මුලා…

තම වාසිය ලැබෙන තුරා,

පුරු පුරු ගා කෙඳිරි ගගා,

බිම පෙරළෙයි වැඳ වැටිලා…

පිස්සා මූ, පිස්ස මූ..පිස්සු පූසා මූ…

1961 වර්ෂයේ සිට 1962 දක්වා කාලය තුල කථාංග 30කින් සමන්විත කාටුන් මාලවක් ලෙස ABC network නාලිකාවේ Top Cat හෙවත් පිස්සු පූසා තිරගත වුණි. මෙය Hanna-Barbera studios හි නිෂ්පාදනයකි. බ්‍රිතාන්‍යයේ BBC නාලිකාවේ මෙම කාටූනය හැඳින්වුණේ Boss Cat ලෙසයි. නිව්යොක් නගරයේ මුඩුක්කුවක ජීවත් වන පූස් කණ්ඩායමක ලොක්කා ලෙසා පිස්සු පූසා කරලියට පැමිණෙයි.

“ෆොලෝ මී සගයිනි” කියපු ගමන්, තමා පිටුපස්සේ දුවන් එන පූස් සෙට් එකක් පිස්සු පූසට ඉන්නව. ඥාව්වා, උපාසක, මී කතුරා සහ පුරු පුරූ ගේ චරිත ඔයගොල්ලන්ට මතක ඇතිනේ. පිනට කන්න ලැබෙනවනම්, සල්ලි බාගේ ලැබෙනවනම්, මේ ලෝක කපටි පූසෝ ඕනෙම දෙයක් කරාවි. කාටූනයේ තවත් එක් ප්‍රධාන චරිතයක් තමා සාජන් මහත්තයා (Officer Dibble). සැර පරුෂ ගතියක් පෙන්නුවට, තමන්ට ඕනේ විදිහට සාජන් සෑර්ව නම්මවල රවට්ටන්න පිස්සු පූසට පුලුවන්.

8. ඥාන කතා මල්ලියා – ANPANMAN

(japantimes.co.jp)

ඥානේ නොමැති අයට හදපු, හුස්ම පිඹල පණ පොවාපු

අනුන්ගේ ගින්දර නිවාපු, ඥාන කතා මල්ලියා…

ටකෂි යනසේ විසින් රචිත චිත්‍ර කතා පොතක් ඇසුරෙන් නිර්මාණය කරන ලද     Anpanman නම් ජපන් කාටූනය 1973 වර්ෂයේ සිට නිර්මාතෘගේ අභාවය තෙක් (2013) තිරගත වුණා.  මෙම කාටූනය ජපන් දරුවන් අතර කෙතරම් ජනප්‍රිය වුණාද කියනවනම් පසු කාලයකදි Soreike! Anpanman ( Let’s Go! Anpanman) ලෙස ඇනිමේ කාටුන් මාලාවක්ද ඒ ඇසුරෙන් බිහි වුණා.

ඥාන කතා මල්ලියව බැලූ බැල්මෙන් පෙනෙන්නේ ඉගිලෙන බනිස් මිනිහෙක් වගේ. අන්පාන් කියන්නේ රතු බෝංචි වලින් හදපු ජෑම් වලින් පිරුණු බනිස් ජාතියක්. අන්පන් මෑන් හෙවත් ඥාන කතා මල්ලියා කියන්නේ මේ බනිස් ගෙඩිය හැඩැති ඔලුවක් තියෙන වීරයෙක්. බයිකින්මන් කියන රකුසාගෙන් ලෝකය බේරගන්න සාමෙන් සහ ඥානෙන්, ඥානකතා මල්ලියි, පාන් මාමායි, පිටි චූටියි විස්කොත්තයි එකතු වෙලා අයුක්තියට එරෙහිව  තම වික්‍රමයන් පෙන්වනවා.

9. කවුද බෝයි – LUCKY LUKE

(egmont-comic-collection.de)

ඒ කාලේ සිද්ද වේච්ච කතාවක් මේ.

නියම වීරයක් ගැනයි කියන්නේ..

අස්සයගේ පිටින් එයා ගමන් යයි.

එයාට කවුරුත් කිව්වේ කවුද බෝයි

චිත්‍ර කතා ඉතිහාසයේ වැදගත් තැනක් උසුලන කාටූනයක් ලෙස කවුද බෝයි හෙවත් ‘ලකී ලූක්’ හැඳින්විය හැකියි. කවුද බෝයි චරිතයේ නිර්මාතෘ වන බෙල්ජියානු ජාතික මොරිස් 1949 වර්ෂයේදි තම ප්‍රථම නිර්මාණය එළි දැක්වූ අතර ඔහු තම ජීවිතයේ අවසාන් භාගය දක්වාම තම පැන්සල් තුඩෙන්ම කවුද බෝයි ව සිතුවම් කළා.

ඇමරිකාවේ Old West නමින් ප්‍රචලිත පෙදෙසේ වෙසෙන අසාධාරණයට අයුක්තියට එරෙහිව කටයුතු කරන කවු බෝයි කෙනෙකුගේ වික්‍රමයන් මෙම කතාවට පසුබිම් වනවා.  “A man who shoots faster than his shadow” – තම සෙවණැල්ලටත් වඩා වේගයෙන් වෙඩි තබන පුද්ගලයෙක් ලෙස කතාවේ කවුද බෝයි ගැන හැඳින්වීමක් කරනු ලබනවා. කවුද බෝයිට පැවරෙන රාජකාරිය තමා තමන්ගේ ගම හිරෙන් පැනපු ජුණ්ඩයියයලගේ මංකොල්ල කාරයන්ගෙන් (Dalton Brothers)  බේරගන්න.  ජුණ්ඩයියායි එයාගේ සහෝදරයොයි ප්‍රසිද්ධ මැරයෝ කණ්ඩායමක්. මොටයියයි, මල්ලිල දෙන්නයි අණ්ඩපාලයො උනාට ජුණ්ඩයිය කියන පදේට ඔවුන්ට නටන්න සිද්ද වෙනවා. යුරෝපයේ වැඩිම අලෙවියක් ලබන චිත්‍ර කතා පොතක් වන ලකී ලූක් වර්තමානය වන විට භාෂා 23කට පරිවර්තනය වී තිබේ.

10.  පිංගු – PINGU

(ichef.bbci.co.uk)

ජාතික රූපවාහිනියේ තිරගතවූ  ජපන් NHK ළමා වැඩසටහන් අතරින් PINGU ක්ලේමෝෂන් කාටූනය බෙහෙවින් ජනප්‍රිය උනා. ත්‍රිමාණ මැටි නිර්මාණ ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙම අපූරු කාටූනය ස්විට්සර්ලන්ත-බ්‍රිතාන්‍ය  අනුග්‍රහයෙන් සිදු කළ ඔට්මාර් ගුට්මාන් ගේ නිෂ්පාදනයක්.

1986 සිට 2000 දක්වා තිරගත වූ මෙම කාටූන් මාලාව ජාත්‍යන්තර වශයෙන් සම්මාන වලටද පාත්‍ර වුණා. පවුලේ සැමට එකට නැරඹිය හැකි මෙම කාටූනයේ අතරින් පතර පෙන්ගුයින් විසින් මුමුණන විවිධාකාර ශබ්ධ හැරුණු කොට කිසිදු දෙබසක් නොතිබීම විශේෂත්වයක්. ඇන්ටාටිකාවේ ජීවත් වන පෙන්ගුයින් පවුලක එදිනෙදා ජීවිතයේ සිදුවීම් මෙහි පෙන්නුම් කරනු ලබයි. කතාවේ ප්‍රධාන චරිතය රඟනු ලන්නේ පිංගු නම් දඟකාර පෙන්ගුයින් පැටියා විසිනි. පිංගු ගේ වික්‍රමයින් වලට විටෙක ඔහුගේ කුඩා සොයුරිය පිංගා සහ සුරතල් සීල් මත්ස්‍යයාද සම්බන්ධ වනවා.

මේ ලැයිස්තුවේ තියෙන කාටූන් වලට අමතරව ඔබත් පුංචි සන්දියේ ආසාවෙන් බලපු වැඩසටහන් තවත් ඇති. ළමා කාලේ ගෙවිය ගියත්,සූර පප්පා, ස්කුබී ඩූ, ගිරිපුර ඇත්තෝ වගේ කාටූන් වල ඇති රසය සහ හාස්‍යය කවදාවත් අඩුවෙන්නෑ. පොඩිහිටියන්‍ට වඩා අද වැඩිහිටියන් ඉස්සර තිරගත වුණු කාටූන් නරඹන්න පුන පුනා බලා ගෙන ඉන්නවා කිව්වොත් ඔබත් ඊට එකඟ වේවි නේද?

කවරයේ පින්තුරය: kidslox.com

Related Articles